තැඹිලි වගාකරුවන්ට එලෝ පොල් පෙන්නන සුදු මැස්සා | සිළුමිණ

තැඹිලි වගාකරුවන්ට එලෝ පොල් පෙන්නන සුදු මැස්සා

- සුදු මැස්සා වැඩිපුර වහන්නේ තැඹිලි ගස්වලට
- සමහර තැඹිලි ගස්වල කරටි කැඩී ගස් මැරී වැටිලා
- මේ උවදුරට මුහුණ දෙන්න රජයේ සහාය අවශ්‍යයි

ප ඉන්නේ විසල් පොල් රුප්පාවකය. අඹේපුස්සේ පිහිටි සාරඵල දැරූ නිල්වනින් බැබළුණු මේ පොල් වගාව මේ මොහොත වන විට ඔත්පලව ඇති අයුරු දකිමි. බොහෝ ගස්වල අතු මලානික කළු දුඹුරු පැහැයෙන් දුර්වර්ණ වී ගොස්ය. පොල් අතුවල ඉහළම ගොක් අත්තට ආසන්නයේ අතුවල පවා තැනින් තැන අවර කහ පැහැය ගෙන ඇත. නොඋස් ගසක් අසලට ගොස් බැලූ විට මෙම කහ පැහැති පත්‍ර යට පැත්තේ සුදු පැහැති පුළුන් වැනි ස්වභාවයකි. මේ ව්‍යසනය කරන්නේ මිලිමීටර 2-3ක් පමණ වන කුඩා සුදු පැහැති මැස්සෙකි. වැඩුණු සුදු මැස්සන් ද කීටයන් ද වගාවේ පොල් අතුවල දාරයේ එකට රැස් වී ඇති අයුරු පෙනේ. 

හානිය අධික ගසෙක පොල් පිති සහ ගෙඩි මතද සුදු පැහැති මකුළු දැල් වැනි මැස්සන් ගහනය පෙනේ. මා නෙත් මානයේ පෙනෙන්නේ බොහෝ දුර්භාග්‍ය සහිත අනාගත ව්‍යසනයක පෙර ලකුණු දැයි සිතේ. සියලු ව්‍යසන මැද රටේ අපනයන ආර්ථිකයත් ශක්තිමත් කළ, රටේ ආහාර පරිභෝජන රටාවේ සැලකිය යුතු බරක් ආවරණය කරන පොල් ගෙඩියටත් අලුත් අපලයක් පාත් වී ඇති සෙයකි.

ව්‍යසනය ගෙනැවිත් ඇත්තේ සුදු පැහැති මැස්සෙකි. මේ පළිබෝධ උවදුර මින් පෙර මේ රටෙන් හඳුනා ගෙන තිබුණේ නැත. දැනට තෙත් කලාපයේ ගම්පහ, කළුතර, කොළඹ කෑගල්ල මහනුවර දිස්ත්‍රික්කවල පොල් වගාවෙන් සියයට විස්සකට ආසන්න ප්‍රතිශතයක් සුදු මැස්සා විසින් ආක්‍රමණය කර තිබේ. උවදුරක් ලෙස මෙය පැතිරී ගොස් මාස කිහිපයකි. එබැවින් මින් ඇති විය හැකි ආර්ථික ව්‍යසනය සම්බන්ධව තවම නිශ්චිත තක්සේරුවක් නැත.

මේ පොල්වත්ත භාරව සිටින්නේ වසන්තය. වසන්ත සිය පරිපාලනය යටතේ ඇති අඹේපුස්ස වත්තේ වගාවට සිදු වූ දේ අපට විස්තර කළේය.

