
- ආවත් කැන පහළට ඇවරි මිල ඉහළට
- පෝර නැතුව කෙසෙල් ඵලදාව අඩු වී අසීමිත ඉල්ලුම නිසා මිල ඉහළට
- ඩීසල් ප්‍රශ්නය නිසා කොළඹට එන කෙසෙල් ලොරි අඩු වේ
- කෝලිකුට්ටු 500ට නගී
- සීනි - ඇඹුල් 300ට නගී
- කෙසෙල් රට යැවීමත් මිල වැඩිවීමට හේතුවක්
ලංකාවේ ජනප්‍රියම පලතුර කුමක්දැයි ඇසුවහොත් එයට 'කෙසෙල්' යැයි බොහෝ දෙනෙකු උත්තර දෙනු නියතය. ඉස්සර නම් කෙසෙල් ඉදුණේ ස්වභාවිකවය. ඒ සන්දියේ කෙසෙල් ඇවරියක් ඉදුණ විට මුළු පළාතම එම සුවඳින් වැලඳ ගනී. එහෙමත් නැත්නම් එදා කෙසෙල් ඉදෙව්වේ පොළොව යටට වළක් කපා දුම් ගැසීමෙනි. මඟුලකට, අලුත් අවුරුද්දකට නැත්නම් දානයකට අවශ්‍ය දිනට දින කිහිපයකට පෙර කෙසෙල් දුම් ගැසීම එදා සම්ප්‍රදායක් විය.
එහෙත් දැන් ඉදවන්නට එහෙම වද විය යුතු නැත. උදේ හයට කොළ පාටට ඇති කෙසෙල් කැනට ඉදෙන ස්ප්‍රේ එකක් ගැහුවොත් උදේ අට වෙනකෙට ගෙඩි ටික කැනේ නැට්ටත් එක්කම ඉදී හමාරය. කෙසෙල් කැනේ උඩ සිට පහළට එකම පාටය. ඉස්සර වගේ ටිකෙන් ටික ඉදෙන කෙසෙල් දැන් දැක ගත හැක්කේ කලාතුරකිනි.
කෙසෙල් මිල හිතාගත නොහැකි ලෙස ඉහළ යෑමක් පසුගිය සතියේ දැකගත හැකිය. ලංකාවට මෙට්‍රික් ක්‍රමයට කිරුම් මිනුම් එන්නට පෙර කෙසෙල් අලෙවි කළේ ගෙඩි ගාණටය. ඒත් ඉන්පසු කෙසෙල් කිරා විකුණන්නට පටන් ගත් නිසා කෙසෙල් ඇවරියේ වහල්ල නොහොත් තැරියටත් බරට ගෙවන්නට පොදු ජනතාවට සිදු විය.
අමු කෙසෙල් හා ඉදුණු කෙසෙල්වල ගුණ දෙයාකාරය. අප දැන් කතා කරන්නේ කෙසෙල් ගෙඩි ගැන වුව ද කෙසෙල් ගසේ බඩය ද ආහාරයට ගනී. අමුකෙසෙල් ව්‍යංජනක් ලෙස ද සකස් කරන අතර කෙසෙල් මුව මෙන්ම කෙසෙල් අල යොදා ගන්නේ රෝගවලට ඖෂධයක් ලෙසය. සර්ප දෂ්ඨනයේදී කෙසෙල් බඩ යුෂ බොන්නට ලබාදෙන අතර එය විෂ වෙදකමේ සැලකෙන්නේ ඉතාමත් ගුණදායක ඖෂධයක් ලෙසය.
කලකට ඉහත කොළඹදී කෙසෙල් තොග හෝ සිල්ලරට ගන්නට නම් දරාපු තැන වූයේ මැනිං මාර්කට්ටුවය. මැනිං මාර්කට්ටුව පෑලියගොඩ ගියත් තවමත් කොළඹ කෙසෙල් තොග වෙළඳාම දැක ගන්නට හැකිය. කුරුඳුවත්ත තිබුණ නිසා කොළඹ හත කුරුඳුවත්ත වූ නිසා කෙසෙල් වතු තිබුණ නිසා හැදුණ වත්තක් ඇත්තේ පිටකොටුව කෙසෙල් තොග වෙෙළඳපොළට හූවක දුරින්. ගමේ නම 'කෙසෙල්වත්තය'. ආර්. ප්‍රේමදාස නමැති ජනාධිපතිවරයා බිහි වූයේ මේ කෙසෙල් වත්තෙනි. මේ නම වැටුණේ අධිරාජ්‍යවාදීන් කෙසෙල් වවන්නට භාවිත කොට තිබුණේ මෙම ප්‍රදේශය නිසාය.
