
මේ එළැඹී ඇත්තේ සියවස් දෙකකට ආසන්න ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය ඉහවහා ගිය වකවානුවකි. ලෝක ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ වැඩිම රටවල් සංඛ්‍යාවක් ක්‍රීඩා කරන පාපන්දු ක්‍රීඩාවට නොදෙවැනි ජනප්‍රියත්වයක් දිනා ඇති ක්‍රිකට්, මෙරට වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි ක්‍රීඩාව බව අවිවාදිතය.
එවැනි අතිවිශාල ජනප්‍රියත්වයක් දිනා ඇති ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් මුදල් වැඩි වැඩියෙන් සංසරණය වන ව්‍යාපාරයක් බවට පත් වීමෙන් පසු ක්‍රීඩාවේ ගුණාත්මකභාවය බින්දුවටම ඇද වැටී ඇත. ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රීඩා සමාජ ක්‍රිකට් සහ පාසල් ක්‍රිකට් ක්ෂේත්‍ර ත්‍රිත්වයටම අත්වී ඇත්තේ එකම ඉරණමකි.
මේ පළ වන්නේ මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිදු වන අක්‍රමිකතා සහ දූෂණ වංචා හෙළිදරව් කරමින් පසුගිය දිනවල ‘සිළුමිණ‘ පාඨකයන් හමුවේ තැබූ ගවේෂණාත්මක ලිපි පෙළක තවත් කොටසකි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ ඉතිහාසය හාරා ඇවිස්සීමේදී එය 19 වැනි සියවසේ මුල් භාගය දක්වා දිව යන බව ඉතිහාස කරුණු මඟින් පැහැදිලිය. අන්තර්ජාලයේ සඳහන් තොරතුරුවලට අනුව මෙරට පැරණිතම ක්‍රිකට් ක්‍රීඩා සමාජය මැලේ ක්‍රිකට් සමාජය බවත් එය 1832 වසරේදී ආරම්භ වූ බවත් සඳහන් වේ. අනතුරුව 1860 වසරේ මුල් භාගයේදී කොළඹ සහ අප්කන්ට්‍රි කණ්ඩායම් අතර තරගයක් සහ 1875දී පැවැති තවත් තරගයක් දේශීය ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්ෂේත්‍රය පෝෂණය කිරීමට සහ ව්‍යාප්ත කිරීමට ඉවහල් වී ඇතැයි තොරතුරු වාර්තා වේ.
වසර 1869දී පමණ ආරම්භ වූ බවට සඳහන් වන කොළඹ ක්‍රිකට් සමාජයත් පසුව The Union Club, The Slave Island Club, The Juvenile Graduates සමඟ පසුකාලීනව බිහි වූ කොළඔ කොල්ට්ස්, කොළඹ Nondescripts Cricket Club (NCC), කොළඹ ක්‍රීඩා සමාජය, මහනුවර ක්‍රීඩා සමාජය, The Singhalese Sports Club (SSC), දික්ඔය සහ මස්කෙලිය ක්‍රිකට් සමාජය දේශීය ක්‍රීඩා සමාජ තරග බිමට අඩිතාලමක් දමමින් ජාත්‍යන්තර කීර්තියට පත් ක්‍රිකට් ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් බිහි කිරීමට විශිෂ්ට දායකත්වයක් දක්වා ඇත.
පසුකාලීනව ක්‍රීඩාවේ ව්‍යාප්තියත් ජනප්‍රියත්වයත් සමඟ ක්‍රිකට් ක්‍රීඩා සමාජ ද වැඩි වැඩියෙන් බිහි වූ අතර, මේ වන විට තුන් දින තරග, ඕවර 50 තරග සහ පසුගිය දශකයේදී ලොව පුරා ව්‍යාප්ත වූ විස්සයි 20 මුහුණුවර ත්‍රිත්වයම ඇතුළත් වන පරිදි ක්‍රිකට් තරගවාර වාර්ෂිකව පැවැත්වෙයි. එය ජාතික මට්ටමේ ක්‍රීඩකයන් බිහි කිරීමේ තෝතැන්න ලෙසත් සැලකේ.
එහෙත් මේ වන විට මුදලට ගිජු ක්‍රිකට් පුහුණුකරුවන් පිරිසක් විසින් දේශීය ක්‍රිකට් ක්‍රීඩා සමාජ තරගාවලිහි ගුණාත්මකභාවය විනාශ කරමින් සිය අභිමතය පරිදි ක්‍රීඩාව හසුරු වන බවටත්, දස්කම් සපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික තලයට බිහි කිරීමේ තෝතැන්න මතින් සිය පෞද්ගලික අභිමතාර්ථයන් ඉටුකර ගැනීමේ පටු චේතනාවෙන් ක්‍රීඩාව වළපල්ලට තල්ලු කරමින් සිටින බවටත් තොරතුරු වාර්තා වේ.
