යළි විවර වන එතෙර රැකියා වෙළෙඳපොළ | සිළුමිණ

යළි විවර වන එතෙර රැකියා වෙළෙඳපොළ

අද වන විට අපට වැඩිම විදේශ විනිමයක් ගෙන දෙන්නට සමත්ව ඇත්තේ විදේශ රැකියාවන්හි නිරත පුද්ගලයන්ගෙනි.

එය මෙරට විරැකියාවටද විසඳුමක් වූ අතර රටේ ආර්ථිකය සවිමත් කරන්නටද සමත් විය.

වසර 2000 සිට දශක දෙකක කාලය තුළ සාමාන්‍යයක් ලෙස විදේශීය ජංගම ගිණුමේ සමස්ත ලැබීම්වලින් 25%ක් පමණ විදේශ රැකියාවන්හි නිරත වූවන්ගේ විදේශ ප්‍රේෂණවලින් ලද මුදල්ය. 2020 වසර වන විට එම ප්‍රතිශතය සැලකිය යුතු ලෙසින් ඉහළ ගියේය. එම ප්‍රතිශතය සමස්ත විදේශීය ලැබීම් අතුරින් 1/3ද ඉක්මවා ගොස් 35%ක් එනම් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් වැඩිම ඉපැයීම් මට්ටමට ළඟා විය.

1981 වසරේ සිට 2000 වසර දක්වා වූ දශක දෙකක කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් දළ දේශීය නිෂ්පාදිතයට දැක්වූ දායකත්ව ප්‍රතිශතය 5.7%ක් වූ අතර එය 2001 වසරේ සිට 2020 වසර දක්වා වන විට 8%ක් දක්වා ඉහළ ගියේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ලබා දෙන බව පෙන්වා දෙමිනි. එය රටේ ආර්ථිකය සවිමත් කරන්නට හොඳ මාර්ගයක් විය. 

ලෝක බැංකු වාර්තාවන්ට අනුව ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයේ ගිනිකොන දිග ආසියාවේ හා දකුණු ආසියාවේ දළ දේශීය නිෂ්පාදිතයට විදේශීය ප්‍රේෂණ අතින් තුන්වැනි ස්ථානයේ සිටීමට අපට හැකි විය. 2020 වසර වන විට නේපාලය එහි පළමු තැන ගැනීමට සමත් වූ අතර එරටේ දළ දේශීය නිෂ්පාදනයට 26.9%ක් විදේශීය ප්‍රේෂණ හරහා ලැබී තිබුණි. දෙවන ස්ථානය ගත් පිලිපීනයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 9.3%ක් ලෙස දැක්වුණු අතර එරට දෙවන ස්ථානයේ සිටීමට සමත් විය. ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානයේ සිටියේ පෙර පැවසූ පරිදි එම අගය 8%ක් ලෙස තබා ගෙනය. වියට්නාමය, බංග්ලාදේශය, කාම්බෝජය නැඟෙනහිර ටිමෝරය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය ඇතුළු අනෙකුත් රාජ්‍යයන් අපට බොහෝ පිටුපසින් සිටිනු දක්නට ලැබුණි.

මේ ලෙසින් විදේශීය ප්‍රේෂණ අතින් ඉහළින් සිටි ආසියාතික රටක් වූ ශ්‍රී ලංකාවට පසුගිය වසරක දෙකකට ආසන්න කාලයකදී විදේශීය සංචිත හිඳී යන තත්ත්වයක් ඇති විය. එයට ප්‍රධාන වශයෙන්ම බලපෑමේ කොවිඩ් 19 උවදුරත් සමඟ ගෝලීය වශයෙන් ඇති වූ අස්ථාවර තත්ත්වයයි. එහෙත් සෙසු රාජ්‍යයන් ක්‍රමයෙන් විදේශීය ප්‍රේෂණ වැඩිකර ගන්නට සමත් වුවද අපට එසේ නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ ජනතාවට එදිනෙදා අත්‍යවශ්‍යම වන ඉන්ධන හා ගෑස් ආනයනයට ඩොලර් නොමැති වීමයි. එවකට සිටි මහ බැංකු අධිපතිවරයා විසින් රුපියල පාවෙන්නට ඉඩ හැරියේය. එහි ප්‍රතිඵලය වූයේ ඩොලරයේ අගය ඊයක් මෙන් දිනෙන් දිනම වැඩි වීමය. රුපියල් 200කට ආසන්නයේ තිබූ ඩොලරය රුපියල් 300 සීමාව පැන යන්නට ගත වූයේ ඉතා සුළු කාලයකි. අද වන විට ඩොලරයේ වටිනාමක රුපියල් 370කට ආසන්න අගයක එහාට මෙහාට දෝලනය වෙමින් පවතී.

