ප්‍රචණ්ඩ අන්තවාදී අරගලකරුවන් ගිනි තැබුවේ අපේ ගෙවල් නොව මිනිසුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම්වලටයි | සිළුමිණ

ප්‍රචණ්ඩ අන්තවාදී අරගලකරුවන් ගිනි තැබුවේ අපේ ගෙවල් නොව මිනිසුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම්වලටයි

බොහෝ දෙනකු එදා දවස ඇරඹුවේ සුපුරුදු ලෙස වුවත් උදෑසන සිසිල මැකී හිරු ගිනියම් වන්නට පටන් ගනිද්දී රට ද උණුසුම් වන්නට පටන් ගත්තේ අනපේක්ෂිත අයුරිනි. රට පුරා තැන් තැන්වල කල්ලි ගැසුණු ප්‍රචණ්ඩකාරී මිනිස් කණ්ඩායම් නිරායුධ මිනිසුන්ට පහර දෙමින්, මඟ හරස් කරමින්, වාහන ගිනි තබමින් සහ පොදු දේපළවලට හානි කරමින් ඇරඹූ සංග්‍රාමය එදින හවස් යාමය වන විට මහා විනාශයක් බවට පත් විය. 

ඒ විනාශය කෙතරම්ද කිවහොත් මහ දවල් දෙනෝදාහක් දෙනා බලා සිටියදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආරක්ෂකයකු කුරිරු ලෙස මහමඟදීම ඝාතනයට ලක් විය. සාහසිකයන්ගේ වියරු ලේ පිපාසය එයින් ද නොසන්සිඳිණ. මහජන නියෝජිතයන්ගේ නිවෙස්, පෞද්ගලික දේපළ සොය සොයා යමින් ඒවා ගිනිබත් කිරීම ඔවුන්ගේ ඊළඟ මෙහෙයුම විය. පසුදිනට පහන් වද්දී මෙරට මහජන නියෝජිතයන් විශාල සංඛ්‍යාවකගේ නිවෙස්, වාහන විනාශ කර උන්හිටි තැන් අහිමි කිරීමට තරම් ඒ ප්‍රචණ්ඩත්වය දරුණු වී තිබිණ. රටම භීතියෙන් මුසපත් කළ ඒ සිදුවීම් පෙළ සිනමාපටයක දර්ශන පෙළක් නම් නොවේ. මෙරට දේශපාලන ඉතිහාසයට නොමැකෙන කළු පැල්ලමක් එක් කළ 2022 මැයි 09 වැනිදා 'අඳුරු සඳුදා'වට අයත් මතක සටහන්ය. ඒ අඳුරු මතක ආවර්ජනය කරන්නට 'සිළුමිණ' අප මෙවර සම්මුඛ වූයේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් ය.

“ඕනෑම ශීලාචාර, ශිෂ්ටසම්පන්න රටක පුරවැසියන්ට හිමි මූලිකම මිනිස් අයිතියක් වන්නේ බියෙන් සැකයෙන් තොරව තමන්ගේ නිවෙස තුළ ජීවත් වීමට ඇති අයිතියයි. යම්කිසි පුරවැසියකු කුමන ජන වර්ගයකට අයත් වුවත්, කුමන ආගමක් අදහනු ලැබුවත්, කුමන කුලකයකට පන්තියකට අයිති වුණත් කුමන දේශපාලන මතවාදයක් දැරුවත් තමන්ගේ පෞද්ගලික නිවාසය තුළ තමන්ගේ දරු පවුල සමඟ කිසිදු අවහිරයකික් තොරව නිදහසේ ජීවත් වීමේ අයිතිය ඒ රටේ මුලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සකස් කර දී තිබෙනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ඌ) වගන්තියට අනුව එය මෙසේ සඳහන් කළ හැකියි. “සෑම පුරවැසියකුටම, ශ්‍රී ලංකාව තුළ යෑමේ ඊමේ නිදහසට හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට හිමිකම ඇත්තේය". මැයි 09 වැනිදා වෛරී දේශපාලනයෙන් මුසපත් වූ මිනිසුන් සහ ඇතැම් ප්‍රචණ්ඩ අරගලකරුවන් සැලසුම් සහගත, සූක්ෂම ලෙස සංවිධානය කොට දවා හළු කළේ මේ රටේ ඒ මූලික මිනිස් අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ තුළින් ඔවුන් මෙරට ප්‍රතිරූපයට ලෝක ඉතිහාසය තුළ දැවැන්ත කළු පැල්ලමක් ඇති කළා. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන කුලුනු තුන මත සමස්ත සමාජයේම යහ පැවැත්ම රඳා පවතිනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ට රටේ පුරවැසියන්ට හිමි මූලික අයිතිවාසිකම්වලට අමතරව විශේෂ වරදාන වරප්‍රසාද ප්‍රමාණයකුත් ලෝක පාර්ලිමේන්තු ක්‍රමය විසින් හිමි කර දී තිබෙනවා. නමුත් මැයි 9 වැනිදා මේ රටේ කුමක්ද සිදු වුණේ? පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ අහිංසක මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආරක්ෂකයා විශාල ජන සමූහයක් ඒකරාශි වී අනේකවිධ වධ හිංසාවලට ලක්කරමින් ඉතා මිලේච්ච ලෙස ඝාතනය කරනු ලැබුවා. එපමණක් නොවෙයි ඔවුන්ගේ මළ සිරුරුවලට පවා පැය ගණනාවක් අධික ලෙස වද හිංසා පමුණුවා තිබුණා. එදා පැය 12ක් ඇතුළත පාර්ලිමේන්තුව නියෝජනය කළ මහජන නියෝජිතයන් 70 දෙනකුගේ ගෙවල්දොරවල් කඩලා ගිනි තබා විනාශ කළා. ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි ඛේදවාචකයක් සිදු වූ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින එකම රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරමින් මකා දැමිය නොහැකි කළු පැල්ලමක් ඉතිහාසයට එකතු කළා. 

