ලාවට නොසැලකිය යුතු ලාදුරු | Page 2 | සිළුමිණ

ලාවට නොසැලකිය යුතු ලාදුරු

ලාදුරු' යන නම ඇසු පමණින්ම සිතට අසීමිත බියක් දැනෙන තරමට සමාජය තුළ ව්‍යසනයක් ඇති කිරීමට සමත් දරුණු රෝගයක් වන ලාදුරු රෝගය හේතුවෙන් අතීතයේ මෙරට වැසියන් දුක් විඳි අවස්ථා එමටය. කාලයාගේ ඇවෑමෙන් ලාදුරු නාමයත් කොයිකාටත් අමතකව ගියේ එම රෝගය සමාජයෙන් තුරන් වු බැවිනි. එහෙත් ඒ පිළිබඳව මේ දිනවල සමාජයේ කතිකාවතක් ඇති වී ඇත්තේ 2000 වසරේ සිට මේ දක්වා ළාදුරු රෝගීන් 40000ක් හා මෙම වසරේ පසුගිය මාස දහයක කාලය තුළ රෝගීන් 1010ක් මෙරටින් වාර්තා වීමත් හේතුවෙනි. පසුගිය වසරේ කොළඹින් ලාදුරු රෝගීන් 438ක් වාර්තා වු අතර කොළඹ, මඩකලපුව, අම්පාර හා කළුතර දිස්ත්‍රික්ක වලින් වැඩි රෝගී ප්‍රතිශතයක් වාර්තා විය. 

ශ්‍රී ලංකාවේ ලාදුරු මුලින්ම වාර්තා වූයේ 1708 දීය. ලන්දේසි පාලකයන් මුලිකවී අග්නිදිග ආසියානු කලාපයේ ප්‍රථම වරට මේ සඳහා වෙන්වූ විශේෂ රෝහලක් එවක හැඳල ප්‍රදේශයේ ඉදි කෙරුණි. අක්කර 12 සිසාරා බිම්කඩක මෙය ඉදිවූ අතර 'ලාදුරුවත්ත' නමින් ජනප්‍රවාදයේ පැවතෙයි. රෝහලට අමතරව පන්සල, පල්ලිය, කෝවිල, පාසල, හිරගෙදර මෙන්ම කනත්තද එම භූමියේම වෙයි. ලාදුරු පාරම්පරික රෝගයක් ලෙස සලකතත් එය පාරම්පරික රෝගයක් නොවේ. ඉතා හෙමින් වර්ධනය වන මයික්‍රොබැක්ටීරියම් ලෙප්රි නම් බැක්ටීරියාවක් නිසා ලාදුරු හටගැනෙන බව නෝවේජියානු විද්‍යාඥයකු වන හැන්සන් බැසිලස් විසින් සොයා ගන්නා ලද්දේ මීට වසර 135ක් එහාදීය.

සෑම වසරකම ජනවාරි 25 දා ලෝක ලාදුරු දිනය ලෙස වෙන්කර විවිධ වැඩසටහන් හා පර්යේෂණ මගින් සායන හා පර්යේෂණ සිදු කිරීම තාමත් සිදු කෙරේ. සුදු හෝ රතු පැහැති සාමාන්‍යයෙන් සමේ ඇතිවන සංවේදනයෙන් තොර ලප මෙහි මූලික රෝග ලක්ෂණ වේ. ලප 5ට අඩු නම් එය බෝ නොවන වර්ගයේ ලාදුරුය. ලප 5ට වැඩි නම් එය බෝවන වර්ගයේ ලාදුරු වේ. සමේ ඇති වන ගැටිති සහිත හෝ තඩිස්සිවීම්, ඇඟිලි වකුටුවීම් නිසා පාදයේ වළලුකරෙන් පහළ කොටස අප්‍රාණික වීම රෝග ලක්ෂණ වේ. රෝගියකුගේ කැස්සක්, කිවිසීමක් මගින් ශ්වසන පද්ධතිය හරහා පරිසරයට පිටවෙන වායු බිංදු මඟින් මෙම රෝගය තවත් කෙනකුට සංක්‍රමණය වේ. මේ අතර රෝගය වැලඳුණු පුද්ගලයකු ඇසුරු කිරීම මඟින් රෝගය නිරෝගී පුද්ගලයකුට ව්‍යාප්ත වීමට ඉඩ ඇත. බැක්ටීරියාව නිසා නිරෝගී පුද්ගලයකුගේ චර්මයට සහ පර්යන්ත ස්නායු පද්ධතියට බලවත් හානි පමුණුවයි. ශරීරයේ ඇතිවන ලප කැළැල් රන් පැහැ හෝ තඹ පැහැ විය හැකි අතර කැසීමක් නැති මෙම ලපවලට උණුසුම, ස්පර්ෂය, වේදනාව වගේ හැඟීම් අඩුවෙන් දැනිය හැකිය.

