රට පෙරළන්නට හැදූ ‘ඩීන් ඩියම්’ කුමන්ත්‍රණයේ මුල මැද අග | Page 2 | සිළුමිණ

රට පෙරළන්නට හැදූ ‘ඩීන් ඩියම්’ කුමන්ත්‍රණයේ මුල මැද අග

ඝාතනයට ලක් වූ ඩීන් ඩියම් සහ ඩීන් ඩියම් ඝාතනය ලංකාවේ පුවත්පත් වාර්තා කර තිබූ අයුරු

සුගිය බදාදා පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයක අරගලය හා සම්බන්ධ උද්ඝෝෂණ මෙන්ම ඒවා සංවිධානය කරන දේශපාලන ව්‍යාපාර පිළිබඳවත් කළ ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක් වී ඇත.

රැස්වීම්, විරෝධතා, පාගමන් නීත්‍යානුකූල විදියට කරන්න. මම ඒකාධිපතියෙක් කියලා ඕන තරම් කෑ ගහන්න. කමක් නැහැ. මම එකක් කියන්න ඕනෑ, බලපත්‍රය අරගෙන පාරට එන්න. ඒත් කවුරු හරි හිතනවා නම් බලපත්‍රයක් නැතිව තව අරගලයක් කරන්න පුළුවන් කියලා ඒක නවත්වන්න. මම මේ පිළිබඳ පොලිසියට කියලා තිබෙනවා. ආණ්ඩුව වෙනස් කරන්න අරගලයක් කරනවා නම් මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. මේ රටේ ඩීන් ඩියම්ලාට තැනක් නැහැ. හින්දු පූජකවරුන්ට තර්ජනය කළා. මුස්ලිම් අයටත් එහෙමයි. කතෝලික රදගුරු සභාවත් කිව්වා අපි ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි කියලා. එතකොට කොයි ආගමික නායකයන් ද මේ අයත් එක්ක හිටියේ. අපි කොහොමත් කැමති නැහැ මේ රට ඩීන් ඩියම් පාලනයකට ගෙනියන්න. ඩීන් ඩියම්ලටත්, ඒ වටේ ඉන්න අයටත් මම ඉඩ දෙන්නේ නැහැ.

ජනාධිපතිවරයාගේ කතාව පාර්ලිමේන්තුවේ ගැලරියේ සිට අසා සිටි උදවියගේත්, මැති ඇමතිවරුන්ගේත් දෙසවනේ ඉන්පසු දෝංකාර දුන් නාමය වූයේ,

ඩීන් ඩියම් / ඩීන් ඩියම්// ඩීන් ඩියම්/// 

ඩීන් ඩියම් යනු 1955 ඔක්තෝබර් 26 වැනිදා සිට 1963 නොවැම්බර් 2 වැනිදා දක්වා දකුණු වියට්නාමය පාලනය කළ පාලකයාය. ඔහු එකල හැඳින්වූයේ දකුණු වියට්නාමයේ, එසේත් නැත හොත් වියට්නාම් ජනරජයේ ජනාධිපතිවරයා වශයෙනි. වියට්නාමය බිහිවීමේ ඇත්ත කතාව නම් එය චීනයෙන් සහ ටිබෙටයෙන්ද පසු කල තායිලන්තයෙන් සංක්‍රමණය වූ මානව වර්ගයාගෙන් ගොඩනැඟුණ බවය.

ඩීන් ඩියම්ගේ නමේ ඇති ඩියම් වියට්නාමයේ 'ඩියන්' නම් ප්‍රාදේශීය නාමයකි. ප්‍රංශ යටත් විජිතවාදීහු වියට්නාමය අත්පත් කර ගැනීමේ අරමුණෙන් 1946 දෙසැම්බර්හිදී නැවත යුද්ධයක් ඇරඹුවේය. ළදරු වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව රැක ගැනීම සඳහා සටන් කිරීමට නැඟී සිටින ලෙස සමස්ත වියට්නාම් ජනතාවගෙන් ජනාධිපති හෝ චි මිං ඉල්ලා සිටියේය. හත් වසරක් පැවැති දේශ ප්‍රේමී යුද්ධය 1945 දී ඩියම් බියන් පූහිදී මහා කාහල නාදයකින් ජයග්‍රහණය කරන ලදී. ඩියම් බියන් පළාත ඩීන් ඩියම්ගේ උපන් බිම විය.

