රුහුණු ගුරු සිසුන් නිරුවත් කර බඩ ගෑවූ නවක වද ආරාවුලේ ඇතුල් පැත්ත | සිළුමිණ

රුහුණු ගුරු සිසුන් නිරුවත් කර බඩ ගෑවූ නවක වද ආරාවුලේ ඇතුල් පැත්ත

- ගුරු විද්‍යාලයෙන් තෙවසරක නේවාසික පුහුණුව අවසන් කර නික්ම යෑමට තිබුණේ දින දෙකයි
- නවක වදයට ලක්ව ඇත්තේ පළමු වසරේ ගුරු සිසුන් 12 දෙනෙක් බව අක්මීමන පොලිසිය කියයි
- නවක සිසුන් සතුව තිබුණු ජංගම දුරකතන සියල්ල එකතු කරගෙන නවක සිසුන් 12 දෙනාව නිරුවත් කරලා. එකඟ නොවූ සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනයේ ප්‍රමුඛතම කාර්යක් ඉටු කරන ආයතනයන් ලෙස රුහුණු ජාතික අධ්‍යාපන පීඨයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ පූර්ව සේවා පුහුණුව තුළින් ගුරු අධ්‍යාපනයේ වෘත්තීයභාවය ඉහළ නංවන ආයතන කිහිපය අතර රුහුණු ජාතික අධ්‍යාපන පීඨය ඉදිරියෙන්ම සිටින බැවිනි.

අඛණ්ඩ අධ්‍යාපනයෙන් පාසල් පද්ධතියෙන් නිරන්තර ඉල්ලුමක් පවතින ගුණාත්මක වෘත්තීය ගුරුවරුන් බවට පත් කිරීම සිය දර්ශනය කරගත් රුහුණු ජාතික අධ්‍යාපන පීඨය සිය මෙහෙවර බවට පත් කරගෙන සිටින්නේ අධ්‍යාපනයේ ජාතික ඉලක්ක සපුරාලීම සඳහා කැපවීමකින් හා හැඟීමකින් යුතුව තම කාර්යයන් ඉටු කරන වෘත්තිකයන් වන දක්ෂ, සම්පත්දායක, ඵලදායි සහ කාර්යක්ෂම ගුරුවරුන් පාසල් පද්ධතියට ලබා දීමය.

නිසි ආකල්ප ඇති ගුරු ඉගෙනුම් ක්‍රියාවලිය පිළිබඳ නිසි අවබෝධයක් ඇතිව තම රාජකාරිය ඉටු කිරීම සඳහා ගුරුවරුන් පිරිසක් පාසල් පද්ධතියට ලබා දීම ඉලක්ක කරගත් රුහුණු ජාතික විද්‍යා පීඨයේ මෙම අපේක්ෂාවන්වලට පයින් ගැසූ නරුම ගුරු සිසුන් පිරිසක් ගැන වාර්තා වන්නේ පසුගිය 26 වෙනිදාය. ඒ රුහුණු ජාතික අධ්‍යාපන පීඨයට නවක වදය රිංගවමිනි.

ගුරුවරයාගේ භූමිකාව ගැන නිසි අවබෝධයක් නොමැති ‍ජ්‍යේෂ්ඨ සිසු ගුරු අමනයන් පිරිසක් විසින් එසේ නවක වදයට ලක් කරනුයේ පළමු වසරේ සිසුන් පිරිසකි. එම සිසුන්ව අමු අමුවේ නිරුවත් කරමින් අමානුෂික ලෙස පහර දෙමින් කළ ඒ අමන ක්‍රියාව නිසා හානියට පත් වෙන්නේ රුහුණු ජාතික අධ්‍යාපන පීඨය පමණක් නොව, මෙවන් අමනයන් අනාගතයේ ගුරුවරුන් ලෙස එක්වීමෙන් මුළු පාසල් පද්ධතියමය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවා මෙම අමන රැලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි පොලිස් බලධාරීන්ට කියා ඇත්තේ ඒ නිසා විය හැකිය. විද්‍යා පීඨයෙන් සමු ගැනීමට දිනක් දෙකක් තිබියදී ඔවුන් මේ කළ අමන ක්‍රියාව හේතුවෙන් හෙට දිනයේ ඔවුන්ට ගුරුවරුන් ලෙස පාසල් පද්ධතියට ඇතුළු වීමට ඇති අවකාශ ද අහිමි වී යනු ඇත. ඒ අධ්‍යාපන අමාත්‍යවරයා ඒ ගැන දැඩි තීරණයක සිටින බැවිනි.