මෙයට මුල් යුගයේ බෙහෙත් නොමැතිය. රෝගීන් සියදිවි නසා ගන්නා තරම් අවාසනාවන්ත තත්ත්වයන්ට පත්වූ අතර, ලාදුරුවලට ප්‍රථම වතාවට ඩැප්සෝන් බෙහෙත් සොයා ගත්තේ 1940 දශකයේදීය. එම ප්‍රතිකාර ක්‍රම ලංකාවට පැමිණියේ 1980 දශකයේදීය.

1954 ලාදුරු මර්දන ව්‍යාපාරය ආරම්භ වී 1983 දී MDT ප්‍රතිකාර ක්‍රමය අරඹා ඇත. 1989 දී ලාංකිකයන් දැනුම්වත් කර රෝගය තුරන් කිරීම ඇරඹූ අතර 1997 දී ලෝක ජනගහනයෙන් මිලියන 1.15 ක් ලාදුරු ආසාදිතයන් බව සොයාගෙන ඇත. 

මුඩුක්කු වැනි තදාසන්නව වෙසෙන ප්‍රජාවගෙන්, සංචාරකයන්ගෙන්, ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගෙන්, අවතැන්වුවන්ගෙන්, බන්ධනාගාර රැඳවියන්ගෙන් මෙන්ම රෝගය බහුල ප්‍රදේශවල ජනතාවගෙන්ද බෝවිය හැකිය.

අධික තාපයකින් යුත් ගිනිදැල් ශරීරයේ ස්පර්ශ වුවද, නටන ලෝදිය බඳුනකට දෑත් දැමුවද ලාදුරු රෝගීන්ට නොදැනෙන තරම්ය. ඇතැමකුගේ අත්පය කොරවීමේ අවදානමක් ඇති අතර හැඟීම් දැනීම් නොමැති වීම නිසා විවිධ හේතු මත හටගත් තුවාල විශාල වී ඇඟිලි පුරුක් වණ වී ඇඟිලි හැළී ගියේය.

1995 දී මිනිසුන් ලක්ෂයකට ලාදුරු රෝගීන් 10 වන තරමට සීමා විය. 2009 සිට නැවතත් ලාදුරු හිස ඔසවමින් පවතින අතර මේ වන විට ලක්ෂයකට10.6 වන තරමට වැඩි වී ඇත. දශක දෙකකට ආසන්න කාල වපසරියක ලාදුරු යළි හිස ඔසවන බව කිව හැක්කේ සෑම වසරකම ලාදුරු රෝගීන් 2000 වාර්තා වීමයි. ඒ අනුව සෑම දිනකම ලංකාවේ ලාදුරු රෝගීන් පස් දෙනකු සොයා ගැනෙන අතර වැඩි පිරිස කොළඹ දිස්ත්‍රික්කයේය.

ලාදුරු රෝගීන් 1016 දෙනෙකු ඉකුත් මාස 10 තුළ මෙරටින් වාර්තා වීම නිසා ලාදුරු රෝගය සම්බන්ධයෙන් සමාජගත වී ඇති වැරදි ආකල්පවලින් මිදී යම් රෝග ලක්ෂණයක් වෙතොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ලාදුරු වලින් තොර රටක් ගොඩනැඟීමට සියලු දෙනා එක්වන ලෙස වැලිසර ලාදුරු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි. මීට වසර 40 පමණ පෙර ලාදුරුවලට ප්‍රතිකාර නොතිබූ අතර එවකට රෝගීන් නිරෝධායනය කොට විවිධ ක්‍රම හරහා රෝගය සුව කර ගැනීමට පිළියම් යොදා තිබුණු බවත් 1980 පසුව ඒ සඳහා පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සොයාගෙන ඇති බවත් වෛද්‍ය රණවීර මහතා කියා සිටී.

