
ජයග්‍රහණයට පියවරු සියයක් බවටත්, පරාජය අවජාතක බවටත් කියමනක් තිබේ. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට ද එය කදිමට ආදේශ වන්නේ ජාතික ක්‍රිකට් පිල ජාත්‍යන්තර පිටියේදී අත්විඳින පරාජයන් හි වගකීම බාර ගැනීමට සියලු පාර්ශ්ව මැළිකමක් දක්වන බැවිනි. බොහෝ විට වරද පැටවෙන්නේ කණ්ඩායමේ නායකයාගේ උර මතය. නොඑසේනම් තේරීම් කමිටුවේ හිස මත එය පටවා අත සෝදා ගැනීම්ද එමටය. වැඩිපුරම සිදුවන්නේ දෙවැනි කරුණ බැවින් ඒ පිළිබඳ විපරම් කිරීම වටී.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තේරීම් කමිටුවේ කාර්යභාරය සිහිපත් කිරීමේදී කරුණු දෙකක් ලියුම්කරුගේ මතකයට නැඟේ. පළමුවැන්න හැටේ දශකයේ මැද භාගයේදී ඩී. ඩී.ජයසිංහ, කේ. එම්. ටී. පෙරේරා, බොබී ස්කූමන් සහ චන්ද්‍ර ෂාෆ්ටර් එවකට ක්‍රිකට් තේරීම් භාර නිලධාරීන් ලෙස පත් වීමෙන් පසුව මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පෙරළිකාර වෙනසක් සිදු වීමය. මේ කමිටුව එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ සී. අයි. ගුණසේකර ඉවත් කරමින් ඊට හරි අඩක් වයසින් බාල මයිකල් තිසේරා නායකත්වයට පත් කළේ එවකට පැවැති ක්‍රිකට් සම්ප්‍රදායට පවා පයින් ගසමිනි. එහෙත් එම පෙරළිකාර තීරණයෙන් පසු දක්නට ලැබුණු ප්‍රතිඵලය එම තීරණයේ නැණවත් බව කියා පෑවේය. 1999 වසරේදී ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේදී අසාර්ථක වීමෙන් පසු පත් වූ සිදත් වෙත්තිමුණි ප්‍රමුඛ තේරීම් කමිටුව විසින් ගනු ලැබුවේ ද එවැනිම පෙරළිකාර තීරණයකි. වෙත්තිමුණි එවකට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සිටියදී සනත් ජයසූරිය නායකත්වයට පත් කළ අතර, තරුණ කණ්ඩායමක් බිහි කිරීමට අඩිතාලම දමමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළට ඔසොවා තැබීමට නිහඬ සේවයක් ඉටු කළේය.
දෙවැන්න නම් පසුකාලීනව දේශපාලන ගිලටීනයට හසුවීමට පෙර ක්‍රිකට් තේරීම් කමිටුව සතුව තිබූ ස්වාධීනත්වය සහ අභිමානයයි. නියමිත කාලය අවසන් වීමෙන් පසු තනතුර හැර යෑමට සිදු වූවත් එවකට පැවැති බොහෝ ක්‍රිකට් තේරීම් කමිටුවලට තිබුණේ ශක්තිමත් කශේරුවකි. එය දක්ෂතාවෙන් පරිපූර්ණ ක්‍රීඩකයන් හමුවේ මිස දේශපාලන බලවතුන් හමුවේ නොනැමිණි.
