උත්තර නැති බිත්තර මිල | Page 4 | සිළුමිණ

උත්තර නැති බිත්තර මිල

පාලන මිලක් දැමුවාට රටේ බිත්තර මිල එක එක ආකාර ය. පිටකොටුවේ ගුණසිංහපුරයට යද්දී පාරේ දකුණු පැත්තේ හමු වන පළමු කුකුළු මස් සහ බිත්තර කඩයේ මිල රුපියල් 50,52 සහ 54කි. මිල ප්‍රදර්ශනයක් නැත. 4වැනි හරස් වීදිය කෙළවරේ ඇති තොග කඩයේ, තොග සහ සිල්ලරත් රතු සහ සුදුත් එකම මිලකි. එනම්, රුපියල් 50කි. 

එහි කඩ හිමියාට අනුව බිත්තර යනු දැන් කරදරකාරී වෙළෙඳාමකි. බිත්තරයක් දෙකක් බිඳුණත් ඉස්සර නම් වෙළෙන්ඳන්ට දැණුනේවත් නැත. කඩ වසා ඇති රාත්‍රී කාලයේ මීයන් ද බිත්තර දෙක තුනක් බී තිබූ දවස් අනන්ත ය. ඒත් දැන් බිත්තරයක් දෙකක් බිඳුණොත් පාඩුව කෙළින්ම රුපියල් සියයකි. හේතුව දැන් බිත්තරයකින් වෙළෙන්ඳාට ඇත්තේ සත 70ක් පමණක් වන නිසාය. තොග වෙළෙඳාමේ දී බිත්තර අසුරන කඩදාසි පෙට්ටියටත් රුපියල් 20ක් වැය වේ. ඒ පෙට්ටි ගැට ගසන ලණු බෝලය රුපියල් 300කි. සිල්ලරට බිත්තර දමන සිරි සිරි බෑග් මිල ද එසේමය. මේ සියල්ල එකතු වූ කල, රුපියල් 50ට බිත්තරයක් අලෙවි කිරීමෙන් වෙළෙන්දාට සත70 කුත් නැති තරම්ය.

ඒ නිසා, සිල්ලර වෙළෙන්දන් මේ ගණනට බිත්තර රැගෙන යන්නේ නැත. ඒ, රුපියල් 50ට ගෙනිහින් ඔවුන්ට රුපියලක් වත් තබාගෙන විකුණන්නට බැරි නිසාය. 50ට වැඩියෙන් විකිණුවොත්, පාරිභෝගික අධිකාරියෙන් රුපියල් ලක්ෂයක දඩයක් කන්නට සිදු වේ. ඒ නිසා, පිටකොටුවට පැමිණෙන සිල්ලර වෙළෙඳුන් තම පොඩි කඩවලට බිත්තර රැගෙන යෑම නවතා දමා දැන් ටික කාලෙකි. එහෙයින්, නාගරික, අර්ධ නාගරික පොඩි කඩවල හෝ ගම ආසන්නයේ කඩවල දැන් සිල්ලරට ගන්නට බිත්තර නැත. අඩුම මුදලකට ප්‍රෝටීන ගන්නට දුප්පතාට තිබූ එකම මඟ වූ බිත්තරය, පොඩිවුන්ට පවා අහිමිව ගොස් ඇත්තේ මේ ආකාරයට ය.

කල්ප කාලාන්තරයක් කුකුළු මස් සහ බිත්තර කඩ පෙළට තිබූ පිටකොටුව බැස්ටියන් මාවතේ, තවම කුකුළු මස් කඩ තිබුණත් එකම බිත්තර කඩයක් හෝ නැත. දෙතුන් පැයක් පිටකොටුවේ ඇවිද්දත් සොයා ගත හැකි වූයේ බිත්තර තොග කඩ තුනක් පමණි.

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති, අජිත් ගුණසේකර මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැනි අදහසකි.

"ගිය මාර්තුවේ ඉඳන්, විදුලිය සහ තෙල් ප්‍රශ්න නිසා ගොවිපළවල් වැහිලා ගියා. හේතුව, ප්‍රවාහන ප්‍රශ්නය සහ අභිජනන ගොවිපළවල ජෙනරේටර්වලට අවශ්‍ය ඩීසල් නැතිකම. ඒකෙන් වුණේ සම්පූර්ණයෙන් ම රට අරින විට ක්‍රම ක්‍රමයෙන් බිත්තර නිෂ්පාදනය අඩු වීම.

