මතක ශක්තිය වැඩි කරන ඥාන පූජාව නිවෙසේදීම පවත් වන අයුරු | සිළුමිණ

මතක ශක්තිය වැඩි කරන ඥාන පූජාව නිවෙසේදීම පවත් වන අයුරු

 

විභාගවලට සූදානම් වන දරුවන් සඳහා විශේෂයි

වාරියපොල කොළඹගම

ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී, ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

 

සිප් සතර හදාරන දූ පුතුන්ගේ ධාරණ ශක්තිය සහ චිත්ත ශක්තිය වර්ධනය කරවන තෙසැත්තෑ ඥාන පූජාව පවත්වා ඉන් උපරිම ඵල නෙළා ගන්නා ආකාරය පිළිබඳ මෙවර ගරු ස්වාමීන් වහන්සේ අදහස් දක්වති.

 

“තිලොවට තිලක වූ මහා කාරුණික වූ අමා මෑණී අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ධර්මාවබෝධයට පත්ව බුද්ධත්වයට පත්වීම සඳහා ඉවහල් වූ තෙසැත්තෑ ඥාන ඇතුළත් තෙසැත්තෑ ඥාන පූජාව අප සෑම වසරකම විභාගවලට පෙනී සිටින දූ පුතුන් වෙනුවෙන් වරින් වර අප විහාරස්ථ ඓතිහාසික බෝධිරාජයාණන් වහන්සේ අබියසදී පවත්වනවා. එම පූජාවන්ට ශ්‍රී ලංකාව පුරා දහස් සංඛ්‍යාත දූ පුතුන් සහභාගි වෙනවා. එම පූජාවට සහභාගි වූ දූ පුතුන් ඉන් ලැබූ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමිනුයි එම පූජාව අප වරින් වර පවත්වන්නේ. මෙම පූජාව අපේ විහාරස්ථානයේදී මෙන්ම තමන්ගෙ ගමේ පන්සලේ එහෙමත් නැත්නම් තම නිවෙසේදී ද පවත්වන්න පුළුවන්. තෙසැත්තෑ ඥාන පූජාවට අදාළ ගාථා රත්නයන් පිරිත් පොත්වල ඉතා නිවැරදිව සඳහන් වෙනවා. ඒ නිසා එම ගාථාවන් මෙහි පළ කරන්නේ නැහැ. මෙම පූජාව විහාරස්ථානයක හෝ තම නිවෙසේදී පැවැත්වීමෙන් අනතුරුව කළ යුතු වත් පිළිවෙත් මෙහි සඳහන් කරනවා.

ප්‍රථමයෙන් බුදු පහන තබන ස්ථානයේ මල් පහන් සුවඳ දුම් සහ පැන් තැන්පත් කරන්න.

තිසරණ සහිත පංච ශීලය සමාදන් වී එම පූජාවන් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයට පූජා කරන්න.

දේවාරාධනා ගාථාවෙන් දෙවියන්ට ආරාධනය කර මෙම තෙසැත්තෑ ඥාන පූජාවට අදාළ ගාථා නිවැරදිව උච්චාරණය කරමින් එක් වරක් කියන්න. ඉන් පසු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.

දැන් කලින් සූදානම් කරගත් හොඳින් සෝදා පිරිසුදු කර ගත් කාසි දෙකක් අලුත් නිල් සහ රතු රෙදි කැබලි දෙකක දවටා විභාගයට පෙනී සිටින දරුවා හෝ දරුවන් ලවා බුදු පහන තබන ස්ථානයේ තැන්පත් කරන්න.

ඉන්පසු ශ්‍රී විෂ්ණු කතරගම යන දෙවියන් ප්‍රධාන කොටගත් පත්තිනි ගණ සරස්වතී ගම්බාර යන දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු සමස්ත දේව සමූහයා ඉතා ගෞරවයෙන් යුක්තව සිහිපත් කර එම දේව සමූහයාගේ ඇල්ම බැල්ම, ආකර්ෂණය, පිහිට ආරක්ෂාව ලබා දෙන ලෙසත් තම දරුවාගේ ධාරණ ශක්තිය චිත්ත ශක්තිය ආත්ම ශක්තිය වර්ධනය කර දෙන ලෙසත් ප්‍රාර්ථනය කරන්න.

