
* හොඳම පරිවර්තනය නිලුක කදුරුගමුවගේ මම රක්ත වර්ණ නම් වෙමි
* හොඳම කාව්‍ය සංග්‍රහය අනුරාධා නිල්මිණීගේ නාරි සූත්‍රය
* විෂය ක්ෂේත්‍ර 21කට භාෂා ත්‍රිත්වයෙන්ම සම්මාන
* හොඳම නවකතාව සහ කෙටිකතාව එරික් ඉලයප්ආරච්චිගේ නකුල මුනි සහ ජාත්‍යන්තර පාපොච්චාරණයක්
සාහිත්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයෙන රාජ්‍ය සාහිත්‍ය 2022 සම්මාන ප්‍රදානෝත්සවය ඔක්තෝබර් 28 සිකුරාදා පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විණි. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායකගේ ද සහභාගිත්වයෙන් පැවැත් වුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී සාහිත්‍ය සම්මාන 19ක් පිරිනැමිණි. ඊට අමතරව හොඳම පොත් පිටකවරයට හා හොඳම නිමාවෙන් හා පිටු සැකැස්මෙන් යුතු ග්‍රන්ථයට ද සම්මාන පිරිනැමිණි. එමෙන්ම ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන සාහිත්‍ය රත්න සම්මානයෙන් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, මහාචාර්ය කමනි ජයසේකර සහ ටී. ඥානසේකරන් යන සාහිත්‍යවේදීහු ද පිදුම් ලැබූහ.
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු කොළඹ මරදානේදී 1943 අප්‍රේල් 5 වැනිදා ඉපිද මාතර පල්ලිමුල්ලේ හැදී වැඩුණු අයෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ දීර්ඝ කාලීන ආචාර්යවරයකු සේ කටයුතු කරන මහාචාර්ය පල්ලියගුරු රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ නිර්මාණවේදියෙකි; පර්යේෂකයෙකි; ජනශ්‍රැතිවේදියෙකි; විචාරකයෙකි.
සාහිත්‍ය රත්න සම්මානයෙන් ඉංග්‍රීසි සාහිත්‍යයට කළ මෙහෙවර වෙනුවෙන් පිදුම් ලැබූ මහාචාර්ය කමනී ජයසේකර ජන්ම ලාභය ලබන්නේ 1959 ඔක්තෝබර් 11 වැනිදාය. කැලණිය විශ්වවිද්‍යාලයේ දීර්ඝ කාලයක් තිස්සේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ආචාර්යවරියක ලෙස කටයුතු කරන ඇය, රාජ්‍ය සම්මානය ඇතුළු බොහෝ සම්මාන දිනා ගත් නිර්මාණවේදිනියකි. දෙමළ සාහිත්‍යයට කරන ලද අනූපමේය සාහිත්‍ය මෙහෙවර වෙනුවෙන් සාහිත්‍ය රත්න සම්මානයෙන් පිදුම් ලැබූ ටී. ඥානසේකරන් උපත ලැබුවේ යාපනයේ පුන්නාලෛක්කට්ටුවාන්හි දී 1941 වසරේදීය.
