
මම එයාගේ අවශ්‍යතා ඉටු කරනවා නම් දරුවාගේ සියලු වියහියදම් ගැන ඔහු බලා ගන්නා බවත්, පාසලේ මගේ තනතුර ස්ථිර කරන බවත් ඔහු මට පැවැසුවා"
"මගේ ළඟට ඇවිදින් ඔහුගේ ඇඟ මගේ ඇඟේ අතුල්ලා, මට උදවු කරන්න කැමැති බව කිව්වා"
"ඔයා එක දවසක් මාත් එක්ක එන්න. මම ඊට පස්සේ ඔයාව නිර්දේශ කරලා ලියුම දෙන්නම්."
"රස්සාව ඕනේ නම් මාත් එක්ක සෙක්ස් කරන්නම වෙනවා."
"මට ඔයාට උසස්වීමක් දෙන්න පුළුවන් වෙන්නේ මාත් එක්ක දවසක් ගත කරන්න එන්න පුළුවන් නම් විතරයි."
මේ කාන්තාවන් දැඩි මානසික පීඩනයකට ලක්වෙන ප්‍රසිද්ධ ලිංගික අල්ලස් කිහිපයකි. යම් කාර්යයක් ඉටු කිරීම වස් ඍජුව හෝ වක්‍රව මෙන්ම වාචික හෝ වාචික නොවන ඇඟැවුමක් හරහා ලිංගික අල්ලස් ඉල්ලා සිටීම නීතිය හමුවේ දැඩි දඩුවම් ලැබිය හැකි වරදකි. ලිංගික සංසර්ගය, අනවශ්‍ය ස්ථාන ස්පර්ශ කිරීම, ලිංගික ඡායාරූප පෙන්වීමට බලපෑම් කිරීම, ලිංගික ක්‍රියාවන්හි නිරත වන ආකාරය බලා සිටීමට බල කිරීම හෝ ඊට අනුබල වන ආකාරයේ කුමන හෝ හැසිරීමක් ලිංගික අල්ලස් ගණයට වැටෙයි.
2010 සිට 2019 දක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට වාර්තා වී ඇත්තේ මෙවැනි සිද්ධීන් 13 ක් පමණි. 2022 ආරම්භයේ සිට මේ දක්වා අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ කොමිසමට ලිංගික අල්ලස් පැමිණිලි 7 කට වඩා වාර්තා වූ බව පවසයි.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් කොපමණ ප්‍රමාණයකට මෙවැනි අයුතු බලපෑම් එල්ල වන්නේ ද යන්න ගැන නිශ්චිත තොරතුරු නොමැති අතර පැමිණිලි කිරීම් දක්වා යන්නේ ඉන් සීමිත ප්‍රමාණයකි. සමානාත්මතාව සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය (CEJ) ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිසා අසරණ වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් කාන්තාවන්ට එල්ල වූ ලිංගික අල්ලස් බලපෑම් ගැන 2020 මැයි මස අධ්‍යයනයක් ආරම්භ කළේය.
සමානාත්මතාව සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රයේ වාර්තාවට අනුව තිස් වසරක කුරිරු යුද්ධයෙන් අනතුරුව අදාළ පළාත්හි කාන්තාවන්ට නව ආකාරයේ අභියෝග රැසක් පැමිණ ඇත. මෙහි නැඟීගෙන ආ ප්‍රවණතාව වූයේ ලිංගික අල්ලස් හෙවත් ලිංගික සූරාකෑමය. කරුණු සනාථ කරනු වස් සිද්ධි අධ්‍යයනයන් 25 ක් විමර්ශනයට ලක්වූයේ යුද්ධයේ බලපෑම ලක්වූ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 ක් ඇතුළත් වන පරිදිය. එයට ජාතීන් වශයෙන් දෙමළ 21 ක් හා මුස්ලිම් 4 ක් විය. මෙම උතුරු පළාතේ සිදු කළ මෙම සමීක්ෂණයට අනුව ලිංගික සූරාකෑම්වලට ලක් වූ වින්දිතයන් බහුතරයක් වයස අවුරුදු 25-35 ත් අතර දෙමළ වැන්දඹුවෝ වෙති. මෙම පර්යේෂණයට අනුව මේ කාන්තාවෝ 25 දෙනොගෙන් 19 දෙනෙක් නිවාස හෝ ඒ ආසන්න දෙයක් සම්බන්ධයෙන් උදවු ලබා ගැනීමට හෝ රැකියා ලබා ගැනීමට යාමේදී ලිංගික අල්ලස්වලට මුහුණ දී ඇත. එයට ගොදුරු වූ බොහෝ දෙනෙක් පවසා තිබුණේ තමන්ට වත්කමක් නොතිබූ නිසාවෙන් හෝ නැතිනම් හුදෙකලා බව නිසාවෙන් මෙවැනි ඉරණමකට ලක් වූ බවකි. මේ සිදුවීම්වලින් පසුව මනෝ උපදේශනය ලබා ගෙන ඇත්තේ දෙදෙනෙක් පමණක් වන අතර ඉතිරි පිරිස් ඒ ලිංගික සූරාකෑම් වේදනා තනිවම විඳ දරා ගෙන ඇත.