එය අපේ ආර්ථිකයට වැදුණු මරු පහරකි. ඩොලරයේ අගය අඩු වීමත් සමඟ සිදුවූ අනෙක් ගැටලුව වූයේ විදෙස්ගත ශ්‍රමිකයන් විසින් එවනු ලබන ඩොලරයට අඩු මිලක් හිමි වීම නිසා ඔවුන් අත්‍යවශ්‍ය මුදල් පමණක් මෙරට සිටින යැපෙන්නනට එවා සෙසු මුදල් එරට රඳවා ගැනීමයි. එයින්ද එය නතර නොවීය. උණ්ඩියල් හා හවාලා වැනි නීත්‍යනුකූල නොවන මාර්ගවලින් මුදල් මෙරටට එවන්නට කටයුතු කෙරිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ බැංකු හා මූල්‍ය ආයතන හරහා මෙරටට පැමිණීම ශීඝ්‍ර ලෙසින් පහත වැටීමයි.

එසේම විදෙස් ප්‍රේෂණ අඩු වීමට ප්‍රධානතම හේතුව වූයේ විදෙස් රැකියාවන්හි නිරතව සිටි පිරිස් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ සිටීමය. ඔවුන්ගෙන් යැපුණු අයට එය ගැටලුවක් වූ අතර රටට විදෙස් ප්‍රේෂණ නොලැබීම නිසා එය රටටද ඍජුවම බල පෑ කරුණක් විය.

මේ තත්ත්වය මැනවින් හඳුනා ගත් වත්මන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරයන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙන්ම මැද පෙරදිග ඇතුළු රාජ්‍යයන් රැසක තානාපතිවරුන් මෙන්ම මහ කොමසාරිස්වරුන් හමු වී විදේශ රැකියා උත්පාදනය කිරීම ආරම්භ කෙළේය. එමෙන්ම මේ දක්වා අපට නොතිබූ විදේශ වෙළෙඳ පොළ කරා යාමට ඔහු කටයුතු කළේය.

ඒ අනුව ජපානය, රුමේනියාව, මහා බ්‍රිතාන්‍ය වැනි රටවල විදේශ වෙළෙඳ පොළ විවර කර ගැන්මට හැකි විය. ජපානයට ශ්‍රමිකයන් 10,000ක් යැවීමට අදාළ කටයුතු සිදු කෙරුණු අතර මේ වන විට ශ්‍රමිකයන් විදෙස් කරා යාම අරඹා ඇත. මැද පෙරදිග තත්ත්වයද එසේමය. මේ වන විට දිනපතාම මැද පෙරදිග කරා ශ්‍රමිකයන් පිටත්ව යනු පෙනේ. එමෙන්ම කොරියාවේ රැකියා අවස්ථා උදා කර ගැන්මටද අපට හැකි විය.

ඒ උත්සාහයේ සාර්ථකත්වය මේ වන විට පෙන්නුම් කර ඇත. ඒ බව පැහැදිලිවම පැවසිය හැක්කේ පසුගිය වසර 6ක කාලය තුළදී වැඩිම ශ්‍රමිකයන් විදේශගතව ඇත්තේ මේ මාසයේ පළමු මාස 9ක පමණ කාලයකදී වීමය. 2017 වසරේ 211992ක් ශ්‍රමිකයන් විදෙස්ගතව ඇති අතර 2018 වසරේ 211211 වූ එම සංඛ්‍යාව 2019 වසරේදී 203087ක් ලෙස එය දැක්වුණි. කොවිඩ් උවදුර නිසා එම පිරිස 2020 වසරේදී 53711ක් දක්වා අඩු වී ඇතත් 2021 වසරේදී එම සංඛ්‍යාව 122264ක් දක්වා ඉහළ ගියේය. එම සංඛ්‍යාව පසුගිය ඔක්තෝබර් 11 වනදා වන විට 243949 දක්වා ඉහළ ගොස් විශාල අගයක් පෙන්නුම් කර තිබුණි.

