සාරි වෙනුවට ගුරුවරියන්ට වෙනත් ඇඳුම් ඇඳීම ගැන ජනතාව කියන කතා | Page 2 | සිළුමිණ

සාරි වෙනුවට ගුරුවරියන්ට වෙනත් ඇඳුම් ඇඳීම ගැන ජනතාව කියන කතා

මේ යෝජනාවම විහිළුවක් 
කසුන් චතුරංග (37) මීගොඩ - නාවික ඉංජිනේරු

ගුරුවරුන්ගේ බාහිර ස්වරූපය රජයේ වෙනත් කාර්යාලයක කටයුතු කරන කෙනෙකුගේ බාහිර පෙනුමටත් වඩා සංවේදීව බලපානවා. හයිට් රාජ්‍යය බිඳ වැට්ටවීමේ උපායමාර්ගික සැලැස්මේ එක් පියවරක් තමයි පාසල් නිල ඇඳුම නැති කරපු එක. රටක සාමාජීය විනාශයට මුල පාදන්නේ ඒ විදිහට තමයි. මේ යෝජනා සමස්ත ගුරුවරියන්ගේම යෝජනා නෙමෙයි. මුස්ලිම් ගුරුවරියො පවා සාරිය, ඔසරිය ඇඳලා ෆර්දාව දානවා. ඊළඟට කියයි පාසල් දරුවන්ගේ නිල ඇඳුමත් වෙනස් කරන්න කියලා. සාරියට වියදම් වන මුදලට වඩා වැඩි මුදලක් අනිත් ඇඳුම්වලට වැය වෙනවා කියලා ස්ටාර්ලින් දන්නේ නැද්ද? මේ වගේ යෝජනා ගේන්න මොන පදනමකින්ද කියලා සොයා බැලිය යුතුයි. මේ වගේ දේවල් යෝජනා කිරීමම විහිළුවක්.

ලංකාවේ ගුරුවරියන්ගේ සාරි, ඔසරි නිල ඇඳුම වෙලා ඉවරයි. 
චමිලා රසාදරී (46) පිටකෝට්ටේ - ව්‍යාපාරිකා

එදා පටන්ම බෞද්ධ සංස්කෘතියකට හුරු වූ ශ්‍රී ලාංකික සමාජයේ ගුරුවරියට තියෙන්නෙ යහපත් සමාජ පිළිගැනීමක්. සමහර රැකියාවන් සඳහා ඒ ඒ අයට නිල ඇඳුම් තියෙනවා. ලංකාවේ ගුරුවරියන් සාරිය, ඔසරිය නිල ඇඳුම තරමටම පිළි අරන් ඉවරයි. ජෝසප් ස්ටාලින් ගුරුවරියන්ගේ සාරි ගලවන්න හැදුවට බහුතර පිරිසක් හරිම අකමැතියි ඒකට. ආර්ථික ප්‍රශ්න කාටත් තියනවා. ඒ අතින් බැලුවත් වෙන ඇඳුම් පැළඳුම්වලට වඩා සාරිය තමයි වෙළඳප‍ෙළ් ටිකක් හරි මිල අඩුවට ගන්න තියෙන්නේ. ගුරුවරියන්ටත් නැති අමාරුවක්නේ ජෝසප් ස්ටාලින්ට තියෙන්නේ.

කළ යුත්තේ විෂය මාලාව ඵලදායී ලෙස වෙනස් කිරීමයි 
නිලංකා උදයංගනී වනිගසේකර (36) සංවර්ධන නිලධාරී

ගැහැනු, පිරිමි, බාල, වැඩිහිටි දරුවෝ කොයි කවුරු අබියස වුණත් ගරුත්වයක් ඇතිව ඉගැන්වීමේ කටයුතු කරන්න පුළුවන් හොඳම ඇඳුම තමයි සාරිය. හැම රටකටම ආවේණික ඇඳුම් පැලඳුම් තියනවා. සාරිය, ඔසරිය ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ සලකුණක්. ගුරුවරියක් සාරියක් ඔසරියක් ඇඳීම කියන්නේම ගෞරවනීය තත්ත්වයක්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැක්කේ විෂය මාලාව ඵලදායී ලෙස වෙනස් කිරීමෙනුයි. අපේ රටේ ගුරුවරියන්ට තාමත් සාරියක් ගන්න බැරි තරම් අහේනියක් නම් තාම නෑ. ඊට වඩා කොයිතරම් ප්‍රශ්න තියනවද රටේ විසඳන්න.

