
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
මෙදා වියොවක් නෑ
පල්ලේගම හේමරතන හිමියන් ගැන අසන විට අපගේ මතකයට එන එක් ගී ඛණ්ඩයකි ඒ. පල්ලේගම හිමියන්ගේම පන්හිඳෙන් ලියවුණ එම ගීතයේ අවසන මෙසේ සඳහන් වේ.
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ
පල්ලේගම හේමරතන හිමියන් තම ගීතයේ ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ යයි කියුවද දැන් හේමරතන හිමියන් ජයග්‍රහණය කොට ඇත. ඒ අටමස්ථානාධිපති හිමියන් ලෙස පත් වීමෙනි. එයින් දිනුවේ සමස්ත බෞද්ධ ප්‍රජාවමය.
ඊටත් වඩා මේ සියල්ල සිදු වී ඇත්තේ සොබාදහමට අවනතව නිසා ගීතයේ මැද කොටසේ ඇති පරිදි කාගේවත් හිතේ කහටක් නැත. පල්ලේගම සිරිනිවාස හිමියන් අපවත් වූ අවස්ථාවේ පල්ලේගම ගම ගැන ඕනාවටත් වඩා ලියූ නිසා පල්ලේගම ගම ගැන ආයෙත් කියන්නට අවශ්‍ය යැයි නොසිතමි. දැන් කියන්නට ඇත්තේ අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස හිමියනුත් වත්මනෙහි අටමස්ථානාධිපති ධුරයට පත් පල්ලේගම හේමරතන හිමියනුත් මහණ වූයේ එකම මොහොතක බවය. පල්ලේගම කරඳගොල්ලේ වලව්වේ කිරිබණ්ඩා ගොවි මහතාටත්, කරුණා කුමාරි හාමිටත් දාව පුතකු උපන්නේ 1954 ජුනි 15 වැනිදාය. ඒ වලව්වේ උපන් මේ එකම දරුවාට කරඳගොල්ල වලව්වේ නන්දරත්න යන නම තබන ලදි.
මුලින්ම හේමරතන හිමියන් ඇතුළත් වුණේ බූලාගල කනිෂ්ඨ විද්‍යාලයට. එය අඩු පහසුකම් තිබුණු ගමේම දරුවන්ට ගැළපුණු පුංචි දුප්පත් ඉස්කෝලයකි. ඉන් පස්සේ වැලිහේනේ මහා විද්‍යාලයෙනුත් උන්වහන්සේ මූලික අධ්‍යාපනය හදාරා ඇත. ඒ කාලේ හැටියට දඹුල්ල පළාතේ තිබුණු පිළිගත් පාසලක් විදිහට කණ්ඩලම පල්ලේගම සිද්ධාර්ථ මහා විද්‍යාලයට ඇතුළත් වීම එකල කාටත් පුංචි හීනයක් විය. හේමරතන හිමියන්ගේ ද ඒ හීනය හැබෑ වුණි. අට වසර දක්වාම අධ්‍යාපනය ලැබුවේ සිද්ධාර්ථයෙනි. උන්වහන්සේ ගිහි ජීවිතයේ ඉහළම අධ්‍යාපන සුදුසුකම ලෙස සැලකුවේ එයයි.
පල්ලේගම හේමරතන හිමියන්ගේ පියාණන් කාලයක් පල්ලේගම ධර්මරක්ඛිත හාමුදුරුවන්ගේ පන්සලේ නවාතැන් ගෙන සිට ඇත. ඒ වන විට ධර්මරක්ඛිත හිමියන් රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරි ලෙස වැඩ හුන් සමයයි. තමා උපන් ගම් පළාතට වසරකට කිහිපවිටක් වැඩම කරවීම උන්වහන්සේගේ සිරිතය. එහෙම වඩින අවස්ථාවල උන්වහන්සේ අනිවාර්යයෙන්ම ලොකු විස්කෝතු මල්ලක් අරගෙන ඒම සිරිතය. මේ විස්කෝතු මල්ල ගමේ ළමයින්ට බෙදා දීමටය.