විදෙස්ගත ශ්‍රමිකයන් විසින් එවනු ලබන ප්‍රේෂණද යළිත් ක්‍රමයෙන් නීත්‍යනුකූල මාර්ගවලට යොමුවන බව පෙන්නුම් කර තිබේ. උණ්ඩියල් හවාලා ක්‍රම මඟින් මුදල් ගනුදෙනු නොකළ කාලයේදී එනම් වසර 2016ට පමණ පෙර කාලයේදී මෙරටට පැමිණි විදේශීය ප්‍රේෂණ මෙන් යළිත් විදෙගත ශ්‍රමිකයන්ගේ මුදල් ලැබීමට පටන් ගෙන තිබේ. උණ්ඩියල් හා හවාලා යටතේ මුදල් මෙරටට එවීම වැඩි වූ 2020 කාලයේදී රුපියල් මිලියන 1317007ක් එම වසරේදී මෙරටට ප්‍රේෂණ වශයෙන් ලැබී ඇති අතර එය 2021 වසරේදී රුපියල් මිලියන මිලියන 1087188 ලෙස දැක්වුණි. මේ වසරේ පළමු මාස 8 තුළදී එනම් අගෝස්තු මස අවසානය වන විට රුපියල් මිලියන 819476ක් විදෙස් ප්‍රේෂණ ලෙස ලැබී තිබුණි. ඒ අනුව ආසන්න වශයෙන් මසකට රුපියල් මිලියන 102434.5ක ප්‍රේෂණ ලැබී ඇති අතර වසර අවසන් වන විට රුපියල් මිලියන 1300000කට වැඩි මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙරටින් නීත්‍යනුකූලව විදෙස්ගත වූ වැඩිම පිරිස මේ වසරේ විදෙස් කරා ගොස් ඇති නිසා ලබන වසරේදී රුපියල් මිලියන 20,00,000කට වැඩි මුදලක් මෙරටට විදෙස් ප්‍රේෂණ වශයෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙතරම් විදෙස් ප්‍රේෂණ අප වෙත ලැබෙන්නේ තවමත් උණ්ඩියල් හා හවාලා ක්‍රම යටතේ මෙරටට මුදල් ලැබෙමින් පවතිද්දී වීම කැපී පෙනෙන ප්‍රේෂණ ලැබීමක් බව පෙන්වා දිය යුතුය.

මෙරටට අලුතින් බිහිව ඇති රැකියා වෙළෙඳ පොළ අනුව මාසිකව රුපියල් ලක්ෂ 8ට වැඩි ආදායම් උත්පාදනය කළ හැකි රැකියා බිහිව තිබීම අගය කළ යුතුය. මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක නව ක්‍රමෝපායන් සම්බන්ධයෙන් කම්කරු හා විදෙස් රැකියා ඇමැති මනූෂ නානායක්කාරගෙන් අපි විමසීමු.

‘‘ පහුගිය කාලයේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අඩු වුණා. ඒකට ප්‍රධානම හේතුව වුණේ COVID-19 වසංගතය පැතිරීම හේතුවෙන් ගමනාන්තයට යන රාජ්‍යයන් මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා, ඒ වගේම අවිධිමත් මාර්ග හරහා මුදල් යැවීමේ ප්‍රවණතාව සමඟ ප්‍රේෂණවල අඩු වීමක් මෑතකදී නිරීක්ෂණය වුණා. විශේෂයෙන්ම 84% වඩා ප්‍රේෂණ අපේ රටට එන්නේ මැද පෙරදිග රටවලින්. ඒ නිසා අප ඒ ප්‍රේෂණ ලබා ගන්නට විගමනිකයන් දිරි ගැන්වීමට නව ක්‍රියාමාර්ග රැසක් ගත්තා.

ඒ යටතේ පසුගිය දෙසැම්බර් මාසයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට සිට ඇමරිකන් ඩොලර් මාරු කිරීමේදී එක් ඩොලරයකට රුපියල් 2ක් වැඩිපුර ගෙවීමක් සිදු කළා. පසුව අතිරේක දිරි දීමනාවක් ලෙස එවනු ලබන සෑම ඇමරිකන් ඩොලර් එකක් සඳහාම මහ බැංකුව විසින් රුපියල් 8 ක් ගෙවා රුපියල්වලට පරිවර්තනය කළා.

ඒ වගේම විගමනිකයන්ට විදත් මෝටර් රථ ආනයන බලපත්‍රයක් ලබා දෙන්නත් කටයුතු කළා. දූ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී ඔවුන්ට වෙනම කෝටා එකක් දෙන්න තීරණය කළා. එවැනි පහසුකම් රාශියක් විගමනිකයන්ට ඇති කෙළේ නිවැරැදි මාර්ගයෙන් ඒ කියන්නේ බැංකු හරහා මුදල් මෙරටට එවීමට යොමු කරවීමටයි. ‘‘

මෙරටට වැඩිම විදෙස් ප්‍රේෂණ ලැබෙන්නේ මැද පෙරදිග රටවලිනි.

2010 වසරේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණවලින් මැද පෙරදිග රටවලින් ලද ප්‍රමාණය 60.1%කි. එය 2011 වසර වන විට 58.9% දක්වා අඩු වී ඇති අතර 2012 වසරේදී එය දැක්වුණේ 56.1%ක් ලෙසය.

එලෙසින් අඩු වී ගොස් 2017 වසරේදී එම ප්‍රතිශතය 51.8% දක්වාත් අඩුවී ඇති අතර එය 2021 වසරේදී දැක්වුණේ 51.6%ක් ලෙසය. ඒ අනුව අලුත් රැකියා වෙළෙඳ පොළක් කරා යාමට අපට හැකියාව ලැබී ඇති බව පැහැදිලිය.

