යොවුන් ක්‍රීඩකයන්ගේ පොකට්ටුවට විදින ක්‍රිකට් මැනේජර්ලා | සිළුමිණ

යොවුන් ක්‍රීඩකයන්ගේ පොකට්ටුවට විදින ක්‍රිකට් මැනේජර්ලා

ඈත ඉතිහාසයේ සිට මහත්වරුන්ගේ ක්‍රීඩාව බවට පත්ව තිබූ ක්‍රිකට් දැන් හොරුන්ගේ ක්‍රීඩාවක් බවට පත් වී ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානය වැනි ආසියාතික රටවල ක්‍රිකට් ක්‍රීඩාව යනු ජාවාරම්කරුවන්ට හොඳ ඉල්ලමකි. හිතේ හැටියට මුදල් උපයා ගත හැකි ආදායම් මාර්ගයකි. ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කෙතරම් නීති රීති සකස් කළ ද, ඉන් රිංගා යමින් නිදහසේ මුදල් උපයන ජාවාරම්කරුවෝ කොහෙත් සිටිති.

වසර 1996දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එක්දින ලෝක කුසලානය ජයගැනීමෙන් පසු සිදු වූ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නව පිබිදීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වටිනාකම ඉහළ යෑමත්, ජාතික කණ්ඩායමට සේන්දු වීමට පාසල් ක්‍රීඩකයන් තුළ පැවති තරගකාරීත්වයත් නිසාම කවුරුත් සිතුවේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වසන්තය උදා වූ බවය. එහෙත් සිදු වූයේ අනෙකකි. ක්‍රීඩකයන්ගේ වටිනාකම ඉහළ යෑමත් සමඟ යහමින් අතමිට සරු කරගැනීමට වැඩි වැඩියෙන් දොරටු විවර වෙද්දී ක්‍රීඩකයන්ගේ දස්කම් මතින් සිය ජීවිතය ගොඩ දමා ගැනීමේ පරපෝෂිතයෝ බිහි වූහ.

දස්කම් අතර සිටින ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රීඩා පිටියෙන් ඔබ්බට සිය බැංකු ගිණුම් තර කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරදීමට ‘ක්‍රිකට් ඒජන්තවරුන්‘ බිහිවන්නට වූයේ බුරුතු පිටින්ය. ‘ක්‍රිකට් ඒජන්ට්‘ කී පමණින්ම ශ්‍රී ලාංකීය ජනතාවගේ මතකයට පිවිසෙන ‘චාලි ඔස්ටින්‘ ඒ අතර ප්‍රමුඛයාය. මුල් කාලයේදී කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනයේ පිටියෙන් පිටත බාහිර ක්‍රියාකාරකම් කළමනාකරණය කරමින් ඔවුන්ට ඩොලර් මිලියන ගණන් උපයා ගැනීමට අතහිත දුන් චාලි ඔස්ටින් ඒ ඔස්සේ ලැබූ කොමිස් මුදල් කන්දරාවත් සුළුපටු නොවන බව ප්‍රකට කරුණකි.

අනතුරුව ඔස්ටින්ගේ අඩිපාරේ යමින් එවැනි පරපෝෂිතයන් මෙරට බිහි වන්නට වූයේ හතු පිපෙන්නාක් ලෙසටය. ආරම්භයේදී ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එකා දෙන්නා බැගින් කළමනාකරණය කරමින් මඩිය තරකර ගත් එවැනි ක්‍රිකට් කළමනාකරුවන්ගේ කාර්ය භාරයේ හොඳ සහ නරක අඩුවැඩි වශයෙන් තිබිණි. කිසිවකුට එය නීති විරෝධී ක්‍රියාවක් හෝ ඉන් ක්‍රීඩකයාගේ දස්කම් බිඳ වැටීමක් හෝ සිදු වන බවට හෝ තර්ක කිරීමට නොහැකි තත්ත්වයක් ද උදා වී තිබිණි. ක්‍රීඩකයන්ට කළමනාකරුවන් සිටීම ඔවුන්ට ක්‍රීඩාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට පසුබිම සකස් කිරීමක් බවත්, පිටියෙන් පිටත අදාළ ක්‍රීඩකයාගේ කටයුතු කළමනාකරණය කිරීම ඔහුගෙන් සිදුවන බැවින් ක්‍රීඩකයාට ඩොලර් මිලියන ගණන් උපයා ගැනීමටත් හැකියාව ලැබී ඇති බවත් ඉස්මතු කරමින් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන්ගේ භූමිකාව සාධාරණීකරණය කිරීමටත් විවිධ මට්ටමේ පුද්ගලයෝ පෙළ ගැසී සිටියහ.

