පහේ සිසු දරුවන්ට රජ කාලේ දඬුවම් දුන් මිල්ලනියේ කැකිල්ලේ තීන්දුවේ මෙතෙක් හෙළි නොවූ රහස් | Page 2 | සිළුමිණ

පහේ සිසු දරුවන්ට රජ කාලේ දඬුවම් දුන් මිල්ලනියේ කැකිල්ලේ තීන්දුවේ මෙතෙක් හෙළි නොවූ රහස්

විදුහල්පතිනියට පක්ෂව ප්‍ර දේශවාසීන් උද්්ඝෝෂණයක නිරත වූ අයුරු

රුවන් මල් වැනි යැයි කියති. එවැනි මල්වැනි දරු දැරියන්ට හිංසා, පීඩා, සැහැසිකම් සිදුකිරීම ඔවුන් ක්‍රෑරත්වයට පත්කිරීම කිසිවකුට කළ නොහැක. එහෙත් මෙරට දිනෙන් දින ඉහළ යන ළමා අපයෝජන, අපචාර සහ ළමයින් ක්‍රෑරත්වයට පත්කිරීමේ සිදුවීම් මල් වැනි දරුවන්ට අත්වන ඉරණම විදහා දක්වයි. 

පාසලේ පන්ති කාමරයේදී ගුරුවරුන් අතින් අපයෝජනයට, අපචාරයට, ලක්වන දූ දරුවන්ගේ සංඛ්‍යාව ද ප්‍රමාණයෙන් ඉහළය. මේ අතර මුළු රටේම ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් පසුගියදා වාර්තා විය. ඒ බණ්ඩාරගම මිල්ලනිය ප්‍රදේශයේ විදුහලක 5 වසර සිසුන් කීපදෙනකු එම විදුහලේ විදුහල්පතිනියගේ සහ මිල්ලනිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ පහරට සහ වධ හිංසාවලට ලක්වීමට සිදු වීමයි.

මුළු රටේම අවධානය මොහොතකට යොමු වූ මේ සිද්ධිය වාර්තාවන්නේ පසුගිය දෙවැනිදාය. ඒ බණ්ඩාරගම මිල්ලනිය පොලිස් වසමට අයත් බැල්ලන්තුඩාව ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයෙනි.

ළමුන් දෙසියදෙනෙක් පමණ අධ්‍යාපනය ලබන මිශ්‍ර පාසලක් වන ගුංගමුව කනිටු විදුහලේ අපොස සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වෙන අතර එහි අධ්‍යාපනය ලබන්නේ බැල්ලන්තුඩාව සහ අවට ප්‍රදේශවල අහිංසක ගැමියන්ගේ දූ දරුවෝය. සුනාමි ව්‍යසනයෙන් අවතැන් වු පිරිසක් මේ ගමේ ජීවත් වෙති. ඒ අයගේ දූ දරුවෝද අධ්‍යාපනය ලබන්නේ ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේය.

මේ සිද්ධියට මුල් වන්නේ මේ පාසලේ සේවයේ නිරත ගුරුවරියකගේ මුදල් පසුම්බිය ඇගේ අත් බෑගයේ තිබියදී පසුගිය දෙවැනිදා එම පාසැලේම 5 වසර ඉගෙනුම ලබන සිසුන් කීප දෙනෙකු විසින් සොරකම් කර ඇතැයි අදාළ ගුරුවරිය කළ චෝදනාවය.

ගුරුවරියගේ මුදල් පසුම්බිය අස්ථාන ගත වීම ගැන සැකය එල්ල වන්නේ 5 වසර සිසුන් කීප දෙනෙකු වෙතය. සෑහෙන වේලාවක් ගත වූවත් මුදල් පසුම්බිය හමු නොවූ නිසා උරණ වූ ගුරුවරිය ඒ ගැන විදුහල්පතිනියට පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය.

