
අම්පාර අධ්‍යාපන කලාපයට අයත් ඉඟිනියාගල පොල්වත්ත ජාතික පාසලින් ඇසෙන්නේ අමුතුම කතාවකි. සිසුන් 1,050ක් පමණ සිටින මේ ජාතික පාසල දිවා රෑ නොනිදන පාසලකි. උදෑසන 7.30 වන විට අකුරු කරන්නට පාසලට පැමිණෙන දරුවෝ පාසල් වැඩ හමාර කරන්නේ මහ රෑ දෙගොඩ හරියේය. පාසලේ ගුරු, විදුහල්පති පමණක් නොව දරුවෝ ද මවුපියෝ සමඟින් ද පාන්දර වන තෙක් අකුරු කරන්නට හරි හරියට අනුගත වී සිටිති. ඔවුනට ඇත්තේ එක් අරමුණක් පමණි.
2022 උසස් පෙළ විභාගයට තව ඇත්තේ මාස කිහිපයක් පමණි. 2023 ජනවාරි 23 වැනිදා උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවෝ මේ වන විට ඊට සුදානම් වෙති. පොල්වත්ත පාසලේ දරුවෝ ද රැය නොනිදා පාසලේ ගත කරන්නේ විභාගය ඉහළින්ම සමත් වීමේ ඒකායන අරමුණ ඇතිවය.
එච්. එම් සිසිර කුමාර මේ පාසලේ නව විදුහල්පතිවරයාය. මේ අලුත් ආරම්භයට මුල පිරුවේ ඔහුය. මීට වසර දෙකකට පෙර ඔහු පාසලට පැමිණෙද්දීත් පාසලේ අඩුපාඩු බොහෝමයක් විය. සිසුන් තුළ ඉගෙනීම කෙරෙහි පැවැති අඩු උනන්දුව ඒ අතර ප්‍රධාන විය. පාසල් පරිසරය තරමක් කලහකාරි විය. සිසුන් පාසලට පැමිණීමේ පිටවීමේ කිසිදු සැලැස්මක් නොවීය. එහෙත් ගුරු භවතුන්ට සියල්ලෝම දරුවෝය. දරුවෝ නිවැරැදි මාවතකට ගෙන විභාගය ඉහළින් සමත් කරවීමට කළ හැකි සියලු දේ ගැන ඔවුහු දිවා රෑ කල්පනා කළහ. වෙනසක් කරන්නට නොව වෙනසක් අත්විඳින්නට විදුහල්පතිවරයා සමඟ පාසලේ සිටින 41ක් පමණ වන ගුරු මඬුල්ල අත්වැල් බැඳ ගත්තේ සිය කාලය, ශ්‍රමය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැප කරමිනි.
අම්පාර නගරයේ සිට කිලෝ මීටර් 15ක් පමණ දුරින් පොල්වත්ත ජාතික පාසල පිහිටිය ද, මේ ජාතික පාසල පළාතේ සිසුන් අතර කැපී පෙනෙන්නට වූයේ උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය ධාරාව ඉතා හොඳින් මේ පාසලේ ක්‍රියාත්මක වූ හෙයිනි. ඒ නිසා පාසලට ආසන්න දරුවෝ පමණක් නොව ඈත දුරින් පැමිණෙන දරුවෝ ද දුෂ්කරතා නොබලා මේ පාසලට ආවේ ඒ අරමුණිනි. ඒ අනුව ලබන වසරේ පැවැත් වෙන උසස් පෙළ විභාගයට තාක්ෂණ විද්‍යා විෂය ධාරාවෙන් සිසුන් 80ක්, කලා විෂය ධාරාවෙන් සිසුන් 38ක් සහ වාණිජ විෂය ධාරාවෙන් සිසුන් 16ක් පෙනී සිටීමට නියමිතය.