පිටකොටුවට කෙසෙල් ලැබුණ ප්‍රධාන ප්‍රදේශය වන්නේ ඇඹිලිපිටියයි. එමෙන්ම හොරණ, කඩුවෙල, ගොඩකවෙල, කුරුණෑගල ආදී විවිධ ප්‍රදේශවලින් ද කෙසෙල් ඵලදාව කොළඹට ලැබේ.
දැන් කෙසෙල් කියූ සැණින් අපට මතක් වන්නේ අඹිලිපිටියයි. ඇඹිලිපිටියේ කෙසෙල්පොළ පැවැත්වෙන්නේ මොරකැටියේය. එතැනට කෙසෙල් ගෙන එන සමිති අතර B4 ගොවි සංවිධානය, වලවනදී ගොවි කෘෂි නිෂ්පාදන සමිතිය මෙන්ම මොරකැටිය කෙසෙල් වගා කරන්නන් සහ අලෙවිකරුවන්ගේ සංගමය අතරින් අදහස් දැක්වූ පියතිලක කෙසෙල් වගාවට අත්වූ ඉරණම හෙළිදරව් කළේ මෙසේය.
"කෙසෙල් මිල ඉහළ යන්න ප්‍රධාන හේතුව පෝර මිල ඉහළ යාම හා පෝර හිඟය. ඒ හින්ද සරු ඵලදාවක් නෑ. හොඳ කැන් නෑ. කේඩෑරි වෙච්ච කෙසෙල් කැන් තියෙන්නේ. වෙනදට මොරකැටිය කෙසෙල් පොළෙන් කොළඹට ලොරි 25ක් 30 එවනවා. අද ලොරි 10ක්වත් දවසකට කොළඹට එන්නේ නැහැ." වලවනදී ගොවි කෘෂි නිෂ්පාදන සමිතියේ සාමාජික එන්.එල්. සිරිපාලගේ මතය ද කෙසෙල් මිල ඉහළ යාම ගැන එයම විය.
කොළඹ ප්‍රදේශයේ කෙසෙල් ගස් පිටින් කෝවිල්වල උත්සවවලට යොදා ගන්නේ හින්දු භක්තිකයන්ය. හෙට්ටි වීදියේ කෝවිල් අසලින් අප යනවිට කෝවිල්වලට ඇතුළු වන දෙපස හොඳට වැඩුණ කෙසෙල් කැන් ඇති කෙසෙල් ගස්වල නම් අඩුවක් තිබුණේ නැත. හෙට්ටිවීදිය අවසන් වන්නට පෙර අන්තිම පාරෙන් දකුණට හැරුණේ එම පාරේ යාපනයෙන් එන කෙසෙල් කැන්වලට නම් දරා ඇති නිසාය. යාපනෙන් එන තල්හකුරු වැනි දෑ එම කඩවල තිබුණත් වෙනදට සරුවට තිබුණ කෙසෙල් කැන්වලින් කෙසෙල් කැන් කීපයක් පමණක් එල්ලා තිබුණේ එක් තැනක පමණි. කෝවිල් බහුල මේ කොටහේන කොච්චිකඩේ ප්‍රදේශයේ පූජාවලට ප්‍රධාන වශයෙන් පූජා වට්ටිවලට තබන්නේ රත්කෙසෙල්ය.
කෙසෙල් කඩේ සිටි හිමිකරු සුබ්‍රමනියම්ය. කෙසෙල් මිල ගැන තොරතුරු ටිකක් විමසා සිටියෙමි.
"මේ රත්කෙසෙල් ජැප්නාවලින් එව්වා. කිලෝ එක හයසීයයි. ඒකේ අනෙක් එක තියෙනවා 'සුදු කොච්චි' කිලෝ එක 350/-යි. දැන් යාපනෙන් ගොඩක් කෙසෙල් එනවා අඩුයි. ට්‍රාන්ස්පෝට් ප්‍රොබ්ලම් තමා. ඔය අම්බිලිපටි (ඇඹිලිපිටිය) වගේ පෝර ප්‍රශ්න යාපනේ නැහැ."
