ලංකාවේ ක්‍රිකට්වලට ඉහඳ තියන අම්පයර්ලාගේ මාෆියාව | Page 3 | සිළුමිණ

ලංකාවේ ක්‍රිකට්වලට ඉහඳ තියන අම්පයර්ලාගේ මාෆියාව

ක්‍රීඩකයන් තරමටම නොවුණත් ක්‍රිකට් විනිසුරුවරුන් ද ක්‍රීඩාලෝලීන් අතර සෑහෙන තරමට අවධානයට ලක් වූ පිරිසකි. දෙස් විදෙස් ඕනෑම තරගයක නිවැරැදි තීරණයක් දීමෙන් ක්‍රීඩාලෝලීන්ගේ ජයඝෝෂාවටත්, වැරදි තීන්දුවකින් හූ හඩටත් මුහුණපාන ක්‍රිකට් විනිසුරුවරුන්ගේ කාර්ය භාරය තරගයක් උඩුයටිකුරු කිරීමට තරම් බලවත්ය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීත්, දේශීය ක්‍රිකට් පිටියේදීත් සිය කාර්යභාරය අකුරටම ඉටු කරමින් ක්‍රීඩකයන් අතර ගෞරවයටත්, ප්‍රතිවාදී කණ්ඩායම්වලට පක්ෂග්‍රාහීව කටයුතු කරමින් නින්දාවට සහ ගැරහුමටත් ලක්වන ක්‍රිකට් විනිසුරුවෝ එමට සිටිති. මේ කියන්නේ පෞද්ගලික ලාබ ප්‍රයෝජන හා වරප්‍රසාද අපේක්ෂාවෙන් ක්‍රීඩාව වනසන ක්‍රිකට් විනිසුරුවරුන් ගැනය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනිසුරුවරුන්ගේ මාෆියාව ගැනය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනිසුරුවරුන්ට වෙනම සංගමයක් තිබේ. ඒ හැර විනිසුරුවරුන් සම්බන්ධව ක්‍රිකට් ආයතනය විසින් ද සිදුකරනු ලබන වෙනම කාර්යභාරයක් ඇත. පාසල් ක්‍රිකට් තරග සඳහා මෙන්ම දේශීය ක්‍රීඩා සමාජ තරග සඳහා විනිසුරුවන් යෙදවීමත්, විනිසුරුවරුන්ගේ විභාග ආදිය පැවැත්වීමත් සංගමයේ කාර්යභාරය වන අතර, ප්‍රිමියර් ලීග් තරගාවලියට විනිසුරුවන් යෙදවීම සහ ඔවුන්ගේ සේවයේ ගුණාත්මකභාවය අනුව ශ්‍රේණිගත කිරීමත්, ඒ ඔස්සේ ඔවුන්ට මෙරට සංචාරය කරන විදෙස් කණ්ඩායම් සමඟ පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරග සඳහා යෙදවීමත් සිදු කරනු ලබන්නේ ක්‍රිකට් ආයතනය විසිනි. එය ජාත්‍යන්තර තරග විනිසුරුවරුන් පත් කිරීමේ කටයුතු මෙහෙයවනු ලබන පරිපාලන ඒකකයකි. එම කාර්යය සිදු කිරීමට විනිසුරුවරුන්ගේ සංගමයේ ලේකම්වරයකු පත් කර ඇති අතර, ක්‍රිකට් ආයතනයේ විනිසුරු කළමනාකරුවකු සහ වෘත්තියට අදාළ අධ්‍යාපනවේදියකු (Educator) පත් කර තිබේ. විනිසුරුවරුන්ගේ මාෆියාව ව්‍යාප්ත වන්නේ ඉහත කී පරිපාලනයේ කාර්යභාරයත්, ඊට අනුගත වෙමින් තම ශ්‍රේණිය ඉහළ දමාගැනීමට කටයුතු කරන විනිසුරුවරුනුත් අතරය. සාමාන්‍යයෙන් විනිසුරුවරුන් ශ්‍රේණිගත කිරීම් වාර්ෂිකව සිදු වන අතර, විනිසුරුවරුන්ගේ සංගමයේ සාමාජිකයන්ට ඒ සඳහා විභාගයකට පෙනී සිටිමින් ඉන් සමත් විය යුතුය. අනතුරුව ශ්‍රේණිගත කිරීම් සිදු කරමින් ඔවුන්ට තරග ලබාදීමට කටයුතු සලසනු ලබයි. මෙරට සංචාරය කරන විදෙස් කණ්ඩායම් සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරග මෙන්ම අවුරුදු 19න් පහළ ජාත්‍යන්තර තරග විනිශ්චය සඳහා යොදවනු ලබන්නේ ක්‍රිකට් ආයතනයේ ‘ඒ‘ ශ්‍රේණියේ විනිසුරුවරුන්ය. 