පෙර සඳහන් කළ පරිදි සී.අයි.ගුණසේකර ජාතික කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කළ අවධියේ එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ රොබට් සේනානායක විසිනි. හෙතෙම මෙරට පළමු අගමැති මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන්ගේ කනිටු පුත්‍රයා නිසාත්, ඒ වන විට රටේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ඩඩ්ලි සේනානායකයන්ගේ බාල සොහොයුරා වූ නිසාත් ඉතා බලවත් හා කීර්තිමත් පුද්ගලයකු බවට පත්ව සිටියේය. එවකට පත් වූ තේරීම් කමිටුවේ ප්‍රධානියා වූයේ රාජ්‍ය සේවයේ නිරතව සිටි සාමාන්‍ය ලිපිකරුවකු වූ ඩගී ජයසිංහය. එක්තරා දිනයක ක්‍රිකට් තරගයක් අතරතුර රොබට් සේනානායකට තේරීම් කමිටු ප්‍රධානි ඩගී ජයසිංහ මුණ ගැසිණි. ඇස ගැටුණු සැණින් රොබට් ඔහුගෙන් විමසා සිටියේ සී. අයි. වෙනුවෙන් යමක් කළ හැකිදැයි යන්නය. ඒ වන විට සී.අයි. ගුණසේකර දැඩි සිත් තැවුලෙන් යුතුව පසු වූ බව ඔහු දැන සිටියේය. අගමැතිවරයාගේ සොහොයුරා වෙත හැරුණු රජයේ ලිපිකරුවා එක්වරම කීවේ ‘රොබට්, ඔබ ඔබේ වැඩක් බලාගන්න. මම මගේ වැඩේ බලාගන්නම්‘ කියාය. තනතුර සහ සමාජ තත්ත්වය කෙසේ වෙතත් නියම මහත්මයකුගේ ගතිලක්ෂණ පිය උරුමයෙන්ම දායාද වී තිබූ බැවින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රොබට් සේනානායකයන් නිහඬ විය. එබැවින් කතාව එතැනින්ම නිමාවට පත් විය. එවැන්නක් වර්තමානයේ සිදුවූවා නම් රාජ්‍ය සේවක ඩගී ජයසිංහට අත්වන ඉරණම ඔබට තේරුම් ගත හැකි වනු ඇත.
මේ සිදුවීම් දෙකම සඳහන් කරනු ලැබුවේ ක්‍රිකට් තේරීම් කමිටුව සතුව තිබිය යුතු ස්වාධීනත්වයත්, තීරණ ගැනීමේ සහ එම තීරණ ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියත් ඉස්මතු කර පෙන්වීමටය. එහෙත් අද සිදු වන්නේ එහි අනෙක් පැත්තය. වර්තමානයේ මෙරට සිටින ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරින්ට එවැනි ස්වාධීනත්වයක් නැත. තනතුරෙහි ගෞරවය රැක ගනිමින් කටයුතු කරනු ලබන්නේ ද අතළොස්සක් පමණි. බොහෝ විට සිදු වන්නේ අනුන්ගේ පදයට නටන රූකඩ පිරිසක් බවට පත්ව සිටීමය. ජාතික කණ්ඩායමේ විදෙස් පරාජයන්වලදී සියතින්ම ගෙල සිඳ ගන්නට ඔවුන්ට සිදු වන්නේ එනිසාය.
බොහෝ ක්‍රිකට් ප්‍රවීණයන්ට අනුව මෑත යුගයේදී මෙරට බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් තේරීම් කමිටු දෙකකි. එකක් 1996 වසරේ ශ්‍රී ලංකාව අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් එක්දින ලෝක කුසලානය ජය ගන්නා විට කටයුතු කරමින් සිටි දුලිප් මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුවය. ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරනු ලැබුවේද දුලිප් මෙන්ඩිස් විසිනි. ඊට අමතරව මෙරට බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයන් රැසක් එම කමිටුවේ සාමාජිකයෝ ලෙස කටයුතු කළහ. රන්ජන් මඩුගල්ල, සිදත් වෙත්තිමුණි, සහ රෝයි ඩයස් ඒ අතර සිටියහ. අනික් ක්‍රිකට් තේරීම් කමිටුව වන්නේ 1999 ලෝක කුසලාන පරාජයෙන් පසු පත් වූ සිදත් වෙත්තිමුණිගේ ප්‍රධානත්වයෙන් යුතු තේරිම් කමිටුවය. මේ තේරීම් කමිටු ද්විත්වයම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් නිවැරැදි තීරණ ගත් බව ප්‍රකට කරුණකි.