යම්කිසි අපරාධයක්, වරදක් සිදු කළ පුරවැසියකුට වුවත් යුක්තිය පසිඳලා නීතියෙන් දඬුවම් ලබා දෙනවා මිසක් මිනීමරු, දාමරිකයන් පිරිසකට සමාජයේ නිරායුධ අහිංසක මිනිසුන්ට දඬුවම් දීමට බලයක් නැහැ. පකිස්ථානයේ කර්මාන්තශාලාවක කළමනාකරුවකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු එහිදී ජන සමූහක් විසින් ක්‍රෑර ලෙස වධහිංසාවලට ලක්කොට ඝාතනය කළ අවස්ථාවේ පකිස්ථාන රාජ්‍ය නායකයා ඉම්රාන් ඛාන් විසින් එම සිද්ධිය නිසා පකිස්ථානය අපකීර්තියට පත් වීම වළක්වා ගැනීමට එහි සැකකරුවන් සියලු දෙනා විශේෂ අධිකරණයකට යොමු කර විනිවිද පෙනෙන ක්‍රම වේදයක් අනුව යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළින් වරදකරුවන්ට මරණ දඬුවම ද පමුණුවා එය අවසන් කළා. නමුත් මහ මඟදී අමානුෂික ලෙස ඝාතනය කළ අතුකෝරල මන්ත්‍රීතුමාගේ නඩු විභාගයවත් කඩිනම් කර විශේෂ අධිකරණයක් යටතට පත්කර ගන්න හැකියාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට නොතිබීම ගැන මම අතිශයින් කනගාටුවට පත් වෙනවා.”

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් පැවසුවේ සංවේගයෙනි. ප්‍රචණ්ඩකාරීහු විසින් මැයි 9 වැනිදා ගිනි තබා විනාශයට පත් කිරීමට උත්සාහ කළ දේපළ අතර, නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඇමැතිවරයාට අයත් පෞද්ගලික නිවෙස, ඊට යාබදව පෙර පාසලක් පවත්වාගෙන යමින් තිබූ ඇම­ැතිවරයාගේ වැඩිමහල් පුතුට අයත් නිවෙස සහ මෝටර් රථ ඇතුළු වාහන ද විය. තරුණ තරුණියන් 45-50ක පමණ කණ්ඩායමක් සහ වෙනත් නාඳුනන පුද්ගලයන් රාශියක් එම ප්‍රචණ්ඩ සංහාරය සඳහා පැමිණ තිබූ අතර කිසියම් හේතුවක් මත මුළුමනින් එම දේපළ විනාශ කිරීමට ඔවුන්ට අවස්ථාව නොලැබිණ. එහෙත් ඔවුන්ගේ ඒ ප්‍රචණ්ඩකාරී හැසිරීම අමාත්‍යවරයාගේ සිතෙහි ඇති කර ඇත්තේ කිසියම් කනස්සල්ලකි. ඊට ආසන්නතම හේතුව බන්දුල ගුණවර්ධන යනු හුදෙක් මහජන නියෝජිතයකු පමණක් නොව දශක දෙකහමාරකට අධික කාලයක් තිස්සේ මෙරට සුවහසක් දරු දැරියන්ගේ නුවණැස පෑදූ කීර්තිමත් සහ ජනප්‍රිය ආර්ථික විද්‍යා දේශකයකු සහ ගුරුවරයකු වන නිසාය. කෘතහස්ත දේශපාලනඥයකු ලෙස ලැබූ අත්දැකීම්වලට වඩා අදටත් ඔහු සතුටු වන්නේ ගුරුවරයකු ලෙස ලැබූ ආත්ම තෘප්තියෙනි.

