සරසවියේ උප සංස්කෘතිය බොරු මතයක් පමණයි | සිළුමිණ

සරසවියේ උප සංස්කෘතිය බොරු මතයක් පමණයි

ශ්‍රී ලංකාවේ බොහෝ කාලයක් මුළුල්ලේ පැවැති නවක වදය පිළිබඳ කතිකාව වරින් වර කරළියට පැමිණෙයි.මෙය අධ්‍යාපන පද්ධතිය තුළ සහ විවිධ අධ්‍යාපන ආයතන තුළ පවතින සංස්කෘතියකි. අධ්‍යාපන මධ්‍යස්ථානවලට බඳවා ගන්නා මුල් කාලසීමාව තුළදී ඒ ළමුන් හිංසනයට පත් කරන වැඩපිළිවෙළක් බවට නවක වදය පත් වී ඇත. ලෝකයේ බොහෝ රටවල මේ නවක වදය විවිධ නම්වලින් හඳුවන්වයි. එම රටවල නවක වදය සඳහා විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබයි. එහෙත් මෙරට දශක ගණනාවක සිට මෙය හිංසන ක්‍රියාවලියක් බවට පත්වී ඇත.

සුන්දර අත්දැකීමක් ලෙසට ඇතැමුන් මේ ක්‍රියාවලිය හුවා දැක්වීමට උත්සාහ කළ ද එදා අප විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව සිටි කාලවකවානුවේ සිටම එය හිංසනකාරී වැඩසටහනක් බවට පත්වී තිබිණි. අපි එදා ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයන් ලෙස මේ පිළිබඳ යම් විරෝධාකල්පයක් ඉදිරිපත් නොකිරීම පිළිබඳව අද අප ද වගඋත්තරකරුවන් විය යුතුය. එදා අප එයට විරුද්ධ නොවීමේ අනිසි ප්‍රතිඵල අද අත්විඳිමින් සිටියි. ඒ නිසා අපේ ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් මේ සඳහා වැරදිකරුවන් බව හෘදය සාක්ෂියට අනුව පිළිගත යුතුයි. එසේ පිළිගතහොත් මෙය ප්‍රශ්නයක් ලෙස විවෘතව සාකච්ඡා කිරීමට සහ හෙළා දැකීමට අපට අවකාශ හිමිවෙයි. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අද වන විට මෙය බරපතළ ලෙස ව්‍යාප්ත වී ඇත. මේ ව්‍යප්ත වීම විවිධ දිශානති ඔස්සේ ගමන් කර ඇත.

මෙය වාචික, මානසික සහ ලිංගික හිරිහැරවලට භාජනය වී ඇති අතර, මේ පිළිබඳ දත්ත එකතු වෙමින් පවතී. ඒ අනුව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ 51%ක් මේ තත්ත්වය පිළිගෙන ඇත. ඒ සමීක්ෂණ අනුව තමන්ට වාචික සහ මානසික 20%ක් හිරිහැර සිදුවී ඇති බව දත්ත අනුව තහවුරු වී ඇත. එසේම කායික හිරිහැර 20%ක් පමණද, ලිංගික හිරිහැර 16%ක් පමණ ද වෙයි. එසේම මේ නවක වදය තුළ නවකයන් බියගැන්වීම, නිදහස් චින්තනයට පහරදීම, නිර්මාණාත්මක හැකියාවන් මොට වී අවසානයේදී නව චින්තනය තහනම් කිරීම සිදු වෙයි. ඒ අනුව නව චින්තනයක් නැති ඔවුන් කියන දේ පිළිගැනීම විශ්වාස කරන කණ්ඩායමක් බවට පත් කිරීම ඔවුන්ගේ උත්සාහයයි.

විශේෂයෙන් ජ්‍යේෂ්ඨයන් සමාජයට හුරු කිරීමට යැයි මෙහි මතුපිට අර්ථ ගැන්වුවද ඒ වෙනුවට ඔවුන් කියන දේ කරන සහ හිතන පිරිසක් බවට පත් කිරීම යන ආකල්පයෙන් මේ වැඩසටහන පාවිචිචි කෙරෙයි. වසර කිහිපයක් මුළුල්ලේ මේ පිටුපස මේ රටේ දේශපාලන පක්ෂ වෙයි. ඒ අයගේ අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කිරීමක් සිදු වෙයි. තමන්ගේ වැඩසටහන්වලට අවශ්‍ය කරන සාමාජිකයන් එකතු කර ගැනීමට මේ ක්‍රියාවලිය පාවිච්චි කරයි. ඒ සඳහා පක්ෂ අභ්‍යාන්තරිකව යම් වැඩපිළිවෙළක් ගෙනයෑම වර්තමාන සුවිශේෂි තත්ත්වයයි.

