හැංගි හැංගි වෙස් බැඳලා ක්‍රිකට් මල්ලිලා කැන්ගරු දේසේ නටපු නැටිල්ල | Page 2 | සිළුමිණ

හැංගි හැංගි වෙස් බැඳලා ක්‍රිකට් මල්ලිලා කැන්ගරු දේසේ නටපු නැටිල්ල

ටක් නියෝජනය කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වන්නේ අතළොස්සකට පමණි. ජය පරාජය කෙසේ වෙතත් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම හා වටිනාම අවස්ථාවක් ලෙස සැලකෙන එවැනි තරගාවලියකට රට නියෝජනය කිරීමත් වාසනාවකි. ලෝක කුසලාන තරගාවලියක අවසන් 15 දෙනාගේ සංචිතයට ඇතුළුවීමේ විරල භාග්‍යය උදාකර ගැනීමට දහස් සංඛ්‍යාත ක්‍රිකට් ක්‍රීඩකයන් පෙරුම් පුරන පසුබිමක ක්‍රීඩාවේ අභිමානයත්, රටේ කීර්තියත් සෙල්ලමකට ගන්නා ක්‍රීඩකයෝ ද වෙති. මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියාවට ගිය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලක විසින් කරනු ලැබුවේ එවැනි සෙල්ලමකි. ආසියානු කුසලාන ජයග්‍රහණයේ උද්දාමයෙන් ඇළලී ගිය මිලියන 22ක ශ්‍රී ලාංකිකයන්ගේ ආශිර්වාදයත් සමඟ දසුන් ශානකගේ නායකත්වයෙන් ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසානයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ දනුෂ්කගේ සිදුවීම නිසා විඳින්නට වූ ජාත්‍යන්තර අපවාද හා අපකීර්තිය කරපින්නාගෙනය. 

ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත 31 හැවිරිදි ධනුෂ්ක තවමත් පසුවන්නේ සිඩ්නි නුවර පොලිස් රැඳවුම් බාරයේය. ඔහුගේ ඊළඟ නඩු විභාගය ජනවාරි 12ට කල් ගියේ තවත් සති ගණනාවක් මේ අපකීර්තිමත් සිදුවීම ගැන පුවත් පළ කිරීමට තවදුරටත් ජාත්‍යන්තර මාධ්‍යවලට ඉඩකඩ ලබා දෙමිනි.

ධනුෂ්ක ගුණතිලකට දෙවැනි වරටත් ඇප ප්‍රතික්ෂේප වූ සිඩ්නි නුවර විවර්ලි අධිකරණයේ පැවැති නඩු වාර්තාව මාධ්‍යයට නිකුත්වීමත් සමඟ ලිංගික අතවර චෝදනාවේ තොරතුරු රැසක් අනාවරණය වී තිබිණි. ඒ සියලු තොරතුරු මේ වන විට ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අතරට ගොස් හමාරය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ එකම අපකීර්තිමත් සහ ලජ්ජාසහගත සිදුවීම ධනුෂ්ක ගුණතිලකයේ ලිංගික අතවර සිදුවීම නොවන බවත්, ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලය මෙන්ම ඇතැම් නිලධාරීන් ද සම්බන්ධ වූ තවත් අප්‍රකට සිදුවීම් රැසක් ඇති බව එකපෙළට නිල වශයෙන් සහ නිල නොවන මට්ටමෙන් ‘සිළුමිණ‘ට වාර්තා වන තොරතුරුවලින් පැහැදිලි වේ.