“පුරා දශක දෙකහමාරක් මම උගුරට ලේ රහ දැනෙනතුරු, මේස් බැනියමට දහඩිය උරාගන්නා තුරු දවස පුරා ඉතා කැපවීමෙන්, මහන්සියෙන් සුවහසක් තරුණ දරුවන්ගේ ජීවිත ගොඩනැඟීමට නිවැරදි මඟ පෙන්වීම කළා. ඒ අතීතය දෙස ආපසු හැරී බලද්දි මම වඩාත් සතුටු වෙන්නේ මගේ පුද්ගලික හැකියා, දක්ෂතා සහ නිර්මාණාත්මක ඉගැන්වීමේ ක්‍රමවේදය තුළින් රටට බෙහෙවින් ඵලදායී මානව සම්පත් රාශියක් රටට දායාද කරන්න හැකි වීම ගැනයි. ඒ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරු, ජාතික විශ්වවිද්‍යාලවල උප කුලපතිවරු, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, මන්ත්‍රීවරු සහ ඇමතිවරු, ප්‍රධාන ඇමතිවරු, විනිසුරුවන් සහ කලාකරුවන් සිටිනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන් තමන්ගේ පුද්ගලික හැකියාව අලෙවි කරලා එවැනි වටිනා පිරිසක් රටට දායාද කළ මාව මැයි 9 වැනිදා මගේම ගේ ඇතුළට දාලා ගිනි තියලා මරන්න හදපු එක සාධාරණද කියලා ඒ ක්‍රියාවට සම්බන්ධ වූ ශිෂ්‍යයන් තමන්ගේ හදවතින් ඇසිය යුතුයි.”

ඇමැති බන්දුල ගුණවර්ධන කතුවරයෙකි. ආර්ථික විද්‍යාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මේ වන විට කෘති 55ක් පමණ රචනා කර ඇත. විවිධ විෂයයන් පිළිබඳ වැඩිපුර කියැවීම් කරන, පර්යේෂණවල නිරත වන ඔහුගේ නිවෙසේ වටිනා පොත්පත් රාශියකින් සමන්විත විශාල පුස්තකාලයක් ද වේ.

“මිලේච්ඡ මිනිසුන් විසින් එදා මගේ නිවෙසත් අළු කළා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පුස්තකාලය වගේ මගේ ඒ පුස්තකාලයත් සම්පූර්ණයෙන් විනාශ වෙනවා. පොත්වල වටිනාකම කිසිසේත් මුදලින් තක්සේරු කරන්න බැහැ. මම කියලා තියෙන්නේ මම නැති දවසක මේ පුස්තකාලය මම ඉගෙනගත් ජපුර විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කරන්න කියලා. කෙසේවෙතත් ප්‍රචණ්ඩත්වය මෙහෙය වූ ශිෂ්‍ය නායකයන්ට මම ස්තුතිවන්ත වෙනවා මගේ පුස්තකාලයට ගිනි නොතැබීම ගැන.”

අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේදි ඇමැති බන්දුල අනාගත පරපුර වෙනුවෙන් දැවැන්ත වෙනස්කම් සිදු කිරීමට ද දායක විය. ගණිතය අසමත් වූවන්ට ද උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබා දීම, උසස් පෙළ විෂය ධාරාව සඳහා විෂයන් කිහිපයකින් යුතු තාක්ෂණික විෂය ධාරාව හඳුන්වා දීම, තාක්ෂණ විද්‍යාගාර දහසක් ආරම්භ කිරීම, තාක්ෂණ විද්‍යා පීඨ 251ක් ආරම්භ කිරීම මෙන්ම විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ පිහිටු වීමට මුල් වීම ඒ අතර වේ. එපමණක් නොව හෙතෙම මීට දෙවසරකට පෙර එළැඹි උපන් දිනයේදී තම පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 100ක් වැය කරමින් 'ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල' පිහිටු වනු ලැබුවේ තාක්ෂණවේදය ඉගෙන ගන්නා දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම වෙනුවෙනි. මේ වන විට දකුණු ආසියාවේ විශාලතම ද්විතියික පාසල ලෙස සැලකෙන හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය මෙන්ම මාතර මහින්ද රාජපක්ෂ විදුහල ආරම්භ කිරීම මෙන්ම දියුණු කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ටය.

