
මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිළී මියගිය ඉෂාලිනිගේ මරණයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රක්කයේ වතු කම්කරු දරුවන් මෙහෙකාර සේවයට රැගෙන යාම සම්බන්ධව පුළුල් කතිකාවක් රටේ නිර්මාණය විය. කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි නිවෙස්වල ළමා මෙහෙකරුවන් සිටී නම් වහාම ඔවුන් නිවෙස් වලට යොමු කරන ලෙස රජය දැනුම් දුන්නේ ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධ නීතියෙන් නියම කළ හැකි දඬුවම් ද සිහිපත් කරමිනි. කාලයත් සමඟ දැන් ඒ සම්බන්ධ අවධානය සමාජයෙන් ගිලහී ගොස් තිබේ. යළිත් සුපුරුදු පරිදි මෙහෙකාර සේවයට ළමුන් සොයා දෙන ඒජනත්වරු වතුකරය තුළ ක්‍රියාත්මක වෙමින් සිටී. මෙහෙකාර සේවයේ යෙදෙන දරුවන් සියලු දෙනා අධ්‍යාපනය අතරමඟ නතර කරගත් අය වන අතර බොහෝ අවස්ථාවල ඔවුන් මෙහෙකාර සේවයට යොමු කර තිබෙන්නේ දෙමව්පියන්ගේ ද ආශීර්වාදයෙනි. මේ වනවිට වතුකරයේ පාසැල් හැරයන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ ඒ හා බැඳුණු ළමා මෙහෙකාර සේවය, ළමා මවුවරු, ළමා අපචාර ඉහළ යන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබේ.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පාසල් නොයන හා අතරමග පාසැල් හැර යන දරුවන් වැඩියෙන්ම වාර්තා වන දිස්ත්‍රික්කයක් ලෙස නුවරඑළිය හඳුනා ගෙන ඇත. මධ්‍යම පළාතේ මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක දෙක හා සැසඳීමේදී නුවරඑළියේ ළමා මවුවරු වාර්තා වීමද වැඩිය. වයස අවුරුදු 05ට අඩු මන්දපෝෂණ තත්ත්වයට අදාළ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ දත්ත අනුව මන්දපෝෂණයට හේතුවන අඩු බර, කෘෂ බව හා මිටි බව වැඩි ඇති දරුවන් වැඩි ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ නුවරඑළියෙනි. ජාතික මට්ටමින් අඩු බර දරු උපත් සිදුවීම 12.2%ක් වෙත්දී නුවරඑළියේ එම අගය 20%කි. පිළිවෙළින් කෘෂ බව හා මිටි බව ට අදාළ ජාතික මට්ටමේ දත්තා 7.4%ක් හා 8.2%ක් වෙත්දී නුවරඑළියේ එම අගයන් 9.7% ක් හා 17.4%කි. වතුකම්කරු පවුල් අතර පවත්නා දරිද්‍රතාව මේ තත්ත්වයට හේතුවී තිබේ. ක්‍රමයෙන් දරිද්‍රතාව ඉහළ යද්දී කුසට ලැබෙන ආහාර ප්‍රමාණය මුලින් සීමා කරන මවුපියෝ ඊළඟට කප්පාදු කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට වැය කරන මුදල් ය.
කොවිඩ් වසංගතය ආරම්භ වීමට පෙර 2018 වසරට අදාළව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, කොත්මලේ, හැටන්, වලපනේ හා හඟුරන්කෙත යන අධ්‍යාපන කොට්ඨාසවල ළමුන් 1314 දෙනෙකු අතරමඟ පාසල් හැර ගොස් තිබෙන බවයි. මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක දෙකේම පාසල් හැරගිය ළමුන් ගණන 667 ක් වෙද්දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යෑම සුළුවෙන් තැකිය නොහැකි කාරණයකි. ඒ වසරේදී මධ්‍යම පළාතේ ළමුන් 350 දෙනකුම පළමු වසර සඳහා කිසිදු පාසලකට ඇතුළත් කර නොමැති බව නිරීක්ෂණය වී තිබේ. එම ගණනින් ද 152 දෙනකුම අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කටය. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මෙරට තුළ මෑතක සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී තිබෙන්නේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වතුකරයේ පාසැල් දරුවන් අතරින් 7%ක් පාසල් ගමනට සමුදී තිබෙන බවයි.
