හික්කඩුවේ ද්විත්ව ඝාතනයට මුල් වූ උපන්දින සාදයේ බෝතල් ආරවුල | Page 2 | සිළුමිණ

හික්කඩුවේ ද්විත්ව ඝාතනයට මුල් වූ උපන්දින සාදයේ බෝතල් ආරවුල

ද වන විට දකුණේ පාතාලය තවමත් ඇත්තේ සක්‍රියවය. පාතාලයේ වැඩකාරයන් රැසකගේම නිජබිම ලෙස සැලකෙන්නේ ද දකුණය. හරක් කටා, කරන්දෙණියේ සුද්දා, කොස්ගොඩ සුජී, පොඩි ලැසී, කොස්ගොඩ රණා, රත්ගම විදුර, රාජු වැනි අද වන විට සක්‍රියව සිටින පාතාල අපරාධකරුවෝ සියලු දෙනාම පාහේ දකුණින් බිහිවූවෝය. ඒ අතර වැඩිදෙනෙක් සිටින්නේ රටින් පිටය. ඒ අය වැඩ පෙන්වන්නේ බුබායි සිටය. නැතිනම් ඉන්දියාවේ සිටය. ඒ අය එසේ රටින් පිට රැඳෙමින් පාතාල ක්‍රියාකාරකම්වල නිරතව සිටින්නේ පොලිස් වෙඩි උණ්ඩයට වඩා සුදු වෑන් රථවලට තවමත් ඇති බිය නිසාය.

මේ හැම පාතාලයෙක්ම ක්‍රියාත්මක වන්නේ මත්කුඩු ජාවාරමත් සමඟය. මෑතකදී දකුණේ සිදු වූ බොහෝ වෙඩි තැබීම් සහ ඝාතන පිටුපස ඇත්තේ මත්කුඩු ජාවාරම හා බැඳුණු ආරවුල්ය. නැතිනම් මත්කුඩු ජාවාරම්කරුවන් සිය බලය පෙන්වීමට ගන්නා උත්සාහයන්වල ප්‍රතිඵල ය. පසුගිය 31 වෙනිදා හික්කඩුව තිරාණගමදී සිදු වූ ද්විත්ව ඝාතනය පවා කුඩු පාතාලය හා බැඳුණකි.

අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහා යතුරු පැදියක නැඟී ගමන් කරමින් සිටි දෙදෙනෙක් එදා ඝාතනය වන්නේ තවත් යතුරු පැදියකින් ඔවුන්ව හඹා පැමිණි දෙදෙනෙක් විසින් කළ වෙඩි තැබීමකිනි. කොළඹ ගාලුපාරේ සිදු වූ මෙම ද්විත්ව ඝාතනය හරියට දකුණු ඉන්දියානු චිත්‍රපටක දසුන් පෙළක් මෙනි. සුදු පැහැති ඇඳුමෙන් සැරසුණු දෙදෙනකු යතුරු පැදියේ නැඟී මාර්ගයේ වම්පස කෙළවරට වන්නට ගමන් කරමින් සිටියේය. ඔවුන් පසුපසින්ද එන්නේ සුදු පැහැති ඇඳුමින් සැරසුණු දෙදෙනෙක් ගමන් කරමින් සිටි යතුරු පැදියකි. පසු පැදිකරුගේ අතෙහි වූයේ ජැකට්ටුවක් වැනි යමකි. ඔහු එහි තදින්ම අල්ලාගෙන සිටියේ ඔහුගේ එක් අතක් ජැකට්ටුව අස්සට දමාගෙනය.