ධනුෂ්කගේ සිද්ධියේ නොඇසූ කතාව

ටින්ඩර් මිතුරු ඇසුරු කිරීමේ වෙබ් අඩවිය ඔස්සේ දැනහැඳිනගත් 29 හැවිරිදි අදාළ කාන්තාව මුණ ගැසීමට ධනුෂ්ක ගුණතිලක ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේ සිට පිටත්ව ගොස් ඇත්තේ ලෝක කුසලාන තරගමාලාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කණ්ඩායමේ කළමනාකාරීත්වය සපයනු ලැබූ මෝටර් රථයෙන් බවට තොරතුරු වාර්තාවේ. ඒ මොහොතේ එම මෝටර් රථය පදවනු ලැබූවේ රියැදුරා විසින් බවත්, තමා ඇය මුණගැසීමට පැමිණෙමින් සිටින බවට අදාළ කාන්තාවට දැනුම් දී ඇත්තේ රියදුරාගේ ජංගම දුරකතනයෙන් බවත් එම තොරතුරු අතර වේ. ටින්ඩර් මිතුරු ඇසුරු වෙබ් අඩවියේ ඔහු පෙනී සිට ඇත්තේ ‘ජෙෂුවා‘ යන අනවර්ථ නාමයෙන් බැවින් ඔහු ක්‍රිකට් ක්‍රීඩකයකු බව එම කාන්තාව නොදැන සිටි බවටත් නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේය. එබැවින් ලිංගික අතවරයෙන් පසු ඔහු පිළිබඳ කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් ධනුෂ්කගේ සත්‍ය තොරතුරු සොයා ගෙන ඇත්තේ ධනුෂ්ක රැගෙන ගිය මෝටර් රථයේ රියැදුරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව බවත් කියැවේ. අතවරයට ලක් වූ බව කියන කාන්තාවට ධනුෂ්ක විසින් රියැදුරාගේ ජංගම දුරකතනයෙන් ඇමැතුමක් දුන් බැවින් ඇගේ ජංගම දුරකතනයේ සටහන් වූ එම අංකය පොලිසියට සපයා ඇත්තේ ද ඇය විසින් බවත් වැඩිදුරටත් වාර්තා වේ.

වගකීම් විරහිත කළමනාකාරීත්වය

ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුර සිදුවී ඇතැයි කියන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ, කළමනාකාරීත්වයේ සහ පුහුණු කාර්ය මණ්ඩලයේ අකටයුතුකම් රැසක් ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීමෙන් පසු ක්‍රමයෙන් හෙළිදරවු වීමට පටන් ගත්තේ හිරු සඳු යට කිසිවක් සදාකාලික නොවන බව කියා පාමිනි. ධනුෂ්කගේ සිදුවීමත් සමඟ අනාවරණය වූ වැදගත්ම කාරණාව වන්නේ ඔහු ආබාධයකට ලක්වීමෙන් පසු සංචාරයේ අවසානය දක්වා ඔහු නිකරුණේ කණ්ඩායමේ රඳවා තබා ගැනීම නොව ඔහුට එවැනි ක්‍රියාවකට පෙලඹීමට තරම් නිදහසක් කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් සපයනු ලැබීමය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන විදෙස් සංචාරවලදී නියමිත නීතිරීති පද්ධතියක් තිබේ. සියලු ක්‍රීඩකයන් කටයුතු කළ යුත්තේ ඊට අනුගතවය. අතීතයේදී මෙන් නොව වර්තමානයේදී විදෙස් සංචාරයට සහභාගි වන ක්‍රිකට් ක්‍රීඩකයන්ට තනි හෝටල් කාමර සපයන බැවින් (එවකට එක් කාමරයක ක්‍රීඩකයෝ දෙදෙනකු නවාතැන් ගනිති) අදාළ ක්‍රීඩකයා හෝටලයෙන් පිටතට යෑම සහ නැවත පැමිණීම නිවැරැදිව අධීක්ෂණය කිරීම තරමක් දුෂ්කර බව පෙනේ. එහෙත් එම ක්‍රීඩකයා මේ පිළිබඳ කළමනාකාරීත්වයට දැනුම්දීම අනිවාර්ය කර තිබීම නිසා එවැනි අකටයුතුකම් සොයා බැලීමේ වගකීමක් නිරතුරුවම කණ්ඩායමේ කළමනාකාරීත්වයට පැවරී තිබේ. අනික් අතට තනි ක්‍රීඩකයකු හෝ ක්‍රීඩකයන් කිහිපදෙනකු රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටතට යෑම හෝ මධ්‍යම රාත්‍රිය වනතුරු හෝටලය කරා නැවත නොපැමිණීම සොයා බැලීම ද කණ්ඩායමේ කළමනාකාරිත්වයට පැවැරී ඇති තවත් වගකීමකි. ඔස්ට්‍රේලියානු සංචාරය නිමා කර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ මහින්ද හලංගොඩ ක්‍රීඩා අමාත්‍යාංශය කැඳවූ අවස්ථාවේදී ඔහු ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ වර්තමානයේදී නැවත හෝටලයට පැමිණෙන කාලසීමාව රාත්‍රී 11.00 වනතුරු දීර්ඝ කර ඇති බවකි. එහෙත් ධනුෂ්කගේ ලිංගික අතවර චෝදනාවේ අධිකරණ වාර්තාවට අනුව ඔහු අදාළ කාන්තාවගේ නිවෙසින් පිටත්වී ඇත්තේ අළුයම 1.00ට පමණය. එසේ නම් ඔහු නැවත හෝටලය කරා පැමිණ ඇත්තේ ඊට පසුව බව පැහැදිලිය. එය එසේ නම් ඔහු නැවත හෝටලයට පැමිණි වේලාව සහ ඒ වනතුරු ඔහු කාලය ගත කළ ස්ථානය ධනුෂ්කගෙන් විමසීමත්, ඒ පිළිබඳ සොයා බැලීමත් කණ්ඩායමේ කළමනාකරුගේ වගකීමකි. ඒ අනුව පෙනී යන්නේ සිය කාර්යභාරය නිවැරැදිව ඉටු කිරීමට කණ්ඩායමේ කළමනාකාරීත්වය අසමත්වීමත්, ඔහු වගකීම් පැහැර හැරීමත් බව ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රවීණයෝ රැසක් ප්‍රකාශ කරති.

