හදවතේ ලෙඩ සුව කරන ලෝ ප්‍රකට හෙළ ජීවකයා | Page 2 | සිළුමිණ

හදවතේ ලෙඩ සුව කරන ලෝ ප්‍රකට හෙළ ජීවකයා

හෙළ වෙදකම රජරටින් ලෝකයට’ යන තේමාව පෙරදැරිව ඉදි කළ ‘ආධිත්‍යා’ ආයුර්වේද කේන්ද්‍රයේ නිර්මාතෘ, වෛද්‍යාචාර්ය සරත් සෝමසිරි ගුණවර්ධනය. ඔහු තොටගමුවේ වෙද පරපුරෙන් පැවත එන හෙළ වෙදකමේ මහනුභාව සම්පන්න ශක්තිය මිට මොලවාගෙන උපන් ඉසිවරයෙකි. වසර පනහක් තිස්සේ එතෙර මෙතෙර හදවත් රෝගීන් ලක්ෂ ගණනක් සුවපත් කරමින්, දරුවන් නැති ලක්ෂ ගණනකට දරු පල හිමි කර දී ඇත.

මේ අසිරිමත් වෙද පරපුර ආරම්භ වන්නේ තොටගමුවේ වෙද පරම්පරාවෙනි. තොටගමුවේ වෙද පරම්පරාව යනු ශ්‍රී රාහුල හිමියන්ගේ ගුරුවරයා වූ වීදාගම මෛත්‍රිය නාහිමියන්ගෙන් පැවත එන්නකි. උන්වහන්සේ වෛද්‍ය ශාස්ත්‍ර‍ෙය් පරප්‍රාප්ත මහා පඬිරුවණකි. වෙද කමට අමතරව යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර විද්‍යාවන් ප්‍රග්‍රණ කළ උන්වහන්සේ ගුප්ත විද්‍ය­ාවෙන් ද කෙළ ප්‍රාප්ත වූවෙකි. මෙකි සියලු දැනුම කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව උන්වහන්සේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට දායාද කොට දුන්හ. උන්වහන්සේ තොටගමුවේ විජයබා පිරිවෙණේ විහාරාධිපතිව වැඩ වසන සමයේ ගූප්ත විද්‍යවෙන් නොයෙකුත් හාස්කම් කළ බව ජනප්‍රවාදිතය. වරක් දේව රූපයක් දකිනු රිසියෙන් සෙත් කවියක් කියු බවත් එසැණින් ‍ෙදවියන් දර්ශනය වූ බවත් කියැවේ. රාහුල හිමියන් ගුප්ත විද්‍යා බලයෙන් හිමාලයට ගොස් එය පරතෙරට දැන “හිමාල වර්ණනා” නම් පොතක් ලියූ බවත්, එහි සඳහන් ආකාරයට උන්වහන්සේ එහිදී උපදවාගත් විශේෂ ශක්තියක් මඟින් යකුන්ගෙන් මෙන්ම අමනුෂ්‍යන්ගෙන් ද වැඩ ගත් බව පැවසේ. එසේම තොටගමුවේ විහාරයේ ඉදිකිරීම් පවා යකුන් ලවා කර වූ බව කියැවේ. එම විහාර කොටුවේ මේ භුත පිරිස විසූ අතර එම ප්‍රදේශය අද යක්කටුව නමින් හැඳින්වේ.

එවැනි ප්‍රාතිහාර්යමය වෙද පරපුරක පසුකාලීන උරුමකරුවා වූයේ පුරුෂයකු නොව ස්ත්‍රියකි. ඕ නමින් තොටගමුවේ ජෝතිනා වෙද හාමිනේය. ඇයගේ මුණුපුරා වන සරත් සෝමසිරි ගුණවර්ධනයන්ට මෙම ආශ්චර්යමත් වෙදකම උරුම වන්නේ එලෙසිනි. ඒ පිළිබඳ හෙතෙම ‘ඉසිවර අරණ’ට මෙලෙස හෙළි කළේය..

“තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගෙන් පැවත එන හෙළ වෙදකම මට උරුම වු‍ණේ මගේ පියා එමානිස් ගුණවර්ධනගේ මව වූ ජෝතිනා වෙද අම්මා නම් මගේ ආච්චි අම්මාගෙන්. ඇය ජීවත් වුණේ ඇල්පිටියේ යටගල ග්‍රාමයේ. ”

ලියනගේ මේරි නෝනා සහ එමානිස් ගුණවර්ධනට දාව පවුලේ දෙවැනි දරුවා ලෙස ඇල්පිටිය යටගල ග්‍රාමයේදී සරත් සෝමසිරි මෙලොව එළිය දුටුවේය. තමන්ගේම දෑතින් එළියට ගත් මේ දරුවාගේ ශරීර ලක්ෂණ හා වේලපත්කඩය සිතින් සාදා කියැවූ ජෝතිනා වෙද හාමිනේ ඒකාන්තයෙන්ම මේ වෙදකම ඉදිරියට ගෙන යන්නේ ඔහු බව සහතිකව දැනගත්තේය. බිලිඳාට සරත් සෝමසිරි ගුණවර්ධන යැයි නම් තැබූ ඕ තොමෝ තම ඇස් මානයේම සෝමසිරිට වැඩෙන්නට කටයුතු සැලසුවාය. පුංචි සෝමසිරිට වැඩිමහල් සහෝදරයකු හා බාල සහෝදරියක විය. ඔවුන් වෙදකම කෙරෙහි එතරම් ඇල්මක් නොදැක් වූ අතර පියා මෙන් ගොවිතැන කෙරෙහි යොමු විය. කරන්දෙණිය කණිෂ්ඨ විදුහලෙන් පස් වැනි ශ්‍රේණිය දක්වා අකුරු කළ පුංචි ගුණවර්ධනයන් අනතුරුව කරන්දෙණිය මැදි විදුහලට ඇතුළත් වී උසස් පෙළ දක්වා එහි අකුරු කළේය. උසස් පෙළ සඳහා විද්‍යා විෂයන් තෝරාගත් හෙතෙම ඉන් අනතුරුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. තම කුඩා අවදිය පිළිබඳ ගුණවර්ධන වෛද්‍යාචාර්යතුමා පැවසුවේ මෙවැන්නකි.

“මං පුංචි කාලේ ඉඳලම ආච්චි අම්මා සහ සීයා ගාව හැදුණේ වැඩුණේ. ඒ නිසා කුඩා කල සිටම දුටුවේ වෙදකමමයි. ආච්චි අම්මා වෙදකම් කරන හැටි බලාගෙන ඉන්න මම හරිම ආසයි. කොටින්ම වෙදකම මගේ ඇඟට ජීවම් කළා වගේ මගේ හිත ඒ කෙරෙහිම යොමු වෙලයි තිබුණේ. ආච්චි අම්මා වෙද ගෙදර වෙනම මාතෘ සායනයක් පවත්වාගෙන ගියා. දරුවො ඉපදිලා එළියට එද්දි ඒක මහා ආශ්චර්යයක් විදියටයි මම දැක්කේ. යටගල ග්‍රාමයේ බොහෝ දරුවන්ට තිඹිරිගෙය වුණේ අපේ යටගල වෙද ගෙදර. ජ්‍යෝතිෂය, යන්ත්‍ර, මන්ත්‍ර විද්‍යාව සහ වෙදකම යන තුනම ඒ පරම්පරාවට උරුම වී තිබුණා. ආච්චි අම්මගෙන් පස්සේ මේ වෙද පරම්මරාව ජොතිනා වෙදපරම්පරාව ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. ආච්චි අම්මාගෙ වෙදකම ඉගෙන ගෙන වෙදකම් කරමින් සිටින අතරවාරයේ මම 1968 දී බොරැල්ලේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. එම ඉගෙනීම අවසන් කර කෙළින්ම ආවේ අනුරාධපුරයටයි. ඒ ඩී.පීරිස් සහ සමාගමේ ආරාධනයෙන්. 1972 වර්ෂයේ ඒ ආපු ගමනින් වෙදකම මේ ප්‍රදේශයේ ස්ථාවර වූණා. ඒ නිසා දිගටම වෙදකම කරගෙන ආවා. දැන් මේ ගෙවෙන්නේ පනස් වෙනි අවුරුද්ද. මේ කාලය තුළ විවිධ රෝග සඳහා පැමිණි ලක්ෂ හතළිහකට ආසන්න රෝගීන් ප්‍රමාණයක් සුවපත් කර තිබෙනවා. ඒ අය අතරින් හදවත් රෝගීන් සහ දරු පල පමා වීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් විශේෂයි.”

ගුණවර්ධන වෙද මහතා හදවත් රෝගීන් සහ දරු පල ප්‍රමාද වූ අය සඳහා පමණක් නොව අනෙකුත් සියලුම රෝග සුවපත් කිරීමේ විශේෂඥයකි. නාඩි විඥානය පිළිබඳව එතුමන්ට ඇත්තේ සුවිශේෂී නිපුණතාවයකි. අප ඒ පිළිබඳ ඔහුගෙන් විමසුවෙමු.

