
මිසිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් 2022 පසුගියදා මියන්මාරයේ මණ්ඩලේ නුවරදී පැවැත්වුණි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ රසාංගි චාමිකා විතානවසම් එම දැක්මට සහභාගී වීමෙන් පසුව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කෙළේ මාධ්‍ය හමුවක් පවත්වමිනි. ඇය පැවසුවේ මිසිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් 2022 ජාතික සංවිධායකවරයා තමන්ගේ මුදල් වංචා කළ බවත් එම කිරුළ ලබා ගැනීම දක්වා යාමට නම් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවත්ය. කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම කිසිසේත්ම සුළුකොට තැකිය හැක්කක් නොවේ. නීතියට අනුව නම් එවැනි හැඟීමකින් කාන්තාවක් දෙස බැලීම පවා අපරාධ ගණයට අයත් වේ.
මාධ්‍ය හමුවේ ඇය පැවසූ කරුණුවලින් ඉස්මතු කරගත් කරුණු ඔස්සේ අපි ඇයගේ චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කෙළෙමු. සිළුමිණ ඇයගෙන් මේ පිළිබඳව කරුණු විමසුවෙමු.
‘‘මම දකුණු පළාතෙ ඉමදූවට නුදුරු පිලාන ගමේ ඉපදිලා හැදුණෙ වැඩුණෙ, පාසල් ගියේ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයට. පාසල් දිවියේ අවසාන සමයේ වගේම පාසල් සමයෙන් පසුවත් මට ආසාවක් ඇති වුණා රට වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා. රටට ඒ දේ කරන්නෙ කොහොමද කියල කල්පනා කරන කොට මට තේරුණා මගේ තියෙන නිරූපණයන්ගෙන් යම් දස්කමක් මට කළ හැකි බව, මම ඒ ක්ෂේත්‍රයෙන් රට වෙනුවෙන් යමක් ඉටු කිරීමට තීරණය කළා. ඒ වෙනුවෙන් මම නිතරම අන්තර්ජාලයේ දකින්න ලැබෙන දේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළා.
ඒ අවධානයේ ඉන්නකොට 2020 අවුරුද්දෙදි මම දැක්කා මුහුණුපොත හරහා ‘මිසිස් යුනිවර්ස්‘ වෙනුවෙන් අයැදුම් කර තිබෙන බව. මමත් ඒ සඳහා අයදුම් කළා. එහි ජාතික අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කෙළේ ලංකාවේ ප්‍රකට පුද්ගලයෙක්. එහි පළමු වටය කොළඹ ගලධාරි හෝටලයේ තිබුණෙ. ඒ සඳහා 23 දෙනෙක් සහභාගී වුණා. දෙවෙනි වටය තියන්න තිබුණෙ ෂැංග්‍රිලා හෝටලයේ. නමුත් කොරෝනා වසංගතය පැතිර යාම නිසා එය නිසි වේලාවට පවත්වන්න ලැබුණෙ නැහැ.
ඒත් අපි බලාගෙන හිටිය කොයි වෙලාවක හරි මේ වෙනුවෙන් අවස්ථාවක් එයි කියල. ඒ අතරේ ජාතික සංවිධායක මැසෙන්ජර් හරහා මාව සම්බන්ධ කරගෙන මගෙන් විමසා සිටියා ‘ඔයාව නම් කළොත් විදෙස් රටක තියෙන තරගයකට යන්න පුළුවන්ද?‘ කියලා. මම ඒ වෙලාවෙ කිව්වා ඒ ගැන මට තනි තීරණයක් ගන්න බැහැ. මහත්තයාගෙන් අහන්න ඕන කියල. මහත්තය ඉන්නෙ ඇමෙරිකාවෙ කියලත් කිව්වා.