“රටේ අනාගතය වෙනුවෙන් දක්ෂ දරු පරපුරක් තැනීම වෙනුවෙන් සිදු කළ ඒ දේවල් ගැන මට තියෙන්නේ දැඩි ආත්ම තෘප්තියක්. නමුත් මට තිබෙන ප්‍රශ්නය එවැනි සංකල්ප ඇති කළ අප වැනි මිනිසුන් විනාශ කරන දේශපාලනයක් තිබෙනවා නම් ඊට නායකත්වය දෙන පිරිස අලුත් යමක් කළ නොහැකි කිසිදු නිර්මාණාත්මක හැකියාවක් නොමැති මානසික වශයෙන් පශ්චාත්තාපයෙන් සහ වෛරයෙන් පෙළෙන පිරිසක් මිසක් ඔවුන්ට සමාජ ප්‍රගමණයට දායක විය නොහැකියි.” 

“මේ ගේදොර ඉඩකඩම් සියල්ලම මම මහජන නියෝජිතයෙක් වීමට පෙර ඉතා සාධාරණව උපයාගත් දේවල්. රටේ සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යා දේශකයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක් විදිහට මම විවාහ වෙලා බිරිය තමරාව කැන්දා ගෙන එන්නයි මේ නිවෙස ඉදි කළේ. මගේ පුතුන් දෙදෙනා සහ දියණියන් තිදෙනා ඉපදුණේ හැදුණේ වැඩුණේ පාසල්, විශ්වවිද්‍යාලවලට ගියේ මේ නි‍ෙවසේ සිටයි. මෙතැන තමයි අපේ පවුල; කුටුම්බය. යුද සමයේදී රට වෙනුවෙන් කැපවු රණවිරුවෝ වෙනුවෙන් පිහිටුවනු ලැබූ 'අපි වෙනුවෙන් අපි' අරමුදලට මන්ත්‍රී වැටුප බැර කළ මන්ත්‍රීවරයෙක් මම. ඒ වගේම මගේ මෑණියන්ගේ අභාවයෙන් පසු මම මගේ සම්පූර්ණ මන්ත්‍රී වැටුපම 'අපේ අම්මා' සමාජ සත්කාරක අරමුදලට බැර කළා. වගකිව යුතු විවිධ කැබිනට් ඇමැති ධුර කිහිපයක් දැරුවත් මම මේ දක්වා කිසිම දවසක රජයේ නිල නිවෙසක් පාවිච්චි කරලා නැහැ. නිල නිවාස වෙනුවෙන් කුලිය, විදුලිය, ජලය හෝ වෙනත් ගෙවීම් ලබා ගෙන නැහැ. මම හැමදාම ඇම­ැතිකම් කළේ මම හදාගත්ත ගෙදර සිටයි. ආරක්ෂාව සහිත ඇමැති නිල නිවෙසක සිටියා නම් සමහර විට එදා මගේ ගෙදරට ගිනි නොතබන්නත් ඉඩ තිබුණා. රජයෙන් ලැබිය යුතු වරදාන,වරප්‍රසාද ලබා නොගෙන තමන්ගේ ගෙදරක ජීවත් වීම ගෙයක් ගිනි තියන්න තරම් වරදක්ද කියන ප්‍රශ්නය මට තිබෙනවා.