එම පඬුරු දෙක බුදු පහන තබන ස්ථානයේම තිබෙන්නට හැර උදේ හවස බුදුන් වඳින අවස්ථාවලදී එම ප්‍රාර්ථනය කරන්න.

මෙසේ දිගින් දිගටම මෙම ප්‍රාර්ථනය කරමින් සිටින අතරවාරයේදී ඔබට විවේකයක් ලැබෙන අවස්ථාවලදී තෙසැත්තෑ ඥාන පූජා ගාථා සජ්ඣායනා කරන්න.

විභාගයට පෙනී සිටීමට පෙර දිනයේදී පුරුදු ලෙසම බුදු පහන දල්වා බුදුන් වැඳ එතෙක් තැන්පත් කර තිබූ පඬුරු දෙක ගෙන දරුවා නිදා ගන්නා කොට්ටය මත දරුවාගේ හිසට ස්පර්ශ වන ලෙස තබන්න.

පසු දින එනම්, විභාගයට පෙනී සිටින දින උදෑසන බුදු පහන දල්වා එම ස්ථානයේ මෙම පඬුරු දෙක නැවත තැන්පත් කර දිගින් දිගට කළ ප්‍රාර්ථනය නැවත කරන්න.

එතැන් සිට විභාගය අවසන් වනතුරු දිනපතා දවසේ පහසු වේලාවක තම දරුවා වෙනුවෙන් නිවෙසේ බුදු පහන තබන ස්ථානයේ මෙම පූජාව පවත් වන්න. දරුවා විභාගයට පෙනී සිටීමට පිටත්ව යන සෑම දවසකම පිටත්ව යන මොහොතේ මෙම ප්‍රාර්ථනය සිදු කරන්න. විභාගය ආසන්නයේ අප විහාරස්ථානයේදී මෙම පූජාව දින කිහිපයක් වරින් වර පැවැත්වෙන අතර ඒ සඳහා පින්වත් ඔබට සහ ඔබ දරුවන්ට සහභාගි විය හැකි බව ද මතක් කර සිටිනවා.

සකස් කළේ, සුනිල් පොරමඬල

---------------------------

නමින් හෙළි වන ඔබේ චරිතය

නාම අංකය හෙවත් ප්‍රකාශන අංකය හෙළි කරන රහස්

ඒ. ජේ. දීපාලෝක

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, පාඨශාලාචාර්ය

ඉසිවර සහන ජ්‍යොතිෂ්‍යය සේවය

 

පුද්ගලයකුගේ උපන් දිනයෙන් සොයා ගන්නා ජන්ම අංකය සහ පුද්ගලයකුගේ උපන් දිනයේ සම්පූර්ණ එකතුවෙන් සොයා ගන්නා දෛව අංකය අනුව එම පුද්ගලයාගේ චරිත ලක්ෂණ සහ පලාපල පිළිබඳ ඉකුත් සති කිහිපය පුරා අපි ඔබ දැනුම්වත් කළෙමු.

උපන් දිනය අනුව මෙන්ම යම් පුද්ගලයකු භාවිත කරන නමෙන් ද ඔහු පිළිබඳ පලාපල කීමට හැකියාව ඇත. මෙය පුද්ගලයකුගේ නාම අංකය මෙන්ම ප්‍රකාශන අංකය වශයෙන් ද හඳුන්වනු ලබයි.