උතුරේ කාන්තාවන් ලිංගික අල්ලස්වලට යොමුවූ හේතු විමසීමේදී පර්යේෂකයන්ට පෙනී ගොස් ඇත්තේ යුද්ධය හේතුවෙන් පවුලේ සාමාජිකයන් මියයෑම, අතුරුදන් වීම මෙන්ම මිලිටරීකරණය හා කාන්තා ගෘහ මූලිකත්වය දරන සංඛ්‍යාව ඉහළ යාම ඊට හේතු වී ඇති බවකි. නමුත් ඛේදජනක කරුණ වූයේ මේ වින්දිතයන් බොහෝ දෙනෙකුට සිය අමිහිරි අත්දැකීම නීතිය ඉදිරියේදි ප්‍රකාශ කිරීමට ශක්තියක් නොමැති වීමය. මේ 25 දෙනොගෙන් නිල පැමිණිලි ගොනු කර තිබුණේ 7 දෙනකු පමණක් වීම ඛේදවාචකයකි.
මෙම ලිංගික සූරාකෑම්වලට ලක්වූ වින්දිතයන් පවසා ඇත්තේ තමන් එවන් තත්ත්වයකට පත්ව ඇත්තේ පුනරුත්ථාපන කටයුත්තේදී, යළි පදිංචි කරවීම්වලදී අවශ්‍ය සුදුසුකම් ලබා ගැනීමේදී, සහතික ගැනීමට මෙන්ම ලියකියවිලි සහතික කරවා ගැනීමට යාමේදි බවකි. තවත් පිරිස් පවසා ඇත්තේ ජීවනෝපායන් ලබා ගැනීමේදි, පවුලේ අතුරුදන් වූවන් පිළිබඳ සොයා යාමේදී මෙන්ම උදවු කර ප්‍රති උපකාර ලබා ගැනීමට යාමේදී මෙවැනි ලිංගික අල්ලස් ලබා ගැනීමට කටයුතු කළ බවකි.
“කාන්තාවන් ලිංගික අල්ලස්වලට ලක්වීම් සම්බන්ධව පර්යේෂණ කටයුතු ආරම්භ කළේ 2015දි. යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරු නැගෙනහිර පවුල්වල මානව අයිතීන් සම්බන්ධයෙන් තොරතුරු සොයා යද්දි තමයි අපට මුලින්ම තේරුණේ ඒ අය අතරේ ලිංගික සූරාකැම්වලට ලක්වූ පිරිස් සිටින බව.
ඒ අනුව අපි උතුරු නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් අනතුරුව ලිංගික සූරාකැම්වලට ලක්වූ කාන්තාවන් 25 ක් සොයා ගෙන පර්යේෂණයක් සිදු කළා. තොරතුරු ලබා ගැනීමේ බාධා මතුවුණත් දෙමළ කාන්තාවන් පමණක් නොවන බවත් අනිකුත් කාන්තාවන්ද ලිංගික සූරාකැම්වලට ලක්වූ බව අවබෝධ වුණා. ඉන් අනතුරුව අනිකුත් පළාත්වල වැන්දඹුවන්ට සිදුවන ලිංගික සූරාකෑම් පිළිබඳ අධ්‍යයනයක් සිදු කළා. ඉන් අනතුරුව පසුගිය වසරේ කාන්තාවන් හා සමලිංගික ප්‍රජාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කළා. මේ වන විට නීතිය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලින් සිදු වන ලිංගික සූරාකෑම් පිළිබඳ අධ්‍යයනයක් සිදු කරමින් යනවා. ලංකාවේ මේ අමිහිරි අත්දැකීම් විඳි බොහෝ දෙනා සිටියත් තොරතුරු අනාවරණය වන්නේ ඉතා අඩුවෙන්. “ ඒ සමානාත්මතාවය හා යුක්තිය සඳහා වූ කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඇන්ඩෝ ආන්තප්පන් ය.