විදුහල්පතිනිය වහාම මේ ගැන සොයා බලන්නේ අදාළ ගුරුවරියගෙන් ද තොරතුරු ලබා ගැනීමෙන් පසුවය. ගුරුතුමියගේ මුදල් පසුම්බිය සොරකම් කළැයි සැක කරන 5 වසරේ සිසුන් නව දෙනෙකු විදුහලේ පුස්තකාල කාමරයට ගෙන්වන්නේ ඉන් අනතුරුවය. මුදල් පසුම්බිය සොරකම් කළ සිසුවා ගැන හෝඩුවාවක් ලබා ගැනීමට නොහැකි වීම නිසා සිසුන් නව දෙනාටම පහරකෑමට ලක්වීමට සිදුවන්නේ ඉන් පසුවය.

ඒ අතරින් සිසුන් කීපදෙනෙක් ගැන සැකය එල්ලවී තිබිණි. විදුහල්පතිනිය ඉන් අනතුරුව කරන්නේ මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිවරයා අමතා මේ සිද්ධිය පිළිබඳ දැනුම් දීමයි. පොලිස් පරීක්ෂකවරයකු, සැරයන්වරුන් දෙදෙනකු මේ සිද්ධිය ගැන විමර්ශනය සඳහා ගුංගමුව කනිෂ්ඨ විදුහලට ජීප් රථයකින් පැමිණෙන්නේ විදුහල්පතිනිය කළ එම දැනුම්දීමට අනුවය.

ඒ වනවිටත් වරදකරුවන් වී අසරණව සිටි සිසුන් දෙදෙනෙක් ජීප් රථයට ගොඩකැර ගැනීමට පෙර එම ළමුන්ට පහරදීම්වලට මුහුණ දීමට සිදුවී තිබිණි. ජීප් රථයට නංවා ගත් ළමුන් දෙදෙනාට පොලිස් නිලධාරින්ගේ සැර වැර සහ වධ හිංසාවලට මුහුණ දෙන්නට සිදුවන්නේ ඉන් පසුවය.

මේ අතර ළමුන් දෙදෙනාට මුහුණ දෙන්නට සිදු වූ බිහිසුණුම ඉරණම පොලිස් නිලධාරින් විසින් ඔවුනට විදුලියසැර වැද්දවීම යැයි කියති. පොලිස් නිලධාරින්ගේ නියෝග මත මේ ළමයින් දෙදෙනාට බිම දණ ගසාගෙන සිටීමට සිදුවූ බවද කියැවිණි.

ගුරුවරියගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය නිසා මෙසේ වධ හිංසාවලට ලක්වීමට සිදුවූ සිසුන් දෙදෙනා ගැන අදාළ විදුහලේ ගුරු දෙගුරුන් සහ ගම්වාසීන් අතර ලොකු ආන්දෝලනයක් ඇති වන්නේ මේ සිද්ධියෙන් අනතුරුවය. මේ ගැන ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහට පෞද්ගලිකවම තොරතුරක් ලැබෙන්නේ ඔය අතරය. මුලින් ඒ ගැන සොයා බැලු ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා අනාවරණය කරගන්නේ මේ සිද්ධියේ සත්‍යතාවක් ඇති බවයි.

ඒ අනුව මේ සිද්ධිය ගැන විමර්ශනය කිරීම ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයට පැවරෙන්නේ ඉන් අනතුරුවය. විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයට ගොස් සිය විමර්ශන ආරම්භ කරන්නේ ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහගේ උපදෙස් පරිදිය. 

මේ සිද්ධිය මුලසිටම විමර්ශනය කරන නිලධාරීන් පහරදීමට සහ වධ හිංසාවලට ලක් වූ ළමයින්, ළමුන්ට පහර දුන් බව කියන විදුහල්පතිනිය අදාළ සිදුවීම් වූ ස්ථාන, ළමුන් ගෙන ගිය මිල්ලනිය පොලිසියට අයත් ජීප් රථය, එහි ගිය පොලිස් නිලධාරීන් සහ ළමුන්ට විදුලි සැර වැද්දවීමට උපයෝගී කර ගත් බව කියන විදුලි වයරය ගැන තොරතුරු රැසක් සොයා ගෙන තිබිණි. පහරකෑමට සහ වධ හිංසාවලට ලක් වූ සිසුන්ගෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධරයන් ඒ වනවිටත් ප්‍රශ්න කර සටහන් කරගෙන තිබිණි.

