නීති විභාග ඉංග්‍රීසියෙන් විතරක් මොකද? | Page 3 | සිළුමිණ

නීති විභාග ඉංග්‍රීසියෙන් විතරක් මොකද?

වාර්ගික ප්‍රශ්නයක් ලෙස පෙන්වූ ත්‍රස්තවාදී යුද්ධය නිසා අපි අවුරුදු 30ක් තිස්සේ දුක් වින්දෙමු. ඇත්තෙන්ම භාෂා ප්‍රශ්නයක් අප අතර නොවීය. කෙසේ හෝ වේවා අද වන විට සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට රාජ්‍ය භාෂාව ලෙස සිංහල හා දෙමළ භාෂාවන් සැලකේ. 

සිංහල මවු භාෂාව වන සිසුන්ට සිංහල භාෂාවෙනුත් දෙමළ මවු භාෂාව වන සිසුන්ට දෙමළ භාෂාවෙනුත් අධ්‍යාපනය ලද හැකි විය. එමෙන්ම සම්බන්ධීකරණ භාෂාවක් මෙන්ම අන්තර්ජාතික භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව අප භාවිත කළද එය දෙවන බස ලෙස සැලකෙන්නේ අනිවාර්ය වන මවු භාෂාව පුමුඛතාව ලෙස සලකාය.

මෙරට සරසවි අධ්‍යාපනයේදී ද මේ ලෙසින් තම මවු භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට සිසු දරුවන්ට අයිතිය හිමි වේ. එහෙත් නීතිඥ වෘත්තියට අදාළ සිසුන් තෝරා ගැනීමේ පරීක්ෂණයේ අවසන් වසර විභාගයට පෙනී සිටීම සඳහා ඉංග්‍රීසි මාධ්‍ය පමණක් යොදා ගැනීමට අදාළව ගැසට් නිවේදනයක් මීට කලකට පෙර නිකුත් කර තිබුණි.

ඒ අනුව 2024 වසරේ සිට අවසන් වසර විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු යැයි එම ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ පහත පරිදිය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පවත්වනු ලබන සියලු පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලැබිය යුතුය. (2) විභාග පිළිබඳ අනිවාර්ය මාධ්‍ය ඉංග්‍රීසි විය යුතු අතර එය පහත දැක්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබිය යුතුය. (අ) 2022 වර්ෂයෙන් ආරම්භව, පළමු වසර - අවම වශයෙන් විෂයයන් තුනකට ඉංග්‍රීසි මාධ්‍යයයෙන් පිළිතුරු සැපයිය යුතුය (ආ) 2023 වර්ෂයෙන් ආරම්භව, දෙවැනි වසර - අවම වශයෙන් විෂයයන් පහකට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු සැපයිය යුතුය. (ඇ) 2024 වර්ෂයෙන් ආරම්භව, අවසන් වසර - සියලු විෂයයන් සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු සැපයිය යුතුය.’ යනුවෙනි.

නීති උපාධියේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා මෙවැනි තීරණයකට එළඹ ඇතැයි වාර්තා විය. නීති විද්‍යාලයට ඇතුළත් වීමට වසරකට අයැදුම්පත් 2000ක් පමණ ලැබෙන අතර බඳවා ගැනීමේ පරීක්ෂණයෙන් වරකට ඇතුළත් කර ගැනෙන්නේ සිසුන් 250ක් පමණ සංඛ්‍යාවකි. එහිදී ප්‍රථම, මධ්‍යම සහ අවසාන යනුවෙන් එහිදී විභාග තුනක් පැවැත්වේ. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම එම විභාගයන්ට මුහුණ දීමට හැකි ය. එහෙත් ගැසට්ටුවට අනුව වසර 2024 වන විට සියලු සිසුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් විභාගවලට පිළිතුරු සැපයිය යුතුය.

ඒ සම්බන්ධයෙන් මෑතක සිට සමාජ කතිකාවක් බිහි විය. නීතිය පිළිබඳ බොහෝ පත පොත ලියැවී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. මෙරට ඉහළම අධිකරණයන් වන ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ කටයුතු බොහෝ දුරට සිදු කෙරෙන්නේද ඉංග්‍රීසි භාෂාවෙනි. ලෝකයේ නවීන නීති තොරතුරු අන්තර්ජාලයට එක් වන්නේද ඉංග්‍රීසි භාෂාවෙනි. නීති විද්‍යාලය තුළ ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලද්දේද බොහෝ කාලයකට පෙර සිටය. දේශනද ඉංග්‍රීසියෙන් පැවැත්වුණි. එහෙත් සිසුන්ට විභාගවලදී සිංහලෙන්, දෙමළෙන් හෝ ඉංග්‍රීසියෙන් පිළිතුරු ලිවීමේ අවස්ථාව හිමි විය. එම නිසා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් 2024 වසරේ සිට අධ්‍යයන කටයුතු සිදු කිරීම බැලූ බැල්මට සුදුසු ක්‍රියාදාමයක් බව වටහා ගත හැකිය. එහි ගුණාත්මක බව එයින් ඉහළ නැංවෙන බවටද තර්ක කළ හැකිය.

