මම ජීවිතේ පටන් ගත්තෙ අලෙවි නියෝජිතයෙක් විදියට | Page 2 | සිළුමිණ

මම ජීවිතේ පටන් ගත්තෙ අලෙවි නියෝජිතයෙක් විදියට

- මගේ රැකියාවෙන් මම ලබන තෘප්තිය මට වෙන කිසිදේකින් ලබන්න බෑ
- ගණිත අංශයෙන් උසස්පෙළ නොකළේ පාසලේදියි ගෙදරදියි දෙකේදීම තාත්තගෙන් ගුටි කන්න බැරි නිසා
- බෝඩ් අල්ලන් රස්සා හොයන මානසිකත්වයෙන් මිදෙන්න. ඒක රටක් වශයෙන් ලොකු ප්‍රශ්නයක්
- මම හිතන්නෙ මම ජනප්‍රිය බොස් කෙනෙක් නොවෙයි. හැබැයි මම ළෙන්ගතු පාලකයෙක්

බහුජාතික සමාගමක අලෙවි නියෝජිතයෙක් විදියට කිංඩම් ඔෆ් රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ හොරණ තක්ෂිලාවේ ගුරුවරුන්ටත් එහි ම ගණිත ගුරුවරයා වූ පියාටත් උසස්පෙළ හදාරන තෙක්වත් පාසලේ තියා ගන්නට නොහැකි තරම් දඟ වැඩ කළ සිසුවෙක් සිටියේ ය. නමින් ලියනගේ වුවත් දඟ වැඩ නිසාම පාසලේදී නලියනගේ නමින් හැඳින්වූ හේ බාහිරව උසස්පෙළ කර වාණිජ අංශයෙන් ඉහළ ම ලකුණු ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ ය. ඔහු දේශීය ව්‍යවසායකයන් අතර ඉදිරියෙන්ම සිටින රයිගම් ඔෆ් කිංඩම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ ය. එදා දඟ මල්ලක් වූ පාසල් සිසුවා අද වනවිට දර්ශනශූරි ආචාර්ය උපාධිධරයෙකි. අද විශ්වවිද්‍යාල කිහිපයකම බාහිර හා ආරාධිත දේශකයකු වන හේ කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩල සාමාජිකයකු ව සිටි අතර, දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩල සාමාජිකයෙකි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමන කොමිසමේ සාමාජිකයකු ලෙස හා මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ භාරකරුවකු ලෙස ද ඔහු කටයුතු කර තිබේ. මේ ව්‍යවසායකයකු හා ජීවිතයට මුහුණ දුන් දිරිය මිනිසකු ලෙස ඔහුගේ දිවිසැරියේ මතක සටහන් සමුදායකි. 

සම්පූර්ණ නම

රවීන්ද්‍රනාත් ලියනගේ

උපදින්නේ

1963 ජුනි 3 වැනිදා

උපන්ගම

හොරණ කනන්විල

අම්මා තාත්තාගේ නම් සහ ඔවුන් කළ රැකියා

අම්මා සුබරත් මැණිකේ, ඇය ගුරුවරියක්. තාත්තා ඩේඩිඩ් ගුණපාල ලියනගේ, එතුමා උප විදුහල්පතිවරයෙක්. ගණිතය සහ ඉංග්‍රීසි තමයි ඉගැන්වුවෙ.

සහෝදර සහෝදරියන්

මට සහෝදරියන් තිදෙනෙක් සිටිනවා. වැඩිමල් අක්කා සහ නිවුන් නංගිලා දෙන්නෙක්

කොහෙද පාසල් යන්නෙ

මම අම්මගෙ අතේ එල්ලිලා අවුරුදු 3දී යහලකැලේ ප්‍රාථමික විද්‍යාලයට ගියේ. අර්නස්ටෝ චේ ගුවේරා ලංකාවට ආව වෙලාවෙ හිටවපු රබර් ගහ තියෙන්නේ මේ පාසලේ වැට අයිනෙ. තාමත් ඒ ගහ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පාසල විශේෂයි. ඊට පස්සෙ ශ්‍රීපාලි මහා විද්‍යාලයට ගියා එක වසරට. පහේ ශිෂ්‍යත්වයෙන් පස්සෙ මම හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා.