විනිසුරුවරුන්ගේ මාෆියාවේ ආරම්භය සිදුවන්නේ එම සංගමය හරහාය. සංගමයට පත් වී සිටින තරගවලට විනිසුරුවරුන් යෙදවීමේ නිලධාරියකු මේ මාෆියාවේ ආරම්භක පුරුකක් බවට තොරතුරු වාර්තා වන අතර, ඔහු ඊළඟ වසරේදිත් සිය තනතුර රැක ගැනීමට තමාට හිතවත් විනිසුරුවරුන්ට වැඩි වශයෙන් තරග ලබා දීමට කටයුතු කරන බව එම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි. විනිසුරුවරුන්ට මාසික වැටුපක් නොලැබෙන බැවින් ඔවුන්ගේ ආදායම රඳා පවතින්නේ තරගයකදී ලැබෙන මුදල් මතය. එබැවින් වැඩි වශයෙන් තරග විනිශ්චය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමට විනිසුරුවරු පෙලඹී සිටිති. ඒ සඳහා ඔවුන් සිදු කරනු ලබන්නේ තමාට වැඩි වශයෙන් තරග ලබා දෙන අදාළ නිලධාරියා ඊළඟ වසරේදිත් එම තනතුරේ රඳවා ගැනීමට ඡන්දය භාවිත කිරීමය. එතැන ගොඩනැඟෙන්නේ කල්ලිවාදයකි. තම හිතවත් විනිසුරුවන්ට වැඩි වැඩියෙන් තරග ලබාදීමත්, ඔවුන් සමඟ ආහාර පාන සහ මධුවිතෙන් සප්පායම් වෙමින් සිය තනතුර රැක ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමත් අදාළ තනතුරුධාරියාගේ අපේක්ෂාවය. එය එතරම් අපහසු කාර්යයක් ද නොවන බව බැලූ බැල්මටම පෙනේ.

ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරග සඳහා විනිසුරුවරුන් යෙදවීම සිදු කරනු ලබන්නේ ක්‍රිකට් ආයතනයේ විනිසුරු කළමනාකරු විසිනි. එතැන සිදු වන්නේද පෙර කී ආකාරයේම සිදුවීම් බවත් ‘සිළුමිණ‘ට තොරතුරු වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ ශ්‍රේණිගත කිරීම් තනිකරම අවිධිමත් අයුරින් සිදු වන බවට පසුගිය කාලය පුරා විවිධ චෝදනා එල්ල වූයේ මෙවැනි කරුණු කාරණා පදනම් කරගෙනය. විශේෂයෙන් තමාට හිතවත් විනිසුරුවරුන්ට පක්ෂග්‍රාහීව කටයුතු කරමින් ඔවුන්ට ප්‍රිමියර් ලීග් තරග වැඩි වශයෙන් ලබා දීමෙන් වැඩි මුදලක් උපයා ගැනීමේ අවස්ථාව සලසා දී ඇති අතර, වාර්ෂික ශ්‍රේණිගත කිරීම, විභාග පැවැත්වීම හා විනිසුරුවරුන්ට ශාරීරික යෝග්‍යතා පරික්ෂණ පැවැත්වීම නිසි අයුරින් සිදු නොවන බවට බොහෝ පාර්ශ්ව සාධක ඇතුව පසුගිය කාලයේ පෙන්වා දී තිබේ.