වසර 1996දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින ලෝක ශූරයන් වීමෙන් පසු අනපේක්ෂිත අයුරින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය ඉහළ යෑමත්, ක්‍රීඩාවේ මූල්‍ය වටිනාකම දෙගුණ තෙගුණ වීමත් හේතුවෙන් බලාපොරොත්තු නොවූ ආකාරයේ වටිනාකමක් ලැබූ ක්‍රිකට් පුහුණුකරුවන්ගේ භූමිකාව කෙළෙසමින්, එහි වෘත්තීය ගරුත්වය බින්දුවටම ඇද දැමූ පුහුණුකරුවන් කිහිප දෙනකු බිහි වී ඇත. ක්‍රිකට් ක්‍රීඩා සමාජ අල්ලේ නටවන මෙවැනි ක්‍රිකට් පුහුණුකරුවන්ට උඩ ගෙඩි දෙන ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් සහ විවිධ තරගාවලි සඳහා ක්‍රිකට් ආයතනය විසින් පත් කරනු ලබන කළමනාකරුවෝ එක්ව ක්‍රිකට් ක්‍රීඩාවේ මාෆියාවක් පතුරුවමින් සිටිති.
විස්සයි 20, ඕවර 50 සහ තුන් දින ක්‍රිකට් වශයෙන් තරගාවලි ත්‍රිත්වයක් ඇතුළත් දේශීය ක්‍රිකට් තරගාවලියක් සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා සමාජ 26ක් තරග වදින අතර, මෙවර ක්‍රිකට් තරගවාරයේදී එක් ක්‍රීඩා සමාජයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 27ක ප්‍රතිපාදන සපයන බව වාර්තා වේ. එය පසුගිය වසරේදී ගෙවනු ලැබූ මුදලට වඩා රුපියල් මිලියන 8ක වැඩි වීමක් බවත් කියැවේ. එම මුදල කොටස් දෙකකින් ගෙවන අතර, ඒ අනුව එක් ක්‍රීඩකයකුගේ තරග මුදල ද ඉහළ ගොස් ඇත. ක්‍රීඩකයකුට තරගයක් සඳහා අනිවාර්යයෙන් ගෙවිය යුතු මුදල රුපියල් 12,500කි. ඒ අනුව යම් ක්‍රීඩකයකු එක් තරග වාරයක් තුළ තුන් දින තරග 10කට ක්‍රීඩා කරන්නේ නම් ඔහුට විස්සයි 20 සහ එක්දින තරග හැරුණු විට තුන්ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් උපයා ගත හැකිය. අදාළ ක්‍රීඩකයා ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම්ගත ක්‍රීඩකයකු නම් ඔහුගේ වටිනාකම අනුව තරග වාරයකට රුපියල් ලක්ෂ 5-10ත් අතර අතිරේක මුදලක් ද හිමි වෙයි. ඒ අනුව එක් තරග වාරයකින් පමණක් ක්‍රීඩකයකුට උපයා ගත හැකි මුදල රුපියල් ලක්ෂ 12-15ත් අතර වේ.
සෑම තරග වාරයකදීම ක්‍රීඩකයන් 6-8ත් අතර සංඛ්‍යාවක් ක්‍රීඩා සමාජයක් සමඟ ගිවිසුම්ගත වන අතර, එම ගිවිසුම්ගත මුදල ක්‍රීඩකයාගේ දස්කම් හා ජනප්‍රියත්වය අනුව රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා ගෙවනු ලැබේ. එය සිදු වන්නේ අදාළ ක්‍රීඩා සමාජයේ පුහුණුකරුගේ අභිමතය පරිදිය. තම කණ්ඩායමට දක්ෂතම ක්‍රීඩකයන් බඳවා ගන්නා ලෙස ඕනෑම ක්‍රීඩා සමාජයක පුහුණුකරුවකුට ක්‍රීඩා සමාජයේ පරිපාලනයෙන් දැනුම් දෙන අතර, බොහෝ විට ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් ලේකම්වරයා සමඟ එක්ව එවැනි ක්‍රීඩකයන් හඹා යෑමට පුහුණුකරුවෝ කටයුතු කරති. ක්‍රීඩකයන් විසි දෙනකු පමණ ක්‍රීඩා සමාජයේ ලියාපදිංචි වීමේදී ඉන් හොඳම ක්‍රීඩකයන් 6-8ක් අතර ප්‍රමාණයක් එසේ ගිවිසුම්ගත කෙරේ. ඒ අනුව ගිවිසුම්ගත වීමෙන් ඔහුට තරග වාරයේදී ලැබෙන මුදල සම්බන්ධව අදාළ ක්‍රීඩකයා සමඟ සාකච්ඡා පවත්වති. යම් කිසි මුදල් ප්‍රමාණයක් යෝජනා කරති.