අදාළ සිද්ධියට මුල්වූ විදුහල්පතිනිය, නියෝජ්‍ය විදුහල්පතිනිය මිල්ලනිය පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු, සැරයන්වරුන් දෙදෙනට ජාතික ළමාරක්ෂක අධිකාරිය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කැරෙන්නේ පසුගිය 08 වැනිදාය.

ඒ අනුව මිල්ලනිය ගුංගමුව කනිටු විදුහලේ විදුහල්පතිනිය නියෝජ්‍ය විදුහල්පතිනිය අදාළ සිද්ධිය විමර්ශනය සඳහා පැමිණි මිල්ලනිය පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරුන් දෙදෙනා ජාතික ළමාරක්ෂක අධිකාරියට කැඳවෙන්නේ මේ සිද්ධිය ගැන විමර්ශනය සඳහා ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම පිණිසය. ඊට අමතරව පහරදීමට ලක් වී යැයි කියන සිසුන් තිදෙනා විදුහලෙන් පිටතට ගෙන ගිය බව කියන මිල්ලනිය පොලිසියට අයත් ජීප් රථය ද ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින්ගේ භාරයට ගැනිණි.

මෙලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියට කැඳවනු ලැබූ පස්දෙනාගෙන් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් පැය පහක් පමණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කැර ගැනීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනිණි.

පන්ති කාමරයක් තුළදී පාසල් ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළැයි කියන සිද්ධියක් මුල්කර ගෙන එම පාසලේම 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදී ක්‍රෑරත්වයට පත්කිරීම ඇතුළු චෝදනා යටතේ එලෙස සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බණ්ඩාරගම මිල්ලනිය ගුංගමුව කනිටු විදුහලේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු සහ සැරයන්වරයකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තේමින්ද පෙරේරා නියෝග කරන්නේ 08 වැනිදාය.

අදාළ චෝදනා යටතේම සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය සහ පොලිස් රියැදුරු ඇප මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

පසුගිය 02 දා ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ ජාතික ළමාරක්ෂක අධිකාරිය අදාළ සැකකරුවන් ළමාරක්ෂක අධිකාරියට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ගුංගමුව කනිටු විදුහලේ ගුරුවරියකගේ මුදල් පසුම්බිය සොරකම් කිරීමේ සිද්ධියක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් අනුව සැකකාර විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය පහ වසරේ ඉගෙනුම ලබන සිසුන් 9 දෙනකු විටින් විට පුස්තකාලයට ගෙන ගොස් දණගස්වා දෙපාවලට වේවැල්වලින් සහ ලී පතුරුවලින් පහරදී ඇති බවත්, පසුව විදුහල්පතිනිය මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදී පොලිස් නිලධාරින් තිදෙනෙකු පාසලට කැඳවා ඇති බවත් ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නිලධරයෝ අධිකරණයට පෙන්වා දුන්හ. 

සැකකාර පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනා ජීප් රියකින් පාසල් භූමියට පැමිණි පසු සිසුන් දෙදෙනෙකු පන්ති කාමරයෙන් පිටතට ගෙන පොලිස් නිලධාරින්ට භාරදී ඇති බවත් පොලිස් නිලධාරීන් එම සිසුන් දෙදෙනා ජීප් රථයට නංවාගෙන පහර දී ඇති අතර පසුව ජීප් රථයේ තිබුණු ගුවන්විදුලි පණිවුඩ හුවමාරු උපකරණයේ රැහැන් උපයෝගී කරගෙන මේ ළමයින් පිලිස්සීමට ලක්කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද ළමාරක්ෂක අධිකාරියේ නිලධරයෝ අධිකරණයට පෙන්වා දුන්හ.

එලෙස විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍රයේ රැහැන් සිය ඇඟට ඇල්ලූ පසු තමන්ගේ මුළු සිරුරම හිරිවැටීමට සහ පිලිස්සීමට ලක්වූ බවද එම සිසුන් ලබා දුන් ප්‍රකාශවල සටහන්ව ඇති බව ළමාරක්ෂක නිලධරයෝ අධිකරණය හමුවේ සඳහන් කළහ.