“සරලවම කියනවා නම් නාඩි විඥානය කියල කියන්නේ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාත්මක වීම පිළිබඳ හඳුනා ගැනීමයි. රුධිර සංඝටකවල හදවතේ ඇති වන ශබ්ද අනුව ඒ හදවත රෝගීද නැද්ද යන්න අවබෝධ කර ගත හැකියි. සරලවම කිව්වොත් හදවත හරහා ගමන් ගන්නා රුධිරයේ රිද්මය අනුව රෝග මොනවාද කියා හඳුනා ගැනීමයි. ත්‍රිදෝෂ නිසා සිරුරේ හටගන්නා සියලු රෝගයන් පිළිබඳව මේ ඔස්සේ හඳුනා ගෙන ප්‍රතිකාර කළ හැකියි. මෙම නාඩි හොඳින් පරික්ෂා කර බලා හඳුනා ගැනීමට නොහැකි නම් නිවැරදිව රෝග හඳුනා ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. නාඩි නිවැරදිව හඳුනා ගැනීම තුළින් රෝගය නිශ්චය කර නිවැරදි ප්‍රතිකාර ලබා දීම තමයි හෙළ වෙදකමේ ආශ්චර්ය බවට පත්වන්නේ. එම නාඩි වේදය තුළ මුළු සිරුරේම හට ගන්නා රෝග පිළිබඳ කතිකාවක් ගොඩනගා ගත හැකියි. ඒ විදියට හඳුනා ගන්නා රෝගවලට ප්‍රතිකාර කර නිරෝගී බව ඇති කර මුළු මහත් ලෝකයේම සෞඛ්‍යමත් ජනතාවක් ඇති කිරීම තමයි හෙළ වෙදකමේ අරමුණ. ඒ නිසා අදින් වසර 3,580ක පමණ ඉතිහාසයක් ඇති මේ හෙළ වෙදකම ඉදිරියට ගෙන යෑම සඳහා මේ නාඩි වේදය දැනීම අත්‍යාවශ්‍ය කාරණයක්. ”

නාඩි ශාස්ත්‍රය පිළිබඳව හරි අපූරු කතාවක් ද හෙතෙම පැවසීය.“එකල සිටි රජකෙනෙක් තමන්ගෙ රූපශ්‍රීයෙන් අග තැන්පත් බිසව ගිලන්ව සිටියදී වෙදැදුරා විසින් අත අල්ලා නාඩි බලනවාට කැමැත්තක් දැක් වූයේ නැහැ. ඔහු මේ නාඩි ඇල්ලීම ඇත්තක් දැයි කියා පරික්ෂා කරනු පිණිස පූසකුගේ කකුලේ නූලක් බැඳ එය වෛද්‍යවරයා අතට දී රෝගය හඳුනා ගන්න යැයි පවසා ඇත. එය පරික්ෂා කළ වෙදැදුරා මෙය පූණ නාඩියක් බවත්, මෙම නූල පූසකුගේ කකුලේ බැඳ ඇති බවත් පූසාට කිසිදු රෝගයක් නැති බවත් පවසා තිබෙනවා. ඉන් පුදුමයට හා සතුටට පත් රජු සිය බිරියගේ නාඩි පරික්ෂා කිරීමට වෛද්‍යවරයාට ඉඩ ලබාදී තිබෙනවා.”

මේ අනුව පෙනී යන්නේ නාඩි බලා එය මිනිස් සිරුරක්ද සත්ත්ව ශරීරයක්ද යන්න සැක හැර දැන ගැනීමට තරම් සුවිශේෂී හැකියාවක් නාඩි විඥානයට ඇති බවයි. බුද්ධ දාස රජුගේ කාලයේ සිට මේ දක්වා පැවත එන්නේද ඒ වෛද්‍ය ක්‍රමයයි. මේ නාඩි ශාස්ත්‍රය ප්‍රගුණ කිරීම සඳහා ආධිත්‍යා වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ට ඉතා හොඳ පුහුණුවක් හා දැනුමක් ලබා දී ඇති බව ගුණවර්ධන වෛද්‍යාචාර්යතුමා පැවසුවේය.

