20-20 ලෝක කුස­ලා­න­යට පසු­ව­ද­නක් | සිළුමිණ

20-20 ලෝක කුස­ලා­න­යට පසු­ව­ද­නක්

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විශේෂත්වයක් වූයේ මුල් වටයේ තරග 4ක් නිම වී එක් තරගයක් පමණක් ඉතිරිව තිබියදී කිසිදු කණ්ඩායමක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා නොතිබීමය. ඒ අනුව මෙම තරගාවලියේ තරගකාරීත්වය පිළිබඳ සිතාගත හැකිය. කණ්ඩායම් සියල්ලම එක් තරගයක් හෝ පැරදී සිටියදී අපරාජිතව සිටි නවසීලන්ත කණ්ඩායම ද එංගලන්තය වෙතින් පරාජය ලැබීය.

නොවැම්බර් 4 වැනි සිකුරාදා පැවැති තරග යේදී ඔස්ට්‍රේලියානුවන් ජයගැනීම නිසා ඔවුන්ට ප්‍රසාද ලකුණු 7 හිමි විය. ඒ නිසා ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර නොවැම්බර් 05 වැනිදා පැවැත්වෙන තරගයෙන් එංගලන්තය විසින් ශ්‍රී ලංකාව පරාජය කළහොත් ඔවුන්ට ලකුණු 7ක් හිමි වේ. එසේ වුව හොත් නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය යන කණ්ඩායම් සම ලකුණු ලබා තිබීම හේතුවෙන් දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව අවසන් පූර්ව වටයට යන කණ්ඩායම් තීරණය වේ.

එහෙත් මෙම තරගාවලියේ මෙතෙක් තරගවල සිදු වූ පෙරළි සලකා බලන විට ඕනෑම දෙයක් සිදු විය හැකිය.

කෙසේ වෙතත් මේ තරගාවලියේ මෙතෙක් දුටු තරග අනුව මුලදී තරමක් පසුබා සිටි එංගලන්ත පිල ආක්‍රමණිකව ඉදිරියට එමින් සිටින අතර හොඳම පන්දු යැවීමේ බළ ඇණියක් සතු නවසීලන්තය මෙන්ම ඉන්දීය පිලත් දකුණු අප්‍රිකානු පිලත් තරගාවලියේ කැපී පෙනෙන කණ්ඩායම් බවට පත්ව ඇත.

මෙම තරගාවලියේ කැපී පෙනුණු තවත් සාධකයක් වූයේ කාලගුණයයි. වර්ෂාව නිසා තරග කිහිපයකම ප්‍රතිඵලය නොසිතූ විරූ ආකාරයට විසඳුණු අතර අධික ශීතල ද ක්‍රීඩකයන්ට බාධාවක් ගෙන දුන්නේය. එය විශේෂයෙන් බලපෑවේ ආසියානු කලාපයේ ක්‍රීඩකයන්ටය.

ඉන්දියාව සහභාගි වූ තරගවලදි ඉන්දීය පිලට සහාය වූ බවට විනිසුරන්ට ද චෝදනා එල්ල විය. ලෝක ක්‍රිකට් සිතියමේ හා අයිසීසීයේ ඉන්දීය බල පරාක්‍රමය හමුවේ මෙවැන්නක් පුදුමයට හේතු විය යුතු නොවේ.

ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ ද සලකා බැලීම වටී. ඔවුන් ඕස්ට්‍රේලියාවට ගියේ ආසියානු ශූරයන් බවට පත්ව පැමිණ සති දෙක තුනකිනි. ඉන් ඔවුන් පුහුණුවීම් කරන ලද්දේ දින හතරක් පමණි. සෙසු කාලය පිළිගැනීම්, රූපවාහිනී වැඩසටහන්, වාණිජමය වැඩසටහන් වෙනුවෙන් ගත කළේය. මේ අවධියේ ඔවුන්ගේ ක්‍රිකට් පිළිබඳ තිබූ අවධානය ගිලිහී ගිය බවක් ද පෙනිණි.

කල් තබා ඕස්ට්‍රේලියාවට ගිය අපේ ක්‍රීඩකයෝ මෙල්බර්න්හි පුහුණු සැසි කිහිපයක් පවත්වා එහිම පැවැති තෝරා ගැනීමේ වටයට සහභාගි වූහ. ආසියානු කුසලානයේදී ප්‍රථම තරගයෙන් ඇෆ්ගනිස්ථානය වෙතින් පරාජය ලැබූ ආකාරයට ම ඔවුන් මෙහිදී ද ප්‍රථම තරගයෙන් නැමීබියාව වෙතින් අනපේක්ෂිත ලෙස පරාජයට පත්විය.