"මගේ ගිහි ජීවිතයේ සන්ධිස්ථානය එළඹෙන්නේ 1967 අවුරුද්දෙයි. ඒ කියන්නේ මම අට වසරේ පන්තියෙ ඉගෙන ගත්දියි. මට දැන් හිතෙනවා ඒ සිද්ධිය අහම්බයක් නෙමෙයි කියලා. පැවිදි සමාජයට ඇතුළු වෙන්න වාසනා ගුණය එන්නේ පෙර ආත්මයේදී සිටයි. ඒ නිසා මේ කඩඉම අහේතුකවම එළැඹුණා කියලා මගේ විශ්වාසය. දවසක්දා එවකට රුවන්වැලි සෑය විහාරාධිපතිව වැඩසිටි පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත ලොකු හාමුදුරුවන් වහන්සේ අපේ ගමට වැඩියා. ඒ මහණ කරන්ඩ සුදුසු ළමයි හොයාගෙනයි.
පවුලේම තවත් ඥාතියෙක් වන විජේකෝන් ආරච්චි අත්තාත් මේ කාරණය අරමුණු කරගෙන ලොකු හාමුදුරුවොත් එක්ක ගෙන් ගෙට ගියා. මගෙ මවුපියන්ට උන් වහන්සේගේ අදහස සැල කළාම ඥාතිත්වයත්, ගෞරවයත් නිසාම ඉල්ලීම අහක දාන්න බැරි මට්ටමට මවුපියෝ පත්වුණා. ඒ අනුවයි මගේ පැවිදි ජීවිතයට මඟ පෑදුණේ. 1968 අවුරුද්දේ මැයි මස නව වැනිදා උතුම් ජය සිරි මහ හාමුදුරුවන් වහන්සේ ඉදිරියේ හිසකේ දැලි රැවුල් බා කර්ම වාක්‍ය කියවා මහණකමට ඇතුළත් වුණා. "
එතැන් සිට රුවන්වැලිසෑයේ නේවාසිකව වැඩ සිටි හේමරතන හිමියන් ථූපාරාමය මහා විහාර පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලබා 1971 අවුරුද්දේ කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙන් ප්‍රාචීණ අංශයේ අධ්‍යාපනය ලැබීය. 1975 අවුරුද්දේ සඳලංකා ශාස්ත්‍රෝදය පිරිවෙනෙන් උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාලයට යාමට වරම් ලැබූ උන්වහන්සේ 1978 අවුරුද්දේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ගන්නා ලදි.
පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පරිවේණාධිපති වෑගම පියරතන, ඉන්දියාවේ මහා බෝධි සමාගමේ දොඩම්ගොඩ රේවත, එංගලන්තයේ කිංස්බරි විහාරයේ පියදස්සී යන හාමුදුරුවන් වහන්සේලා හේමරතන හිමියන්ගේ සමකාලීන අධ්‍යාපන සගයන්ය. පසුගියදා අපවත් වූ සිරිනිවාස හිමියන් සමඟ හේමරතන හිමියන් මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූයේ 1971 දීය. එවකට එහි පරිවේනාධිපති ධුරය දැරුවේ කළුකොඳයාවේ පඤ්ඤාසේකර හිමියන්ය. උපාධිය ලැබීමෙන් පසු පල්ලේගම හේමරතන හිමියන් නැවත අනුරාධපුරයට වැඩම කරන ලදී. 1982 මහා විහාර පිරිවෙනේ ගුරුවරයකු ලෙස වැඩ භාරගත් උන්වහන්සේ ඊට වසර දහයකට පසු 1992 දී එහි පරිවේනාධිපති ධුරයට පත් වූහ.
පල්ලේගම හේමරතන හිමියන් උඩමළුව භාරව තේවාව වසර දහයක්ම පැවැත්වූයේ 1977 සිටය. ඒ රේවත හිමියන් අපවත්වීම නිසාය. එමෙන්ම ජේතවන ව්‍යාපෘතිය භාරව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අටමස්ථානයේ නියෝජිතයකු ලෙස කටයුතු භාර කෙරුණේ පල්ලේගම හේමරතන හිමියන්ටය. 1997 අගෝස්තු 15 වැනිදා රුවන්වැලිසෑයේ භාරකරත්වය පල්ලේගම හේමරත හිමියන්ට පවරන ලදි. පල්ලේගම හේමරතන හිමියන් පන්හිඳ අතට ගැනීමට මුල්වූ පසුබිම ගැන දැන ගැනීමට බොහෝ දෙනා විමසිලිමත් වෙති.