මම ඒ ගැන මහත්තයට කිව්ව, මහත්තය කිව්ව යන්න, හැබැයි පරිස්සමෙන් කටයුතු කරල තමන්ගෙ නම තියාගෙන ගිහින් එන්න කියලා. ඒ විතරක් නෙමෙයි මහත්තය මගෙන් ජාතික අධ්‍යක්ෂකගෙ නොම්මරෙත් ඉල්ලා ගෙන එයාට කතා කරල තිබුණා. එයා මේ ගැන සේරම විස්තර අහල තිබුණා.
ඒ සාකච්ඡාවෙන් පස්සෙ මම ඔහුට කතා කරල මේ ගැන විස්තර ඇහුවා. එයා පැහැදිලිව කිව්ව මේ වෙනුවෙන් විදෙස් රටක තරගයකට යන්න වෙනවා. ඒකට ලක්ෂ 8ක් විතර යනවා කියල, ඒ මුදල් ඇඳුම් පැලඳුම්, ගුවන් ටිකට්පත් නවාතැන් වගේම අනෙක් සේරම වියදම් වෙනුවෙන් කියලත් කිව්වා. මම පැහැදිලිව ඇහුවා වෙන වියදම් මුකුත් තියෙනවද කියල, වෙන කිසිම වියදමක් නැහැ කියල පැහැදිලිවම කිව්ව. ඒ කතා කරපු වොයිස් රෙකෝඩින් මා ළඟ තියෙනවා.
පස්සෙ මේ සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කරල මුදල් හුවමාරු කරන්න තීරණය වුණා. මම ඇහුව කොහෙදිද ගිවිසුම අත්සන් කරන්නෙ කියල, තැනක් කියන්නම් ඇඩ්වාන්ස් එකක් ලෑස්ති කරගන්න කියල කිව්වා. එක පාරටම මෙයා මට කෝල් කරල කිව්ව කඩවත නගරයේ තියෙන ජනප්‍රිය ආපන ශාලාවකට එන්න කියලා, මම මල්ලිත් එක්ක ගියා. ලංකාවෙ ජනප්‍රිය ජාතික අධ්‍යක්ෂවරයෙක් නිසා වගේම බොහෝ තරහ සංවිධානය කරපු කෙනෙක් නිසා ඇත්තෙන්ම අපිට ලොකු අවිශ්වාසයක් තිබුණෙ නැහැ. ඇඩ්වාන්ස් එකක් හැටියට ලක්ෂ 4ක මුදලක් ඉල්ලල තිබුණු නිසා අපි ඒ ගිවිසුම හොඳින් කියෙව්වා. ඒකෙ අපේ නම් ගම්, හැඳුනුම්පත් අංක පැහැදිලිව තිබුණා. කොන්දේසිත් කියෙව්වා, ඒ කොන්දේසි අතර තිබුණා මම මුදල් ගෙවලා යන්න බැහැ කිව්වොත් ආපසු මුදල් ගෙවන්නේ නැහැ කියලත්.
ගිවිසුම කියවලා අපි අත්සන් කළා. මාසයක් විතර ගිය නිසා මම කතා කරල ඇහුව ‘කොස්ටියුම්‘ එහෙම හදන්නෙ නැද්ද කියල. ඒකට ‘මෙසමන්ට්‘ එවන්න කියල කිව්වා. ඒකට තව ලක්ෂ 2ක් ඉල්ලුවා. මම නුගේගොඩ ලංකා බැංකුවෙන් ඒකත් දැම්මා. සේරම රිසිට් පත් තියෙනවා. ඊට පස්සෙ කිසිම සද්දයක් නැති නිසා මම ආයිත් කතා කරල ඇහුවා මේ ගැන ඉදිරි පියවර මොකක්ද කියල? ඒ පාර මට කිව්ව ‘ඔයා ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ මේ කොවිඩ් අස්සෙ කොහොමද ෆොටෝ ෂූට් කරන්නෙ කියලා‘
ඒ වෙනකොට කොවිඩ් පළමු රැල්ල අවසන් වෙලා ජනතාව රැකීරක්ෂාවලට යන දරුවන් පාසල් යන තත්ත්වයක් තිබුණෙ. එයාගෙ පිළිතුර ගැන මට සෑහීමකට පත්වෙන්න බැරි නිසා මම මීට කලින් එයා එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරපු කෙනෙක් හොයාගෙන එයාගෙන් විස්තර ඇහුව. ‘ඔයා ලෝකෙ ගැනයි මිනිස්සු ගැනයි හොඳින් අප්ඩේට් වෙන්න‘ කියල මට අවවාදයක් දුන්නා.
