
හයර් ගාස්තුව අඩු කරලා ජීවත් වෙන්නේ කොහොමද?
- අනුර රණසිංහ (56) දෙල්ගොඩ, ත්‍රීවීල් රියදුරු
මම ත්‍රීවීල් දුවන්නේ ආයතනයක් හරහා. මීටරයට අය කරන ගාන කොහොමට ගන්න වෙනවා. ඉස්සර පෙට්‍රල් ඩීසල් මිල සාමාන්‍ය මට්ටමක වගේම සීමා රහිතව ගත හැකිවූ නිසා ත්‍රීවීල් කුලියක් අඩුයි. ඒත් පෙට්‍රල් මිල ඉහළ යාම හා කෝටාව අඩු වීම නිසා ගාස්තු හුඟාක් ඉහළ ගියා තමයි. දැන් කෝටාව වැඩි කළත් ප්‍රමාණවත්ව වැඩි කළේ නෑ. ඒ වගේම පෙට්‍රල් මිලත් සැලකිය යුතු විදිහට අඩු කළේ නෑ. අනික ත්‍රිවිලරයක නඩත්තු ගාස්තු අලුත්වැඩියාව අමතර කොටස්වල මිල කොච්චර වැඩි වෙලාද? එවන් පසුබිමක් මත හයර් එක විතරයක් අඩු කරන්නෙ කොහොමද?
ජීවන වියදමට සාපේක්ෂව හැමෝගෙම ආදායම වැඩි විය යුතුයි
- ගීතා බුලත්සිංහල (52) ගුරුවෘත්තිය - බත්තරමුල්ල
තෙල් මිල ලොකු ගාණකින් වැඩි කරලා ටිකක් අඩු කළාට ත්‍රීවීල් ගාස්තු අඩු කළේ නැහැ. ඉන්ධන කෝටාවත් සීමා කරලා තිබිලා දැන් ටිකක් වැඩි කළා. ඒත් ත්‍රීවීල් ගාස්තු අඩු වෙලා නැහැ. දින කීපයක් ත්‍රීවීල්වල වැඩට ගියොත් රුපියල් දාස් ගණන් ගෙවන්න වෙනවා. ත්‍රීවීල් රියදුරන්ගේ පැත්තෙන් එයාලට කරන්න දේකුත් නැහැ. එයාලත් රැකියාවක් කරන්නේ. අනිත් අතින් බලද්දි දැන් ජීවන වියදමට සාපේක්ෂව හැමෝගෙම ආදායම් වැඩිවෙලා නැති එක තමා ගැටලුව. මෑත භාගයේදී සියල්ලම එකවර මිල ඉහළ ගිය නිසා සාමාන්‍ය ජනතාවට ජීවත්වීම අපහසුයි.
කෝටා එක වැඩි කළත් හිතුමනාපේ ගාස්තු වැඩි කරනවා
- වාසනා බාලසුරිය (38) හෝමාගම - රංගන ශිල්පිණී
අපි එදිනෙදා වැඩ කටයුතුවලට ත්‍රීවීල්, ටැක්සි කාර් ප්‍රවාහන මාධ්‍යය විදිහට යොදා ගන්නවා. ඉන්ධන කෝටාව වැඩි කරලා තියෙද්දිත් දවසක් මට ඇහුණා ත්‍රීවීල් රියදුරන් දෙදෙනෙක්ගේ දෙබසක්. එක්කෙනෙක් ඇහුවා අනිත් කෙනාගෙන් කිලෝමීටරයට කීයක්ද ගන්නේ කියලා. එයා 100ක් කීවාම අනිත් කෙනා කීවා මම නම් රුපියල් 120 අඩුව ගන්නෙ නෑ කියලා. මම කිවුවා එහෙම හිතු මනාපේ ගන්න එක අසාධාරණයි කියලා. එතකොට කියනවා කඩවල බඩුත් අඩු ගාණට දෙන්නෙ නෑනෙ කියලා. සම්මත ත්‍රීවීල් ගාස්තුවක් අය කළ යුතුනේ. මේ හැම දෙයක්ම සාධාරණව නියාමනය කිරීමේ ක්‍රමවේදයක් උවමනා වෙනවා.