අද වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තේරීම් කමිටු පත් කරනු ලබන්නේ ක්‍රීඩා ඇමැතිවරයා විසින් වූවද, ඒ සඳහා ලැයිස්තුව ඉදිරිපත් වන්නේ ක්‍රිකට් ආයතනයෙනි. බොහෝ විට සිදු වන්නේ ක්‍රිකට් ආයතනය නම් කරනු ලබන ලැයිස්තුවට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලැබීමය. ජාතික තේරීම් කමිටුවක් පත් කිරීමෙන් පසු තත්ත්වය තරමක් වෙනස් වී ඇති අතර, ඇමැතිවරයාගේ අත්සන ගැනීමට පෙර නිර්දේශ ඉදිරිපත් කිරීම ජාතික තේරීම් කමිටුවට පැවරී තිබේ. එසේ වුවත් ක්‍රිකට් ආයතනයට අවශ්‍ය නොවන කෙනකු පත් වන්නේ කලාතුරකිනි. එවැනි තේරීම් කමිටු ප්‍රධානියකු ද මෙරට සිටි බව ප්‍රවීණයෝ පවසති.
කවුරු කෙසේ පත් වූවත් කණ්ඩායමක් තෝරා ගැනීමේදී විශාලතම භූමිකාව රඟ දක්වන්නේ තේරීම් කමිටුව නොවන බව ක්‍රීඩාලෝලීන් නොදන්නා රහසකි. ඔවුන් සිදු කරන්නේ 20%ක පමණ තෝරා ගැනීමක් පමණි. ඒ හැරුණු විට 80% ක් පමණ ක්‍රීඩකයන් තෝරා ගැනීම සිදු වන්නේ කණ්ඩායමේ නායකයාගේ සහ පුහුණුකරුගේ අදහසට අනුවය. එය සිදු වන්නේ තෝරා ගැනීමට පෙර කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරු සමඟ පවත්වනු ලබන සාකච්ඡා වට කිහිපයක ප්‍රතිඵලයක් ලෙසිනි. නායකයාගේ අදහසට අනුව පමණක් නොව කණ්ඩායමේ කළමනාකරුගේ අවශ්‍යතාව පරිදි පවා ඔහුගේ ප්‍රියතම ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කිරීමට කටයුතු කරන තේරීම් කමිටු සාමාජිකයෝ ද වෙති. එහෙත් එසේ තෝරා ගත් කණ්ඩායමක් අසාර්ථක වීමේදී චෝදනාව එල්ල වන්නේ තේරීම් කමිටුවටය. එසේ නොවී නායකයාගේ අභිමතයට අනුව තෝරාගත් කණ්ඩායම් සාර්ථක වූ අවස්ථාවන් ද නැත්තේ නොවේ. 1999 ලෝක කුසලාන පරාජයෙන් පසු පත් වූ සිදත් වෙත්තිමුණිගේ තේරීම් කමිටුව සනත් ජයසූරියට නායකත්වය පවරා ඔහුගේ අභිමතය පරිදි ක්‍රීඩකයන් තෝරාගැනීමට අවස්ථාව සැලසීම හොඳම නිදසුනය. ශ්‍රී ලංකා පිල එක දිගට තරග දිනන්නට වූයේ ඒ කාලයේදීය.
