
ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වනු ලබන්නේ අනාවැකි පළ කිරීමට නොහැකි ක්‍රීඩාවක් ලෙසටය. එය විස්මයජනක ක්‍රීඩාවක් වන්නේ එබැවිනි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නොම්මර එකේ කණ්ඩායම් පවා ඕනෑම අවස්ථාවක කෝඩුකාර කණ්ඩායම් හමුවේ පරාජය වීමට හැම අතින්ම ඉඩකඩ ඇති බව ක්‍රිකට් විචාරකයන්ගේ අදහසය. එවැනි පෙරළිකාර අවස්ථාවන් ද ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එමටය. එසේ වුවත් මේ විස්මයජනක ක්‍රීඩාවේ තිරය පසුපස සිට අනාවැකි පළ කරන්නෝ අපමණ වෙති. එම අනාවැකි ‘ටක්කෙටම‘ සැබෑ වන අවස්ථා ද පසුගිය කාලයේ වාර්තා විය. මේ කියන්නේ කණ්ඩායමක් රැස් කරන ලකුණු සංඛ්‍යාව, දැවී යන කඩුලු සංඛ්‍යාව, විශේෂිත පිතිකරුවන් සහ පන්දු යවන්නන් ලබා ගන්නා ලකුණු සහ කඩුලු ප්‍රමාණය මෙන්ම තරගයේ අවසන් තීරණය ද තරගයට පෙර නිවැරැදිව පවසා ඩොලර් දහස් ගණනින් මඩිය තර කර ගන්නා ක්‍රිකට් ඔට්ටු තැබීමේ ජාවාරමේ බුකීකරුවන් ගැන නොව යම්කිසි තරගයක ආරම්භයේ සිට අවසානය දක්වා තණ තීරුව හැසිරෙන ස්වභාවය තීරණය කරන අප්‍රකට පිරිසක් ගැනය. ඔවුන් හඳුන්වනු ලබන්නේ තණතීරු සකස් කරන්නන් ලෙසිනි. නොඑසේ නම් කියුරේටර් (curator) යනුවෙනි. කියුරේටර්ස්ලාගේ රාජකාරිය අප මතුපිටින් දකිනවාට වඩා බෙහෙවින් සංකීර්ණය. එය ඉතා භාරධූර කාර්යයක් මෙන්ම ඩොලර් ලක්ෂ ගණනාවක වටිනාකමකින් යුතු තරගයක අවසන් තීරණය කෙරෙහි බලපාන ප්රබලතම සාධකය ද වේ.
කියුරේටර් පිටියට බසින්නේ ක්‍රීඩාව අතරතුර නොවන බැවින් ඔවුන් සම්බන්ධව ක්‍රීඩාලෝලීන්ට අවබෝධයක් හෝ අවධානයක් නැත. තරගයට දින කිහිපයකට පෙර රාජකාරිය අරඹන මේ කියුරේටර්ස්ලා තරගයේ ආරම්භයට මොහොතකට පෙර එය නිමාවට පත් කරනු ලබන්නේ දෙපිලටම කරට කර තරග කිරීමට අවශ්‍ය වේදිකාව තනා දීමෙන් පසුවය. එහෙත් ඉන් අනතුරුව ද තරගයේ අවසානය දක්වා තණ තීරුවේ ස්වභාවය පිළිබඳ දැඩි අවධානයකින් පසුවීම ඔවුන්ගේ රාජකාරියේ කොටසකි. ඒ අනුව බැලීමේදී කියුරේටර් යනු ක්‍රීඩකයන් ඇති කරන සහ ක්‍රීඩකයන් නැති කරන යන දෙයාකාරයෙන්ම තණ තීරු සකස් කළ හැකි අරුම පුදුම වෘත්තියකි.
කියුරේටර්ස්ලාගේ කාර්යභාරය නිතැතින්ම සත්කාරක කණ්ඩායමට වාසිදායක ලෙස තණතීරුව සකස් කිරීමය. එය සාමාන්‍ය දෙයකි. ජාත්‍යන්තර තරගයකදී තම රටට වාසිදායක අයුරින් තණතීරුව සකස් කිරීම ඕනෑම රටක කියුරේටර්ස්ලා අතින් සිදුවන්නකි. ඒ හැර මධ්‍යස්ථ ආකාරයේ තණතීරු සකස් කිරීමක් ලොව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින කිසිදු රටක සිදු වන්නේ නැත. එසේ වුවත් අවසානයේදී තම කණ්ඩායමට නොව ප්‍රතිවාදී කණ්ඩායමට තණ තීරුවෙන් වාසිදායක තත්ත්වයක් නිර්මාණ වන අවස්ථාවන් ද තිබේ. කියුරේටර් කෙරෙහි කාගෙත් අවධානය යොමු වන්නේ එවැනි අවස්ථාවන්හිදීය. සත්කාරක කණ්ඩායම තරගයෙන් පරාජය වීම කියුරේටර්ගේ රාජකාරිය පවා අවදානමකට පත්වීමකි. මන්ද ඕනෑම ක්‍රිකට් තරගයක පරාජයකට සත්කාරක පිලේ ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවූවද, කියුරේටර්ස්ලා ද යම්කිසි ප්‍රමාණයකින් කොටස්කරුවන් වන බැවිනි.