මුස්ලිම් කාන්තාවන් අතර ලිංගික සූරාකෑම් සම්බන්ධ සමානාත්මතාව හා යුක්තිය සඳහා වූ කේන්ද්‍රය විසින් කළ පර්යේෂණය වයඹ, නැගෙනහිර හා උතුරුමැද පළාත් තුනට සීමා විය. ඒ සඳහා මුස්ලිම් කාන්තාවන් 10 දෙනකු ඇතුළත් විය. ඔවුනතරින් පිරිසක් පුද්ගල බිය වැද්දීම් මෙන්ම නින්දා අවලාද හේතුවෙන් ගම්බිම් පවා අතැර ගොස් තිබුණි. මෙම දස දෙනාගෙන් යුත් නියැදියේ වින්දිතයන් සය දෙනෙක්ම දික්කසාද වූ හා ස්වාමියා විසින් අතහැර දමා ගොස් ඇති අය වූහ. අඩු වයස් මට්ටමේදී විවාහ දිවියට එළැඹීම නිසා අඩු දැනුම් සම්භාරයක් ලැබීම මෙන්ම අඩු කුසලතාවෙන් යුතු වීම මේ ගොදුරු බවට පත්වීමට ආසන්නතම හේතු විය. තවත් සමහරක් ලිංගික අල්ලසෙහි බහුවිධ තත්ත්වයන්ට මුහුණ දී ඇති බවත් හෙළි වී ඇත. ලිංගික අල්ලස් සිදුවීම්වලදී හෙළි වී ඇත්තේ එම 10 දෙනොගෙන් පැමිණිලි කර ඇත්තේ දෙදෙනෙකු පමණක් බවය. පැමිණිලි කිසිවකුත් බලතල ආකාරයට නොගැනීම මෙන්ම අපරාධකරුවන්ට දඬුවම් දීමේ ප්‍රමාදය එසේ පැමිණිලි කිරීම්වලට යාමෙන් ඔවුන් මඟ හැරුණු බවත්ය.
මෙම 10 දෙනාගේ නියැදියේදී ලිංගික ගොදුරු ලබා ගත් සියල්ලෝම රාජ්‍ය නියෝජිතයෝ වූහ. පොලිස්, දිස්ත්‍රික් ලේකම්, පළාත් සභා මන්ත්‍රී, පරිවාස නිලධාරී, ග්‍රාම නිලධාරී, රාජ්‍ය පාසලක පරිපාලක මෙන්ම විශ්වවිද්‍යාල සේවකයකු ඒ අතර වෙයි. විශේෂත්වය වන්නේ මේ පිරිස මේ අවස්ථාවේදීද පමණක් නොව කලින් අවස්ථා කිහිපයකදීද එවැනි ලිංගික අල්ලස් ලබා ගැනීමට නම් දැරූ අය වෙති. ලිංගික සූරාකෑම්වලට ලක්වූ මෙවැනි මුස්ලිම් කාන්තාවන්ට අදාළ පුද්ගලයන්ට දඬුවම් ලබාදිය යුතු බව පැහැදිලි වුවත්, ඔවුන් ඊට වඩා කැමැති වී ඇත්තේ අල්ලාහ් හට හඬ ගැසීමෙන් දිව්‍යමය යුක්තිය ඉල්ලා සිටීමට හෝ සවුදි අරාබියාවේ මෙන් වරදකරුවන්ට ගල් ගසා මරා දැමීමට හඬ නඟා කීමටය.
මෙම සමීක්ෂණයේදී අවධාරණය කර ඇත්තේ මෙවැනි ලිංගික අල්ලස් ඉල්ලා ඇති අය වහාම සේවයෙන් නෙරපිය යුතු බවය. එපමණක් නොව මෙවැනි අල්ලස් විමර්ශනයට විශ්වසනීයත්වයෙන් යුතු නිලධාරීන් පත් කළ යුතු බවයි.
හමුදා වැන්දඹුවන් පිළිබඳව සිදුවූ ලිංගික සූරාකෑම් පිළිබඳ සමානාත්මතාව සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රයේ පර්යේෂණ සිදු වූයේ වැන්දඹුවන් වැඩිම සංඛ්‍යාවක් ජීවත් වන කුරුණෑගල, අනුරාධපුරය හා ගාල්ල යන පළාත්වලය. මොවුන් ලිංගික ගොදුරක් කරගත් බහුතරයක් රාජ්‍ය නියෝජිතයෝ වූ අතර තවත් පිරිසක් පෞද්ගලික අංශයේ තනි පුද්ගලයෝ වූහ. වැන්දඹුවන් මෙම අනතුරට පත්වීමට හේතුවූ කරුණු අතර මූලික වී ඇත්තේ සැමියාගේ වැටුප ලබා ගැනීමේ අවස්ථාවන්හිදී ගොදුරු බවට පත්වීම, නිවාස ගොඩ නඟා ගැනීමේ කර්තව්‍යයේදී ණය මුදලක් ලබා ගැනීමට යාමේදී වැනි අවස්ථාවලය. රාත්‍රියේ වැන්දඹුවන්ගේ නිවෙසට ගොස් මත්වී ලිංගික අල්ලස් ඉල්ලා සිටීම, ලිංගික හිංසනය හා නුසුදුසු ශාරීරික හැසිරීම්, දුරකථන හරහා සිදුවන ලිංගික හිංසන, කාමුක ප්‍රකාශ හා ඇනුම්පද මෙවැනි ලිංගික සූරාකෑම් අතර වූ බව වාර්තා විය.