
එදින මා නිවෙසට ගියේ මහරගම කම්කරු කාර්යාලයෙන් වැඩක් කරගන්නා අතරතුරය. ඒ දියණිය යම් රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටි බැවිනි. ඇය විශ්වවිද්‍යාල නේවාසිකාගාරයෙන් පැමිණ තිබුණේ දින නියමයක් නැතිව විශ්වවිද්‍යාල වසා දමා තිබූ බැවිනි. පැවති ගාලු මුවදොර අරගලයට ඇය ආකර්ෂණය වී සිටියාය. පවුලේ බඩපිස්සි වන ඇය දැන් වසර 25ක යුවතියකි. එයින් හරි අඩක් පමණ මා පීතෘත්වයේ වගකීම ඉටු කර ඇත්තේ ගෘහමූලික ලෙස නොව පිටස්තරයකු ලෙසිනි. මව නිවෙස තුළ නිරූපණය කළේ විපක්ෂයේ භූමිකාවය. මවගේ කෝණයෙන් පියා දෙස බැලීමට පුරුදු වූ දරුවන් ලෝකය තුලිතව දැකීමට සමත් වූයේ ද නැත. නිවෙස ඉදිරිපිට නමිනන් ගස යට සිමෙන්ති බංකුවේ මා පුරුදු ලෙස හිඳගතිමි.
“කවන්නිය, පොවන්නිය, මා ගැන විමසන්නිය”
සිහිවද්දී පපුවේ වේදනාවක් ඇති වුවද මා අත රැඳි පුවත්පත් කොටස් දෙක බෑගයෙන් පිටට ගත්තේ ඇයට කැමති මාතෘකාවක් තෝරා ගැනීම පහසු වනු පිණිසය. නැතහොත් ඇය කරන්නේ විපක්ෂය විසින් ඇගේ මනසට ඔබ්බවා ඇති පීඩනය පියා වෙත මුදා හැරීමය.
“තරුණ පරපුර කෙටි ප්‍රවෘත්තිවලට පමණක් සීමා වීම” එක් ලිපියක හෙඩිම වූ අතර, එය සනාථ කරමින් ඇය එම ලිපිය කියවීම පවා ප්‍රතික්ෂේප කළාය.
දෙවැන්නෙහි සඳහන් වූයේ “මම ඔහුට කැමති වුණේ බේරෙන්න බැරිම තැනයි” යනුවෙන් ලෝක ප්‍රකට ක්‍රීඩක චන්දිමාල්ගේ බිරිඳ ඉෂිකා කළ ප්‍රකාශයකි.
දුව එම පුවතට අවධානය යොමු කළේ “දැන් නම් අකමැති වීම ගැන පසුතැවෙනවත් ඇති” යැයි කියමිනි.
“බැරිම තැන කැමති වුණා කියන්නෙ කොටු වුණා කියන එක. සත්තු හීලෑ වෙන්නෙත් ඒ වගේ තමයි. සත්තු කොටු වුණාට ගෑනුන්ගෙ හිත් හැමදාම කොටු කරන්න බෑ. ලංකාවෙ විවාහවලට වඩා දික්කසාද වැඩිවෙලා තියෙන්නෙ ඒ නිසා.”
“ලෝකෙම ආදරේ කරන මිනිහෙක්ගෙ බිරිය කොහොමද තාත්තෙ හිරවෙලා හීලෑ වෙලා කියන්නෙ. රජෙකුට හිමි වූ මා දැන් රැජිනකි - සතුටයි කිරුළ අපේ කිය කියා එයා ඇති, තාත්තගේ විකාර...”
“කිරුළෙ බර දරාගන්න බැරිව හිතින් දුක්විඳින අග බිසෝවරු ගැනත් ඔයා අහල තියෙනව නේ. ඔයා උත්තරයක් (තව සින්දුවක්) මතක් කරගන්නකන් මම කතාව කියාගෙන යන්නම්.”
“බේරෙන්න බැරිම තැන කියන එක යටි හිතේ තියෙන බව නොදැනම ඇය ඇසුරට වැටෙනවා. පසුව සමීප ඇසුරක්, බිරියක්, සැමියෙක්, මවක්, පියෙක් බවට පත් වෙනවා. මේ ඔක්කොම වෙන්නෙ බේරෙන්න බැරිම තැන කියල ඒගොල්ල දන්නෙ නෑ.”
