ශ්‍රී ලාංකිකයන් 303ක් සමඟ වියට්නාම් මුහුදේ ගිලුණු නැව | සිළුමිණ

ශ්‍රී ලාංකිකයන් 303ක් සමඟ වියට්නාම් මුහුදේ ගිලුණු නැව

අනතුරට පත් වූ Lady R3 නෞකාව සහ විපතට පත් නෞකාවේ මගීන් හෙලියෝස් ලීඩර් නෞකාවට ඇතුළු කර ගත් අන්දම

දිනය පසුගිය හත්වැනි සඳුදාය. වේලාව සවස තුනට පමණය. නාවික හමුදාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් ඒකකයේ සංඥා උපකරණ නද දෙන්නට විය. ඇමතුම පැමිණියේ නෞකාවකිනි. අමතන්නා පැවසූ අන්දමට ඔහුගේ යාත්‍රාව ගිලෙමින් තිබේ. එය Lady R3 නම් වන අඩි සියයකට වඩා දිගැති මධ්‍යම ප්‍රමාණයේ නෞකාවකි. එය මේ වන විට තිබෙන්නේ වියට්නාම් මුහුදු සීමාවේය. තම නෞකාවේ එන්ජින් කාමරයට වතුර පිරෙමින් පවතින බවත්, එය ගිලෙන්නට පටන් ගෙන ඇති බැවින් තමා සහ නෞකාවේ සෙසු මගීන් බේරා ගැනීමට කටයුතු කරන ලෙසත් ඇමතුම ලබා දුන් පුද්ගලයා කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් ඉල්ලා සිටියේය.

මෙවැනි පණිවිඩ නාවික හමුදාවක ගලවා ගැනීමේ ඒකකයකට අමුතු අත්දැකීම් හෝ දුර්ලභ අත්දැකීම් ගෙන නොදෙන නමුත් මේ පණිවිඩය ඇසූ නාවිකයන් පුදුමයට පත් වූයේ ඒ සමඟම අනතුරට පත් නෞකාවෙන් ලැබුණු තොරතුරු අනුව ගිලෙමින් පවතින නෞකාවේ සිටි සියලුම යාත්‍රිකයන් ශ්‍රී ලාංකිකයන් වූ බැවිනි.

ප්‍රථමයෙන්ම කළ යුතු දේ ප්‍රථමයෙන්ම කළ යුතු බැවින් සෙසු සියල්ල පසෙක දමා මුහුදේ ගිලෙමින් සිටින මිනිසුන් බේරා ගැනීමට කටයුතු කළ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ වන විට Lady R3 නෞකාව පවතින මුහුදු සීමාව අවට යාත්‍රා කරමින් පැවති නෞකා කිහිපයකටම අදාළ පණිවිඩය ලබා දීමට කටයුතු යෙදීය. ඒ අනුව ජපානයට අයත් හෙලියෝස් ලීඩර් නම් වූ මෝටර් රථ ප්‍රවාහන නෞකාව වහ වහා ගිලෙමින් පවතින නෞකාව අසලට යාත්‍රා කිරීමට කටයුතු කළේය. ඒ වන විට තවත් නෞකා පහක් පමණ අදාළ පණිවිඩයට ප්‍රතිචාර දක්වා තිබුණද හෙලියෝස් නෞකාව සියලු යාත්‍රිකයන් ගලවා ගැනීමට සමත් විය.

නාවික තොරතුරු මධ්‍යස්ථාන වෙබ් අඩවිය දක්වන අන්දමට නෞකාව අනතුරට පත්වන අවස්ථාවේදී ඊසාන දිග සුළං 5- 6 අතර මට්ටමක ප්‍රබලත්වයෙන් යුතුව හමා යමින් තිබී ඇත.

හෙලියෝස් නෞකාවට ගන්නා අවස්ථාව වන විටත් ඇතැම් Lady R3 යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් වැඩි දෙනා බොහෝ බියට සහ කලබලයට පත්ව සිටි අතර ඔවුන්ට ප්‍රථමාධාර ලබා දීමට ජපාන නෞකාවේ නාවිකයෝ කටයුතු කළහ. ගිලෙමින් පවතින නෞකාවෙන් ජපන් නෞකාවට මුදා ගත් පිරිස සංඛ්‍යාවෙන් 303ක් විය. ඒ අතර පිරිමින් 264ක්, කාන්තාවන් 19ක් සහ ළමයින් 20ක් විය. කෙසේ වුවද නාවික හමුදාව දන්වා ඇති අන්දමට යාත්‍රිකයන් ගලවා ගන්නා අවස්ථාව වන විට Lady R3 නෞකාවේ කපිතාන්වරයා සහ සේවක මණ්ඩලය නෞකාව අත්හැර ගොස් තිබී ඇත.

නෞකාව ගිලෙමින් පැවතියේ වියට්නාමයේ වුන්ග් තාඕ වරායේ සිට නාවික සැතපුම් 258ක් දුරින් වූ අතර මේ සියලුම දෙනා ආසන්නයේම ඇති වියට්නාමයට බාර දීමට කටයුතු කළ හෙලියෝස් ලීඩර් යළිත් තම ගමනාන්තය වෙත පිටත් විය.

