
- තාත්තාට පෙට්‍රල් ගැසූ පසු තාත්තාව බේරා ගන්න බර්නි සිසුවා ඉදිරියට පැනලා
- අපරාධකරු කවුරුන් දැයි කියා සොයා බැලීමටවත් මහනුවර පොලිසිය 29 වෙනිදා උදෑසන මාධ්‍ය වාර්තා පළ වන තුරු උනන්දුවක් දක්වලා නැහැ
දෙදහස් විසිඑක වසරට අදාළව පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූයේ පසුගිය 25 වෙනිදාය. ඒ අය අතර අම්පිටිය ශාන්ත ක්ලෙමන් විද්‍යාලයේ බර්නි සපෝන් දරුවාද සිටියේය. ඔහු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්කම් දක්වා තිබුණේ ඒ සාමාර්ථ 06ක් බී සාමාර්ථ 02ක් සහ සී සාමාර්ථ 01ක් සමඟිනි.
බර්නිගේ පියා සේවය කළේ කටුගස්තොට පිහිටි ෆිනෑන්ස් ආයතනයක අලෙවි කළමනාකරුවෙක් ලෙසිනි. මව ගෘහිණියකගේ භූමිකාවට පණ පොවමින් සිටියාය. ඒ බර්නිවත් ඔහුට වඩා අවුරුදු 02ක් පමණ බාල සහෝදරයාවත් රැක බලා ගනිමිනි.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් බර්නි සපෝන් ලද ජයග්‍රහණය දැනගත් බර්නිගේ මවගේ නැඟිණියට ඒ සතුට සමරන්නට සිතුණේ රාත්‍රී කෑම වේලකින් බර්නි සපෝන්ට සැලකීමෙනි.
බර්නි සපෝන් පදිංචිව සිටියේ අම්පිටිය පල්ලේගමය. නැන්දණිය පදිංචිව සිටියේ අම්පිටිය සෙමනේරියන් වත්තේ කුලී නිෙවසකය. කෙටි මං ඔස්සේ යන්නේ නම් මේ ගෙවල් දෙක අතර දුර කිලෝ මීටරයක්වත් නැති තරම්ය. එදා 26 වෙනිදා රෑ බර්නි සපෝන් සිය පියා සමඟ රෑ කෑමට නැන්දණියගේ නිවසට යන්නේ පාගමනින්ය. මව මේ ගමන එදා නොඑන්නේ බර්නිගේ සහෝදරයාට පාඩම් වැඩ ගොන්නක්ම කියා දීමට තිබුණු බැවිනි.
රාත්‍රී ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව බර්නි සපෝන් සිය පියා සමඟ නිවෙස බලා පිටත්ව යන්නට සූදානම් වන්නේ රාත්‍රී 8.30 ට පමණය. සිය පියා සමඟ බර්නි සපෝන් පාගමනින් නැවත නිවෙස වෙත ගමන් කරමින් සිටියදී අම්පිටිය මී කණුව දෙමළ මහා විද්‍යාලය ඉදිරිපිටදී පන්දමක් අතින් ඔසවා ගෙන සිටියෙක් ඔවුන් දෙදෙනා ඉදිරියට එක්වරම කඩා වදින්නේ හොල්මනක් ලෙසිනි.
“උඹල කවුද? ඒ පුද්ගලයා අමුතු විදිහකට විමසුවේය.
එතරම් උස මහත පුද්ගලයෙක් නොවූ ඔහුගේ ඒ කතා විලාසය බර්නිගේ පියාට එතරම් රිස්සුවේ නැත. පන්දම් එළියට ඔහු අත තිබුණු කඩුවක් දිලිසෙන අයුරු බර්නි සපෝන් මෙන්ම ඔහුගේ පියා ද දුටුවේය.
“උඹල මෙහෙ මොනවද කරන්නේ” පන්දම අතින් දරාගෙන සිටි පුද්ගලයා නැවතත් ප්‍රශ්නයක් නැඟුවේය.
ඊට ද බර්නි හෝ පියා පිළිතුරක් නොදුන්නේය.
“උඹල මෙහේ ආවේ මොකටද?”තරමක් කේන්තියෙන් මෙන් උස් හඩින් ඔහු නැවතත් විමසන්නට විය.