එබැවින් ඕනෑම ජාත්‍යන්තර තරගයකට පෙර කියුරේටර්ස්ලා තණ තීරුව සකස් කරන්නේ එම කරුණ මතකයේ තබාගෙනය.
එහෙත් එසේ ඕනෑවට වඩා සත්කාරක රටට වාසිය දෙන්නට යෑමෙන් ජාත්‍යන්තර අපවාදයට හසුවූ කියුරේටර්ස්ලා ද වෙති. එවැනි කියුරේටර්ස්ලා දෙදෙනකුට පසුගිය කාලයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් ද පැනවීමට පියවර ගෙන තිබිණි. ඉන් එක් අයකු අසල්වැසි ඉන්දියාවේය. අනෙකා ශ්‍රී ලංකාවේය. ලෝක අපවාදයට හසුවී රැකියාවෙන් දොට්ට දැමූ ඉන්දීය කියුරේටර් වන්නේ 70 දශකයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හිටපු වේගපන්දු යවන්නකු වන පන්ඩුරන් සල්ගාඕකර්ය. අනෙකා අසූව දශකයේ අගභාගයේ සිට අනූව දශකයේ මුල් භාගය දක්වා ක්‍රීඩා කළ මෙරට හිටපු දඟපන්දු යවන්නෙකි. දෙදෙනාටම මේ ඉරණමට මුහුණ දීමට සිදු වූයේ ඕනෑවට වඩා සත්කාරක රටට වාසිදායක ආකාරයෙන් තණතීරුව සකස් කිරීම පමණක් නොව තරගය සම්බන්ධව ප්‍රසිද්ධියේ අනාවැකි පළ කරන්නට යෑමෙනි.
2017 වසරේ අගභාගයේදී එවකට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටි නවසීලන්ත කණ්ඩායම පූනේ නුවරදී එක්දින තරගයකට ක්‍රීඩා කළ අතර, එම තරගයට දිනකට පෙර කියුරේටර් සල්ගාඕකර් සමඟ සංවාදයක නිරත වූ ඉන්ඩියා ටුඩේ රූපවාහිනී නාළිකාවේ විමර්ශනාත්මක වාර්තාකරුවකු එම සංවාදය රහසිගතව වීඩියෝ පටිගත කර තිබිණි. එහිදී සල්ගාඕකර් බුකීකරුවකු ලෙස රඟපෑ වාර්තාකරුට කියා ඇත්තේ එම තණතීරුව ඉතා හොඳ තණ තීරුවක් බවය. එමෙන්ම එහි ලකුණු හයසිය ගණනක් සැඟවී ඇති බවත්ය. ඕනෑම කණ්ඩායමකට ලකුණු 337ක් රැස් කිරීමේ හැකියාව ඇතැයි ද, ප්‍රතිවාදී කණ්ඩායමට එය හඹා ගොස් ජයග්‍රහණය අත්කර ගැනීමේ හැකියාවත් ඇතැයි ද ඔහු අනාවරණය කර තිබිණි. එමෙන්ම තණතීරුවේ ස්වභාවය මිනිත්තු පහක් ඇතුළත වෙනස් කිරීමේ හැකියාව ඇතැයි කී සල්ගාඕකර් ඒ සඳහා කළ යුතු වන්නේ කුඩා සිදුරු හාරා එතුළින් ජලය පිරවීම බව ද හෙළිදරවු කළේය. මේ තොරතුරු සඳහා තමා ගෙවිය යුතු වූ මුදල කොපමණදැයි වාර්තාකරු අසා සිටි අවස්ථාවේ සල්ගාඕකර් කියා ඇත්තේ තරගයෙන් පසුව ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතු බවය. නවසීලන්ත පිලේ ජයග්‍රහණය වෙනුවෙන් තණතීරුව සකස් කිරීමට බුකීකරුවා ලෙස පෙනී සිටි වාර්තාකරු යෝජනා කරද්දී සල්ගාඕකර් ඊට එකඟතාව පළ කර තිබිණි. එහෙත් පැය කිහිපයකට පසු විඩියෝ පටය ප්‍රසිද්ධියට පත් වූ අතර, සල්ගාඕකර් තනතුරෙන් දොට්ට දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට තරග තහනමක් පනවනු ලැබුවේ ඉන් පසුවය. මේ ප්‍රවීණ තණ තීරු භාරකරුට එරෙහිව නැඟුණු චෝදනා තවත් තිබූ බවත් පසුව වාර්තා විය.