පුද්ගලයකුගේ නම යනු ඔහුටම ආවේණික සැඟවුණු ලක්ෂණ අනාවරණය කරගත හැකි කැඩපතක් බඳුය. මේ ලෝකයේ ඕනෑම දෙයක් හඳුනා ගැනීමට නමක් භාවිත කරන අතර පුද්ගලයකුට එම නම ඇසු පමණින් එය තමන්ගෙ මනස තුළ මැවී පෙනේ. එමෙන්ම නමක් යනු යම් දෙයක් හඳුනා ගැනීමට යොදා ගන්නා ශබ්ද සංකේතයකි. ඒ වගේම එම ශබ්ද සංකේත හඳුනා ගැනීම සඳහා ලෝකයේ විවිධ භාෂාවලට අනුව අක්ෂර යොදනු ලබයි. කුමන අක්ෂරවලින් ලිවුවත් යම් නමක ශබ්ද සංකේතය වෙනස් වන්නේ නැත. ශබ්දය එක හා සමානය. උදාහරණයක් ලෙස පුද්ගලයකුගේ නමක් කුමන භාෂාවකින් ලිව්වත් එය උච්චාරණය කරන්නේ එකම ශබ්දයකිනි.

පුද්ගලයකුගේ නමක් තුළ මන්ත්‍රයක හා සමාන බලයක් ඇත. සිය දහසක් දෙනා එකම නමකින් පුද්ගලයකු ආමන්ත්‍රණය කිරීමේදී ඒ සියලු ශබ්ද තරංග කම්පනය වීම තුළ යම් බලයක් හටගනු ලබයි. එය එම පුද්ගලයාගේ සමස්ත ජීවිතය සහ පෞරුෂය කෙරෙහි බලපාන අතර ඔහුගේ චරිත ලක්ෂණ පවා ඒ අනුව වෙනස් විය හැකිය.

පුද්ගලයකුගේ සාර්ථකත්වය, ජනප්‍රිය භාවය සහ ප්‍රසිද්ධිය සඳහා නමේ බලය සෘජු බලපෑමක් කරනු ලබයි.

අප කවුරුත් අසා ඇති පරිදි අපගේ බෝසතාණන් වහන්සේට නම් තැබීමේ උලෙළට බමුණන් 108 දෙනකු සහභාගි වී ඇති බව සඳහන් වෙන අතර එහිදි සිද්ධාර්ථ යන නම යොදා ගන්නේ ලොවට අර්ථයක් සිද්ධ කරන යන අර්ථයෙනි.

එම නමෙහි අර්ථය පසක් කරමින් පසුකාලීනව මුළු ලෝකයටම අර්ථයක් සැබවින්ම බෝසතාණන් වහන්සේ විසින් සිද්ධ කළහ.

අද අප සමාජය තුළ අලුත උපන් දරුවකුට නමක් තැබීමේදී මවුපියන් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්නේද ඒ තුළ තිබෙන්නා වූ වටිනාකම ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින බැවිනි. දරුවකුට ඉතා අර්ථවත්, කාලයට ගැළපෙන හොඳ නමක් තැබීම මවුපියන්ගේ වගකීමක් ලෙස ද සැලකිය හැකිය.

සොයා බැලීමකින් තොරව හිතුමතේ නමක් දැමුවද එහි බලපෑම ඒ පුද්ගලයා කෙරෙහි ගොනුවෙයි. එමෙන්ම කෙතරම් සොයා බලා නම් දැමුවද ඒවා බලපාන්නේ සමහරවිට දෙමාපියන් බලාපොරොත්තු වූ ආකාරයට නොවන අවස්ථාද තිබේ. එයට හේතුව නම් එම නම භාවිතා කරන ආකාරයයි. එමෙන්ම සමහරු මුලකුරු සමඟ නම භාවිත කරන විට එහි අර්ථය හා බලපෑම වෙනස් විදිහකට බලපායි. ඇතැම් අය උප්පැන්න සහතිකයේ තිබෙන නමට වෙනස් නමක්, එනම් අන්වර්ථ නාමයක් හෝ සුරතල් නාමයක් ද භාවිත කරන අවස්ථා ඇත. එවිට ඒ අනුව ද ගතිගුණ සහ පෞරුෂයේ ස්වභාවයන් වෙනස් වීමට ලක් වෙයි.