ක්‍රිකට් ආයතනයෙන් සිදු කෙරෙන විනිසුරුවරුන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තත්ත්වය පැහැදිලි කරගැනීමට හොඳම නිදසුන වන්නේ මීට වසර කිහිපයකට පෙර සිටි එක්තරා විනිසුරුවරයකු සම්බන්ධ කතා පුවතකි. වර්තමානයේදී මෙන් නොව එවකට ක්‍රිකට් විනිශ්චය කිරීම හුදෙක් අර්ධ කාලීන රැකියාවක් බවට පත් වී තිබූ අතර, ඔවුන්ට පූර්ණ කාලීනව වෙනම රැකියාවක් තිබිණි. මේ කියන විනිසුරුවරයා ද එවකට කටුනායක අායතනයක රැකියාවක නිරතව සිටි අයෙකි. හෙතෙම ක්‍රිකට් ආයතනයේ යම්කිසි ඉහළ නිලධාරියකු විදෙස් සංචාරයකින් පසු යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපොළේදී මුලින්ම එම නිලධාරියා පිළිගනු ලබන්නේ ඔහු විසිනි. අදාළ නිලධාරියා පිළිගෙන, පසුව ඔහුගේ ගමන් මලු පවා ඔසවාගෙන ගොස් මෝටර් රථයට පටවන මේ පුද්ගලයාට වැඩි වැඩියෙන් තරග ලබාගැනීමට එය හොඳටෝම ප්‍රමාණවත් වූ බවට ද කතාවක් තිබේ.

ක්‍රිකට් විනිසුරු තනතුර යනු අවුරුදු 60න් විශ්‍රාම ගන්වනු ලබන්නකි. එබැවින් අදාළ වයස් සීමාවට පැමිණෙන තුරු බොහෝ ක්‍රිකට් විනිසුරුවරුන්ට මුහුණ පෑමට සිදුවන්නේ අමුතුම තරගයකටය. ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා ගැනීමට, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය හා ලිඛිත පරික්ෂණයට පෙනී සිටීමට සහ තරග වැඩි වශයෙන් ලබා ගැනීමට ඔවුන් එකිනෙකා අතර ඇත්තේ දැඩි තරගකාරීත්වයකි. එය එක් අතකින් ‘එකාට එකා‘ නැති ආකාරයේ කුඩුකේඩුකම්, කේලම්, කැපිලි සහ තවත් කරුණු කාරණා අඩු වැඩි වශයෙන් පවතින පුදුමාකාර ක්ෂේත්‍රයකි. යම්කිසි තරගයක් විනිශ්චය කිරීම සඳහා විනිසුරුවරුන් දෙපොළ එකට එක්වී පිටියට යමින් ද, අතට අත දෙමින් මහත්මා ගතිගුණ පෙන්නුම් කළද දෙදෙනාගෙම යටි අදහස් ඊට බොහෝ සේ වෙනස්ය.

කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන විනිසුරුවරුන් මෙන්ම අපකීර්තිමත් ඉතිහාසයක් ඇති විනිසුරුවෝ ද ශ්‍රී ලංකාවේ ඇති තරම් සිටිති. මේ විනිසුරුවරුන්ගේ අකටයුතුකම් බහුලව සිදුවන්නේ පාසල් තරගවලදීය. විශේෂයෙන්ම පාසල් මහා ක්‍රිකට් (බිග් මැච්) තරගවලදීය. කලෙකට පෙර කොළඹ කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකාවේ පැරැණිතම පාසල් මහා ක්‍රිකට් තරගයක විනිශ්චය කටයුතු කළ එක්තරා විනිසුරුවරයකුගේ ක්‍රියා කලාපය අදටත් කූප්‍රකට සිදුවීමක් ලෙස කතාබහට ලක් වන අතර, එය පාසල් මහා ක්‍රිකට් තරග ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ සිදුවීමකි. එම තරගයේදී පිතිකරුවකුගේ දුවද්දී දැවී යෑමක් ප්‍රතික්ෂේප කරමින් ඔහු නොදැවුණු පිතිකරුවකු ලෙස නම් කරනු ලැබූ අතර, ඒ වන විට අදාළ පිතිකරුවා සිටියේ තම සීමා ඉරට ගව් ගණනක් දුරින් බව කියැවේ. මේ සිදුවීමෙන් තරගයේ තීරණය පවා වෙනස් වූ බවත්, විනිසුරුවරයා අදාළ පිතිකරුවාගේ පාසලෙන් වරප්‍රසාද ලබා මේ ක්‍රියාව සිදු කළ බවටත් පසුව ඔහුට නොසෑහෙන තරමින් චෝදනා හා විවේචන එල්ල විය.