මේ වෙළෙඳ පොළ තවත් පුළුල් කර ගැනීමට අපේක්ෂිත අතර ඉදිරියේදී මෙරට විශේෂ විගමනික ගම්මානයක් පිහිටුවීමට කටයුතු කෙරේ. එයින් සිදු කෙරෙන්නේ විගමනිකයන් මෙරටට පැමිණීමෙන් පසුව ඔවුන්ට සෙසු අය පුහුණු කිරීමට හැකියාව උදා කිරීමයි. එමඟින් අපට පුහුණු ශ්‍රමිකයන් විදෙස් රැකියා කරා යොමු කළ හැකි අතර විගමනික ශ්‍රමිකයන්ට මෙරටට පැමිණීමෙන් පසුව මෙරට රැකියාවද එයින් උත්පාදනය වනු ඇත.

අද වන විට විදෙස් රැකියා පිණිස යන්නන්ගේ විශාල වර්ධනයක් ඇතිව තිබෙන අතර එම පිරිසට සරිලන සේ ගමන් බලපත්‍ර ලබාදීමද ගැටලුවක් වී තිබේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දිනකට ආසන්න වශයෙන් නිකුත් කළ හැක්කේ ගමන් බලපත්‍ර 1000කට වැඩි ප්‍රමාණයක් වුවද මේ වන විට දිනකට ගමන් බලපත්‍ර ඉල්ලුම් කරමින් 3000කට ආසන්න පිරිසක් දෙපාර්තමේන්තුවට පැමිණෙන බව දක්නට ඇත. පසුගිය කාලයේ දින ගණනක් සුහුරුපාය ඉදිරිපිට රැය පහන් කළ පිරිස්හට මේ වන විට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තම කටයුතු නිසි පරිදි සිදු කරන්නට අවශ්‍ය ක්‍රමවේද සකස් කර ඇති අතර ගමන් බලපත්‍ර ලබා ගන්නට පැමිණෙන්නට දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමට ඒ අනුව හැකියාව ලැබෙනු ඇත.

පසුගිය වසර ගණනාවක කාලය තුළදී වැඩිම ගමන් බලපත්‍ර නිකුත් කරන ලද කාලසීමාව ලෙස මේ වසරේ පසුගිය මාස කිහිපය පෙන්වා දීමට හැකිය.

මේ වන විට ගමන් බලපත්‍ර එක්ලක්ෂ දහදාහකට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර තිබේ. තවමත් බොහෝ පිරිස් ලැයිස්තුගතව සිටී. මේ තත්ත්වය මත ඉදිරියේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී යම් යම් සීමාවන් පැනවීමටද ඉඩ ඇත. එයට හේතු වී ඇත්තේ ඇතැමුන් කිසිදු අරමුණක් නොමැතිව විදෙස්ගත වීමට ගමන් බලපත්‍ර අයැදුම් කිරීමයි. අඩුම වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් එතෙර රැකියා සම්බන්ධව විමසීමක් හෝ සිදු කර නොමැතිව ඔවුහු එසේ බලපත්‍ර වෙනුවෙන් අයැදුම් කරති.

මේ නිසා අත්‍යවශ්‍ය ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට පැමිණෙන අයට පවා දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව තිබේ.

දැනුමට සරිලන වන පරිදි එතෙර රැකියා විවරව පවතී. එකම කරුණ වන්නේ ශ්‍රමිකයා කළ යුත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සි ආයතනයක් හරහා විදෙස් ගත වීමයි. එසේ නොමැති වුවහොත් එතෙරදී සිදුවන කිසිදු කරුණක් වෙනුවෙන් කාර්යාංශයට මැදිහත්වීමටද හැකියාව නොලැබෙනු ඇත.

රක්ෂණයද ශ්‍රමිකයාට හිමි නොවනු ඇත. එමෙන්ම කිසිදු හේතුවක් මත සංචාරක වීසා මත රැකියා පිණිස නොයෑමටද වගබලාගත යුතුය. ඒ කාර්යාංශය ඔබට ලබා දෙන විශේෂ දැනුම් දීමකි.

විදෙස්ගත වන්නන් වෙනුවෙන් මේ වන විට දැනුම්වත් කිරීමේ ව්‍යාපෘතියක් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ආරම්භ කර තිබේ. එම ව්‍යාපෘතිය පසුගිය 15-16 දෙදින ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණි. මේ ලෙසින් විදෙස්ගත ශ්‍රමිකයන් දැනුම්වත් කිරීමේ හා දිරිමත් කිරීමේ ව්‍යාපෘතීන් දිවයින පුරාම අඛණ්ඩව පවත්වනු ලබන්නේ නොදැන අතරමං වන ශ්‍රමිකයන්ද සැලකිය යුතු පිරිසක් සිටින නිසාය.

Comments