ජ්‍යෝතිෂ්‍ය විද්‍යාව හෝ අංක විද්‍යානුකූලව කෙතරම් ගැළපෙන නමක් තැබුවද එය භාවිත නොකරන්නේ නම් එහි බලය සහ ශක්තිය හීන වෙයි. බොහෝ මවුපියන් දරුවන්ට තිබෙන ආදරය නිසා නිවෙසේදී වෙනත් සුරතල් නාමයක් හෝ අන්වර්ථ නාමයක් භාවිත කරනු දකින්නට ලැබෙයි.

පසුව සමාජයේ අන් අය ද ඒ නම වැඩි වශයෙන් භාවිත කරන්නට පෙලඹෙන අතර දරුවා වෙනුවෙන් ගන පිහිටවා සකස් කරන ලද ඉතා අර්ථවත් නම භාවිත නොකරයි. එමඟින් දරුවාට අර්ථවත් නමක් තිබුණද එය භාවිත නොකර නිතර භාවිත කරන අන්වර්ථ නාමයේ හෝ සුරතල් නාමයේ බලපෑම වැඩි වශයෙන් ඔහුගේ පෞරුෂය කෙරෙහි බලපානු ලබයි. එය පසුකාලීනව එම දරුවා සමාජය තුළ අපහාසයට උපහාසයට ලක් වීමට ද බලපා ඇති බව නිරීක්ෂණය වේ. මේ අනුව නමක් පුද්ගලයකුගේ ජීවිතයට කෙතරම් විශාල බලපෑමක් කරන්නේ ද යන්න දැන් ඔබට පැහැදිලි වන්නට ඇත.

අංක විද්‍යාවේදී නමක භාවිත වෙන අකුරු වෙනුවට නොඑසේ නම්, ශබ්ද සංකේත වෙනුවට අංක යොදනු ලබයි. එම අංක අනුව නමක බල දුබලතාවත් පුද්ගලයකුගේ ගති ස්වභාවයත් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙයි.

ඒ අනුව පොදු භාවිතයක් ලෙස ඉංග්‍රීසි භාෂාවේ අක්ෂර යොදා ගනු ලබන අතර ඉංග්‍රීසි භාෂාවේ සෑම අක්ෂරයකට අදාළවම අංකයක් සඳහන් කර ඇත. තමාගේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියා එම අකුරුවලට අදාළ අංක සටහන් කරගෙන එම අංක තනි අංකයක් වන ලෙස එකතු කළ පසු ලැබෙන අංකයට අදාළව පලාපල ප්‍රකාශ කරනු ලබයි.

මෙහිදී අප මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ අංක විද්‍යාවට අනුව මෙහි වඩාත් වැඩි බලපෑමක් ඇති කරනු ලබන්නේ අපට දැනට භාවිත කරන නම සම්බන්ධයෙනි. එනම්, ඔබට කුමන නමක් සඳහන් වුවද ඔබ සහ අන් අය වැඩිපුරම භාවිත කරන නම ඔබේ චරිත ලක්ෂණ කෙරෙහි වැඩි බලපෑමක් කිරීමට ඉවහල් වෙයි. මෙයින් අදහස් වන්නේ ඔබට ඇති අනෙකුත් නම්වල බලපෑමක් නොමැති බව නොවේ. ඔබගේ චරිතයේ සහ පෞරුෂය කෙරෙහි වැඩිපුරම බලපානු ලබන්නේ ඔබ වැඩිපුරම භාවිත කරන නම අනුව බවයි.