කවුරුත් නොදන්නා නිල උත්සව රැසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕනෑම විදෙස් සංචාරයකදී විවිධ සාද සහ උත්සවවලට සහභාගිවීමට ඇරියුම් ලැබීම සාමාන්‍ය සිදුවීමකි. එහෙත් එවැනි සාද හෝ උත්සව සඳහා සහභාගි වීම සම්බන්ධව තීරණ ගැනීමේ වගකීම ද කණ්ඩායමේ කළමනාකරු සතු තවත් වගකීමක් බව කියැවේ. ඔස්ට්‍රේලියානු සංචාරයේදී සාද සහ විවිධ උත්සව 16කට ඇරියුම් ලැබුණු බවත්, නිල වශයෙන් සහභාගි වූයේ එක් උත්සවයකට පමණක් බවත් ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාට හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ප්‍රකාශ කළද, එවැනි නිල උත්සව 6කට සහභාගි වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශයට වාර්තා වී තිබේ. ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා එවැනි විදෙස් සාද සහ උත්සව පිළිබඳ ඔහුට මනා අත්දැකීම් ඇති හිටපු ක්‍රිකට් නායකයකු බැවින් ඔහු ප්‍රකාශ කරන්නේ ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන බොහෝ විදෙස් උත්සවවලදී ප්‍රවේශපත් අලෙවි කිරීමක් සිදුවන බවය. එවැනි උත්සවවලින් ලැබෙන අරමුදල් මෙරට පාසල් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ අවස්ථාවන් ද ඇතැයි අර්ජුන රණතුංග මහතා පෙන්වා දී තිබේ. එය එසේ නම් මෙවර ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ එවැනි නිල උත්සවවල ප්‍රවේශපත් අලෙවියෙන් ලද මුදල්වලට සිදුවූයේ කුමක්දැයි සොයා බැලිය යුතු බවත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

දසුන් ශානක ප්‍රවර්ධන වැඩසටහනක

ධනුෂ්කගේ සිදුවීමෙන් පසු අනාවරණය වූ තවත් සිදුවීමක් වන්නේ සංචාරය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ඔස්ට්‍රේලියාවේදී එක්තරා දේපළ වෙළෙඳ සමාගම ප්‍රවර්ධන වැඩසටහනකට එක්වීමේ සිදුවීමක් ද වාර්තා වේ. යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු විසින් එම දේපළ වෙළෙඳ සමාගමේ ප්‍රවර්ධනයට එක් වී ඇතැයි ද, ලෝක කුසලාන තරගමාලාව වැනි ලොව ප්‍රධාන තරගාවලියක් අතරතුර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැමිණි කණ්ඩායමක ගිවිසුම්ගත ක්‍රීඩකයකු එවැනි වැඩසටහනකට සභාභාගිවීම අභියෝගයකට ලක් කරමින් දැඩි විවේචන එල්ල වී ඇත. මේ පිළිබඳ තොරතුරු ද ක්‍රීඩා අමාත්‍යාංශයට අනාවරණය වී තිබේ.

සත්කාරක ඔස්ට්‍රේලියාව, එංගලන්තය ඇතුළු සියලු රටවල් නියෝජනය කරන ක්‍රිකට් කණ්ඩායම් ලෝක කුසලාන තරගාවලිය අතරතුර සිය ජාතිකත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා පැමිණි අවස්ථාවක පෞද්ගලික කටයුතු සඳහා සහභාගි නොවීමේ සදාචාරය දසුන් ශානක විසින් අමු අමුවේම උල්ලංඝනය කර ඇතැයි බොහෝ පාර්ශ්ව චෝදනා කරති.