ඊළඟට, කුකුළු කෑම සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ඩොලර් නැති වුණා. කෑම නැතිව කොහොමද කිකිළියෝ බිත්තර දාන්නේ? එවැනි පසුබිමක තමයි, පාරිභෝගික අධිකාරිය සුදු බිත්තර රුපියල් 43ක් සහ රතු බිත්තර රුපියල් 45ක් ලෙස ක්ෂණික පාලන මිලක් දැම්මේ. ලංකා ඉතිහාසයේ කිසි දිනෙක බිත්තරවලට පාලන මිලක් දමා නැහැ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තමයි, සෑම මාසයකම බිත්තරයක නිෂ්පාදන වියදම ගණනය කරන්නේ. ඒ වාර්තාව මහා බැංකුවටත් යවනවා. පාරිභෝගික අධිකාරියටත් යවනවා. බිත්තර, කුකුළු මස් සහ කිරිවල නිෂ්පාදන මිල සෑම මාසයකම ඔවුන් ගණනය කරන්නේ සම්මත ක්‍රමවේදයකට අනුව. පසුගිය ජුනි මාසයේ එම දෙපාර්තමේන්තුව එවූ වාර්තාවේ තිබෙන්නේ බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 45.50ක් කියලා. පාලන මිලක් දමද්දී අඩුම තරමේ පාරිභෝගික අධිකාරිය ඒ වාර්තාවවත් සැලකිල්ලට ගත්තේ නැහැ. පාලන මිල ගැසට් කළා.

අපි වෙළෙඳ ඇම­ැතිට පෙන්වා දුන්නා, ඒ වන විටත් නිෂ්පාදන වියදම රුපියල් 48ක් කියලා. ඇමැතිවරයා කීවා, ගැසට් එක හකුළා ගන්න බැහැ, මිනිස්සු බණිනවා. ඒ නිසා ගැසට් එක තිබුණාවේ, ඔය කට්ටිය උපරිම සිල්ලර මිල රුපියල් 50කට විකුණන්න අපි අල්ලන්නේ නැහැ කියලා. ඒක වාචික එකඟතාවක්. 

ඊට පස්සේ ආණ්ඩුව නැවත වතාවක් විදුලි බිල, ජල බිල සහ ප්‍රවාහන ගාස්තු වැඩි කළා. අපේ නිෂ්පාදන වියදම තවත් ඉහළ ගියා. මේ කර්මාන්තයේ 80%ක්ම යන්නේ කුකුළු කෑමවලට. ඒත් ආණ්ඩුව කුකුළු කෑම ගෙන්වන සමාගම්වලට පාලන මිලක් දැම්මේ නැහැ. හරි නම් දාන්න ඕනේ ඔවුන්ට.

මේ පාලන මිල දැමීම තුළ උද්ගත වී ඇති ගැටලු අතිවිශාලයි. බිත්තර දමන කිකිළියන් හදන්න පැටවුන් ඕනේ. පැටවුන් හදන්න නම් මවු සතුන් පිටරටින් ගේන්න ඕනේ. මොකද , මව් සතුන් ලංකාවේ හදන්නේ නැහැ. 100%ක්ම ආනයනය කරනවා. ලංකාවේ මව් සතුන් ආනයනය කරන ගොවිපළ 12න් 6ක්ම දැන් වැහිලා. ඒ කියන්නේ, කර්මාන්තය 50%ක්ම වැටිලා. මේ පාලන මිල දැමීමත් සමග මාස ගණනකට කලින් සිට මව් පැටවුන් ඇණවුම් කර තිබූ බොහෝ ගොවිපළ හිමියන් ඒ ඇණවුම් අවලංගු කළා. මොකද, ඔය ගාණට මව් පැටවුන් අරගෙන කෑම දීලා පාරිභෝගික අධිකාරිය කියන ගණන්වලට විකුණලා පාඩු ලබන්න බැහැ කියලා. බිත්තර දමන කිකිළි පැටවුන් හදන්න මව් සතුන් 80,000ක් ලංකාවට ගෙන්වන්න ඕනේ. මේ වන විටත් ගෙන්වා තිබෙන්නේ 25,000යි. දැන් වෙන්නේ, ලබන අවුරුද්දේ ගොවිපොළවල් තිබුණට බිත්තර දමන කිකිළි පැටවුන් නැති වීම.

