මම පටන් ගත්තේ සම්පත් බැංකුවේ පහළම තැනකින් | සිළුමිණ

මම පටන් ගත්තේ සම්පත් බැංකුවේ පහළම තැනකින්

පියවරෙන් පියවර බැංකු ක්ෂේත්‍රයේ දිගු ගමනක් එන දිමන්ත සෙනෙවිරත්න වර්තමානයේ ජාතික සංවර්ධන බැංකුවේ (NDB) අධ්‍යක්ෂවරයකු සේම ප්‍රධාන විධායක නිලධාරීයා ද වෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හා කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරණවේදී පශ්චාත් ( MBA) උපාධිය ද ලබා ඇති දිමන්ත, ඇමරිකානු වාණිජ මණ්ඩලයේ හා ශ්‍රී ලංකා බැංකු සංගමයේ අධ්‍යක්ෂවරයෙක් ලෙස ද කටයුතු කරයි. ඔහු කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ සාමාජිකයකු (FCMA,CGMA)සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වේ. ඔහු ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ පරිගණක පද්ධති නිර්මාණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකු වන අතර, ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා ද වෙයි. ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් නායකත්වය පිළිබඳ පාඨමාලාවක් ද හදාරා ඇත. මේ ඔහුගේ වෘත්තීය දිවිගමනේ මතක සටහන් දිග හැරුමකි.

සම්පූර්ණ නම

පනාගොඩ ලියනගේ දිමන්ත නියෝමාල් සෙනෙවිරත්න

උපන්දිනය

1966 ජනවාරි 18 වැනිදා

කොහේද උපදින්නේ

මහනුවර කන්දේ වීදිය ප්‍රදේශයේ. අපි හැදුණෙ කොළඹ. තාත්තා කොළඹ, අම්මා නුවර.

අම්මා තාත්තාගේ නම් සහ ඔවුන්ගේ වෘත්තීන්. ඒවගේම සහෝදර සහෝදරියන්

තාත්තා හැරී සෙනෙවිරත්න. ඔහු සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ කළමනාකරු. අම්මා අයිරාංගනී ද අල්විස්. ඇය ගුරුවරියක්. මට ඉන්නෙ එක මල්ලියි. ඔහු හැටන් නැෂනල් බැංකුවේ විගණන සම්බන්ධ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරනවා.

පාසල් ගියේ

මුලින්ම තර්ස්ටන් විද්‍යාලයට ගියේ. පහ වසරෙදි ශිෂ්‍යත්වය හා රාජකීය ඇතුළත් වීමේ විභාගය සමත් වෙලා රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ 1976 දී.

මොනවද උසස්පෙළට කළේ

මම ගණිත අංශයෙන් උසස් පෙළ කළේ. මම තේරෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. ඊට කලින් මම රස්සාවක් කළා උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලෙ යන්න ගෙදර ඉන්න කාලෙ.

මොනවද ඔබ කළ රැකියා

මම රැකියා දෙකක් කළා. එකක් මර්කන්ටයිල් ක්‍රෙඩිට් එකේ දත්ත පරිගණක ගත කිරීමේ නිලධාරියෙක් විදියට වැඩ කළා. ඒ අතරෙ මම වරලත් ගණකාධිකාරී විභාග කරන්න පටන් ගත්තා. ඒ සඳහා අවශ්‍ය වන පුහුණුව ගන්න කාසන් කම්බබැච් ආයතනයේ ලිපිකරුවකු විදියට වැඩ කළා. මාස 8 ක් විතර තමයි වැඩ කළේ.

ඔබ විශ්වවිද්‍යාලෙට ඇතුළත් ඉදිද්දි ජවිපෙ කලබල පටන් ගන්නවා. කොහොමද ඔබේ විශ්වවිද්‍යාල ජීවිතේට වුණු බලපෑම?

ඔව්. මගේ අවුරුදු 3 උපාධිය ගන්න මට අවුරුදු 5ක් ගියා. අවසාන අවුරුද්ද ඉවර කරන්න අවුරුදු 3ක් ගියා. ඒකාලෙ වෙච්ච සිදුවීම් දිහා බලද්දි මුලින් සමහර දේවල්වලට සම්බන්ධ වුණත්, විශාල දේශපාලනික බලපෑමක් අනුව වැරදි දේවල් වෙනවා කියලා දැක්කම අපි කාණ්ඩයක් ඒවට සම්බන්ධ නොවී හිටියා.