දෙමළ සාහිත්‍යය වෙනුවෙන් සිය ලිවිසැරිය කැප කළ ඔහු ශ්‍රී ලංකා රජයේ කලාභූෂණ සම්මානය ඇතුළු විවිධ සාහිත්‍ය ආයතනවලින් සම්මාන තිස් පහකට වඩා වැඩි සංඛ්‍යාවක් සහ ගෞරවය ද ලබා ඇත. මෙකී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන සාහිත්‍ය රත්න සම්මාන පිරිනමන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසිනි. ඒ අවස්ථාවට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක, එම අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, සංස්කෘතික අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ තරණි ගමගේ ද සහභාගී විණි.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ ආරම්භයේ සිට පෙරේදා පැවැත්වූ 2022 සම්මාන ප්‍රදානය තෙක් ශ්‍රී ලංකාවේ, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් රචිත නිර්මාණ සාහිත්‍යයේ, ශාස්ත්‍රීය හා පර්යේෂණ ක්ෂේත්‍රයේ පළ වූ විශිෂ්ට නිර්මාණ විශාල ප්‍රමාණයක් ද, ඒවා රචනා කළා වූ විශිෂ්ටයන්ගේ නාමාවලියක් ද මේ මොහොතේ සිහිපත් වීම වැළැක්විය නොහැකිය. 1956දී පළමු වරට සංස්කෘතික අමාත්‍යාංශයක් පිහිටු වීමත්, 1957දී පළමු රාජ්‍ය සාහිත්‍ය උලෙළ කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවණෙහි පැවැත්වීමත්, 1959 දී ප්‍රථම වරට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ පවත්වා තිබීමත් දශක හයකටත් වඩා පැරණි රාජ්‍ය සාහිත්‍ය උලෙළ ඉතිහාසයේ වැදගත් කඩඉම් ය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ අනෙක් සම්මාන උලෙළකට වඩා සුවිශේෂී වන්නේ භාෂා ත්‍රිත්වයෙන්ම පළ වන විශිෂ්ට කෘති වර්ගීකරණ රැසකට සම්මාන පිරි නැමෙන ශ්‍රී ලංකාවේ පළමු හා එකම සාහිත්‍ය සම්මාන උලෙළ එය වන බැවිනි.
ඒ අනුව මේ පැවැත් වෙන්නේ 65 වැනි රාජ්‍ය සාහිත්‍ය උලෙළයි. එහිදී 2021 වර්ෂයේ මුද්‍රිත කෘති 1,808ක් අතරෙන් විෂය ක්ෂේත්‍ර 21ක් සඳහා සම්මාන ප්‍රදානය කෙරිණි. 2022 වසරේ නවකතා 258ක්, කෙටිකතා සංග්‍රහ 72ක්, කාව්‍ය සංග්‍රහ 96ක්, පරිවර්තන කෘති 95ක් හා පර්යේෂණ කෘති 30ක් ආදී වශයෙන් ප්‍රධාන ඉසව් සඳහා ඉදිරිපත් වූ කෘති අතරෙන් මෙකී සම්මානලාභී කෘතිය තෝරා ගනු ලැබිණි. භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කෘති සමීක්ෂණයට ලක් කළ බැවින් මෙය වසරක් පුරා සිදු කෙරෙන දැවැන්ත හා අසීරු කර්තව්‍යයකි.
මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ හා සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි ප්‍රමුඛ සාහිත්‍ය අනු මණ්ඩලය විසිනි.
රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ ගෞරවනීයත්වය සේම විෂය 21ක් පුරා භාෂා ත්‍රිත්වයෙන්ම කෙරෙන සම්මාන ප්‍රදානය කිසිසේත්ම සුළුපටු කාර්යයක් නොවන බැව් සිහිපත් කිරීමට කැමැත්තෙමි.
ඩී.ආර්.විජේවර්ධන අනුස්මරණ නවකතා අත් පිටපත් තරගය, විභවි සංස්කෘතික මධ්‍යස්ථානය මෙහෙය වූ සාහිත්‍ය සම්මාන උලෙළ, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මාන, ස්වර්ණ පද්ම සාහිත්‍ය සම්මාන , ස්වර්ණ පුස්තක, රජත පුස්තක හා කවිතා සාහිත්‍ය සම්මාන ආදී ලෙසින් විවිධ වර්ගයේ සම්මාන උලෙළ ඉතිහාසයක් අප සතුව ඇත. මේ අතරිනුත් වැදගත්ම කරුණ වන්නේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය යනු රජයේ අනුග්‍රහයෙන්, රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙන සම්මාන උලෙළක් වීමයි.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ නව ක්ෂේත්‍ර සඳහා සම්මාන පිරි නැමීම හඳුන්වා දෙමින්, සම්මාන විනිශ්චයේ පාරදෘශ්‍ය භාවය රැක ගනිමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන උසස්ම සාහිත්‍ය සම්මාන ප්‍රදාන උලෙළයි. හැට පස් වැනි වරට ඉකුත් 28 වැනි සිකුරාදා පැවැත් වූයේ එහි අතීත අභිමානය ද සිහිගන්වමිනි.