ඊටද පිළිතුරක් නොදී ඔවුන් දෙදෙනා ඔහුගෙන් මැඟ හැර යන්නට සූදානම් වූයේ එන පොට හොඳ නැති බව වටහා ගත් බැවිනි.
එහෙත් ඔවුන්ට අඩියකට දෙකකට වඩා පය තබන්නට ඉඩක් නොවීය. පන්දම අතින් දරාගෙන සිටි පුද්ගලයා තමා අත වූ බූලියක තිබුණු ඉන්ධන වර්ගයක් එකවරම බර්නි සපෝන්ගේ පියා වෙත දමා ගැසුවේය. එම ඉන්ධන වර්ගය පෙට්‍රල් බව සුවඳින්ම හඳුනා ගැනීමට ඔවුන්ට එතරම් අපහසු වූයේ නැත. සිදු වන්නට යන දේ ගැන දැනෙන්නට වූ බැවින් බර්නි සපෝන් එකවරම සිය පියාගේ ඉදිරියට එන්නේ ආරක්ෂක පළිහක් ලෙසිනි. බර්නි සපෝන් සිතන්නේ ඒ පුද්ගලයා එවිට සිය පියාව අත් හැර එම ස්ථානයෙන් ඉවත්ව යනු ඇතැයි කියාය. සිදු වන්නේ එය නොව ඒ පුද්ගලයා ඔහු අත වූ බූලියෙන් තවත් ඉන්ධන ටිකක් සමඟ ගිනි දැල් වෙමින් තිබුණු පන්දම ද බර්නි සපෝන්ගේ ඇඟට විසි කිරීමය. ඒ සමඟ ම ඔහු ගිනි ජාලාවක් බවට පත් විණි.
ඒ වන විට බර්නි සපෝන්ගේ පියාද සිටින්නේ ඉන්ධනවලින් නැහැවීය. මුළු සිරුරම ගිනි ජාලාවකින් වැසී පිලිස්සෙමින් සිටි බර්නි සපෝන් කිසිවිටකත් සිය පියා සිටි දෙසට දිව ගියේ නැත. තමා පියා වෙත දිව ගියහොත් සිදු වන්නේ කුමක්දැයි ඒ වන විටත් ඔහු සිට ඇත්තේ යම් අවබෝධයකිනි. ඒ නිසාම බර්නි දිව යන්නේ පියාගෙන් ඈතටය. ඒ දිව ගොස් ඔහු තණකොළ ගොල්ලක් අසල බිම පෙරළෙන්නේ ගින්න ඔහුම නිවා ගනිමිනි. එහෙත් ඒ වන විට බර්නි සිටින්නේ දැඩි පිලිස්සුම් තුවාල ලබාය. බර්නි සපෝන්ගේ ජීවිතය බේරා ගැනීමට ඔහුව මහනුවර රෝහල කරා ඒ මහා රෑ ඔසවා ගෙන දිව යන්නේ පියා විසිනි.
මෙම මහා අපරාධය සිදු වන්නේ මහනුවර පොලිස් වසමේදීය. බර්නිගේ පියා මේ ගැන පැමිණිලි කරන්නට මහා රෑ පොලිසි ගානේ බඩ නොගෑවත් රෝහල් පොලීසිය මේ ගැන මහනුවර පොලිසිය දැනුම්වත් කරන්නේ ඔවුන් රෝහලට ආ මොහොතේදීමය. නමුත් මහනුවර පොලිසියට නම් මේ ගැන නිසි විමර්ශනයක් පැවැත්වීමට තරම් උනන්දුවක් තිබුණේ දැයි ඇත්තේ ගැටලුවකි. අඩුම තරමින් එම අපරාධය වූ ස්ථානයටවත් මුලදී පොලීසිය ගිය බවක් වත් දැන ගන්නට නැත. හැබැයි නින්දෙන් ඇහැරුණාක් සේ මහනුවර පොලිසියත්, මහනුවර පොලිස් ලොක්කෝත් අවදි වන්නේ මෙම මහා අපරාධය ගැන 29 වෙනිදා මෙරට ජනමාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට පත් වීමත් සමඟිනි. එතෙක් මහනුවර පොලිසියට නම් මෙවන් අපරාධයක් සිය වසමේ සිදු වී තිබුණේ දැයි කියාවත් වගේ වගක් නොවීය. නමුත් මහනුවර ඇතැම් පොලිස් ලොක්කෝ නම් 28 වෙනිදා මාධ්‍යවේදීන් කළ විමසුම්වලදී නම් මාධ්‍යට කියා තිබුණේ පොලිස් කණ්ඩායම් දෙක තුනක්ම දමා අපරාධකරු අල්ලන්නට මහා දැවන්ත විමර්ශන පවත්වන බවකි. අපරාධකරු ගමෙන් පලා ගොස් ඇතැයි ද ඇතැම් පොලිස් ලොක්කෝ කීවෝය.