කොහොමද පාසල් කාලය ගෙවුණෙ

තිබුණු සේරම ක්‍රීඩා කළා. ඒ ඔක්කොටම වඩා මම ඇත්තටම පාලනේ කරගන්න බැරි තරම් දඟ කළා. ඒ කාලෙ මට ගුරුවරු කිව්වෙ ලියනගේ කියලා නෙවේ නලියනගේ කියලා. අවසානෙ මට මේ දඟ වැඩ නිසාම උසස් පෙළට කලින් පාසලෙන් සමුගන්න වුණා. මම උසස් පෙළ කළේ පෞද්ගලික ශිෂ්‍යයෙක් හැටියට. තාත්තත් විශ්‍රාම ගියා ඇත්තටම මගේ දඟ වැඩවලට මුහුණ දෙන්න බැරිකමට ම. මම මහා දඟයෙක්

එතකොට ඔබ අද දර්ශනශූරී එහෙමත් නැත්නම් ආචාර්ය උපාධිය ලත් උපාධිධරයෙක්. කොහොමද මෙච්චර දඟ මල්ලක් වෙලා අධ්‍යාපනයෙන් දැන් වෙනකොට ලබාගෙන තියෙන අරමුණුවලට ගියේ.

ගමේ ඉන්න බැරි තරම් දඟ වැඩ කරලනෙ හිටියෙ. මාව ගෙදර තියා ගන්න බැරි වුණා. මම ආවා අක්කා ළඟට. අක්කා එතකොට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ ආර්ථික විද්‍යාව හදාරනවා. ඇය පසුව ශ්‍රී ලංකා මහ බැංකුවෙ සහකාර අධිපතිවරියක වුණා. ඇගේ සමකාලීනයන් එක්ක බෝඩිම්වල ඉඳලා තමයි උසස් පෙළ කළේ. මම බාහිර අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙලා එකපාරම උසස් පෙළ විශ්වවිද්‍යාලෙට යන්න පුළුවන් විදියට ඉහළින්ම සමත් වුණා.

මොන විෂය ධාරාවෙන්ද පෙනී සිටියෙ

වාණිජ විෂයය ධාරාවෙන් කළේ. මගේ තාත්තට ඕන වුණේ මාව ඉංජිනේරුවෙක් කරන්න. ඒකාලෙ දැනට වඩා ඉංජිනේරුවෙක් කියන්නෙ සෑහෙන්න වැදගත්, වරප්‍රසාදලත් සහ පිළිගැනීමක් සහිත රැකියාවක්. අපේ ගෙදර අයට හොඳට ගණිතය පුළුවන්.

තාත්තා ගණිත ගුරුවරයෙක් වෙලත් ඔබ ඇයි ගණිත විෂයය තෝරාගන්නෙ නැතිව වාණිජ විෂයයන්වලට යන්නෙ.

තාත්තා තමයි අපිට සාමාන්‍යපෙළ ට ගණිතය උගැන්වුවෙ. මට ගණිතයට D එකක් තියෙනවා. මට විද්‍යාව එච්චර බෑ. කොහොමත් තාත්තට ඕන වුණේ අපි ගණිතය විෂයයන් කරනවා බලන්න. තාත්තාට අහිමි වුණු දෙයක් පවුලේ එකම පිරිමි දරුවා වුණු මගේ මාර්ගයෙන් කරගන්නයි තාත්තාට ඕන වුණේ. අපේ තාත්තා හරි සැරයි. ඒකාලෙ සමහර ගණන් වැරැද්දුවම මම ඉස්කෝලෙදිත් ගුටි කාලා ගෙදරදිත් ගුටි කනවා. තාත්තා තමයි උසස් පෙළට ශුද්ධ ගණිතය උගැන්වුවෙ. මට ඕන වුණේ නෑ, තාත්තා එක්ක ශුද්ධ ගණිතය හදාරලා ගෙදරදියි, ඉස්කෝලෙදියි තවත් අවුරුදු දෙකක් ගුටි කන්න. ඒ හින්දා මම කිව්වා, මම කැමති ව්‍යාපාරයක් කරන්න නිසා වාණිජ විෂයයන් හදාරන්න ඕන කිව්වා. ඒ කාලෙ වාණිජ විෂයය එච්චර ජනප්‍රිය විෂයයක් නොවෙයි. මම 1981දින උසස්පෙළ කළේ.

