මේ දෛව අංක 9 හිමි ඔබ ගැනයි | සිළුමිණ

මේ දෛව අංක 9 හිමි ඔබ ගැනයි

ඒ. ජේ. දීපාලෝක 
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී පාඨශාලාචාර්ය 
ඉසිවර සහන ජ්‍යොතිෂ්‍යය සේවය

- තැනේ හැටියට ඇණේ ගහන්න දක්ෂ, කාටවත් බය නැති කෙනෙක්
- අභියෝග වැඩි වන තරමට ආත්ම ශක්තියෙනුත් ඉහළයි

වුරුද්ද, මාසය, දිනය තනි අංකයක් වන ලෙස එකතු කළ පසු ඔබගේ දෛව අංකය 9 නම් එය අඟහරු හෙවත් කුජ ග්‍රහයාගේ කම්පන බලවේගයට අයත් වෙයි. ඔබ තුළ ඉතාමත් කාරුණික මානුෂීය හැඟීම් පවතින අතර, යහපත් ජීවිතයක් ගත කරන පුද්ගලයෙකි. එමෙන්ම ඔබට ඉතා ප්‍රබල ආත්ම ශක්තියක් පවතී.

ඒ නිසාම ජීවිතයේ බොහෝ දේවල් සාර්ථක කර ගැනීමට හැකිය. සෑම කටයුත්තකදීම ඉතාමත් ධෛර්යමත්ව කටයුතු කරන ඔබ අනුන්ව සමඟ කටයුතු කිරීමේදී ඔබට හැකි අයුරින් ඔවුන්ට ද සහයෝගය ලබා දීම සිරිතකි.

ඉක්මනින් තරහ යන ගතියක් සහ තරමක් සටන්කාමී ගති ලක්ෂණ ඔබගේ චරිතය තුළින් දැකිය හැකිය. නිතර මොනවා හෝ ටික ටික කෑමට වුවමනා කරයි. ඔබගේ ජීවිතය බොහෝ අභියෝග සහ බාධාවන්ගෙන් ගහන එකකි. සමාජයේ අනිත් අයට වඩා ඔබට එම අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වෙයි. ඔබ වැඩ කිරීමට මෙන්ම අනිත් අයගෙන් වැඩ ගැනීමට ද දක්ෂතාවක් දක්වයි. කිසි දෙයකට බිය අයෙකු නොවන ඔබට නිර්භීත ගති පැවැතුම් ඇත. ඕනෑම දෙයකට ඔරොත්තු දීමේ ශක්තිය පවතී. පරාජය බාර ගැනීමට සූදානම් නැත. කෙසේ හෝ ජයග්‍රහණය කිරීම ඔබගේ අපේක්ෂාව වෙයි. තමා සිතාගත් දෙය ඒ ලෙසටම සිදු විය යුතු යැයි සිතයි. වාද විවාදවලට සුදුසු නැත. සතුරන් පරාජය කිරීමේ හැකියාව පවතී. හොඳ විචක්ෂණශීලි මනසකින් කටයුතු කරයි. කරුණු හරිහැටි තේරුම් ගෙන තර්කානුකූලව සිතා බලා තීන්දු තීරණ ගනියි. තැනට සුදුසු ආකාරයෙන් හැසිරීමට විශේෂ හැකියාවක් ඔබ තුළ ඇත. කේන්තිය පාලනය කර ගැනීමට නිතර උත්සාහ කළ යුතුය. එමෙන්ම හදිසි තීන්දු තීරණ ගැනීමෙන් ද වැළකිය යුතුය. විවාහ ජීවිතය තුළ තේරුම් නොගැනීම නිසා දෙදෙනා අතර බොහෝ විට මත ගැටුම් ඇති වීමට ඉඩ ඇත. ඔබ යමක් කළ පසු එයින් ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙයි.

නොඉවසිලිමත් ගතිය ඔබ තුළ නිරන්තරයෙන් පවතී. ඉක්මන්කාරි ගතිය සහ කේන්ති ගැනීම ඔබගේ සාමාන්‍ය ස්වභාවයක් වෙයි. ගැස්ට්‍රයිටිස් ,අධි රුධිර පීඩනය වැනි රුධිරගත රෝගයන්ගෙන් වඩාත් පරිස්සම් විය යුතුය. කෙසේ වෙතත් උපන් තත්ත්වයට වඩා දෙතුන් ගුණයකින් ජීවිතය සාර්ථක කර ගැනීමේ හැකියාව ඔබ සතුව පවතී.

Comments