රජීව් ගාන්ධි ඝාතකයන්ට වසර 31කට පසු සමාව ලැබුණු හැටි | Page 2 | සිළුමිණ

රජීව් ගාන්ධි ඝාතකයන්ට වසර 31කට පසු සමාව ලැබුණු හැටි

කලාපයේ බලවතා සහ ශක්තිවන්තයා ලෙස ඉන්දියාව සෙසු අසල්වාසී රටවලට සිදු කර ඇති සහ සිදු කරමින් සිටින බලපෑම අතිවිශාලය. එමෙන්ම එසේ කිරීමට ගොස් ඉන්දියාව අත පුච්චා ගත් අවස්ථා ද නැතිවා නොවේ. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ රජීව් ගාන්ධි ඝාතනයයි. රජීව් ගාන්ධි ඝාතනය වන්නේ ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටලුවට අත පෙවීම හේතුවෙනි. මේ ඝාතනයට සම්පූර්ණයෙන් වගකිව යුතු වූයේ ශ්‍රී ලංකාවේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල වෙනම රාජ්‍යයක් ඉල්ලමින් දශක තුනකට අධික කාලයක් සිවිල් යුද්ධයක නිරත වූ එල්ටීටීඊ සංවිධානයයි.

1991 මැයි 21 වැනිදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ශ්‍රී පෙරුම්බුදූර් හිදී මැතිවරණ රැලියක් අමතා යළි පිටව යෑමට පැමිණි එවකට ඉන්දීය අගමැතිධුරය හෙබවූ රජීව් ගාන්ධි එල්ටීටීඊ සංවිධානය විසින් පෙර පුහුණුවීම් ලබා දී අධිබලැති බෝම්බයක් සහිත ජැකටයක් අන්දා එවූ කලෙයිවානි රාජරත්නම් හෙවත් තෙන්මොෂි රාජරත්නම් නොහොත් 'ධනූ' නම් වූ ශ්‍රී ලාංකික තරුණියක විසින් එම බෝම්බය පුපුරුවා ගැනීම හේතුවෙන් එම ස්ථානයේදීම ඝාතනයට ලක් වූයේය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ එල්ටීටීඊ සංවිධානයේ අවශ්‍යතාව මත සිදු කරන ලද මේ බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දියාවේ එවකට අගමැතිවරයා සමඟ තවත් පහළොස් දෙනකු මියගොස් තිබිණ. ඒ අතරට අගමැතිවරයාගේ ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සාමාජිකයන් කිහිප දෙනෙක් ද ඇතුළත් වූහ.

එම සිදුවීම සම්බන්ධයෙන් පසුව ඉන්දීය ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද පරීක්ෂණ අවසානයේ චෝදනා ලැබූ 26 දෙනකුට මරණ දඬුවම නියම කිරීමට ඉන්දීය අධිකරණය කටයුතු කළේය. 1985දී සමස්ත ඉන්දියාවටම බලපාන පරිදි ක්‍රියාත්මක කෙරුණු ඉන්දීය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රජීව් ඝාතනයට චෝදනා ලැබූ සියලු දෙනාගේ සාක්ෂි ලබා ගැනීම ද දැඩි නීති රීති යටතේ සිදු කර තිබිණි. කෙසේ වුවද මරණීය දණ්ඩනය නියම වූවන් විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද අභියාචනය අනුව සිවු දෙනකුට පමණක් මරණීය දණ්ඩනය හිමි වූ අතර, සෙසු පිරිසට සිර දඬුවම් නියම විය.

එම සිවු දෙනා වූයේ ශ්‍රී ලාංකිකයකු මෙන්ම එල්ටීටීඊ සාමාජිකයකු ද වූ මුරුගන් හෙවත් ශ්‍රී හරන්, ඔහුගේ බිරිය වූ ඉන්දීය ජාතික නාලිනී, ශ්‍රී ලාංකිකයකු මෙන්ම එල්ටීටීඊ සාමාජිකයකු ද වන ශාන්තන් හෙවත් ටී. සුතේන්ත්‍රිරජා සහ ශ්‍රී ලාංකිකයකු මෙන්ම එල්ටීටීඊ සාමාජිකයකු ද වූ රොබට් පයස් යන සිවු දෙනාය. පසුව රජීව් ගාන්ධිගේ බිරිය සෝනියා ගාන්ධිගේ ඉල්ලීම අනුව මරණීය දණ්ඩනයට නියම වන විට ගැබිනියකව සිටි නාලිනීට මරණීය දණ්ඩනය වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරිණි. පසුව අනෙක් තිදෙනාට ද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. රජීව් ඝාතන නඩුවට වැරදිකරුවන් වූ සෙසු පිරිස වරින්වර සිරදඬුවම් අවසන් කර නිදහස්ව ගිය අතර, දශක තුනකට අධික කාලයක් තිස්සේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි සිවු දෙනා සමඟ රොබට් පයස්ගේ බිරියගේ සහෝදරයා වූ ජයකුමාර් සමඟ ශ්‍රී ලාංකිකයකු වූ රවිචන්ද්‍රන් ද සිරදඬුවම් ගෙවමින් සිටියේය.