ඩීන් ඩියම් 1901 මධ්‍යම වියට්නාමයේදී උපත ලැබුවේ සාම්ප්‍රදායික වියට්නාම් කතෝලික පවුලක සාමාජිකයකු වශයෙනි. 1921දී උපාධිය ලබා ගැනීමෙන් පසුව තම වැඩිමහල් සහෝදරයා මෙන්ම වියට්නාම් සිවිල් සේවයට එක් වූ ඩීන් ඩියම් ක්‍රමයෙන් රට තුළ ජනප්‍රිය වූයේ කතෝලික ප්‍රජාව වෙනුවෙන් සිදු කළ සේවාව වෙනුවෙනි. ඩීන් ඩියම් පසුව එම ජනප්‍රියත්වයම පාදක කර ගනිමින් දේශපාලනයට පිවිසි අතර, ඔහුට ප්‍රංශය ද රෝමය ද ප්‍රමුඛ බටහිර රටවල ආශිර්වාදය නොඅඩුව හිමි විය. එහි අවසන් ප්‍රතිඵලය වුයේ 1953දී වියට්නාමය ප්‍රංශයෙන් නිදහස ලැබීමත්, රටේ බලය ඇල්ලීමට මහා රැල්ලක් සේ නැඟී එන වාමාංශික ජනතාවගෙන් වියුක්ත වූ ධනවාදී බලවේග අතට දකුණු වියට්නාමයේ බලය හිමි වීමත්ය.

වියට්නාමය ඉතිහාසය පිරික්සන විට ප්‍රංශය දහ අටවන ශත වර්ෂයේ මුල් භාගයේ සිටම වියට්නාමය ඩැහැ ගැනීමට මාන බැලුවත් ඔවුන් එය සාර්ථක කර ගන්නේ 1861 බව පෙනේ. එකල දකුණු වියට්නාමය හැඳින්වූයේ කොචින් චයිනා (Cochin china) යන නාමයෙනි. ප්‍රංශය කොචින් චීනයේ අග නගරය සයිගොන් බවට පත් කර ගැනීමෙන් නොනැවතී එය දෙවන පැරිසියක් ලෙස ගොඩනැඟුවේය. මේ නිසා සයිගොන් නගරයේ බැලු බැලූ අත දක්නට ඇත්තේ පශ්චාත් යටත් විජිත ලක්ෂණය.

හෝ චි මිංද සහභාගී වූ ජිනීවා සාකච්ඡාවලින් සිදු වූයේ රට දෙකඩ වීමය. ප්‍රංශය තම හමුදා ඉවත් කර ගත්තේය. උතුරු වියට්නාමය හෝචි මිංගේ නායකත්වයෙන් යුතු වියට්මිං කොමියුනිස්ට්වරුන්ගේ පාලනයට ඉඩ දෙන ලදී. එහෙත් දකුණු වියට්නාමය කොමියුනිස්ට් විරෝධී බටහිර බලවේගවල රූකඩ ආණ්ඩුවක් අටවා ගත්තේය. 1954 සැප්තැම්බර් 7 දා නරෝදම් මාලිගය දකුණු වියට්නාමයේ ජනාධිපතිවරයා වූ ඩීන් ඩියම්ගේ වාසස්ථානය බවට පත්විය. 1955දී ඩීන් ඩියම් වංචාකාරී ජනමත විචාරණයකින් වියට්නාම් රාජ්‍යයේ අධිරාජ්‍යයා වූ බාවෝඩායි පලවා හැරියේය. ඉන්පසු ඩීන් ඩියම් තමා වියට්නාමයේ ජනරජයේ ජනාධිපතිවරයා බවට ප්‍රකාශයට පත් කර ගනිමින් නරෝදම් මාලිගය නිදහස් මන්දිරය (Indepedence palace) ලෙස නම් කරන ලදී. මෙම මාලිගය පිහිටුවා තිබෙන්නේ මකරකුගේ හිස මත යැයි යන විශ්වාසය මත පිහිටා එයට මකර හිස මන්දිරය යැයි ද හඳුන්වනු ලැබේ.