හදවත් රෝගීන් හඳුනා ගැනීම සඳහා මේ නාඩි විඥානයේ වැදගත්කම පිළිබඳ විමසූ විට හෙතෙම පවසා සිටියේ මෙවැන්නකි. “නාඩි විඥානය හරහා රෝගීන් සුවපත් කරන්නේ හදවත පිළිබඳව නිවැරදිම අවබෝධය ලබා ගැනීමට හැකියාව ඊට ඇති නිසයි. ඒ අනුව වාත, පිත, කප යන ත්‍රිදෝෂ හඳුනා ගනිමින් කුමනාකාරයේ හදවත් රෝගයක් රෝගියාට ඇත්දැයි හඳුනා ගැනෙනවා. ඒ අනුව රෝගියාගේ කපාට හිරවී ඇතිද, රුධිර නාල බිත්ති ඇකිලිලාද, ගැස්ම අඩු වෙලාද, හදවතේ ක්‍රියාත්මක වීම කවරාකාරද, එය ක්‍රියාත්මක නොවන්නේ මන්ද බිත්තිවල හැකිලීම සිදු වුණේ ඇයිද යන්න විනිශ්චය කළ හැකියි. ප්‍රතිකාර ලබා දෙන්නේ ඒ අනුවයි. මේ සඳහා මා පර්යේෂණ කර සොයාගත් ඖෂධ වර්ග ලබා දෙනවා. ලෝකයේ විවිධ රටවලින් අපේ ප්‍රතිකාර සොයා මෙහි පැමිණෙන්නේ අපේ ප්‍රචාරණ උපක්‍රම නිසා නෙමෙයි. මෙහි පැමිණ ප්‍රතිකාර ගෙන සුව වූ රෝගීන් ගෙන යන ප්‍රචාරය නිසයි.

ඇත්තෙන්ම මෙතරම් අශ්චර්යමත් වෙදකමක් තියාගෙන අපි මේ තරම් දුප්පත් රටක් වුණේ කොහොමද කියන කනගාටුව මට තිබෙනවා. අපේ අයට නැති හැඟීමක් අපේ බෞද්ධකම, වෙදකම ගැන සුද්දන්ට තිබුණු බව මම කුඩා කාලෙදි දැක්කා. අපේ ආච්චි අම්මාගේ වෙදකම හොයාගෙන ඒ කලෙත් විදේශිකයන් ආවා. ඔවුන්ට පුදුම උනන්දුවක් මේ වෙදකම ගැන තිබුණා. අපේ අවාසනාවට තමයි ඔවුන් මේ රට හැර ගියේ. අදත් අපේ වගකිව යුතු පාර්ශ්වයන් හරියට බෞද්ධ දර්ශනය හා වෙදකම නගා සිටුවන්න කටයුතු කරනවා නම් අපිට වේගයෙන් ඉදිරියට එන්න පුළුවන්. අද ඔවුන් අපේ රටට ඇවිත් මේ වෙදකම හදාරනවා. බෞද්ධ අධයාපනයට යොමු වෙනවා. නමුත් මේ සම්පත් දෙක ළඟ තියාගෙන අපි මොනවද මේ කරන්නේ. ඒකට අවශ්‍ය වෙන්නේ හොඳ සැලැස්මක් ඇතිව වැඩ කිරීම පමණයි. අපට ඕනේ තරම් ඩොලර් හොයන්න පුළුවන්. අප දේශීය වෛද්‍ය සභාව දැනුම්වත් කරලා මේ පිළිබඳ වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් හරිම උනන්දුයි මේ දේවල් කරන්න. ඒකට අවශ්‍ය සහාය අදාළ බලධාරීන් ලබා දිය යුතුයි”