නවක වදයේ කිසිදු යහපත් අරමුණක් නොවෙයි. එසේම නවක වදයෙන් කිසිදු යහපතක් සිදු නොවෙයි. නවකයන් හඳුනා ගැනීම, විශ්වවිද්‍යාලවලට හුරු කිරීමේ වැඩපිළිවෙළක් ලෙස මෙය හඳුන්වා දීමට උත්සාහ කළ ද එහි සත්‍යතාවයක් නැත. විවිධාකාර අර්ථ ගැන්වීම් සිදු කළ ද මේ තුළ පවතින්නේ දේශපාලනික අරමුණුය. මේ තුළ පෙනී සිටින්නේ ද දේශපාලන සංවිධානවල නියෝජිතයන්ය. මේ ක්‍රියාවලිය මෙහෙය වන්නේ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් විසිනි. ඕනෑම විශ්වවිද්‍යාලයක ඕනෑම පීඨයක නවක වදය සිදු වෙයි නම් එහි සිටින්නේ ශිෂ්‍ය සංවිධානවල ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් බවට ඉතා පැහැදිලිවය. අද වන විට ශිෂ්‍ය සංගම් පාලනය නොකරන්නේ දේශපාලනික බවට කිසිදු සැකයක් නැත. නවක වදය නවක සිසුන්ට ලබාදෙන්නේ නම් එය ලබා දීම සිදු කරන්නේ ශිෂ්‍ය සංගම්වල අවශ්‍යතා මතයි.

ඒ නිසා මේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරුන්, උපසභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු පිරිස ඍජුවම පොලිසියට, අධිකරණයට සහ විශ්වවිද්‍යාල පරිපාලනයට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් වගකිව යුතුයි. 2010 වසරට පෙර විවිධ මතවාද දරන ශිෂ්‍ය සංගම් විය. එය ජවිපෙ සහ ස්වාධීන ශිෂ්‍ය සංගමයයි. එහෙත් මේ වන විට ස්වාධීන යැයි කියන ශිෂ්‍ය කණ්ඩායම් අතුරුදන් වී ඇති අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශිෂ්‍ය ව්‍යාපාරවල බලය අත්පත් කරගෙන ඇත. සමහර තැන්වල ජවිපෙ නායකත්වය දරයි. ඒ ශිෂ්‍ය සංගම් මේ නවක වදයට විරුද්ධව ක්‍රියා නොකරයි. මේ අයට අවශ්‍ය කරන පිරිස සිටිනු ලබන්නේ විශ්වවිද්‍යාල තුළයි. තමන්ගේ පිරිස් බලය එකතු කර ගැනීම සහ මුදල් එකතු කර ගැනීමේ අවකාශය එතැනදී හිමි වෙයි. නවක වදය යනු නීති විරෝධී ක්‍රියාවලියකි. ඔවුහු තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අඛණ්ඩව මේ නවක වදය ලබාදීම සිදු කරති. ඔවුන් මෙහෙය වන දේශපාලන පක්ෂ ඝෘජුවම නොවුණත් වක්‍රාකාරයෙන් මේ සඳහා සම්බන්ධ වේ. දේශපාලන පක්ෂ විසින් මේ නවක වදය නතර කිරීමට ශිෂ්‍ය සංගම්වලට දැනුම් දුන්නොත් ඒ සඳහා කටයුතු කරයි. ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නොමැති නම්, ඒ අයගේ උද්ඝෝෂණවලට පිරිසක් නැත. තවත් කරුණක් නම් ශිෂ්‍යයන් ලවා කැටවලට මුදල් එකතු කර ගැනීම සිදු කිරීමයි. පක්ෂ අරමුදල් තර කර ගැනීමට එය අවශ්‍ය වෙයි. එවැනි මුදල් සම්බන්ධයෙන් කතා කළහොත් එකී ශිෂ්‍යයන්ට පහර දීම් සිදු වෙයි. මේ වෙනුවෙන් නවක වදය ද ඔවුන්ට අවශ්‍ය වේ. ඒ නිසා මේ අඛණ්ඩ ක්‍රියාවලිය නතර කිරීමට නොහැකිය.