වියට්නාම් ප්‍රබල කතෝලික පවුලක උපන් ඩීන් ඩියම් එක් සහෝදරයකු වූ ඩීන් තක් කතෝලික සභාවේ බලගතු අගරද ගුරුවරයා විසින් බලයට ගේන්නට කතෝලික පල්ලිය සම්පූර්ණ සහයෝගය දුන් බව අමුතුවෙන් කිව යුතු නැත. ඩීන් ඩියම් වියට්නාමයේ බලයට පැමිණි මුල් කාලයේ ඇමෙරිකාව සමඟ ඉතා හොඳ මිත්‍රත්වය පවත්වාගෙන ගියේය. නමුත් ඩීන් ඩියම්ගේ පාලනය කාලයත් සමඟ දැඩි ඒකාධිපති ස්වරූපයකට පරිවර්තනය විය. මැතිවරණ කල් දැමීම, බෞද්ධාගමිකයන්ට වන හිංසා ආදිය නිසාම එතෙක් ඔහුට ලැබුණු බටහිර රටවල සහයෝගයත් නැතිවන්නට විය. ඩීන්ගේ වියට්නාම් පාලන සමයේ එරට විශාලතම ඉඩම් හිමියා ලෙස කතෝලික පල්ලිය හැඳින්විය. ඇතැම් කතෝලික පූජකවරුන් පෞද්ගලික හමුදා පවත්වා ගෙන යෑමට තරම් බලවත් විය. සිවිල් සේවයේ මෙන්ම හමුදාවේ ද ඉහළ තනතුරු සඳහා කතෝලිකයන් පත් කිරීමට ඩීන් පියවර ගත්තේය. ඉඩම් බෙදීම, ව්‍යාපාර සහනාධාර, බදු සහන ආදිය සියල්ලම කතෝලිකයන්ට පමණක් හිමි වූ අතර විදේශ සහනාධාර ආදියේ ද කතෝලිකයන් එකම උරුමක්කරුවන් විය. ඩීන්ගේ ක්‍රිස්තියානි ගැති ප්‍රතිපත්තිය නිසා බහුතරය වූ බෞද්ධ ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්වු අතර, ඔවුන්ට බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය පවා නීතියෙන් තහනම් විය. ඩීන් ඩියම් ගිය මඟ ගිය අපේ අරගලකරුවන් අරගලය හැඳින්වූයේ ආදරයේ අරගලය ලෙසය. ඒත් ඩීන් ඩියම්ගේ වියට්නාම් භාෂාවෙන් මම ඔබට ආදරෙයි පැවසීම එසේ මෙසේ කටයුත්තක් නොවේ.

වියට්නාම බසින් මා ඔබට ආදරෙයි යන්න පැවසීම දුෂ්කර එම භාෂාවට එතරම් ප්‍රසන්න නොවන නිසා නොවේ. මම ඔබට ආදරෙයි පැවසීමට අවශ්‍ය මම හා ඔබ වැනි අරුතැති වචන වියට්නාම් භාෂාවේ නොවන බැවිනි. වියට්නාමයේ වැසියන් ඔවුන් එකිනෙකා අමතන්නේ ඔවුන්ගේ වයස් සීමා අනුවයි. වියට්නාම බසින් වැඩිහිටි සහෝදරයන් ඇමතීමට ඔවුන් "anh" යන්නත් වැඩිමල් සහෝදරියන් හැඳින්වීමට "chi" යන්නත් බාල සහෝදර සහෝදරියන් හැඳින්වීමට "em" යන්නත් භාවිත වේ. මිතුරකු හමුවූ විගස වියට්නාම ජාතිකයන් ඔවුන්ගේ වයස විමසන්නේ මේ හේතුව නිසාය. එවිට අදාළ වයස් සීමාව අනුව සුදුසු සර්වනාම පද යොදා අදාළ පුද්ගලයන් ඇමතීමට වියට්නාම වැසියන්ට හැකි වේ. ඒත් ඉතින් ඩීන් ඩියම් තාලේ අපේ ආදරයේ අරගලයේදී දමිතාට නම් කතා කළේ බොහෝ අය අක්කා හෝ නංගි කියාය.

ගෝලෆේස් අරගලයෙන් පසු හිටපු ජනාධිපති ගෝඨාභය ඉවත්වීම ගැන ජන අරගල ක්‍රියාකාරී නීතිඥ නුවන් බෝපගේ එදා දිනමිණට පැවසූයේ මෙසේය.

මෙරට මහජනතාව තමන් වෙත එල්ල වූ ආර්ථික පීඩනය සහ දේශපාලන ක්‍රමයේ වෙනසක් සඳහායි මේ ජන අරගලය ක්‍රියාත්මක කළේ. ජනාධිපති රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව ඉවත් වෙන්නෙම තුන් මසක් පුරා ක්‍රියාත්මක වූ මහජන අරගලයක ප්‍රතිඵලයක් විදියටයි.