ඒක මට තදින්ම වැදුණා. මම පස්සෙ මේ ගැන හොඳින් හොයල බලද්දි මම දැක්කා මාව යවන්න තීරණය කරපු තරගයට වෙන කෙනෙක් යවලා තිබුණු බව. මම හොඳටම කලබල වුණා. මම ඒ ගැන කතා කරල ජාතික අධ්‍යක්ෂකගෙන් ඇහුවා. එතකොට එයා කිව්වා ඒක ඔයාව යවන්න ඉන්න තරගය නෙමෙයි කියලා. ඔයාව යවන්න තියන්නෙ පැජන්ට් එකට කියල කිව්වා. ගිවිසුමේ තියෙන්නෙ එහෙමයි කියලත් කිව්වා. අපි ගිවිසුම බලපුවහම අපේ ඇස් වහල Pageants කියන එක නොපෙනෙන විදිහට ඇතුළත් කරල තිබුණා. ඒත් මම කතා කරපු රෙකෝඩින්වල මම පැහැදිලිවම අහන හා ජාතික අධ්‍යක්ෂ මට කියනවා මාව යවන්න ඉන්නෙ මිස් යුනිවර්ස් එකට කියලා. මම ඒ රෙකෝඩින් එක එයාට යැව්වා. ඒකෙන් පස්සෙ හොඳටම කලබල වුණා. මම පොලිසි යනව කිව්වහම එයා කිව්ව එහෙම ඕන නැහැ මේක ගොඩින් බේරගමු කියලා.
මෙයා විශ්වාස නැති නිසා ගිවිසුමේ තියෙන එයාගෙ ඔෆීස් එකට අපි හොයාගෙන ගියා. ලිපිනය තිබුණෙ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 35 වැනි මහලේ කියලා, හැබැයි එහෙම එකක් නැහැ. ඒකත් ව්‍යාජ ගිවිසුමක්. බොරු ලිපිනයක් දීල තියෙන්නෙ. ඇත්තෙන්ම මේ තැනැත්තගෙ ජනප්‍රියත්වය, ජාතික අධ්‍යක්ෂවරයෙක් නිසා අපි විශ්වාස කළා. එයා සාමාන්‍ය කෙනෙක් විදිහට හිතුවෙ නැහැ.
පසුව මේ ගැන කඩවත පොලිසියට පැමිණිලි කළත් පැමිණිල්ල ලියා ගත්තෙ නැහැ. පොලිසියෙන් එයාට එන්න කිව්වා. එයා ආව සල්ලි ගත්ත බව පිළිගත්තා. එතනදි කිව්ව මාව වෙන තරගයකට යවන්නම් කියලා. මම ඇත්තෙන්ම කැමති වුණේ නැහැ; මොකද වංචාවක් ඔප්පු වෙලා නිසා. මම සල්ලි ඉල්ලුවත් දෙන්න බැහැ යවන්නම් කිව්වා. ඒ වෙනකොටත් මාව යවන රටක් තැනක් මේ කිසි දෙයක් ගැන මම දැනුම්වත් නැහැ. ඇහුවත් මට කිව්වෙත් නැහැ. පොලිසියෙදි එකඟ වුණා මාව 2022 ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් එකට යවන්නම් කියලා. කරන්න දෙයක් නැති නිසා මම ඒකට කැමති වුණා.