“ වගාවට මැස්සා ආවෙ මීට මාසෙකට විතර කලින්. ඔවුන් වර්ෂා කාලෙදි අඩු වෙනවා. පායන කාලෙදි වැඩි වෙනවා. අපි දැක්කා මේ මැස්සා වැඩිපුරම ගියේ කහපාට තැඹිලි ගස්වලට. තැඹිලි ගස් ඉක්මනට විනාශ වුණා. ගම්මානෙ සමහර ගෙවතු වගාවල තැඹිලි ගස්වල කරටි කැඩිලා ගස් මැරිලා වැටුණා. මේ හානිය දැනගත්ත ගමන්ම මම පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරිතුමියට දැන්නුවා. කෑගල්ලෙ ඔෆීස් එකෙන් අඹේපුස්සට දීලා තිබුණා දියර ඉසින විශේෂ යන්ත්‍රයක්. ඒ යන්ත්‍රයට කම්ප්‍රෙෂර් එකක් සවි කරලා තියෙනවා. ඒ බටයට රිටක් සවි කරලා පොල්ගස්වල යට හොඳට තෙමෙන්න පළිබෝධ නාශක ඉහින්න ඕන. මම පොල් පර්යේෂණ නිලධාරිනිය එක්ක කතා කරලා ඒ යන්ත්‍රය ගෙනත් අක්කර 15 වගාවටම පිළිබෝධ නාශක ඉස්සා. ඒ නිසා මට මේක යම් තරමකට පාලනය කරගන්න පුළුවන් වුණා. වගාවෙ හැම ගහකටම වාගේ සුදු මැස්සා ඇවිත් හිටියෙ. කෙසෙල්, අනෝදා වගේ ගස්වලටත් ආවා. හැම ගහටම මේ පළිබෝධ නාශක ඉස්සා.

“ ඒත් මෙතන ප්‍රශ්නය තියෙන්නෙ වත්තක එක ගහකට මේ සුදු මැස්සා ආවොත් පළාතෙම වගාව විනාශ වන වග අපි තේරුම් ගන්න ඕන. මම යෝජනා කරන්නේ හැම වගාකරුවකුගෙම වගාව ආවරණය වෙන විදිහට වැඩපිළිවෙළක් රජයෙන් හදන්න ඕන කියලා. “

ඔහු පවසන්නේ අවධානය යොමු විය යුතු අංශයක් ගැනය. තමන්ගේ මැදිහත්වීමෙන් පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ගෙන්වා ප්‍රදේශයේ පොල් වගා කරන සියලුම කණ්ඩායම් එකතු කර දැනුම්වත් කිරීම් සිදු කරනු ලැබුවත් එතැනින් එහාට එය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන රජයට හෝ දුප්පත් ගම්වැසියන්ට නොමැති නම් ඇතිවන තත්ත්වය ගැන ඔහු ප්‍රශ්න කරන්නේය.

අඹේපුස්සට එන්නට කලින් සුදු මැස්සාගේ ප්‍රහාරයට ලක් වූ තවත් වගාවක් තිහාරියේ දී දුටුවෙමි. එය අක්කර 12කට වඩා විහිදී ගිය පොල් සහ තැඹිලි වගාවකි. මේ වගාවේ සැලකිය යුතු ගස් ප්‍රමාණයක් මේ වනවිටත් සුදු මැස්සාගේ ප්‍රහාරයෙන් අඩපණ වෙමිනි.

වගාව හිමි සුළු පරිමාණ වැවිලිකරු නිමල් සිරිවර්ධනය. ඔහුගේ පොල්වත්ත ඇත්තේ තිහාරියේය. ඔහු සිය අත්දැකීම අපට කියන්නේ මෙසේය. 

“දැනට මාස හය හතක ඉඳන් මේ සත්තු හිටියා . ඒත් මේ තරම් ගැටලුවක් වේවි කියලා හිතුවේ නෑ. ඒ අය පොල් අත්තේ මකුළු දැලක් බැන්ඳා වගේ පදිංචි වෙනවා. ඊට පස්සේ ගහේ කොළවල තියන යුෂ උරා බොනවා. ඊට පසසේ අතුවල කොළපාට නැති වෙනවා. ඉරට්ට ඉතිරි වෙලා කොළය දිරාපත් වෙනවා. මේ මැස්සා වගාවෙ මහා වේගයෙන් පැතිරුණා. ඒත් මේ ලෙඩේට ප්‍රතිකර්ම කරන්න අමාරුයි. අඩි 20 -25ට වඩා උස පොල්ගස්වල පත්‍රවලට විෂ පළිබෝධ නාශක ඉහින එක මාරාන්තික වැඩක්. ඒටක අවශ්‍ය තාක්ෂණය යන්ත්‍ර සූත්‍ර අපි ළඟ නෑ. මේ උවදුරට මුහුණ දෙන්න අපිට පර්යේෂකයන්ගේ වගේම රජයේත් සහ­ායෝගය අවශ්‍යයයි කියලා කියන්නෙ ඒ නිසා.“ ඔහු කීවේය.