ඉතිහාසයේ සිදු නොවූ ආකාරයේ මහ ජනතා බලවේගයක් අරගලය වටා එකතු වුණා. සාමාන්‍යයෙන් සිදු වෙන්නේ එක් පක්ෂයක්, පෙරමුණක් මෙවැනි විරෝධතාවක් සඳහා එකතු වීමයි. එහෙත් ගෝල්ෆේස් භූමිය මූලික කරගෙන ඇරැඹි මේ ව්‍යාපාරය හුදු විරෝධතා ව්‍යාපාරයකින් බැහැරව පක්ෂ දේශපාලනයෙන් එපිටට ගිය මහජන අරගලයක් බවට පත් වුණා. අද ජනාධිපතිවරයා ඉවත්ව සිටින්නේ මේ මහජනතා අරගලයේ ප්‍රතිඵලයක් විදියටයි.

ලංකාවේ 'ඩීන්' පන්නයේ සිවිල් අරගලයක් එන බවට මුලින්ම පුවත්පත්වල පළ වූයේ 2018.5.25 දිනදීය. එයින් කියවුණේ ආරක්ෂක මණ්ඩලයට මේ ගැන තොරතුරක් ලැබී ඇති බවය. ඒත් පසු දිනම ආරක්ෂක මණ්ඩලය එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කළේ මෙසේය.

ඊයේ (2018.05.25) දිනමිණ හා ලක්බිම පුවත්පත්වල පළවී ඇති 'සිවිල් අරගලයකට පසුබිම හදන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබන්න' සහ 'රට බෙදන වැඩ ගැන ආරක්ෂක අංශ සීරුවෙන්' යන සිරස්තල යටතේ පළ වූ ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නැත. අදාළ ප්‍රවෘත්ති වාර්තාව අනුව ඊට පදනම්ව ඇත්තේ පසුගියදා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වූ කරුණක් බව සඳහන් වී ඇතත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව හෝ ජන ජීවිතයේ ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනයක් පිළිබඳව ආරක්ෂක මණ්ඩලයට කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති පසුබිමක එම පුවතේ සඳහන් වී ඇති ආකාරයට ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට කිසිදු හේතුවක් ඇති නොවීය.

එබැවින් මේ ප්‍රවෘත්තිය කිසියම් පුද්ගලයෙක් හෝ සංවිධානයක් විසින් නිර්මාණය කර මාධ්‍ය ආයතන වෙත යොමුකර ඇති අසත්‍ය ප්‍රවෘත්තියකි. මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවේ කවුරුන්ද යන්න පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කර වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇත.

ඒත් ආරක්ෂක මණ්ඩලය ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කොට වසර 4ක් ගිය තැන 2022 මැයි 9 වැනිදා ඇතිවූ තත්ත්වය දැන් සැලකිල්ලට ගත යුතුව ඇත. අන්තිමට අරගලය මෙහෙය වූ උදවිය දේශපාලන පක්ෂයක් පවා හදන්නට යත්න දැරීය.

ඩීන් ඩියම් සරණ ගිය අරගලකරුවන් 'ජන අරගලයේ පුරවැසියෝ' නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලදී. ඒ අනුව අදාළ පක්ෂය ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත බාර දෙන ලදි. ඇතැම් කල්ලි කණ්ඩායම් අරගලය අපයෝජනය කිරීමට උත්සාහ දැරුවත් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් අඛණ්ඩවම පෙනී සිටින බව ජන අරගලයේ පුරවැසියෝ පක්ෂයේ ලේකම් චානක බණ්ඩාර එදා පැවසූ බව අද කාටත් අමතකය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවැම්බර් 23 බදාදා පැවැත්වූ කතාවේ තවත් කොටසක මෙසේ සඳහන් විය.

"මම අගමැතිවරයාගේ කතාවටත් ඇහුම්කන් දුන්නා. අද අපි වාසනාවන්ත වෙලා තිබෙනවා මේ සභාවේ සාමාන්‍ය විදියට වාද විවාද කරන්න.

මේක හැම රටකම කරන දෙයක්. ඒත් මැයි 09 වැනිදා සහ ජූලි 13 වැනිදා අතර මෙවැනි සාමාන්‍ය තත්ත්වයක් තිබුණේ නැහැ. මැයි 09 වෙනිදා සිදුවීම පිළිබඳ දැන් අපි උසාවියට ගිහින් තිබෙනවා. එක මන්ත්‍රීවරයෙක් මහපාරේ අමු අමුවේ මරා දැමුවා. අනික් මන්ත්‍රීවරයා තමයි 'ගෝඨා ගෝ හෝම් කියලා' ඉස්සෙල්ලාම කිව්වේ.