එහෙත් දැන් තත්ත්වය වඩාත් බරපතළ අතට හැරී අවසන්ය. තවත් වසර ගණනාවක් යන විට දේශීය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මුළුමනින්ම බාහිර පුද්ගලයන්ගේ හෝ කොමිස් කාක්කන්ගේ පාරාදීසයක් බවට පත්වීමේ පෙරනිමිති පහළ වී හමාරය. ජාතික තලයට එක්විය හැකි අන්දමේ දස්කම් සපිරි යොවුන් ක්‍රීඩකයන් බලධාරීන්ටත් පෙර හඳුනා ගැනීමට සමත් මේ බහිරවයෝ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් එහෙම පිටින්ම ගිල දමති. ඔවුන්ට දහසින් බැඳ පියලි පෙන්වා සුරංගනා කතා කියමින් රවටා ජාතික යොවුන් ක්‍රිකට් පිලටත් සේන්දු වීමට පෙර ඔවුන්ගෙන් කොමිස් ගැසීමට පටන් ගනිති.

නූතන පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රය දැන් සකස් වී ඇත්තේ එලෙසින්ය.

අවුරුදු 19න් පහළ ජාතික යොවුන් ක්‍රිකට් සංචිතයට ඇතුළත් වීමේ පෙරනිමිති පහළ කරන ළාබාල ක්‍රීඩකයන් සමඟ කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කරමින් ඔවුන්ට ලැබෙන සියලු ආකාරයේ දීමනාවලින් කොමිස් ගසා සිය මඩිය තර කරගන්නා මෙවැනි ක්‍රිකට් කළමනාකරුවන් කිහිපදෙනකු පිළිබඳ ‘සිළුමිණ‘ පසුගියදා අනාවරණය කරගත්තේය.

පාසල් ක්‍රිකට් තරග නැරඹීමට යන එවැනි පුද්ගලයන් පසුව ක්‍රීඩකයන් සමඟ දැන හැඳුනුම්කම් ගොඩනඟා ගන්නේ ක්‍රිකට් උපකරණ සඳහා උදවු කරන බවට පොරොන්දු වෙමිනි. දස්කම් සපිරි එවැනි ක්‍රීඩකයන්ට කිට්ටු වන මේ පුද්ගලයන් මුලින්ම ක්‍රීඩකයාට ක්‍රිකට් පිත්තක් හෝ අත්වැසුම් යුවළක් හෝ පිරිනමන්නේ ක්‍රිකට් පිති සඳහා අනුග්‍රාහකයකු සොයා දෙන බවට පුරසාරම් දොඩමිනි. පසුව ක්‍රීඩකයා සමඟ ගිවිසුමකට අත්සන් තබන්නේ ඔහුගේ කළමනාකරුවා ලෙස කටයුතු කිරීමටය. චාටු බසට රැවටෙන යොවුන් ක්‍රීඩකයා කිසිදු අධ්‍යයනයකින් තොරව ගිවිසුමට අත්සන් තබයි. එවැනි ගිවිසුම් වැඩි ප්‍රමාණයකින් කියැවෙන්නේ වසර 5ක් යනතුරු ක්‍රීඩකයාට සිය කළමනාකරු ඉවත් කළ නොහැකි බවය.

ඇතැම් ගිවිසුම් වසර දෙකක කාලයකට අත්සන් තැබුවද එවැනි ගිවිසුම් වැඩි ප්‍රමාණයක කොන්දේසි සඳහන් කර ඇත්තේ ක්‍රිකට් කළමනාකරුගේ වාසියටය. අනික් අතට එවැනි ගිවිසුම් සකස කරනු ලබන්නේ ද කළමනාකරුවන්මය. එබැවින් ඔහුගේ වාසියට සියල්ල හරවා ගත හැකි පරිදි ගිවිසුම සකස් වීම පුදුම විය යුතු දෙයක් ද නොවේ. අදාළ කළමනාකරුට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව එම ගිවිසුමෙන් ඉවත් වීමට හැකියාව තිබෙන බවත්, අදාළ ක්‍රීඩකයා එම ගිවිසුමෙන් ඉවත් වන්නේ නම් මාසයකට පෙර ඒ බව දැනුම් දිය යුතු බවත් එම ගිවිසුමෙහි සඳහන් වීම ඊට හොඳම නිදසුන වේ.