2024 වසරේ සිට අවසන් නීති විභාගයට පිළිතුරු සැපයීම අනිවාර්යයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කළ යුතු බවට වන මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතිකාවක් නිර්මාණය වී ඇති නිසා අපි ඒ සම්බන්ධයෙන් නීති විශාරදයන්ගෙන් මෙන්ම සමාජයේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති සමාජය පිළිගත් මත දරන්නන්ගෙන් කරුණු විමසුවෙමු.

ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් නීති විභාගයට පිළිතුරු සැපයීම අනිවාර්යය කිරීම තුළින් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයන්ට පමණක් විශේෂ වාසියක් සැලසෙන බවයි. 

‘‘මේ ක්‍රියාවලියෙන් වෙන්නේ කොළඹ ඇතුළු නාගරික ජාත්‍යන්තර පාසල් හා සුපිරි යැයි සැලකෙන පහසුකම් සපිරි පාසල්වල අධ්‍යාපනය ලබන අයට වැඩි වාසියක් සැලසීමයි. ඒ වගේම ඉංග්‍රීසි භාවිත කරන කොළඹ නගරයේ ජීවත් වන එක්තරා සුපිරි පිරිසකට නීතිඥ වෘත්තිය සීමාවීමක් වෙන්න පුළුවන්.

නීතිඥ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදීම කිසිදු ගැටලුවක් නැහැ. මොකද නීතිඥයකුට ලියකියවිල්ලක් ඉංග්‍රීසි භාෂාවෙන් කියවා තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුයි. එහෙත් පිළිතුරු සැපයීම මවු භාෂාවෙන් සිදු කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි.

නඩු තීන්දු ලියන්නේ ඉංග්‍රීසියෙන් වුවත් අධිකරණයේ කටයුතු සිංහල හෝ දෙමළ භාෂාවෙන් සිදු කරනවා. එතැන යම් ගැටලුවක් තියෙනවා. ඒ සඳහා ක්‍රමයෙන් සකස් වෙන විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ඒ වෙනුවෙන් ක්‍රමයෙන් භාෂා වර්ධනයක් ඇති කර තව අවුරුදු ගාණක් ගිහිල්ල මේ ක්‍රමය ක්‍රියාවට නැංවූවා නම් එතැන යම් සාධාරණයක් තියෙනවා.”

දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසුවේ මේ හරහා තවත් අර්බුදයක් නිර්මාණය වන බවයි.

‘‘1956 අවුරුද්දෙ සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරල අපි ඇන ගත්තනේ. ඒ වැරැද්දෙ ආදීනව අපි දැන් දන්නවනෙ. මේ කරන්න හදන්නෙ ඒකෙ දෙවැනි කොටසද? අනිවාර්යෙන්ම නීතිඥ විභාගය මවු භාෂාවෙන් ලියන්න දෙන්නම ඕන. එහෙම නොකළොත් එතැන මිනිසුන්ගේ මානව අයිතීන් පවා උල්ලංඝනය වීමක් වෙනවා.

ඉංග්‍රීසියෙන් ලියන එක අනිවාර්ය කළොත් කොළඹ ඉන්න සුපිරි පෙළැන්තියේ අයට වැඩි වාසියක් සැලසෙනවා. එතකොට ගමේ ඉන්න අයට මොකද වෙන්නෙ, අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, කිළිනොච්චි, මන්නාරමේ අයට මොකද වෙන්නෙ. කොළඹ ඉන්න ගෙදරත් ඉංග්‍රීසි කතා කරන අය තමන්ගෙ ළමයි යුරෝපෙට යවල හරි උගන්වයි. එයාලට ගෙදරත් ඉංග්‍රීසි අධ්‍යාපනය තියෙනවා. එතකොට සාමාන්‍ය පෙළවත් නැති ගමේ ඉන්න අප්පුහාමිගෙ, තිරුහරන්ගෙ, ළමයින්ට මොකද වෙන්නෙ. මම මේ ගැන පාර්ලිමේන්තුවෙත් කතා කළා. විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාට පැහැදිලි කළා. එතුමා පොරොන්දු වුණා ඒක අනිවාර්ය කරන්නෙ නෑ කියලා”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් පැවසුවේ නීතිඥ විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීම තුළින් නිදහස් අධ්‍යාපනයේ මූලික ප්‍රතිපත්තිය කඩ වී යන බවයි. 