අගමැති කාර්යාලය, ජනාධිපති කාර්යාලය, ආහාර සුරක්ෂිතතා කමිටුව විසින් දැන් දරුවන් අතර ඉහළ යන මන්දපෝෂණය මඟ හරවා ගැනීමට අවශ්‍ය පෝෂණය ලබා දීම සඳහා වන වැඩපිළිවෙළ යටතේ, අපිට බිත්තර නිෂ්පාදනයට ඉලක්කයක් දී තිබෙනවා. එනම්, දරුවන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීමට නම් අවම වශයෙන් බිත්තර මිලියන 3,000ක් ලබන අවුරුද්දේ නිෂ්පාදනය කළ යුතු බව. නමුත් ඉන්නේ මව් සතුන් 25,000 යි. ඉතින් කොහොමද අපි ඉලක්ක සපුරන්නේ?

ගොවිපොළ හිමියන් බිත්තර විකුණලා තමයි, සතුන්ට නැවත කෑම අරන් දෙන්නේ. ඒත් සත ගණනක ලාභයක් ලබලා කොහොමද ඒක කරන්නේ? ආපහු අලුත් සතුන් දාන්නේ? මේ බ්‍රොයිලර් කිකිළියන් කෑමවලට හුරු වෙලා. ඒ කෑම නැතිකොට බිත්තර ඵලදාව අඩුයි. අලුතින් කෑම කොට්ටයක් ගන්න බැහැ, ගිනි ගණන්. ඉතින් බොහෝ ගොවිපළ හිමියන් දැන් කිකිළියන් මසට විකුණලා.

සාමාන්‍ය ජනතාවට බිත්තර නැති වෙන්න අනෙක් හේතුව තමයි, එක බිත්තරයකට රුපියල් 3කට වැඩි ප්‍රවාහන ගාස්තුවක් වැය වනවා. ඒ නිසා ගොවිපළ හිමියෝ වෙළෙඳපොළට බිත්තර ගේන්නේ නෑ. තොග වෙළෙන්ඳා කරන්නේ, ගොවිපොළට ම ගිහින් තියෙන සේරම බිත්තර ටික මිල දී ගන්න එක. ඒ අරන්, බිස්කට් සහ කේක් හදන සමාගම්වලට වැඩි මිලට විකුණනවා. මේ දෙගොල්ල ම බිත්තරවලට ඒ ගෙවන වැඩි මිල, පාරිභෝගිකයාගෙන් අල්ලනවා. නමුත් සිල්ලර වෙළෙඳපොළේ දී තොග වෙළෙන්දාට ඒ වැඩේ කරන්න බැහැ. ඒ නිසා මේ අය කරන්නේ, වැඩි ලාභයක් තියෙන තැනට බිත්තර සේරම දෙන එක. ඒකෙන් සිල්ලර වෙළෙන්දාටවත් දුප්පත් පාරිභෝගිකයාට වත් බිත්තර ගන්න හැකියාවක් නැහැ. මේකට සම්පූර්ණයෙන් ම වග කියන්න ඕනෙ පාරිභෝගික අධිකාරිය..."

මේ සම්බන්ධයෙන්, ජාතික සත්ත්ව නිෂ්පාදකයන්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.

" මේ බිත්තර ගැටලුවට ප්‍රධාන හේතුව, සත්ත්ව ආහාර හා බෙහෙත් මිල. මේ වෙලාවේ රජය නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් හා අමුද්‍රව්‍ය ලබා නොදී, බිත්තරයේ මිල පමණක් අඩු කරන්න සූදානම් වෙනවා.

සත්ත්ව ආහාරවලට අවශ්‍ය බඩඉරිඟු ටික වගා කිරීමට කිසිදු වැඩපිළිවෙළක් නෑ, බිත්තර ඇමැති කෙනෙක් ඉන්නවා, කිරි ඇමැති කෙනෙක් ඉන්නවා, අපි දැක්කා දෙතුන් වරක් පාර්ලිමේන්තුවේ කතා කරනවා, පක්ෂ ප්‍රවර්ධනය වෙනුවෙන්. කිසිම වෙලාවක බිත්තර ඇමැති කර්මාන්තකරුවා වෙනුවෙන් කතා කළේ නැහැ.

ඩී.වී හේරත් පශු සම්පත් ඇමතිවරයා කතා කරන්නෙත් ඒ ගොල්ලන්ගේ ගැටලු මිස, මේ කිරි බිත්තර කර්මාන්තයට මිලක් ලබා දෙන හැටි නෙවෙයි.