හැබැයි ඒ වකවානුවෙ එහෙම සම්බන්ධ නොවී ඉන්න අමාරුයි

එහෙම වෙන්නත් ඒකාලෙ බොහොම නිර්භීත වෙන්න ඕන. මොකද හැමෝම රැල්ලට ගිය කාලෙ අපි සීමිත පිරිසක් එයින් ඉවත් වෙලා අපේ වැඩ කරගෙන ගියා. අපි කිසිම සහයෝගයක් නොදක්වා හිටියා. ඒ අය යන මාර්ගය වැරදියි කියන එක අපට මුල ඉදලම තේරුණා. මේකෙන් අපි එක්ක හිටපු ගොඩක් සහෝදරයන්ගෙ ජීවිත අහිමි වුණා.

විශ්වවිද්‍යාලෙ වහලා තියෙන කාලේ මොකද කළේ

මම ඇත්තටම කාලය අපතේ යැව්වෙ නෑ. නැෂනල් ඉන්ස්ටියුට් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ඩිප්ලෝමා පාඨමාලාව කළා. ඒකෙන් මම අලුත් පැත්තකට යොමු වුණා. ඒ පරිගණක ක්‍රමලේඛනය (Computer programming) පැත්ත. මම ඒකේ වැඩිම ලකුණු ලබා ගත් ශිෂ්‍යයා වුණා.

විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සෙ මොකද්ද පළමු වෘත්තිය

විශ්වවිද්‍යාලෙ අවසන් විභාගය කරල ඉන්න අතරමැදි කාලෙ මට රැකියා අවස්ථා දෙකක් ලැබුණා. එකක් පරිගණක ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඉන්ෆොමැටික්ස් ආයතනයේ. අනික සම්පත් බැංකුවේ මාණ්ඩලික සහායකයකු හැටියට; ඒ කියන්නේ පහළම තැනකින්.

ඔබ අයදුම් කළාද මේ රැකියාවලට

ඔව්. මම අයදුම් කළා. මේ දෙකම ආවෙ එකටම වගේ. මම බැංකු ක්ෂේත්‍රය තෝරා ගත්තා. ඒකාලෙ මාත් එක්ක පටන් ගත්ත ගොඩක් අය උසස්පෙළ කරලා ආව අය. මම උපාධියේ ප්‍රතිඵල එනකම් හිටියෙ. මම ඒ නිසා තැවුණේ නෑ. මට වටින්නෙ අවස්ථාව. අනික් අය වගේ නොවෙයි, මම කැම්පස් එකේ උපාධියක් කරලයි ආවෙ කියන එක ගැන මට තැවීමක් ඇති වුණේ නෑ. මට ඕන වුණේ කරන වැඩේ හරියට කරන්න.

එතැනින් කොහොමද ඔබ වෘත්තීය ජීවිතේ හදා ගන්නෙ

මට ඕන වුණා බැංකු ක්ෂේත්‍රයට අදාළ ප්‍රවීණත්වය ලබා ගන්න. කිසි කෙනකුට මෙයාට මේ සුදුසුකම නෑ කියලා කියවා ගන්න මම කැමැති වුණේ නෑ. ඉතින් මම අවශ්‍ය සුදුසුකම් පරිපූර්ණය කර ගත්තා. බැංකු සුදුසුකම් පූර්ණය කරගත් ළාබාලතම පුද්ගලයා විදියටත් මට සම්මානයක් ලැබුණා.

ඒ කියන්නෙ ඔබට ඕන වුණේ පඩියෙන් පඩිය ඉහළට යන්න

ඇත්ත. මට ඕන වුණේ ස්ථාවර ගමනක් යන්න. ඒ වගේම මට ඒ කාලෙ ලොකු හීන තිබුණෙ නෑ. ඊළඟ ළඟම තනතුරටයි යන්න උත්සාහ කළේ. දැන් කාලෙ වගේ වෘත්තීය මාර්ගෝපදේශන කියලා දෙයක් ඒ කාලෙ තිබුණෙ නෑ. අපිම තමයි හිතලා කළේ

දැන් ඔබේ සේවකයන්ට ඔබ ඒ මඟ පෙන්වීම කරනවාද?