එතුමා අනූ නවයෙන් බේරුණේ. කොහොමද අපි මේක අනුමත කරන්නේ. මෙවැනි සිදුවීම්වලට අපි සම්පූර්ණයෙන් විරුද්ධ වුණා. ඊට කලින් සතියේ අපි කතා කරන කොට එතුමා කිව්වා ආණ්ඩුව වැට්ටවිය යුතුයි කියලා. එහෙම කියපු කෙනාව කාර් එකේ දාලා ගිනි තියන්න හදනවා. මේ ආණ්ඩුව වට්ටනව ද, ගෝඨාභය රාජපක්ෂ එක්ක ද, මහින්ද රාජපක්ෂ එක්ක ද හිටියේ මේවා ඇතුළේ විසඳාගත යුතු ප්‍රශ්න. කවුරුත් මරා ගන්න අවශ්‍ය නැහැ.

ජනාධිපතිවරයා මේ පවසන්නේ ඩීන් ඩියම් සරණ ගිය ආදරයේ අරගලකරුවන් මැති ඇමතිවරුන්ගේ දේපළවලට කළ හානිය ගැනය. අරගල පැවති ඉකුත් මැයි නව වැනි දින ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨසවල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ඇතුළු දේපොළවලට අරගලකරුවන් පහරදීමෙන් වූ අලාභය රුපියල් 77 කෝටි 65 ලක්ෂ 67,000 ක මුදලක් බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පසුව ඇස්තමේන්තු කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී. දොලවත්ත, ගීතා කුමාරසිංහ, ජයන්ත කැටගොඩ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු‍, බන්දුල ගුණවර්ධන, ජගත් කුමාර, සීතා අරඹේපොළ, රෝහිත අබේගුණවර්ධන හා ගාමිණී ලොකුගේ යන අයගේ නිවෙස් සහ දේපොළවලට එලෙස අලාභ හානි වී තිබුණි. නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ නිවෙස් නවයක් ඇතුළු දේපොළ මෙන්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිවෙස් හතරක් ඇතුළු දේපොළවලට එම අලාභය සිදු වී ඇතැයි ගණන් බලා ඇත. ඉන් අලාභ හානි වීම් අතර වාහන රැසක් ද වේ.

ඩීන් ඩියම් තාලේ මේ ගිනි තැබීම් මේ අරගලකරුවන් ඉගෙන ගත්තෙත් වියට්නාමයෙන් විය යුතුය.

ඩීන් ඩියම්ගේ වියට්නාම සාම්ප්‍රදායික ආගමික විශ්වාසය අනුව මරණය යනු ජීවිතයේ අවසානය නොවේ. එය මෙම ආත්මයෙන් පසු මෙම ආත්මය හා සමාන වෙනත් ජීවිතයක් කරා යාමක් පමණක් බව ඔවුන් විශ්වාස කරති. ඒනිසා මරණින් පසු අලුත් ජීවිතය ද සුව පහසු ලෙස ගත කිරීමට ඔවුන්ට මේ ආත්මයේ මෙන් ගෘහ භාණ්ඩ, යන්ත්‍රෝපකරණ ආදී සියල්ල අවශ්‍ය බව ද වියට්නාම විශ්වාසයි. මිය ගිය ඥාතීන්ට එවැනි දෑ යැවීම ඔවුන්ට එතරම් දුෂ්කර කටයුත්තක් නොවේ. වියට්නාමයේ යමෙක් මියගිය විට ඔහුගේ ඥාතීහු ඔහුට මරණින් පසු ජීවිතයට අවශ්‍ය ගෘහ භාණ්ඩ හා යන්ත්‍රෝපකරණවල කඩදාසි අනුරූ මිලට ගෙන ඒවා පුලුස්සා දමති. ඒවා පිලිස්සීම සමඟ ඇතිවන දුමාරයෙන් එම භාණ්ඩ හා උපකරණ සිය මිය ගිය ඥාතියා වෙත ළඟා වන්නේය යන්න වියට්නාමයේ සාම්ප්‍රදායික විශ්වාසයයි.

ඩීන් සරණ ගිය ලංකාවේ ආදර අරගලකරුවන්ට මරාගත හැකි වූයේ එක් මන්ත්‍රිවරයකු පමණි. අරගලකරුවෝ මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ වියට්නාම් තාලයට ගෙවල් ගිනිබත් කළේ ඔවුන් පරලොව යැවීමට බලාපොරොත්තුවෙන් විය යුතුය. නුමත් අපේ මැති ඇමැතිවරුන් පරලොව නොගිය බැවින් මරණින් පසු අලුත් ජීවිතයට සැප පහසු ලෙස ගත කරන්නට ගිනි තැබු නිවාස, ගෘහභාණ්ඩ, වාහන ඇතුළු ගෘහ භාණ්ඩ ප්‍රයෝජනයක් වුණේ නැත.