කොවිඩ් අර්බුදය නිසා වසරකට වඩා වැඩි කාලයක් පාසල් වසා තිබීමත් රට ආර්ථික අතින් කඩා වැටීම හේතුවෙන් ඇතිවූ දරාගත නොහැකි ජීවන ගැටලුත් නිසා මේවන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ අතරමඟ පාසැල් යැර යන සිසු සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ. 2018 වසරේදී හැටන් අධ්‍යාපන කලාපයේ 350ක් වූ අතරමඟ පාසැල් හැර ගිය සිසු සංඛ්‍යාව මෙම වසරේදී 800 දක්වා ඉහළ ගොස් තිබෙන බව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය මඟින් කළ නිරීක්ෂණයකදී හෙළිව ඇත. නුවරඑළිය කොට්ඨාසයේ ද ළමුන් 355ක් ද හඟුරන්කෙක කොට්ඨාසයේ ළමුන් 142ක් ද මේ වන විට පාසල් ගමන අතර මඟ නවතා තිබෙන බව තොරතුරු පනත යටතේ කළ විමසීමකදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අනාවරණය කළේය.
මධ්‍යම පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මේ සම්බන්ධව මෙසේ පැවසුවේය.
‘කොවිඩ් වසංගතය එන්න කලින් නුවරඑළියේ කළ අවසාන සමීක්ෂණයේදී පාසැල් හැරගිය බාල වයස්කාර දරුවන් 995 ක් පිළිබඳ තොරතුරු හෙළි වුණා. මේ අතර සිංහල ළමයි හිටියේ 50 දෙනෙක් පමණයි. අනිත් සියලුම ළමයි වතුකරයේ දරුවෝ. මේ ළමයි මල්මාලා දලා, පොත්පත් දීලා නැවත පාසල් ගත කළා. නමුත් එතනින් 50%ක් පමණ පාසල් ගමන ආයෙත් අත්හැරියා. වැඩිම පිරිසක් පාසැල් හැර යන්නේ පහේ පන්තියෙන් පසුවයි. දරිද්‍රතාව වැඩි නිසා ළමයි රැකියා කරන්න පෙලඹෙන බව නිරීක්ෂණය වී තිබෙනවා. මේවන විට අධ්‍යාපන කොට්ඨාස මට්ටමින් අපි පාසැල් නොඑන ළමුන් පිළිබඳ දත්ත රැස් කරමින් ඉන්නවා.
නුවඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පෙන්වා දෙන පරිදි එම දිස්ත්‍රික්කයේ ආනරක්ෂිත තත්ත්වයේ පසුවන දරුවන් සංඛ්‍යාව 3000කට ආසන්නය. වැන්දඹු කාන්තාවන් 36311ක් දිස්ත්‍රික්කයේ සිටින බවත් ඔහු පවසයි. මෙම පිරිසෙන් 90%ක් පමණම අයත් වන්නේ වතු කම්කරු පවුල් වලටය. වතුකරයේ ළමුන් හා කාන්තාවන් විශාල පිරිසක් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි නිවාසවල මෙහෙකාර සේවයේ යෙදෙන අතර ඔවුන් පිළිබඳ නිවැරදි සංඛ්‍යා ලේඛන බලධාරීන් සතුව නොමැත. තොරතුරු පනත යටතේ කළ ඉල්ලීමකට පිළිතුරු ලබා දෙමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ මෙහෙකාර සේවය සඳහා යොමු කර සිටි ළමයින් 39 දෙනකු අතරින් 23 දෙනෙකු යළි ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙන බවයි. එම වාර්තාවට අනුව වලපනේ ප්‍රදේශයෙන් පමණක් ළමුන් 17 දෙනෙකු මෙහෙකාර සේවය සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට රැගෙන ගොස් තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මේ සම්බන්ධව දැක්වූයේ මෙවන් අදහසකි.
‘මෙහෙකාර සේවය සඳහා ළමුන් යොමු කර සිටින ඇතැම් මවුපියන් හා භාරකාරයන් සත්‍ය තොරතුරු වසන් කරනවා. ළමයා නුවරඑළියෙන් පිට ඥාති නිවසක ඉන්නවා කියලා සමහරු ප්‍රශ්නය මඟ හරින්න උත්සහ කරනවා. මොකද දැන් පවතින ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒ අය බයයි ළමයා ගෙන්වා ගත්තොත් හම්බවෙන මුදල නැති වෙයි කියලා. මෙහෙකාර සේවය සඳහා ළමුන් රැගෙන යාම වැළැක්වීම සඳහා අපි රැකියා අපේක්ෂා කරන අවුරුදු 18 වැඩි තරුණ තරුණියන්ගේ ලයිස්තුවක් සකස් කරමින් ඉන්නවා. ළමා මෙහෙකාර සේවයට තිත තැබීම අරමුණු කර ගනිමින් තමයි අපි මේක කරන්නේ‘
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සෝභනා දේවි රාජේන්ද්‍රන්ගේ අදහස මෙසේය.