තිරාණගම හන්දියට කිට්ටු වෙනවාත් සමඟ පිටුපසින් ගමන් කරමින් තිබුණු යතුරු පැදියේ වේගය තරමක් වැඩිවන්නේ ඉදිරියෙන් ගමන් කරමින් තිබුණු යතුරු පැදියට කිට්ටු කරමිනි. ඒ අතර ජැකට්ටුව තුළට දමාගෙන තිබුණු අත පසු පැදිකරු විසින් පිටතට ගන්නේ ටී 56 අවියක් ඉහළට ඔසවා ගෙනමය. යතුරු පැදියේ වේගයද ඒත් එක්කම තවත් ටිකක් වැඩි වන්නේ ඉදිරියෙන් ගමන් කරමින් තිබුණු යතුරු පැදියට සමාන්තරව ගමන් කරවමිනි. පසු පැදිකරු සිය අත වූ ටී 56 අවියන් වෙඩි වරුසාවක් එල්ල කරනුයේ ඒත් එක්කමය.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන්නට වූයේ යතුරුපැදියේ ගමන් කළ දෙදෙනාවම ඉලක්ක කරගෙනය. එම වෙඩි ප්‍රහාරය හමුවේ ඉදිරියෙන් ගිය යතුරු පැදිය බිම පෙරළී එහි ගමන් කරමින් සිටි දෙදෙනාම මරු වැලඳ ගන්නේ එතැනමදීය. ඒත් එක්කම වෙඩි තැබූ යතුරු පැදිය ආ වේගයෙන්ම ආපසු හරවා යන්නේ හික්කඩුව දෙසටය. ඒ මෑතකදී සිදු වූ පාතාල ඝාතන රැල්ලේ 39 වෙනි ඝාතනය ලෙස එය සනිටුහන් කරමිනි.

මෙසේ මහමඟ ඝාතනය වන්නේ තිදරු පියෙක් වූ ප්‍රසන්න මෙන්ඩිස් සහ ඔහුගේ අක්කාගේ පුතා වූ විසි හය වියැති ඉසුරු ප්‍රසන්නය. මේ දෙදෙනා එදා ගමන් කරමින් සිටියේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ඔවුන්ට එරෙහිව විභාග වන මිනිස් ඝාතන නඩුවකට පෙනී සිටීමටය. ඔවුන් අතින් ඝාතනය වී තිබුණේ පාතාලයේ ප්‍රබලයෙක් වූ රොෂාන් ද සිල්වා නොහොත් “කටා රොෂාන්“ ය.

කලක් මුළු රටම හොල්ලාගෙන සිටි පාතාලයේ අපරාධකරුවෙක් වූ මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙක් බව කියන “කටා රොෂාන්“ පාතාලයේ කුප්‍රකට චරිතයක් බවට පත්වන්නේ කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයකට එල්ල කළ ප්‍රහාරයත් සමඟිනි. අංගොඩ ලොක්කා සහ මාකදුරේ මධුෂ්ගේ සුසංයෝජනයකින් එම ප්‍රහාරය එල්ල කරනුයේ සමයං නැමැති පාතාලයේ ප්‍රබලයා ඉලක්ක කරගෙනය. 2017 වසරේ පෙබරවාරි 17 වෙනිදා එල්ල කෙරුණු එම පාතාල ප්‍රහාරයෙන් සමයං ඇතුළු පාතාල අපරාධකරුවෝ 05 දෙදෙනක් බන්ධනාගාර නිලධාරීන් 02 දෙනෙක්ද සමඟ ඝාතනය වූයේ මෑත ඉතිහාසයේ පාතාලය විසින් එල්ල කළ දරුණුම ප්‍රහාරයක් ලෙස එය ඉතිහාසයට එක් කරවමිනි.

මාකදුරේ මධුෂ් ඩුබායි සිට සිය ගෝලබාලයන් අංගොඩ ලොක්කාට ලබා දෙමින් එල්ල කළ එම ප්‍රහාරයේ පොඩි කොටසක “කටා රොෂාන්“ ද ගෑවී සිටියේය. ඒ බන්ධනාගාර බස් රථය තුළ වෙඩි වැදී මරුමුවට පත්ව සිටි සමයංගේ සිරුර බස් රථය ඇතුළේ සිට පිටතට ඇදගෙන එන්නටය. ඒ හැරුණු කොට ඔහු එතැන ගිනි අවි සෙල්ලම් දමන්නට ගියේ නැත. ඒ “කටා රොෂාන්“ ඒවන විට පාතාලයට ආධුනිකයෙක්ව සිටි බැවිනි.

