ලොව හොඳම විද්‍යාඥයන් කුලකය හොබවන ලාංකේය විශිෂ්ටයන් සිවු දෙනා | සිළුමිණ

ලොව හොඳම විද්‍යාඥයන් කුලකය හොබවන ලාංකේය විශිෂ්ටයන් සිවු දෙනා

කැලණිය විශ්වවිද්‍යාලය

* මහාචාර්ය අසිත ද සිල්වා ඖෂධවේදය සම්බන්ධව ලෝකය පිළිගත් විශිෂ්ට විද්‍යාඥයෙකි
* මහාචාර්ය ජනක ද සිල්වා සර්ප දෂ්ඨනය සම්බන්ධව ලොව පිළිගත් විශිෂ්ට පර්යේෂණ කිහිපයක් කර ඇත 
* මහාචාර්ය නිලන්ති ද සිල්වා පරපෝෂවේදය සම්බන්ධව ලෝක අවධානයට ලක් වූ පර්යේෂණ කළ විද්‍යාඥවරියකි
* මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න බෝ නොවන රෝග සම්බන්ධව අන්තර්ජාතික පර්යේෂණ ගණනාවක් සිදු කර ඇත

ට මහා බිඳ වැටීමක බව සැබෑය. එහෙත් රටේ මානව සම්පත ලෝකයේ අද්විතීය සම්භාවනාවට ලක් වෙමින් තිබෙන්නේය. ආසියානු ශූරයන් සේ ලෝකය දිනන්නට සැරසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. ලෝකයේ අසීමිත සම්භාවනාවට ලක්වන ගත් කතුවරුන්ය. ලෝක අවධානය දිනාගත් සම්භාව්‍ය විද්වත් පර්ෂදයන්ය.

මෙවැනි රටක් බිඳ වැටෙන්නේ කෙසේදැයි නොදනිමි. එහෙත් මහා බලාපොරොත්තු සහගත මනුෂ්‍යයන්ගේ යශෝ ගීත ඇසෙමින් ඇත්තේය. කැලණිය සරසවියේ විද්වත් මහචාර්යවරු සිවු දෙනෙක් මේ වනවිට ලෝකයේ හොඳම විද්‍යාඥයන්ගේ කුලකයට නම් කර සිටිති. ලෝකයේ මානව ප්‍රගමනය විෂයෙහි කළ විද්‍යාත්මක පර්යේෂණ මෙහෙවරක් ඇගයීමට ලක්කර වාර්ෂිකව මෙම ලෝක සම්භාවිත විද්‍යාඥයන් තෝරා ගනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැම්ෆර්ඩ් සරසවිය විසිනි. මේ ව්‍යාපෘතිය එම සරසවිය විසින් ආරම්භ කරන්නේ මීට තෙවසරකට පෙරය.

මේ වසර සඳහා ලෝකයේ හොඳම විද්‍යාඥයන්ගේ කණ්ඩායමට එක් වී ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති වෛද්‍ය පීඨයේ පරපෝෂවේද අංශයේ මහාචාර්ය නිලන්ති ද සිල්වා, වෛද්‍ය අධ්‍යයනය අංශයේ මහාචාර්ය ජනක ද සිල්වා, මහජන සෞඛ්‍ය අධ්‍යයනය අංශයේ මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න, සහ ඖෂධවේද අධ්‍යයනය අංශයේ මහචාර්ය අසිත ද සිල්වා ය.

සියයට දෙකක් පමණ වූ ලෝකයේ හොඳම විද්‍යාඥයන් තෝරා ගනු ලබන මෙම ක්‍රියාවලියෙ නියුක්ත වී ඇත්තේ ස්ටැම්ෆර්ඩ් සරසවිය මුල් කරගත් කණ්ඩායමකි. ඔවුන් විසින් ලෝකයේ අන්තර්ජාතික අවධානයට යොමු වී ඇති පර්යේෂණ පත්‍රිකා එක් කර ඇති දත්ත ගොනුවක් වූ Scopus දත්ත ගොනුව මුල් කරගෙන මෙම තෝරා ගැනීම සිදු කරනු ලබන්නේය. තෝරා ගැනීමේ මූලික නිර්ණායකය වන්නේ ඒ ඒ පර්යේෂකයන් විසින් සිදු කළ පර්යේෂණ විෂයේ ප්‍රගමනය සඳහා කෙතෙක් දුරට ඉවහල් වී ඇති යන සාධකය ඇගයුමට ලක් කිරීමෙනි. වැඩ කරන කාලය තුළ ලෝකයේ විද්‍යාඥයන් විසින් සිදු කළ පර්යේෂණ පුළුල් පරාසයක් තුළ මෙහිදී ඇගයීමට ලක් වන්නේය.