මහේලගේ අවන්හලකුත් විවෘත කරලා

දැඩි අවධානයට හා මතභේදයට ලක් වූ තවත් සිදුවීමක් වන්නේ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස කටයුතු කළ හිටපු නායක මහේල ජයවර්ධන සිය පෞද්ගලික ව්‍යාපාර කටයුතුවල නිරත වීම බව තවත් වාර්තාවකින් සඳහන් වේ. ‘ක්‍රිකට් ඒජ්‘ වෙබ් අඩවිය වාර්තා කළේ නැමීබියාව සමඟ පැවැති පළමු තරගයට (එම තරගයෙන් ශ්‍රී ලංකා පිල පරාජයට පත් විය) දින දෙකකට පෙර මහේල ජයවර්ධන Ministry of Crabs සිය අවන්හල් ජාලයේ ශාඛාවක් මෙල්බර්න් නුවරදී විවෘත කිරීමට කටයුතු කළ බවය.

ඒ වනවිටත් ලෝක කුසලාන තරගාවලියේ තරග නැරඹීමට මෙල්බර්න් නුවරට පැමිණ සිටි බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම මෙල්බර්න් නුවර පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි උනන්දුව සහ අවධානය යොමු වූ මේ අවන්හල ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත්වූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.

සිය අවන්හල විවෘත කිරීමෙන් පසු එදිනම මහේල මෙල්බර්න් නුවර පිහිටි එක්තරා ශ්‍රී ලාංකික අවන්හලකදී රාත්‍රි භෝජන උත්සවයකට සහභාගි වූ බවත්, එම උත්සවය සංවිධාන කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පවුල් 300කට ආහාර සැපයීමේ සුබසාධන වැඩසටහනක් සඳහා බවත් වැඩිදුරටත් වාර්තා වේ.

දඹුලු ගිහින් තලගොයි මැරීම

දැන් බැලූ විට ලැබෙන තොරතුරුවලින් පැහැදිලි වන්නේ ලෝක කුසලාන තරගාවලියට රට නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම නිරතව ඇත්තේ ‘දඹුලු ගොසින් තලගොයි මැරීම‘ වැනි කටයුත්තකය. ලද අසීමිත නිදහසින් උපරිම ප්‍රයෝජන ගැනීමය. මෙරට ඇතැම් ප්‍රවීණ ක්‍රීඩකයන්ට අනුව වර්තමානය වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලැබී ඇත්තේ ‘වල් බූරු‘ නිදහසකි. ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින්නේ ද එවැනි ක්‍රීඩකයන්ට උඩගෙඩි දෙන ආකාරයෙනි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් පමණක් නොව ක්‍රිකට් ආයතනය ද එහිදී සිදුවූ ක්‍රීඩාවෙන් පිට ක්‍රියාකාරකම් සඳහා වගකිව යුතු බව ඇතැම් පාර්ශ්වවල අදහස වී තිබේ. ඔවුන් කියන්නේ ක්‍රිකට් ආයතනය යනු තවදුරටත් ‘විනෝදය සඳහා පුද්ගලයන් රට යවන ඒජන්සියක්‘ නොවිය යුතු බවය.


දුක් විඳින්නේ ධනුෂ්කගේ අම්මයි තාත්තයි විතරයි
- ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග සිළුමිණට කියයි...

ලිංගික අතවර චෝදනාවට හසු වූ ධනුෂ්ක ගුණතිලකට මීට පෙර අවස්ථාවල දුන් දඬුවම් ඒ අයුරින්ම ක්‍රියාත්මක කළේ නම් අද ඔහු මෙවැනි චෝදනාවකට හසු වන්නේ නැතැයි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග ප්‍රකාශ කළේය. ධනුෂ්කගේ සිදුවීම පිළිබඳ ‘සිළුමිණ‘ කළ විමසුමකදී ඔහු කියා සිටියේ එංගලන්ත සංචාරය අතරතුර ජෛව බුබුළු ආරක්ෂක වළල්ලේ නීතිරීති උල්ලංඝනය කිරීමේ වරදට හසු වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක වසර දෙකකට අත්හිටවූ වසරක තහනම පසුව මාස 6කින් අවසන් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළ බවත්, එහි ඵලවිපාක දැන් පෙනෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