ශ්‍රී ලංකාවේ තේරීම් කමිටුවලට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව අවම වී ඇත්තේ ඔවුන්ගේම වරදිනි. බොහෝ කාලයකට පෙර තේරීම් කමිටුවේ සාමාජිකයන් ක්‍රීඩකයන් තෝරා ගැනීමට පෙර අන්තර් සමාජ තරග නැරඹීමට කටයුතු කළද, පසුකාලීනව එය නියමිත පරිදි සිදු නොවීම කමිටුවේ ස්වාධීනත්වය බිඳ වැටීමට හේතු වන්නට ඇත. එසේ වූයේ ප්‍රිමියර් ලීග් තරග නරඹා ක්‍රීඩකයන්ගේ දස්කම් සියැසින් දැක බලා ගැනීම වෙනුවට ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන ‘බුද්ධි මධ්‍යස්ථානය‘ නොඑසේ නම් Brain Center වෙත ගොස් ක්‍රීඩකයන්ගේ දස්කම් විපරම් කිරීමය. දේශීය පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ තරග දත්ත විශ්ලේෂණ හා පරිඝණක දත්ත විශ්ලේෂණ සිදුවන්නේ එහිදීය. තේරීම් කමිටු නිලධාරිහු පැමිණ එහි දත්ත ගබඩාවෙන් අදාළ තරගවාරයේ ක්‍රීඩකයන්ගේ දස්කම් ඇතුළත් දත්ත ලබා ගනිමින් ඒ අනුව යම්කිසි ප්‍රමාණයක ක්‍රීඩකයන් පිරිසක් ඇතුළත් වන පරිදි ලැයිස්තුවක් සකස් කර ගනිති. සංචිතය නම් කිරීමට එය ඔවුන්ට හොඳටම ප්‍රමාණවත්ය. ඉන් කාලය ද, මහන්සිය ද, මුදල් ද ඉතිරි කර ගත හැකිය. ක්‍රීඩකයන්ගේ දස්කම් කෙසේ වෙතත් ක්‍රීඩකයා දැක බලා ගැනීමට හෝ දේශීය තරගයක් නැරඹීමට ක්‍රීඩාංගණය අසලකටවත් නොගිය තේරීම් කමිටු සාමාජිකයන් දුසිම් ගණන් මෙරට බිහි වූවාට කිසිදු සැකයක් නැත.
එහි කනගාටුදායක තත්ත්වය වන්නේ මෙරට අන් කිසිදු ක්‍රීඩා සංගමයක තේරීම් කමිටුවලට නොලැබෙන වරප්‍රසාද රැසක්ම ලැබී ඇති පසුබිමක සිය කාර්යභාරය නිවැරැදිව ඉටු කිරීමට තරම් ඔවුන් වගකීම් විරහිත වීමය. දැනට ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩා සංගමයක තේරීම් කමිටුවකට වැටුප් ලැබෙන්නේ නැත. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගරු කටයුතු සේවයකි. එහෙත් ක්‍රිකට් තේරීම් කමිටුවේ සියලු සාමාජිකයෝ මාසික වැටුප් ලබන්නෝ වෙති. එය Full time රැකියාවකි. එය බොහෝ විට රුපියල් ලක්ෂ 2-3 අතර විශාල මුදලකි. ඊට අමතරව ක්‍රිකට් කණ්ඩායමේ එතෙර සංචාරවලට එක්වන (selector on tour) තේරීම් කමිටු සාමාජිකයකු ද වේ. ඔහුට විදෙස් සංචාරයකදී අමෙරිකානු ඩොලර් යම්කිසි ප්‍රමාණයක දෛනික දීමනාවක් ද ලැබෙයි. මීට අමතරව ඉන්ධන දීමනා, ප්‍රවාහන පහසුකම් ආදිය ද ඔවුන්ගේ පැකේජයට ඇතුළත් ය. ඔවුන්ට නොමිලේ රක්ෂණාවරණයක් ද ලැබෙන බවට තොරතුරු වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන්ට වැටුප් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ 2007 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව බවට තොරතුරු වාර්තා වේ. මේ පහසුකම් සියල්ල හැරුණු විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව තේරීම් කමිටු ප්‍රධානියාට නිල වශයෙන් විධායක කමිටුවේ සාමාජිකත්වය ද ලැබේ. ඔහු ක්‍රිකට් විධායක කමිටු රැස්වීම්වලට ද සහභාගි වෙයි. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ සාමාජිකයන්ට ලැබෙන වරප්‍රසාද ඇත්නම් ඒවා ඔහුට ද ලැබේ.