ඉංග්‍රීසි හෝඩියේ අකුරුවලට අනුව අංක විද්‍යානුකූලව අංක යොදන ආකාරයත් ඔබගේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියා නාම අංකය හෙවත් ප්‍රකාශන අංකය සකස් කරගන්නා ආකාරයත් ඒ අනුව අංක එකේ සිට නවය දක්වා පලාපලත් පිළිවෙළින් ඉදිරියට ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙන අතර, නාම අංක එක හෙවත් ප්‍රකාශන අංක එක පිළිබඳ පලාපල විස්තර ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

--------------------------

අපල දොස් දුරුවී විෂ්ණු දෙවි පිහිට ලබන්නට මුරුතැන් පූජාව තබන නියම පිළිවෙළ

අගස්ති ප්‍රනාන්දු

ඉකුත් සතියේ ලිපියෙන් විෂ්ණු දෙවියන්ගේ පිහිට ලබා ගැනීමට ගායනා කළ යුතු ස්තෝත්‍ර දැහැන් ගැන ඔබ දැනුම්වත් කළෙමු. එම ස්තෝත්‍ර ගායනා සමඟ විෂ්ණු දෙවියන් උදෙසා පවත්වන පූජාවන් ද විවිධ අයුරින් සිදු කරනු ලබයි. සමස්තයක් වශයෙන් විෂ්ණු දේවාලයකදී බොහෝ අය සාමාන්‍ය පූජාවක් ලෙස පලතුරු වර්ග 7ක්, තැඹිලි ගෙඩියක්, පොල් ගෙඩියක්, නිල් පැහැති මලින් සාදන ලද මල් මාලාවක් (ස්වාභාවික මල් විය යුතුය) නිල් පැහැති සළුවක්, නිල් මානෙල්, නිල් කටරොලු මල්, කපුරු හඳුන් කූරු සමඟ ගෙදරදී සාදා ගන්නා ලද ඉඳුල් කිරිබත් පාත්‍රයක් ද එම පූජාවට තබනු ලබයි. ඊට අමතරව විශේෂයෙන් ග්‍රහදොස් සමනය කර ගැනීමට මුරුතැන් පූජාවක්, බත් පූජාවක්, පහන් පූජාවක්, ඖෂධ පූජාවක්, ලද පස්මල් පූජාවක්, පත්‍ර පූජාවක්, මල් පූජාවක්, පලතුරු පූජාවක්, පොල් පූජාවක් ආදී වශයෙන් සිදු කරයි. බොහෝ දේවාලවල ඒ ඒ දේවාලවල තේවාව බාරව කටයුතු කරන කපු මහතාට තමාගේ කාරණය පැවසූ විට ඔවුන් විසින් ඉහත පූජාවන් නියම කරයි.

 

මෙහිදී මුරුතැන් පූජාවක් යනු අලුත් සුදු කැකුළු සහල්, මුංඇට, රටඉඳි, කජු, වියළි මිදි, කිතුල් හකුරු, එනසාල්, පැණි, එළඟිතෙල් අනුපානයකට ගෙන නැවුම් මුට්ටියක පිරිසුදු ලෙස සෝදා පවිත්‍ර කර සාදා ගනු ලබන කිරිබත් වැනි ආහාරයකි. මෙය පිස ගැනීමේදී ඒ අවස්ථාවේම බිඳින ලද අලුත් පොල් ගෙඩියකින් ලබා ගන්නා කිරි භාවිත කිරීමට ද අමතක නොකරන්න. කිරිබත ලිප තබා මුඛ වාඩම් බැඳ පිස ගන්න. එසේ සූදානම් කරගත් මුරුතැන් පූජාව කැප කිරීමට ප්‍රථම පහන් පූජාව සිදු කරන්න. ඒ සඳහා රන් තැඹිලි තෙල්, තල තෙල්, පොල් තෙල්, ගිතෙල්, සුදු හඳුන් තෙල් මිශ්‍ර කර සාදා ගත් මිශ්‍රණයක් අවම වශයෙන් පහන් 21 සඳහා සූදානම් කර ගන්න. මේ සමඟ සිදු කරන සුවඳ පූජාව සඳහා තමන් විසින්ම සාදා ගත් සුවඳ ධුප යොදා ගැනීමට හැකියාවක් ඇත් නම් එය ඉතා අගනේය. ඒ සඳහා සාම්බ්‍රානි, සුදු හඳුන්, රත්හඳුන්, දේවදාර, සැවැන්දරා, සුවඳ කොට්ටන් ආදිය සිංහල බෙහෙත් බඩු කඩයකින් ඔබට ලබා ගත හැකිය. එක් එක් වර්ගය සමාන ප්‍රමාණයෙන් රැගෙන මිශ්‍ර කර සාදා ගන්න.