තාත්තා කැමති වුණාද?

මටත් හිතා ගන්න බෑ. හරියට පළවැනි නියත විවරණය වගේ. මුකුත් කියන්නෙ නැතිව කැමැත්ත ලැබුණා.

ඔබ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා

ඔව්. ව්‍යාපාර පරිපාලනය හදාරන්නයි මම ඇතුළත් වෙන්නෙ. ඒකාලෙ ඒ විෂයයට ලංකාවෙන්ම 200කටත් අඩු ගාණක් ගන්නෙ. ඒක ජීවිතයේ එක් කඩඉමක්.

කොහොමද විශ්වවිද්‍යාල ජීවිතේ

මම උසස් පෙළ කරද්දි මගේ තාත්තා නැති වුණා. අම්මාට තනියෙන් පවුලක් නඩත්තු කරගන්න අමාරුයි. නංගිලා දෙන්නත් එතකොට විශ්වවිද්‍යාලෙ.

අක්කටත් ඒ වෙනකොට රැකියාවක් ලැබිලා තිබුණෙ නෑ. අම්මත් එක්ක මම තමයි පවුල නඩත්තු කළේ. තාත්තාගේ නැති වීම නිසා අම්මා ඉක්මනට විශ්‍රාම ගත්තා.

ඒ නිසා ඒ වෙනකොට අම්මගෙ විශ්‍රාම වැටුප හැදිලා තිබුණෙත් නෑ. අම්මටත් පවුලටත් මට උදව් කරන්න වුණා. මට තනියෙන් ඉගෙන ගන්න කටයුතුවලට උර දෙන්න සිද්ධ වුණා.

ඉතින් ඔබට රැකියාවක් කරන්න සිදු වෙන්න ඇති, මොකද්ද ඔබේ පළමු වෘත්තිය

මම අලෙවි නියෝජිතයෙක් විදියට ලංකාවේ බහුජාතික සමාගමක තමයි වෘත්තිය ජීවිතය ඇරඹුවෙ.

මම දිගටම කැපවීමෙන් වැඩ කළ නිසා ලංකාවෙ බහුජාතික සමාගමක කළමනාකරණ පුහුණු වෙන්නෙක් විදියට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. වේතනයත් වැඩි වුණා. මට මාස හයයි ඒ රැකියාව කරන්න වුණේ

ඔබ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් විදියට වැඩ කළ බව මා අසා තිබෙනවා.

ලංකාවෙ දහතුන්දාහක් පෙනී සිටි තරග විභාගයකින් තමයි මම හත්වැනියට සමත් වෙලා ශ්‍රී ලංකා රේගු අධිකාරියේ සහකාර රේගු අධිකාරීවරයෙක් හැටියට වැඩ බාර ගත්තා. මගේ ජීවිතේ ඊළඟ කඩඉම ඒක. මාව වෙනම පැත්තකට යොමු වුණේ ඒකෙන්.

කොහොමද පශ්චාද් උපාධි සඳහා යොමු වෙන්නෙ

මම රේගුවෙ ඉඳිද්දිමයි උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු වුණේ. මම 1992 දී MBA කළා කොළඹ විශ්වවිද්‍යාලයෙන්. MSC කළේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. ආචාර්ය උපාධිය කළේ ඇමෙරිකාවේ.