මං මේ සම්බන්ධව පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරීන් එක්ක කතා කළා. ඔවුන් හඳුන්වා දෙනවා උගුලක්. පොල් ගසේ ඉහළින් කහපාට පොලිතීන් එක්ක ගැට ගසන්න ඕන. ඊට පස්සේ කහපාට ග්‍රීස් ගාන්න ඕන. මේ මැස්සා කහ පාටට ආකර්ෂණය වන මැස්සෙක් බවත් ඒ හේතුවෙන් මැස්සා ඉටි කොළයට ආකර්ෂණය වෙලා එහි ඇලිලා ගහනය පාලනය වන බවත් ඔවුන් කියනවා. ඒත් ඒකත් විශාල වියදමක් අද ආර්ථික තත්ත්වයෙ හැටියට. “

නිට්ටඹුවේ දී අප දුටු දැවැන්ත පොල් වත්තකි. එහි වැවිලිකාර ව්‍යවසායකයන් අපට කීවේත් එවැනිම කතාවකි.

“ අපේ බය තියෙන්නෙ මේ සමඟ පොල් වගාවට ලොකු හානියක් වේවි කියලා. මොකද අපට මේක තනියම මර්දනය කරන්න අපහසුයි. පොල් ගහක් අඩි විස්සක් උසයි. ස්ප්‍රේ කරන්න විශේෂ යන්ත්‍ර තියෙන්න ඕන. අපට එහෙම යන්ත්‍ර නෑ. ඒ වගේම උපදෙස් අවශ්‍යයයි. රජයෙන් ඒ පහසුකම් සලසා දුන්නෙ නැතිනම් ඇත්තටම අපි විශාල කරදරයකට වැටෙනවා. ගහේ පහළ ඉඳලා අපි කරන්නෙ මොකක් ද කියන එකට පැහැදිලි උත්තරයක් අවශ්‍යයයි.“

ඔවුන් පවසන්නේ පර්යේෂණ සහායෝගය මෙන්ම මීට වඩා සක්‍රීය මැදිහත්වීමක් නොමැති වුවහොත් අනෙක් පළාත් ද වසාගෙන වේගයෙන් පැතිරී යන රෝගයෙන් කුමක් විය හැකිදැයි තවමත් කිසිවෙක් නොදන්නා බවය. ප්‍රතිඵල එන්නේ අප නොසිතන අනාගතයකය.

පොල් වගාවට හානි කරන මෙම සුදු මැස්සාත් සියලුම වගා ආක්‍රමණය කරනු ඇතැයි වැවිලිකරුවෝ අනුමාන කරති. මේ මැසි උවදුර විදේශයකින් පැමිණියේ නම් එම රටවල මේ සම්බන්ධව අනුගමනය කරන උපක්‍රම අපට ගළපා ගත හැකි ආකාරය සෙවීමය ප්‍රමුඛත්වය ලබා දීම ඵලදායී නොවේදැයි ඔවුහු විමසා සිටිති.

රෝගය බෝවුණේ කෙසේ ද. එක්වරම කඩා වැටුණු මේ ව්‍යසනය කුමක් ද? අපි ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ වගා සංරක්ෂණ අංශයේ ප්‍රධානී රොෂාන් ද සිල්වා විමසුවෙමු. ඔහුට අනුව මේ රෝගය මුලින්ම හඳුනා ගන්නේ වර්ෂ 2019 දී ය.