අංගොඩ ලොක්කාත් ලඩියාත් මෙම ප්‍රහාරයෙන් පසු කල්පිටියෙන් බෝට්ටුවක නැඟී පලා යන්නේ ඉන්දියාවටය. ඒ අතර සිය ගෝලබාලයන් කිහිප දෙනෙක්ද රටින් පිට කිරීමටද මාකදුරේ මධුෂ් වග බලා ගත්තේය. ඉතිරි වන්නේ වැඩකට නැති දෙතුන් දෙනෙක් පමණි. ඒ අතර “කටා රොෂාන්“ද සිටියේය. “කටා රොෂාන්“ගේ නම පාතාල අපරාධකරුවන් අතර කියැවෙන නාමයක් බවට පත්වන්නේද එතැන් පටන්ය.

බන්ධනාගාර බස් රථයකට එල්ල කළ ප්‍රහාරයට සැකකරුවෙක් ලෙස කාලයක්ම බන්ධනාගාරයේ සිර සැප විඳි “කටා රොෂාන්“ එළියට එන්නේ මීටියාගොඩ කළුපේ පැත්තේ මත්කුඩු ජාවාරම සියතට ගෙනය. ඒ “මාකදුරේ මධුෂ්ගේ“ ආශිර්වාදය ඇතිවය. කටා රොෂාන් මත්කුඩු ජාවාරමට අත තැබුවේ තනිවම නොව, සිය සහෝදර සහෝදරියන්වද සම්බන්ධ කරගෙනය. පොලිසිය පවසන්නේ අද වන විට මීටියාගොඩටම ඒ පවුල පිළිලයක් වී හමාර බවය.

මාකදුරේ මධුෂ්ගේ හයිය ගෙන මීටියාගොඩ සිය බලය පැතිර වූ “කටා රොෂාන්“ ගමේ ගොඩේ අහිංසක වැසියන්ට පවා සිය පාතාල හයිය පෙන්වන්නට ගත්තේය. ගැහැනුන්ට පවා ඔහු තිරිසන් ලෙස පහර දුන්නේය. ගමේ ගොඩේ තේ කඩෙන් පවා ඔහු කප්පම් ගත්තේය. ඒ ගැන කිසිවෙක් ඔහුට එරෙහිව පැමිණිලි කරන්නට නොගියේ ජීවිතයට ඇති ආශාව නිසාය.

ඩුබායි හීදී මාකදුරේ මධුෂ් අත්අඩංගුවට පත්වීමත් සමඟ මධුෂ්ගේ පාතාලයේ බලයද ක්‍රමයෙන් වියැකී යන්නට ගත්තේය. ඒත් එක්කම “කටා රොෂාන්“ගේ ද ටිකෙන් ටික හුළං බසින්නට ගත්තේය. ඩුබායි සිට මෙරටට රැගෙන ආ මධුෂ් පොලිස් අත්අඩංගුවේ සිටියදී අභිරහස් ලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීමත් සමඟ කටා රොෂාන් හේත්තු වන්නේ කරන්දෙනියේ සුද්දාටය. ඒ එක්කම ඔහු නැවතත් හිස ඔසවන්නට ගන්නේ දකුණේ තවත් පාතාල අපරාධකරුවන් රැසක් මත්කුඩු ජාවාරම හරහා සමීපව ඇසුරු කරමිනි.

එම පාතාලයේ හයිය පෙන්වමින් මුළු ගමම බිය ගන්වා ගෙන සිටියත්, ඔහුට සිය අණසකට යටකර ගන්නට නොහැකි වන්නේ මෙන්ඩිස්ගේ පවුල පමණි. ඒ ඔවුන්ගේ පවුල ද ගමේ ශක්තිමත් පවුලක් වූ බැවිනි. පොලිසිය නම් පවසන්නේ මෙන්ඩිස්ලාද මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පිරිසක් බවකි. ඒ අයගේ පාර්ශ්වයෙන් නම් කියන්නේ මත්කුඩු ජාවාරමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. ධීවර රැකියාව ඔවුන්ගේ ප්‍රධාන ජීවන වෘත්තිය බව කියති. මෙහි ඇත්ත නැත්ත හොඳාකාරවම දන්නේ කළුපේ ජීවත්වන වැසියන් පමණි.