කළමනාකරු ලෙස කටයුතු කිරීමට අත්සන් තැබෙන එවැනි ගිවිසුම්වලට බැඳී ක්‍රීඩා කරන ක්‍රීඩකයා ජාතික කණ්ඩායමට සේන්දු වීමේ හෝ ජාතික තලයේ ක්‍රීඩකයකු බවට පත්වීමේදී තවත් කළමනාකරුවෝ ඔහු වටා රොඳ බඳින්නට පටන් ගනිති. ක්‍රීඩකයා ඩැහැ ගැනීමට පොර කති. එහෙත් ඔහුට වෙනත් කළමනාකරුවකුගේ සේවය ලැබීමට ඉඩක් නැත. එසේ කිරීමට උත්සාහ දැරීම පළමුව ගිවිසුම් අත්සන් තැබූ කළමනාකරුගේ උදහසට කාරණාවකි. වසර 5කට ගිවිසුම් අත්සන් කර ඇති බව සිහිපත් කර දෙමින් එය කඩ කරන්නේ නම් නඩු දමන බවට තර්ජනය කරයි. එය ‘බ්ලැක්මේල්‘ කිරීමකට හැම අතින්ම සමානය.

අවුරුදු 19න් පහළ ජාතික යොවුන් කණ්ඩායමට සේන්දු වන පාසල් ක්‍රීඩකයන්ටත්, සිය පාසල් කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දක්වන සෙසු ක්‍රීඩකයන්ටත් දැල එළන මෙවැනි ක්‍රිකට් කළමනාකරුවන්ට උඩගෙඩි දෙන්නෝ අපමණ වෙති. පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්, ඇතැම් නිලධාරීන් ඒ අතර වෙති.

ඇතැම් ක්‍රිකට් කළමනාකරුවන්ට ක්‍රීඩකයන් රැසකි. කවුරුත් දන්නා පරිදි ඕනෑම පුද්ගලයකුට තනිව කළමනා කළ හැකි පුද්ගලයන්ගේ සංඛ්‍යාව සීමිතය. එහෙත් මෙරට එක්තරා ක්‍රිකට් කළමනාකරුවකු අසීමාන්තිකව එම කාර්යයෙහි නිරතව සිටින බවත්, එමගින් මිලියන ගණනින් මුදල් උපයන බවත් ‘සිළුමිණ‘ට හෙළිදරවු විය.

මෙරට ප්‍රකට පෞද්ගලික බැංකුවක සේවය කරන එක්තරා පුද්ගලයකු පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් 30කට අධික පිරිසකගේ කළමනාකරු ලෙස කටයුතු කරන බවත්, එමඟින් විශාල කොමිස් මුදලක් උපයා ගන්නා බවත් අනාවරණය වේ. අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වන ක්‍රීඩකයන්ගේ අනාගතය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවා ගත හැකි තරමේ තීක්ෂණ දැනුමක් සහිත එම පුද්ගලයා ඔහු සිය ව්‍යාපාරයේ ඉත්තකු බවට පත් කරගන්නේ ක්‍රීඩකයාටත් නොදැනීමය. මෙරට පමණක් නොව විදේශීය ෆ්‍රැන්චයිස් ක්‍රිකට් නියෝජිතයන් සමඟත් සමීප සබඳතා ගොඩනඟාගෙන සිටින හෙතෙම යොවුන් ක්‍රීඩකයන්ට ඩුබායි ටී10 වැනි ෆ්‍රැන්චයිස් තරග බිමට එක්වීමේ අඩිතාලම සකස් කර දීමට ද ඉදිරිපත් වේ. එතෙර පමණක් නොව මෙතෙර ක්‍රීඩා සමාජ ඇතුළු ප්‍රකට තරගාවලි රැසක පුහුණුකරුවන් සමඟත් ඇති සමීප ඇසුර හේතුවෙන් සිය කළමනාකාරිත්වය යටතේ ක්‍රීඩා කරන යොවුන් ක්‍රීඩකයන්ට අවස්ථා සලසා දෙමින් කොමිස් මුදල තර කරගන්නා මේ පුද්ගලයා දැනට පාසල් ක්‍රිකට් පිටියේ වැඩිම ආධිපත්‍ය පතුරුවාලූ ක්‍රිකට් කළමනාකරු ලෙස ප්‍රකටය. මුල් කාලයේදී 10% ක හෝ 15% ක කොමිස් මුදලක් අය කළ එවැනි කළමනාකරුවන් දැන් කොමිස් මුදල 20% දක්වා ඉහළ දමා ඇතැයි ද පාසල් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