අරගලකරුවන්ට ගෝල්ෆේස් භූමිය තෝතැන්නක් විය. ඊටත් වඩා එය කොළඹ නවතින්නට පංකාදු ස්ථානයක් විය. ගංජා ගහක් ද වවා තිබුණේ ඒ නිසාය. තව ටික දවසක් ගෝල්ෆේස් අරගල තිබුණා නම් ළමයි ඉස්කෝලේ දාන්නට වරිපනම් අංක මෙන්ම ග්‍රාම සේවක සහිතක අරගෙන හමාරය. අරගලය හේතුවෙන් ගාලුමුවදොර ආශ්‍රිතව ගෝඨා ගෝ ගම නමින් ස්ථාපිත කර තිබු අරගල භූමියට සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 49 ක් පමණ වන බව නාගරික සංවර්ධන අධිකාරිය පසුව තත්සේරු කරන ලදී. එම භූමිය නැවත සැකසීම සහ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක් සහ එහි තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ හතළිස් හමාරක් වැය වන බව නාගරික සංවර්ධන අධිකාරිය සකස් කළ තක්සේරු වාර්තාවෙහි සඳහන් වේ. නාගරික සංවර්ධන අධිකාරියට අයත් ගෝල්ෆේස් පිට්ටනිය ආශ්‍රිත ප්‍රදේශයට කළ හානියට වන්දි අරගලකරුවන්ගෙන් අය කර ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විෂය භාර ඇමැති ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේ ඉන් පසුවය.

ගෝල්ෆේස් අරගලකරුවන් කාගේවත් අතේ බෞද්ධ කොඩි තිබුණේ නැත. ආදරයේ අරගලකරුවන් බෞද්ධ කොඩිය අතහැරියේ ඩීන් සරණ යමින් විය යුතුය. ඩීන් බෞද්ධ කොඩිය වියට්නාමයේ තහනම් කළේය. 1963 මැයි මාසයේ එකී බෞද්ධ කොඩි තහනමට විරෝධය පළ කළ නිරායුධ බෞද්ධයන් 9 දෙනෙකු අමාමහ නිවන් සුව පතා පරලොවට වැඩම්මවීමට ඩීන් ඩියම් රෙජිමය සමත් විය.

ඩීන් ඩියම්ට අහිමි වූ ප්‍රබලතම සහය වූයේ ඔහුගේම රටේ ජනතාවගේ සහය විය. කතෝලිකයකු වූ ඩීන් ඩියම්ට බහුතර බෞද්ධ වියට්නාම් ජනතාවගේ හද ගැස්ම හඳුනා ගැනීමට නොහැකි වූ අතර, ඔවුන්ට ඔහු ප්‍රජා පීඩක, මර්දක පාලකයකු පමණක් විය. සැබවින්ම ඩින් ඩියම් බෞද්ධ මර්දනයක් ගෙන ගිය අතර එයට විරෝධය පාමින් එරට බෞද්ධ භික්ෂුවක් වූ ක්වාන්ග් ඩක් තම සිරුරට ගිනි තබා ගැනීමෙන් පසු ඩින් ඩියම්ට එරෙහිව පැවති ජනතා මතය මහා සුනාමියක් සේ නැඟී එන්නට විය.

තම සිරුරට ගිනි තබා ගත් පසුදා භාවනායෝගීව සිටින ක්වාන්ග් ඩක් භික්ෂුවගේ ඡායාරූප දුටු එවකට ඇමරිකා ජනාධිපති රොනල්ඩ් රේගන් පවසා ඇත්තේ මේ ඡායාරූප මුළු ලෝකයේම කැළඹීමක් ඇති කිරීමට සමත් වනු ඇති බවයි. සැබවින්ම එම අනාවැකිය සත්‍ය වූයේ බහුතර බෞද්ධ වියට්නාම් ජනතාවගෙන් එල්ල වූ ප්‍රබල විරෝධතාවන් හමුවේ ඩින් ඩියම් පසුබෑමට ලක්වූ බැවිනි.