සියලු දේ ගණන් නිසා කුලිය අඩු කරන්නේ කොහොමද?
- මොහොමඩ් සාජිත් (32) ත්‍රීවීල් රියදුරු - දෙමටගොඩ - මරදාන පාර
ඉන්ධන මිල හා කෝටාව ඉහළ පහළ ගියාට ගාස්තුව විශාල ලෙස පහළ දාන්න බැරි අනෙකුත් සියලු දේම මිල ඉහළ ගිහින් නිසයි. හැම දෙයක්ම දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වීමක් නැහැනේ. එතකොට කොහොමද ත්‍රීවීල් කුලිය විතරක් අඩු කරන්නේ. අපි ජීවත් වෙන්නෙත් මේවායෙන් ලැබෙන ආදායමෙන්නේ. වර්තමානයේ උද්ගත වෙලා තියෙන මේ තත්ත්වය කාටත් ගැටලුවක් තමයි. අඩු ගානේ ප්ලේන්ටියක මිල කී ගුණයකින් වැඩි වෙලාද? වෙළෙන්දෝ බඩු විකුණන්නේ හිතු මනාප ගණන්වලට. ඒත් අපිට විතරක් කියනවා ත්‍රීවීල් හයර් එක අඩු නෑනේ කියලා. අනිත් දේවලට සාපේක්ෂව අපිත් ලාබයක් තියා ගන්නේ.
දේශපාලනඥයන්ගේ වැටුප් හා දීමනා අඩු කළොත් සියලු ප්‍රශ්න විසඳෙනවා
- ටී.එම්. තාජුඩීන් මොහොමඩ් නිලාම් (56) ඩීන්ස් පාර - මරදාන
අපි කාටවත් අතපාන්නේ නැතුව අපේම කියලා ස්වයං රැකියාවක් ලෙස ත්‍රීවීල් රස්සාව කරන්නේ අනිත් අයට සේවයකුත් සිදු වෙනවා. එකපාරටම ත්‍රීවීල්වලට දෙන ඉන්ධනත් සීමා කළා ලීටර් 4න් මොන කරන්නද? ඊට පස්සේ ඉන්ධන ප්‍රමාණය වැඩි කලා කියනවා. ඒත් අනිත් අමතර කොටස් හා අලුත් වැඩියා ගාස්තු අඩු කරලා නෑ. අනික ඒ පෙට්ට්‍රල් ප්‍රමාණයත් අපිට සතියකට දුවන්න මදි. පෙට්‍රල් ගාණ අහස උසට වැඩි කරනවා. පොඩි ගාණකින් අඩු කරනවා. අපිට කියනවා ගාස්තු අඩු කරන්නලු. ලොක්කෝ සේරම සැප විඳින්නෙ දුප්පත් අපේ සල්ලිවලින්. තැළෙන යකඩෙම තළ තළා අසරණයන් පෙළන මේ ඇති හැකි අයට මේ අසාධාරණකම්වලට නම් පරලෝකේදි හරි විඳවන්න වෙනවා.
ත්‍රීවීල් කුලිය විතරක් නෙමේ හැම දේකම මිල ඉහළ ගිහින්
- ශිරෝමි නයනා (49) ඩාලිපාර බෝගහවත්ත - ගෘහණියක්
සැමියාගේ රැකියාවෙන් තමයි පවුලක් නඩත්තු කරන්නේ. දරුවන් පාසල් යවන්නේ. මේ වෙද්දි සියලුම දේවල මිල දෙතුන් ගුණයකින් වැඩි වෙලා. අඩුවට කියලා කිසිම දෙයක් ගන්න නෑ.
සාමාන්‍ය ජනතාව පුදුම තරම් පීඩාවට පත් වෙලා තියෙන්නේ. ස්ථීර ආදායමක් තියන හා දේශපාලනඥයන්ට නම් ගැටලුවක් නෑ. මාසිකව වැටුපක් ලැබෙන නිසා අනිත් අය සාමාන්‍ය වැටුපකට සීමා වෙලා ඉද්දි, ත්‍රීිවීල් කුලිය විතරක් නෙමේ මේ හැම දේකම මිල ඉහළ යද්දි කොහොමද ජීවත්වෙන්නේ.