පාසල් විවේක කාලයෙන් අනතුරුව පාසලෙන් පිටතට රැගෙන ගිය සිසුන් පාසල නිමවන කාලයේදී නැවත පාසලට ගෙනැවිත් ඇති බවද ළමාරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරියෝ පෙන්වා දුන්හ.

අසල කැලෑවකට විසි කරන ලදැයි කියන මුදල් පසුම්බිය සොයා ගැනීම සඳහා එම සිසුන් දෙදෙනා රැගෙන ගිය අතරතුර එහි තිබූ වියළි පොල්ලකින් ද එම සිසුන් දෙදෙනාට පොලිසිය පහරදී ඇති බව විමර්ශන නිලධරයෝ අධිකරණයේදී පැවැසූහ. පහරකා රෝහල් ගත කරන ලද සිසුවාට පහර දීමෙන් මෙන්ම පිලිස්සුම් තුවාල සිදුවී ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවල දැක්වෙන බවද විමර්ශන නිලධරයෝ සඳහන් කළහ.

පහර කෑමට ලක්වීයැයි කියන සිසුන් නවදෙනකුගෙන්, පුස්තකාලය භාර නිලධාරිනියගෙන් සහ තවත් කීපදෙනකුගෙන් ද ප්‍රකාශ සටහන් කිරීමට සහ අපරාධ ස්ථාන නිරීක්ෂණය කර වැඩි දුර විමර්ශනයක් සිදු කිරීමට ඇති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද විමර්ශන නිලධරයෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

සැකකාර විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය එම සිසුන් පුරා පැය ගණනාවක් දණගස්වා විටින් විට පහරදී ඇති බවත් තමන්ට එල්ල වී ඇති චෝදනාවෙන් නිදහස්වීම සඳහා සැකකාර විදුහල්පතිනිය විවිධාකාරයෙන් බලපෑම් කර ඇති බවත් අධිකරණයට පෙන්වා දුන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධරයෝ අවුරුදු 9, 10 වයස්වල පසුවන දරුවන්ට සිදුකර ඇති ක්‍රෑර වධහිංසා ඉතා බරපතළ බව ද සඳහන් කළහ.

මේ අතර 2 දා ගුංගමුව කනිටු විද්‍යාලයේදී ඇතිවුණු මේ සිද්ධියේදී සැකකාර විදුහල්පතිනිය තමා ඉදිරියේදී දරුවකුට වැරෙන් පහර දුන් බවත් එම පහරෙන් දරුවා කැරකී ගොස් පොලිස් ජීප් රථයේ වැදුණු බවට මේ සිද්ධියේ ප්‍රධාන සැකකාර මිල්ලනිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ ලබාදී ඇති බවද ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධරයෝ අධිකරණයට පෙන්වා දුන්හ.

මුදල් පසුම්බිය සොරකම් කළා නේදැයි විමසමින් අනෝමා ගුරුතුමිය තමා ඇඳගෙන ගොස් විදුහල්පතිනියට බාර දුන් අතර මුදල් පසුම්බිය කොහේදැයි විමසමින් විදුහල්පතිනියත් අනෝමා ගුරුතුමියත් තමාට අතින් පයින් පහර දුන් බවත් පසුව කන්දෙක අල්ලාගෙන බිම දණ ගසාගෙන සිටීමට අණ කළ බවත් පහර කෑමට ලක්වූ සිසුවකු ප්‍රකාශ ලබාදී ඇතැයි ද ළමාරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධරයෝ අධිකරණය හමුවේ සඳහන් කළහ.

පොලිස් ජීප් රථයෙන් පැමිණ සිටි 'පොලිස් මාමා' කෙනකු කෝටුවකින් කකුලට සහ හිසට වරින්වර පහර දුන් බවත් පසුව දණගස්වා යටිපතුල්වලට ද පහර දුන් බව එම සිසුවා ප්‍රකාශ කර ඇති බවද ළමාරක්ෂක අධිකාරියේ නිලධරයෝ සිය වාර්තාවෙන් කරුණු දැක්වූහ.

