
බටහිර, ආයුර්වේද හා සිංහල වෛද්‍ය ක්‍රම පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් කෙනකුට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. මෙවර අපේ කතානායකයා එවන් දුර්ලභ ගණයේ සුවිශේෂී කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකි. හේ නමින් සේනක පිලපිටිය ය. තමා සතු මහාර්ඝ දැනුමින් හෙතෙම සියලු කායික රෝගවලට වෙදකම් කරයි. එබැවින් කෙනෙකුට බටහිර වෙදකම මෙන්ම හෙළ වෙදකමේ ආනුභාවය ද එකවර ලැබිය හැකි ස්ථානයක් බවට කැස්බෑව පිලපිටිය ආයුර්වේද රෝහල පත්ව ඇත.
කැස්බෑව වැවට ආසන්නව මනරම් භූමි භාගයක පිහිටි පිලපිටිය ආයුර්වේද රෝහල නොයෙක් ඖෂධීය ශාකයන්ගෙන් පිරී ඇති අතර, ඒ රමණීය පරිසරය මිනිසුන්ට පමණක් නොව සියොතුන්ට ද සුවය සලසන වන සෙනසුනකි. හිමිදිරි උදයේ අප එහි යන විට විවිධ සියොතුන්ගේ මියුරු සංධ්වනිය පරිසරයට මුසුව තිබුණි. ඒ ස්වාභාවික පරිසරයෙන් මනසට ඔසු ලැබෙද්දී කයට ඔසු ලබා දෙන්නට කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය සහ ඔහුගේ මව ආයුර්වේද වෛද්‍ය මල්ලිකා චන්ද්‍රලතා සේනාසේකර කැපවී සිටී.
පිලපිටිය ආරෝග්‍ය මධ්‍යස්ථයානය තුළ සියලු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර සිදු කරන අතර බගන්දරා රෝගය ඇතුළු ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන සියලු රෝගවලට ද ප්‍රතිකාර කෙරේ. යම් පුද්ගලයකු අංසබාග රෝගයට ගොදුරු වී පැය 4-5 කාලය තුළ බටහිර ප්‍රතිකාර සඳහා යොමු වීම වඩාත් ප්‍රතිඵලදායක බව වෛද්‍ය සේනක පිලපිටිය පෙන්වා දෙයි. මන්ද යත් ලේ කැටියක් නිසා එය සිදු වී ඇත් නම් වහාම එම ලේ කැටිය දිය කර හැරීමට කඩිනම් ඖෂධ ලබා දීමට බටහිර වෛද්‍ය ක්‍රමය තුළ හැකියාවක් ඇති බැවිනි. එසේම ස්නායු තෙරපීම නිසා ඇති වන ගෙල ප්‍රදේශයේ, බාහුවල වේදනාව, කොන්ද කැක්කුම, කොන්දේ සිට කකුල දක්වා දිවෙන වේදනාව, මුහුණ ආශ්‍රිතව ස්නායු තද වීම නිසා ඇති වන වේදනාව සහ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්වල මුල් අවස්ථාවේදී ඇති වන ස්නායු රෝග සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර මෙහිදී ලබා ගත හැකිය. මිග්රේන් හෙවත් ඉරුවාරදය, අකාලයේ හිසකෙස් වැටීම සහ දද, කුෂ්ඨ වැනි චර්ම රෝග සහ හන්දි අමාරු හෙවත් සන්ධිවල විශේෂයෙන් දණහිස, වළලුකර සහ විළුඹේ ඇතිවන ඔස්ටියෝ ආතරයිටිස් වේදනාව සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර මෙහිදී ලබා ගත හැකිය.
ආයුර්වේද වෛද්‍ය උපාලි පිලපිටිය සහ පාරම්පරික වෛද්‍ය මල්ලිකා චන්ද්‍රලතා සේනාසේකරට දාව 1974 මැයි 17 වැනිදා කැස්බෑවේදී මෙලොව එළිය දුටු සේනක පිලපිටිය පවුලේ දෙවැනි දරුවාය. ඔහුට වැඩිමහල් සහෝදරියක විය. වෛද්‍ය උපාලි පිලපිටිය පශ්චාත් උපාධිය සඳහා ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ජාම් නගර් හි පිහිටි ආයුර්වේද විශ්වවිද්‍යාලයට පැමිණීම නිසා කුඩා සේනකට පාසල් අධ්‍යාපනය ආරම්භ කරන්නට සිදු වන්නේ එහිදීය. ජාම් නගර් හි පිහිටි විල්සන් කොලීජියට ඇතුළත් වන ඔහු පියාගේ පශ්චාත් උපාධිය හමාර වී 1982දී නැවත ලංකාවට පැමිණ දෙවැනි වසරේ සිට උසස් පෙළ දක්වා කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේය. ඔහු උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත්ව 1995 වසරේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. අනතුරුව එම්.බී.බී.එස් උපාධිය සමත්ව වෛද්‍යවරයකු ලෙස බලන්ගොඩ මහ රෝහලේ සේවයට බැඳුණේය. කුඩා කල සිටම වෙදකම කෙරෙහි ඇලුම් කළ ඔහු තම ඒකායන අරමුණ කරගත්තේ ද වෛද්‍ය වෘත්තියයි. හේ ඒ පිළිබඳව පැවසුවේ මෙවැන්නකි.