උපකුලපතිවරුන් නවක වදය නැවැත්වීමට කටයුතු නොකරන බවට සිවිල් සමාජය චෝදනා නඟයි. විශ්වවිද්‍යාල පරිපාලනය විසින් මේ ශිෂ්‍ය සංගම්වලට බලපෑම් කළහොත් ඒ ශිෂ්‍ය සංගම්වලින් මතුවන ගැටලුවලට මුහුණ දීමට උපකුලපතිවරුන්ට නොහැකිය. එහෙත් මා නියෝජනය කරන විශ්වවිද්‍යලයේ නිලවශයෙන් ශිෂ්‍ය සංගම්වල සභාපතිවරුන්, ලේකම්වරුවන් විශ්වවිද්‍යාල වෙබ් අඩවිවල සඳහන් කර ඇත. ඒ අයගේ මේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් සියලු පුරවැසියන්ට ඇත.

විශේෂයෙන් මෙතෙක් විශ්වවිද්‍යාලවල හිරිහැර නිසා සිදුවූ ජීවිත හානි සහ අනෙකුත් හිංසන නිශ්චිතව සඳහන් කළ නොහැකිය. ඊට හේතුව රූපා රත්නසීලි ශිෂ්‍යාව ගත් විට 1973 උඩුමහලෙන් බිමට පැනීම සිදු වූයේ නවක වදය නිසා වුවද ඇය මියගියේ 2002 වසරේදීය. කොඳු ඇට පෙළ බිඳීමෙන් ඇතිවූ මානසික අවපීඩනය නිසා ඇය සියදිවි හානිකර ගැනීමෙනි. ඒ වසර 40කට පසුවය. ඒ මරණය ගණන් ගැනෙන්නේ කුමන නවක වදයකට ද යන ගැටලුව මතු වෙයි. නවක වදය නිසා මියගිය පිරිස ඍජුවම මුණගැසෙන අවස්ථා අඩු වුවත් මේ පීඩාව දරාගත නොහැකිව සිය දිවි හානි කරගත් පිරිසක් ද වෙයි. ඒ පිළිබඳ නිවැරැදි විශ්ලේෂණයක් සිදුවී ඇත් ද යන්න ගැටලුවකි. එබැවින් විධිමත් ආකාරයකට විශ්ලේෂණයක් කළහොත් ඍජු මරණවලින් එහා ගිය සංඛ්‍යාවක් හමු වෙයි. මෙය අයිස් කන්දේ මුදුණත පමණක් පෙනෙන, කටුක අභ්‍යන්තරය නොපෙනෙන ක්‍රියාවලියකි. සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය වන ආකාරයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 169දෙනකු මේ වන විට නවක වදය නිසා විශ්වවිද්‍යාල හැර ගොස් ඇත. මේ දත්තවල සත්‍ය භාවයක් පවතින්නේ නම් නවක වදය නිසා සිදු වන වක්‍රාකාර මරණ 169ක් සිදු වී ඇත. මේ සරසවි හැර යෑම ඇත්තටම ශිෂ්‍ය ඝාතනයක් ලෙස හැඳින්විය හැකිය.අනාගතය අහිමි කිරීම සැබැවින්ම එතැනින් දැවැන්ත මනුෂ්‍ය සංහාරයක් ලෙස සැලකිය හැකිය. රුහුණු විශ්විද්‍යාලයේ 2018 වසරේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 128ක් විශ්වවිද්‍යාලය හැරගොස් තිබිණි. මේ දරුවන්ගෙන් නැවත විශ්වවිද්‍යාලයට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ 11ක් පමණි. අනෙක් දරුවෝ විශ්වවිද්‍යාලයට නැවත ඒම ප්‍රතික්ෂේප කළහ. එයත් එක්තරා මනුෂ්‍ය ඝාතනයන් ලෙස සැලකිය හැකිය.

මේ ක්‍රමවේදය සංවිධානාත්මකව සිදු කෙරෙයි. නවකයන්ට නවක වදය ලබා දීමට පෙර එය ලබා දිය යුතු පිළිවෙළ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් විසින් ලේඛනගත කර ඇත. නවක වදය ලබා දෙන දෙවැනි වසරේ ශිෂ්‍යයන් විසින් එය නිසි ලෙස ලබාදෙන්නේ ද යන්න පිළිබඳව තුන්වැනි සහ හතරවැනි වසරවල ශිෂ්‍යයන් විසින් අධික්ෂණය කරයි. මේ අය මේ ක්‍රියාවලිය සංවිධානාත්මකව සිදු කරයි. නවක වදය බිඳුණු පෞරුෂ ලක්ෂණ පවතින ළමුන් තුළ පවතින්නකි. පෞරුෂත්වය නිර්මාණය වී නොමැති ළමුන් ක්‍රියාවලින්වල උඩට මතුවී පෙනිනි.