අනිවාර්යයෙන්. අපි එ් අයට තමන්ට යන්න පුළුවන් මාර්ග මේවා කියන එක කියලා දෙනවා. අපිට නොතිබුණු දේවල් මම මගේ සේවකයන්ට කියලා දෙනවා. අපේ කාලෙ අපට නොතිබුණු, අපිව වැළැක්වුණු තැන් අද අයට නොවෙන්න මම වග බලා ගන්නවා. උදාහරණයක් විදියට ආයතනයක යම් කිසි වෘත්තීය නීති පද්ධතියක් හැදුවා කියන්න. ඒකට සියලුම සේවකයන් එක විදියට යටත් කළොත් ඒක වැරදියි. ඕනෑම ආයතනයක ඉන්නවා සේවක කොටස් දෙකක්. සාමාන්‍ය පරිදි තමන්ට අයත් රාජකාරිය කරගෙන යන කොටසක්. ඒවගේම ටිකක් වේගයෙන් හා විශේෂ දක්ෂතා සහිතව රැකියාවේ නිරත කොටසකුත් ඉන්නවා. මේ දෙගොල්ලන්ටම එකම විදියකට සැලකුවොත් ඒක අඩුපාඩුවක්. ඒනිසා අර විශේෂ වෘත්තීය දක්ෂතා සහිත අයට වෙනම සැලකීමක් තියෙන්න ඕන.

ඔබ මේ කියන්නෙ අත්දැකීමෙන්

ඔව්. මට එහෙම වෙලා තියෙනවා. සමහර වෙලාවට ආයතන යම් දැඩි නීති ගෙන එනවා තමන්ට අසීරු අවස්ථාවල. එතකොට සේවකයන්ට විවිධ සීමා පැනවෙනවා. එහෙම අවස්ථාවලදී අර සාමාන්‍ය සේවකයාට බෙදන හැන්දෙන්ම විශේෂ දක්ෂතා සහිත සේවකයාට බෙදුවොත් ඒකෙන් අර සේවකයා අධෛර්යයට පත් වෙනවා. වෙන තැන් සොයා යනවා. මම සම්පත් බැංකුවෙන් එක්තරා අවස්ථාවක ඉවත් වෙලා විදේශ බැංකුවට සම්බන්ධ වෙන්න මම ඒ කියපු සාධකයත් බලපෑම් කළා.

කොහොම වුණත් සම්පත් බැංකුව ඔබට එක්තරා විදියක සරසවියක්

මට විවිධ දේවල් ඉගෙන ගන්න ඒක හොඳ තෝතැන්නක් වුණා. ඒ කාලෙ විවිධ පිරිස් හිතාමතා කරන ලද යම් යම් දේවල් නිසා සම්පත් බැංකුව යම් ගැටලු සහගත තත්ත්වවලට මුහුණ දෙමින් සිටියා. මම ඒ දේවල් නිසා ආපදා තත්ත්වයක් ඇතුළත මුල්‍ය කළමනාකරණය කරන්නේ කොහොමද කියන දේ ගැන දැන ගත්තා.

ඔබ මේ විෂයයට කැමැති වීමත් එක්ක ණය දෙන අංශය තෝරා ගැනීමක් කරනවා නේද?

මම ඉල්ලලා තමයි ඇත්තටම ඒ පැත්තට ගියේ. අවුරුදු 3ක් මම වැඩ කළා. ඒකෙදී මට උසස්වීමක් ලැබුණා. ඒ උසස්වීම් සඳහා සම්පත් බැංකුවේ ප්‍රථම වතාවට විභාගයක් කැඳෙව්වා. මාණ්ඩලික නිලධාරී තනතුර වෙනුවෙනුයි මේ තරග විභාගය තිබ්බෙ. ඒ විභාගයෙන් මම ඉහළම ලකුණු ලබා ගත්තේ දෙවැනියා එක්ක ලොකු පරතරයක් තියලා.

සම්පත් බැංකුවෙන් ඉවත් වෙන්නේ ඇයි?