හික්කඩුව තිරාණගම දී මෙන්ඩිස්ගේත් ඉසුරුගේත් ඉරණම මහ පාරේදී වෙඩි උණ්ඩයකින් විසඳෙන්නට මුල්වන කතාව දිවයන්නේ 2021 වසරේ ජනවාරි 14 වෙනිදා දක්වාය. එදා මෙන්ඩිස්ගේ වැඩිමහල් දරුවා වූ ළහිරුගේ 18 වෙනි උපන්දිනය වෙනුවෙන් පැවති සාදයකි. මෙම සාදය පැවැත්වෙන්නේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ නිතර ගැවසෙන තැනකය. ළහිරුගේ මිතුරන් දහ පහළොස් දෙනෙක්ම මේ සාදයට සහභාගි වී සිටියහ. කොරෝනාවෙන් නිවෙස්වලට සිරවී සිටි ළහිරුගේ මිතුරන්ට මධුවිත ටිකක් තොලගාමින් විනෝද වෙන්නට මෙය කදිම අවස්ථාවක් විය. සින්දු කියමින් ඔවුන් විනෝද වෙමින් සිටින අතර තුර මෙතැනට කඩා පාත්වන්නේ “කටා රොෂාන්“ය. ඒ කිසිදු ආරාධනයකින් තොරවය.

“ උඹල අපිට කියන්නේ නැතිව පාටි දානවා නේද?“ කටා රොෂාන් පොඩි සද්දයක් දැම්මේ කටිටිය ටිකක් බය කරන්නට සිතාගෙනය. එහෙත් ඒ කිසිවෙක් “කටා රොෂාන්“ව සත පහකට ගනන් ගණන් ගත්තේ නැත. ඒ මාකදුරේ මධුෂ්ගේ මරණින් පසු කටාට ලොකු හයියක් නැති බව එහි සිටි බොහෝ අය දැන සිටි නිසාය. ඒ යැයි කියා කටා එතැනින් මාරු වී ගියේ නැත. පොඩියට සද්දයක් බද්දයක් දමා කට්ටිය බිය ගැන්වීමට සෙල්ලමක් දැම්මේය. එය ද හරි නොගිය තැන ළහිරු වෙත ගොස් කටා රොෂාන් ඉල්ලා සිටින්නේ මත්පැන් බෝතල් දෙකකි.

“ දෙකක් නම් දෙන්න බැහැ. ඕනෙ නම් එකක් දෙන්නම්.“ ළහිරු එසේ කියමින් එක් බෝතලයක් කටා රොෂාන්ගේ අතට දුන්නේය.

මෙය කටා රොෂාන්ට දැනුණේ මදි පුංචිකමක් ලෙසිනි. බෝතල් දෙකක්ම ඉල්ලා ඔහු ගෝරනාඩු කරන්නට ගත්තේය. “ඕනෙ නම් ඕක අරගෙන යනවා. තව දෙන්නේ නැහැ.“ ළහිරු බැරිම තැන කීවේ තරමක් උස් හඬිනි.

ඒත් එක්කම කටා රොෂාන් ඔහු අත වූ බෝතලය පොළොවේ ගසා කුඩු කරමින් උපන් දින සාදය පොරපිටියක් බවට පත්කරනුයේ ළහිරුට පහරවල් දෙක තුනක්ද එල්ල කරමිනි.

ළහිරුගේ පියා වූ මෙන්ඩිස්ට මේ ගැන කන වැකෙන්නට එතරම් වේලාවක් නොගියේය. ඒ කිට්ටුව පාත පිහිටි නිවසේ සිටි මෙන්ඩිස් එතැනට දිව එන්නේ පවුලේ ඥාතීන් කිහිප දෙනෙකුත් සමඟිනි. උපන් දින සාදය එදා නිමාවට පත්වන්නේ ගුටි කෙළියකිනි.

