මාළු පාරිභෝගිකයන්ට ආයෙමත් හොඳ කලක් | සිළුමිණ

මාළු පාරිභෝගිකයන්ට ආයෙමත් හොඳ කලක්

මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය විවිධ ක්ෂේත්‍ර වෙත විවිධ මට්ටමින් බලපා තිබෙන අතර, මාළු වෙළෙඳාමට ද ආර්ථික අර්බුදයෙන් බලපෑම් එල්ල වී තිබේ. පසුගිය මාස කිහිපය පුරාවටම සාමාන්‍ය පාරිභෝගිකයකුට මිල දී ගැනීමට නොහැකි තරමට මාළු මිල ඉහළ ගොස් ඇති තිබූ අතර, බොහෝ වෙළෙඳුන් මාළු වෙළෙඳාම නතර කර දැමුවේ මාළු මිල ගණන් විමසමින් මාළු දෙස බලා හූල්ලනවා විනා පාරිභෝගිකයන් මාළු මිලදී ගැනීමට උනන්දුවක් නොදැක්වූ නිසාය. 

කෙසේ වුවත් වෙළෙඳපොළේ මාළු වර්ග රැසක මිල ගණන් පසුගිය දින කිහිපය තුළ අඩු වී තිබුණු අතර, පසුගිය කාලයේදී රුපියල් 3,500ට තිබූ තලපත් කිලෝව රුපියල් 1,800ටත්,රුපියල් 3,000ට තිබූ තෝර මාළු කිලෝව රුපියල් 2,000ටත්, රුපියල් 2,000ට තිබූ පරව් කිලෝව රුපියල් 600ටත්, රුපියල් 3,000ට තිබූ කෙලවල්ලා කිලෝව රුපියල් 1,500ටත්, රුපියල් 1,000ට තිබූ බලයා කිලෝව රුපියල් 600ටත්,රුපියල් 700ට තිබූ සාලයා කිලෝව රුපියල් 300ටත්,රුපියල් 600ට පමණ තිබූ හාල්මැස්සන් කිලෝව රුපියල් 400ටත් ආදී ලෙස සැලකිය යුතු අන්දමින් මාළු තොග මිල අඩු වී ඇති බව පෑලියගොඩ මාළු වෙළෙඳසැලෙන් ලැබුණු වාර්තාවලින් සනාථ විය. තොග මිල එසේ වෙත්දී මාළු ලෑලිවල සිල්ලරට අලෙවි වූ මාළු මිල ගණන් වාර්තා වූයේ තලපත් කිලෝව රුපියල් 2,000 ,තෝර මාළු රුපියල් 2,500,පරව් රුපියල් 1,000,කෙලවල්ලා රුපියල් 1,800,බලයා රුපියල් 800,සාලයා රුපියල් 600 සහ හාල්මැස්සන් රුපියල් 500 ආදී මිල ගණන්වලටය.

මාස කිහිපයකට පෙර වාර්තා ගත ලෙස මිල ඉහළ ගොස් තිබූ ලොකු, කුඩා මාළු වර්ග රැසක මිල ගණන් මෙසේ යම් ප්‍රමාණයකට හෝ මිල අඩු වී තිබෙන්නේ ඇයි? මේ සම්බන්ධව විමසා බැලීමේදී හෙළිදරව් වූයේ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා මාස තුනක කාලය දකුණෙන්, උතුරෙන් සහ පුත්තලමෙන් මාදැල් ධීවර අස්වැන්න ඉතා සරුවට ලැබීමෙන් මාළු තොග විශාල වශයෙන් වෙළෙඳපොළට පැමිණීම නිසා මෙලෙස මාළු මිල අඩු වී ඇති බවයි. එමෙන්ම ධීවරයන්ගේ ඉන්ධන ගැටලුවට යම්තාක් දුරකට හෝ විසඳුම් ලැබී තිබීම නිසා නැවතත් මුහුදු යන ධීවරයන් පිරිස වැඩි වීම ද සරු මත්ස්‍ය අස්වැන්නක් වෙළෙඳපොළට පැමිණීමට හේතුවක් වී තිබේ.