‘සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහත්තය නිදහස් අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළේ ඇයි කියන එක අපි ගැඹුරින් අවධානය යොමු කර බැලිය යුතු වෙනවා. ඉස්සර තිබුණු අධ්‍යාපන ක්‍රමය තුළ සිංහල ඉංග්‍රීසි දෙකේම ප්‍රවීණයො හිටියා. ඒත් අද අධ්‍යාපන ක්‍රමවේදය අනුව ඉංග්‍රීසියෙන් පමණක් විභාගයක් අනිවාර්ය කිරීම තුළින් මධ්‍යම පන්තියේ හා සාමාන්‍ය ජනතාවගේ වරප්‍රසාද කඩවීමක් වෙනවා. මෙහිදී නීතිඥ විභාගය මෙරට මවු භාෂාවෙන් හා ඉංග්‍රීසි යන දෙයාකාරයෙන් මේ දක්වා පැවැති ආකාරයෙන්ම පැවැත්වීම කළ යුතුයි. එමෙන්ම අවශ්‍ය නම් මවු භාෂාවෙන් විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට ඉංග්‍රීසි ප්‍රවීණතා විභාගයක් තැබීම සුදුසුයි. එවිට එම ප්‍රවීණතා විභාගයට දූ දරුවන් කොහොම හරි මුහුණ දෙනවා.

නමුත් අද මේ කරන්න යන්නෙ බමුණු කුලය ඉස්මතු කිරීමක්. ඉංග්‍රීසි භාෂාවම පමණක් මේ සඳහා යොදා ගැනීම අප කළ යුතුමද? ජපානය, කොරියාව, චීනය වගේ රටවල් සියලු විභාග පවත්වන්නේ තමන්ගේ මවු භාෂාවෙන් පමණයි. ඒ රටවල් අද කොයිතරම් දියුණුයිද? අපට හිතා ගන්නවත් බැරිතරම් ආර්ථික ශක්තියක් ඒ රටවලට තියෙන්නෙ. බටහිර ගැති මානසිකත්වයක් ඒ අයට නැහැ. ඉංග්‍රීසි අධ්‍යාපනය නැහැ කියලා ඒ රටවල් පස්සට ගිහිල්ලත් නැහැ. ඉංග්‍රීසි අවශ්‍යමයි කියන මිථ්‍යාව නිසා තමයි අපි තවමත් අඳුරේ යන්නෙ. ඉංග්‍රීසි අන්තර්ජාතික සම්බන්ධීකරණ භාෂාවක් වශයෙන් වැදගත්. එය අප පිළිගත යුතුයි. එහෙත් එයට අප ගැති විය යුතු නැහැ. ජාතියේ අනාගතය දෙස බලා තීරණ ගත යුතුයි. අවුරුදු 2500ක් අපේ තිබුණු සංස්කෘතිය ගැන ආපස්සට හැරිලා බලන්න ඕන.” 

සාහිත්‍යවේදී ආචාර්ය ගුණදාස අමරසේකරයන් පැවසුවේද ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් මෙම පරීක්ෂණය පැවැත්වීම තුළින් සමාජ අසාධාරණයක් නිර්මාණය වන බවයි.

‘‘මේකට හොඳම දේ භාෂා දෙකම ප්‍රගුණ කරවන එක. ඉංග්‍රීසි භාෂාවෙන් වගේම සිංහල භාෂාවෙන් නීතිය හදාරන, හදාරපු අයත් ඉන්නවා. ඇතැම් කරුණු සිංහල භාෂාවෙන් හැසිරවීම අපහසු වන්න පුළුළුන්. එවිට භාෂා දෙකෙන්ම අවශ්‍ය පරිදි කටයුතු කිරීමයි වැදගත් වෙන්නෙ.

අපේ රටේ වැරැද්ද තමයි අපි ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ නොකිරීම. අතීතයේ සංස්කෘත වගේ විශ්ව භාෂාවන් අපි අධ්‍යයනය කළා. ඒත් අද ඉංග්‍රීසි අපි භාෂාවක් වශයෙන් හදාරන්නේ නැහැ. ඒක තව පාසල් විෂයක් විතරයි. නීතිඥවරු අතරත් ඉංග්‍රීසි ඌණතා තියෙන නීතිඥවරුන් ඉන්නවා. හොඳම දේ ද්විභාෂාවෙන් කටයුතු කිරීමයි.”

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායකගෙන් අදහස් විමසීමට අවස්ථා දෙකකදී උත්සාහ කළ අතර, ඔහුගේ පෞද්ගලික සහකාරවරිය පැවසුවේ විදුහල්පතිවරයා අදහස් නොදක්වනු ඇති බවයි.

මේ ගැටලුව තවමත් සමාජයේ එහාට මෙහාට දෝලනය වෙමින් ඇති, සමාජයේ ඉහළ තලයේ වැඩි අවධානයක් යොමුව ඇති ප්‍රශ්නයකි. අවුරුදු ගණනාවක් තිස්සේ මවුභාෂාවෙන් නීතිඥ විභාගයට පිළිතුර සැපයූ මවු භාෂාවෙන් පිළිතුරු ලියන අයට කුමක් වේද? අන්තර්ජාතික භාෂාව පමණක් යොදා ගැනීම කළ යුතුමද? පිළිතුර ලැබෙන තෙක් අපි ද බලා සිටිමු.

Comments