මෙරට බොහෝ ක්‍රිකට් විනිසුරුවරුන් ශාරීරික යෝග්‍යතාව අතින් ඉතා පහළ මට්ටමක පසුවන බවත්, එම පරීක්ෂණය අසමත් වූවද ඔවුන්ට අදාළ ඉහළ නිලධාරීන්ගෙන් වරප්‍රසාද මත අඛණ්ඩව තරග විනිශ්චය කිරීමේ අවස්ථාව ලැබී ඇති බවත් එම ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් පාර්ශ්ව චෝදනා කරති. එක්තරා අවස්ථාවකදී විනිසුරුවරුන්ට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පවත්වා ඇත්තේ එළිමහන් ක්‍රීඩාංගණයක නොව ශාරීරික ව්‍යායාම් සිදු කරන ස්ථානයක ‘ට්‍රෙඩ්මිල්‘ යන්ත්‍රයක ඇවිදීමට දීමෙනි. එහිදී එක්තරා විනිසුරුවරයකු ඉන් ඇද වැටී ඇතැයි ද වාර්තා වේ. එහෙත් ඔහු එම පරීක්ෂණය සමත් වී ඇත්තේ ඇතැමුන්ගේ නළල් තල රැලි ගැන්වෙන ආකාරයේ විමතිය දනවමිනි. පාදයේ ආබාධයක් ද සහිත අදාළ විනිසුරුවරයාට තවමත් ප්‍රිමියර් ලීග් තරග විනිශ්චය කිරීමේ අවස්ථාව ලැබී ඇත. ලිඛිත පරික්ෂණය ද සිදු වන්නේ ඒ අයුරින්මය. එම ප්‍රශ්න පත්‍රය සකස් කරනු ලබන්නේ ක්‍රිකට් ආයතනයේ විනිසුරු වෘත්තියට අදාළ කටයුතු කරන අයකු විසිනි. එම ප්‍රශ්න පත්‍රය ඔහුට හිතවත් විනිසුරුවරුන්ගේ අතට වේලාසනින්ම පත් කරන බවට ද චෝදනාවක් තිබේ.

ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර තරග සඳහා වන විනිසුරු ලැයිස්තුවට ඇතුළත්ව සිටියද, ඇතැම් විනිසුරුවරුන් තම ක්‍රීඩා සමාජයේ තරගවලට යෙදවීමට බොහෝ ප්‍රිමියර් ලීග් ක්‍රීඩා සමාජ අකමැති වන්නේ එවැනි සිදුවීම් හේතුවෙනි. එම ක්‍රීඩා සමාජවල පරිපාලනය කියා සිටින්නේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් පසුවූවද එම විනිසුරුවරුන් වැරදි තීරණ දෙනු ලබන බවය. ප්‍රතිවාදී ක්‍රීඩා සමාජවලට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවය.

සාමාන්‍යයෙන් ප්‍රිමියර් ලීග් තරගවලදී දිනය අවසානයේ කණ්ඩායම් නායකයෝ විසින් විනිසුරුවරුන්ගේ කටයුතු සම්බන්ධව වාර්තාවක් සපයනු ලබති. විනිසුරුවරුන්ට තම ශ්‍රේණී ගත කිරීම්වල රැඳී සිටීමට එය ඉවහල් වේ. ශ්‍රේණිගත කිරීම් සඳහා ඔවුන්ට ලැබෙන ලකුණු අඩුවැඩිවීම සිදුවන්නේ එවැනි වාර්තා මගිනි. එය අතිශය රහසිගත වාර්තාවකි. තරග පැවැත්වෙන සෑම දිනයකම අවසානයේදී එම වාර්තාව කණ්ඩායම් නායකයෝ විසින් තරග තීරකවරයාට ලබා දෙති. තරග තීරකවරයාට ද එම වාර්තාව කියැවීම තහනම්ය. මීට අමතරව තරග තීරකවරයා ද විනිසුරුවරුන් එම තරගයේදී කටයුතු කළ ආකාරය ගැන වෙනම වාර්තාවක් සපයනු ලබයි. බොහෝ විට මේ වාර්තා දෙක පරස්පරය. තරග තීරකවරයාගේ වාර්තාව ඇතැම් විට විනිසුරුවරයාට පක්ෂග්‍රාහී වන්නේ දෙපාර්ශ්වය අතර ඇති මිත්‍රත්වය හෝ වෙනයම් ගනුදෙනුවක් මතය. විමතියට කරුණ වන්නේ මේ රහසිගත වාර්තාවේ තොරතුරු සියල්ල අදාළ විනිසුරුවරුන් අතට අදිසි බලවේගයකින් පත් වීමය. අවසානයේදී සිදුවන්නේ එම වාර්තාව සැපයූ කණ්ඩායම් නායකයා පෙර කී විනිසුරුවරයාගේ දෝෂාරෝපණයට ලක් වීමය. එම කණ්ඩායම් නායකයාට ඔහු ක්‍රීඩා කරන තරගයක් විනිශ්චය කිරීමට අදාළ විනිසුරු පත් වුවහොත් ‘නරක වාර්තාවක්‘ සැපයීමේ ප්‍රතිඵල ඉක්මනින්ම භුක්ති විඳීමට සිදු වෙයි. නොදැවුණු අවස්ථා දැවී ගිය අවස්ථා බවට පත් වනු ඇත. එබැවින් විනිසුරුවරුන්ගේ තරග විනිශ්චය පිළිබඳ වාර්තාවක් බාරදීමේදී කණ්ඩායම් නායකයා දෙවතාවක් සිතා බලයි. එතැන ඇත්තේ පුදුමාකාර විනිසුරු මාෆියාවකි.