පසුගියදා ඉන්දීය ශ්‍රේෂඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් තීරණය කර තිබුණේ රජීව් ගාන්ධි ඝාතන නඩුවේ දැනට සිරදඬුවම් ගෙවමින් සිටිනා හය දෙනාට නිදහස ලබා දීමටය. ඒ අනුව වසර 31ක් පුරා සිරදඬුවම් විඳිමින් සිටි හය දෙනාට නිදහස හිමි වූ අතර, අධිකරණය දක්වා තිබුණේ ඔවුන්ගේ යහපත් කල්ක්‍රියාව එසේ ඔවුන්ට නිදහස ලබා දීමට හේතු වූ බවයි.

මෙසේ නිදහස ලැබූවන් අතර ශ්‍රී ලාංකික‍ෙයා් සිවු දෙනෙකු ද වූහ. ඉන්දියානුවන් දෙදෙනකු වූ අතර ඉන් එක් අයෙකු වූයේ ශ්‍රී ලාංකික ශ්‍රී හරන්ගේ බිරිය වන නාලිනීය. නාලිනී රජීව් ඝාතනය කළ මරාගෙන මැරෙන එල්ටීටීඊ කාන්තාව සමඟ අවසන් මොහොතේ ඇය අසලින් සිටින ඡායාරූප ඉන්දීය ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව නාලිනී මරාගෙන මැරෙන කණ්ඩායමට සහාය දැක්වූ බව අධිකරණයේදී තහවුරු විය. එහෙත් නාලිනී දිගින් දිගටම පවසා ඇත්තේ තමා තම සැමියාගේ මිතුරන් ලෙසින් හැර ඔවුන්ගේ මෙවන් රහස් අරමුණක් පවතින බව කිසි ලෙසකින් නොදැන සිටි බවයි. රජීව් ඝාතනය සිදුවන අවස්ථාව වන විට නාලිනී දෙමස් ගැබිනියකි. ඇය සිරගතව සිටියදී තම දියණිය වූ හරිත්‍රා බිහි කළ අතර, වසර දෙකක කාලයක් දියණිය තමා සමඟ රඳවා ගැනීමේ අවස්ථාව නාලනීට හිමි විය. එහෙත් නීතියට අනුව වසර දෙකකට පසුව දියණිය නාලිනීගෙන් ඉවත් කෙරුණු අතර නීත්‍යනුකූලව දරුවා හදාවඩා ගැනීමේ වගකීම වෙනත් පවුලකට පවරා දී තිබිණ.

මේ වන විට නාලිනීගේ දියණිය එක්සත් රාජධානියේ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන අතර, ඇය 2014 වසරේදී තම මවුපියන්ට නිදහස දෙන ලෙස එවකට ක්‍රොංගස් නායක රාහුල් ගාන්ධිගෙන් ඉල්ලා තිබේ.

කෙසේ වුවද මෙවර අධිකරණය මඟින් මේ පිරිසට නිදහස ලබා දෙන බව කල් තබා ප්‍රකාශ කර තිබූ අතර, ඒ පිළිබඳ අවධානයෙන් සිටි මාධ්‍යවේදීන්ගේ මෙන්ම සාමාන්‍ය වැසියන්ගෙන් ද තමිල්නාඩුවේ වෙල්ලෝර මධ්‍යම බන්ධනාගාරය ඉදිරිපිට පිරී ගොස් තිබිණි. නිදහස ලැබූ බව ප්‍රකාශ වීමෙන් පසු අදාළ නීතිමය කටයුතු අවසානයේ නාලිනී, ශ්‍රී හරන් සමඟ ශාන්තන් එක්ව බන්ධනාගාරයෙන් ඉවතට පැමිණි අතර, රැස්ව සිටි පිරිස අමතමින් අදහස් දැක්වූ නාලිනී පවසා සිටියේ තමා ඇතුළු පිරිස නිදහස් කර ගැනීමට කටයුතු කළ සැමට ස්තුතිවන්ත වන බවයි.

එහිදී ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ චෙන්නායිවලට පැමිණීමෙන් පසු යළිත් පවුල් ජීවිතයක් ගෙවීමට තමන් අදහස් කර සිටින බවයි. තමා තම දියණිය හරිත්‍රාට කතා කළ බව ද නාලිනී පවසා තිබේ.