රේගුවෙ රැකියාවක් කළ ඔබ කොහොමද ස්ව ව්‍යාපාරවේදියෙක් වෙන්න පාර කැපෙන්නෙ 

මට කවදාවත් ඒ සිහිනය අමතක වුණේ නෑ. මම 2004 දි මගේ ආචාර්ය උපාධිය අවසන් කළාට පස්සෙ රැකියාවෙන් කලින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත්තා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තමයි මගේ සිහිනයට එන්න අවශ්‍ය පසුබිම සම්පාදනය කළේ. නැත්නම් අපේ පවුල්වල ව්‍යාපාර පසුබිමක් තිබුණෙ නෑ.

රයිගම් සමාගම පටන් ගන්නකොට ඔබ සතුව තිබුණු දේ සහ නොතිබුණු දේ මොනවද?

මට මේ ව්‍යාපාරය පටන් ගන්නකොට ඇත්තට ම මහ ලොකු දෙයක් තිබුණෙ නෑ. පොඩි ප්‍රාග්ධනයක් තමයි අතේ තිබුණෙ. අපි යාළුවො අටදෙනෙක් එකතු වුණා. මම විශේෂයෙන් මතක් කරන්න ඕන, MDk සමූහ ව්‍යාපාරයේ සභාපති පියනන්ද කුලරත්න මගේ පන්ති සගයා. අපි දෙන්නා එකට හිටියෙ. පියනන්දගෙ ආයතනයේ ම තමයි අපි රයිගම් පටන් ගත්තෙ. පියනන්දත් මුල් කාලෙ අපට ප්‍රාග්ධනයත් දුන්නා. රයිගම් නම දැම්මෙත් ඔහු. එයා මුල්ම සභාපති රයිගම් සමාගමේ. කාලයත් එක්ක ඔහු ඉවත් වෙලා ඔහුගේම ව්‍යාපාරවලට මූලිකත්වය දුන්නා. ව්‍යාපාරය පටන් ගනිද්දි ඔහුගෙන් ලැබෙන සහය සහ ප්‍රාග්ධනය ලබා දීම අපට විශාල ශක්තියක් වුණා. ඒවගේම අදටත් මාත් එක්ක ඉන්න කිෂාන් මතක් කරන්න ඕන. ඔහු මේ වන විට ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා. අපි හැමෝම එකාවගේ වැඩ කළ නිසා තමයි අද මේ තත්ත්වයේ ඉන්නෙ.

ඔබ ගණිතයට දක්ෂ වීම ඔබේ ව්‍යාපාරවල දියුණුවටත් බලපාන්න ඇති

ඇත්තෙන්ම. ගණිතය කියන්නෙ ඕනම එකක මුල. හේතුව ගණිතය තමයි ඕනෑම කෙනෙක්ගෙ ඔළුවෙ තියෙන තාර්කික බව පිළිබිඹු කරන්නෙ. ආයතනයක වැඩ කරද්දි අපි තර්කයකට අනුකුලවයි වැඩ කරන්නෙ. අපි අනාගතය ගැන බලන කොට පුරෝකථනය කරන දේවල්, ආයෝජන, ලාබ අලාබ, අලාබ ලබනවා නම් ගැලවෙන විදිය, ලාබ උපරිම කරගන්න විදිය ආදී ශක්‍යතා වාර්තාවක් හදාගන්න ගණිතය ඉතා වැදගත්. දුර්වලතා මඟ හැරගෙන ඒවා දක්ෂතාවක් විදියට වර්ධනය කරගන්න විදිය, ශක්තීන්වලින් උපරිම ප්‍රයෝජන ගන්න විදිය, වෙළෙඳපොළ අවශ්‍යතා උපරිම ආකාරයෙන් උකහා ගැනීම, තර්ජන මඟ හරවා ගෙන අපේ ගමන යෑමට ආදී මේ හැමදේටම ගණිතය ඕන. ගණිතයෙන් තමයි අපි තර්කානුකූලව මේවා විසඳා ගන්නෙ.