වියට්නාමයේ වුන්ග් තාඕ වරායට ගෙන එන ලද මේ පිරිසට ඒ ආසන්නයේ නවාතැන් ගැනීමට සැලැස්වූ වියට්නාම් බලධාරීහු අනතුරට පත් යාත්‍රාවේ යාත්‍රිකයන්ගේ තොරතුරු ලබා ගැනීමට කටයුතු කළහ. එහිදී හෙළිදරව් වූයේ නෞකාවේ සිටි 303දෙනාම ශ්‍රී ලාංකිකයන් බවයි.

මේ පිරිස මේ දක්වා වියට්නාම් බලධාරින්ට හෙළි කර ඇති තොරතුරු අනුව පෙනී යන්නේ මෙතෙක් වාර්තා නොවුණු තරමේ මහා පරිමාණ මිනිස් ජාවාරමක තොරතුරු හෙළිදරව් වෙමින් පවතින බවයි.

දැනට මේ පිරිස පවසා ඇති තොරතුරු අනුව ඔවුන් මීට දින දෙකකට පෙර මියන්මාරයේ සිට ගමන ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ ගමනාන්තය ලෙස තිබී ඇත්තේ කැනඩාවයි. එහෙත් ඊට පෙර නෞකාව අබලන් වීමෙන් ඔවුන්ට ආධාර ඉල්ලා පණිවිඩ යැවීමට සිදුවී තිබේ. දැනට ලැබී ඇති තොරතුරු අනුව මේ පිරිසෙන් වැඩි දෙනා උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන අන්දමට මෙවැනි විශාල නෞකාවක් කිසිසේත් රේඩාර්වලට හසුවීමකින් තොරව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ යාත්‍රා කළ නොහැකිය. එබැවින් මේ පිරිස බොහෝ විට ධීවර බෝට්ටු මගින් හෝ ගුවන් මගින් මියන්මාරයට ගොස් එහි සිට මේ නෞකාවට ගොඩවූවා විය හැකිය. කෙසේ වුවද ඔවුන්ගේ ගමනාන්තය කැනඩාව වීම නම් සුවිශේෂී කරුණකි. මන්දයත් මීට පෙර ඉතාලියට සහ ඔස්ට්‍රේලියාවට බෝට්ටු මඟීන් ගමන් ගත් සරණාගතයන් පිළිබඳව කොතෙකුත් තොරතුරු පැවතියද බෝට්ටු මඟින් කැනඩාවට ගමන් ගත් සරණාගතය පිළිබඳව අසන්නට ලැබී නොමැති බැවිනි. එබැවින් මේ පිරිස ඉතා සංවිධානාත්මක ලෙස මිනිස් ජාවාරම්කරුවන් විසින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් බව පැහැදිලි වේ.

මෙවැනි විශාල යාත්‍රා යොදා ගැනීමෙන් ජාවාරම්කරුවන් කරුණු දෙකක් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරති. ඉන් අංක එක වන්නේ ගමනාන්තයේ වෙරළාරක්ෂක යාත්‍රාවලින් ආවරණය වීමයි. බොහෝ දුරට අනවසර සංක්‍රමණිකයන් පැමිණෙන්නේ කුඩා යාත්‍රාවලින් වන බැවින් මෙවැනි නෞකාවලට අවධානය යොමු කරමින් අනවසර සංක්‍රමණිකයන් පිළිබඳව සොයා බැලීමට වෙරළාරක්ෂකයන් කටයුතු කරන්නේ නැත. අනෙක් කරුණ වන්නේ නවසීලන්තය වැනි ප්‍රදේශවලට යාත්‍රා කිරීමේදී ශීත කාලවලදී මුහුද මිදී යන බැවින් අයිස් තල මතින් යාත්‍රා කිරීමට හැකියාව ලබා ගැනීමයි. මේ කරුණ කැනඩාවටද සාධාරණ බැවින් ජාවාරම්කරුවන් මෙවැනි විශාල යාත්‍රාවක් ඒ සඳහා යොදා ගන්නට ඇති බව අනුමාන කළ හැකිය. එමෙන්ම එකවර විශාල පිරිසක් රැගෙන යාත්‍රා කළ හැකි වීමද අමතර වාසියක් බව අමතක කළ යුතු නැත. මේ නෞකාව කැනඩාව දක්වා ගමන් කළේ නම් ඔවුන් පසුකරන මුළු දුර නාවික සැතපුම් 6000ක් පමණ වේ.

මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව මේ පිරිස අන්තර්ජාතික සංක්‍රමණ නීති අනුව යළි ශ්‍රී ලංකාව වෙත යැවීමට වියට්නාමය අපේක්ෂා කළද මේ අනවසර සංක්‍රමණිකයන් එය ප්‍රතික්ෂේප කරමින් සිටින බව ද වාර්තා වේ.

මේ වන විටත් වියට්නාම් බලධාරින්ගේ සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සහය ඇතිව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ නිලධාරීන් විසින් මේ මගීන් පිරිස පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් තිබේ. එමෙන්ම විදේශ අමත්‍යංශය පවසන්නේ ජාතිකත්වය පරීක්ෂා කිරීමේ පරීක්ෂණ ඇතුළු අනෙකුත් විධිවිධාන අවසන් වූ පසුව මේ පිරිස යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

Comments