මේ සම්බන්ධව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරපෝෂවේද අංශයේ මහාචාර්ය නිලන්ති ද සිල්වා විමසුවෙමු. ඇය මේ තෝරා ගැනීම සම්බන්ධව පැහැදිලි කළාය.

“ වසර ගණනාවක් තිස්සේ එක් රැස් කර ඇති පර්යේෂණ පත්‍රිකා සහිත ලෝකයේ පිළිගත් දත්ත ගොනුවක් ආශ්‍රයෙන් තමයි ස්ටැම්ෆර්ඩ් සරසවිය මේ ඇගයීම කරන්නේ. එතැනදී ඔවුන් බලන්නේ යම් අයෙක් ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාවක් පළ වෙලා තියෙන්නෙ මොන ජර්නල්වලද, ඒ පර්යේෂණ පාදක කරගෙන වෙනත් පර්යේෂකයන් කර ඇති පර්යේෂණ මොනව ද?, ඒ දැනුම ලෝකයේ විද්‍යාඥයන් කී දෙනෙක් තමන්ගෙ ප්‍රකාශනවලට ඇසුරු කරලා තිබෙනව ද, යන්නයි.

ඒ තෝරා ගැනීමේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිවු දෙනෙක් මේ වසරේ ලෝකයේ හොඳම විද්‍යාඥයන් ලැයිස්තුගත කිරීමට ඇතුළත් වී හිටියා. මාත් ඒ සිවු දෙනාට ඇතුළත් වුණා.“

මහාචාර්ය නිලන්ති ද සිල්වා පරපෝෂවේදය සම්බන්ධව ලෝක අවධානයට ලක් වූ පර්යේෂණ ගණනාවක් කළ විද්‍යාඥවරියකි. ඇය දරුවන්ගේ පණු රෝග සම්බන්ධවත්, බරවා මැලේරියා රෝග සම්බන්ධවත් විශිෂ්ට පර්යේෂණාවලියක නිරත වූවාය. මහාචාර්ය ජනක ද සිල්වාගේ විෂය පථය වී තිබුණේ උදරගත රෝග පිළිබඳ පර්යේෂණ පැවැත්වීමය. ආමාශය, කුඩා අන්ත්‍රය, මහා බඩවැල, අග්න්‍යාශය, පිත්තාශය, පිත්තාශයේ සහ අක්මාවේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සහ රෝග අධ්‍යයනය කිරීම ඔහුගේ අධ්‍යයන විෂය පථයට අයත් විය. එමෙන්ම ඔහු සර්ප දෂ්ටනය සම්බන්ධව ලෝකය පිළිගත් විශිෂ්ට පර්යේෂණ කිහිපයක් කළේය.

මහාචාර්ය අසිත ද සිල්වා ඖෂධවේදය සම්බන්ධව ලෝකය පිළිගත් විශිෂ්ට විද්‍යාඥයෙකි. ඔහු විසින් ඖෂධ ක්‍රියාකාරිත්වය සම්බන්ධව ඇගයුම් සඳහා ලෝකය පිළිගත් සායනික පර්යේෂණ ගණනාවක් සිදු කළේය. මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න මහජන සෞඛ්‍ය සම්බන්ධව ලංකාවේ සිටින විශිෂ්ට පර්යේෂිකාවක් වූවාය. ඇය විසින් බෝ නොවන රෝග සම්බන්ධව ලෝක අවධානයට ලක් වූ පර්යේෂණ ගණනාවක් සිදු කර තිබිණි. ඒ පර්යේෂණ අත්දැකීම් සම්බන්ධව මහාචාර්ය නිලන්ති ද සිල්වා කීවේ මෙවැන්නකි.

“ අනුරාධනීත් මමත් අසිතත් තුන් දෙනාම ග්ලෝබල් “ලෝකයේ දැවෙන රෝග “ සම්බන්ධව පර්යේෂණ කර තිබෙනවා. ඒ පර්යේෂණ වෙනත් පර්යේෂකයන්ට ඔවුන්ගේ පර්යේෂණ කරගෙන යන්න මෙන්ම තහවුරු කරගන්න අවශ්‍ය දැනුම හා මූලාශ්‍ර සපයා තිබෙනවා. ඒ නිසා තමයි වඩාත් අපේ පර්යේෂණ සඳහා අවධානය ලැබුණේ.

