
බින්දු බුලත්සිංහල පොලිසිය හොල්ලයි
සැබෑ මිතුදම් හඳුනා ගත හැක්කේ ජීවිතයේ අසීරු අවස්ථාවලදී බව ප්‍රකට කියමනකි. එය සත්‍යයක් බව ඇතැම් විට ඔබත් අත්විඳ ඇතුවාට සැක නැත. අප කියන්නට යන මේ කතාව දුක් කරදර හමුවේ අතැර නොගිය අපූරු මිතුරකු ගැනය. එහෙත් මේ අපූරු මිතුරා මිනිසකු නොව සුනඛයෙකි. මිනිසුන් සහ සුනඛයන් අතර ඇති අපූරු මිත්‍රත්වය පිළිබඳ ඕනෑ තරම් කතා මෙන්ම ඒ අපූරු මිත්‍රත්වය ගැන කියවෙන චිත්‍රපට කිහිපයක් ද භාෂා කිහිපයකින් නිෂ්පාදනය වී ඇත. ස්වාමියාට අසීමිතව ආදරය කළ 'හචී' නම් සුනඛයා තම ස්වාමියා හදිසි හෘදයාබාධයකින් මිය ගිය බව නොදැන ඔහු එන තුරු දුම්රියපොළේත් ස්වාමියා මිහිදන් කළ සුසානයේත් ජීවත් වූ ආකාරය ගැන කියැවෙන අපූරු චිත්‍රපටය ඒ අතරින් බොහෝ සිත් සංවේදී කළ නිර්මාණයකි. එය කලකට පෙර ජපානයේ ජීවත් වූ 'හචිකෝ' නම් සුනඛයකු සහ ඔහුගේ ස්වාමියාගේ සැබෑ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වී තිබීම ද විශේෂත්වයකි.
ඒ ජපානයේ 'හචිකෝ' ය. මේ කතාව ලංකාවේ 'බින්දු' ගැනය. කාලය සහ දේශය වෙනස් වූවාට සුනඛ-මිනිස් ආදරය නම් වෙනස් වී නැති බව 'බින්දු' අපට පසක් කරන්නේය. ඒ අපූරු ආදරය චිත්‍රපටයක දසුන් පෙළක් මෙන් දිග හැරී ඇත්තේ ඉකුත් 19 වැනිදා බුලත්සිංහල පොලිස් ස්ථානයේදීය. එහෙත් එය රූගත කිරීමක් නම් නොව සජීවී දසුන් පෙළකි. වාර්තා වන අන්දමට ඒ සිදුවීම මෙසේය.
ඉකුත් 19 වැනිදා බුලත්සිංහල පොලිසියට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් පණිවිඩයක් ලැබී තිබුණේ බුලත්සිංහල ජනහිත මාවතේ නිවෙසක පවුල් ආරවුලක් ඇති වී තිබෙන බවටයි. බුලත්සිංහල පොලිසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිරත වෙමින් සිටි පොලිස් නිලධාරීහු වහාම ක්‍රියාත්මක වී අදාළ නිවෙස වෙත ගොස් එහි සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත්හ. ඒ වන විට වේලාව රාත්‍රී 10.30 පමණ වන්නට ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිසියට රැගෙන විත් සිර මැදිරියේ රඳවන්නට නිලධාරීහු කටයුතු කළහ. ගතවූයේ විනාඩි 10ක පමණ කාලයකි. පොලිස් ස්ථානයට පැමිණියේ අපූරු අමුත්තෙකි. ඔහු සුනඛයෙකි. පොලිසියේ සෑම ස්ථානයක්ම ඉව කරමින් පසුව පොලිස් සිර මැදිරිය අසලට පැමිණි සුනඛයා එහි සිටි තම ස්වාමියා හඳුනා ගත් පසු අපමණ ප්‍රීතියෙන් වලිගය වනමින් සිය සතුට ප්‍රකාශ කරනු පොලිස් නිලධාරීන් ද බලා සිටියේ විමතියෙනි. එම සුනඛයා ඊට සුළු මොහොතකට පෙර ජනහිත මාවතේ නිවෙසක සිට පොලිසියට ගෙන එනු ලැබූ තැනැත්තාට අයත් බව වටහා ගැනීමට අපහසු නොවීය. වැඩිදුර කරුණු විමසීමේදී ඒ පුද්ගලයා පොලිස් නිලධාරීන්ට පැවසුවේ, ඒ තම නිවෙසේ හුරතලයට ඇති කරන 'බින්දු' නම් සුනඛයා බවය. පොලිස් අත්අඩංගුවට පත්වූ තම ස්වාමියාගේ නිවෙසේ සිට කිලෝමීටරයකටත් අධික දුරක් ගෙවමින් පොලිස් ජීප් රථය පසුපස පැමිණ තිබූ 'බින්දු' සිර මැදිරිය ඉදිරිපිට රැඳී සිටිමින් යකඩ කූරු අතරින් ස්වාමියා දෙස බලමින් වලිගය වනමින් ඔහුට සිය ආදරය ප්‍රකාශ කරන අයුරු දුටු පොලිස් නිලධාරීන්ගේ හදවත් ද සංවේදී වන්නට විය. මුලින් 'බින්දු'සිර මැදිරිය අසලින් ඉවතට යවන්නට උත්සාහ කළ ඔවුන් පසුව ඔහුට එතැන ඉන්නට ඉඩ හැරියේ ඒ අහිංසකයාගෙන් කිසිවකුට කරදරයක් සිදු නොවන බව ද හැඟුණු නිසාය. එපමණක් නොව පොලිස් නිලධාරීන්ගෙන් 'බින්දු'ට සංග්‍රහ සත්කාර පවා හිමි වූයේ ඒ අපූරු ආදරණීය මිත්‍රයාගේ හැසිරීම ඔවුන්ගේ සිතට ද සතුට ගෙන දී තිබූ නිසාය.
බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චමින්ද ද සිල්වා ඒ පිළිබඳ පැවසුවේ සංවේදීවය.
"ඇත්තටම ඒක හරිම සංවේදී සිදුවීමක්. ඒ සුනඛයා තමන්ගේ ස්වාමියාට පුදුම ළෙන්ගතුකමක් තිබුණේ. ඔහු දෙසම බලාගෙන බිම වැතිරී සිටියත් ස්වාමියා සුනඛයා දෙස බලන වාරයක් පාසා වලිගය වනමින් සෙනෙහස දක්වන අයුරු දුටුවා. වර්තමාන සමාජයේ මෙවැනි සිදුවීම් දුර්ලභයි. යම් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට පත්වුණාම ඒ පුද්ගලයාව බලන්න, ඔහුට ඇප දෙන්න එන පිරිස ගොඩක් අඩුයි. එළියේ ඉන්නකොට ඉන්න යාළුවෝ, නෑදෑයෝ කරදරයක් වුණාම ගොඩක් වෙලාවට සොයා ගන්නවත් නැහැ. කතාවට කියනවා, බල්ලෙකුට කන්න දුන්නොත් ඌ නැට්ටවත් වනයි කියලා. ඒ කතාව හරියටම හරි. වර්තමාන සමාජයේ ජීවත් වන බොහෝ මිනිස්සුන්ට වඩා මෙවැනි සතුන් කළගුණ රකිනවා."
පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පසුදා උදෑසන පොලිස් නිලධාරින් විසින් සිර මැදිරියේ දොර විවෘත කරනවාත් සමඟ වහා සිය ස්වාමියා අසලට දිව ගිය 'බින්දු' ස්වාමියාගේ දෙකකුල් මත තම ඉදිරිපස ගාත් දෙක තබා වලිගය වනමින් ආදරය පාද්දී ස්වාමියා ද ඔහුගේ හිස අතගාමින් ප්‍රතිචාර දක්වන්නට විය. පොලිස් ස්ථානාධිපතිවරයාගේ කැඳවීම අනුව ස්වාමියා නිල කාමරය වෙත යද්දී 'බින්දු' ද ඔහු සමඟ එහි ගියේය. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම පුද්ගලයාට අවවාද කර පොලිස් ඇප මත මුදා හැරීමට නියෝග කිරීමෙන් පසු එම පුද්ගලයා පොලිසියෙන් නික්ම ගියේ බින්දු ද සමඟය. ඒ අවස්ථාවේ වලිගය වනමින් පොලිස් නිලධාරීන්ට තම කෘතවේදීත්වය පළ කරන්නට ද බින්දු අමතක කර තිබුණේ නැත.
මේ අපූරු සුනඛ මිතුරාත් ඔහුගේ ස්වාමියාත් සොයා අප බුලත්සිංහල, අතුර, ජනහිත පෙදෙසේ නිවෙසට ගිය විට කාටත් පෙර අප පිළිගැනීමට පෙරමඟට පැමිණියේද 'බින්දු' ය. බින්දු රැයක් එළිවන තුරුම පොලිස් සිර මැදිරිය අසල සිට රැක බලාගත් ඔහුගේ ස්වාමියා සෙල්ලප්පෙරුම ආරච්චිගේ ශාන්ත ය. ඔහු 'බින්දු' ගැන කතා කළේ බොහෝ සතුටිනි.
"මගේ උපන් ගම කිරිඇල්ලේ. මගේ බිරිය පේෂලා සඳුනි කුමාරි. අපි විවාහ වෙලා ගේ පොඩ්ඩක් හදාගෙන බුලත්සිංහල පදිංචි වුණා. අපිට දුවෙක් සහ පුතාලා දෙන්නෙක් ඉන්නවා. මම රැකියාවට කරන්නේ මාළු වෙළෙඳාම. මම හැමදාම පාන්දර හතරට විතර ගෙදරින් පිටත් වෙලා බේරුවල ධීවර වරායට ගිහින් මාළු මිල දී ගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රදේශයට ගිහිල්ලා මාළු විකුණනවා. කිලෝමීටර් 200ක් විතර දුරක් මම දිනපතා යනවා.