‘පාසල් ගමන අතරමඟ නතර කළ පිරිස සම්බන්ධව නියම දත්ත එළියට එන්නේ නැහැ. ළමයා පාසැල හැර ගියා කියලා වාර්තා වෙන්නේ එයාගේ නම නාම ලේඛණයෙන් ඉවත් කළාමයි. සමහර ළමයි සතියකට දවසක් විතර ඉස්කෝලේ එනවා. ඒ ළමයි පාසල හැර ගිය දරුවෝ විදිහට සලකන්න බැහැ‘
මෙම වසර තුළ මේ දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පාසැල් නොයන දරුවන් සම්බන්ධ පැමිණිලි ලැබී ඇත්තේ 16ක් පමණක් බව තොරතුරු පනත යටතේ කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් එම අධිකාරිය පවසයි. පාසැල් වයසේ දරුවන් මෙහෙකාර සේවයේ යොදවන බවට පැමිණිලි 163ක් ගත වූ මාස 09 තුළ ලැබුණු බව ළමා රක්ෂණ අධිකාරිය පවසයි. ලංකාවේ ගර්භණීතාවට පත්වන සමස්ත කාන්තාවන්ගෙන් 4.4%ක් ළමුන් බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එම අගය 5%ක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය කුමාරි තෝරදෙණිය පවසයි. ළමුන් පාසල් නොයෑමත් ළමා ශ්‍රමිකයින් සහ ළමා මව්වරු බිහිවීමත් අතර පැහැදිලි සම්බන්ධයක් පවතින බව ඇය පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් වතු පාසැලක අධ්‍යාපනය ලැබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තුමේන්තුවේ මහාචාර්යවරයකු ලෙස අද කටයුතු කරන විජේ සන්දිරන් දරන්නේ මෙවැනි අදහසකි.
‘ළමයි පාසල් නොයනවාද කියන කාරණය සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන්න පොලිසිය, ළමාරක්ෂණ අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් තිබෙනවා. මීට අමතරව ග්‍රාම සේවක ඉන්නවා. වතුකරයේ විශාල ළමුන් පිරිසක් පාසැල් යන්නේ නැහැ. කවුරුවත් මේ ප්‍රශ්නය අවංකව සොයා බලනවාද කියන එක ලොකු ප්‍රශ්නයක්‘
රජය මඟින් මේවන විට ආහාර සුරක්ෂිතතාව හා පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා ජාතික වැඩසටහනක් දියත් කර තිබේ. මේ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙසේ පවසයි. මන්දපෝෂණය වැඩියෙන් වාර්තා වන දිස්ත්‍රික්කයක් ලෙස නුවරඑළිය හඳුනා ගෙන තිබෙනවා. විශේෂයෙන්ම වතුකරය ආශ්‍රිතව තමයි මේ තත්ත්වය වැඩිපුර දකින්න ලැබෙන්නේ. වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ සහ ගැබිනි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම පිණිස සෞඛ්‍ය කොට්ඨාස මට්ටමින් දැන් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
පාසැල් යන වයසේ පසුවන එහෙත් පාසැල් නොයන දරුවන් පාසල් ගත කිරීම අනිවාර්ය කරමින් 1939 අධ්‍යාපන ආඥා පනතේ 39 වැනි වගන්තිය ප්‍රකාරව 1997 නොවැම්බර් 18 දින 1997 අංක 1 දරන අනිවාර්ය අධ්‍යාපන නියෝග චක්‍ර ලේඛණය නිකුත් කර තිබේ.අවුරුදු 05ට නොඅඩු 16 ට නොවැඩි සෑම ළමයෙකුගේම දෙමව්පියන් විසින් ඒ ළමයාගේ අධ්‍යාපනය සඳහා වෙනත් අයුරකින් ප්‍රමාණවත් හා සුදුසු විධිවිධාන සළස්වා ඇත්නම් මිස නිතිපතා පාසලකට පැමිණ අධ්‍යාපනය ලැබීමට කටයුුතු සලසා දිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය යළිත් 2015 දී චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබෙන අතර එහිදී ළමුන් පාසල් ගත කිරීම සඳහා වැඩි වගකීම පැවරී ඇත්තේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටය.
ඡායාරූප-රුවන් මීගම්මන