“හෝමෝන ක්‍රියාකාරීත්වයත් උදවු වෙනවා නේ..” දුව කීවේ ඇය ඉගෙන ගන්නේ විද්‍යාව විෂයයන් බව සනාථ කරමිනි.
“දැන් මම කියන්නෙ ඇත්ගොව්වෙකුගේ සහ ඇතින්නකගේ කතාව.”
“ඔය කියන්නෙ, බේරෙන්න බැරිම තැන කැමති වුණ බාලිකාවකගේ සහ එයින් උද්දාමයට පත්ව අර කඩ ඉම් පහු කරගෙන ආපු තරුණයකුගෙ කතාව වෙන්න ඇති..” දියණිය පූර්ව අපර සන්ධි ගැළපුවාය.
“ඇය 10 ශ්‍රේණියට එද්දි (වයස 15යි) ඔහු උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබුවා. අට දෙනෙකුගෙන් යුත් පවුලේ හය වෙනියාට එතෙක් තිබුණු තහංචි ඉවත් වෙලා ප්‍රේම කරන්න වැඩිහිටියන්ගේ අවසරය ලැබුණා. ඇත්තටම වැඩිහිටියන්ගේ කැමැත්තට ඇය එකඟ වුණේ “බේරෙන්න බැරිම තැන”.
“අප ළං වුණා නොවේ ඔබ මා ළං කළා
අප සැනසුනා නොවේ අන් අය සැනසුවා
සිත් එක් වුණා නොවේ දෑඟිලි එක් වුණා...”
“ඒ කතාවද තාත්තා මේ කියන්න යන්නෙ” දියණිය නිශ්ශබ්දතාව බිඳ දැමුවාය.
“ඔය ගීතයෙන් කියන්නෙ අපේ පාරම්පරික විවාහ ක්‍රමය ගැන. කිසිවක් නොදන්නා දෙන්නෙක් දෙමාපිය කැමැත්තෙන් එකතුවෙලා දරුවො දහයක් දොළහක් වෙනකල් කම් සැප විඳලා ඔවුනුත් හොඳ පුරවැසියන් හැටියට සමාජගත කරලා, ජීවිතේ සන්ධ්‍යා සමයත් සතුටින් සමාදානෙන් ගතකළා”.
“ඉතින් බේරෙන්න බැරිම තැන කැමති වෙන නෝනලා කවදා හරි ඇත්ගොව්වට පහර දෙනවා කියලා තාත්තා කොහොමද කියන්නෙ?”
“ලංකාවෙ විවාහවලට වඩා දික්කසාද වැඩියි කිව්වෙ ඒ නිසා.”
“ඇයි තාත්තා ලංකාවෙ කියල කියන්නෙ. ලෝකෙ අනිත් රටවල් එහෙම නැද්ද?”
“ලෝකෙ හුඟක් දියුණු රටවල දික්කසාද නෑ. විවාහ කියලා ලොකු බැඳීමුත් නෑනේ.”
“ඔව්. ලිවින් ටු ගෙදර් වගේ නවීන ක්‍රමනේ දැන් ලෝකෙ තියෙන්නෙ.” දුව ශබ්ද නගා සිනාසුණාය.
“හරි දැන් අපි අර තරුණයගෙ කතාවට යමු. ඔහු විශ්වවිද්‍යාලයට පිවිසුණා. වසර කිහිපයකින් ඇයවත් ජරමර කරලා විශ්වවිද්‍යාලෙට ඇදලා දැම්මා. “මගේ ළමයින්ගෙ අම්ම විශ්වවිද්‍යාලෙ නොගිය කෙනෙක් වෙන්න බෑ” ඔහු තරයේ කියා සිටියා.”
“එක්කෙනෙක් රුහුණෙ. අනෙක් කෙනා ජපුරේ.” දියණිය කතාව බිම්මට්ටමට ගෙනෙමින් කීවාය.