සමස්තයක් වශයෙන් සිදු කරනු ලබන පලතුරු පූජාව පිළිගැන්වීමෙන් පසු මෙම සාදා ගත් තෙල්වලින් පහන් 21 දල්වා සුවඳ දුම් පිළිගන්වන්න. ඉන් පසු සාදාගත් මුරුතැන් දානය පිළිගන්වා අවසන් වූ පසු, ඉතුරු මුරුතැන් බත පැමිණ සිටින අයට බෙදා දෙන්න.

මෙම මුරුතැන් පූජාව කිසිම අවස්ථාවකදී සත්ත්වයන්ට ආහාර සඳහා දීමෙන් වැළකිය යුතු බව තදින්ම සිතේ තබා ගන්න. මේ සමඟම විෂ්ණු දෙවියන් සඳහා වන තවත් පූජාවක් ද සිදු කළ හැකිය. එනම්, නුගකොළ, දිවුල් කොළ, ඉඹුල් කොළ, බුලත් කොළ, නා කොළ, තුල්සි කොළ, වැටකේ කොළ වට්ටියක වෙන වෙනම අසුරා එය ද පූජා කළ හැකිය. මෙය සිදු කිරීමට ප්‍රථම මෙම සියලු කොළ වර්ග හොඳින් සෝදා කහ දියර ඉස සූදානම් කළ යුතුය.

මෙය පත්‍ර පූජාව වශයෙන් නම් කරනු ලබන අතර කැවිලි ජාති 9ක්, සුවඳ මල් සමඟ කට්ටියක තැන්පත් කර සිදු කරනු ලබන කැවිලි පූජාව ද, ඒ සමඟ බෙලිමල්, රණවරා මල්, තැඹිලි, කොත්තමල්ලි, ඉරමුසු, පොල්පලා සමඟ පිරිසුදු ජලය යන එක් වර්ගයක් ඖෂධ පැන් පූජාව ලෙස ද සමන් පිච්ච, ඊතණ, ඵල අබ, විලඳ, සහල් යන පස් වර්ගය පිරිසුදු කුඩා වට්ටියක වෙනම සූදානම් කර එය ද මෙම පූජාවට එක්කළ හැකිය. මෙය ලද පස්මල් පූජාව ලෙස හඳුන්වයි.

මෙම සියලු පූජා ඔබට එකවිට වුවද සිදු කළ හැකිය. ඊට අමතරව පොල් පූජාව, වෙනස් කැවිලි පූජාවක්, පලතුරු 21 සහිත පලතුරු පූජාවක්, නිල් පැහැති වර්ණයෙන් පිළියෙල කළ එනම්, නිල් කටරොලු මල් මිශ්‍ර කර සාදාගත් කිරිබත්, ඇඹුල් බත්, මුංඇට බත්, පැණි බත් ආදිය සාදා වෙන වෙනම පාත්‍රවල තැන්පත් කර එය වට්ටියක තබා සිදු කරනු ලබන පූජාව බත් ආහාර පූජාව ලෙස හඳුන්වන අතර, තවත් බොහෝ පුද පූජාවන් විෂ්ණු දෙවියන් උදෙසා සිදු කරනු ලබන බව ද පුරාණ ග්‍රන්ථවල සඳහන්ය.මෙම පූජාවන් භක්තියෙන් යුතුව පිරිසුදුව සිදු කර ස්තෝත්‍ර ගායනා කර පිහිට ඉල්ලීමෙන් බොහෝ ග්‍රහ දොස්, අපල උපද්‍රව, කරදර බාධක දුරුවී සහනය සැලසෙනු ඇත.