අපේ ගොවිපළ හිමියන් ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන ඩිමෝ බට්ටා වාහනයේ රුපියල් 8,000ට තිබූ ටයර් එක රුපියල් 60,000ක් වෙලා. කෝ මේවාට මිල පාලනයක්. බිත්තරයට මිල පාලනය ගේනවා, හැබැයි වාහන කොටස්වලට මිල පාලනයක් නැහැ. රුපියල්12,000ට තිබූ වාහන බැටරිය අද රුපියල් 65,000ක්. මේ විදියට රටේ සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිම මිල පාලනයක් නැහැ. ඊට අදාළ බලධාරීන්, නිලධාරීන් මර නින්දේ. ඒ හරහා මේ රටේ නිෂ්පාදනය කරන බිත්තර හා කුකුළු මස් සහමුලින්ම නැති කරලා, පිටරටින් ගේන්නයි මේ සූදානම් වෙන්නේ.

අද කිරි ගොවීන්ගේ කිරි ගවයකුට කන්න දෙන්න දෙයක් නෑ, රක්ෂිතයකට ගවයෙක් ගෙනියන්න බෑ, මහින්ද අමරවීර ඇමතිවරයා කියනවා, රක්ෂිතවල ඉන්න ගවයෝ ජාතික පශු සම්පත් එකට ගන්නවා කියලා. ඒ ගොවිපළවල් පිට රටට විකුණන්න සූදානම් බවට අපිට වාර්තා වනවා. ගොවීන්ට වගා කරන්න, ගවයෝ ගැට ගහන්න බිමක් නෑ, එහෙම වෙලාවක ඔයාමඩුවේ, පරසන්ගස් වැවේ අක්කර දහස් ගණන් පිටරට සමාගම්වලට විකුණන්න සූදානම්. ඔන්න, ගොවිබිම් විකුණන වැඩේත් පාලකයෝ ආරම්භ කරලා. රජයේ ගොවිපළවල් අක්කර 5,000 සිට 65,000 දක්වා විකිණීම ආරම්භ කර තිබෙනවා. අපේ ගොවියෝ පාරට දාන්නයි, මේ සූදානම..."

මේ ගැටලුව සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති, සරත් රත්නායක පැවසූයේ මෙවැනි අදහසකි. 

“කුකුළු කෑම හදන්න අපි අමුද්‍රව්‍ය 17ක් පාවිච්චි කරනවා. ඒ අමුද්‍රව්‍යවලින් 75%ක්ම ගේන්නේ පිටරටින්. රුපියල් 100ට තිබූ සෝයා කිලෝව දැන් රුපියල් 400යි. 80ට තිබූ බඩඉරිඟු කිලෝව රුපියල් 240යි. හුනු සහල් කුඩු ගත්තේ රුපියල් 45 ට 50 ට. දැන් ඒකත් රුපියල් 190ක්. රු.40ට තිබූ පුන්නක්කු 190ක්. විටමින් ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය 300%කින් ඉහළ ගිහින්. බිත්තර රුපියල් 20ට 25ට දෙද්දී, කෑම වියදම ගියේ රුපියල් 65යි. දැන් කෑම කිලෝවකට වැය වනවා රුපියල් 240ක්. එතකොට බිත්තරයක නිෂ්පාදන මිල ම රුපියල් 46.50ක්. ඉතින් කොහොමද ආණ්ඩුව කිව්වට බිත්තරයක් රුපියල් 43ට දෙන්නේ. එහෙම නම් ආණ්ඩුව මේ කෑම හදන්න ගන්න අමුද්‍රව්‍යවලට පාලන මිලක් දමන්න ඕනෑ. ඇයි ඒක නොකරන්නේ?

අද ගොවිපළකට කුකුළු පැටව් ටිකක් දාන්න බැංකු ණයක් ගන්න පුළුවන්ද? රුපියල් 100ට තිබු පැටියා දැන් රුපියල් 400ක්. බැංකු පොලියම 28%ක්. බැංකු විසින් ණය දෙන්නෙත් නෑ. ඉතින් කෝ කෑම අරන් දෙන්න සල්ලි? කෝ පැටව් ටිකක් දාගන්න සල්ලි? පාලන මිලට බිත්තර දීලා නිෂ්පාදන වියදමවත් නොලැබී යනකොට කුකුළු කොටු වහන්න වෙලා. අද වෙනකොට ගැසට් එක ගහලා මාස තුනක්. ඔය වැඩේ නොකළා නම්, එදා කිකිළි පැටියෙක් රුපියල්100යි. අද උන් මාස තුනක් ලොකු වෙච්ච පැටවුන්.