ඔබ රජයේ ඉහළ රැකියාවක් කරමින් සිට මේ වැනි අවධානමක් ගන්නේ. මොනවද ඒ කාලෙ තිබුණු අභියෝග

ව්‍යාපාරයක් කියන්නෙම ප්‍රාග්ධනයේ සිටම අභියෝගයක්. සීමාසහිත ප්‍රාග්ධනයකින් අසීමිත අවශ්‍යතා පූර්ණය කරගන්න ව්‍යාපාර කරද්දි සිදු වෙනවා. ආයෝජන ප්‍රාග්ධනය හා කාරක ප්‍රාග්ධනය හරියට අපි පාලනය හා සමබර කළ නිසා අපට මේ තත්ත්වයට එන්න පුළුවන් වුණා.

මම ඇත්තටම ශ්‍රී ලංකා රේගුවේ ඉහළ තනතුරක් දරන්න අවශ්‍ය කරන සියලුම සුදුසුකම් පූර්ණය කරන් හිටියෙ. ඒත් මට හීනයක් තිබුණා ව්‍යවසායකයෙක් වෙන්න. මගේ ඒ බලාපොරොත්තුව තවත් විශ්වවිද්‍යාලයෙන් ඔපමට්මටම් කළා. ඉතින් මම අවධානමක් ගත්තා. අවධානම් ගැනීම තමයි ජිවිතේ කලාව

මොකද්ද දියුණුවේ රහස

ප්‍රාග්ධනය නිසියාකාරව කළමනාකරණය කිරීම තමයි පළවැනි දේ. අපි හැමෝම ඒක හරියටම කළා.

කොහොමද තමන්ගෙ සේවකයන් එක්ක තියෙන ගනුදෙනුව

මම හිතන්නෙ මම ජනප්‍රිය බොස් කෙනෙක් නොවෙයි. හැබැයි මම ළෙංගතු පාලකයෙක්. මගේ සේවකයන් මාව හඳුනාගන්නේ බොහොම ළෙංගතු සභාපතිවරයෙක් විදියට. නීති තදයි. නීතිය කාටත් එකයි. පුද්ගල තරාතිරමක් නෑ. නීතිගරුක හා ඍජු බව තමයි මගේ විදිය. මම ගැන මගේ සේවකයන්ට විශ්වාසයක් තියෙනවා.

ඔබ රැකියාවෙන් තෘප්තිමත් වන්නෙක්ද?

පැහැදිලිව ම. මගේ තෘප්තිය රැකියාව. ව්‍යවසායකයෙක්ට තරම් සතුටු වෙන්න බෑ වෙන කිසි කෙනකුට. මම අනෙක් අයටත් වඩා වැඩ කරනවා; නිවාඩු ගන්නෙ අඩුවෙන්. ඒක මම කරන්නෙ ප්‍රීතියෙන්. ඒවුණාට මට ඕන නම් නෑවිත් ඉන්න පුළුවන්. වෘත්තීයමය නිදහසක් මට තියෙනවා. හොඳ ව්‍යවසායකයකුට මුදල් තියෙනවා; යානවාහන, දේපළ තියෙනවා. මේවා සාධාරණ විදියට හම්බු කරපුවා. මගේ විනෝදාංශය තමයි මගේ රැකියාව. මට ඒකට රැයක් දවාලක් නෑ. මගේ ප්‍රීතිය මගේ රැකියාව. මගේ රැකියාවෙන් මම ලබන තෘප්තිය මට වෙන කිසිදේකින් ලබන්නත් බෑ.