“අගනගරයේ ප්‍රධාන පෞද්ගලික පාසලක ඈ හට ගුරු පත්වීමක් අරගෙන දෙන්නත් ඔහුට හැකි වුණා. මව ගුරු මවක් වුණාම දරුවන්ට අම්මල දෙන්නෙක්නෙ, ආයම්මල ඕනෙත් නෑ.” ඔහු යටි හිතේ තිබුණු අරමුණු එකින් එක සාක්ෂාත් කරගත්තා.
අවුරුදු 30 වෙනකොට ඔහු තමාගේම ව්‍යාපාරයක් හිමි ප්‍රභූවරයෙක්. බිරියත් ව්‍යාපාරයට හවුල් කර ගත්තා. අගනුවර තදාසන්නව තමාගේම නිවෙසකුත් ඉදිකර ගෙනයි ඔහු විවාහ වුණේ.
අවුරුදු 30 වෙනකොට ඔහු ඉගෙනගත් පාසල් දෙකටම කීර්තිමත් ශිෂ්‍යයෙක්, මව්පියන්ට හොඳ පුතෙක්, සහෝදරයන්ට හොඳ සොහොයුරෙක්, බිරියගෙ මව්පියන්ට හොඳ ඥාති පුත්‍රයෙක්, බිරියට හොඳ ස්වාමිපුරුෂයෙක්, දරුවන්ට හොඳ පියෙක්, රටට වැඩදායී පුරවැසියෙක් වෙලා ඉවරයි.
දැන් මම කන්ද නැඟලා ඉවරයි. දැන් පරෙස්සමෙන් නිව්ට්‍රල් එකේ කන්ද බහින්නයි තියෙන්නෙ. අවුරුදු 50න් මම විශ්‍රාම ගන්නවා. ඊට පස්සෙ මම බලන්නෙ යන අතේ වැඩ විතරයි. එහෙම හිතන්න, කියන්න ඔහුට ඔහු විසින්ම ගොඩනඟා ගත්තු ශක්තියක් තිබුණා.”
මේ සියල්ලට දායක වන, හිමිකම් කියන තිරය පිටුපස චරිතයනේ බිරිය කියන්නෙ. ඇගෙන් ඔහුට ලැබුණේ නිද්‍රාශීලී දායකත්වයක්. “බේරෙන්න බැරිම තැන” වගේ. ගෘහණියක්, බිරියක් හැටියට ඇගෙන් වූ අඩුපාඩු ඔහු දරා ගත්තා. දරුවො ලෙඩ වෙන්න ගත්තා. පුංචි දරුවො නින්දට වැටෙන කල්ම කෑම ටික ලැබුණෙ නෑ. මිදුලෙ අයාලෙ යන සුනඛයො පදිංචි වුණා. අල්මාරියෙ ලේන්නු පැටවු දැම්මා. ගෙයි සර්පයො සැරිසරන්න ගත්තා. “කරදර පොදි බැඳ ගැල පිට පටවා කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන” කියල කිව්වත් කරුමයෙ කළු ගොනු වුණෙත් ඔහුමයි. බිරියගෙ නොහැකියාවන් වටහාගෙන ඔහු පැමිණි වේගයෙන්ම ඉදිරියට ගියා. ආයතනයේ සේවිකාවෝ දරුවන්ගෙ අක්කලා වුණේ සෙනෙහසින්මයි. ගෙදර දොර කටයුතුවලට තුන් වැනි පාර්ශ්වයක් සම්බන්ධ වෙද්දී, මෙතෙක් ආරෝපණය කරගෙන හිටපු පවුලේ සමගිය දෙදරා ගියා. ඒත් දරුවන්ගේ අනාගතය සලකා ඔහු සියල්ල ඉවසුවා. ඇයගේ නොරිස්සුම දරුවො ඉදිරියෙ දෝරෙ ගැලුවා. ඔහු මුනිවත රැක්කෙ දරුවන්ගෙ කන්වලට රසදිය හලන්න බැරි නිසා. පියා දෙස වපරැසින් බලන දරුවො තමන්ගෙ රැකවරණය බවට පත්කරගන්න ඇය සෑම විටම උත්සාහ කළා.
“මම දන්නවා ඔය දරුවො ගැන.”