ක්‍රීඩා සමාජ පුහුණුකරුවන්ගේ මාෆියාවේ ආරම්භක අවස්ථාවට මඟ විවර වන්නේ ඒ අනුවය. ඇතැම් ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් ඉලක්කගත ක්‍රීඩකයන්ට කතා කරන අතර, රුපියල් ලක්ෂ 5ක් හෝ යම් කිසි නිශ්චිත මුදලක් සඳහා තම ක්‍රීඩා සමාජයේ ගිවිසුම ලබා දෙන බවට පොරොන්දු වන්නේ කොන්දේසි සහිතවය. ඔවුන්ගේ කොන්දේසිය වන්නේ තරග වාරයේ කොන්ත්‍රාත් මුදල ලක්ෂ 5ක් නම්, තමාට ලක්ෂ 6ක් අවශ්‍ය බවට ක්‍රීඩා සමාජයේ පරිපාලනයට දැනුම් දෙන ලෙසය. එසේ වැඩි කර ගන්නා අතිරේක ලක්ෂය තමාට ලබා දෙන ලෙසය. එසේ කටයුතු කරමින් තම ගෙවීමට අමතරව තවත් ලක්ෂ ගණනක් ක්‍රීඩකයාගේ සාක්කුවෙන් උදුරා ගන්නා පුහුණුකරුවෝ මෙරට සිටිති. ක්‍රීඩා සමාජ තරඟ වාරයේදී පමණක් නොව පළාත් තරඟාවලියේදිත් එවැනි අක්‍රමිකතා සහ කොමිස් ගැහිලි සිදුවන අවස්ථා එමටය. පළාත් තරඟාවලියේදී ද ක්‍රීඩකයන් තෝරා ගැනීමේ භූමිකාව සිදු කරනු ලබන්නේ අදාළ පළාත් කණ්ඩායමේ පුහුණුකරු විසිනි. එහිදී ඔහු කරනු ලබන්නේ ලබන තරඟවාරයේදී තම පුහුණුකාරීත්වයෙන් යුතු ක්‍රීඩා සමාජයට එක් වන්නේ නම් පළාත් කණ්ඩායමට තෝරා ගන්නා බවට ක්‍රීඩකයන්ට හොර රහසේ කොන්දේසි පැනවීමය.
ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලියේදිත් ක්‍රීඩකයන්ගෙන් කොමිස් ගැසීමේ කටයුතු ඉතා ජයටම හා සූක්ෂ්මව සිදු වන බවට තොරතුරු වාර්තා වේ. එය සිදු වන්නේ ක්‍රීඩකයන්ගේ වෙන්දේසියේදීය. අදාළ කණ්ඩායමේ පුහුණුකරුවන් ක්‍රීඩකයන්ගේ වෙන්දේසියේ සිටින අතර, ඇතැම් පුහුණුකරුවන් ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් සමඟ එක්ව වෙන්දේසියට පෙරදීම තෝරා ගන්නා ක්‍රීඩකයන් තීරණය කරති. වෙන්දේසියට පෙරදීම එම ක්‍රීඩකයන් තම කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට පොරොන්දු කරවා ගනිති. ඒ අනුව වෙන්දේසියේදී තෝරා ගන්නා ක්‍රීඩකයා බොහෝ විට ඊට පෙර දෙපාර්ශ්වය එක්ව සිදු කළ ගනුදෙනුවක ප්‍රතිඵලයක් පමණි. මීට පෙර පැවැති එල්පීඑල් තරගාවලියක එක්තරා කණ්ඩායමක කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයකු මෙරට සුප්‍රකට ක්‍රීඩා සමාජයක දක්ෂ ක්‍රීඩකයකු එසේ අත්පත් කර ගැනීමට උත්සාහ කිරීමක් ද වාර්තා වේ. එල්පීඑල් තරගාවලියේ තමාගේ කළමනාකාරීත්වය යටතේ පවතින කණ්ඩායමට තෝරා ගැනීමට හැකි බවත්, ඒ සඳහා අදාළ ක්‍රීඩකයාට ලැබෙන මුදලින් 50% ක මුදලක් ගෙවන ලෙසත් එම පුද්ගලයා අදාළ ක්‍රීඩකයාට යෝජනා කර තිබේ. එහෙත් ක්‍රීඩකයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ. ඔහු වැනි තවත් පුද්ගලයන් සිටින බවත් එල්පීඑල් වෙන්දේසියට පෙර අතට කොමිස් මුදලක් ලැබෙන පරිදි ක්‍රීඩකයන් සමඟ ගණන් හිලව් තීන්දු කිරීමෙන් පසු වෙන්දේසියේදී එම ක්‍රීඩකයා මිල දී ගැනීමට කටයුතු කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ. එවැනි බොහෝ ක්‍රීඩකයන් ක්‍රීඩා සමාජ මට්ටමෙන් හෝ කැපී පෙනෙන දස්කම් නොදැක්වූ ක්‍රීඩකයෝ වෙති.