දරුවන් සමාජගත කිරීමේ කාර්යයේදී පාසල් පන්ති කාමරය තුළ දී දරුවන්ගේ සමාජ සංවර්ධනයත් පෞරුෂත්වයක් ගොඩ නැඟීමට මාර්ගෝපදේශකයා වන්නේ ගුරුවරයාය. ශිෂ්‍යන්ගේ දැනුම කුසලතාව මෙන්ම ආකල්ප වර්ධනය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනුයේද ගුරුවරයා විසිනි. එවන් භාරදූර වගකීමක් දරන ගුරු වෘත්තියට පිවිසෙන්නට පුහුණුව ලබන ගුරු සිසුන් මෙසේ වන මෘගයන් ලෙස හැසිරෙන්නේ නම් අනාගත පාසල් පද්ධතියට කියන්නට ඇත්තේ දෙයියන්ගේම පිහිට යැයි කියාය. ඒ අයව ගුරු වෘත්තියට බඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමත්‍යවරයා විසින් දැඩි තීන්දුවක් ගෙන ඇත්තේද ඒ නිසාම විය හැකිය.

රුහුණු ජාතික අධ්‍යාපන පීඨයෙන් අනාගතයේ ගුරුවරුන් ලෙස එළි බසින ගුරු සිසුන්ව දැනුමෙන් පෝෂණය කරනුයේ තෙවසරක නේවාසික පුහුණුවක් ලබා දෙමිනි. එහිදී ප්‍රායෝගික පුහුණු වීම් පවා ලැබෙන්නේ සීමාවාසික ගුරු පුහුණුවක් ද සමඟිනි.

රුහුණු ජාතික අධ්‍යාපන පීඨයට නවක වදය රැගෙන විත් අමනයන් ලෙස පසුගිය 26 වෙනිදා හැසිරෙන්නේ එසේ වසර තුනක පුහුණුව අවසන්ව 28 වෙනිදා විසිර යමින් ගුරුවරුන් ලෙස ක්ෂේත්‍රයට පිවිසීමට සිටි පිරිසකි. තිහ හතළිහකින් සමන්විත එම වගකීමක් ගැන හාංකවිසියක් නොදන්නා පිරිස පළමු වසරේ නවක සිසුන් පිරිසක් අල්ලා ගෙන ඔවුන්ව නිරුවත් කර අමානුෂික ලෙස නවක වදයකට ලක් කරනුයේද කෙළින් කටින් ඉන්නට බැරි වන තරමට හොද හැටි පදම් වීමෙන් අනතුරුවය. ඒ අයට නවක වදය මතක් වී ඇත්තේද ගිනි වතුර ටිකක් කටට හලා ගත්තාට පසුවය. තමන් ඔන්ලයින් අධ්‍යාපනයක් ලැබූ බැවින් නවක සිසුන්ට වදයක් දෙන්නට නොහැකි බූ බැවින් ඒ අයට නවක වදයක් දිය යුතු යැයි කන බොන ගමන් තීරණය කළ ඔවුන් අවසානයේදී නවක වදයක් දෙමින් රුහුණු ජාතික අධ්‍යාපන පීඨයේ කීර්ති නාමය පමණක් නොව, තමන්ගේ අනාගතයද විනාශකර ගත්තේය.

මෙම ජ්‍යේෂ්ඨ ගුරු සිසුන් මේ තැනට ඇදවැටී ඇත්තේ වෙන කිසිවක් නිසා නොව, නිසි පුහුණුවක් නොලැබීමේ පලවිපාක නිසා බව ඒ ගැන විමසිලිමත් වීමේදී පෙනී යන යථාර්ථයයි. මේ කණ්ඩායම වසර තුනක පුහුණු කාලයෙන් වැඩි කාලයක් ගතකර ඇත්තේ සිය නිවාසවලය. ඒ කොවිඩ් වසංගත තත්ත්වය මත ඔවුන්ට සිදු වී ඇත්තේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යපානය ලැබීමටය. ඒ තුළින් ඔවුන්ට පොතේ පතේ දැනුම ලැබුණාට ගුරුවරයකුගේ භූමිකාව මෙන්ම ගුරුවරයකුගේ වගකීම සහ සමාජ හැසිරීම ගැන මනා වැටහීමක් ඒ තුළින් ලැබුණේද යන්න පිළිබදව ඇත්තේ ගැටලුවකි. ඒ බව මනාවට පිළිබිඹුවන්නේ ඔවුන් විසින් සිය නවක ගුරු සිසුන්ට දුන් නවක වදයෙනි.