"මහණ වුණු අලුත මහා විහාර පිරිවෙනේ ඉද්දි නිතර මම බෝමළුව පන්සලට යනවා එනවා. ඒ ගමනේදී අලුත්වැවේ විමලඥාන හාමුදුරුවෝ නිතර නිතර මුණ ගැහෙනවා. නිවාඩුපාඩුවක් ලැබෙන වෙලාවට උන්වහන්සේ මොන මොනවදෝ කොළ කෑලිවල ලියනවා මා දැක්කා. බලනකොට ලස්සන කවි පන්ති ඉදිරිපත් කරනවා. ඒ ආශ්‍රය කවියක් ලිවීමේ මා තුළ තිබුණු ආශාව මුදුන් පැමිණුවා."
1969 දී පල්ලේගම හේමරතන හිමියන් ලියූ කවි පන්තියක් මුලින්ම පළකොට ඇත්තේ ලේක්හවුස්හි 'බුදුසරණ' පත්‍රයේය. 1979 රජරට සේවය ආරම්භයත් සමඟ හේමරතන හිමියන්ට ප්‍රේමකීර්ති ද අල්විස්, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර වැනි මහා නිර්මාණ දැවැන්තයන්ගේ ඇසුර ලබන්නට හැකි විය. ප්‍රේමකීර්ති තම 'රජරට මී බින්දු' වැඩසටහනට හේමරතන හිමියන්ගේ කවි පන්තියක් එක් කරන්නට අමතක කළේ නැත.
වරක් හේමරතන හිමියන් ලියා යැවූ කවි පන්තියක් ප්‍රචාරය නොවීම ගැන ප්‍රේම්ගෙන් හා ස්වර්ණ ශ්‍රීගෙන් විමසන ලදි. පසුව එම නිර්මාණය විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන සරල ගී වැඩසටහනකදී ගායනා කරන ලදී.
'මවගේ උකුළේ නැළවුණු
සමයේ බිලිඳු වියේ
මව මා වෙනුවෙන්
වින්ද වේදනා
හඳුනා ගත්තෙමි පුංචි පුතේ..."
ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ පල්ලේගම හේමරතන හිමියන්ගේ මුල්ම නිර්මාණය එයයි. "බෝධියෙන් වට බෝ පතක්සේ සිනිඳු වැලි මළුවේ රැඳී ඉන්නට වරම් මට කොයිදෝ" ගීතය මෙන්ම ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ එච්.ආර්. ජෝතිපාල ගායනා කළ "සත් පොට මාලේ බැඳි මිනි බොල් මේ..." ගීතය ද මෙරට රසික ජනතාව වැලඳ ගත්තේ පල්ලේගම හේමරතන හිමියන්ගේ ජනප්‍රියම නිර්මාණ ලෙසය. මේ වන විට උන්වහන්සේ රචනා කොට ඇති ගීත සංඛ්‍යාව 250කට අධිකය. පල්ලේගම හිමියන්ගේ නිර්මාණ ඇතුළත් "පහන නිවේ දොළොස් මහේ" කෘතිය නිකුත් වූයේ 1988 දීය. ඉන්පසු 2004 අතීතය සිහිනයක් පමණි ගීත පොත සහ 2009 දී තෙවැනි ගීත පොත "සීතල ගඟුල වගේ" නිකුත් කෙරිණි. සඳඑළිය සංයුක්ත තැටිය නිකුත් වූයේ ද 2004 දීය.
පල්ලේගම හේමරතන හිමියන් කියා සිටින්නේ තමන්ගේ ප්‍රියතම දේශීය ලේඛකයා එදිරිවීර සරච්චන්ද්‍ර බවත්, විදේශීය ලේඛකයා ලියෝ තෝල්ස්තෝයි බවත්ය. එහෙත් භික්ෂුවක් අතීතය සිහිනයක් පමණි වැනි ගීතයක් ලිවීම ගැන විවිධ මති මතාන්තර ඇත. එහෙත් පල්ලේගම හේමරතන හිමියන් මේ ගැන දක්වන්නේ මෙවැනි අදහසකි.