‘ක්ලබ්ස්වලට හොඳට කරලත් නෑ. හැබැයි ෆ්‍රැන්චයිස්වල ඉන්නවා. ඩොලර් දහදාහක රේට් එකකට ගත්තොත් කලින් පොරොන්දුව වුණු නිසා ඩොලර් දාහක් පූජා කරන්න වෙනවා. ප්ලේයර් මැනේජර්, කෝච් දෙන්නම එකතු වෙලා වැඩේ කරන්නේ. සමහර වෙලාවට ෆ්‍රැන්චයිස්වල මැනේජර්ස්ලාත් මේකට හවුල් වෙනවා. ඔය වෙන්දේසිවල සමහර වෙලාවට හොඳ ක්‍රීඩකයන් විකිණෙන්නේ නෑ. එච්චර නමක් නැති ක්‍රීඩකයන් කොහොමද තේරෙන්නේ කියලා ෆ්‍රැන්චයිස් ටීම් එකේ නම් ලිස්ට් එක දැක්කම සමහරු පුදුම වෙනවා. ගෙවන ගාණෙන් සියයට ගාණක් කොමිස් දෙනවා කියලා පොරොන්දු වෙලා වැඩේ කරන නිසා තමයි එහෙම වෙන්නේ. දස්කම් අතර නැති ක්‍රීඩකයන්ටත් මේක හොඳ ඉල්ලමක්. මොකද නිකම් ඉන්න එකේ ඩොලර් දහදාහෙන් පන්දාහක් හම්බ වුණත් මදෑ.‘ මේ පිළිබඳ ක්‍රිකට් ක්ෂේත්‍රය තුළින් ‘සිළුමිණ‘ට තොරතුරු වාර්තා වූයේ එලෙසිනි.
ඒ අතින් බැලූ විට ෆ්‍රැන්චයිස් තරගාවලියට දක්ෂ ක්‍රීඩකයන් තෝරා ගැනීමට වඩා වැඩි වාසියක් දස්කම් අතර නැති ක්‍රීඩකයන් තෝරා ගැනීමෙන් පුහුණුකරුවා සහ කළමනාකරුවා යන දෙදෙනාම ලබති.
ඇතැම් පුහුණුකරුවන්ගේ මේ තුච්ඡ ක්‍රියා නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවී ඇත්තේ දරුණු විනාශයකි. ක්‍රීඩාව විනාශ මුඛයට ඇද දමමින් තම සාක්කුව තර කර ගන්නා මෙවැනි පුහුණුකරුවන් නිසා ක්‍රිකට් ක්‍රීඩා සමාජ පවා දැඩි දුෂ්කරතාවට ලක් වී ඇත. තරග වාරයකින් පසු වැඩි මුදලට ක්‍රීඩා සමාජ මාරු කරන එවැනි පුහුණුකරුවන් ඒවාට යන්නේද හිටපු ක්‍රීඩා සමාජයේ තවත් ක්‍රීඩකයන් පිරිසක් ඇදගෙනමය. ක්‍රීඩා සමාජ ස්ථාවර මට්ටමේ රැඳී නොසිටීමට එය ද හේතුවකි. බොහෝ ක්‍රීඩා සමාජවල ඇත්තේ එවැනි තත්ත්වයකි. ඇතැම් විට ක්‍රීඩා සමාජයේ නායකයා සහ පුහුණුකරු එක්ව මේ කටයුතු සිදු කරන අතර, ඔවුන් දෙදෙනාම ඊළඟ තරග වාරයේදී වෙනත් ක්‍රීඩා සමාජ කරා ඇදී යන්නේ පෙර තරග වාරයේදී කතිකා කර ගැනීමෙන් පසුවය. මේ කල්ලි වාදයට හසුවී සිටින බොහෝ ක්‍රීඩකයන් දස්කම් අතර සිටින්නෝ නොවෙති.