විනිසුරු සංගමයේ ඉහළ නිලධාරින්ගේ පුතුන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන අවස්ථා බොහෝ විනිසුරුවරුන්ට අතිශය වැදගත් අවස්ථාවන්ය. එය ඔවුන්ට තම ඉහළ නිලධාරින්ට ඇති පක්ෂපාතීත්වය සාධක ඇතිව ඔප්පු කර පෙන්වීමට ලැබී ඇති කදිම අවස්ථාවකි. විනිසුරුවරයාගේ වරප්‍රසාද මත එවැනි තරගවලදී අදාළ නිලධාරීන්ගේ පුතුන් දැවී යන්නේ ඉතා කලාතුරකිනි. එය ප්‍රතිවාදී කණ්ඩායම් පවා හොඳින්ම දන්නා රහසකි.

එක් අතකින් ක්‍රිකට් විනිසුරුවරුන්ගේ ජීවිත ඉතා අභාග්‍ය සම්පන්නය. වර්තමානයේ බොහෝ විනිසුරුවරුන් පූර්ණ කාලීනව විනිශ්චය කටයුතු වල නිරතව සිටින බැවින් ඔවුන්ට වෙනත් ආදායම් මාර්ග නැත. පසුගිය කොවිඩ් වසංගත කාලයේ එවැනි විනිසුරුවරුන් දැඩි ආර්ථික ගැටලුවලට මුහුණ පෑ බවත් වාර්තා වේ. එම කාලයේදී ඇතැම් විනිසුරුවරුන් Uber වැනි කුලී රථ සේවයේ නිරතව සිටි බවට ද තොරතුරු වාර්තා වේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් නොගැසූ පුද්ගලයෝ ද මේ ක්ෂේත්‍රය තුළ සිටිති. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි ක්‍රීඩකයන්ට විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමේදී එකවරම ‘ඒ‘ ශ්‍රේණියේ ලැයිස්තුගත වීමට ද අවස්ථාවක් තිබේ. එසේ වුවත් ලෝක කුසලාන අවසන් මහා තරග වැඩි වශයෙන් විනිශ්චය කිරීමෙන් ගෞරවාදරයට පාත්‍ර වූ කීර්තිමත් ජාත්‍යන්තර විනිසුරු කුමාර් ධර්මසේන සිය විනිසුරු දිවිය ආරම්භ කර ඇත්තේ පහළම තැන සිටය. ඔහු නියමිත ක්‍රමවේදයට අනුව පළමුව තුන්වැනි කාණ්ඩයේ තරගත්, අනතුරුව දෙවැනි කාණ්ඩයේ තරගත් විනිශ්චය කරමින් ක්‍රමානුකූලව ‘ඒ‘ ශ්‍රේණිය දක්වා උසස්වීම් ලැබීම වර්තමානයේ සිටින බොහෝ ක්‍රිකට් විනිසුරුවරුන්ට කදිම ආදර්ශයක් බවත් කිව යුතුමය.

විනිසුරු තීරණය අවසන් තීරණය වූවත්, සිය වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරමින් ද, ගුණාත්මකභාවය රැක ගනිමින්ද තම කාර්යභාරය නිවැරැදිව ඉටු කිරීමට මෙරට ක්‍රිකට් විනිසුරුවරුන් අසමත් වනතුරු මේ විනිසුරු මාෆියාව අඛණ්ඩව පවතිනු ඇත. ඉන් සිදුවන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය තවදුරටත් පහළට ඇද වැටීමය.

Comments