“ලොකූ අට ශ්‍රේණිය වෙද්දි පරිවර්තන කෘතියක් කළා. ඒ වයසෙදි එහෙම හපන්කමක් කරපු ලංකාවෙ පළමු වැනියා වුණා.”
“දෙවැනියා පොඩී, ශිෂ්‍යත්වයෙන් රජුන් තනන විද්‍යාලයට ගියා. රාජ්‍ය නායකයගෙ පුතත් ඉගෙන ගන්නෙ එයාගෙ පන්තියෙ.”
“තුන්වැන්නා, කුමී, අයියල දෙන්නගෙ හැකියාවන් ඇය උකහා ගත්තා. ඇය ඉගෙන ගත්තෙ අගනුවර ප්‍රධාන බාලිකා පාසලක. තාත්තට එරෙහි සංග්‍රාමය ඇගේ සිත තුළ හොඳින් රෝපණය කරන්න මව සමත්වුණා. ඒ නිසා මේ දියණිය හැමදාම තාත්තා එක්ක කළේ අරගලමයි. දවසක තේරුම් ගනියි කියලා ඇයට වයස 25ක් වෙනකල්ම තාත්තා ඉවසුවා.”
“ඇයි සුදු දියණිය නුඹවත් නොසිටියෙ - ඈත් ගොසින් ය
කවදාවත් ඒ තාත්තා දැක්කෙ නෑ...
කවන්නිය - පොවන්නිය - මා ගැන විමසන්නිය,
වනයේ දුකක් වීඳ - අසන්නිය බලන්නිය...”
ව්‍යාපාරෙ ඉන්නෙ ව්‍යාපාරයටත්, ගෙදරටත්, දරුවන්ටත් හිතෛෂී යෞවනියො ස්වාමියාගෙ හොර අඹුවන් හැටියට නම් කළේ ගේ ඇතුළේ හිටපු විපක්ෂයමයි.
“ඇයි අරකි අයින් කරන්න බැරි”? අයින් කිරීම්වල අවසන් ප්‍රතිඵලය හැටියට ව්‍යාපාරය බිරියටම කරගෙන යන්න ඉඩ දීලා ස්වාමියා ඉවත් වුණා. ඉතා කෙටි කාලයකින් ව්‍යාපාරය වැහිලා ගියා. අත්ත උඩ ඉඳගෙන ගහ කැපුවම වෙන දේ ගැන අවබෝධයක් ඇයට තිබුණෙ නෑ. ඒකපාර්ශ්විකව කෙරෙන අඬදබර දරුවන්ට දරාගන්න බැරි තරම් දුරදිග ගියා. “මූට ගහපන් පුතේ, මූ මරපං පුතේ” කියන තරමට සැපින්න පිස්සියක් වුණා. දරුවනුත් බොහෝ දුරට ඒවට අවනත වුණා. ආනන්තරිය පාප කර්මයෙන් මෙහා පවු සියල්ල ඔවුන්ගෙන් සිදු වුණා. “මෙහේ ඇති ගෘහ මූලිකයෙක් නෑ” ගෘහමූලික ලියන්න ආපු ග්‍රාම සේවක මහත්තයා හිනාවෙවී යන්න ගියා.
පියා ගෙදරින් නික්මුණා. ඒත් විවිධ රැකියාවල යෙදෙමින් දරුවන් පෝෂණය කළා. ඉතා අඩු වයස්වල හිටපු දරුවන් රැකියාවලට යොමු කරලා “උඹේ සල්ලිත් එපා” කියන්නයි ඊළඟට ඇයට ඕන වුණේ.
සාහිත්‍යධරයෙක් හැටියට සමාජගත වෙන්න සියලු සුදුසුකම් සපුරා හිටිය ලොක්කා, ටියුෂන් ගුරුවරයෙක් වුණා. උසස් අධ්‍යාපනය ඔහුගෙන් ගිලිහුණා. පරිපාලන නිලධාරියකු වීමේ හැකියාව තිබුණු රජුන් තනන විද්‍යාලයේ රජ පැටවු එක්ක ඉගෙනගත් දෙවැනි, ඒවා අතහැරලා දාලා පිරමිඩ් සූදුවට යොමුවුණේ අම්මට ඉක්මණින් සල්ලි හොයලා දෙන්න. දියණිය විතරක් සියලු දුක් ගැහැට මැද විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.