පසුගිය කාලයේදී එක්තරා ක්‍රීඩා සමාජයක පුහුණුකරුවකු තරග වාරය අතරතුරදීම එම ක්‍රීඩා සමාජයටත් නොදන්වා තවත් ක්‍රීඩා සමාජයක පුහුණුකරු ලෙස පත්වීම ලබා ගොස් තිබුණේ එම ක්‍රීඩා සමාජයේ පුහුණුකරුට ක්‍රිකට් ආයතනයෙන් පළාත් පුහුණුකාර තනතුරක් ලැබී ඔහු ඉන් ඉවත් වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීමට බව වාර්තා වේ. තරග වාරය අතරතුර මෙලෙස ක්‍රීඩා සමාජය අපහසුතාවට ලක් කරමින් වෙනත් ක්‍රීඩා සමාජ සඳහා පුහුණුකරුවන් ඇදී යන්නේ දෙපාර්ශ්වය අතර ඇතිකර ගත් ගිවිසුමෙහි දුර්වලතා හේතුවෙන් බව පැහැදිලිය.
ක්‍රීඩා සමාජ මාරු කරන එවැනි බොහෝ පුහුණුකරුවන් යම් කිසි තරග වාරයකදී ඇතැම් ක්‍රීඩකයන්ට සමීප වී ඊළඟ තරග වාරයේදී ඔහු තම ක්‍රීඩා සමාජයට එක් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබති. එසේ කිරීමෙන් පසු සිදු වන්නේ අදාළ ක්‍රීඩකයා තමා ඊළඟ තරග වාරයේදී ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති ක්‍රීඩා සමාජය සමඟ පැවැත්වෙන තරගයේදී හිතාමතාම හොඳින් ක්‍රීඩා නොකිරීමය. එය සිදු වන්නේ පෙර කී පරිදි පුහුණුකරු සමඟ ඇතිකර ගන්නා සැලසුමට අනුවය.
පුහුණුකරුවන්ගේ මෙවැනි ක්‍රියා හේතුවෙන් සිදු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය බිඳ වැටීම පමණක් නොව, නැඟී එන යොවුන් ක්‍රීඩකයන්ටත් පුහුණුකරුවන් ලෙස ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ටත් නරක ආදර්ශ සැපයීමය. ක්‍රීඩාවේ පරිහානියට මෙන්ම පුහුණුකාර වෘත්තියේ ගරුත්වයත් කෙළෙසන මෙවැනි පුහුණුකරුවන් නිසා ක්‍රීඩා සමාජ පරිපාලකයෝ ද විශාල අර්බුදයකට මැදි වෙති. බොහෝ ක්‍රීඩා සමාජවල පරිපාලකයන් පාලනය කරනු ලබන්නේද එවැනි පුහුණුකරුවන් විසිනි. පුහුණුකරුවන් පමණක් නොව ඔවුන් සමඟ කල්ලි ගැසී සිටින ඇතැම් ක්‍රීඩකයන් ද ක්‍රීඩා සමාජ අල්ලේ නටවන බව නොකියාම බැරි කාරණාවකි. මෙවැනි පුහුණුකරුවන් සිය කල්ලියේ ක්‍රීඩකයන් සමඟ රාත්‍රී කාලයේ මත්පැන් සාද පවත්වන අතර, අතීතයේ ක්‍රීඩකයන් අතර පුහුණුකරුවාට තිබූ ගරුත්වය බින්දුවටම ඇද දමා තිබේ. ක්‍රීඩා සමාජ තරගයකින් පසු එවැනි සාද පැවැත්වීම දැන් සුලබ සිදුවීමක් බවට පත් වී ඇති අතර, මෙවැනි සාද සඳහා අවසානයේ බරපැන දැරීමට සිදුවී ඇත්තේ ද අදාළ ක්‍රීඩා සමාජයේ පරිපාලනයටය.
ක්‍රීඩා සමාජවල ඇතැම් පුහුණුකරුවන්ගේ මේ මාෆියාව තවදුරටත් වර්ධනය වෙමින් පවතින අතර, ඊට ඇතැම් ක්‍රීඩකයන් ද එක් වී කල්ලි වාදයක් නිර්මාණය වීමෙන් සිදුවී ඇත්තේ මුදල් උපයා ගැනීමේ පටු පරමාර්ථයට ක්‍රීඩාව බිල්ලට දී ඇති බවය. එබැවින් ‘ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවකි’ යන පැරැණි කියමන තවදුරටත් ශ්‍රී ලංකාවට නම් වලංගු නැති බව ඉඳුරාම පැවසිය හැකිය.