2000 වසරේ සිට මේ දක්වා ලාදුරු රෝගීන් 40000 පමණ මෙරටින් වාර්තා වී ඇති බවත්, එය 2019දී 1036 ක් ලෙසත්, 2022 දී 1016 ක් ලෙසත්. වාර්තා වු බවත් 2019 දී වාර්තාවු රෝගීන්ගෙන් 7% ක් පාසල් දරුවන් බවත්, එය මේ වන විට 14% දක්වා වර්ධනය වී ඇති බවත් කීය. වෛද්‍ය ප්‍රසාද් රණවීර වැඩිදුරටත් මෙසේ පැවසීය.

"ලාදුරු රෝගීන්ගෙන් 80% ගේම නිවසේ තවත් රෝගියෙක් ඉන්නවා. අධික ජන ඝනත්වයෙන් යුත් ප්‍රදේශවල ජීවත් වීමත් ළඟ ළඟ පිහිටි කුඩා නිවාසවල දිඟු කාලයක් වාසය කරමින් එකට ගැටීමත් සම්බන්ධතාවයන් පවත්වාගෙන යාමත් මෙම රෝග ව්‍යාප්තියට හේතුවක්. වාර්තාවු රෝගීන්ගෙන් 25%ම මඩකලපුව දිස්ත්‍රික්කයෙන් හා 14% - 17% අතර ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුගිය වසර 2 1/2 පමණ කාලය තුළ රට පුරා පැවැති කොවිඩ් වසංගතය නිසා ලාදුරු පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වුණා. මේ නිසා රට පුරා ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කළා. නමුත් දැන් දැන් එම පරීක්ෂණ කඩිනම් කරලා ලාදුරු රෝගීන් හදුනාගෙන කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අපි පියවර ගෙන තියනවා. ලාදුරු සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම ඉතා වැදගත් බවත්, ඒ සඳහා විවිධ වැඩසටහන්ද මේ වන විට රට පුරා ක්‍රියාත්මක වන බවත්, ඉන් පළමු වැන්න පාසල් මට්ටමින් දරුවන් දැනුවත් කිරීම ලාදුරු සම්බන්ධයෙන් චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීම සිදු කරන බවත් කීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ඇතිව ලාදුරු අවදානම වැඩියෙන් හඳුනාගෙන ඇති අනුරාධපුර, කුරුණෑගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් බස්නාහිර පළාතේ තෝරාගත් ස්ථාන කිහිපයකත් විවිධ වැඩසටහන් පවත්වා ලාදුරු වලින් තොර රටක් බිහි කිරීමට ප්‍රයත්න දරන බවත් කීය. 

ලාදුරු රෝගය පැතිරීමේ ක්‍රියාවලිය සෙමෙන් සිදුවන නමුත් බස්නාහිර වයඹ, දකුණ හා උතුරු මැද පළාත්වල ලාදුරු පැතිරීමේ අවදානමක් තිබෙන බවත් 2017 වසරේ සිට ලාදුරු රෝගියකු ලෙස හඳුනාගත් පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ හා සමීපතමයන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ දීප ව්‍යාප්ත වැඩ සටහනක් ආරම්භ කළ බවද අධ්‍යක්ෂකවරයා කීය. ඔහු තවදුරටත් කියා සිටියේ පසුගිය වසරේදී කොළඹින් ලාදුරු රෝගීන් 438ක් හමු වූ අතර කොළඹ, මඩකලපුව, අම්පාර හා කළුතර දිස්ත්‍රික්කවල ලාදුරු වැඩිපුර පැතිර ඇති බවයි.