මෙවැනි ගුරුවරු පාසල් පද්ධතියට ගියහොත් පාසල් පද්ධතිය තුළද නවක වදයක් ඔවුන් විසින් නිර්මාණය නොකරාවි යැයි කිසිවකුටත් සහතිකයක් දිය නොහැකිය. පාසල් පද්ධතිය තුළ අද වන විට ඉතිහාසයේ පෙර නොවූ වීරූ තරමේ අර්බුද ගොඩ නැඟෙමින් ඇත්තේ ද මෙවන් නරුමයන් පාසල් පද්ධතියට ඇතුළු වීමේ ප්‍රතිවිපාකයන් ලෙසිනි. දරුවන්ව ප්‍රාණ ඇපයට තබා විවිධ ඉල්ලීම් මුල් කරගෙන වීදි බසින්නට සැබෑ ගුරු චරිතවලට බලපෑම් කරනුයේ ද මෙවැන්නන්ය. ගුරුවරියගේ සාරි පොට ගලවන්නට ද වලි කන්නේද මෙවන් පුද්ගල චරිතය. ඒ අය හිතන්නේ අතට ලැබෙන ඩොලර් කුට්ටිය ගැන පමණි.

රුහුණු ජාතික අධ්‍යාපන පීඨය පිහිටා ඇත්තේ ගාල්ල අක්මීමනය. ඒ නිසාම එහි සිදුවූ මෙම නවක වද සිදුවීම ගැන පැමිණිලි ලැබෙන්නේ අක්මීමන පොලිස් ස්ථානයටය. පොලිස් පොත්වල ලියැවී ඇති තොරතුරුවලට අනුව මෙම නවක වදයට ලක්ව ඇත්තේ පළමු වසරේ ගුරු සිසුන් 12 දෙනෙකි.

අද විට රුහුණු ජාතික අධ්‍යාපන පීඨයේ අධ්‍යාපනය ලබන පළමු වසරේ නවක සිසුන් ගණන 186 දෙනෙකි. ඒ අයගෙන් 173 දෙනෙක්ම ගුරු සිසුවියන්ය. මේ තුළින් කියාපාන්නේ ගුරු වෘත්තියට දැන් වැඩි ප්‍රමාණයක් පිවිසෙන්නේ කාන්තා පාර්ශ්වය බවය.

පෙර වර්ෂවලදී මෙන් නොව, මෙවර මෙහි ගුරු සිසුන් පුහුණුව ලබන්නේ නේවාසිකවය. ඒ ඔන්ලයින් අධ්‍යාපනය තුළින් නිසි ඵල නොමැති බව අධ්‍යාපන පීඨ බලධාරීන් දැන් වටහා ගෙන සිටින බැවිනි. එසේ මුළු වසර තුනක කාලයක්ම ඔන්ලයින් අධ්‍යාපනය ලැබූ තුන්වැනි වසරේ ගුරු සිසු කණ්ඩායම විසිර යෑමේ උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 28 වෙනිදාය. ඒ වන විට එම ගුරු සිසුහු පාසල්වලට අනුයුක්තව සීමා වාසික පුහුණුවද ලබමින් සිටියහ. ඒ ඔන්ලයින් අධ්‍යාපනය තුළින් ලද දැනුම ඔස්සේය.