ඒ වගේම ප්‍රචණ්ඩකාරීන් මහජන නියෝජිතයන් ලෙස අපේ පෞද්ගලික දේපළ පමණක් නොව අපට අයිති නැති වෙනත් දේපළ පවා සොයාගෙන ගොස් විනාශ කිරීමට උත්සාහ කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමට පෙර මහරගම නගරයට නුදුරින් මිලදී ගත් අක්කර එකහමාරක ඉඩමක් මම එක්තරා ප්‍රසිද්ධ සමාගමකට සුපිරි වෙළෙඳසැලක් පවත්වාගෙන යෑම සඳහා දීර්ඝකාලීන බද්දට ලබා දී තිබෙනවා. ඉඩම මට අයිති වුණාට ඒ ව්‍යාපාරය මගේ නෙවෙයි. නමුත් අරගලකරුවන් මැයි 9 වැනිදා ඒ සුපිරි වෙළෙද සැලටත් ගිනි තියන්න ගිහින් තිබුණා. ඔවුන් දේශපාලනයෙන් තොරව උපයා ගත් ධනයවත් අපට ඉතුරු නොකරන තරම් වෛරයකින් පෙළෙන විකෘති මානසිකත්වයක් සහිත පිරිසක්.

විවිධ අමාත්‍ය ධුර දැරුවත් මම කවදාවත් බලය අවභාවිත කිරීම හෝ වංචා, දූෂණ, හොරකම්වලට සම්බන්ධ වෙලා නැහැ. මම හෝ මගේ පවුලේ කෙනෙක් එහෙම දේවල්වලට සම්බන්ධයි කියලා කවුරුහරි ඔප්පු කරනවා නම් ඊට පසු දිනම මම මැතිඇමැතිකම්වලින් විතරක් නෙවෙයි දේශපාලනයෙන් සදහටම සමුගන්නවා කියලා මම ලිඛිතව, වාචිකව නිතර ප්‍රකාශ කරලා තියෙනවා. ව්‍යාපාර පරිපාලන විද්‍යාව පිළිබඳ විශේෂ පන්ති සාමාර්ථයක් සහිත උපාධිකාරියෙක්, ආචාර්ය උපාධියක් ලැබූ කෙනෙක්, ප්‍රකට ගුරුවරයෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් විදිහට මම දේශපාලනය නොකර සිටියා එවැනි කටයුතුවල පමණක් යෙදුණා නම් රටේ ඉහළම ප්‍රකෝටිපතියෙක් බවට පත්වීමට තිබුණා.”

එහෙත් දේශපාලනය නිසා මනුෂ්‍යත්වය සහ මනුෂ්‍යත්වයේ අගය නැති වෙනවා නම් එවැනි දේශපාලනයක් සහ දේශපාලඥයන් රටකට අවැසි නොවන බව ඇමැති බන්දුල ගුණවර්ධනගේ විශ්වාසයයි.

“මම රටට අපකීර්තිය ගෙනෙන දේවල්වලට දායක වෙලා නැහැ. දෙස් විදෙස් ඇගැයීම් ලැබූ අප වැනි මහජන නියෝජිතයන් ගිනි තබා ඝාතනය කළ යුතුයි කියලා සිතා කටයුතු කරන මිනිසුන්ගෙන් ද පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ කියා මේ රටේ ජනතාව තීරණය කළ යුතුයි. 1977ට පෙර මෙරට වැදගත් මහත්වරුන්ගෙන් සමන්විත ප්‍රබුද්ධ දේශපාලනයක් තිබුණත් අවාසනාවකට මෙන් උතුරේ සහ දකුණේ ඇති වූ ආයුධ සන්නද්ධ ප්‍රචණ්ඩ මිනීමරු දේශපාලන සංස්කෘතිකමය අපගමනයක්, සදාචාරාත්මක පිරිහීමක් සහ මනුස්සකමේ දරුණු නායයෑමක් සිදු වෙලා තිබෙනවා. එය මේ දැවැන්ත ආර්ථික අර්බුදයට වඩා දරුණු අර්බුදයක්. ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැකි වුවත් පුරවැසියන්ට බියෙන් සැකයෙන් තොරව තමන්ගේ නිවෙසේ නිදහසේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, කාන්තා හිංසනය පිටු දැකීමට සටන් පාඨ කියන අප විසින් කළ යුතු මහා ජාතික යුතුකම සහ වගකීම වන්නේ දේශපාලන සහ දේශපාලන නොවන කිසිදු ප්‍රචණ්ඩත්වයකින් තොර සමාජයක් ගොඩ නැඟීමට හැකි අයුරින් දායක වීමයි. ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ පුද්ගලයකුට අනුබලයක්, උත්තේජකයක්, සහායක් ලබා දීම මොලොව වශයෙන් පඩිසන් දෙන පාපකර්මයක් ලෙසයි මම දකින්නේ..”

ඡායාරූප- ගයාන් පුෂ්පික

Comments