ලාදුරුවල ඉතිහාසය වර්තමාන ප්‍රවණතා හා රෝගය වැළැක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ වැලිසර ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය දිලිනි විජේසේකර සිළුමිණට අදහස් දැක්වුවාය.

"ලාදුරු රෝගය කියන්නේ තවත් එක් බෝවන රෝගයක් පමණයි. කොවිඩ් වගේ ඉක්මනට බෝවෙන්නෙ නෑ. ලාදුරු බෝවීමට නම් දීර්ඝකාලීන ළඟ ඇසුරක් රෝගියකු සමඟ තිබිය යුතුයි. ලාදුරු ටිකක් අමුතුයි. මුල් අවදියේ හඳුනාගැනීමෙන් බොහෝ දුරට වළක්වා ගන්න හැකියි".

2020 - 21 තුළ රෝගීන් අඩුවෙන් වාර්තා වුයේ කොවිඩ් නිසා රෝගීන් සැඟව සිටි නිසා බවත් ළමා ලාදුරු රෝගීන් ප්‍රතිශතාත්මකව වැඩි අගයක් ගෙන ඇති බවත් කීය. ළමා ලාදුරු රෝගීන් වැඩි වීමෙන් අර්ථවත් වන්නේ ලාදුරු සමාජයේ පැතිරීමක් තියන බවත්, බැක්ටීරියාවකින් පැතිරෙන රෝගයක් වුවත් මෙහි බීජෞෂණ සමය වසර 3,4 තරම් දීර්ඝ විය හැකි බවත් කීය. සමාජයේ කාන්තාවන්ට වඩා පිරිමින් අතර ලාදුරු රෝගය වැඩියෙන් ව්‍යාප්තව එය 50% තරම් වන බවත් රෝගයේ මූලික ලක්ෂණ පවතින්නේ නම් ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසත් කීවාය. 

"ලංකාවේ ලාදුරු මර්දනය පිළිබඳ සියලුම රෝග නිවාරණ ප්‍රතිකාර සම්බන්ධ උපදෙස් ප්‍රතිකාර ආධාර ලබාදීම වැලිසර ලාදුරු මර්දන ඒකකය මඟින් ලබා දෙනවා. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ආබාධිත ලාදුරු රෝගීන්ට අවශ්‍ය සපත්තු හා අනෙකුත් උපාංග ආධාර දීප ව්‍යාප්තව ලබාදීම සිදු කෙරෙන්නේත් මේ මධ්‍යස්ථානය හරහායි. ඕනෑම ලාදුරු රෝගියකුට මෙම මධ්‍යස්ථානය හරහාත් කොළඹ මහ රෝහලේ කාමර අංක 12 මධ්‍යම ලාදුරු සායනය හරහාත් අනෙකුත් රෝහල්වල චර්ම රෝග සායනයන් මඟිනුත් සතියේ දිනවල උදේ 8.00 සිට සවස 4.00 දක්වා ප්‍රතිකාර ගත හැකියි. හැඳල ලාදුරු රෝහල මඟින් නේවාසික ප්‍රතිකාර ගත හැකියි. "ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් 1995 දී අපට ලැබුණු නිර්දේශය තමයි ලංකාවේ ලාදුරු රෝගය මහජන තර්ජනයක් වන තරමට පැතිරී නොමැති බව, ඒ නිසා හුඟාක් අය හිතුවා ලංකාවෙන් ලාදුරු තුරන් වෙලා කියලා මොකද ගැඹුරින් නිවැරදිම දත්ත ගන්න අසමත් වූ නිසා ලාදුරු රෝගීන් ලක්ෂ 2ට වැඩියෙන් ඉන්නවා. 2019 දී 215000 වාර්තා වුණා. ඉන්දියාව, බ්‍රසීලය, මැලේසියාව වැනි රටවල තමයි වැඩියෙන් ඉන්නේ.

යළිත් හිස ඔසවන දුප්පතුන්ගේ රෝගය සමාජයෙන් මුලිනුපුටා දැමීම හා පැතිරීම වළක්වා ගැනීම අප කාගේත් සමාජ වගකීමයි.

Comments