ටික දවසක් ගිහින් මෙයා ආයිත් මට කිව්වා ඒක තියෙයිද කියල ෂුවර් නැහැ මම ඔයාව මිසිස් ඉන්ටර්නැෂනල් එකට යවන්නම් කියලා. මම ඒකට කැමති වුණේ නැහැ. පොලිසියෙදි එකඟ වෙච්ච ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් එකට මාව යවන්න නැත්නම් සල්ලි දෙන්න කියල මම කිව්වා. අකමැත්තෙන් හරි එයට එකඟ වුණා.
මට යන දිනය, රට ගැන විස්තර කිව්වෙ අන්තිම මොහොතෙ. මියන්මාරයට තමයි යන්න තිබුණෙ. යැංගුන් එයාර්පෝට් එකට මාව එක්කරගෙන යන්න කෙනෙක් එයි එයා ලංකා කොඩිය නැත්නම් ශ්‍රී ලංකා කියල බෝඩ් එකක් අල්ලගෙන ඉදියි කියල කිව්වා. ගමන යන්න මටම ගුවන් ටිකට් පත ගන්න වුණා. ඒකට ලක්ෂ 3ක් ගියා. මම මියන්මාරයේ යැංගුන් ගුවන් තොටුපොළට ගියත් කිසිම කෙනෙක් ඇවිත් හිටියෙ නැහැ.
මම තනියම වාහනයක් හයර් කරගෙන කිලෝ 45ක් විතර බර බෑග් එකත් උස්ස ගෙන ගියා. නවාතැන් ගන්න හෝටලයේ එදා ඉදල පහුවදා උදේ පැය 9ක විතර ගමනක් තිබ්බ මණ්ඩලේ නගරයට යන්න. ප්‍රදර්ශන තරගය තිබ්බෙ එහේ. මම යන්න හදන කොට හෝටලයෙන් කිව්වා මගේ බිල ගෙවල නැහැ කියල. මම ලොකු අපහසුතාවකට පත් වුණා. පස්සෙ මම ඒකත් ගෙවල ගියා.
මණ්ඩලේ නුවර තිබුණු ෆොටෝ ෂුට් ඇතුළු සියල්ල හොඳින් කෙරුණා. මාව හොඳින් පිළිගත්තා. මාව පිළිගත්තෙ, හැඳින්වූයේ මගේ නමින් නෙමෙයි. මිසිස් ශ්‍රී ලංකා කියල රටේ නමින්. ඒ කියන්නෙ රටවල් විදිහට තමයි එතනදි කතා කරන්නෙ. අවුරුදු 54ක විවාහක කාන්තාවකුත් හිටිය. එතනදි වැඩිය බැලුවෙ ටැලන්ට් එක. 14 වෙනිදා අවසන් තේරීම තිබුණේ. මට 13 වෙනිදා එයාල කතා කරල කිව්වා ඔයාට ෆයිනල් යන්න බැහැ ඔයාගෙ ජාතික අධ්‍යක්ෂ සල්ලි ගෙවල නැහැ කියලා. මම පුදුම අපහසුතාවකට ලැජ්ජාවකට පත් වුණේ. එයාල කිව්ව මගේ අතේ සල්ලි එවන්නම් කියල ජාතික අධ්‍යක්ෂ කිව්ව කියලා. මුදල් ගැන මට කියන්නත් එපා කියල එයාලට කියල තියෙනවා. පස්සෙ මම මගේ මහත්තයට කතා කරල ඩොලර් 1000ක් ගෙන්වා ගෙන තමයි මේ වෙනුවෙන් ඉදිරිපත් වුණේ. එහෙම ඉදිරිපත් වෙනකොට එයාල අපිව ගණන් ගත්තෙත් නැහැ. මම කිලෝ 8ක් විතර බර ලොකු කොස්ටියුම් එකක් අරගෙන ගියේ. මම ඒ වෙලාවෙම ගෙදරට කතා කරල කිව්වා ජාතික අධ්‍යක්ෂ මෙහෙම වංචාවක් කරල තියෙනවා ඉක්මනට පොලිසියෙ පැමිණිල්ලක් දාන්න කියලා. පොලිසියෙන් එයාව ගෙන්වල තියෙනවා. එදාම කොහොම හරි 390,000ක් ආපහු දීල තියෙනවා.