මම කල්පනා කළා සම්පත් බැංකුවේ දිගටම හිටියොත් මගේ ටාගට්වලට යන්න කල් යනවා වැඩියි කියලා. මොකද වර්ධන වේගය අඩුවීම නිසා ඒ අය තීරණය කළා හැම සේවකයෙක්ම අඩුම වශයෙන් එකම ශ්‍රේණියේ අවුරුදු 3ක් ඉන්න ඕන කියලා. ඒක නිසා මම තීරණයක් ගත්තා. මට පිටරට බැංකුවක සේවය කරන්නත් අලුත් දේවල්, අලුත් ක්‍රම ඉගෙන ගන්නත් ආශාවක් තිබුණා. ඒකාලෙ විදෙස් බැංකුවකට ලංකාවෙ තිබුණේ ඔවර්සීස් ට්‍රස්ට් බැංකුව. දැන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව.

මොකද්ද ඔබේ තනතුර වෙන්නෙ

මම ආයතනික ණය කළමනාකරු විදියටයි ගියේ. අවුරුදු 2ක් ඉද්දි මට අවස්ථාවක් ලැබුණා HSBC බැංකු කණ්ඩායමේ සවුදි බ්‍රිටිෂ් ආයතනයට සම්බන්ධ වෙන්න. එතැනැත් මම ණය කළමනාකරු කියන තනතුරට අයදුම් කළත් මාව තෝරා ගත්තේ ණය විශ්ලේෂකයෙක් (Credit Analyser) විදියට. මට අවශ්‍යතාව තිබුණෙ ලෝක බැංකුවක වැඩ කරමින් ඒ ගැන ඉගෙන ගන්න. මම සවුදි බ්‍රිටිෂ් බැංකුවට එකතු වුණා.

සවුදියෙන් ලංකාවට එන්නෙ ඇයි

2000 වසරෙදී මට ආරාධනාවක් ලැබුණා HSBC බැංකුවෙ ලංකාවෙ බැංකුවට ඇතුළත් වෙන්න. ඒ නේවාසික කළමනාකරුවෙක් විදියට. ආයතනික ණය දෙපාර්තමේන්තුවටයි අනුයුක්ත වුණේ. ඒ වෙලාවෙදි HSBC බැංකුව අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් පිහිටුවන අවස්ථාව. මම සවුදි ඉදිද්දි මූල්‍ය විශ්ලේෂක දෙපාර්තමේන්තුවම මෙහෙය- වලා ඒ ගැන විශේෂ ප්‍රාගුණ්‍යයක් තිබුණා. ආයතනයක ශේෂ පත්‍රයක් (Balance Sheet) එකක් දැක්ක ගමන් මට කියන්න පුළුවන් ප්‍රශ්නෙ තියෙන්නෙ කොතැනද කියලා. ඒ හැකියාව තමයි HSBC බැංකුවෙදී මම ප්‍රයෝජනයට ගත්තෙ. HSBC බැංකුවේ ශ්‍රී ලංකාවල මූල්‍ය විශ්ලේෂක දෙපාර්තමේන්තුවක් පිහිටුවීම තමයි මම මුලින් ම කළේ.

කොහොමද ඔබේ ඉදිරි පියවරවලදි මේවා යොදා ගත්තෙ

ඕනෑම බැංකුවක අමාරුම දේ තමයි ණය දීම. ඵලදායීත්වය පැත්තෙන් බැංකුවක් ලාබ ලබන්නේ ණය දීම හරහා. එතකොට ණය දෙද්දි අපි බලන්න ඕන ඒ ණය ආපහු ගන්න පුළුවන්ද කියන එක. මේක බලන්න තියෙන හොඳම සහ එකම දේ මූල්‍ය විශ්ලේෂණය තමයි. අද වුණත් පාරිභෝගිකයෙක්ගෙ ශේෂ පත්‍රයක් මා ළඟට ගෙනාවොත් මම හරිම ආසාවෙන් බලනවා. 