“අපේ පාසලේ පාන්දර 1 වෙනකම් අධ්‍යාපන කටයුතු කරන්නේ මෙවර උසස් පෙළට පෙනී සිටින දරුවෝ වෙනුවෙන්. මුලින්ම තාක්ෂණ විෂය ධාරාවේ සිසුන්ගෙන් තමයි මේ කටයුත්තට ආරම්භය ගත්තේ. පාසල අවසන්වීමෙන් පසු දහවල් ගෙදර යන සිසුන් රාත්‍රී 7 ට විතර රෑ කෑම එකත්, පසුවදා පාසල් නිල ඇඳුම් හා පොත් අරගෙන නැවත පාසලට එන්නේ පාන්දර වෙනකම් ඉගෙන ගන්නයි. ඊට විෂය භාර ගුරුවරු පවා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. පාසලට ආසන්නව පදිංචි වෙලා ඉන්න දරුවෝ 30කට ආසන්න සංඛ්‍යාවක් දිනපතා මේ විදියට රාත්‍රියේ ඉගෙන ගන්න එනවා. දුර ළමයින්ට ඒමට ටිකක් අපහසුයි. රාත්‍රී 7 ට විතර පුනරීක්ෂණ වැඩසටහන් ආරම්භ කරනවා. ගුරුවරු බෙදාගෙන ඒ ඒ දවසේ පාඩම් පාන්දර එක වෙනකම් කරගෙන යනවා. රාත්‍රී 10ට පමණ මේ අය ගෙදරින් ගෙනා රාත්‍රී ආහාර ගන්නවා. රාත්‍රී 12ට පමණ ගුරුවරු හා මවුපියන් එකතු වී සුළු ආහාරයක් සමඟ තේ එකක් ලබා දෙනවා. යළිත් පාන්දර එක වෙනකම් පාඩම් කර දරුවෝ නිදාගන්න යනවා....” ඒ විදුහල්පති එච්. එම් සිසිර කුමාරය.
පාන්දර එකට පාසල නිම වුවද මේ දරුවන්ට ගෙදර යන්නට නොහැකිය. ගැහැනු දරුවන්ට රාත්‍රිය ගත කරන්නට විදුහල්පති නිල නිවෙස ලබා දෙයි. සිය බිරිය ගයානි සමදරා කුමාරි බක්මීවැව සමඟ විදුහල්පතිවරයා දිවා රෑ ආරක්ෂාව සපයමින් දරුවන්ට රාත්‍රී නවාතැන් පමණක් නොව ආහාරපාන ද ලබා දෙයි. පිරිමි දරුවන්ට නවාතැන් දෙන්නේ වයි. ජී. චන්ද්‍රලතා ගුරුතුමියයි. අංගසම්පූර්ණ පාසලක් වුවද මේ පාසලේ ගුරු නිවාසය අබලන් වී ගොස්ය. ගුරු නිවාසය හොඳින් තිබුණේ නම් දුර බැහැරින් එන දරුවන්ට ද එහි නවාතැන් ගෙන රාත්‍රී පාසලට එක්වන්නට අවස්ථාව පවතින බව විදුහල්පතිතුමාගේ අදහසයි. මේ වන විට රාත්‍රී පාසලේ අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යෑම සඳහා ගරා වැටුණු ගුරු නිවාසය ශිෂ්‍ය නේවාසිකාගාරයක් ලෙස අලුත්වැඩියා කිරීම ආරම්භ කර ඇත්තේ මවුපියන්ගේ සහයෝගය ඇතිවය.
තොරතුරු තාක්ෂණ ගුරුවරුන් වන ඩබ්ලිව්.පී. ලුක්ෂාන්, ගගින් විතානගේ, ධනුක ජයවර්ධන රාත්‍රියේදී දරුවන්ගේ මනසට ධාරණය කරන්නට අසීමිත කැප කිරීමක් කරන්නේය. ඔවුන් සතියේ දින පහ බෙදා ගනිමින් සිය කාලය කැප කරන්නේ ස්වේච්ඡාවෙනි. පොල්වත්ත ජාතික පාසලේ ගුරු සිසුන්ගේ මේ කැප කිරීම දිගින් දිගටම පවත්වා ගැනීම විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ අරමුණ වී ඇත්තේය. මේ වන විට තාක්ෂණ විෂය ධාරා සිසුන් පමණක් නොව කලා විෂය ධාරා සිසුන් ද සිය පාඩම් වැඩකටයුතු මේ ආකාරයෙන් ආරම්භ කර ඇත්තේ එහි සාර්ථක්තවය සිසුහු දිනෙන් දින අත්දකින නිසාය.
“අපේ විදුහල්පතිතුමා අපි ඉගෙන ගන්න රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. දැන් අපි පාඩම් වැඩකටයුතු හොඳින් කරගෙන යනවා. අපි කණ්ඩායමක් හැටියට පාඩම් කරන්න පුරුදු වුණා. බැරි දෙයක් තිබ්බොත් අපිම අපේ ගුරුවරුන්ගෙන් ඒවා නිරාකරණය කර ගන්නවා. .....” පොල්වත්ත ජාතික පාසලේ සිසුහු ආඩම්බරයෙන් එසේ පවසති. මේ නව ක්‍රමවේදය නිසා සිසුන්ට ආත්ම විශ්වාසය ද ඉහළ නැංවී ඇති බව ඒවදන්වලින් හෙළිවේ.
ඡායාරූප- දිඟාමඩුල්ල විශේෂ ඩබ්.චන්ද්‍රපාල