“ වර්ෂ 2019 අග කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තමයි මුලින්ම අපි මේ රෝගය හඳුනා ගත්තේ. අපි විශ්වාස කරන්නෙ මේ පැතිරී යන්නේ වෙනත් රටකින් ආපු රෝගයක් වගයි. 2019 දී මේක හඳුනා ගන්න අවධියෙදීත් ලංකාවේ සුදු මැස්සො විශේෂ හිටියා. ඒ මැස්සන් වෙනත් වගාවට හානි කළා. නමුත් පොල් වගාවට ඔවුන්ගෙන් හානියක් තිබ්බෙ නෑ. පොල්වල පළිබෝධකයක් ලෙස අප මේ මැස්සා නිරීක්ෂය වුණේ 2019 දී. පොල්වලට හානි කරන සුදු මැස්සන් ගහනයේ කලින් හිටපු එක් සුදු මැස්සන් විශේෂයක් ඉන්නවා. මීට කලින් ලංකාවෙන් හම්බ නොවුණ සුදු මැස්සන් විශේෂ තුනක් ඉන්නවා. මේ අලුතින් හඳුනා ගත් මැස්සන් විශේෂ තුන තමයි ප්‍රමුඛ හානිය කරන්නේ. “

මේ උවදුර පිටරටින් පැමිණියේ කෙසේ ද? අපි ඔහුව විමසුවෙමු. 

“ ඇත්තටම රෝගය පිටරටින් ආපු විදිහ ගැන ප්‍රශ්නයක් තියනවා. රටේ නීතිය අනුව පිටරටකින් කිසිම ජීවී ද්‍රව්‍යයක් රට තුළට ගේන්න බෑ නිරෝධායන අනුමැතිය රහිතව. නමුත් වෙනත් අනීතික ක්‍රමවලින් නීති විරෝධිව රට තුළට ගෙන්වන ශාඛ කොටස් එක්ක මේ උවදුර රට තුළට ආවා කියලයි අපි විශ්වාස කරන්නේ.“ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ වගා සංරක්ෂණ අංශයේ ප්‍රධානී රොෂාන් ද සිල්වා පවසන්නේ මේ රෝගය වඩාත්ම අවදානම් සහිතව පැතිරී යන්නේ තෙත් කලාපය ආශ්‍රිතව බවය.

ඊට අමතරව රත්නපුර, කුරුණෑගල, පුත්තලම සහ ගාල්ල දිස්ත්‍රික්වලින් ද රෝගය වාර්තා වී ඇත.

පොල් පර්යේෂණ ආයතනයට අනුව පත්‍රවල යුෂ උරා බොන මැස්සෙක් බැවින් වගාවට හානි වීම අනිවාර්ය බවය. මැස්සාගේ පරිවෘත්තීය ක්‍රියාවලියේ දී පැණි වැනි සුදු පැහැති බිංදුවක් පත්‍රිකා මත පතිතව තැන්පත් වන බැවින් ඒ මත කළු පැහැති දිලීරයක් වර්ධනය වී කළු පුස් පත්‍ර විවර්ණ වී දිරාපත් වන ස්වරූපයක් ද පර්යේක්ෂකයන් නිරීක්ෂණය කර තිබේ.

“ තැඹිලිවල ඵලදාවේ අඩුවීමක් පැහැදිලිවම පේනවා. පොල්වල තවම එහෙම තක්සේරුවක් කරලා නෑ. රෝගය 2019 ඉඳලා තිබුණට මේක මේ තරම් වර්ධනය වුණේ මීට මාස 06කට පෙර මුල් කාලයේ රෝගය යටපත් වීම සහ ඒ කාලයේ රටේ තිබුණ ප්‍රායෝගික අපහසුතා සමඟ යාවත්කාලීන නිරීක්ෂණ නොකිරීම නිසා රෝගය සම්බන්ධව අවධානය අඩු වුණා. රෝගය යළිත් හිස එසවීමත් සමඟයි දැන් මේ කතිකාව ඇතිවෙලා තියෙන්නේ. දැන් දකිනවා වැඩිපුර සුදු මැස්ස කොළවල ඉන්නවා. ඒත් අපිට විශ්වාසයි. කාලයත් එක්ක මේ රෝගය පාලනය වේවි.