මාළු වෙළෙඳපොළේ යළි ඇති වෙමින් තිබෙන මේ නව පිබිදීම පිළිබඳ සොයා බැලීමේ අරමුණින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙහි මාළු වෙළෙඳුන් හමුවීමට පසුගිය දිනක අප එහි ගිය අතර, එහිදී අදහස් දැක්වූ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි සඳහන් කළේ පසුගිය මාස කිහිපයට වඩා දැන් තරමක මාළු ප්‍රමාණයක් තොග හා සිල්ලර වෙළෙඳාම සඳහා තම වෙළෙඳ සංකීර්ණය වෙත ලැබෙමින් ඇති බවයි. රටේ ආර්ථිකය ශක්තිමත්ව හා ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයෙන් පැවැති කාල සීමාව තුළ සාමාන්‍යයෙන් මාළු කිලෝ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් දිනපතා පෑලියගොඩ වෙත ලැබුණු අතර මේ වන විට එය පවතින්නේ දිනකට කිලෝ හැත්තෑපන්දහසත් අසූ දහසත් අතර ප්‍රමාණයක බව ද ඔහු අනාවරණය කළේය. "දැන් රට තුළ පවතින වාතාවරණය නිසා මිනිසුන්ගේ අතේ මුදල් අඩුයි. ජනතාව ප්‍රශ්න රැසකින් පීඩාවිඳිනවා. ඒ නිසා පසුගිය මාස කීපය පුරාම මාළු වෙළෙඳාම ගොඩක් අඩු වුණා. කොහොම වුණත් මේ වන විට යම් ප්‍රගතියක් පෙනෙන්නට තිබෙනවා."ජයසිරි වික්‍රමාරච්චි සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙහි වෙළෙඳාමේ නිරත වෙළෙඳ ව්‍යාපාරික සරත් පැවසුවේ රටේ පවතින දේශපාලන හා ආර්ථික වටාපිටාව, මුහුදේ හා කාලගුණික තත්ත්වයන් යන සාධක හේතුවෙන් මේ වන විට මාළු මිල අඩු වෙන ප්‍රවණතාවක් දක්නට ඇති බවයි. කෙසේ වුවත් ඉන්ධන මිල තවමත් සැලකිය යුතු ලෙස අඩු වී නැති නිසා යාත්‍රාවලින් ගොස් මාළු ඇල්ලීම පාඩුවක් බවත් ඉන්ධන ගැටලුව නිසා ධීවර කර්මාන්තයට ගැටලු රැසක් ඇති වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

පෑලියගොඩ මාළු ව්‍යාපාරිකයකු වන ගාල්ලේ ධනුෂ්ක ද පැවසුවේ ඉන්ධන මිල වැඩි වීම හමුවේ මුහුදු ගමන් අඩු වීමත්, මාළු බෙදාහැරීම සඳහා ප්‍රවාහන දුෂ්කරතා ඇති වීම නිසාත් සමස්ත ධීවර ප්‍රජාවටම තම වෘත්තියේ නිරත වීමෙන් සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභයක් අත් කර ගැනීමට නොහැකි වී ඇති බවයි. සුපුරුදු ජීවන වෘත්තිය අත්හැරීමට ඇති අකමැත්ත නිසා විවිධ දුෂ්කරතා විඳ දරා ගෙන තමන් ඇතුළු බොහෝ ධීවරයන් හා මාළු ව්‍යාපාරිකයන් තවමත් මෙම ක්ෂේත්‍රයන්හී නිරතවී සිටින බව ද ඔහු සදහන් කළේය.

ධනුෂ්ක මෙන්ම පෑලියගොඩ තවත් මාළු ව්‍යාපාරිකයන් කීපදෙනෙකු වන මැග්ලන්, නයාද් හා උපුල් ද අප සමඟ කී පොදු කතාව වූයේ දැනට මාළු වෙළෙඳාමේ ඇති ප්‍රගතිය ඉදිරියේදීත් දකින්නට අපේක්ෂා කරන බවයි. ඔවුන් හැම දෙනාගේම පොදු ඉල්ලීම වූයේ පාරිභෝගික ජනතාවට අවශ්‍ය මාළු වර්ග සාධාරණ මිලකට අලෙවි කිරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන මිල අඩු වීමක් ලබා දීමට රජය විසින් කටයුතු කළ යුතු බවයි.

එහිදී අපට හමු වූ මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණ සිටි පාරිභෝගික කාන්තාවක් වූ විජයලතා පවසා සිටියේ මාස ගණනාවක් වෙළෙඳපොළෙහි පැවැති මිල ගණන්වලට වඩා මාළු මිල සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු වී තිබීම තමන් ඇතුළු සමස්ත පාරිභෝගික ජනතාවටම හිමි වූ අස්වැසිල්ලක් බවයි.

මේ අතර ධීවර සංස්ථාව විසින් අලෙවි කරනු ලබන මාළු මිල ගණන් ද ජනතාවට දරා ගත හැකි අයුරින් මේ වන විට පහත බැස ඇති අතර දිවයින පුරා ස්ථාපිත කර ඇති ධීවර සංස්ථා අලෙවිසල් 98 කින් පාරිභෝගිකයන්ට පහසු මිලට නැවුම් මසුන් මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව ධීවර සංස්ථාවේ මෙහෙයුම් සහකාර කළමනාකරු දමිත් දිවාරත්න සඳහන් කළේය. පාරිභෝගික ජනතාවට නැවුම් අත්දැකීමක් ලබා දෙමින් ඌබර් සහ පික්මී සේවාවන් වෙතින් ද මාළු ඇණවුම් කර මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසා දීමට ධීවර සංස්ථාව මේ වන විට කටයුතු යොදා තිබේ.කෙසේ වුවත් දමිත් දිවාරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ විවිධ වෙළෙඳපොළ සාධක මත මාළු වර්ගවල මිල ගණන් නිරන්තරයෙන්ම අඩු වැඩි වන බවත් කවර තත්ත්වයක් යටතේ වුවද පාරිභෝගික ජනතාවට අවශ්‍ය ගුණාත්මක හා ප්‍රමිතියෙන් යුත් මාළු වර්ග සාධාරණ මිලකට අලෙවි කිරීම සඳහා ධීවර සංස්ථාව සෑම අවස්ථාවකදීම කැප වී කටයුතු කරන බවත්ය.

ඡායාරූප-දුෂ්මන්ත මායාදුන්න

Comments