පසුව විදුහල්පතිනිය තවත් සිසුන් අටදෙනකු එම ස්ථානයට ගෙනැවිත් එම දරුවන් ද පොලිස් භාරයට පත්කළ බවත් පොලිස් නිලධාරින් එම දරුවන්ට ද කෝටුවකින් පහරදී ඇති බව ළමාරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරීන් සිය වාර්තාවෙන් අධිකරණයට දැනුම් දුන්හ.

පසුව තමන් සහ තම යහළුවා ජීප් රථයට ගෙන ගොස් නැතිවූ මුදල් පසුම්බිය සෙවීමට යැයි කියා අසල තේ වත්තකට රැගෙන ගිය බවත් එහිදී ජීප් රථයේ සවිකර තිබුණු රේඩියෝ දුරකතනයේ ඇති විදුලි රැහැන් මඟින් හිරිවැටෙන තෙක් විදුලිය සැර වැද්දූ බවත් එම දරුවන් ප්‍රකාශ කර ඇතැයි ද ළමාරක්ෂක අධිකාරිය අධිකරණයට කරුණු දැක්වූහ.

විදුහල්පතිනිය සහ පොලිසිය තමන්ට පහර දුන් බව කියමින් සිද්ධිය වූ ඉකුත් 02 දා දවල් 1.45ට පමණ තම දරුවා ගෙදරට හඬාගෙන පැමිණි බව වින්දිත දරුවකුගේ මව ප්‍රකාශ ලබා දී ඇති බවද විමර්ශන නිලධරයෝ අධිකරණයට දැනුම් දුන්හ. ඒ අනුව පැමිණිලිකාර මව සිය දරුවා හොරණ මූලික රෝහලට ඇතුළු කර තම අධිකාරියේ දුරකතන අංක 1929 අමතා මේ ගැන පැමිණිලි කළ බවට ද අධිකරණයට කරුණු වාර්තා කළහ.

මේ සිද්ධියට අදාළ පළමු සැකකාර පොලිස් පරීක්ෂක සහ පොලිස් සැරයන් විදුලි සැර වැද්දවීමට ක්‍රියා කිරීම සහ වයස අවුරුදු 10ක තරම් කුඩා දරුවන් මවුපිය විශ්වාසයෙන් විදුහල්පතිනිය භාරයේ තබා සිටියදී තමන් විදුහල්පති කාමරයේ ඉදිරියේ දණ ගසාගෙන සිටින අයුරු දුටු තම සහෝදරයා ඒ බව විදුහල්පතිනියගෙන් විමසා සිටි බවත් එහිදී විදුහල්පතිනිය 'ගිහින් අම්මාව එක්කගෙන එන්න. එහෙම ආවොත් තමයි ඉවර වෙන්නේ' යනුවෙන් පවසා ඇති බවට එම ශිෂ්‍යයා ප්‍රකාශ ලබාදී ඇතැයි ද ජාතික ළමාරක්ෂක අධිකාරිය සිය වාර්තාවෙන් අධිකරණයට පෙන්වා දී තිබිණි.

පසුව අදාළ දරුවාගේ මව පැමිණ මේ සම්බන්ධයෙන් කතා බස්කර සමතයකට පත් වූ පසුව මව සමඟ පිටත්ව ගොස් ඇති බවත් එසේ තිබියදී විදුහල්පතිනිය මිල්ලනිය පොලිසියේ නිලධාරින් ගෙන්වා දරුවන් පොලිසියට බාරදී ඇති බවටත් ළමාරක්ෂක අධිකාරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

'පොලිස් මාමලා' පැමිණි ජීප් රථය පාසලේ පුස්තකාලය ඉදිරිපිට නවතා තිබූ බවත් විදුහල්පති කාමරයේ දණගසාගෙන සිටි තමන් විදුහල්පතිනිය විසින් ඇදගෙන ගොස් පොලිස් මාමලාට භාර දුන් බවත් පහර කෑමට ලක් වූ සිසුවෙක් ප්‍රකාශ ලබා දී ඇත. දෙමාපියනට නොදන්වා දරුවන් පොලිස් භාරයට දුන් සිවුවැනි සැකකාරිය වන විදුහල්පතිනිය සිදුකර ඇත්තේ ඉතාම බරපතළ වරදක් බවට මහේස්ත්‍රාත්වරයා සිය ඇප තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කැර තිබිණි.