“කුඩා කාලයේ සිටිම මාත් අක්කාත් දුටුවේ මව සහ පියා රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරය හා බෙහෙත් සකස් කරන ආකාරයයි. ගෙදර එහා පැත්තෙම තමයි විවිධ ඖෂධ වර්ග සකස් කළේ. මේ බෙහෙත් ගෙයි ඖෂධ සකස් කරන ආකාරය බලාගෙන සිටිය අපි සෙල්ලමට කළෙත් කොළ කොටන, තෙල් හිඳින වැඩවලට උදවු කරන එකයි. ඔවුන් බෙහෙතක් හදන විට අපිත් සෙල්ලම් බෙහෙතක් ඒ එක්කම හදනවා. එහෙම ඉන්න කොට ප්‍රතිකාර සඳහා යොදා ගන්න ශාක වර්ග, ඖෂධ වර්ග හඳුනා ගැනීම, තෙල් හිඳින විට පදම බලන විදිය, ඖෂධ පදම් කරන විදිය ඉබේම හුරු වුණා. ඒ වගේම තාත්තා එක්ක රටේ විවිධ පළාත්වල ඇවිදිමින් නොයෙක් ඖෂධීය ශාක වර්ග සෙවීමට දායක වෙන්න මට හැකි වුණා. ඒ යද්දි ඖෂධ සොයා ගැනීමේ වැදගත්කම, ඒවායේ තිබෙන ගුණ ඔහු මට කියා දෙනවා. වයසින් වැඩෙද්දී ඒ කෙරෙහි තිබුණු ආසාව නිසා දිගටම ඒ පිළිබඳව අධ්‍යයනයේ යෙදුණා. විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රම සහ දේශීය වෛද්‍ය ක්‍රමය යන වෛද්‍ය ක්‍රම දෙකේදී වියළි සහ අමු ඖෂධ හඳුනා ගන්නා ආකාරය, ඒවා ශුද්ධ කරගන්නා ආකාරය, ඖෂධ සකස් කරන ආකාරය හා පාවිච්චි කරන ආකාරය ඒවායේ වෙනස්කම් හා සමානකම් ප්‍රායෝගිකව මම පියාගෙන් ඉගෙන ගත්තා. එහි ශාස්ත්‍රීය පැත්ත උසස් අධ්‍යාපනය සඳහා යොමු වී ඉගෙන ගත්තා.”
බලන්ගොඩ මහරෝහලේ වසර එකහාමාරක පමණ කාලයක් සේවය කළ හෙතෙම පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලට පැමිණීයේය. පශ්චාත් උපාධිය සම්පූර්ණ වූ පසුව හෙතෙම කින්නියා මූලික රෝහලේ වැඩබලන කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කළේය. බටහිර වෙදකමට අමතරව 2006 වසරේදී ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් පවත් වන ආයුර්වේද ශාස්ත්‍ර විභාගයට මුහුණ දී ඉන් සමත්ව ආයුර්වේද වෛද්‍යවරයකු ලෙසත්, පියා යටතේ පුහුණු වී පාරම්පරික සර්වාංග ආයුර්වේද වෛද්‍යවරයකු ලෙසත් ලියාපදිංචිය හිමිකර ගත්තේය. හෙතෙම 2017 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ගම්පහ ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් වීමට සුදුසුකම් ලබන්නේ මේ පසුබිම තුළය. අනතුරුව 2020 වසරේදී රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කරන හෙතෙම එම කාලය තුළදීම එනම් 2021 වසරේදී නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා ලෙස වසරකට ආසන්න කාලයක් සේවය කළේය. ඔහු මේ වනවිට රජරට වෛද්‍ය පීඨයෙහි කායික රෝග පිළිබඳ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසත් කායික රෝග පිළිබඳ මහාචාර්ය එකකයේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙසත් කටයුතු කරයි. වෙද පරම්පරා දෙකකට උරුමකම් කියන කායික රෝග විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය ඒ පිළිබඳ මෙසේ පවසයි.