අප දැන් රත් කෙසෙල් කිව්වාට මෙහි නියම නම රතු කොච්චි කෙසෙල්ය. මේ හින්දු භක්තිකයා මේ බව දැන සිටියේ නැත. අප ඉන්පසු ඇහුවේ 'දෙවෝල් කෙසෙල්' තියෙනවාද කියාය. ඔහු කීවේ "දෙවොල් කෙසෙල්" කලාතුරකින් එන බවත් කිලෝවක් නොව ඇවරියක් රුපියල් 5000කට වත් මිලදී ගත නොහැකි බවත්ය. කලකට ඉහත බොහෝ පූජා කටයුතුවලට යොදා ගත්තේ 'දෙවොල් කෙසෙල්ය'. ඉන්පසු සොයා ගැනීමට අපහසු නිසා බොහෝ දෙනා රත් කෙසෙල් ඒ සඳහා ආදේශයක් ලෙස භාවිත කරන්නට විය. දෙවියන්ටම කැපවූ 'දෙවොල් කෙසෙල්' ගසක වට ප්‍රමාණය අඟල් තුන හතරකි. දෙවොල් කෙසෙල් ඇවරියක් පූජා වට්ටියක තැබීම බලගතු දේවාශිර්වාදයක් ලද හැකි බව පැරැන්නෝ විශ්වාස කළහ. එමෙන්ම දෙවොල් කෙසෙල් පූජාව කළ තැනැත්තා මෙන්ම මුළු පවුලටම දේව ආශිර්වාදය මෙන් දේව ආරක්ෂාව ද ලැබෙන බවට ඇති ප්‍රකට මතය නිසා දැන් මේ 'දෙවොල් කෙසෙල්' දැක ගැනීම ඉතා විරල කටයුත්තක් වී තිබේ.
මැනිං මාකට්ටුව වසා දැමීමෙන් පසු දැන් ප්‍රධාන වශයෙන් කෙසෙල් සිල්ලර සහ තොග වෙළඳාම කෙරෙන්නේ බෝධිරාජ මාවතේය. බොහෝ කොළඹට එන ජනතාව අඩු මිලට කෙසෙල් ඇවරියක් ගන්නට යන්නේ එතැනටය. ගෑස්පහ හන්දිය පසුකර පිටකොටුව බෝධිය දෙසට එනවිට මේ පොළේ මුලින්ම අපට හමුවන්නේ කෙසෙල් වෙෙළඳාමේ නියුතු කුමාරය.
"කවදාක්වත් මෙහෙම කෙසෙල් ගණ වැඩි වුණේ නෑ. වෙනද ඇඹිලිපිටියෙන්, ගොඩකවෙලෙන්, කුරුණෑගලින් දිනපතා ලොරි ආවා. දැන් සතියකට දවස් තුනක් විතරයි කෙසෙල් එන්නේ. සමහර ලොරිවලට කොළඹට ඇවිත් ආපහු දෙතුන් සැරේ කෙසෙල් ගේන්න ඩීසල් කෝටා එක මදි. ඊටත් වඩා පෝර නැති නිසා කෙසෙල් ඵලදාව අඩුයි. ඒ හින්ද කෙසෙල් ගොඩක් මිල ඉහළ ගිහින්.
දැන් ඔය මිල වැඩි වෙන්න කලින් කෝලිකුට්ටු කිලෝවක් කීයක් විතර වුණාද?
"කෝලි කුට්ටු රුපියල් 180 ඉඳන් 220ට විතර තමයි විකුණුනේ. ඒත් ඊයේ රුපියල් 550ට ගන්නත් කිලෝවක් නැතිවුණා. නෝම්බි කාලයක් එහෙම තිබ්බ නම් කෝලිකුට්ටු කිලෝව 1000කට වත් ගන්න බැරි වෙයි.
කුමාර සමඟ අලෙවි කටයුතුවල ඔහුගේ පුත් ප්‍රියන්ත ද නියැළී සිටින බැව් පෙනුණි. මේ කෙසෙල් අලෙවිහලේ ඇපල්, දොඩම් ද මනරම් ලෙස අසුරා තිබුණි. එහි පැමිණි පාරිභෝගිකයකු ඇපල් මිල අසා විස්සෝපයට පත්ව ඇඹුල් කෙසෙල් 500ක් අරගෙන ගියේ විමතියෙනි.