රෝගය මර්දනය සඳහා පොල් පර්යේෂණ ආයතනය පළිබෝධ නාශක හතරක් නිර්දේශ කරයි. ඉන් තුනක් රසායනික සංයෝජනය. අනෙක කාබනික ශාකසාර නිර්දේශයකි. තයෝමෙතොක්සාම් ග්‍රෑම් 03ක් ජලය ලීටර 10 දිය කර පත්‍රවලට ඉසීම එක් ක්‍රමයකි. කාබොසල්ෆාන් මිලි ලීටර 20ක් ජලය ලීටර 10කට දියකර ඉසීම අනෙකය. තුන්වැන්න ක්ලොරෙන්ට්‍රැනිප්‍රෝල් සහ තයොමෙතොක්සාම් 40G ග්‍රෑම් 2.5ක් ජලය ලීටර 10කට දියකර පත්‍රවලට ඉසීමය. මෙම පළිබෝධ නාශක පොල් ගසේ පත්‍රිකාවල යටි පැත්තට ඉසිය යුතුය. ඉතාම ආරක්ෂිතව අත්වැසුම්, ශරීරාවරණ සහිතව භාවිත කළ යුතු බවය, ජල ටැංකි, ලිං අවට මේ ද්‍රාවනය ඉසීම නිර්දේශ නොකරන බවත් පොල් පර්යේෂණ ආයතනය දන්වයි.

සිවුවැන්න කාබනික විෂ රහිත ප්‍රතිකාරයකි. සබන් කුඩු ග්‍රෑම් 5ක් කොහොඹ තෙල් මිලි ලීටර 10කට එක් කර ඒක ජලය ලීටරයකට දිය කර පොල් ගසේ පත්‍රිකාවල යටි පැත්තට ඉසිය යුතුය. එමෙන්ම කහ පැහැයට ආකර්ෂණය වන සුදු මැස්සා හසුකර ගැනීමට අඹේපුස්සේ දී අපට ඇසුණු කහ ඉටි කොළයක කහ ග්‍රීස් තවරා ගසෙහි බැඳීමත් සාර්ථක ක්‍රමයක් බවත් ඉන් මැසි ගහනය පාලනය වන බවත් පොල් පර්යේෂණායතනය කියයි.

රෝග පාලයනය සඳහා ගොවීන්ට උදවු කිරීමට තමන් සූදානම් බව පොල් වගා කිරීමේ මණ්ඩලය ප්‍රකාශ කර ඇත. ඒ උස ශාකවලට පළිබෝධනාශක ඉසීමට හැකි දියර ඉසීමේ යන්ත්‍ර ඔවුන්ගේ පොල් වගා කිරීමේ සමිති හරහා වගාකරුවන්ට ලබා දීමෙනි. භාවිතයෙන් පසු එම යන්ත්‍ර යළි ආයතනයට ලබා දිය යුතුය. එහෙත් ගෙවතු වගාවට හෝ තනි පුද්ගල වගාවක් සඳහා ඒ සහ­ායෝගය ලබා ගැනීමේ ක්‍රමවේදයක් නැත.

අප ඉන්නේ අප නොදන්න උවදුරක් අසලය. පර්යේෂකයන් අපේක්ෂා කරන ආකාරයට මේ වැසි සමයේ දී සේදී යන පත්‍ර සමඟ රෝගය පාලනය වෙන්නට ඉඩ තිබේ. එහෙත් එසේ නොවීමට ඇති සම්භාවිතාව තුළ ඇතිවිය හැකි තත්ත්වය සම්බන්ධව වගාකරුවන් සිටින්නේ තිගැස්මෙනි. අඩි විසිපහක් තිහක් උස ගසේ පැතිරී යන රෝගයට ගස මුල සිට ලබා දිය හැකි වඩාත් සාධනීය පිළිතුරක් ඔවුහු අපේක්ෂා කරති. ඒ වගකීම ක්ෂේත්‍රයේ පර්යේක්ෂකයන් වෙත පැවරෙනු ඇත.

 

ඡායාරූප- මාලන් කරුණාරත්න

Comments