දේශීය තරග නොබලා සංචිතය තෝරාගැනීමට තරම් උදාසීන බවක් දක්වන්නේ එවැනි වරප්‍රසාද භුක්ති විඳින පිරිසකි. මෙතෙර තරග නැරඹීමට මැළිකමක් දැක්වූවත් එතෙර සංචාරවලට නම් ඔවුන්ගේ ඇත්තේ පුදුමාකාර උනන්දුවක් බව නොකියාම බැරිය.
පාසල් ක්‍රිකට් තරගයක්වත් නොබැලූ එක්තරා තේරීම් කමිටු ප්‍රධානියකු මීට වසර කිහිපයකට පෙර නවසීලන්තයේ පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සංචිතය තෝරා ගනු ලැබුවේ ස්කයිප් වීඩියෝ තාක්ෂණය ඔස්සේ බවත්, ඔහු පසුව selector on tour හැටියට එම සංචාරයට එක්වී ශ්‍රී ලංකා යොවුන් පිලට කුසලාන වටයේ අවසන් මහා තරගය දක්වා යෑමේ අවස්ථාව අහිමි වන තැනට කණ්ඩායම තේරූ බවත් එවකට ආන්දෝලනයකට තුඩු දුන් සිදු වීමක් වී තිබිණි. එහිදී ඔහු එවකට එම කණ්ඩායමේ සිටි අතිදක්ෂ පිතිකරුවකු බංකුවේ තැබීමෙන් ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සමඟ පැවැති මූලික වටයේ තරගවලින් ශ්‍රී ලංකා පිල පරාජයට පත්වූ අතර, ශ්‍රී ලංකා පිලට කුසලාන වටය අහිමි වී පළඟ වටය දක්වා පල්ලම් බැසීමට සිදු විය. අවසානයේ පලඟ වටයේ කෙන්යාව සමඟ පැවැති පළමු තරගයට එම පිතිකරුවා ඇතුළත් කළ අතර, ඔහු එහිදී ඉනිම ආරම්භ කරමින් ලකුණු 191ක්ම රැස් කළ අතර, තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේය. අනතුරුව සිම්බාබ්වේ පිල සමඟ දෙවැනි තරගයේදී ලකුණු නොලබා දැවී ගියද, බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවති අවසන් තරගයේදී නැවත දස්කම් දක්වමින් ලකුණු 116ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිල පලඟ ශූරයෝ බවට පත් වූහ. එම පිතිකරුවා අන් කිසිවකු හෝ නොව ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පාසල් පිතිකරුවකු වූ හසිත බෝයගොඩය. එය තේරීම් කමිටුවේ පැටිකිරිය දැන හැඳින ගැනීමට කදිම නිදසුනකි. තේරීම් කමිටු ප්‍රධානියා කවුරුන්දැයි දන්නෝ දනිති.
ඇතැම් තේරීම් කමිටු නිලධාරීන් විදෙස් සංචාරවලට උනන්දුවක් දක්වන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් උරදීමට නොව එතෙර පදිංචිව සිටින තම පවුලේ සාමාජිකයන්, දූ දරුවන් දැකබලා ගැනීමට හා ඔවුන් සමඟ කාලය ගත කිරීමට බව ප්‍රකට කරුණකි. ක්‍රිකට් තේරීම් කමිටුවට ඇතුළත් වීමේ ක්‍රමවේදය එතරම් සංකීර්ණ නැත. ජාතික කණ්ඩායම නියෝජනය කර තිබීම පමණක් සෑහේ. එහෙත් ජාතික කණ්ඩායම නියෝජනය නොකළ තේරීම් කමිටු නිලධාරින් කිහිපදෙනකු ද ඉතිහාසයේ සිටි බව වාර්තා වේ.