හැබැයි ඇත්ත කතාව නම් 26 වෙනිදා මහ රෑ පාසල් සිසුවකුව අමු අමුවේ පෙට්‍රල් දමා ගිනි තැබූ අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට තබා එම අපරාධකරු කවුරුන් දැයි කියා සොයා බැලීමටවත් පොලිසිය 29 වෙනිදා උදෑසන මාධ්‍ය වාර්තා පළ වන තුරු උනන්දුවක් දක්වා නොතිබුණු බවය. අඩුම තරමින් මේ මහා අපරාධය සිදු වී ඒ වන විට දින තුනක් ගත වී තිබුණ ද මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නවත් දැනුම්වත් කර තිබුණේ නැත.
ඒ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න අතට බුද්ධි අංශ වාර්තා මඟින් මෙම මහා අපරාධය කළ පුද්ගලයා සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ලැබී තිබුණේය. ඒ වන විට මුළු අම්පිටියටම පිළිලයක් බවට පත්ව සිටි ඔහු බූවැල්ලේ ගෙදර මලිත් නිසංසල සංජීව නොහොත් පැතැම් නැමැති අයෙකි. අධික ලෙස මත්කුඩු භාවිතයට පවා ඇබ්බැහි වී සිටින පැතුම් නමැති මේ අපරාධකරු අවුරුදු 28ක තරුණයෙකි. අම්පිටිය ඉහළ තැන්නේ කුඹුරේ පදිංචිව සිටින ඔහු නිතරම කඩුවක් අතින් ගෙන සිටින්නෙක් බවත් කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට වගකිව යුතු පුද්ගලයෙක් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න අත වූ වාර්තා අතර සටහන් වී තිබුණේය.
“පැතුම් කියන ඔය මිනිහා අමාරුකාරයෙක් සර්. කඩුවක් අතේ තියාගෙනයි හැම තිස්සෙම ඉන්නේ. අනක් ගුණක් නැහැ. ඒකෙන් කාට වුණත් කොටනවා.“ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න ඉදිරියේ මහනුවර සිටින අපරාධ මර්දන අංශවල ඇතැම් පොලිස් ප්‍රධානීන් පවසා ඇත.
මෙසේ මහනුවර පොලිසියත් බොරු බියක් පාමින් සිටි පැතුම් නමැති මෙම අපරාධකරුවා අද මේ තැනට පත්ව ඇත්තේ පොලිසියේම වරදිනි. ඒ පොලිසිය මුල සිටම ඔහුට එරෙහිව ලැබෙන පැමිණිලි නිසි ලෙස විභාග නොකරමින් අපරාධ කිරීමට ඔහුට උත්තේජනයක් දෙමින් පෝෂණය කළ බැවිනි. අම්පිටියේ ජනතාව ඒ නිසාම ඒ වන විට සිටියේ ද පොලිසිය සමඟ දැඩි කලකිරීමකට ලක්වය. ඒ මහා දවාලයේ පවා කඩුවක් අතින් ගෙන ඔහු එළිපිටම කප්පම් ගැනීම්වල නිරතව සිටියත්, ඒ ගැන පොලිසියට කීවත් පොලීසිය ඒ ගැන වගේ වගක් නොමැතිව සිටීම නිසාය.
ගම්වැසියන්ට අනුව මේ කියන අපරාධකරුගේ පියා මහනුවර හොල්ලා ගෙන සිටි අපරාධකරුවෙක් වූ ඉදිච්චාය. මහනුවර පොදු වෙළඳපොළේ වෙළෙන්දන්ගෙන් කාලයක්ම කප්පම් ගත්තේ ඔහුය. මහා එපා කරපු එකෙක් වූ ඉදිච්චා ද 2010 වසරේ මාර්තු 18 වෙනිදා මහා දවාලයේ මහනුවර මධ්‍යම පොදු වෙෙළඳ පොළ ඉදිරිපිටදී පිරිසක් විසින් මරා දමන්නේ දෑත් වෙන් වන්නට කපා දමාය. ඉදිච්චාගේ කැපූ දෑත් පොලිසිය එදා සොයා ගන්නේ බහිරව කන්දේ බෝක්කුවක් යට දමාගොස් තිබියදීය.