සර්ප දෂ්ටනය සම්බන්ධව මහාචාර්ය අසිත සහ මහාචාර්ය අනුරාධනී වැඩ කර තිබෙනවා. ඇය බෝ නොවන රෝග සම්බන්ධව විශාල දැනුමක් ලෝකයට එක් කළ මහජන සෞඛ්‍ය සම්බන්ධ අධ්‍යයනය අංශයේ විශේෂඥවරියක්. ඇය බෝ නොවන රෝග සම්බන්ධ ඒ පර්යේෂණ සිදු කළේ රෝග නිවාරණය මුල් කරගෙන.“

ලෝකයේ හොඳම පර්යේක්ෂකයන් කණ්ඩායමේ ලාංකේය නියෝජනය අතර අතිශය දුර්ලභ සිදුවීමක් වාර්තා වේ. ඒ මහාචාර්ය ජනක ද සිල්වා ගේ දයාබර බිරිය මහාචාර්ය නිලන්ති ද සිල්වා ය. මහාචාර්ය අසිත ද සිල්වා යනු මහාචාර්ය ජනක ද සිල්වාගේ සොහොයුරාය.

මහාචාර්ය අනුරාධනි කස්තුරිරත්න මේ තිදෙනාගේම ගෝලයෙක් ලෙස හැදුණු සිසුවියකි. මහාචාර්ය නිලන්ති ද සිල්වාගෙන් අප කළ විමසුමක දී ඇය එම තත්ත්වය විස්තර කරන්නේ එම තේරීම කුටුම්භයකට එපිටින් ඇති ශාස්ත්‍රීය තලයක් මත තබාය.

“ මහාචාර්ය කාලෝ ෆොන්සේකා කැලණිය වෛද්‍ය පීඨයේ පීඨාධිපති වුණාට පස්සේ පර්යේෂණ අංශය වැඩි දියුණු කළා. නව බඳවා ගැනීම් කළේ ඒ පදනමින්. මමයි ප්‍රො‍ෙෆසර් ජනකයි 1993 එකට මෙඩිකල් ෆැකල්ටි එකේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට බැඳුනේ. අපි දෙන්නා එක තැන වැඩ කළා.

මහාචාර්ය කාලෝ එවක තරුණ ශාස්ත්‍රකාමීන් වුණු අපි හැමොටම අවශ්‍ය දිරිගැන්වීම කළා. අනුරාධනී කස්තුරිරත්න අපේ පීඨයෙන්ම වෛද්‍ය උපාධිය ලබා ගත්තු අපේ වෛද්‍ය පීඨයේ 4වැනි කණ්ඩායමේන් අවුට් වෙච්චි කෙනෙක්. ඇය අපෙන් ඉගෙන ගත්තා. පස්සේ වෛද්‍ය විද්‍යාලයෙන් පිටවෙලා පශ්චාත් උපාධිය හදාරලා අපේ ආචාර්ය මණ්ඩලයට බැඳුණා. ඇයත් පර්යේෂණ කළේ අපිත් එක්ක.

අපි පොදුවෙ එකට වැඩ කරන කණ්ඩායමක්. ලොකු කැප කිරීම් කරන විද්වතුන් අපේ කණ්ඩායමේ ඉන්නවා.“

මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාර්යය මණ්ඩලයට එක්වන්නේ 2001 දී තරුණ වෛද්‍යවරියක හා අාඳුනික කථිකාචාර්යවරියක ලෙස සම්බන්ධවන ඇය වර්ෂ 2017 දී සිට වෛද්‍ය පීඨයේ මහාචාර්යවරියකි. ඇගේ දිවියේ වැඩි කාලයක් මේ වනවිට කැප කර ඇත්තේ ඇගේ විෂය වන මහජන සෞඛ්‍ය අධ්‍යයනය සම්බන්ධ පර්යේෂණ වෙනුවෙනි. මහාචාර්ය අනුරාධනී සිය අත්දැකීම අප සමඟ බෙදා ගත්තාය.