HSBC බැංකුවෙදි කොහොමද ඔබේ උසස්වීම් හැදෙන්නේ

අවුරුදු 3ක් යද්දි මට ප්‍රධාන අවදානම් කළමනාකාර ධූරය ලැබුණා. මම මුලින්ම බැලුවෙ ශ්‍රී ලංකාව සහ මාලදිවයින. HSBC එක පළමු වතාවට මාලදිවයිනේ ශාඛාවක් පටන් ගන්න කොට මට කිව්වා මාලදිවයිනේ ණය දීමේ මාර්ගෝපදේශ හදන්න කියලා. තාමත් HSBC පාවිච්චි කරන්නෙ ඒවා. පස්සෙ මට බංග්ලාදේශ් ප්‍රධාන අවදානම් කළමනාකරණ අංශය මට බාර ගන්න කිව්වා. ශ්‍රී ලංකාව හා මාලදිවයින බලා ගන්න ගමන් බංග්ලාදේශය මම බැලුවෙ. ආසියාවේ එහෙම රටවල් දෙකක් එකපාර බලපු එකම කෙනා මම. මම මාස 6ක් බංග්ලාදේශයත් බැලුවා. මට ඕන වුණා විදේශ අත්දැකීම් ගන්න. තායිලන්තෙ ප්‍රධාන අවදානම් කළමනාකරණ තනතුරට මම ඉල්ලුවෙ ඒ නිසා. ගොඩක් අය අතරෙන් මාව තේරුණේ. පළමු වතාවට ශ්‍රී ලාංකියෙක් ඒකට තේරුණේ. අවුරුදු තුනහමාරක් මම සාර්ථකව එ්ක කළා.

HSBC බැංකුවෙ කොච්චර කාලයක් හිටියද?

මම අවුරුදු 18ක් HSBC බැංකුවෙ හිටියා. දක්ෂතාව හඳුනගෙන ඒ අයට නිවැරදි මාවතක් හදන්න ඔවුන් දන්නවා. ටොප් ටැලන්ට් කියන වර්ග කිරීම ඇතුළෙයි මම හිටියෙ. අවස්ථාව දෙන්න ඕන අයට අවස්ථාව දීම ආයතනයක දියුණුවට වැදගත්.

පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක ධූරයට පත් වෙන්නේ ඉන් අනතුරුවද?

ඔව්. මට පෑන් ඒෂියා බැංකුවෙන් ආරාධනයක් ලැබුණා. මම තීරණයක් ගත්තා අපි ලබා ගත් අත්දැකීම් ලංකාවේ බැංකු ක්ෂේත්‍රයටත් ලබා දිය යුතුයි කියලා. මම එන කාලෙ පෑන් ඒෂියා බැංකුව ගොඩක් පොඩි බැංකුවක්. මම මේ අවස්ථාව ගන්න ඕන කියලා මට හිතුණා.

HSBC බැංකුව වගේ එකක විදෙස්ගතව හොඳ තනතුරක හිටි ඔබට හිතුණෙ නැද්ද පෑන් ඒෂියා බැංකුවට එන එක අවධානමක් සහ අපරාධයක් කියලා?

ගොඩක් අය එහෙම හිතුවා; ඇහුවා. මට ලංකාවට දෙයක් කරන්න ඕන කියලා හිතුණා. 2000 වසරෙදි HSBC ශ්‍රී ලංකාවට එන්න බලපෑම් කරපු සාධක අතර තිබුණා මගේ මවුපියන් ළඟ ඉන්න ඕන කියන සිතිවිල්ලත්. ඒ වගේම මේ වෙලාවෙ මම හිතපු දෙයක් තමයි අපි ලබාගත් දැනුම හා අත්දැකීම් අපේ රටට හා මේ ක්ෂේත්‍රයට, ආර්ථිකයට ලබා දිය යුතුය කියන එක. මම අවුරුදු 3ක් ඇතුළත පෑන් ඒෂියා බැංකුව දියුණු කළා. ඒකාලෙ තමයි NDB බැංකුවෙන් මට ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ආරාධනා ලැබුණෙ.

NDB බැංකුවත් ඔබ මූල්‍ය වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් වෙනස් කරනවා.

මම එනකොටත් NDB බැංකුව විශාල බැංකුවක්. 2 මම NDB බැංකුවේ විශාල පෙරළියක් කළා. One NDB කියන සංකල්පය මම හැදුවා. අපි දැන් ලොකු ගමනක් ඇවිත් තියෙනවා. ලබා ගත් ජයග්‍රහණ හා සම්මාන ඊට උදාහරණ.

අප දන්නා තරමින් ඔබේ කාර්ය මණ්ඩලයේ අනෙක් ආයතනවලට සාපේක්ෂව ඉහළ කාන්තා සේවක දායකත්වයක් තිබෙනවා.