දෑත් කපා ඉදිච්චාව එසේ මරා දමන්නේ ඊට වසරකට දෙකකට පෙර ඔහු අතින් බෝගම්බර රජ කළ ටෝනි නමැති අයකු ඝාතනය වූ අයුරින්මය. ඉදිච්චා මහනුවර පොදු වෙළඳ පොළේ බලය ඇල්ලුවේ යැයි කියැවෙන්නේ ටෝනිව මරා දමාය. ඉදිච්චාගේ ඝාතනය පිටුපස ටෝනිගේ ඝාතනයේ පළිගැනීමද ලියැවී තිබුණේය. ඉදිච්චා ඝාතනය වන්නේ ටෝනිගේ ඝාතනයට සම්බන්ධව ඔහු බන්ධනාගාරගතව සිට එළියට විත් මාස 06ක් යන්නට මත්තෙනි.එදා මහනුවර පොදු වෙළඳ පොළේ ඇතැම් පිරිස් එම ඝාතනය සමරා තිබුණේ රතිඤ්ඤා දල්වා කිරිබත් ද පිසිමිනි.
ඉදිච්චාගේ ඝාතනයට සැකපිට කිහිප දෙනෙක්ම පොලිසිය අත්අඩංගුවට ගත්තද දැන් ඒ හැමෝම සිටින්නේ නිදහස ලබාය. ඒ අතර මහනුවර නගර සභාවේ හිටපු මන්ත්රීවරයෙක්ද සිටියේය. ඉදිච්චාගෙන් පසු මහනුවර පොදු වෙළෙඳ පොළේ තැන ගත්තේ එම මන්ත්‍රීවරයා විසින් මෙහෙය වූ කල්ලියකි. එම කල්ලිය අදටත් ඇත්තේ සක්රියවය.
ඒ නිසාම අමිපිටියේ විසීමට නොහැකි වූ තැන පවුල් කිහිපයක්ම අද වන විට අම්පිටිය අත්හැර ගොස් හමාරය. ඒ අය අතර අම්පිටියේ රෙදිපිළි ව්‍යාපාරයක් සහ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගිය පවුලක්ද සිටින්නේය. හම්බු කරන හැම සතේම පැතුම්ට කප්පම් ගෙවන්නට බැරිම තැන ඔවුන් අම්පිටිය අත්හැර යන්නේ පොලොන්නරුවටය. ඒ අය හැරුණු කොට තවත් පවුල් කිහිපයක්ම සූදානම් වෙමින් සිටියේ අම්පිටිය අත්හැර ආරක්ෂාවක් ඇති තැනකට යන්නටය. ඒ පැතුම් නමැති මේ අපරාධකරු සමඟ වසන්නට බැරිම තැනය. බුද්ධි අංශ පවා දන්නා මේ දේවල් මහනුවර පොලිසිය දන්නේ නැතැයි කියන්නේ නම් එය මහා විහිළුවකි.
බර්නි සපෝන්ට ගිනි තැබීමත් සමඟ බුද්ධි අංශ විසින් අම්පිටිය පැත්තේ කරක් ගසා සොයාගත් තොරතුරුවලට අනුව අම්පිටියේ අහිංසක වැසියන් මෙම අපරාධකරු නිසා පසුගිය කාලය පුරාම සිට ඇත්තේ මර බියෙනි. පොලිසියට කොතෙකුත් ඔහු ගැන කියා තිබුණ ද ඒ ගැන පොලිසියේ හැසිරීම වී තිබුණේ ගොලුවන් බිහිරන් සේය. පැතුම්ට එරෙහිව පොලිසියේ විටෙන් විට පැමිණිලි 17ක්ම ලියැවී තිබුණත් පැතුම්ව නීතිය හමුවට ගෙනවිත් මට්ටු කරන්නට තරම් පොලිසියට උනන්දුවක් නොවීය. අඩුම තරමින් මෙම අපරාධකරුගේ පෙර වැරදි කිහිපයකට අධිකරණය විසින් නිකුත් කර තිබුණු විවෘත වරෙන්තුව සහ දින වරෙන්තු 03ම ක්‍රියාත්මක කරනවා තබා ඒ ගැන පොලිස් පොත්වල සටහන් පවා තබන්නටවත් උනන්දුවක් දක්වා තිබුණේ නැත. පැතුම්ට එරෙහිව වරෙන්තු 4ක් ඇති බව මහනුවර පොලිසියේ උදවියට මතක් වන්නේත් ඒ ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ දෝෂාරෝපණයෙන් පසුවය.