ක්‍රිකට් ප්‍රවීණයන් පවසන ආකාරයට බොහෝ තේරීම් කමිටු සාමාජිකයන්ට ප්‍රියතම ක්‍රීඩකයන් සහ ක්‍රීඩා සමාජ තිබේ. සංචිතය නම් කිරීමේදී ඒ සඳහා යොමු වන්නේ සුළුපටු අවධානයක් නොවන බවත් පැවැසිය යුතුමය. එවැනි ඇතැම් ක්‍රීඩකයන්ගෙන් තුටු පඬුරු ලැබූ තේරීම් කමිටු සාමාජිකයකු එකල සිටියේය. දශකයකට වැඩි කාලයක් අඛණ්ඩව සෑම තේරීම් කමිටුවකම සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති ඔහු විදෙස් සංචාරවලට සහභාගී වීමේ රුසියෙකි. ඔහු විසින් තෝරාගනු ලැබූ ඇතැම් ක්‍රීඩකයන් විදෙස් සංචාරවලින් පසු රූපවාහිනී යන්ත්‍ර, ශීතකරණ ආදි වශයෙන් ඔහුට තුටු පඬුරු ගෙනැවිත් දුන් බවට ද තොරතුරු වාර්තා වේ. ‘ටෙන් පර්සන්ට්‘ නමින් ලේබල්ගතව සිටි අදාළ තේරීම් කමිටු සාමාජිකයා මෙරට ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩා සමාජ දෙකක් කෙරෙහි තද වෛරයකින් පසු වූ පුද්ගලයෙකි. ඔහු සියලු ක්‍රීඩකයන්ට දන්වා ඇත්තේ සංචිතයට ඇතුළත් වීමට නම් එම ක්‍රීඩා සමාජවලට එකතු නොවන ලෙසය. ඔහුගේම වදනින් කියන්නේ නම් එක් ක්‍රීඩා සමාජයක් ‘ස්ටේෂන්‘ය. අනෙක ‘ගෘෘප්’ය. ඔහු ස්ටේෂන් නමින් හඳුන්වනු ලැබුවේ රාගම ක්‍රිකට් සමාජයයි. රාගම දුම්රියපොළ නිසා ඒ නම පටබඳින්නට ඇත. අනෙක් ක්‍රීඩා සමාජය හලාවත මේරියන්ස්ය. සුප්‍රකට මේරියන්ස් සංගීත කණ්ඩායම සිහි කරමින් ඒ නම පටබඳින්නට ඇත.
නායකයාගේ, පුහුණුකරුවාගේ, කළමනාකරුවාගේ අභිමතය පරිදි හෝ වෙන යම් පුද්ගලයකුගේ අවශ්‍යතාව පරිදි සංචිතය නම් කිරීමට කටයුතු කළ ද තේරීම් කමිටුවට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ අයිතියක් තිබේ. එය රැක ගැනීම තේරීම් කමිටුව සතු කාර්යයකි. ඔවුන් වැටුප් ලබන සිය රැකියාව නිවැරැදිව ඉටු නොකරනතාක්කල් මේ තත්ත්වය දිගටම පවතිනු ඇත. ක්‍රිකට් ආයතනයේ වැටුප් ලැබෙන තේරීම් කමිටු සාමාජිකයකු වූවද, සිය ව්‍යාපාර හෝ රැකියාව නිසා දේශීය තරග නැරඹීමට ක්‍රීඩාංගණයට යෑම මඟ හැරීමෙන් පාඩුව සිදු වන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවටය. ක්‍රිකට් තේරීම් කමිටුවට සාමාජිකයන් පත් කිරීමේදී මේ පිළිබඳ ක්‍රීඩා ඇමැතිවරයාගේ ද අවධානය යොමු විය යුතුය.