ඒ අනුව බැලූ බැල්මටම මේ කාරණාව බරපතළ කරුණක් සහ මහජන කැලඹීමක් ඇති විය හැකි නිසා සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් පොලිස් රියැදුරු වන සැරයන් කටයුතු කර ඇත්තේ රියැදුරු වශයෙන් පමණක් වන බැවින් දරුවන් විදුහල්පතිනියට යොමු කරමින් පහළ මට්ටමින් තීන්දු ගත් නියෝජ්‍ය විදුහල්පතිනියට ද අධිකරණය මගින් ඇප නියම කෙරිණි.

මේ සිද්ධියේ පළමු සැකකරු වන මිල්ලනිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති නො 329 තල්ගහවිල මිල්ලනිය හොරණ ලිපිනයේ පදිංචි රාජපක්ෂ පතිරගමගේ සමරසිරි රාජපක්ෂ, දෙවැනි සැකකරු වන මිල්ලනිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් 45426 නො 262/ඒ දොඹගොඩ හොරණ පදිංචි තන්ති ආරච්චිගේ දොන් ජයන්ත, සිව්වන සැකකාරිය වන හොරණ ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය නො. 488/2 ඔලබොඩුව ගෝනපොල පදිංචි ගම්මන්පිල ඉමියාගේ දොන් විනීතාරාජි ගම්මන්පිල යන අයයි.

මේ සිද්ධියේ තෙවැනි සැකකරු වන මිල්ලනිය පොලිසියේ සැරයන් රියැදුරු 1422 රණසිංහ තිලාන් ප්‍රසාද් රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් සහ පස්වන සැකකාරිය වන එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනි ටිකිරි බණ්ඩාර මුදියන්සේලාගේ නෙරංජලා නිශාදි රත්නායක රුපියල් හත්ලක්ෂ පනස්දහසක ශරීර ඇප මත මුදා හැරිණි.

විදුහල්පතිනිය විදුහලේ උන්නතිය වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගැනීම නිසා ඉන් නොසන්සුන්තාවට පත් එක්තරා කණ්ඩායමක් ජනමාධ්‍යය ද සම්බන්ධ කරගෙන කුමන්ත්‍රණයක් දියත්කර ඇති බවත් මාධ්‍ය හෝ ජාතික ළමාරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරීන් පෙන්වා දෙන පරිදි බරපතළ අපරාධයක් සිදුවී නැති බවත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික සංජීව බමුණු හේන්දර, නීතිඥ අචිනි උමයංගනී සහ නිරෝෂන් සිරිවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණයට පෙන්වා දුන්හ.

පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සැකකාර පොලිස් නිලධාරින්ගේ විනය කටයුතු සොයා බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ, උපපරීක්ෂක තුසිත කුමාර යන නිලධාරින් ද අධිකරණයට පැමිණ සිටියහ.

මේ සිද්ධියේදී මිල්ලනිය පොලිසියට සහ විදුහල්පතිතුමියට පක්ෂව ප්‍රදේශවාසීන් සහ මවුපියන් විශාල පිරිසක් පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරමින් සිදු කළ උද්ඝෝෂණ 8 වැනිදා සහ 9 වැනිදා ගුංගමුව කණිටු විදුහල අසලදී පැවැත්විණි.

මේ අතර පහරකෑමට ලක්වූ එක් සිසුවකුගේ මවක් මහමඟ ගමන් කරද්දී ප්‍රදේශවාසීන් පිරිසක් ඇයට තර්ජනය කිරීම නිසා ඇය ඒ පිළිබඳව බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කළාය.

ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ සඳහන් කරන අන්දමට මේ සිද්ධිය ගැන ළමාරක්ෂක අධිකාරයේ විශේෂ විමර්ශන ඒකකය දීර්ඝ විමර්ශනයක් ආරම්භ කරන්නේ මීට දින කීපයකට පෙර සිටය.