උපකුලපතිවරුන් වන අප පරිපාලන නියෝජිතයන් පමණි. අපට ගැටෙන්නට සිදු වන්නේ දේශපාලන පක්ෂය යන්ත්‍රණයත් සමඟය. පක්ෂ යන්ත්‍රණයත් සමඟ ගැටෙන්නට අපට හැකියාවක් නොවෙයි. ආණ්ඩුව සහ පොලිසිය මේ සඳහා සහාය දීම අවශ්‍යයි. ලංකාව පුරා විසිරුණු සංවිධානාත්මක ජාලයක් පවතී. මේ දේශපාලන පක්ෂ යන්ත්‍රණයන් සමඟ හැප්පීම අපටෙ අපහසුය. සියලු වගකිවයුතු පාර්ශ්වයන් මෙය නැවැත්වීමට කටයුතු කළ යුතුය. විශේෂයෙන් රජයෙන්, පොලිසියෙන් සහ සිවිල් සමාජයෙන් අපට උදව් අවශ්‍ය වේ. විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන මේ පක්ෂ දෙකට විරුද්ධ ප්‍රකාශ නිකුත් කළ යුතුය. මේ පක්ෂ දෙක උසස් පෙළ සමත් වන ළමුන් සොයාගෙන තමන්ට නතු කරගත හැකි ළමුන් පක්ෂයට සම්බන්ධ කර ගැනීමයි සිදු කරන්නේ. පන්ති පවත්වා මේ අය විවිධාකාර වැඩකටයුතුවලට සම්බන්ධ කරගනිමින් නායකත්වයට නතු කර ගැනීම සිදු වෙයි. ඔවුන්ගේ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් මේ ශිෂ්‍යයන් පාවිච්චි වීම සිදු වෙයි. එහෙත් විශ්වවිද්‍යාලවලින් බාහිරව ශිෂ්‍යයන් සංවිධානගත වීම නැවැත්වීමට පාලන අධිකාරියට නොහැකිය. මවුපියන්ට ද වගකීමක් තිබෙන අතර, තමන්ගේ දරුවන් ගමන් කරන මාර්ගය පිළිබඳ ඔවුන් වඩා සැලකිලිමත් විය යුතුය.

සරසවි උපසංස්කෘතිය යනු බොරු මතයකි. එයත් සාමාන්‍ය සිවිල් සමාජයේ පිළිබිඹුවකි; ප්‍රතිබිම්භයකි. විශ්වවිද්‍යාල ශිෂ්‍යන් සහ ආචාර්යවරුන් අපේ සමාජයේම කොටසකි. විශ්වවිද්‍යාලවලට පිවිසෙන ළමුන්ට ආවේණික චර්යා රටා පවුල් පරිසරයෙන් ලැබුණු අත්දැකීම්ය. ඔවුන්ට විශේෂිත අනන්‍ය සාධක වෙයි. ඒ නිසා ඔවුන් විශේෂිත සමාජ කණ්ඩායම් ලෙස සඳහන් කළ නොහැකිය. පවුල් පසුබිම ගත්විට බොහෝ පසුබිමිවලින් විවිධ පිරිස් විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙයි. එමෙන්ම වෙනස් සමාජ කණ්ඩායම් විශ්වවිද්‍යාලවලට ඇතුළු වුවත් විශ්වවිද්‍යාලයේදී සමාන නොවෙයි. එහෙත් ඒ ඒ අයගේ අනන්‍ය පැවැතුම් ඇතුව මිත්‍රත්වයන් ගොඩනැඟෙයි. මිත්‍රත්වය ගොඩනැඟෙන්නේ අවබෝධය මත සහ සමාජ පසුබිම්, සිතුම් පැතුම්, ගති පැවැතුම් හා අදහස් මතයි. උපසංස්කෘතිය පිළිබඳ නොයෙක් මතවාද පතුරවමින් ශිෂ්‍ය සංගම් කරන්නේ මේ දේවල් පාවිචිචි කිරීමයි.