ගුණවර්ධන වෛද්‍යාචාර්යතුමන්ගේ ප්‍රිය බිරිය ද දරුවන්ට ලෝකය දකින්නට දෑස් පෑදූ ගුරුවරියකි. ශ්‍රියාණි ගුණවර්ධන නම් ඇය අනුරාධපුර ශාන්ත ජෝසප් මහ විද්‍යාලයේ ගුරුවරියක ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව දැන් විශ්‍රාම සුවයෙන් පසුවේ. ගුණවර්ධන යුවළට පුතණුවන් තිදෙනකි. වැඩිමහල් පුතු සඳුන් ශ්‍රී ගුණවර්ධන විද්‍යාඥයෙකි. දෙවැන්නා යසස් ශ්‍රී ගුණවර්ධන ඉන්ජිනේරුවරයෙකි. තුන්වැන්නා කසුන් ප්‍රභාත් ගුණවර්ධන ආයුර්වේද වෛද්‍යවරයෙකි. මේ සියලු දෙනා එක්ව ආරම්භ කළ රෝහල වන්නේ අධිත්‍යා වෛද්‍ය කේන්ද්‍රයයි. එහි ගුණවර්ධන වෙද මහතා සහ කසුන් ප්‍රභාත් ගුණවර්ධන මූලිකව වෛද්‍ය කර්ම සිදු කරන අතර, ආධිත්‍යා ආයුර්වේද කේන්ද්‍රයේ වැඩි බරක් වෛද්‍ය කසුන් ප්‍රභාත් ගුණවර්ධන විසින් උසුලයි. විද්‍යාඥයකු වන සඳුන් ශ්‍රී ගුණවර්ධන සියලුම පර්යේෂණ කටයුතු සිදු කරන අතර මෙම ආයුර්වේද කේන්ද්‍රයේ වාස්තු ශිල්පය හා සියලු ඉදිකිරීම්වල සැලැසුම් කටයුතු සොයා බලා ඇත්තේ ඉන්ජිනේරුවරයකු වන යසස් ශ්‍රී ගුණවර්ධනය. ආධිත්‍යා ආයුර්වේද කේන්ද්‍රය අති නවින ගෘහ නිර්මාණ ශිල්පීය උපක්‍රම භාවිත කරමින් පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර ඇති අතර, සියලු පහසුකම්වලින් හා තාක්ෂණික උපකරණවලින් සමන්විත මෙම රෝහලේ රෝගීන් 75-80කට පමණ එකවර නේවාසිකව ප්‍රතිකාර ගැනීමේ හැකියාව පවති.

රෝගීන් හට නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට නවීන පහසුකම්වලින් යුත් කාමර 24ක්, වාට්ටු සංකීර්ණ 02ක් ප්‍රතිකාර කාමර 12ක් හා භෝජනාගාරයකින් මේ රෝහල සමන්විතය. මෙහි ප්‍රතිකාර කිරීම සඳහා ගුණවර්ධන වෙද මහතා යටතේ පුහුණුව ලැබූ ආයුර්වේද වෛද්‍යවරු අට දෙනකු සිටින අතර, සහායක සේවක සංඛ්‍යාව140කි. සොබා දහමට එදිරි නොවී තැනූ මෙම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ හදිසි ප්‍රතිකාර ඒකකයක්, ෙවෙද්‍ය පර්යේෂණාගාරයක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක් සහ යෝගා හා භාවනා කිරීම සඳහා ස්ථානයක් ද වේ. එසේම දෛනිකව ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් සඳහා බාහිර ප්‍රතිකාර ඒකකයකින් සහ ඖෂධාලයකින් ද මේ රෝහල සමන්විත වේ.

හෙළ වෙදකම අනුව යමින් දේශීය විදේශීය ජනතාවට නිරෝගිමත් ජීවිතයක් සලසා දීමේ උතුම් පරමාර්ථයෙන් රමණීය පරිසරයක් තුළ කායික සුවයත් මානසික සුවයත් ඇති කරගෙන දෙලොව යහපත පිළිබඳ අපේක්ෂාවන් සහිතව රෝගීන්ට සුවය ලබා ගැනීමට මේ ස්ථානය ඉදි කළ බව වෛද්‍යාචාර්ය ගුණවර්ධනයන් කීවේය. ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ස්වීඩන්, ඩෙන්මාර්ක්, එංගලන්තය, පෝලන්තය, ෆින්ලන්තය, රුසියාව, යූක්රේනය ආදි නොයෙක් රටවල සිට විශාල පිරිසක් හදවත් රෝග හා වෙනත් කායික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මෙම ස්ථානය කරා ඇදී එන්නේ මෙහි ඇති රෝගීන් සුවපත් කිරීමේ විස්මිත හැකියාව නිසාමය.

අනුරාධපුර මහරෝහල ආසන්නයේම ගුණවර්ධන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය පිහිටා තිබීම නිසා ඕනෑම අයකුට පහසුවෙන් මෙම ස්ථානය සොයාගත හැකිය.

ඊ චැනලින් සේවාව ඔස්සේ ද ආයුර්වේද වෛද්‍යාචාර්ය ගුණවර්ධ වෙත යොමු විය හැකි අතර දිනකට රෝගීන් පනස් දෙනකු පමණක් පරීක්ෂා කරයි. ඒ උදෑසන කාලයේ 25 දෙනකු හා සවස් කාලයේ 25 දෙනකු වශයෙනි.

 

Comments