දිගින් දිගටම ආබාධවලට ගොදුරු වීම ශ්‍රී ලංකා පිලේ ඉදිරි ගමනට එක් බාධකයක් විය. දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන්, ධනුෂ්ක ගුණතිලක, බිනුර ප්‍රනාන්දු, මධුශංක ආබාධවලට ගොදුරුවීමෙන් ශ්‍රී ලංකා පිලේ වේග පන්දු අංශය අඩපණ විය.

එහෙත් දඟ පන්දු යවන්නන් ලෙස මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග කැපී පෙනෙන දස්කම් දක්වද්දී පිතිකරුවන් අත­ුරෙන් එක දිගට ලකුණු අතර වූයේ කුසල් මෙන්ඩිස් පමණි.

පැතුම් නිස්සංක හා ධනංජය ද සිල්වා ද ජයග්‍රහණ ලැබූ තරගවල කැපී පෙනිණ. ඉතාමත් ඉහළ මට්ටමක තිබුණු ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ද දුර්වල මට්ටමක විය.

ඇතැම් තරගවල පන්දු යවන්නන් යොදා ගැනීමේදී නායක දසුන් ශානකගේ දුර්වලතා ද මතු විය. මුල් පෙළ ලකුණු රැස් කළ ද අවසානය තෙක් ඇදගෙන යාමට මැද පෙළ අසමත් විය.

මෙල්බර්න් වලින් ලැබෙන තවත් වාර්තාවලින් කියවෙන්නේ මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ එතෙක් තිබුණු කණ්ඩායම් හැඟීම හා කැපවීම යම් පමණින් ගිලිහී ඇති බවයි. මෙයට එක් හේතුවක් ලෙස ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකුම පැවසුවේ ක්‍රීඩකයන්ට උපරිම නිදහසක් ලබාදී තිබීම හා රාත්‍රි නිදිවර්ජිතව ශ්‍රී ලාංකිකයන්ගේ නිවෙස්වල, භෝජනාගාරවල රාත්‍රී භෝජන සංග්‍රහයන්ට සහභාගි වීමයි.

බොහෝ ක්‍රීඩකයන් මෙම සංචාරය විනෝද සවාරියක් බවට පත් කර ගනිමින් තම පවුල් සාමාජිකයන් ද රැගෙනවිත් ඔවුන් සමඟ රැඳී සිටීමට වැඩි කාලයක් යොමු කළ බවත් වාර්තා වේ. කණ්ඩායමේ කළමනාකාරිත්වය මෙහිදී ක්‍රියා කළ ආකාරය ද ගැටලු සහගතය. සමාජ ජාලා පරිශීලනය කරමින් ක්‍රිකට් නොවන කටයුතුවලට ඔවුන් මුල් තැන දෙද්දී එය පාලනය කිරීමට කණ්ඩායම් කළමනාකරුට නොහැකි වූ බවක් දක්නට ලැබුණු බව බොහෝ ශ්‍රී ලාංකිකයෝ පැවසූහ. මේ ක්‍රීඩකයන් බොහෝවිට ෂොපිං හෝල් වලද දක්නට ලැබී ඇත. ඇතැම්විට ක්‍රීඩකයන්ගේ තරග පිළිබඳ ඇති කැපවීම පුහුණුව සඳහා ඇති උනන්දුව අඩු වීමට ද මෙය හේතු වන්නට පුළුවන.

ආබාධවලට ගොදුරු වී තරගාවලියෙන් ඉවත් කරන ලද ක්‍රීඩකයන්ට ද කණ්ඩායම සමඟ නැවතී සිටීමට ඉඩ හැරීම තවත් බාධකයක් වී ඇත. මෙම ලෝක කුසලාන තරගාවලිය අවසානයේ ඕස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල කණ්ඩායම්හි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් විශ්‍රාම ගැනීමට හෝ කණ්ඩායමෙන් ඉවත් කොට තරුණ ක්‍රීඩකයන් ආදේශ කිරීම සිදුවනු ඇත. ශ්‍රී ලංකා පිලේ ද අවශ්‍ය නම් වෙනස් කිරීම් සිදු කිරීම පිළිබඳව තේරීම් කමිටුවට සිතා බැලීමට කාලය එළඹ ඇත.

සත්‍ය­ජිත් අභි­ෂේක්    

Comments