“මගේ මවුපියන් ආයුර්වේද වෛද්‍යවරු වගේම වෙද පරම්පරා දෙකකින් පැවත එන්නන්. මගේ සීයා ඩබ්ලිව්.එච්.එම් පිලපිටිය, නුවර ගම්පල දේශීය වෛද්‍යවරයකු වශයෙන් කටයුතු කළා. මගේ පියා ආයුර්වේද වෛද්‍ය උපාලි පිලපිටිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ උප විදුහල්පතිවරයා ලෙසත් පසුව බණ්ඩාරනායක අනුස්මරණ වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා ලෙස වසර විස්සකට ආසන්න කාලයක් සේවය කළා. දේශීය වෛද්‍යවරයකු ලෙස දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ එකම පුද්ගලයා මගේ පියායි. මීට අමතරව ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරයකු සහ ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකවරයකු වශයෙන් කටයුතු කර තිබෙනවා. ඔහු කළ අමිල සේවය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම ඔහු ඉන්දියාවේදීත් සම්මානයට පාත්‍ර වුණා. පළමු වතාවට ලංකාවේ බගන්දරා රෝගයට සාර සූත්‍ර කියන ප්‍රතිකාරය හඳුන්වා දුන්නේ එතුමා. එහි සායනය පැවතියේ නාවින්න පර්යේෂණායතනයට අනුබද්ධිත රෝහල තුළයි. එහිදී විශාල රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර කළා. ඔවුන් සියලු දෙනාම සුවපත් වුණා. ඔහු පරිපාලන කටයුතුවල නිරතව සිටියද මූලිකවම අවධානය යොමු කළේ රෝගීන් වෙනුවෙන්. පියා මිය යන තුරුම රෝගීන්ට ප්‍රතිකාර කළා. මගේ මව මල්ලිකා චන්ද්‍රලතා සේනාසේකරගේ පියා ඩී.එස් සේනාසේකර. ඔහු මොරටුව හා කැස්බෑව ප්‍රදේශවල ඉතාම ප්‍රසිද්ධියට පත්ව සිටි පාරම්පරික වෛද්‍යවරයකු මෙන්ම වික්‍රමාරච්චි වෙදරාලගේ පළමුවැනි ගෝල පරම්පරාව නියෝජනය කළ අයෙක්. ඔහුගේ පියා කවුඩානේ වෙද මහතා නමින් ප්‍රකටව සිටියා. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ හිටපු ආණ්ඩුකාරවරයකුගේ බිරිය සුව කළ නොහැකි කුෂ්ඨ රෝගයකින් පීඩා විඳිමින් සිටියදී ඔහු එය සුව කිරීමට සමත් වූ නිසා ඔහුට ලැබුණු නම්බු නාමය වන්නේ සේනාසේකර යන්නයි. එතුමාගේ මවත් වෙද පරම්පරාවකින් පැවත ආ තැනැත්තියක්. ඒ අනුව වෙද පරම්පරා දෙකක තුන්වැනි හා පස්වැනි පරම්පරාවේ නියෝජිතයා වන්නේ මා සහ මගේ අක්කා ශිරෝමී පිලපිටියයි. ඇය මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශයේ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරියක වශයෙන් කටයුතු කරනවා.”
වෛද්‍ය සේනක පිලපිටියගේ බිරිය වන දිලුක්ෂි පිලපිටිය වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකි. ඔවුන් දෙපළට දරුවෝ දෙදෙනකි. පුතා තේජාන් ආර්යන් පිලපිටිය කොළඹ නාලන්දා විද්‍යාලයේ 8 වැනි වසරේ ඉගෙනුම ලබන අතර, දියණිය දෙව්සි ස්වර්ණමාලී පිලපිටිය කොළඹ මියුසියස් විද්‍යාලයේ 5 වැනි වසරේ ඉගෙනුම ලබයි.