ඔබ ව්‍යාපාර ක්ෂේත්‍රයට ඇතුළත් වුණාට අධ්‍යාපනික ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්නෙත් නෑ

ඔව්. මම දිගටම අධ්‍යාපන ක්ෂේත්‍රයේම හිටියා. බාහිර හා ආරාධිත කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කළා, දැනටත් විශ්වවිද්‍යාල කිහිපයක එහෙම වැඩ කරනවා.

චිත්‍රපටයක් නිෂ්පාදනය කළා නේද? මොකද ඒකට වුණේ

ඔව්. මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වුණ "කදිර දිව්‍යරාජ" චිත්‍රපටය මම නිෂ්පාදනය කළා. එය තිරගත වීමට නියමිතයි.

කවුද ඔබේ කාර්යබහුල ජීවිතය බෙදා හදාගන්නා ජීවන සහකාරිය

මම ප්‍රේම සම්බන්ධයකින් විවාහ වෙන්නෙ 1990 දී. මම විශ්වවිද්‍යාලෙන් එළියට ආවා විතරයි, ඇය වෛද්‍ය විද්‍යාලෙ සිසුවියක් එතකොට. ඇය වෛද්‍යවරියක් වෙන ගීතා මද්දුමගේ.

දරුවන් ගැන

මට දරුවන් තිදෙනෙක් ඉන්නවා. මගේ වැඩිමල් දුව කුමරිනී. ඇය ගණකාධිකාරීවරියක්. මගේ දෙවැනි පුතා ඉංජිනේරුවරයෙක්. බාල දුව නීතිඥ විභාගයටත් ආචාර්ය උපාධියටත් සූදානම් වෙනවා.

පොත් කියවන්න කැමැතිද?

මම ගොඩක් කැමතියි පොත් කියවන්න.

බ්‍රෑන්ඩඩ්ද පාවිච්චි කරන්නෙ

අපෝ එහෙම එකක් නෑ. මම හරි සරල මිනිහෙක්.

සාමාන්‍යයෙන් ඇවිදින්න යන්න කැමැති ප්‍රදේශ මොනවද?

යාල, කුමන වගේ පැතිවල ඇවිදින්න කැමතිියි. ඒවගේම අනුරාධපුර, පොලොන්නරු වගේ පැතිවල ඇවිදින්නත් කැමතියි. විශේෂයෙන් මම ජේතවනාරාමයට යන්න කැමතියි. මම විශ්වාස කරන ආකාරයට ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම රජු තමයි මහසෙන් රජු. ඔහුගේ ඒ මහා නිර්මාණය බලන්න මම නිතර යනවා.

අනාගත පරම්පරාවට ඔබ දෙන ආදර්ශය කුමක්ද?

අද රටේ නැතිම දේ තමයි ව්‍යවසායකත්වය. ව්‍යවසායකයන් වෙන්න කැමති නෑ. අද රටේ රැකියා හොයන්නන් මිසක් රැකියා මවන්නන් නෑ. කොච්චර පාඨමාලා තිබුණත් ප්‍රායෝගිකව ඒක කෙරෙන්නෙ නෑ. ලංකාවේ ව්‍යවසායකයන් හිඟයි. මට ඇත්තටම ව්‍යවසායකයෙක් වෙන්න නෙවේනෙ පාර කැපිලා තිබුණෙ. මට හොඳ රැකියාවක් තිබුණා. අද මම ඒකෙ හිටියා නම් උසස්ම තනතුරක් දරාවි. මම ගොඩක් වයස අඩුවෙන් පටන් ගත්තේ. මම ඒවා දැක දැක ශ්‍රී ලංකා රේගුවෙන් ඉවත් වුණේ මට ව්‍යවසායකයෙක් වෙන්න සිහිනයක් තිබුණා.

බෝඩ් අල්ලන් රස්සා හොයන මානසිකත්වයෙන් මිදෙන්න. ඒක රටක් වශයෙන් ලොකු ප්‍රශ්නයක්. මිනිස්සු කැමැති නෑ, අභියෝග ගන්න.

ඡායාරූප- තිලක් පෙරේරා

Comments