 

-------------------------

නිවෙසේ ඇති කරන සතුන්ගෙන් ඇති වන වාස්තු දෝෂ

සතුන්ගේ වාසස්ථාන පිහිටු විය යුතු නිවැරදි දිශා හඳුනා ගනිමු

ජනක ප්‍රියන්ත දයාරත්න

සිවිල් ඉංජිනේරු,

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ

ප්‍රධාන පර්යේෂක

 

නිවෙස්වල සතුන් ඇති කිරීම මේ වන විට ඉතා සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එසේම විවිධ සතුන් සුරතලයට ඇති කිරීම ද බොහෝ දෙනාගේ විනෝදාංශයක් බවට පත්ව තිබේ. මේ හේතුව නිසා වාස්තු විෂයේදී සතුන්ගේ බලපෑම් පිළිබඳ අධ්‍යයනය කිරීම සුදුසු වේ. මෙහිදී සතුන්ගේ ස්වභාවය පිළිබඳ ඇති දැනුම මෙන්ම ඒවාට වාස්තු සිද්ධාන්තවල ඇති සබඳතාව ද නිරවුල්ව වටහා ගත යුතුව ඇත.

සමහර සතුන්ගේ හැකියාවන් අපට නොමැති අතර අපට ඇති හැකියාවන් රැසක් සතුනට නොමැති බව පැහැදිලිය. එසේ වුවත් කිසියම් සියුම් හැකියාවන් රැසක් සතුනට ඇති බව අපට වටහා ගත හැකිය. සුනාමි සමයේදී මිනිසුන් මෙන් නොව සතුන් ඉතා ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා ගොස් තිබීම විශේෂත්වයකි. ඒ අනාගතය ව්‍යසනය දැන ගැනීමේ හැකියාවක් සතුන් සතු වුවද මිනිසුන්ට එය නැති බැවින් මහා විනාශයක් සිදු වූ අයුරු එහිදී පැහැදිලි වේ.

අප විසින් වාස්තු සිද්ධාන්තවලට අදාළව ශක්තීන් තුනක් පිළිබඳව මේ වන විටත් අධ්‍යයනය කර ඇත. ඒවා නම්, අන්තරීක්ෂ ශක්තිය, භූ ශක්තිය හා චුම්භක ශක්තියයි. මේ අතරින් භූ ශක්තියේ ඇති විශේෂත්වයන් රැසක් මේ වන විට ඔබ දන්නවා වන්නට ද පුළුවන. මෙයට යම් සමීපතාවක් දක්වන තවත් සංකල්පයක් වන්නේ පොළොවේ ඇති භූ ව්‍යාධි තත්ත්වයයි. මෙවැනි භූ ව්‍යාධි තත්ත්ව ඇති කරන රේඛා ගණනාවක් ද මේ වන විට බටහිර විද්‍යාවෙන් හඳුනා ගෙන ඇත. මේ රේඛාවන් පිළිබඳව ද මිනිසුන්ට නැති ඉවක් සතුන්ට ඇති බව පැහැදිලිය. මේ හැකියාව හොඳින්ම ප්‍රකට වන අවස්ථාවක් වන්නේ අපගේ ආසන්නතම මිතුරා වී සිටින සත්ත්ව විශේෂ දෙකක් සියුම්ම සංසන්දනය කිරීමයි. මෙහිදී බළලුන් භූ ව්‍යාධි තත්ත්ව බලවත්ව ඇති ස්ථානවලටත් බල්ලන් හා ගවයන් එය අඩු වඩා යහපත් ස්ථාන වෙතත් ආකර්ෂණය වන බව හඳුනාගෙන තිබේ. මේ අනුව සතුන් යොදා ගනිමින් කරන කටයුතු යහපත් මෙන්ම අයහපත් ද විය හැකි බව කිය යුතුය. නිවෙසක බළලුන්ගේ ගහනය වැඩි වීමත් සමඟ භූ ව්‍යාධි තත්ත්ව කෙමෙන් වියැකී යනු ඇත. ඊට හේතුව භූ ව්‍යාධි තත්ත්වයන්ගෙන් වඩාත් හානිකර ස්ථාන බළලුනට පහසු හා සමීප ශක්ති තත්ත්වයන් මෙන්ම බල්ලන් හා ගවයන් මිනිසාට යහපත් ශක්ති ක්ෂේත්‍රවල කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දැක්වීමයි.