මම මට පුළුවන් උපරිම විදිහට එයට ඉදිරිපත් වුණා. හැමෝම කිව්වා ඔයා තමයි හොඳම ටැලන්ට් කියල, ඒත් ටැලන්ට් එකටවත් කොස්ටියුම් එකටවත් මට කිසිම ස්ථානයක් ලැබුණෙ නැහැ. මොකද ඒ වෙනකොට ජාතික අධ්‍යක්ෂ කරපු වැඩේ නිසා ශ්‍රී ලංකාව ගැන එයාලගෙ පැහැදීමක් තිබුණෙ නැහැ. මම එතනදි ඉදිරිපත් කළේ ගරා යක් නැටුමක් හැමෝම ඒ දිහා බලාගෙන හිටියෙ මම ගින්දරත් එක්ක පවා ඉදිරිපත් කිරීම් කළා. නිරූපණයන් අතර හැමෝම අගය කළ අංගය වුණේ මගේ ඉදිරිපත් කිරීමයි. අවසන් අවස්ථාවෙ තිබුණු තත්ත්වය නිසා ඒ කිරුළ අහිමි වුණා. 15 වෙනිදා මම ආපහු යැංගුන් දක්වා තනියම ගුවන් යානයක් වෙන් කරගෙන ආවෙ, අර කිලෝ 45ක් විතර බෑග් එකත් එල්ල ගෙන. ජාතික සංවිධායක මගෙන් මුදල් අරගෙන කිසිම දෙයක් ගැන හෙව්වෙ නැහැ. මම 17 වෙනිදා ගෙදර ආවෙ. මිරිහාන පොලිසියෙ පැමිණිල්ලක් දැම්මා සියල්ල සහිතව. මගෙන් ලක්ෂ 6ක් අරගන ආපහු දීලා තියෙන්නෙ 390,000ක් විතරයි.
මම මේ තරගයට යන්න කලින් ජාතික අධ්‍යක්ෂ වරින් වර මට කතා කරල එයාව හමුවෙන්න එන්න කිව්වා. රාත්‍රියක් ගත කරන්න වෙලාවක එන්න කිව්වා. මම ඔයාව අතින් අතට යන්න දෙන්නෙ නැහැ කිව්වා. අපි ඥාතිත්වයක් හදා ගනිමු කියලත් කිව්වා. මම යාප්පුවෙන් කතා කළේ මුදල් ගෙවල තිබුණු නිසා මගේ ආසාව වෙනුවෙන් මේ තරගයට යන්න මිසක් එයත් එක්ක හුරතල් වෙන්න නෙමෙයි. මට වෙච්ච මේ අසාධාරණය වෙනත් අයකුට නොවේවා කියල කියන්නයි මට ඕන කරන්නෙ. නීතිය ඉටුවෙයි කියල මම හිතනවා.‘‘
මේ සම්බන්ධයෙන් නැඟෙන චෝදනා ගැන විමසීමට සම්බන්ධ කර ගැනීමට සිළුමිණ ඔහුගේ ජංගම දුරකතනයට අවස්ථා ගණනාවකදී උත්සාහ ගත් අතර වට්ස් ඇප් පණිවුඩ කෙටි පණිවුඩ හා මැසෙන්ජර් පණිවුඩ යැවූ නමුත් ඔහුගෙන් ඊට ප්‍රතිචාර නොලැබුණි.
කතා බහ එසේය.
මේ කතාව ගැන අපටද යමක් කීමට තිබේ. රසාංගි චාමිකා විසින් කියන කතාව ගැන අපි 100%ක්ම කරුණු නොදනිමු. එමෙන්ම ඇයට එවන් කතාවක් අමුතුවෙන් ගොතා කීමටද අවශ්‍ය නැත. ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් නම් මේ විවාහක කිරුළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජනයේ කුමන හෝ සිදුවීම් දාමයක් සිදුව ඇත. එය කිසිසේත්ම ලඝුකොට තැකිය නොහැකිය.