“කායික මානසික වශයෙන් ලෝකය පුරා වෙසෙන ජනතාව විවිධ රෝග විශාල සංඛ්‍යාවකින් පෙළෙනවා. මේ සියලුම රෝගවලට කිසිම වෛද්‍ය ක්‍රමයක් තුළ හැම විටම සියයට සියයක් ප්‍රතිකාර නැහැ. වෛකල්පිත වෛද්‍ය ක්‍රම ලෙස අප හඳුනා ගන්නා දේශීය වෛද්‍ය ක්‍රමය, ආයුර්වේද, සිද්ධ සහ යුනානි සහ චීන කටු චිකිත්සාව ආදී වෛද්‍ය ක්‍රම වෛකල්පිත වෛද්‍ය ක්‍රම නෙවෙයි. ඒවා බටහිර වෛද්‍ය ක්‍රමය මෙන්ම මානව සමාජයන් විසින් ගොඩනඟා ගත් වෛද්‍ය ක්‍රම ලෙස සැලකිය යුතුයි. බටහිර වෛද්‍ය ක්‍රමයේ ඇති විශේෂත්වය වන්නේ එය නිරන්තරයෙන් විද්‍යාත්මක පර්යේෂණවලට යොමු වෙමින් ඉදිරියට ගමන් කිරීමයි. එසේ වුවත් අනෙකුත් වෛද්‍ය ක්‍රමවලත් නිරන්තර අධ්‍යයනයන් හා පර්යේෂණ මඟින් විවිධ රෝගී තත්ත්වයන් සඳහා ඖෂධ සොයා ගැනෙනවා. ඒ නිසා ඇතැම් රෝගවලට මේ වෛද්‍ය ක්‍රම තුළ ඉතාම සාර්ථක ප්‍රතිකාර තිබෙනවා.
ඇතැම් රෝගී අවස්ථාවල ඉතා හොඳ ප්‍රතිකාර දේශීය වෛද්‍ය ක්‍රමය තුළ තිබෙන්න පුළුවන්. නමුත් ඒ රෝග නීර්ණය කරන්න, රෝගය නිශ්චිතව සැකහැර දැනගන්න නවීන තාක්ෂණයෙන් අනූන බටහිර වෛද්‍ය ක්‍රමය තුළ තිබෙන පරීක්ෂණ ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඒ අනුව සමහර අවස්ථාවල ඒ දෙක මුහුම් කරමින් කටයුතු කරන්න වෙනවා. මේ වෛද්‍ය ක්‍රම ගැන දෙපිරිසටම අවබෝධයක් ඇතිව කටයුතු කරන්න අවස්ථාව ලැබුණොත් බොහොම පැහැදිලිව රෝගියාට යහපත් ආකාරයට ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් අවස්ථා තිබෙනවා. චීනය වගේ රටවල් එය ඉතා හොඳට ප්‍රගුණ කර ඉතා සාර්ථක අන්දමින් ප්‍රතිකාර ලබා දෙනවා. අපෙත් සමහර තැන්වල ඒ දේ වෙන වෙලාවල් තියෙනවා. උදාහරණයක් විදියට බගන්දරා රෝගය සඳහා කරන සාර සූත්‍ර ප්‍රතිකාර පෙන්වා දෙන්න පුළුවන්. ඒ සඳහා ආයුර්වේද ප්‍රතිකාර කිරීමේදී බෙහෙත් ගැල්වූ නූලක් තුවාලය ඇතුළෙන් යවන්න ඕන. එහිදී පැන නඟින ප්‍රධාන ප්‍රශ්නයක් වේදනාව පාලනය කිරීමට නොහැකි වීම. නමුත් ඒ වෙලාවට එම ප්‍රදේශය හිරිවට්ටන්න පුළුවන් නම් රෝගියාට වේදනාවක් නැතුව සාර්ථකව ඒ ප්‍රතිකර ලබා දෙන්න පුළුවන්.
කිහිප සැරයක් ශල්‍යකර්මවලට භාජනය වී බගන්දරා රෝගය සුව කර ගැනීමට නොහැකි වූ රෝගියකු රජරට වෛද්‍ය විද්‍යාලයේ ශල්‍ය අංශයේ සිටින ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය සුජීව තල්ගස්පිටිය සමඟ එක්ව ඉතා සාර්ථකව සුවපත් කළා.
එලෙස කොවිඩ් සමයේදීද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවින්න ආයුර්වේද පර්යේෂණායතනය තුළ දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම මුහුම් කරමින් පවත්වා ගෙන යමින් ඉතා සාර්ථක ප්‍රතිඵල අත් කරගත්තා. වෛද්‍ය ක්‍රම කිහිපයක් එක් කර එවැනි ආකෘතියක් නිර්මාණය වූයේ ලංකාවේ ප්‍රථම වතාවටයි. එය ඉතාම සාර්ථක ප්‍රතිඵල අත්කර දුන්නා. එනිසා විද්‍යාත්මකව ඒ ගැන අවබෝධයක් ඇතිව දෙපැත්තේම තියෙන දේවලට ගරුකරමින් නොදන්න දේ පිළිබඳ අවබෝධය ලබා ගනිමින් යන මෙවැනි ආකෘතියක් තමයි අද රටකට අවශ්‍ය වෙන්නේ. එසේ නැතිව එකක් පමණක් ඉස්මතු කර අනෙක ප්‍රතික්ෂේප කර යන ගමනක් සාර්ථක නැහැ.”