‘තහනම අඩු කරලා මාස 6කින් ආපසු ක්‍රිකට් ගැස්සුවා. එහෙම වුණාම ඕනෑම ක්‍රීඩකයෙක් හිතනවා ඕනෑම වරදක් කළාට පස්සේ ඉක්මනට ආපහු ක්‍රීඩාවට එකතු වෙන්න පුළුවන් කම ලැබෙනවා කියලා. ක්‍රිකට් ආයතනය අඩුම ගාණේ එයාව පුනරුත්ථාපනය කිරීමේ හරි මනෝවෛද්‍ය ප්‍රතිකාර කිරීමේ හරි වැඩසටහනකට යොමු කරලා හදාගෙන තිබුණානම් අද මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ නෑ. මේකෙන් සිද්ධ වුණේ ධනුෂ්ක තවදුරටත් වැරදි කරන්න පෙලඹුණු එක විතරයි. හැම ක්‍රීඩකයාම එක වගේ නෑ. විවිධ පසුබිම්වලින් එන්නේ. ඒ නිසා එයාලා පරිස්සම් කරගැනීම ක්‍රිකට් ආයතනය සතු වගකීමක්. අන්තිමට සිද්ධ වුණේ ජනප්‍රියත්වය වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ගත්තු තීරණ නිසා දක්ෂ ක්‍රීඩකයකුගේ ජීවිතය විනාශ වුණු එක විතරයි. මෙහෙම ක්‍රීඩකයන් පරිස්සම් කරගැනීමේ වගකීමක් ක්‍රිකට් ආයතනයට තියෙනවා. මේවා ක්‍රිකට් ආයතනයේ පරිපාලන දුර්වලකම්.‘

පළමුවෙනි වතාව නම් කමක් නෑ. එයා ඊට කළිනුත් විවිධ වැරැදිවලට අහුවුණු ක්‍රීඩකයෙක්. ක්‍රීඩකයන්ට දෙන දඬුවම් අඩු කරලා එයාලා නිදහස් කරලා තවත් වරදකට යොමු වෙන්න පසුබිම නිර්මාණය කරන්නේ ක්‍රිකට් ආයතනයම තමයි.‘

‘මේවා ගැන කතා කළාම නඩු දානව කියනවා. ක්‍රීඩා ඇමැතිවරයා විවේචනය කරනවා. මුදලට යට කරගන්න උත්සාහ කරනවා. වාසනාවකට අපිට දැන් ඉන්න ක්‍රීඩා ඇමැතිවරයා මුදලට යටකර ගන්න බැරි කෙනෙක්. මමත් සහයෝගය දෙන්න ඉදිරිපත් වුණේ ඒ නිසයි. මුදලට යට කරගන්න බැරිවුණාම එයාලා කරන්නේ ක්‍රීඩා ඇමැතිවරයා අයින් කරන්න උත්සාහ කරන එකයි. ඒත් අද ඉන්න ජනාධිපතිතුමා පවා දන්නවා ක්‍රීඩා ඇමැතිවරයා මුදලට යට වෙන්නේ නෑ කියලා. මුදල් දීලා වෙනස් කරන්නත් බෑ කියලා. ඒ නිසා මං හිතන්නේ වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා දිගටම හිටියොත් අපේ රටේ ක්‍රීඩාව ආරක්ෂා වේවි කියලයි.‘

‘ධනුෂ්කට මීට කලින් දුන්නු දඬුවම් ලිහිල් කරලා එයාව එක්එක්කෙනාගේ බලපෑම් මත ආපහු කණ්ඩායමට අරගෙන අද ඒ ක්‍රීඩකයාට හිරේ ඉන්න සිද්ධ වෙලා. ඒ දුක දැනෙන්නේ කාටද ? ක්‍රිකට් ආයතනයට දුකක් තියෙනවද නෑ, ඒවා කරපු දේශපාලඥයන්ට දුකක් තියෙනවද නෑ, අනුබල දුන්නු අයට දුකක් තියෙනවද නෑ. අර ගෙදර ඉන්න ධනුෂ්කගේ අහිංසක අම්මයි තාත්තායි තමයි දුක් විඳින්නේ. ඒක කාටවත් තේරෙන්නේ නෑ‘ අර්ජුන රණතුංග වැඩිදුරටත් කියා සිටියේය.

Comments