සිවුවැනි වසරේ සිටි මෙම ගුරු සිසුන් විසිර යෑමේ උත්සවයේ සැරසිලි වැඩ බොහොමයක්ම පැටවී තිබුණේ පළමු වසරේ නවක ගුරු සිසුන්ගේ කරමතය. රුහුණු ජාතික අධ්‍යාපන පීඨයේ ඇති උත්සව ශාලාව 26 වෙනිදා මැදියම් රැය පසුවන තුරුම ඒ අය විසින් සරසා හැඩ- වැඩ කරනු ලැබුවේ 28 වෙනිදා පැවැත්වෙන උත්සවයට සරිලන ලෙසිනි. මෙදින මේ වැඩේට සම්බන්ධ නොවුණේ එක් ගුරු සිසුවෙක් පමණි. ඒ ඔහු අසනීප තත්ත්වයෙන් නේවාසිකාගාරයෙන් පිටව ගොස් සිටි නිසාය. ඒ අනුව එදා නේවාසිකාගාරයේ රැඳී සිටියේ ගුරු සිසුන් 12 දෙනෙක් පමණි. ඔවුන් සැරසිලි වැඩ හමාර කර ඇඟපත සෝදා ගෙන නිදා ගැනීමේ අදහසින් නේවාසිකාගාරයට ගොඩවෙන්නේ 27 වෙනිදා අලුයම 2.30ට පමණය. ඒ පැමිණි ඔවුන්ට නිදහසේ හුස්ම ගැනීමට වත් ඉඩක් නොවීය. එක්වරම නේවාසිකාගාරයට කඩා වදින්නේ සිවුවැනි වසරේ ගුරු සිසු කණ්ඩායමකි. මෙම ගුරු සිසු කණ්ඩායම මෙතැනට කඩාවදින්නේ හබරාදූව පැත්තේ හෝටලයක රැස්වී හොඳ හැටි පදම් වීමෙන් අනතුරුවය. අවසන් පරීක්ෂණය පවා ඔන්ලයින් මඟින් මුහුණ දී සිටි ඔවුන්ට ගුරු භූමිකාව ගැන නිසි අවබෝධයක් නොමැතිව සිටි අය වූ බැවින් තමන්ගේ උත්සවයට නිදි වරාගෙන වෙහෙසවී සිටි නවක ගුරු සිසුන්ට නවක වදය දෙන්නට පටන් ගන්නේ වන මෘගයන් පිරිසක් ලෙසිනි.

මුලින්ම ඔවුන් කරනුයේ නවක සිසුන් සතුව තිබුණු ජංගම දුරකතන සියල්ල එකතුකර ගැනීමය. අනතුරුව නවක සිසුන් 12 දෙනාව නිරුවත් කරනුයේ ඊට එකඟ නොවූ සිසුන්ට අමානුෂික ලෙස පහර දෙමිනි. සිවුුුවැනි වසරේ සිසුන්ට එරෙහිව බලය පෑමට නවක සිසුන් සූදානම් වූවත් පිරිස් බලයෙන් ජ්‍යේෂ්ඨ සිසුන් ශක්තිමත් ව සිටි බැවින් ඒ අය කියන දේට ඇහුම්කන් දී සිටීම හැරුණු කොට වෙන කිසිදු විකල්පයක් ඒ මොහොතේ ඔවුන්ට නොවීය. ඇඳුම් උනා දැමීමෙන් අනතුරුව නවක සිසුන්ව බිම බඩ ගාවන්නේ අමු නිරුවතිනි. ඒ අතර එම නවකයන්ට විවිධ අයුරින් තාඩන පීඩනයන් කළ ෙජ්‍ය්ෂ්ඨයන් අවසානයේදි ඔවුන්ට නියෝග කරන්නේ ඇඳන් මතට නැඟී නිදා ගන්නා ලෙසය. එය ද සිදු කළ යුතු වූයේ නිරුවතිනි. පැයකට කිට්ටු කාලයක් එසේ අනේක විදි වධ හිංසාවන්ට නවක සිසුන් ලක් කළ ජ්‍යේෂ්ඨ ගුරු සිසුන් පිරිස එතැනින් ඉවත්ව යන්නේ නවක ගුරු සිසුන් නිරුවතින්ම නින්දට යවාය.