එක් පැත්තකින් මෙය කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ කතාවකි. තවත් පැත්තකින් මුදල් වංචාවකි. කූට ලේඛන සකසා මුදල් වංචාවන්ට යෙදූ උපක්‍රමයකි. කාන්තාවක් විදෙස් රටකදී අපහසුතාවට පත් කිරීමකි. ඍජු ලෙසින්ම අපට පැවසීමට නොහැකි වුවත් ශ්‍රී ලංකාවේ නාමයටද යම් ආකාරයක කැළලක් ඇතිව තිබේ යැයිද යම් අයකුට කිව හැකිය.
එමෙන්ම අපට මෙහිදී තවත් යමක් කිව යුතුව තිබේ. ඒ මේ ගිවිසුම රෙස්ටුරන්ට් එකකදී අත්සන් කිරීම ගැනය. රුපියල් ලක්ෂ 4ක් වැනි මුදලක් ගෙවීමේදී කිසිදු සාක්ෂියක් නොමැතිව පිළිගත යැයි සම්මත කළ නොහැකි ලියවිල්ලකට අත්සන් තබා මුදල් ලබා දීම විශාල අනුවණ කමකි.
සමාජය පිළිගත් අයකුට කියා හෝ මොන යම් අයකුට හෝ රුපියල් ලක්ෂ 4ක් වැනි මුදලක් එසේ ලබා දීම අනුමත කළ නොහැකිය. එමෙන්ම එම ගිවිසුමේ ස්ථාන 3කම පැහැදිලිව පැජන්ට් (Pageants) යන වචනය දක්වා තිබේ. එය ඇස් වසා යොදා ඇතැයි යන්න ඍජුවම පිළිගත නොහැකිය. කතාවේදී අදාළ පුද්ගලයා මිසිස් යුනිවර්ස් යවන බව පවසා ගිවිසුමේ පැජන්ට් යන්න යොදා වංචාවක් කරන්නට ඇත.
නමුත් ගැටලුව වන්නේ මෙවැනි ගිවිසුම් අත්සන් කිරීම මුදල් ලබාදීම වැනි කරුණු සිදු කිරීමෙදී ඒවා විධිමත් ආකාරයකට නොකිරීමය. මේ එවැනි පළමු අවස්ථාව නොවේ. අපේ රටේ බොහෝ දෙනාට ඒ ඥානය නැත. අවම වශයෙන් ගිවිසුම අත්සන් කරන්නට පෙර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ එවැනි ආයතනයක් ස්ථාපිතද යන්න සොයා බැලිය යුතුව තිබුණි.
සිද්ධියට මුහුණ දුන් චාමිකාගේ හිතවතකු පැවසූ අයුරින් ලෝකය ගැන මිනිසුන්ගේ ක්‍රියා ගැන මීට වඩා අවබෝධය අවධානය තිබිය යුතුය. කෙසේ වෙතත් මුදල් වංචාවක් සිදුව ඇති බවට අපට බොහෝ දුරට තහවුරු වන ලකුණු ඇත. කාන්තාවන්ගෙන් මෙවන් අයුරින් මුදල් වංචා කළ පළමු අවස්ථාව මෙය නොවේ.
කඩවත පොලිසියද යම් ආකාරයක පසුගාමීත්වයක් සිදු කර ඇති බවද පැහැදිලිය. නීතිය නිසි ලෙසින්ම ඉටු විය යුතුය. එමෙන්ම ජාතික අධ්‍යක්ෂ යන නාමය භාවිත කිරීමට හැකිද යන්න ගැන ඉදිරියේදී රාජ්‍ය මට්ටමින් මේ ගැන සොයා බලා කටයුතු කළ යුතුය. මක්නිසාද ඒ නාමය හරහා විශාල බලයක් ගොඩනඟා ගත හැකි හෙයිනි. රැවටීමද ඉතා පහසු හෙයිනි.