ඔව්. 40% ක් NDB එකේ වැඩ කරන්නෙ කාන්තාවන්. ඉහළ කළමනාකාරීත්වයේ 42%ක් කාන්තාවන්. කාන්තාවන්ට සම අවස්ථා ලබා දෙන ආයතන අතරෙන් ලංකාවේ ඉහළ ම ශ්‍රේණිගත කිරීම්වලට NDB බැංකුව ගෙනාවා.

කාන්තාවන් සාපේක්ෂ වශයෙන් ඉතා කැපවීමෙන් හා උනන්දුවෙන් වැඩ කරනවා.

මම ඒක පිළිගන්නවා. කාන්තාවන් ඔවුන්ගේ උපරිමය හරියටම කැපවීමෙන් ලබා දෙනවා. ඒවගේම ආයතනයක් වශයෙන් අපි ඒ අයගේ අසීරු කාලවල ඔවුන්ට පහසුකම් හඳුන්වා දී තිබෙනවා. විශේෂයෙන් දරු උපත් වැනි දේ සිදු වුණ විට. අප ඔවුන්ට එහෙම විශේෂ සැලකිල්ලක් කළාම පෙරළා ඔවුන් ආයතනයට දක්වන කෘතවේදීත්වය ඉතා ඉහළයි.

කවුද ඔබේ ජිවන සහකාරිය

ඇය ලංකා ඇවරිවත්ත. මගේ ජීවිතේ වර්තමාන හොඳම හැරවුම් ලක්ෂ්‍යය ඇය හමුවීම. ඇයත් NDB බැංකුවෙ වැඩ කළේ. මට දෙවියන් වහන්සේ දුන් හොඳම ත්‍යාගය ඇයයි.

දරුවන් ගැන

අපට දරුවන් තිදෙනෙක් ඉන්නවා. මගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනාත් මගේ වත්මන් බිරියගේ දියණියත් අපි හැමෝම හරිම සමගියෙන් හා සහයෝගයෙන් ආදරයෙන් ඉන්නවා.

පොත් කියවන්න, චිත්‍රපට බලන්න කැමතිද?

ඔව්. මම ගොඩක් කැමැතියි චරිත කතා කියවන්න. දැන් නම් ගොඩක් දෙවියන් වහන්සේ ගැන කියැවුණු පොත් කියවන්නේ. චිත්‍රපට බලන්නත් කැමැතියි. නෙට්ෆිලික්ස් තමයි ගොඩක් වෙලාවට බලන්නෙ.

ලංකාවෙ ඇවිදින්න කැමැති කොහේද?

කඳුකරයට යන්න තමයි කැමැති. ඒවගේම අපිට බොල්ගොඩ වැව ළඟ ගෙයක් තියෙනවා. සති අන්තයේ අපි නිවාඩුපාඩුවේ එහෙට වෙලා ඉන්නවා. ඒක මනසට ලොකු උත්තේජනයක්.

සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් දේවල්ද පාවිච්චි කරන්නෙ

ඒක අවස්ථාව අනුව තීරණය වෙන දෙයක්. ගුණාත්මක බව තමයි වැදගත්.

ජීවිතේ පසුතැවෙන තැන් තියෙනවාද?

මම හිතන්නෙ නෑ. ජීවිතේ හැමදෙයක්ම අත්දැකීමක්.

අනාගත පරම්පරාව වෙනුවෙන් මොනවද කියන්න තියෙන්න‍ෙ

අපට තියෙන්න ඕන කෙටි කාලීන අරමුණු, මධ්‍යකාලීන අරමුණු හා දිගු කාලීන අරමුණු කියන කොටස් තුනම. ඒ වගේම ඒ අරමුණුවලට යන්න අවශ්‍ය සුදුසුකම් හදා ගන්න. සුදුසුකම් නැතිව, යාවත්කාලීන වෙන්නෙ නැතිව අරමුණු විතරක් තිබිලත් වැඩක් නැහැ. ඒනිසා තමන්ගෙ සුදුසුකම් හා අරමුණුවලට යන පාර හදාගැනීම තමයි වැදගත්. අනික තමයි තමන් නැග්ග ඉණිමඟට පයින් ගහන්න එපා. කළගුණ සැලකීම ඉතා වැදගත්. තමන්ට අත දුන් තැන් පහත හෙළා කතා කරන්නවත් එපා.

Comments