අමානුෂික ලෙස කායික, මානසික පීඩාවන්ට ලක් කිරීම පැහැදිලිවම මානව හිමිකමක් කඩ කිරීමකි. මෙය නිදහස් අධ්‍යාපනය වුවත් විශ්වවිද්‍යාල තුළ ඒ නිදහස මේ පිරිස අහිමි කර ඇත. ළමුන් විශ්වවිද්‍යාලවලට විනය සහිත පිරිසක් ලෙස පැමිණිය ද පළමුවැනි වසරේදී ශිෂ්‍ය සංගම්වල දේශපාලනික මෙහෙය වීම නිසා ඔවුන් වෙනස් වෙයි.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාලවලින් නවක වදය තුරන් කිරීමට නම් අපි නිශ්චිත දැක්මක් සමඟ කටයුතු කළ යුතුය. මෙවැනි හිංසනයන් දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදකි. විශ්වවිද්‍යාලයට පිරිස පැමිණෙන්නේ සියලු දෙනාට උපාධියේ ඇති අවශ්‍යතාවය මතයි. මෙවැනි හිංසාකාරී පිළිවෙත් ක්‍රියාත්මක කළහොත් උපාධිය ලබා ගැනීමට ඇති අවස්ථාව නැති වී යන බවට දැනුම්වත් කළ යුතුය. මෙතෙක් ශිෂ්‍ය ව්‍යාපාරවලට ඇති බිය නිසා කිසිවකුට දඬුවම් ලබා දී නොමැත. දේශපාලනඥයන් හිරේ යැවිය යුතු යැයි පවසන පිරිස, විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන මේ ප්‍රචණ්ඩත්වය හෙළා දැකීම පිළිබඳව වෙනත් මතවාදයක් දරයි. ළමුන්ට දඩුවම් නොකරන ලෙස හඬ නඟයි. මෙය මර්දනයක් එසේ නම් දඬුවම් ලැබිය යුතු වරදකි. පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති පනත් අනුව 1998 අංක 20 දරන පනත විශ්වවිද්‍යාල තුළ නවක වදය පිළිබඳ ඇති ඒ පනත අනුව ක්‍රියාත්මක වීමයි. එසේම දණ්ඩ නීති සංග්‍රහයේ ඇති පරිදි පොලිසිය විසින් මේ අයට නඩු පැවරිය යුතුය. අභ්‍යන්තර වශයෙන් විශ්වවිද්‍යාල පරිපාලනමය වශයෙන් විනය ක්‍රියාමාර්ගවලට එළැඹ ඒ අනුව උපරිම දඬුවම් දිය යුතුය.

ලෝකයේ එකිනෙකට සමාන වන සිවිල් සාමාජයක් නැත. තමන්ගේ දේශපාලන සහ පෞද්ගලික වාසි ලබා ගැනීමට අවස්ථානුකූලව ක්‍රියාත්මක වීමක් මෙහිදී දැකගත හැකිය. පාලකයන්ට දොස් නඟන පක්ෂ තමන්ගේ පක්ෂ නඩත්තු කර ගන්නේ විශ්වවිද්‍යාල තුළ ඇති ශිෂ්‍ය ව්‍යාපාර මඟිනි. ඒ නිසා මේ දේශපාලන පක්ෂවල මෙහෙය වීම ඇති තාක්කල් මෙය නැවැත්වීම අපහසුය. මේ දේශපාලන පක්ෂවලින් ශිෂ්‍ය ව්‍යාපාර මෙහෙය වීම නැවැත්වීමට මැදිහත් විය යුතුය. එනම්, අනෙක් දේශපාලන පක්ෂ මෙයට විරුද්ධව ක්‍රියා කළ යුතුය.

මේ ශිෂ්‍ය ව්‍යාපාර මෙහෙය වන පක්ෂ දෙකට මේ රටේ ජනතා බලය හිමි නොවෙයි. ඒ ජනතා බලය 90%ක් පවතින්නේ මේ රටේ ආණ්ඩු සහ විපක්ෂ බලය හිමි අනෙක් පක්ෂ සමඟයි. ඒ පිරිස මේ අයට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුය. මේ වැනි දේ කිසිවකුට අනුමත කළ නොහැකි පොදු කාරණාවක් හෙයින් ඒ වෙනුවෙන් විරෝධය පළ කළ යුතුය. සියලු පාර්ශ්ව මේ වෙනුවෙන් ඒකාබද්ධව වැඩ කළහොත් විශ්වවිද්‍යාල ප්‍රජාව අතර නවක වදය නැවැත් වීමට හැකියාව ඇත.

Comments