ඩීන් ඩියම්ගේ ඒකාධිපති වියරුව අවසානයට පත්වන්නේ 1963 වර්ෂයේ ඇමරිකාවේ CIA සංවිධානයේ සහාය ඇතිව සිදු වන හමුදා කුමන්ත්‍රණයකිනි. එහිදී අල්ලා ගැනෙන ඩින් ඩියම් කුමන්ත්‍රණය ගැන දැනුම්වත් වූ අවස්ථාවේදී ඒ වන විට දකුණු වියට්නාමයේ සිටි ඇමෙරිකානු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අමතමින්, එමෙන්ම තානාපති කාර්යාලයෙන් උපදෙස් පතමින් තම ජීවිතය බේරා ගැනීමට ඩීන් ඩියම් උත්සාහ දැරුවද එය සාර්ථක වූයේ නැත. දකුණු වියට්නාමයේ ජීවත් වූ, සමාජවාදි අදහස් ප්‍රිය නොකළ එහෙත් බෞද්ධ වියට්නාම් ජාතිකයන්ගේද සහය හිමි වූ ආණ්ඩු විරෝධී ක්‍රමන්ත්‍රණයක් සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ එවකට දකුණු වියට්නාමයේ ජනාධිපති වූ ඩීන් ඩියම්ට වෙඩි තබා මරා දැමීමයි.

අප අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ මෙවැනි චරිතයක් ජනාධිපතිවරයා තම ප්‍රකාශය සඳහා ඈඳා ගැනීමෙන් ඔහුට අදහස් කරන්න අවශ්‍ය වූයේ කුමක්ද කියාය. පසුගිය වකවානුවේ වු දේශපාලන සංසිද්ධි එකිනෙක විමසා බලන විට පෙරටුගාමි සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකාවේ ඇතැම් කතෝලික නායකයන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් අන් කවරදාටත් වඩා දේශපාලනික වශයෙන් ක්‍රියාකාරීව සිටිනු දැකගත හැකි වූ අතර ඔවුන් සෘජුවම ආණ්ඩුවට එරෙහිව කටයුතු කළේ විවේචනය කරන ලද්දේ සාහසික ලෙසය.

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය පසු ජේ.ආර්ගේ මතය වුයේ ප්‍රේමදාස දේශපාලනය හා යුද්ධය පටලවා ගැනීම මරණයට හේතු වී ඇති බවය. අද ආගමික නායකයන් හා දේශපාලනඥයන් පටළවා ගෙන ඇත්තේ ආගම හා දේශපාලනයයි. ආගම ස්ථානය ගත විය යුත්තේ පෞද්ගලික වසම තුළ මිස දේශපාලන න්‍යාය පත්‍රයක් තුළ නොවේ.

ගෝල්ෆේස් අරගලයට රාජ්‍ය නොවන සංවිධාන හරහා විදේශීය කතෝලික මාෆියාවේ මෙන්ම එන් ඕ බලවේග විසින් ඩොලර් පොම්ප කරන ලද්දේ මිලියන ගණනකි. ඇතැම් කතෝලික නායකයන් අරගලයට සෘජුවම සහය දක්වමින් තම ගම් පළාත්වලින් පෙළපාලියෙන් අරගල භූමියට එන්නට කතෝලික බැතිමතුන් පොලඹවන ලදි. ජනසන්නිවේදන මාධ්‍ය හරහා එකී කතෝලික නායකයන් එම අරගලය පුන පුනා පුණ්‍ය කාර්යයක් ලෙස හුවා දක්වන ලදි. අරගලයට පොම්ප කරන ලද ආක්‍රමණකාරී කතෝලික බලවේගවල මූල්‍ය සත්කාරයෙන් ඩොලර් මිලියන ගණනක් එහි සිටි ජනතාවට තම සිතැඟි පරිදි බුදින්නට ආහාර පාන, ආදිය මෙන්ම සියලු සනීපාරක්ෂක පහසුකම් පවා ලැබුණේ හිතාගත හැකි නොවන තරම් කඩිනමිනි. ඊටත් වඩා එහි අරගලයන්ට එක්වුවන් කැඳවා බියර් කෑන් හා අරක්කු බෝතල්වලින් පසු දින නගර සභා කුණු ලොරියට ගෝනි හතර පහක් වැරදුණේ නැත. විශේෂයෙන්ම අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල පවතින මන්දගාමීත්වය නිසාම ඒ වෙනුවෙන් සාධාරණය පවතින රජයෙන් බලාපොරොත්තු නොවිය හැකි බව දිගින් දිගටම ප්‍රකාශ කරන ඒ පාර්ශ්ව වර්තමාන රජය පෙරළා දමා අලුත් පාලනයක් ස්ථාපිත කිරීම පිළිබඳව අදහසක එල්බ ගෙන සිටින බවට එය කදිම ඉඟියකි. අරගලයේ පාර්ශ්ව සඳහා පවතින මහජන ප්‍රසාදය ඒ වෙනුවෙන් යොදා ගැනීමට ඔවුන් උත්සුක වනවා වන්නට පුළුවන.