ඇපල් මිල වැඩි වීමත් දැන් කෙසෙල් ඩිමාන්ඩ් වෙන්න එක හේතුවක්. ඔය කෙසෙල් කොච්චර ගණන් කිව්වත් හොඳ ඇපල් ගෙඩියක් ගන්න සල්ලිවලින් කෝලිකුට්ටු කිලෝවක් ගන්න පුළුවන්. දැන් කොහොමත් හොඳම ඇපල් ගෙඩියක් රු.500/-ටත් එහානේ."
ඊට පසු ගොඩවුණේ කෙසෙල් කැන් නැති කඩයකටය. එහි කෙසෙල් අසුරා තිබුණේ කොරියුගේටඩ් පෙට්ටිවලය. ඒවායේ මුහුණතේ කෙසෙල් ඇවරි මුද්‍රණය කොට කෙසෙල් ගෙඩිවල ස්ටිකර් ද අලවා තිබුණි. කඩ හිමිකරු වූයේ කේ. බාලසිංහය.
"ලෝකල් කෙසෙල් දැන් ගාණත් වැඩියි. මේ කෙසෙල් රට යවන එව්වා. මේවායේ නම ඩෝල් බනානා - (Doll Bannana) කොම්පැනිවලින් වවන්නේ. ලෝකල් මාකට් එකටත් දානවා. කිලෝ එකක් අපි දෙන්නේ රු. 280/-කට. කෝලිකුට්ටු වගේ අනෙක් කෙහෙල් ගණන් නිසා දැන් මේවා මාර විදිහට විකිණෙනවා!"
මේ කෙසෙල් අලෙවිකරුවන් අතරින් විරාජ් කිව්වේ ඊට වෙනස් කතාවකි. ඔහු කියන්නේ කොළඹ සිට කෙසෙල් තොග ලැබෙන්නේ ඇඹිලිපිටිය, මොනරාගල, පුත්තලම, කුරුණෑගල හා සෙවණගලින් බවය.
"දැන් ඔය කෝලිකුට්ටු, ඇඹුල්, සීනි කෙසෙල් විතරක් නෙමෙයි ගස්ලබුත් ගණන් ගිහින් තියෙන්නේ. වව්නියාවෙන් ගේන නම්බර්වන් (නොම්මර 1) ගස්ලබු කිලෝවක් 850/-යි. හැබැයි සුපර්බඩු - මීපැණි වගේ."
මේ කෙසෙල් අලෙවිකරුවන් අතරින් නාමල් අපට කිව්වේ කෙසෙල් මිල වැඩිවීමට වඩා කෙසෙල් අලෙවිකරුවන් පත්ව ඇති අසරණ තත්ත්වයයි.
දවසකට මේ කෙසෙල් බිස්නස් කරන තට්ටුවට කුලිය රුපියල් දාහයි. කෙසෙල්වලට පෝර නැතුව ඵලදාව අඩුයි. ට්‍රාන්ස්පෝට් වියදම් වැඩියි. කෝලිකුට්ටු කිලෝව 600යි. සීනි කෙසෙල් කිලෝව 300ට ගියා කියලා අපේ ලාබේ වැඩි වෙන්නේ නෑ. කොහොමද මිනිස්සු ඔය ගණන්වලට කෙසෙල් ගන්නේ. ඉතුරු වෙලා කුණු වුණොත් ඒ පාඩුවත් අපිටමයි. ගොඩක් අය බිස්නස් කරන්නේ ඩේලි කලෙක්ෂන් ණයට අරන්, දවස ගානේ අපි ණය වෙනවා."
අපට මේ කෙසෙල් මිල සොයා යෑමේදී කෙසෙල් තොග අලෙවියේ නියුතු කාන්තාවන් දෙදෙනෙකු ද හමුවිය. ඒ පද්මිනි හා අනුලාවතීය. ඔවුන් අපට කිව්වේ ද කෙසෙල් මිල මේතරම් ඉහළට ගිය කාලයක් තමන් දැක නැති බවය.