සතුන් පිළිබඳ මෙවැනි පසුබිමක් විවරණය කිරීම මෙන්ම සතුන්ගේ චර්යාවන් පිළිබඳ අධ්‍යයනය ද නිවෙසේ සතුන් ඇති කිරීමට තීරණයක් ගැනීමට අපට සහාය ලබා දෙනු ඇත. එවිට බොහෝ ව්‍යාධි අඩු කර ගැනීමට නම් ගත යුතු පියවර මැනවින් වටහා ගත හැකි වනු ඇත.

එසේම ඇතැම් සතුන් බහුල වශයෙන් අපවිත්‍රතාව ඇති කරන බව ද සැලකිය යුතුය. මෙකී අපවිත්‍රතාව සලකා සතුන්ගේ ඇසුර සීමා කිරීමට ඇතැම් පුද්ගලයන් තීරණය කිරීම පුදුමයක් නොවන බව ද හේතු යුක්ත කරුණකි.

මේ සියලු කරුණු අනුව අපට කළ හැකි උචිතම කාර්ය වන්නේ සතුන්ගේ පිහිටීම් අනුව මනුෂ්‍යයාට වඩාත් උචිත පිහිටීම් ඉඩමේ හා නිවෙස තුළින් හඳුනා ගෙන කටයුතු කිරීම පමණි. නිවෙසේ බල්ලන් හා ගවයන් නිබඳව හැසිරෙන ස්ථානවල ශක්තිය ඉතා යහපත් බැවින් ඕනෑම කාර්යක් සඳහා යොදා ගැනීමට අපහසු වේ. මේ අනුව නිවෙසේ පවිත්‍රතාව ඇති කරන සතුන් කිසි විටෙක ඊසාන, උතුර හා නැඟෙනහිර යන දිශාවන් මෙන්ම නිරිත දිශාවේ ද ඇති කිරීම සඳහා යොදා නොගත යුතු බව කිව යුතුය. අනෙකුත් දිශාවන් අතර වයඹ දිශාව සතුන් කොපමණ අපවිත්‍ර කළද ගැටලුවක් ඇති නොවේ. ඒවා වෙනුවට පෙර කී උචිත නොවන දිශාවන්හි මනුෂ්‍යයන් ජීවත් වීම උචිත නොවේ. ඒ වෙනුවට සතුන් හෝ බඩු භාණ්ඩ එහි පිහිටු වීම සිදු කළ හැකිය. කෙසේ වෙතත් බළලුන් ජීවත් වෙන පරිසරයට බොහෝ ව්‍යාධි තත්ත්වයන් බහුලව වශයෙන් අඩුය.

එය ජීවිතය පහසු කර ගැනීමට මහත් පිටිවහලක් සපයන බව කිව හැකිය. එනම්, නිවෙසේ වාසය කරන සතුන් අතරින් කවර සතුන් නිවැසියනට හානි ගෙනදේද නැද්ද යන වග දැන ගැනීම පහසු වනු ඇත. ඒ අනුව සතුන් ඇති කිරීම සඳහා උචිතම දිශාව වයඹ වෙන අතර, අපහසු තත්ත්ව යටතේ දකුණ හෝ බස්නාහිර යොදාගත හැකිය. කෙසේ වෙතත් දකුණු හා බස්නාහිර දිශා තේරීමේදී ඊට ආසන්න දිශාවක් වන නිරිතට කිසිදු ආකාරයෙන් ආසන්න වීම නොකළ යුතු බව ද මෙහිදී අවධාරණය කළ යුතුය.

Comments