“අන්තර්ජාතිකව අවධානයට යොමුවන පර්යේෂණ සඳහා මා සම්බන්ධ වන්නේ වර්ෂ 2001 දි. ඒ වනවිට ඉතාම පළපුරුදු විද්වත් පර්යේෂණ කණ්ඩායමක් කැලණිය විශ්විද්‍යාලයෙ වෛද්‍ය පීඨයේ සිටියා. ඔවුන් සමඟ වැඩ කරගෙන යද්දි අන්තර්ජාතික තලයේ සම්බන්ධතා ගොඩනඟාගන්න අපට හැකි වුණා.

දුෂ්කර ආර්ථිකයක් සහිත රටක් ලෙස අපට ප්‍රමුඛතා වැඩියි. ඒ නිසාම පරික්ෂණවලට ප්‍රතිපාදන වෙන් වෙන්නෙ ඉතාම අඩුවෙන්. ඒ නිසා ලෝකයේ පර්යේෂණ සඳහා අරමුදල් සපයන ආයතනවල තක්සේරුවට ලක්වන පර්යේෂණ අප විසින් කරන්න අවශ්‍ය වෙනවා.

ඇත්තටම අප ශ්‍රී ලංකාව තුළ බෝ නොවන රෝග සම්බන්ධව හොඳ පරීක්ෂණ කිහිපයක් කර පර්යේෂණ පත්‍රිකා පළ කළා. මොකද ලෝකයේ දියුණු රටවල්වලට බලපාන ආකාරයටම අපට මේ රෝග නිසා ඇතිවන සමාජ ආර්ථික ව්‍යසනය බලපානවා.

අපේ මට්ටමේ තිබෙන ලෝකයේ වෙනත් රටවලට වඩා අපේ සෞඛ්‍ය දර්ශක ඉහළයි. මාතෘ මරණ අඩුයි. අපේක්ෂිත ජීවිත කාලය ඉහළයි සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අඩු මුදලක් වැය කරමින් වටිනා ප්‍රතිඵල අපි අත්පත් කරගෙන තිබෙනවා.

බෝ නොවන රෝග මැදි වයසේ දී සහ අවසන් වයස් කාලයේ දි ඇතිවන තත්ත්වයක්. දීර්ඝ කාලීනව ප්‍රතිකාර ගත යුතුයි. මේ රෝග නිවාරණය සඳහා නව දැනුම සොයා ගැනීම ඉතා වැදගත්. ඒ සම්බන්ධව රාගම වෛද්‍ය පීඨය ඉතා දියුණු පර්යේෂණයක් කළා. ඒකට අන්තර්ජාතික අවධානය යොමු වුණා. ඉන්පසු අපට ආරාධනා ලැබුණා ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායම්වලින්. අන්තර්ජාතික තලයේ පර්යේෂණ කණ්ඩායම් සමඟ වැඩ කරන්න.

සර්ප දෂ්ටනය ගැනත් අපි පර්යේෂණ කළා. ලෝකයෙන්ම මේ ප්‍රශ්නය විශේෂයෙන් බලපෑවේ ආසියාවට, අප්‍රිකාවට සහ දකුණු ඇමරිකාවට. අපේ රට මේ පර්යේෂණයට ඉතාම හොඳ නියැදියක් ලෙස ලෝකය පිළිගත්තා. අපේ දත්ත ගොනු ඉතාම විද්‍යාත්මකව නඩත්තු වෙනවා. ඒ නිසා පර්යේෂණාත්මකව බලන්න පහසුයි. ඒ නිසා අපිට හැකි වුණා සර්ප දෂ්ටනය ගැන ලෝකයම පිළිගත් පර්යේෂණ ගණනාවක් සිදු කරන්න.“ මහාචාර්යවරිය කීවාය.

මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න සේම මහාචාර්ය නිලන්ති ද සිල්වා ද පසුගිය වසරේත් මෙම ලෝකයේ විශිෂ්ට විද්‍යාඥ ලැයිස්තුවට ඇතුළත් වී සිටියහ. මේ වසරේ ඇතුළත් වන්නේ දෙවැනි වරටය. මේ පර්යේෂකයන් ජීවිතය කැප කර ඇත්තේ ලෝකය සුවපත් තැනක් කිරීමටය. එහි ප්‍රතිඵල ලෝකයෙන් ලැබී තිබේ. ඒ පිළිබඳ උපදින්නේ සියුම් සතුටකි.

Comments