1959 වසරේ සිට අද දක්වා පැවැත් වෙන මෙම සම්මාන උලෙළේදී බොහෝ දෙනකුගේ අවධානය යොමු වෙන විෂයය ක්ෂේත්‍රය වන්නේ හොඳම නවකතාවට හිමි සම්මානය ය. 1968, 1994, සහ 2004 යන වසරවල මෙම සම්මානය පිරිනමා නැති අතර, වසර 11කදී දෙදෙනකුට සම සම්මාන පිරිනමා ඇත. මෙතෙක් හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය වැඩිම වාරයක් දිනා ගෙන ඇත්තේ කේ. ජයතිලක ය.
සම්මාන ඉතිහාසයේ තවත් විශේෂිත සිදුවීමක් වූයේ 2019 හා 2020 වසර එක් කර 2021 පැවැත් වූ රාජ්‍ය සාහිත්‍යය සම්මාන උලෙළේදී ය. එහිදී එරික් ඉලයප්ආරච්චි සම්මාන උලෙළකදී නිර්මාණකරුවකු වැඩිම වාරයක් සම්මානිත වීමෙන් පමණක් නොව සම්මාන උලෙළකදී පිදෙන ප්‍රධාන ධාරාවේ ප්‍රධාන සම්මාන දෙකක් වන හොඳම නවකතාව මෙන්ම හොඳම කෙටි කතාවට හිමි සම්මානය හිමි කර ගැනීම ය. 2021 වසර වෙනුවෙන් ද ඔහු එකී සම්මාන ද්විත්වය 2022 වසරේදී ලබා ගත්තේ ය.
2021 වසර වෙනුවෙන් පිදුණු සම්මාන අතර හොඳම දමිළ ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය දිනාගත්තේ සිවලිංගම් ආරුරන් නම් ලේඛකයාගේ ආදුරු සාලෙයි කෘතියයි. හොඳම ඉංග්‍රීසි නවකතාවට හිමි සම්මානය දිනා ගත්තේ ප්‍රේමිනී අමරසිංහ ලියූ Footprints කෘතියයි.
මෙවර 65 වැනි රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී හොඳම නවකතාව, හොඳම කෙටිකතා සංග්‍රහය, හොඳම පද්‍ය සංග්‍රහය, හොඳම පරිවර්තිත නවකතාව සේ සම්මාන දිනා ගත්තේ පහත සඳහන් කෘති හා කර්තෘවරුන් විසිනි.
හොඳම නවකතාවට හිමි සම්මානය නකුල මුනි නවකතාව වෙනුවෙන් එරික් ඉලයප්ආරච්චි දිනා ගත් අතර හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස ජාත්‍යන්තර පාපොච්චාරණයක් කෘතිය වෙනුවෙන් ද හේ සම්මානය දිනා ගත්තේ ය.
හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සම්මානය මෙවර දිනා ගන්නා ලද්දේ නාරි සූත්‍රය කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් අනුරාධා නිල්මිණී කිවිඳියයි. හොඳම පරිවර්තනයට හිමි සම්මානය දිනා ගත්තේ ඔර්හාන් පාමුක්ගේ My Name Is Red කෘතිය මම රක්තවර්ණ නම් වෙමි ලෙස පර්වර්තනය කළ නිලුක කදුරුගමුව ය. රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව මෙය සංවිධානය කර තිබිණි.
ඡායාරූප - රුක්මල් ගමගේ සහ සුදත් නිශාන්ත