“තොපි එදා මට වට කරලා ගැහුවා. පවුල් පිටින මම තොපි ඔක්කෝමලාවම බාවනවා “ එතැන් සිට “කටා රොෂාන්“ ගෙන් දුරකතන ඇමතුම් ළහිරුට ගලා එන්නට ගත්තේය.

මෙම තර්ජන එදා මදි නොකියන්ට “කටා රොෂාන්“ට ලැබුණු සබ්බුව නිසා ලැජ්ජාව වසා ගැනීමට කරන ඒවා යැයි ළහිරු සිතුවේය. එහෙත් එය එසේ නොවන බව ළහිරුට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දැනෙන්නට ගත්තේ ළහිරුගේ ලොකු අම්මාගේ නිවෙසට “කටා රොෂාන්“ ගෙන් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟිනි. අනතුරුව ඔවුන්ට අයත් එළවළු වෙ‍ෙළඳ සැලකටද පහරදී හානි කළ “කටා රොෂාන්“ තවත් නිවාස රැසකට පහර දීමට පිඹුරුපත් පත් සකසමින් සිටියේය. මේ අතර ළහිරුද ලොකු අම්මාගේ පුතුන් සමඟ එක්ව ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්නේ “කටා රොෂාන්“ගේ සහෝදරිය වූ සිඟිතිගේ නිවෙසට ඊට නොදැවෙනි ලෙස ප්‍රහාරයක් එල්ල කරමිනි.

දෙපැත්තේ මේ ගැටුම දුර දිග යන්නේ මළ ගෙදරකට ගොස් නිවස බලා යමින් සිටි ළහිරුව 2021 ජූලි 01 වෙනිදා “කටා රොෂාන්“ ඇතුළු 06 දෙනෙක් විසින් වට කර කඩුවලින් කපා කොටා දමමිනි. එදා ඒ ප්‍රහාරය “කටා රොෂාන්“ එල්ල කරන්නේ ළහිරුව මරා දමන්නටය. එහෙත් ඔහුට තවදුරටත් ජීවත්වීමේ වාසනාව තිබුණේය. ඒ ඔහුව රෝද පුටුවකට පමණක් සීමා කරමිනි. ළහිරුව දකින හැම වාරයක් පසාම ළහිරුගේ පවුලේ සාමාජිකයන්ගේ පමණක් නොව ඥාති සහෝදරයන්ගේද ලේ කැකෑරෙන්ට වූයේය.

ළහිරුට එල්ල කළ ප්‍රහාරයත් සමඟ “කටා රොෂාන්“ සිටියේ පොලිසියටද කට්ටි පනිමින් සැඟවුණු ජීවිතයක් ගත කරමිනි. ඒ ළහිරුගේ පැත්තෙන් කොයි මොහොතක හෝ තමාට ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි දැන සිටි බැවිනි. ඒ සිතූ ලෙසම ඔහුට ඒ ප්‍රහාරය එල්ල වන්නේ 2021 දෙසැම්බර් 20 වෙනිදාය. ඒ සිය මිතුරන් කිහිප දෙනෙකු සමඟ හික්කඩුවේ නාගස්දෙණියේ කන්නන්ගර වත්තේ නිවසක මත්පැන් පානය කරමින් සිටියදීය.

වෑන් රථයකින් පැමිණි පස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් එදා කටා රොෂාන්ගේ සිරුර කීතු වලට කපා මරා දමන්නේ මීටියාගොඩ කළුපේ රජ කළ තවත් පාතාල අපරාධකරුවකුගේ චරිතය නිමා කරමිනි. එදා කටා රොෂාන්ගේ මරණය කණ වැකුණු කළුපේ පැත්තේ ජනතාව එය සැමරුවේ එක දිගට රතිඤ්ඤා දල්වමිනි.