අද එහෙනම් ඒ පැටව් ලක්ෂ 15ක් වැඩිලා. තව මාසෙකින් මාස 4 සම්පූර්ණ වෙනකොට බිත්තර ලක්ෂ 12ක් නිෂ්පාදනයට එකතු වනවා. දැනටත් බිත්තර ලක්ෂ 35-40ක් නිෂ්පාදනය වනවා. අර ලක්ෂ 12ත් ආවා නම් ලක්ෂ 52යි. ඒ අතරේ තව ලක්ෂ 15ක් පැටව් ඊළඟ මාස දැම්මා නම්, ඉදිරියට අවශ්‍ය බිත්තර ටික හැදිලා. ආණ්ඩුවට කරන්න තිබුණේ ගැසට් ගහන එක නෙවෙයි. මේ ග්‍රාමීය කර්මාන්තය නඟා සිටුවන්න අවශ්‍ය මේ පසුබිම හදල දෙන්නයි. ගැසට් ගැහුවාට බිත්තර හැදෙන්නෙ නැහැ. කිකිළි පැටව් බිහි වෙන්නෙත් නැහැ. ඒකට මවු සතුන් ඕනේ. උන්ව ගෙන්වන්න සල්ලි ඕනේ. සතුන්ට හරි කෑම ඕනේ. බිත්තර ටික, හරි මිලට විකිණෙන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට බිත්තර වෙනුවට ගැසට් එක කන්න..."

රජයේ පාර්ශ්වයෙන් මේ ගැටලුව සම්බන්ධව වගකීම ඇත්තේ, පාරිභෝගික අධිකාරියට ය. එහි සභාපති, ශාන්ත නිරිඇල්ල ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.

" පාලන මිලක් දැම්මා කියලා, පාරිභෝගික අධිකාරියට බිත්තර සංගම් විසින් නඩුවක් දාලා තිබෙනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතතා කමිටුව කිව්වා කියලා සමහරු රුපියල් 50 ට බිත්තර විකුණනවා. එහෙම එකක් නැහැ. ගැසට් එක තවමත් වලංගුයි.

උපරිම මිල නියම කිරීමේ හැකියාව තිබෙන්නේ පාරිභෝගික අධිකාරියට පමණයි. අපි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය දත්ත සහ තොරතුරු ලිඛිතව ලබා ගෙන තිබෙනවා. හැබැයි පාරිභෝගික අධිකාරිය යම් දෙපාර්තමේන්තුවක් ලබා දෙන දත්ත මත පදනම්ව පමණක් තීන්දු තීරණ ගන්නේ නැහැ. අදාළ හැම පාර්ශ්වයක් ම නියෝජනය වන පරිදි ස්වාධීනව කරුණු සොයා බලා, ඔවුන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මිස, පාලන මිලක් පනවන්නේත් නැහැ.

රජය දැන් සත්ත්ව ආහාර ගෙන්වන්න පහසුකම් ලබා දී තිබෙනවා. මේවායේ දැන් මිල ගණන් යම් පමණකට අඩුයි. අනික ඔය හැම ගොවිපළ හිමියෙක් ම සතුන්ට දෙන්නේ වැඩි මිල කුකුළු කෑම නෙවෙයි. ඔවුන් දේශීය ව හදා ගන්නා මිශ්‍ර ආහාරයක්.

නමුත් අපේ සාකච්ඡාවලදී ඔවුන් ඉදිරිපත් කරන්නේ වැඩි මිල ආහාර වට්ටෝරුවේ මිල. ඇසුරුම් කරන ලද ආහාර සතුන්ට දීලා තිබුණා නම්, ඒ බිල් ඉදිරිපත් කරන්න කියා, අපි ඔවුන්ට දැනුම් දුන්නා. කවුරුවත් එහෙම කළේ නැහැ.

බිත්තර නිෂ්පාදන මිල ගණන් හදද්දී ඔවුන් කරන්නේ, මේ වැඩි මිල වට්ටෝරුව ඊට එකතු කරන එක. මේ දේට අපිට එකඟ වෙන්න බැහැ.

ජායාරූප- රුක්මල් ගමගේ

Comments