ගුරුවරියට උචිතම සාරියයි 
සඳමාලි හෙට්ටිආරච්චි (40) දිවුලපිටිය - පුස්තකාලයාධිපති

ගුරුවරියන්ට උචිතම ඇඳුම සාරිය හෝ ඔසරියයි. ගර්භනී ගුරුවරියක් නම් ගවුමක් හෝ වෙනත් සැහැල්ලු ඇඳුමක් ඇන්දාට වරදක් නෑ. සාරිය ගලවන්න උත්සාහ කිරීමට වැරදි දෙයක්. ගුරුවරයා කියන්නේ අම්මා තාත්තට පසුව දරුවෝ පූර්වාදර්ශය ගන්නා චරිතයක්. උපදෙස් දුන් පමණින් දරුවන්ගේ ජීවිත ප්‍රතිපදාව ඉබේ සකස් වෙන්නෙ නෑ. ගුරුවරයා ආදර්ශවත් චරිතයක් වීමේදී ගුරුවරියගේ ඇඳුමත් ප්‍රබල සාධකයක් වෙනවා. ගුරුවරිය ගැන දරුවාගේ සිතේ මැවෙන චිත්ත රූපය තමයි සාරිය - ඔසරිය. අධ්‍යාපන ක්‍රියාවලියට මූලික පෙලඹවීම කරන්නේ එතනින්.

රටේ විසඳන්න වෙනත් කොච්චර ප්‍රශ්න තියෙනවද 
තනුජා නිර්මලී (45) පැලවත්ත - ප්‍රධාන සංස්කාරිකා

කෙනෙකු අඳින ඇඳුම් පැලඳුම් ගැන කාටවත් බල කිරීමක් කරන්න බැහැ. කාලාන්තරයක් තිස්සේ ගුරුවරියෝ ඇන්ද සාරිය දැන් නිල ඇඳුමක් වගේම පිළිගත් දෙයක් වෙලා. පාසලකට ගුරුවරියක් විතරක් නෙමෙයි අම්මා කෙනෙකුටවත් සාරියක් අඳින්නෙ නැතුව යන්න බැරි තරමට විනයක් ඇතුව පාසල් පද්ධතිය සංවිධානය වෙලා තියෙද්දි සාරි ගැලවීමක් ගැන ස්ටාර්ලින් කතා කරන එක විහිලුවක්. ලංකාවේ ගුරුවරිය හා සාරිය කියන්නෙ එකටම බද්ධ වූ ආදරණීය ඇඳුමක්. ගෞරවනීය බවක් තමයි සාරිය මගින් ගෙන දෙන්නේ. අනික රටේ විසඳන්න වෙනත් කොච්චර ප්‍රශ්න තියෙනවද?

සුළු පිරිසක් තමයි මෙහෙම ඉල්ලීමක් කරන්නේ 
ඇන්ටන් චමින්ද බටේපොල (47) සීදුව - ව්‍යාපාරික

ස්ටාර්ලින් ගුරුවරියන්ගේ නිල ඇඳුම වෙනස් කරන්න හැදුවට ගුරුවරියොත් ඒ අදහසට විරුද්ධයි. රජයත් විරුද්ධයි. ස්ටාර්ලින් ඇතුළු සුළු පිරිසක් තමයි මෙහෙම ඉල්ලීමක් කරන්නේ. පාසල් අධ්‍යාපනය සම්බන්ධ විසඳන්න කොච්චර නම් ගැටලු තියෙනවද? ස්ටාර්ලින්ලා හැමදාම කළේ මොනව හරි දෙයක් අල්ලාගෙන උද්ඝෝෂණය කරලා රටේ වැඩ කටයුතු අවුල් කරපු එක. ඒවට උල්පන්දම් දෙන සුළුතරයක් එයා එක්ක ඉන්නවා. පින්ලන්තය වගේ දියුණු රටවල එක එක ඇඳුම් ඇන්දට මේ ලංකාවනේ. ගුරුවෘත්තිය කියන්නේ සේවයෙන් විශ්‍රාම ගියත් තුන් කාලයේම පවතින ගෞරවනීය තනතුරක්. මේ වගේ ඉල්ලීම් කිරීම තුළින් පවා ඒ ගෞරවනීය බව නැතිවීම තමයි සිදු වන්නේ. ඔහොම ගියොත් පාසල් ළමයිනුත් කියයි අපිට පහසු ඇඳුමක් අඳින්න දෙන්න කියලා.

Comments