කටා රොෂාන්ගේ ඝාතනය ගැන විමර්ශන පැවැත්වෙන්නේ හික්කඩුව පොලිසියෙනි. කටා රොෂාන්ගේ ඝාතකයන්ට වැඩි කලක් නිදැල්ලේ සිටින්නට පොලිසියෙන් ඉඩක් නොවීය. ළහිරුගේ පියා වූ මෙන්ඩිස්, ළහිරුගේ බාල සහෝදරයා වූ පුංචා සමඟ ළහිරුගේ ලොකු අම්මාගේ පුතුන් තිදෙනෙක්ම පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ඒ අතර ඉසුරුද සිටියේය. ඉසුරු ලොකු අම්මාගේ වැඩිමහල් පුතාය.

ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන මේ අය ඇප මත නිදහස ලබා එළියට එන්නේ පසුගිය සැත්තැම්බර් 16 වෙනිදාය. එහෙත් ළහිරුගේ බාල සහෝදරයා වූ පුංචාට එළියට එන්නට ඉඩක් නොවීය. ඒ බන්ධනාගාරය තුළදී ජංගම දුරකතනයක් භාවිතා කර හසු වී ඒ වෙනුවෙන් සිර දඬුවමක් ලබා සිටීම හේතුවෙනි.

ඇප ලැබූ මේ පිරිසට නැවත අධිකරණය හමුවේ පළමු වතාවට පෙනී සිටීමට දින නියමව තිබුණේ ඔත්තෝබර් 31 වෙනිදාටය.

“ තිස් වෙනිදායින් පස්සේ උඹලගේ සෙල්ලම් ඔක්කොම ඉවරයි“ කුඩු නඩුවකට ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින කටා රොෂාන්ගේ සහෝදරයා ඊට දින දෙකකට පෙර පුංචාව සොයාගෙන විත් මෙසේ කියන්නේ අමුතු හිනාවක්ද පාමිනි. ඒ සිනාව තුළ ඇති භයංකාරත්වය හඳුනා ගත් පුංචා පහුවෙනිදාම සිය පියාවූ මෙන්ඩිස්ට දුරකතන ඇමතුමක් දෙමින් පවසන්නේ “හෙට උසාවි එන්න එපා. අරුන් මොනව හරි කරන්න ඉන්නවා“ යැයි කියාය. ඒ කටා රොෂාන්ගේ සහෝදරයා විසින් කළ තර්ජනය ගැනද කියමිනි.

“උසාවි නොගිහින් කොහොමද?, වරෙන්තු කළාම පොලිසිය එයි හොයා ගෙන. ඒ නිසා මට බැහැ හැමදාම පොලිසිවල රස්තියාදු වෙන්න“ යැයි කියමින් මෙන්ඩිස් සූදානම් වන්නේ උසාවියට යන්නටය. මෙන්ඩිස්ව පමණක් තනිවම උසාවියට යවන්නට ඉසුරුට සිතක් නොවීය. ඒ නිසා ඔහු සිය සහෝදරයන් දෙදෙනා නිවසේ තබා 31 වෙනිදා උදෑසනම මෙන්ඩිස් සමඟ යතුරු පැදියේ නැඟී උසාවිය බලා යන්නට පිටත් වන්නේ හික්කඩුව පොලිසියට ද තමන්ට ඇති තර්ජනය ගැන කියා දුරකතන ඇමතුමක් දෙමිනි. එහිදී හික්කඩුව පොලිසියෙන් ඔවුන්ට ලැබෙන උපදෙස වන්නේ මීටියාගොඩ පොලිස් ස්ථානයට ගොස් ඒ ගැන පැමිණිල්ලක් කරන ලෙසටය.

“එහෙම නම් සර් අපි උසාවි යන්නේ නැහැ.“ යැයි එහිදී ඔවුන් පොලිසියට කීවේ ආරක්ෂාව වෙනුවෙන් කරන්නට ඇති එකම දෙය එය යැයි සිතා විය හැකිය.

“ ඒක මට අයිති වැඩක් නෙමෙයි. උසාවියත් එක්ක තමුන්ලම බලා ගන්න එකයි ඇත්තේ.“ හික්කඩුව පොලිසියේ ලොකු මහත්තයෙකුගෙන් ඊට ලැබෙන්නේ එවන් ප්‍රතිචාරයකි. ඒ උසාවි යන නොයන එක පොලිසියට අදාළ කරුණක් නොවූ බැවිනි.