පහරකෑමට ලක්වූ දරුවන් පාසලෙන් එළියට ගෙන ගිය ජීප් රිය සහ දරුවන්ට විදුලි සැර වැද්දවීමට යොදා ගත් බව කියන වයරය ද විමර්ශනවලදී සොයා ගැනීමට හැකිවූ බව ඔහු සඳහන් කෙළේය.

මේ සිද්ධියෙන් පසු පහර කෑමට ලක්වූ දරුවන්ට සහ ඔවුන්ගේ මවුපියන්ට විවිධාකාර බලපෑම් එල්ල වීමට පටන් ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් කළ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා එසේ බලපෑම් කළ බවට තොරතුරු සනාථ වුවහොත් අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඔවුනට චෝදනා ගොනු කර අධිකරණයට කරුණු වාර්තා කරන බව ද අවධාරණය කෙළේය.


කරන්ට් වයර්වලින් පුලුස්සනු ලැබූ එක් සිසුවකුගේ මව වන මල්ලිකා කළුතටගේ පවසන කතාව

"මගේ දරුවො දෙන්නම කියනවා දැන් ඉස්කෝලේ යන්න බෑ කියල. ගමේ අය කවුරුවත් කතා කරන්නෙ නෑ අපි එක්ක. අපි හරිම අපහසු තත්ත්වයකට පත්වෙලයි ඉන්නෙ. අපි ඉන්නෙ කුළියට. අවුරුදු පහක් විතර වෙනවා මෙහාට ඇවිත්. ගමේ සමහර අය මේ ගෙදර අයට කියනවලු අපිව මෙහෙන් යවන්න කියල. තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපි කොහේ කියල යන්නද? ළමයි දැන් මානසිකව වැටිලා. අපිත් එහෙමයි. එක එක බලපෑම් එනවා. ලොකු පීනඩයකිනුයි ඉන්න වෙලා තියෙන්නෙ. ඒ මදිවට අපේ ළමයා රටටම හොරෙක් වෙලා ඉවරයි.

මම ගෙවල් ළඟ කාඩ්බෝඩ් වැඩපලකයි වැඩ කරන්නෙ. මහත්තය කරන්නෙ පේන්ට් වැඩ. දුවල දෙන්නයි පුතයි අපිට ඉන්නෙ. මගෙ අයියගෙ දුවගේ පුතාවත් හදා ගන්නෙ මමයි. ඒ පුතාටත් අවුරුදු දහයයි. දෙන්නම එක පන්තියෙ. පුතාල දෙන්නයි දෙවෙනි දුවයි ඉගෙන ගන්නෙ ගුංගමුව කණිෂ්ඨ විද්‍යාලයෙයි.

මේ සිද්ධිය වුණේ 02 දායි. පන්තියෙ ටීචර්ගෙ පර්ස් එක නැතිවෙලා තියෙනවා සාහිත්‍ය උත්සවේ දවසෙ. ඒ උත්සවේ තිබුණෙ සතියකට විතර ඉස්සර. ළමයි කියල තියෙන්නෙ මගේ ළමයා ගන්නව දැක්කා කියලා. එදා ළමයෙක් ගෙදරට ඇවිත් කිව්වා ප්‍රශ්නයක් තියෙනවා, මැඩම් එන්න කිව්වා කියල. මං දෙවෙනි දුවව යැව්වා. එයා ගිහින් ඇවිත් කිව්වා මල්ලිවයි පොඩීවයි මැඩම් දණ ගස්සල ඉන්නවා ඔෆිස් කාමරේ කියලා. ප්‍රශ්නෙ විසඳන්න අම්මට එන්න කියන්න කිව්වා කියලා. මම යනකොටත් ළමයි දණ ගහගෙන හිටියා. පුතා කිව්වා පර්ස් එක මම ගත්තෙ නෑ ළමයි මා එක්ක තරහයි. ඒකයි මාව අල්ලල තියෙන්නෙ කියලා. මං පන්තියේ ටීචර්ගෙන් අහුවා කීයක්ද නැති වුණේ මං දෙන්නම් ඒක කියල. කඩේටත් ගියා, එළවළුත් ගත්තා, පන්සීයක් ද දෙසීයක් ද කොහෙද මට මතක නෑ කිව්වා. මං ගෙදර ආවට පස්සෙ පොඩි දුව අඬාගෙන ගෙදර ඇවිත් කිව්වා පොලිස් ජීප් එක ඇවිත් මල්ලිවයි, පොඩීවයි දාගෙන ගියා කියල. මං දුවගෙන ඉස්කෝලෙට ගියා.