පොලිසියේම තොරතුරුවලින් දැනගන්නට ඇති ආකාරයට අනුව බර්නි සපෝන්ට ගිනි තැබූ පැතුම් නමැති මෙම අපරාධකරු අයි.ආර්.සී කාරයෙකි. එසේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් බවට ඔහු පත්වන්නේ 2016 වසරේදීය. අනාවරණය වෙමින් ඇති ආකාරයට අනුව අපරාධ ලෝකයට පැතුම් අත්පොත් තබා ඇත්තේ පසුගිය වසරේදී රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් අපරාධයක් වූ මහනුවර ගාල තැන්න කඳුමුදුනේ දී පුද්ගලයන් දෙදෙනෙකුව කුරුසයේ ඇන ගැසීමට සම්බන්ධ කපුවාගේ කල්ලිය සමඟ එක්වය. දරුවන් නොමැති කාන්තාවන්ට දෙවියන්ගෙන් දරුවන් ලබා දෙන බව සඳහන් කරමින් දඹුල්ල පැත්තේ දේවාලයක් පවත්වාගෙන යමින් කාන්තාවන් දූෂණය කළ එම කපුවා තාමත් සිටින්නේ කුරුසයේ ඇණ ගැසීමේ වරදට බන්ධනාගාරගතවය. මෙම කපුවා විසින් කුරුසයේ ඇණ ගසන්නේ ද දරුවන් නොමැති කාන්තාවන්ට ඔහු දෙවියන් මඟින් දරුවන් ලබා දෙන හැටි ගැන ඇත්ත හෙළි කරමින් මුහුණුපොතේ සටහනක් දැමූ දෙදෙනෙකුවය. මෙම කපුවාට හයියට සිටින්නේ ඔහුගේ ඥාති සහෝදරයන් කිහිප දෙනෙකි. කපුවා හිරෙන් එළියට එනතුරු ඔහුගේ තැන දැන් රකිමින් සිටින්නේ ඒ එක් ඥාති සහෝදරයෙක් වන කළු අසිතය. කාලයක් තිස්සේම පැතුම් ළඟින් සිටියේ කළු අසිත සමඟිනි. 2015 සිටම කළු අසිත සමඟ විවිධ අපරාධවල නිරතව සිටි පැතුම් දැන් කළු අසිතගෙන් වෙන්ව සිටින්නේ තමාගේම කියා කණ්ඩායමක් සකස් කරගෙනය. කළු අසිතගෙන් ඔහු කැඩෙන්නේ සිය පියා වූ ඉදිච්චාව මරා දැමූ හිටපු මන්ත්‍රීවරයා සමඟ අසිත ඇහි හොඳයිකම් පවත්වන්නට වූ බැවිනි.
අම්පිටියේ පැත්තේ කරක් ගසන විට ගම්වැසියන්ගෙන් දැනගන්නට ඇති තොරතුරුවලට අනුව නම් පැතුම් නමැති අපරාධකරු මහා නරුමයකි. මෘගයෙකි. නිවෙස්වලට පැන බඩු මුට්ටු කොල්ලකා ගෙන යන්නේ රැයක් දවාලක් නොමැතිවය. කඩුවත් අතින් දරාගෙන යතුරු පැදි ස්පොකට් වීල් එකකින් සාදා ගත් දැති 15කින් සමන්විත කලා කිරිඤ්ඤයක් අතේ දාගෙන සිටින ඔහු වැඩි හරියක් කළ එළි බසින්නේ රාත්‍රී කාලයටය. දහවලට ඔහු වැඩිහරියක් සිටින්නේ කැලෑ පැනය. ඒ අතර ඔහු සිය දරුවා සහ බිරිය බැලීමට ගේ දොර පැත්තේ වරක් දෙවරක් කරක් ගසන්නටද අමතක නොකරයි.