"මතුපිටින් බලනකොට මේක බොහොම සරල ප්‍රේම ගීතයක් වගේ පේන්න පුළුවන්. ඒ නිසාම සමහරු හාමුදුරුවරු මොකටද ප්‍රේම ගීත ලියන්නේ වගේ තර්කත් මතු කරනවා. අංගුත්තර නිකායේ මුල්ම කොටසේ දැක්වෙන ධර්ම කරුණුවලට අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙන්ම මෙහෙම දේශනා කරනවා. මහණෙනි රූපයෙහි ආශ්වාදයක් ඇත. ආදීනවයක් ද ඇත. ඒ වගේම ස්ත්‍රිය සහ පුරුෂයා අතර ඇතිවන බැඳීමේ ස්වභාවයත් උන්වහන්සේ ඉතා යථාර්ථවාදී විදිහට භික්ෂූන් වහන්සේට දේශනා කරනවා. නමුත් බුදු දහමෙහි කෙලෙස් වශයෙන් හැඳින්වෙන ඇලීම් ගැලීම් තුළ විවිධ ව්‍යාකූලතා සංකීර්ණතා, ඇතිවන නිසා එහි යථාවබෝධය වටහා ගන්න කියලයි උන්වහන්සේ දේශනා කළේ. ඒ නිසා මම කියන්නේ භික්ෂුන් වහන්සේ නමකගෙන් ප්‍රේමය පිළිබඳ අදහසක් පළවීම වරදක් නොවෙයි. නමුත් ඉන් ප්‍රේමය පිළිබඳ බෞද්ධ අර්ථ විග්‍රහය නිවැරැදිව ඉදිරිපත් විය යුතුයි කියලයි."
පල්ලේගම හේමරතන හිමියන් කවදත් කිවුවේ සිවුරේ බලයට ඉහළින් කිසිදු බලයක් මෙලොව නැති බවය. උන්වහන්සේ භික්ෂුන්ගේ වගකීම ලෙස සැලකුවේ සිවුරේ බලය රැකගෙන ලෝකවාසී ජනතාවට යහපත ඉටු කිරීම සහ බුද්ධ ශාසනය රැක ගැනීමය. පල්ලේගම හේමරතන හිමියන් දැන් ඉතිහාසගත වනු ඇත්තේ ගීත නිබන්ධනය කළ එකම අටමස්ථානාධිපති හිමියන් ලෙසය. නමුත් ගීතයක් බිහි වන්නේ පද රචනය, තනුව සහ ගායනය යන අංග තුන සම්පූර්ණ වූ විටදීය. පිරිත් සංජායනයකදී බොහෝවිට චෝදනා නැඟෙන්නේ එම පිරිත් සජ්ඣායනය කරනවා නොව තාලයට ගායනා කරනවා යන චෝදනාවකි. ගීත නිබන්දක පල්ලේගම හේමරතන හිමියන් දක්වන අදහස් වඩාත් විවාදාත්මක වනු නියතය.
"අදහසට හානි නොවන පරිදි පිරිත් දේශනාව සිදු කළ යුතුයි. ඒ නිසා අප බොහෝ දුරට ප්‍රවේසම් වෙනව ගීත ස්වරයෙන් මිදිල දේශනා කරන්න. ඒ අතර මූලික අදහසට හානි නොවන ආකාරයට විවිධ සම්ප්‍රදායන් හි අනන්‍යතාව ද රැකගත යුතුයි. පිරිත් දේශනාව බෝධි පූජාව අද මේ සියල්ල දේව විශ්වාසයට අනුව සිදු වෙමින් පවත්වනවා. දේවාලයට ගිහිල්ල දේව කන්නලව්වෙන් බලාපොරොත්තු වෙන දේ පිරිතෙන් කරගන්න හදනවා. ඉස්සර මිනිස්සු දෙවියන්ට කිරි වෙහෙර වැඳල කතරගම දෙවියන්ට පින් දුන්නා. නමුත් අද මිනිස්සු කරන්නේ ඉස්සර වෙලාම කතරගම දේවාලයට වැඳලා කිරි වෙහෙරට ගිහින් පින් දෙනවා. සියල්ල විකෘති කරලා.