යම්කිසි ක්‍රීඩකයකුට ක්‍රීඩාවෙන් පිට වෙළෙඳ දැන්වීම් සහ වෙනත් ප්‍රවර්ධන කටයුතුවලින් ආදායමක් උපයා ගැනීමට අවස්ථා සලසාදීම එවැනි ක්‍රිකට් කළමනාකරුවන්ගේ කාර්යභාරය වන්නේ නම් එය එක් අතකින් සාධාරණ බව පැහැදිලිය. එහෙත් ඉහත කී කළමනාකරු අදාළ ක්‍රීඩකයාගේ සියලු ආකාරයේ දීමනා තුළින් ද කොමිස් මුදලක් අය කිරීම මෙහි බරපතළම කරුණ බවට පත් වී ඇත.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් නොව දැනට ජාතික ක්‍රිකට් සංචිතයේ සිටින ක්‍රීඩකයන් රැසකගේද කළමනාකරු ලෙස කටයුතු කරන එම පුද්ගලයා දැනට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියජෙනය කරන එක්තරා යොවුන් ක්‍රීඩකයකු එවකට පාසල් වියේ සිටියදී ටී10 තරගාවලියකට ඩුබායි යවා එමගින් විශාල මුදලක් උපයා ගත් බවට ද කරුණු වාර්තා වේ. එම තරගාවලියෙන් අදාළ ක්‍රීඩකයාට කිසිදු ගෙවීමක් ලැබී නැත. වසර ගණනාවක ගිවිසුමට අත්සන් තැබූ බැවින් එම ක්‍රීඩකයා වර්තමානයේදී ද ඔහු යටතේ සිටින බවත් වාර්තා වේ. ගිවිසුම් උල්ලංඝනය කරමින් තම කළමනාකාරිත්වයෙන් ඉවත් වන්නේ නම් නීති මාර්ගයෙන් කටයුතු කරන බවට තර්ජනය කළද, එවැනි නීතිමය තත්ත්වයක එම ගිවිසුමට නැති බව වැඩිදුරටත් වාර්තා වේ.

අවුරුදු 19න් පහළ ජාතික යොවුන් කණ්ඩායම නියෝජනය කළ එක්තරා සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයකු ද ඔහුගේ කළමනාකාරීත්වය යටතේ ක්‍රීඩා කරමින් සිටින අතර, පාසල් ක්‍රීඩකයන් ඩැහැ ගැනීමේදී ඔහු සිදු කරන බොහෝ අවිධිමත් ක්‍රියාවන් ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක් වී තිබේ. මෙවැනි ගිවිසුම්වලට අනුව යම්කිසි ක්‍රීඩකයකුට වසර පුරා ක්‍රිකට් උපකරණ සැපයීම කළමනාකරුගේ වගකීම වේ. ඒ සඳහා ලෝක ප්‍රකට ක්‍රිකට් උපකරණ නිෂ්පාදන සමාගම් සමඟ ද සබඳතා පවත්වමින් සිටින ඉහත කී පුද්ගලයා එවැනි සමාගම්වලට අදාළ ක්‍රීඩකයා සම්බන්ධ කර එමඟින් ද කොමිස් මුදලක් උපයා ගැනීමට කටයුතු කර ඇත.

