ලබන දෙසැම්බරය ‘මැජික්’ මාසයක් | සිළුමිණ

ලබන දෙසැම්බරය ‘මැජික්’ මාසයක්

අංක විද්‍යාත්මක සිද්ධාන්තවලට අනුව 2022 වසරෙහි දෙසැම්බර් මාසය සුවිශේෂි සිදුවීම් සිදු වන "මැජික්" මාසයක් වන බව පෙනේ. එයට හේතුව 2022 වසරෙහි දෙසැම්බර් මාසයෙහි සෑම දිනයක් සඳහාම දින, අංක සහ දෛව අංක සමාන වීමය. වසරකට එවැනි මාස ඇත්තේ එකක් හෝ දෙකක් පමණි.

සාමාන්‍යයෙන් මෙවැනි මාසවල මහ සයුර තුළ ප්‍රබල භූ කම්පන ඇති වීමට සහ පොළොව සෙලවීමට ඇති ඉඩකඩ ඉහළ යනු ඇත. ඒ අනුව 2022 වසරේ දෙසැම්බර් මාසය තුළ පොළොව සෙලවීමට සහ මහ සයුර තුළ ප්‍රබල භූ කම්පා ඇති වීමේ ඉඩකඩ ඉහළ යෑමට ඉඩකඩ ඇති අතර "සුනාමි" අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සිදු වන ආකාරයේ ප්‍රබල භූ කම්පන පවා ඇති වීමට ඉඩ ඇත. එමෙන්ම දෙසැම්බර් මාසයට ආසන්න මාස වන නොවැම්බර් මාසය තුළ සහ 2023 වසරෙහි ජනවාරි මාසය තුළ ද මෙම අවදානම යම්තාක් දුරකට පෙන්නුම් කෙරේ.මීට අමතරව 2022 වසරේ දෙසැම්බර් 8, දෙසැම්බර් 17, දෙසැම්බර් 26 සහ ඒ ආශ්‍රිත දිනවල රටෙහි ඉදිරි අනාගතය සම්බන්ධව ඉතා තීරණාත්මක සිදුවීම්වලට සහ ඉතා තීරණාත්මක ආරංචිවලට ඉඩකඩ පවතින බව පෙනේ.

එමෙන්ම 2022 වසරේ දෙසැම්බර් මාසය තුළ සෑම ලග්න හිමියකුටම පාහේ දෛව අංකයට අනුව සුවිශේෂී සිදුවීම් සිදුවිය හැකි බව පෙනේ. යම් පුද්ගලයකුගේ දෛව අංකය සොයා ගනු ලබන්නේ එම පුද්ගලයාගේ උපන්දිනයට අයත් සියලු ඉලක්කම් තනි ඉලක්කමක් ලැබෙන තුරු නැවත නැවත එකතු කිරීමෙනි.

ඒ අනුව දෛව අංක 1 හිමියන්ට 2022 වසරේ දෙසැම්බර් 1, 10, 19, 28 සහ එම දින අවට දිනවල ද දෛව අංක 2 හිමියන්ට දෙසැම්බර් මස 2, 11, 20, 29 සහ එම දින අවට දිනවල ද දෛව අංක 3 හිමියන්ට දෙසැම්බර් මස 3, 12, 21, 30 සහ එම දින අවට දිනවල ද දෛව අංක 4 හිමියන්ට දෙසැම්බර් 4, 13, 22, 31 සහ එම දින අවට දිනද, දෛව අංක 5 හිමියන්ට දෙසැම්බර් 5, 14, 23 සහ එම දින අවට දිනවල ද, දෛව අංක 6 හිමියන්ට දෙසැම්බර් 6, 15, 24 සහ එම දින අවට දිනවල ද, දෛව අංක 7 හිමියන්ට දෙසැම්බර් 7, 16, 25 සහ එම දින ආශ්‍රිත දිනවල ද, දෛව අංක 8 හිමියන්ට දෙසැම්බර් 8, 17, 26 සහ එම දින අවට දිනවල ද, දෛව අංක 9 හිමියන්ට දෙසැම්බර් මස 9, 18, 27 යන දිනවල සහ එම දින අවට දිනවල ද කැපී පෙනෙන සුවිශේෂී සිදුවීම් පෙන්නුම් කෙරේ.

ඉහත කී දිනවල සහ එම දින අවට දිනවල සිදුවන කැපී පෙනෙන සුවිශේෂී සිදුවීම් මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට මීළඟට බලාපොරොත්තු වෙමු. සැබවින්ම ඉහත දිනවලින් සමහර දින සුබ ප්‍රතිඵල ලැබෙන ලෙස ද, තවත් සමහර දින අසුබ ප්‍රතිඵල ලැබෙන ලෙස ද ගත වෙනු ඇත. ඒ නිසා එම සෑම දිනයක් කෙරෙහිම අවධානය යොමු කරමින් සුබ දින මොනවාද? අසුබ දින මොනවා ද යන්න වටහා ගෙන අසුබ දිනවල ඇති විය හැකි බලපෑම අවම කර ගත යුතු වනු ඇත. සුබ ප්‍රතිඵල ලැබෙන දිනවල සුබ සිදුවීම් සිදුවීමට ද, සුබ ආරංචි ලැබෙන්නට ද, තෑගි බෝග ලැබෙන්නටද, ධන ලාභ ලැබෙන්නටද කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගත හැකි අදහස් ඇතිවීමටද, කලකින් හමු නොවන මිතුරකු හමුවීමටද, ඒ හා සමාන වෙනත් සුබ සිදුවීම්වලට ද ඉඩකඩ ඇත.

සමහරවිට සිදුවීම සුළු සිදුවීමක් වුවද අමතක නොවන සුබ ප්‍රතිඵල ඇති වන්නට ඉඩකඩ ඇත. අසුබ ආකාරයට ක්‍රියාත්මක විය හැකි දිනවල අසුබ ආරංචිවලටද, අසුබ සිදුවීම් වලටද, වෙනදාට වඩා ආවේගශීලී වීමට ද, වෙනදාට වඩා උදාසීන ලෙස දිනය ගත වීමට ද, ගැටුම්වලට මැදිහත් වීමට සිදුවීමටද, අපහසුතාවට පත් වන ආකාරයේ සිදුවීම්වලට ද වෙනත් එවැනි සිදුවීම්වලට ද ඉඩකඩ ඇත. එනම්, සමහරවිට සිද්ධිය සුළු සිද්ධියක් විය හැකි වුවත් අමතක නොවන අසුබ ප්‍රතිඵල ඇති වන්නට ඉඩකඩ ඇත. 2022 වසරෙහි දෙසැම්බර් මාසයට ආසන්න මාස වන 2022 නොවැම්බර් සහ 2023 ජනවාරි යන මාසවල ද ඉහත කී දිනවල සහ එම දින ආශ්‍රිත දිනවල තරමක් දුරකට හෝ සුවිශේෂී සිදුවීම් සිදු වන්නට ඉඩ ඇති නිසා අවධානයෙන් සිටිය යුතුය.

ප්‍රවීණ ‍ෙජ්‍යා්තිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

Comments