දැන් වයස විසි පහක්. සහකරුවෙක් අවශ්‍ය වයස. අම්මගෙ කල්පනාව ඇය තනිකඩවම ගෙදර තියා ගැනීම. ඇගේ ජීවිතේ ඉතිරි කාලයත් වෛරය, කෝපය, මිථ්‍යාව හරහාම ගෙවා දමන්න ඒක ලොකු පිටුවහලක්. ඒත් මේ යුවතියගේ අනාගත ඉරණම ගැන හිතනකොට තාත්තාගේ පපුව රිදුම් දෙනවා.
හිරු මඬලක් වන් පියෙකු
නොමැති ලොව දූ දරුවන්
සැනසී ඇතිදෝ...
උන්ගේ සිත ඇති තනිය
මකන්නට මවුනට කවදා
හැකි වේදෝ...
“අපිට නිතරම ඇහුනෙ Womanizer, Teetotaler කියන එව්ව තමයි. තාත්තා ඒවට උත්තර දුන්නෙත් නෑ.,
ඔය දෙකම දරුවන්ට ඉතාමත් සංවේදී කාරණා තමයි. වධක භාරියන්ගේ සැහැසිකම් දරාගෙන දරුවන්ගේ කටයුතුත් නොපිරිහෙළා ඉටු කළා නම් අරක්කු ටිකක් බීවම මොකද? ළමයි ලොකු දැඩි වෙනකොට දුම් බීමත් අත්හැරිය මිනිහෙකුට නේද මේ අවලාද නඟන්නෙ. අවුරුදු 30, 40 වෙනකොට ජීවිතයේ සපුරාගත යුතු මූලික අරමුණු සියල්ල සපුරා ගත්ත මිනිහෙක්, අවුරුදු 50 වෙනකොට ගැහැනු සොඬෙක්, බේබද්දෙක් වුණා කියනවා නම් බිරියටත් ඒ පිළිබඳ ලොකු වගකීමක් තියෙනවා නේද?
බිලිඳු දරුවකුට නමක් තියලා ඒ නමේ අර්ථයට ගැළපෙන ලෙස දරුවා අධ්‍යාත්මිකව සංවර්ධනය කරන එක ගිනස් වාර්තාවක්.
“අහම්බයක් වෙන්නත් පුළුවනි.”
බොහෝ වෙලාවකට පස්සේ දුව කතා කළාය. “එකක් නං අහම්බයක් කියන්න පුළුවන්, ඒත් දෙකක්ම...”
“එක්කෙනෙකුට නම තිබ්බෙ සිංහල මහාචාර්යවරයෙක් අරමුණු කොටගෙන, අංකුරය 10 වසර වෙද්දි ද්විභාෂා ප්‍රවීණයෙක් වෙමින් අනාගත සාහිත්‍යධරයෙකුගේ මං සලකුණු පෙන්වූවා. ඒ ප්‍රවීන්.”
“දෙවැනියට නම තිබ්බේ පිටරට ජීවත් වෙමින් විවිධ කලා ක්‍ෂේත්‍රවල නොමැකෙන නමක් තියපු විශ්‍රාමික පරිපාලන නිලධාරී මහින්ද ජයතිලක දිහා බලාගෙන. 10 ශ්‍රේණිය වෙද්දි ඔහුත් ඒ සියලු හැකියාවන් ඇති අංකුරයක්. මේව අහම්බද?”
“අංකූරොම තමයි” දුව ආතතිය සමනය කරගත්තාය.
“දැන්වත් ඔළුව සුද්ද කරගත්තෙ නැත්තන් පස්සෙ හුඟක් දුක් වෙන්න වෙයි. ඒ මම නැති දවසක”
“මම කාටවත් වෛර කරන්න ඔයාව මෙහෙය වනවා නෙවෙයි. දරුවො මේ දුකෙන් මුදවලා, මට සැනසිල්ලේ ඇහැපියා ගන්න පුළුවන් වුණොත් ඒ ඇති...”