අවසානයේ අපට කෙසෙල් ගොවියන්, ප්‍රවාහකයන්, තොග සහ සිල්ලර වෙළෙඳුන් කියන කතා එක්කොට කෙහෙල් මිල ඉහළ යාමට සිදුවී ඇති සන්තෑසිය ගැන නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට හැකිය. මේ අනුව ගොවියන් කියන පරිදි කෙහෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පසුගිය කාලයේ පෝර හිඟ වීමය. ඇඹිලිපිටිය හත්පෝරුවේ පදිංචි වෘත්තීය ගොවියකු අප සමඟ පවසා සිටියේ කෙසෙල් සඳහා යොදන පෝර වන්නේ යූරියා, රතුකුඩු හා පොස්පේට් කැට එක්කොට බවය.
"පසුගිය කාලේ පෝර මිටිය රු. 40,000ට ගියා. ගොඩක් ගොවීන් කෙසෙල්වලට පෝර දාන්නැතුව ගියා. ඵලදාව අඩු වුණා. දැන් පෝර මිටිය රුපියල් 21,000/-ට බැස්සා. කෙසෙල්වලට කිසිම බෙහෙතක් ගහන්නේ නෑ."
කෙසෙල් වෙළෙඳපොළ තුළ මිල වැඩිවීමට හේතු සොයද්දී අපට පෙනී ගිය තවත් කරුණක් නම් ඩීසල් මිල ඉහළ යාම ද කෙසෙල් මිල වැඩි වීමට ප්‍රධාන හේතුවක් බවය. කොට්ටාවේ කෙසෙල් පමණක් අලෙවියේ නියුතු ලක්ෂ්මන් අපට කිව්වේ කොට්ටාවේ සිට ඇඹිලිපිටිය යාමට ඩීසල් මිල වැඩිවීමට පෙර වැය වූයේ රුපියල් 3500/-ක පමණ ඩීසල් ප්‍රමාණයක් බවය. ඒත් දැන් රුපියල් 20,000/ක වත් ඩීසල් ඇතුළු අනෙක් වියහියදම් ද දැරිය යුතුය.
"දැන් ඩීසල් කෝටා එක ඇඹිලිපිටියේ සිට දෙතුන් පාරක් කෙසෙල් ගේන්න මදි. ඒ නිසා ගේන බඩු ටික ෆුල් ඩිමාන්ඩ්. ගොඩක් කෙසෙල්වලට ඇඹිලිපිටියෙන් පැටවුවාම බේත් ජාති ගහනවා. මේ වගේ වැහි දවස්වලට ඒ හින්ද කෙසෙල් තෙමිලා ගෙඩි ඉක්මනට ඉදෙනවා. විකුණගන්න බැරිවුණොත් අතින් පාඩුයි. ඔය කෙසෙල් පටවන ගොඩක් ලොරි ක්ලෝස් බොඩි නෙවෙයි. ඒ හින්ද නොතෙමෙන්න වහගෙන එන්න පුළුවන් කෙසෙල් කැන් ගාන අඩුයි. ඉල්ලුමට සැපයුම නැති නිසාත් කෙසෙල් මිල ඉහළ යනවා."
අවසන් වශයෙන් කෙසෙල් සිල්ලර වෙළෙන්දන් ද කෙසෙල් මිල ඉහළ යාමට කියූ කරුණු ද වඩාත් ප්‍රායෝගිකය. මේ වෙළඳුන් කියන්නේ හැම භාණ්ඩයකම මිල අසාමාන්‍ය ලෙස ඉහළ යද්දි කෙසෙල් මිල ඉහළ යාම පමණක් හුවා දැක්වීම අසාධාරණ බවය.