කියැවෙන ආකාරයට අනුව එදා බර්නි සපෝන්ට ගිනි තබන්නේද ඔවුගේ පියාව බිය ගන්වා කීයක් හරි කඩා ගැනීමට සූදානම් ව එය අසාර්ථක වූ තැනය. බර්නිගේ පියා ඔහුව දැක බියක් දැක්වූයේ නම් බර්නි සපෝන්ට ඔහු පෙට්‍රල් වත්කර ගිනි තබන්නේ නැත. කීයක් හරි කඩාගෙන මාරුවී යනු ඇත. බර්නි සපෝන්ගේ පියාගෙන් එදා ඔහුට කීයක් වත් කඩා ගන්නට ඉඩක් නොවූවත් මත්කුඩු බොන්නට එදා කෙසේ හෝ ඔහු රුපියල් 10,000ක් ඔහු සොයාගත්තේය. ඒ බර්නි සපෝන්ට ගිනි තැබූ කිට්ටුව පාතම පිහිටි පරණ යකඩ බඩු රැස් කරන ව්‍යාපාරිකයකුගේ නිවෙසක් වෙත ගොසිනි. ඒ ඔහු අතේ වූ කලාකිරිඤ්ඤෙන් එම නිෙවසේ දොරට තඩි බා හානිකර නිෙවසට පෙට්‍රල් ද ගසා නිවස ගිනි තබන බවට බිය ගන්වමිනි. මහනුවර පොලිසියේ නොලියැණු මෙවැනි අපරාධමය සිදුවීම් අම්පිටියේ බොහෝය.
පොලිස් පොත්වල මෙවැනි පැමිණිලි නොලියැවෙන්නේ අම්පිටියේ වැසියන්ට පොලිසිය කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැතිකම නිසාය. අම්පිටියේ ජනතාව විශ්වාස කරන්නේ මහනුවර පොලිසිය පෙනී සිටින්නේ නීතිගරුක පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නොවන බවය. ඒ අය තදින්ම විශ්වාස කරනුයේ පොලිසිය සිටින්නේ අපරාධකරුවන් ආරක්ෂා කර ගන්නට බවය. පොලිසිය සිය රාජකාරිය හරියට ඉටු කළේ නම් පැතුම් පොළොවට පස් වී හෝ මහඋළුගෙදරට ගොස් බොහෝ කල් බව අම්පිටියේ වැසියන් සිතන්නේය.
බර්නි සපෝන්ට ගිනි තබන්නට පෙර පැතුම්ට එරෙහිව මහනුවර පොලිසියේ ලියැවෙන තවත් එක් පැමිණිල්ල වන්නේ ත්‍රී රෝද රථ රියදුරකු විදුලි පහන් කණුවක ගැටගසා කඩුවකින් කොටා තුවාල කිරීමක් ගැනය. එම අපරාධය සිදු වන්නේ පසුගිය නොවැම්බර් 07 වෙනිදාය. දුරාජ් මධුසංක නමැති ත්‍රීරෝද රථ රියදුරුව පැතුම් සිය ගෝලබාලයන් කිහිප දෙනෙක් සමඟ අම්පිටියේ දෙවැනි සුරුවම අසලින් අල්ලාගෙන විත් විදුලි කණුවක ගැට ගසන්නේ අම්පිටිය මීකණුවේ දී ය. දෙනෝ දහක් බලා සිටිය දී මහ දවාලයේ පහර දී කඩුවකින් කපා දැමූ ඔහු අදටත් සිටින්නේ මහනුවර රෝහලේය. මහනුවර පොලිසියේ ඒ පැමිණිල්ල පවා ලියැවෙන්නේ ඔහු රෝහල් ගත වීම නිසාය. එසේ නොවන්නට පැතුම්ට එරෙහිව එම පැමිණිල්ල ද පොලිසියේ ලියැවෙන්නේ නැති තරම්ය.