අවසානයේදී සිදුවන්නේ මෙය හුදෙක් කතාබහකට පමණක් සීමා වීමය. මීටියාගොඩ තබා හික්කඩුව පොලිසියටවත් ඒ ගැන කිසිවකුත් පැමිණිලි කරන්නට ගියේ නැත. උසාවියට නොයන බව කීවත් අවසානයේදී මෙන්ඩිස් සහ ඉසුරු උසාවිය හමුවේ පෙනී සිටින්නට ගාලු පාර ඔස්සේ ගමන් කරමින් සිටියේය. ඒ යන ඔවුන්ගේ පසු පස්සේ මාරයා හඹා එන්නට වූයේ යතුරුපැදියකම නැඟීය. තිරාණගමදී මාරයා ඔවුන් දෙදෙනාව වෙඩි උණ්ඩ අතරින් පැමිණ රැගෙන යන්නේ පාතාලයේ තවත් බිහිසුණු ද්විත්ව ඝාතනයක් ගැන පොලිස් පොත්වල ලියැවෙමිනි. එදා ඉසුරුගේ සහෝදරයන් දෙදෙනාත් උසාවිය බලා ගමන් කරමින් සිටියේ නම් සිදුවන්නේ ද්විත්ව ඝාතනයක් නොව, සිවු පුද්ගල ඝාතනයකි.

දැන් මෙම ද්විත්ව ඝාතනය ගැන දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණගේ මෙහෙයැවීමෙන් පොලිස් කණ්ඩායම් තුනක් ක්‍රියාත්මකය. ඒ අතර ගාල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ යටතේ ක්‍රියාත්මක පොලිස් කණ්ඩායමක් දෙකක්ද ඇත්තේය. ඊටත් අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද ඝාතකයන් පසු පස්සේ මේ වන විට සිටින්නේ පන්නමිනි.

මෙම පොලිස් කණ්ඩායම් මේ වන විටත් මෙම ද්විත්ව ඝාතනය හා බැඳී ඇති බොහෝ තොරතුරු හෙළි කරගෙන හමාරය. ඊට අනුව පෙනී ගොස් ඇත්තේ මෙම ද්විත්ව ඝාතනය කටා රොෂාන්ගේ සහෝදරියක් විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවකට අනුව සිදු වූවක් බවය. ඇය මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නියකි. ඇය බෙදා හැරියේ කරන්දෙණියේ සුද්දාගේ බඩුය. ඒ නිසා ඇය මෙම කොන්ත්‍රාත්තුව බාරදී ඇතැයි කියැවෙන්නේ කරන්දෙණියේ සුද්දාටය. කියැවෙන ආකාරයට එය මිලියන 07ක කොන්ත්‍රාත්තුවකි. එයින් මිලියන 04ක්ම යොදවන්නේ ඇය ය. සෙසු මුදල් පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුගේය. ඒ අයද මත්කුඩු ජාවාරම හා බැදුණු ව්‍යාපාරවල නිරතව සිටින්නන්ය.

විමර්ශන කණ්ඩායම් වලට ලැබී ඇති තොරතුරුවලට අනුව කරන්දෙණියේ සුද්දා තමාට ලද මේ කොන්ත්‍රාත්තුව එහෙම පිටින්ම බාර දෙන්නේ තවත් පාතාලයකුටය. මෙන්ඩිස්ටත් ඉසුරුටත් කොළඹ ගාලු පාරේ තිරාණගමදී කමාන්ඩෝ ප්‍රහාරයක් එල්ල කරන්නේ එම කොන්ත්‍රාත්තුව බාරගත් පාතාල අපරාධකරු සිය ගෝලයන් දෙදෙනෙක් යොදාය. විමර්ශන නිලධාරීන් නම් විශ්වාස කරනුයේ වැඩි කල් යන්නට මත්තෙන් එම ප්‍රහාරයට වගකිව යුතු සෑම අයකුම නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකිවනු ඇති බවය.

Comments