පිරිතටත් අද මේ දේ වෙලා. අපි අහල තියෙනව සමහර අය ඉන්නව එළිවෙනකන් පිරිත් අහල එහි ආනිශංස උරගා බලන්න ගෙදර යන ගමන් රේස් බුකියට රිංගලා අශ්වයො ඔට්ටු අල්ලනවා. එහෙම සෙත් ලැබෙන්නේ නැහැ. අද පිරිත් නූල් ගැට ගහන්නේ අවුරුදු 40ක් ගෙදරට නාකි වුණු දුවට කසාදයක් හරි යන්න. පිරිතටත් අද දේව සංකල්ප රිංගලා."
හේමරතන හිමියන් රචනා කළ 'සඳමඩල වී ගුවනේ රැඳි' ගීතයට හොඳම ගී පද රචනයට හිමි සම්මානය ලැබුණේ හිරු ගෝල්ඩන් සිනමා උලෙළේදීය. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ 'මහරජ ගැමුණු' චිත්‍රපටයටය.
එමෙන්ම 2017 සරසවි සම්මාන උලෙළේ හොඳම ගීත රචකයා වූයේ පල්ලේගම හේමරතන හිමියන්ය. ගීත රචනය ගැන හේමරතන හිමියන් කියන්නේ අඳුරට සාප කරනවාට වඩා එක පහනක් දැල්වීම වටින බවය. තමන් වහන්සේට හැකි ආකාරයට උපරිම ආකාරයට හොඳ ගීත ටිකක් නිර්මාණය කොට සමාජය දායාද කිරීම උන්වහන්සේගේ සමාජ කාර්යක් වී තිබේ.
පල්ලේගම හේමරතන හිමියන් අටමස්ථානාධිපති වහන්සේ ලෙස පත්වන්නේ 2022 ඔක්තෝබර් 25 වැනිදාය. ලෝකය නිත්‍ය - සුබ - ආත්ම වශයෙන් සිතන තැනැත්තා දෙලොවම පිරිහෙන බවත් අනිත්‍ය - දුක්ඛ - අනාත්ම යන ලෝක ස්වභාවය පිළිබඳ ලබා ගන්නා නිවැරැදි වැටහීම ඔස්සේ සැහැල්ලු පිරිසිදු මනැසක් ජීවන දර්ශනයක් ගොඩනඟා ගැනීම මඟින් මිනිසාගේ දෙලොව යහපත උදාවනබව බුදු දහමේ ඉතා කදිමට විස්තර කොට තිබෙන ආකාරය පල්ලේගම හේමරතන හිමියන් පොදු ජනතාවට තේරුම් කොට දුන්නේ ගීතයෙනි.
අටමස්ථාන වැනි පුණ්‍ය භූමිවලට සම්‍යදෘෂ්ටික දෙවි දේවතාවුන්ගේ ඇල්ම බැල්ම හිමි වෙන බව අමුතුවන කිවයුතු නැත. මූලික බුදු සමයට අනුව වර්තමානයේ වුණත් මාර්ගඵල අවබෝධ කර ගත් උතුමන් නැතැයි කියන්න අපහසුය. වර්තමානයේ රහතුන් සිටිය නොහැකිය කියන මතය ස්ථාපිත වී ඇත්තේ පසුකාලීන බෞද්ධ ලේඛනවල ධර්ම විනය පවතින තුරු සීල, සමාධි, ප්‍රඥා යන ආධ්‍යාත්මික ශක්තීන් ඔස්සේ ඕනෑම කෙනෙකුට නිවන් මඟ විවර කරගත හැකි බවය මූලික බුදු සමයෙන් පැවසෙන්නේ. ආගම ධර්මය මෙන්ම සාහිත්‍ය ක්ෂේත්‍රයේදී මිහිපිට මෙහෙවරක් ඉටු කරන්නට දැන් ඉතින් පල්ලේගම හේමරතන හිමියන්ට ජාතියේම ආශිර්වාදය හිමිවනු නියතය.