'බින්දු' කියන්නේ අපේ ගෙදර ඉන්න බැල්ලියකුගේ පැටියෙක්. බින්දුත් එක්ක තවත් සුනඛයෝ දෙදෙනෙක් අපේ ගෙදර ඉන්නවා. පොඩි කාලේ බින්දුව මගේ යාළුවෙකුට හදා ගන්න දුන්නත් ටික කාලයකින් බින්දු අපි ළඟටම ආවා. අනිත් සුනඛයෝ දෙන්නටම වඩා අපිත් එක්ක ගොඩක් එකතු බින්දු. දරුවො එක්කත් සෙල්ලම් කර කර සුරතල් වෙනවා. බින්දු මට පුදුම ආදරයක් තියෙන්නේ. මම ගෙදර ඉන්න වෙලාවට මගේ පස්සෙන්මයි. හවසට මම ගෙදර එනකම් මඟ බලාගෙන ඉන්නවා. මගේ මොටර් සයිකලේ සද්දේ ඇහුණ ගමන් පාරට දුවගෙන එනවා.
එදා රෑ මාව පොලිසිය ගෙනියලා ටික වෙලාවකින් බින්දු මාව සොයාගෙන පොලිසියට ආවා. මගේ ඉව පාරේ ඇවිත් කුඩුවේ ඇතුළට ඉව කරලා කුඩුවේ දොර ළඟ බිම වැතිරිලා සිටියා. පොලිසියේ රාලහාමිලා මේ කොහෙන් ආපු බල්ලෙක්ද කියලා බින්දුව පන්නන්න හැදුවත් බින්දු එයාලට වලිගය වන වනා එතැනම සිටියා. පසුව ඒ රාලහාමිලා මගෙන් ඇහුවා ඔයාගේද බල්ලා කියලා. මම ඔව් කිව්වාම, එහෙනම් අද ඔයාගේ බල්ලා කුඩුව මුර කරයි කියලා කිව්වා. එයාලා ඊට පස්සේ බින්දුව එළවන්න හැදුවේ නැහැ. බින්දු කුඩුවේ දොර ළඟට වෙලා මගේ දිහා බලාගෙනම සිටියා. බින්දුට දුකයි මගේ ළඟට ඇවිත් සුරතල් වෙන්න බැරි වුණු එකට. පසුදා උදේ පොලිසියේ මහත්තයෙක් කුඩුවේ දොර ඇරියාම බින්දු මගේ ළඟට දුවගෙන ඇවිත් මගේ මුහුණ ලෙවකාලා මට තුරුලු වෙලා සිටියා. ගෙදරදීත් එහෙම තමයි. එයාට හැම තිස්සෙම ඕනේ අපිත් එක්ක සුරතල් වෙන්නයි. එදා මුළු රෑත් පහුවදා වෙනකම්මත් බින්දු පොලිස් කුඩුව ළඟ මගේ තනියට සිටියා."
ශාන්ත පැවසුවේ බින්දුගේ හිස අතගාමිනි. ස්වාමියාගේ සෙනෙහස හඳුනන 'බින්දු' වලිගය වනමින් ශාන්තගේ මුහුණ දෙසම බලා සිටින්නේ අහිංසක විලාසයෙනි.
"මාළු පෙට්ටියත් බැඳගෙන හැමදාම උදේ පාන්දර හතරේ ඉඳන් කිලෝමීටර් 200කට වඩා බයිසිකලේ පැදලා හවසට මම ගෙදර එනකොට දරුවෝ තුන් දෙනාගේ වගේම බින්දුගේ ආදරයත් ලැබුණාම මහන්සිය නැති වෙනවා. අපිට කොච්චර අගහිඟකම් තිබුණත් දරුවෝ තුන්දෙනාට වගේම මමත් බිරියත් මේ සත්තු තුන් දෙනාට අපිට තිබෙන විදිහට කන්න දීලා බලා ගන්නවා. අනිත් සුනඛයො දෙන්නත් කුඩුවේ සිටියේ නැත්නම් මාව සොයාගෙන එනවා. මම කියන්නේ කිසිම සතෙකුට හිරිහැරයක් කරන්න එපා කියලයි. අපි එයාලට ආදරය කළොත් එයාලත් අපිට ආදරය කරනවා. සුනඛයෙක් කියන්නේ පුදුම විදිහට කළගුණ දන්න සතෙක්. ආදරේ දැක්වුවොත්, කෑම ටිකක් දුන්නොත් මැරෙනකම් ඒ සතාට ඒක අමතක වෙන්නේ නැහැ. අපි දෙනවටත් වඩා ලොකු ආදරයක් එයාලා අපිට දෙනවා."
ශාන්ත එසේ කියද්දීත් 'බින්දු' ශාන්තගේ දෙපා මත හිස තබාගෙන සුරතල් වෙමින් සිටියේය. මිනිසත්කමට නිඟා දෙන නොමිනිසුන් ද සිටින සමාජයක 'බින්දු' වැනි සතුන් පසක් කරන්නේ ආදරය යනු ආදරයම බවත් ඒ ඉදිරියේ අන් සියල්ලම නොවටිනා බවත් නොවේද?
බී.ටී. තඹවිට, මතුගම