ළමය අඬ අඬ අඹ ගහ යට හිටියා. අනේ අම්මේ කෑගහන්න එපා. මං කළේ නං නෑ. ඒ වුණාට මං පිළිගත්තා. මං උදේ ඉඳල මැඩම්ගෙනුයි පොඩි මැඩම්ගෙනුයි හොඳටම ගුටි කෑවා. පොලිසියේ මාමලා තුන්දෙනෙක් ජීප් එකට දාගෙන ගිහිල්ලත් ගැහුවා. ගුටි කාල ඇති වෙලා මං වරද පිළිගත්තා කිව්වා.

මාවයි පොඩීවයි ජීප් එකේ දාගෙන බැල්ලන්තුඩාව පැත්තෙ එක්කගෙන ගිහිල්ල ගත්තද කියල අහල කුණුහරුප කිය කිය අතිනුයි කෝටුවකිනුයි ගැහුවා. ගත්තෙ නෑ කියන කොට හරි යන්නෙ නෑ වැඩේ කිව්වා. අපි හිටියේ ජීප් එකේ පිටිපස්සෙ. ඉස්සරහ හිටිය පොලිස් ඩ්‍රැයිවර් මාමා අතේ චිප් එකක් වගේ එකක් තිබුණා. ඒකට ටේප් කෑල්ලක් ඔතලා වයර් දෙකක් අමුණල තිබුණා. ඒ වයර් දෙක දිගඇරල පිටිපස්සෙ හිටිය පොලිස් මාමාට දුන්නා. එයා මගෙයි පොඩීගෙයි කකුල්වලට ඒ වයර් දෙක තියල කරන්ට් එක ඇල්ලුවා. බැල්ලන්තුඩාව පැත්තෙ වටයක් ගිහින් ඉස්කෝලෙට ඇවිත් ලොකු බැටන් පොල්ලකින් කකුල් දෙකට ගහල ආපසු එනවා කියල ගියා කියල පුතා මට කිව්වා.

දරුවා ගෙදර එක්ක ගෙන ආවට පස්සෙ ඔළුව කැක්කුමයි, බඩ රිදෙනවා, වමනෙ යන්න එනවා, බෙල්ල පාත් කරන්න බෑ කියල එක එක අමාරු කිව්වා. ඒ ගමන තමයි අපිට බලාගෙන ඉන්න බැරි නිසා එදාම හවස පහට විතර හොරණ ඉස්පිරිතාලෙට අරන් ගියේ. පොඩීගෙ අම්මට ඉස්පිරිතාලෙ යන්නවත් සල්ලි නෑ. ඒ නිසා එයා ගියේ නෑ. වෙන වැරදි කිහිපයකට මං හදා ගන්න පුතා එක්ක තව පන්තියෙ ළමයි 12 දෙනෙකුටත් ගහල තිබුණ එදා. ඒ දඬුවම වෙනයි. ඒකට මේ පුතාල දෙන්න නෑ. අනේ ඉතින් මේ පහ වසරෙ ශිෂ්‍යත්වෙ කරන්න ඉන්න දරුවොනෙ. තවත් දරුවකුට මේවගෙ නොවෙන්නයි අපිට ඕනෑ, මැඩම් ඉස්කෝලෙට ලොකු සේවයක් කළ බව ඇත්ත. මේ ප්‍රශ්නෙ නිසා අපිට කිසිම සැනසීමක් ඇත්තෙ නෑ. මං ඉල්ලන්නෙ අපි දිහා අමුතු විදිහට බලන්න එපා. වැරැද්දක් තියෙනව නං පොඩි දරුවන්ට මේ විදියෙ දරුණු විදිහට දඬුවම් කරන්න එපා කියලයි.

Comments