නාලිනී සම්බන්ධව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා තිබූ හේතුපාඨයෙහි විශේෂයෙන් ඉස්මතු කර තිබුණේ ඇයගේ යහපත් කල් ක්‍රියාවය.

“ඇය තම ජිවිතයේ දශක තුනක පමණ කාලයක් දණ්ඩනය ලබමින් ගෙවා දමා තිබෙනවා. එහිදී ඇයගේ හැසිරීම සම්බන්ධව තෘප්තිමත් විය හැකියි. දඬුවම් ලබමින් සිටියදී ඇය නොයෙක් හැදෑරීම් ද සිදු කර තිබෙනවා. ඒ අතරට පරිගණක යෙදවුම් පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ඇතුළත්”.

රොබට් පයස් පිළිබඳ අධිකරණ අධීක්ෂණය අනුව ඔහු ද තම දඬුවම් කාලය සාමකාමීව ගෙවමින් සිට ඇත. නොයෙකුත් රෝගයන්ට ද ගොදුරුව සිටි රොබට් පයස් ද සිරදඬුවම අතර වැඩිදුර අධ්‍යාපනය ලබා තිබේ. ඒ අතරට ඉතිහාසය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ඇතුළත්ය.

ජයකුමාර් සිරගතව සිටියදී සූප ශාස්ත්‍රය පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරා ඇති අතර, මෝටර් රථ කාර්මික අධ්‍යාපනය ද ලබා ඇත. සිරගතව සිටියදී සාහිත්‍යකරණයේ නිරත වී ඇති සාහිත්‍යවේදියා වන්නේ ශාන්තන් ය. ඔහු නොයෙක් මාතෘකා යටතේ ලිපි රාශියක් ලියා ඇති අතර, කවි ද රචනා කර තිබේ. ඒ කවි සහ ලිපි වෙනුවෙන් ඔහු ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු රටවල් රැසකින් ත්‍යාග ද දිනා ඇත. සිරගතව සිටියදී කලා අංශයෙන් පශ්චාත් උපාධියක් ලබා ඇති රාමචන්ද්‍රන් නොයෙකුත් පුණ්‍ය කටයුතු සඳහා ද දායකත්වය ලබා දී තිබේ. සිරතගව සිටියදී අධ්‍යාපනය ලබමින් මුරුගන් ලබා ඇත්තේ ද පරිගණක පිළිබඳ වැඩිදුර අධ්‍යාපනයකි.

මේ පිරිස බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු ඉන්දීය ජාතිකයන් තම නිවෙස් බලා ගිය අතර, ශ්‍රී ලාංකිකයන් සිවු දෙනාට ඉන්දීය බලධාරීන් විසින් මේ වන විට ට්‍රිච්හි සරණාගත කඳවුරක නවාතැන් පහසුකම් සපයා ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද තමන් කිසි දිනක මුහුණවත් නිසි ලෙස නුදුටු නායකයන්ගේ අණ පරිදි කටයුතු කිරීමෙන් තම ජීවිතයම අඳුරේ දමාගත් ශ්‍රී හරන්, නාලිනී ඇතුළු පිරිස මේ වන විට නිදහස් මිනිසුන් ලෙස සමාජයට ප්‍රවිෂ්ට වී සිටිති. මේ හය දෙනා අතුරෙන් ශ්‍රී ලාංකිකයන් සිවු දෙනා යළි ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධව ඉන්දීය විදේශ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. එසේ වුවද මේ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා අතරින් තිදෙනෙකුම පවසා ඇත්තේ තම පවුල්වල සාමාජිකයන් විදේශවල වාසය කරන බැවින් තමන්ට ඔවුන් වෙත යෑමට අවශ්‍ය කරන බවයි. ඒ අනුව නාලිනී සහ ශ්‍රී හරන් එක්සත් රාජධානියේ තම දියණිය වෙත යෑමට අදහස් කරන අතර, රොබට් පයස් පවසා ඇත්තේ නෙදර්ලන්තයේ වාසය කරන තම පවුල වෙත යෑමට ඔහුට අවශ්‍ය බවයි. ශාන්තන් පමණක් ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පවසා ඇති අතර, රවිචන්ද්‍රන් චෙන්නායිහි තම දරු පවුල සමඟ සිටීමට අදහස් කර තිබේ.

ඔවුන්ගේ අභිලාෂයන් කෙසේ වුවද නීත්‍යනුකූලව එම රටවලට ඇතුළු වීමට සහ වාසය කිරීමට නම් තවත් නීතිමය කඩුලු කිහිපයකින්ම පැනීමට ඔවුන්ට සිදු වනු ඇත. ඇතැම් විට එයින් පසුව හෝ ඔවුන්ට තම ජීවිතවලින් පැතූ ශාන්තිය හිමි වේද යන්න විමසිය යුතුය.

 

Comments