එම අපරාධය ගැන ජනමාධ්‍යයේ වාර්තා නොවීම නිසාමදෝ මහනුවර පොලිසියට ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමට කිසිදු උනන්දුවක් නොවීය. සතියක් හමාරක්ම ගම්වැසියන් පොලිසියේ හැසිරීම ගැන ද ඇස ගසාගෙන සිටියේය. තරුණයන් කිහිප දෙනෙක් පැතුම්ගේ ගෝලයකුට දිනක් හොඳටෝම තඩි බාන්නේ පොලිසියෙන් පැතුම්ට සහ ඔහුගේ කල්ලියට එරෙහිව කිසිදු ප්‍රතිචාරයක් නොවූ තැනය. පොලිසිය වයින් වෙන්නේ එවිටය. ඒ පැතුම්ගේ ගෝලයෙකුට පහරදීම ගැන හිත උණු වෙමිනි. පැතුම්ව සහ ඔහුගේ ගෝලබාලයන් අල්ලා කූඩු කර අම්පිටියේ ජනතාවට බියක් සැකක් නොමැතිව නිදහසේ ජීවත්වීමට අවස්ථාව උදා කර දෙනවා වෙනුවට පොලිසිය කරනුයේ පැතුම්ගේ ගෝලයාට පහරදුන් ගම්වැසියන් කිහිප දෙනෙකු අල්ලා කූඩු කිරීමය. අවසානයේදී ඔහුට ලක්ෂයක වන්දියක්ද අරන් දෙන්නට පොලිසිය කටයුතු කළේ පැතුම් අල්ලන්නට නොතිබුණු උනන්දුවකින් පැතුම්ගේ ගෝලයාට පහර දුන් අය අල්ලා ගෙනය.
බර්නි සපෝන්ට ගිනි තැබීමට තරම් හයියක් පැතුම්ට ලැබෙන්නේ පොලිසියේ මෙම ක්‍රියාකලාපය නිසාය. බර්නිට ගිනි තැබීම ගැන ජනමාධ්‍ය වැඩි ඉඩක් වෙන් නොවෙන්නට පැතුම්ට එරෙහිව මේ තරමින් වත් ක්‍රියාත්මක වීමට පොලිසියේ දෑස් විවර වන්නේ නැති තරම්ය. 29 වෙනිදා ජනමාධ්‍ය විසින් මෙම අපරාධය ගැන රටට හෙළි කරන විට පොලිසිය ඇතැම් නිලධාරීන් හෙලුව වසා ගන්නට අහිංසක උත්සාහයක නිරත වන්නේ අම්පිටියට හතර වටින්ම පොලිසිය කැඳවමිනි. වෙන කවරදාවත් නැති තරමට පොලිස් බළකායක්ම අම්පිටියට දමා වැඩ පෙන්වන්නට ගත්තේ ජනමාධ්‍යයද කැඳවමිනි. අනතුරුව 29 වෙනිදා සවස් වන විට පොලිසිය නිල ප්‍රකාශයක් නිකුත් කරනුයේ එතරම් කාලයක් තිස්සේ අල්ලන්නට බැරි වුණු පැතුම්ව අත්අඩංගුවට ගත් බව සඳහන් කරමිනි. එසේ අත්අඩංගුවට ගන්නට සුළු මොහොතකට පෙරත් ඔහු අම්පිටිය කුරුස කන්ද පැත්තේ දී කඩුව පෙන්වා තලාතුඔය කොස්සින්නේ තරණයෙකු අත වූ ඇපල් 6s වර්ගයේ ජංගම දුරකතනයක් ද කොල්ලකා තිබුණේය. ඔහුව අත්අඩංගුවට ගන්නේ එම ජංගම දුරකතනය ද රැගෙන මත්කුඩු මිලදී ගැනීමට අම්පිටියේ තැනකට එමින් සිටියදීය.
පොලිසිය පැත්තෙන් කියැවෙන ආකාරයට අනුව පැතුම්ව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩි වෙහෙසක් දරාය. එහිදී පැතුම් පොලිස් ග්රහණයෙන් මිදී පලායාමට පොර බැඳීමක්ද කර ඇති බව කියැවෙයි. එහිදී ඔහු අඩි 15ක පමණ ප්‍රපාතයකින් වැටී ඇත්තේ පොලීසියේ නිලධාරීන් දෙදෙනකුත් එක්කමය. ඒ නිසා පැතුම් මෙන්ම එම නිලධාරීන් දෙදෙනාත් දැන් සිටින්නේ මහනුවර රෝහලේය. කියැවෙන ආකාරයට අනුව පැතුම්ගේ පාදයේ අස්ථියක් බිඳීමට ලක්ව ඇති අතර, පොලිස් නිලධාරීන්ට නම් එතරම් හානියක් නැති තරම්ය. පොලිසිය විසින් එසේ මහා මෙහෙයුමක නිරතව දැඩි පරිශ්‍රමයකින් පැතුම්ව අත්අඩංගුවට ගත්තේ යැයි කීවාට සැබෑ ලෙසම පැතුම්ව කොටුකර දුන්නේ කවුරුන්දැයි හොඳින්ම දන්නේ අම්පිටියේ ජනතාවය.