එම පුද්ගලයා හැරුණු විට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට කළමනාකාරිත්වය සපයන තවත් පුද්ගලයන් කිහිපදෙනකු සිටින අතර, කලක් එංගලන්තයේ පදිංචිව සිටි පුද්ගලයකු ද ඒ අතර වේ. ඔහු ජාතික ක්‍රිකට් පිලේ හිටපු නායකයකුගේ ඥාති සොහොයුරකු සමඟ එක්ව මේ කටයුතු සිදු කරන අතර, මේ වන විට ජාතික සංචිතයේ සිටින පසුගිය කාලයේ විනය විරෝධී ක්‍රීඩා හේතුවෙන් දැඩි ආන්දෝලනයකට ලක් වූ ක්‍රීඩකයන් කිහිපදෙනකුම ඔහු යටතේ සිටින බව වාර්තා වේ. ඔවුන් සමඟ රාත්‍රී සමාජ ශාලාවල හැසිරෙමින්, අලුයම වනතුරු මත්පැන් පානය කරමින් කාලය ගත කරන ඔහු එවකට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එංගලන්තයේ සංචාරය කළ අවදියේ ඔවුන් එංගලන්තය වටා සිය මෝටර් රථයෙන් රැගෙන ගිය පුද්ගලයෙකි. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එංගලන්තයේ සංචාරය කරද්දී ක්‍රීඩකයන්ගේ හෝටල් කාමරවලද ඔහු රාත්‍රිය ගත කර ඇති බවට කරුණු හෙළිවී තිබේ. එමෙන්ම ක්‍රීඩකයන් ගමන් ගන්නා බස් රථයේ ගමන් කිරීමටත් ඔහුට අවස්ථාව උදා වී තිබූ බවත්, සංචාරයට එක් වන ජාතික ක්‍රිකට් පිලේ කළමනාකරු ඒ සඳහා ඔහුට ඉඩ ලබා දීම විමතියට කරුණකි. එවැනි පසුබිමක් තුළ ඔහුට තරග පාවාදීමට ක්‍රීඩකයන් පොලඹවා ගැනීමට අවස්ථාව ඇති බැවින් එය ඉතා බරපතළ තත්ත්වයක් බව ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පසුගියදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ හැසිරීමට අවස්ථාව ලැබී තිබූ බවත්, ක්‍රීඩකයන් සමඟ සාප්පු සවාරියේ යෑම්, රාත්‍රී ආහාර ගැනීම් වැනි විවිධ අවස්ථාවන් සඳහා ඔහු එක්වී ඇති බවට තොරතුරු වාර්තා වේ. ඔහු මෙරට හිටපු උසස් පොලිස් නිලධාරියකුගේ පුත්‍රයකු බව අනාවරණය වේ.

එවකට මෙරට ආන්දෝලනාත්මක ක්‍රිකට් ඒජන්තවරයා බවට පත්ව සිටි චාලි ඔස්ටින්ගේ සමීපතම සගයකු වූ තවත් පුද්ගලයකු ද මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කළමනාකරුවකු ලෙස කටයුතු කරන අතර, මෙරට ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ වැඩිදෙනකුගේ කළමනාකරු ලෙස කටයුතු කරන බවත් වාර්තා වේ.

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමනාකරුවකු ලෙස කටයුතු කරන එංගලන්තයේ එක්තරා හෝටලයක සේවය කරන තවත් පුද්ගලයකුද සිටින අතර, ඔහු ජාතික සංචිතයේ සිටින දඟ පන්දු යවන ක්‍රීඩකයකුගේ කළමනාකරු ලෙස කටයුතු කරමින් දස්කම් අතර නොසිටි කාලයක පවා එම ක්‍රීඩකයා කණ්ඩායමේ රඳවා තැබීමට තරම් ප්‍රබල චරිතයක් බවට පත්ව සිටි බව වාර්තා වේ. මෙරට ක්‍රිකට් බලධාරියකුගේ සමීපතම මිතුරකු බව කියන එම පුද්ගලයා එම ක්‍රීඩකයාගේ විදෙස් සංචාර මුදලින් ද කොමිස් ලැබුවකු බවට කරුණු අනාවරණය වේ.

ජාතික ටෙස්ට් පිලේ ප්‍රබල ක්‍රීඩකයන් යුගලයකට කළමනාකාරිත්වය සපයන තවත් පුද්ගලයකු සිටින බවත්, එම පුද්ගලයා ක්‍රීඩකයාගේ තරග මුදලින් සහ ගුවන් ප්‍රවේශපත්වලින් පවා කොමිස් මුදලක් ගත් පුද්ගලයකු බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් එවැනි කළමනාකරුවන්ගේ ඉත්තන් බවට පත් නොවී පාසල් වියේ සිටම සිය දස්කම් මුවහත් කර ගනිමින් ජාතික මට්ටම දක්වා පැමිණි ක්‍රීඩකයන් ද රැසක් සිටින බැවින් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වීමේ අවස්ථා උදා කරගැනීමටත්, පිටියෙන් පිට වෙනත් වාණිජ වැඩසටහන්වලට එක්වෙමින් ආදායමක් උපයා ගැනීමටත් එවැනි කළමනාකරුවකු අත්‍යවශ්‍ය නොවන බව නිදසුන් සහිතව පෙන්වා දී ඇත. එවැනි පසුබිමක් තුළ සිය පටු අරමුණු වෙනුවෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවිය තම අතට ගෙන කටයුතු කරන එවැනි කළමනාකරුවන් පිළිබඳ අවධානය යොමු කිරීමත්, පෞද්ගලික ක්‍රිකට් කළමනාකරුවන්ගේ මාෆියාවට තිත තැබීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ ද වගකීම විය යුතු බව ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රවීණයෝ පෙන්වා දෙති.

ෆවුස් මොහොමඩ්

Comments