ආගමික කල්ලියක උදව්වෙන් බලයට පත්ව පසුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රේණුවක විශ්වාසය නොතිබූ ඩීන් ඩියම් වැනි ඒකාධිපතියකුට මෙරට බිහි වීමට ඉඩ නොදෙනවා යන්නෙන් ජනාධිපතිවරයා අදහස් කරන්නේ ඇතැම් විට මේ තත්ත්වය විය හැකිය. තවද ඩීන් ඩියම් සහ ඒ පාර්ශ්ව අතර පවතින බොහෝ සමානතා මේ උදාහරණයෙහි පවතින නිවැරදි බව තවත් තීව්‍ර කරයි.

ඩීන් ඩියම් ද බලයට පැමිණීමට පෙර සිටම බලය ඩැහැ ගැනීමට නොයෙක් ආකාරයේ උත්සාහ දැරුවේය. අවසානයේ ඔහුට බලය ගැනීමට උපකාර කළේ කතෝලික පල්ලියය. බලයට පැමිණි පසුව ඔහු ප්‍රජාතන්ත්‍ර විරෝධීව මැතිවරණ නොපවත්වා ඒකාධිපතියකු ලෙස කටයුතු කළේය. මෙරටෙහි ද ඇතැම් පාර්ශ්ව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාස නොකරන බව එළිපිට පැවසීම පසුගිය දිනවලදී දැක ගැනීමට හැකි වීම ඩීන් ඩියම්ලාගේ අවතාර අප අතරද සිටින බවට නිදසුන් ය.

අතීතය පිරීක්සීමේදි පැහැදිලිව ඒත්තු ගැන්වෙන කරුණක් වන්නේ ආගම හා දේශපාලනය පටළවා ගැනීමෙන් රටක් ලෙස බොහෝ දෑ අපට අහිමි වී ගිය බවය. සියලුම ආගමික භාක්තීන්ට වඩා රටක් පාලනයේදී උත්තරීතර සාධකය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන්නා සියලු ආගම්වලට ගරු කරයි. ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන ඩීන් ඩියම් මොඩලයේ පාලකයන් හා ඊනියා ආගමික නායකයන් විසින් සාමකාමී නිරායුද සර්ව ආගමික පුරවැසියන්ට යහපතක් කිසිසෙත් උදා නොකෙරෙන බව ඉතිහාසය සාක්ෂි දරනු නියතය.

රටවල් දෙකක දෙපා තබා ගෙන සිටින කුමාර් ගුණරත්නම් ඇතුළු පෙරටුගාමිකයන්ගෙන් ද, බටහිර බළල් අත්වලින් නැටවෙන පල්ලිවාදී මාෆියාවක් ද, එය සරණ ගිය චීවරධාරී බලගාමී උන්මත්තකයන්ගේත්, අරගලය තුළ අදෘශ්‍යමානව හැසිරුණු ඇමෙරිකානු තානාපතිනියගේත් ඩීන් ඩියම් පන්නයේ රට පෙරළන කුමන්ත්‍රණය පරාජය කරන්නට හැකි වූයේ ජනපති රනිල් වික්‍රමසිංහයන්ගේ දුර දක්නා නුවණින් සිය දේශපාලන ඥාණය මෙහෙය වූ නිසාය.

වෙනත් අයුරකින් කියන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයට පත් වුයේ මේ රටේත්, ජාතියේත් වාසනාවටය. එසේ නොවන්නට ඉහත කී ඩීන් ඩියම්ලා පන්නයේ මෙරටේ බොදු උරුමයත්, ජාතික උරුමයත් වලපල්ලට යවමින් අධිරාජ්‍යවාදී එන්.ජී.ඕ. සාහසිකත්වයට පල්ලිවාදී මාෆියාවට ඔටුනු පළඳවනවා නිසැකය. මොවුන් සියලු දෙනා එකතු වී මෙරට වනසන්නට හැදුවේ එහෙමය.

ඒ කුමන්ත්‍රණයේ අල ගිය මුල ගිය මෙන්ම මුල ගිය තැන් සියල්ලම මේ වන විට හෙළිදරව් වී හමාරය. ජනපති රනිල් පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී ඩීන් ඩියම් කරළියට ගෙන එමින් හෙළි කළේ ඒ තිත්ත ඇත්තය.

Comments