කෙසෙල්වල තොග මිලත් සිල්ලර මිලත් සැසඳීම ඉතා අපහසු කටයුත්තකි. මේ කෙසෙල්වල තත්ත්වය නොහොත් කොලිටිය මත ඒවා නොම්මර 1 - 2 - 3 ලෙස වර්ගීකරණයකට ලක්වේ. ඉහළම මිලටම අලෙවි වන්නේ නොම්මර 1 කෙසෙල්ය. පෑලියගොඩ මැනිං මාර්කට්ටුවට කෙසෙල් කැන් ගොඩ බාන්නේ රාත්‍රී 10 සිටය. ඒත් තොග ගැණුම්කරුවන් කෙසෙල් මිලදී ගන්නට එන්නේ පාන්දර 3න් පසුවය. තොග වෙළෙන්දා කෙසෙල් කැනක් කිලෝගාණට මිලදී ගත්විට එම මුදල කෙසෙල් ගෙඩි ගාණෙන් බෙදා ගෙඩියක තොග මිල නිශ්චය කළ නොහැක. මේ කෙසෙල් කැනක යටම ඇවරිවල ඇති කෙසෙල් ඉතා කුඩා බැවින් ඒවා ඉවත් කිරීමට හෝ අඩු මිලකට විකිණීමට සිදු වේ. පිපිරුණු ගෙඩි, පුස් ගෙඩි හා තැළුණු ගෙඩි ද ඉවත් කළ යුතුය. කෙහෙල් නැට්ට කිලෝ 2කට වඩා බරයි. කෙහෙල් කැන මිලදී ගත් පසු එය ලොරියට පටවන 'නට්ටාමිට ද' ගාස්තුවක් ගෙවිය යුතුය. කෙසෙල් කැන් ප්‍රවාහනයේදී වන තැලීම් මෙන්ම බිම වැටීමේදී හා කෙසෙල් කඩේ ගොඩගසා තැබූ විට මීයන් වැනි සතුන්ගෙන් වන හානි නිසා අඩුවන හොඳ ගෙඩිවල අලාභයත් අවසානයේ දරන්නට සිදුවන්නේ පාරිභෝගිකයාටය.
පැලියගොඩ මාර්කැට්ටුවේ කෙහෙල් තොග අලෙවිකරුවන් බොහොමයක් අපට කිව්වේ වෙනදා මෙන් බිස්නස් සරු නැති බවය.
"සමහරදාට උදේ තුනේ ඉඳන් පටන්ගත්තම උදේ පහ වෙනකොට කෙසෙල් ලෝඩ් එකම ඉවරයි. සමහරදාට උදේ 7 - 8 වෙනකන් ඉතුරු වෙනවා. එදාට මිල අඩු වෙනවා. මොකද ඉතුරු වෙච්ච කෙසෙල් කැන් ආයෙත් ගෙදර ගෙනියන්නෙ නෑ. විකුණලම තමයි යන්නේ."
අපට කෙසෙල් තොග හා සිල්ලර මිල ගැන මෙතරම් විස්තරයක් කරන්නට සිදුවූයේ එය සරල වගුවකට ගොනු කිරීමට අවශ්‍ය වූ නිසාය. ඊටත් වඩා පළාතෙන් පළාත ගොවීන් තොග වෙළෙඳුන්ට මෙම කෙසෙල් අලෙවි කරන මිල ද විවිධාකාරය. ගොවියන් තොග මිලදී ගැනුම්කරුත් අතර මිල තීරණය වීමේදී ගොවියාගේ හදිසි මුදල් අවශ්‍යතා, කැපූ කැන් කල්තබා ගැනිමේ ප්‍රශ්න මෙන්ම ප්‍රවාහන දුෂ්කරතා ද කෙසෙල් මිල තීරණය කිරීමේ ප්‍රධාන සාධක වී තිබේ.
කෙසෙල් මිල ඉහළට යාමේ හේතු හොයාගෙන යද්දි පෙනී ගියේ නිසි ප්‍රමිතියට වගා කරන ලද කෙසෙල් දේශීය වෙළෙඳපොළට නිකුත් නොකර අපනයනය කරන පෞද්ගලික සමාගම් බොහොමයක් ඇති බවය. මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ නොවැම්බර් 26 වැනි දින ලංකාවේ ඇඹුල් කෙසෙල් කිලෝ ග්‍රෑම් 12,500ක් අපනයනයට නියමිත බවය. රාජාංගනයේ පිහිටුවා ඇති මේ කෙසෙල් වගාව අක්කර 200ක් පුරා විහිදී ඇත. ලංකාවේ හොඳම තේ පානය කරන්නේ විදේශිකයන්ය. අපට බොන්නට ලැබෙන බොහෝ තේ කසළ තේය. මෙහෙම ගියොත් ලංකාවේ අපට ද නොම්මර 1 කෙසෙල් අපනයනය කොට ඇටිකෙහෙල් කෑමට අවස්ථාව උදා නොවේවායි කෙසෙල් වෙෙළඳපොළේ කරක් ගැසීමෙන් පසු ප්‍රාර්ථනයක් හිතේ පහළ වූවත් එම සිතුවිල්ල කෙහෙල් ලෙල්ලක් විසි කරනවාක් මෙන් විසිකර දැමුවෙමි.
ඡායාරූප - රංජිත් අසංක