මේ ගැන නවක ගුරු සිසුන් නේවාසිකාගාර අධිකාරයාව දැනුම්වත් කරනුයේ උදෑසන කාලයේදීය. මේ ගැන නේවාසිකාගාර අධිකාරීවරයා විසින් දැනුම් දෙන්නේ උපපීඨාධිපතිවරයාටය. එහිදී නවක ගුරු සිසුන් 12 දෙනාට උපදෙස් ලැබෙන්නේ වහාම රෝහල්ගත වන ලෙසටය. ඒ ඔවුන් ඒ වන විට යම් ශාරීරික වධ හිංසාවන්ට ලක්ව සිටී බැවිනි. ඒ අතර රුහුණු ජාතික අධ්‍යාපන පීඨ බලධාරීන් තීරණය කරනුයේ 28 වෙනිදාට පැවැත්වීමට නියමිතව තිබුණු විසිර යෑමේ උත්සවය අත්හිටුවන්නටය. ඒ නවකයන්ට වධ දුන් ජ්‍යේෂ්ඨ සිසුන් හඳුනා ගෙන ඒ අය ඉවත් කරන තුරුය. ඒ සම්බන්ධයෙන් රුහුණු ජාතික අධ්‍යාපන පීඨය තුළ අභ්‍යන්තර විමර්ශනයක්ද ආරම්භ කෙරුණද උපපීඨාධිපති එයින් සෑහීමකට පත් වූයේ නැත. හේවා දෙවුන්දරගේ සරත් නම් වූ එම උපපීඨාධිපතිවරයා අක්මීමන පොලිසියට ද මේ ගැන දැනුම් දෙමින් විමර්ශනයක් පවත්වා නවක සිසුන්ට හිරිහැර කළ අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දෙන්නේ ජාතික අධ්‍යාපන පීඨයට රිංගන ලද නවක වදයට නැවතීමේ තිත තැබීමේ අරමුණ ඇතිවය.

ඒ අනුව අක්මීමන පොලිසිය ඒ ගැන සිය විමර්ශනයන් ආරම්භකරනුයේ ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත්ව සිටි නවක ගුරු සිසුන් සිවු දෙනාගෙන් ඒ ගැන පැමිණිලි සටහන් කර ගනිමිනි. එහිදී ඔවුහු තමන්ට සිදු වූ සෑම හිරිහැරයක් ගැනම පොලිසියට කීවෝය. ඒ අතර ජුගුප්සාජනක සිදුවීම් ද බොහෝය. ඒ හැම දෙයක්ම පොලිසිය සටහන්කර ගැනීමෙන් අනතුරුව ඊට වගකිව යුතු ජ්‍යේෂ්ඨ ගුරු සිසුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. එහිදී කලබල වූ එම ජ්‍යේෂ්ඨ ගුරු සිසුන් අතරෙන් 07 දෙනෙක් අක්මීමන පොලිසියට පැමිණ බාර වන්නේ නවක වදයේ වගකීම සිය කරමත පටවා ගෙනය. ඒ 28 වෙනිදාය. ඒ අයව එදිනම ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට අක්මීමන පොලිසිය වගබලා ගත්තේය. එහිදී එක් ගුරු සිසුවකු හැරුණු කොට සෙසු ගුරු සිසුන් සියලු දෙනාටම සිදු වන්නේ දින දෙකක් රක්ෂිත බන්ධනාගාරගත වන්නටය. එක් සිසුවකුට පමණක් එදින රුපියල් 50,000ක ඇපයක් මත නිදහස ලැබෙන විට සෙසු 06 දෙනාට නිදහස ලැබෙන්නේ 30 වෙනිදාය. ඒ රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මතය.

මෙම ජ්‍යේෂ්ඨ සිසුන් හත් දෙනා හැරුණු කොට පළමු වසරේ ගුරු සිසුන්ව නිරුවත්කර නවක වදය දුන් වෙන කිසිදු ජ්‍යේෂ්ඨ සිසුවෙක් අත්අඩංගුවට ගැනීමට තාමත් පොෙලිසිය උනන්දුවක් දක්වා ඇති බවක් නම් දක්නට නැත. පොලිසිය එසේ හැසිරෙන්නේ තිහ හතළිහක ජ්‍යේෂ්ඨ ගුරු සිසු පිරිසක් සම්බන්ධ වූ මෙම නවක වද සිදුවීම ගුරු සිසුන් 07 දෙනාගෙන් හමාර කිරීමේ සූදානමක් නිසා දැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි.

Comments