පොලිසිය කරන්නේ ගම්වැසියන් අල්ලා දුන් පැතුම්ව අත්අඩංගුවට ගැනීමය. අනතුරුව පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කර අත්බෝම්බයක්ද සොයා ගත්තේය. ඒ හැරුණු කොට ගිනි තැබීම්වලට යොදා ගත් පැට්රල් බූලියත් කලාකිරිඤ්ඤත්, ගංජා ග්‍රෑම් 720කුත් සොයාගත් බව පොලිසිය කියයි. එහෙත් ඔහු අපරාධ රැසකට යොදාගත් කඩුව නම් ඒ අතර නොවීය. පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යෑමට ගොස් පොලිස් නිලධාරීන් සමඟ පොර බදා හෙලකට වැටෙන්නේ ද මේ දේවල් සොයා ගැනීමෙන් අනතුරුවය.
පොලිසිය කෙරෙහි කැකෑරෙන වෛරයකින් මෙන්ම අවිශ්වාසයකින් සිටින අම්පිටියේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට මහනුවර පොලිස් ලොක්කෝ අම්පිටියේ ජනතාව මුණ ගැසෙන්නට යන්නේ මේ සියල්ලක්ම අවසානයේදීය. තැන තැන රැස්වීම් තබා ජනතාවගේ සිත් දිනාගැනීමට පොලීසිය දැඩි උත්සාහක නිරත වූවත් ජනතාව පොලීසියට කියන්නට ඇති හැම දෙයක්ම බියක් සැකක් නොමැතිව මුහුණටම කීවේ ඔවුන්ගේ රෙදි ගැලවී යන්නටය. අම්පිටියේ ජනතාව පොලිසියේ නිද්‍රාශීලි හැසිරීම ගැන කියන විට පොලිස් ලොක්කෝ ජනතාවගෙන් අසන්නේ පැතුම් සමඟ සම්බන්ධකම් ඇති පොලිස් නිලධාරීන් කවුරුන්දැයි කියාය. පොලිස් ලොක්කන්ට පැටළී ඇත්තේ එතැනය. බර්නි සපෝන්ට ගිනි තැබීම ගැන විමර්ශන පැවැත්වීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම දමා ඇතැයි කියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හමුවේ රෙදි ගලවා ගත්තේද එම නිලධාරීන්මය. අම්පිටියේ භීෂණය ගැන මුල සිටම නිසි අධ්‍යයනයක් කරන්නේ නම් පෙනී යන්නේ පොලිසියේ නිලධාරීන් පැතුම්ගෙන් යැපෙන කතාවක් හෝ ඔහු සමඟ පොලිසියට ඇති සම්බන්ධයක් ගැන නොව, මහනුවර පොලිසියට ලැබෙන මහජන පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය නිසි අවධානයක් යොමු නොකර පොලිසියට වී අයිස් ගසමින් සිටින බවකි. පැතුම් වැනි අපරාධකරුවන් බිහි වෙන්නේ ඒ නිසාය. එබැවින් දැන් කළ යුතුව ඇත්තේ පුටු රත්කරමින් වසර ගණනාවක් තිස්සේම මහනුවරින් පිටතට අඩියක් තබා නොමැතිව බූවල්ලන් මෙන් මහනුවරම එල්ලී සිටින පොලිස් නිලධාරීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති මහනුවර පොලිසිය කොනක සිට ශුද්ධ කිරීමය. එසේ නොවන තාක්කල් පැතුම්ලා වැනි අපරාධකරුවන් මහනුවරින් බිහි වීම වැළකිය නොහැකි වනු ඇත.
ඡායාරූප- රුවන් මීගම්මන