ශ්‍රී ලාංකික කියුරේටර්ගේ ජාත්‍යන්තර තහනම වසර තුනක එකකි. ඔහු කලක් ගාල්ල තණතීරුව භාරව සිටි කියුරේටර්ය. සාමාන්‍යයෙන් ජාත්‍යන්තරයේ ගාල්ල ක්‍රිකට් පිටිය ප්‍රචලිතව ඇත්තේ එහි පැවැත්වෙන බොහෝ තරග ශ්‍රී ලංකාව ජයගන්නා බවටය. බොහෝ විට ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරග අවසන් දිනය දක්වා ඇදී නොයන බවත්, බොහෝ විට දින තුනකින් හෝ තුනහමාරකින් තරගය නිමාවට පත්වන බවත් ප්‍රකට කරුණකි. එය තනිකරම දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයකි. මේ කියන කියුරේටර් අනාවැකි පළ කිරීමේ රුසියකු වූ අතර, ගාල්ලේ ටෙස්ට් තරග අවසන් වන දින වකවානුව ටක්කෙටම කීමට හපනෙකි. තරගය දින තුනෙන් නිමාවට පත්වන බව, තුන්වැනි දිනයේ පස්වරු තේ පානයට පෙර නිමාවන බව, සිවුවැනි දිනයේ දිවා ආහාරයට පෙර නිමා වන බව ආදි වශයෙන් ඔහු වරින් වර අනාවැකි පළ කළ අතර, ඔහුට වැරදුණේ ප්‍රසිද්ධියේ අනාවැකි පළ කිරීමට යෑමෙනි. ඔහු තහනමට ලක්වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගාල්ල ක්‍රීඩාංගණය අරභයා සිදු කරමින් තිබූ හෙළිදරවු නොකළ පරීක්ෂණයක් සම්බන්ධව ලිපිගොනුවක් ඉදිරිපත් කරන ලෙසට වසර 2016දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් කරනු ලැබූ දැනුම්දීමක් නොසලකා හැරීම සහ එම ඒකකයේ නිලධාරීන්ට සහාය නොදැක්වීම මතය. එය වසර තුනකින් අවසන් වූවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ නිලධාරීන් හමුවේ පෙනී නොසිටිනතාක්කල් ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු ක්‍රියාකාරකමකට සම්බන්ධ වීමට තවමත් අවස්ථාවක් නැත.
මීට වසර කිහිපයකට පෙර අල් ජසීරා රූපවාහිනි නාළිකාව විසින් හෙළිදරවු කරනු ලැබූ ආන්දෝලනාත්මක සිදුවීමට මුල් වූයේ ද තණ තීරු සැකසීමේ පළ හිලව්වකි. වසර 2018 මැයි මාසයේ 26 වැනි සෙනසුරාදා උදෑසන මේ මිනිත්තු 53ක මිනිත්තු 53ක දීර්ඝ වීඩියෝ ගවේෂණාත්මක වැඩසටහන අල් ජසීරා රූපවාහිනිය විකාශය කරමින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් පිටියේ දූෂණ වංචා බෝම්බය පුපුරා හැරියේය. ඔවුන්ගේ වෙස්වළාගත් වාර්තාකරුවන් විසින් පටිගත කරනු ලැබු කියන ක්‍රිකට් ක්‍රීඩාවේ ඔට්ටු තබන බුකීකරුවන්, තරග පාවාදීමට සම්බන්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ තවත් පුද්ගලයන් සමඟ කළ සාකච්ඡාවන් ඊට ඇතුළත් වූ අතර, ඉන් ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ එම වීඩියෝ පටයේ අඩංගු ශ්‍රී ලංකාවට සම්බන්ධ සිදුවීම්ය.
මේ වීඩියෝවට අදාළව අල් ජසීරා පුවත් සේවය විසින් නිකුත් කර ඇති නිවේදනය කියවද්දී එය කෙතරම් බැරෑරුම් සිදුවීම් පෙළක්දැයි සිතේ.
‘ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පාවාදීම ගැන අල් ජසීරා ගවේෂණාත්මක ඒකකය මෙසේ හෙළිදරවු කරයි. ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට අල්ලස් ලබාදී ක්‍රිකට් තරග තමන්ට අවශ්‍ය ලෙස හසුරුවමින් බුකීකරුවන් මිලියන ගණනින් මුදල් උපයාගැනීම කෙතරම් අපරාධයක්දැයි අපේ මේ ගවේෂණයෙන් හෙළිදරවු කරමු. ඉහළ මට්ටමේ ක්‍රිකට් තරග, ටෙස්ට් ක්‍රිකට් තරග හා ශීඝ්‍ර ජනප්‍රියත්වයකට පත්වී ඇති විස්සයි20 තරග ඉලක්ක කරමින් මේ ජාවාරම කරගෙන යන අපරාධකරුවන් හෙළදරවු කිරීමට අප ඉතා රහසිගතව ඔවුන්ගේ සාකච්ඡා පටිගත කළෙමු. ක්‍රිකට් පිටියේ ප්රබලතම කණ්ඩායම් ක්‍රීඩා කරන ටෙස්ට් තරග පාවාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟවන ආකාරයත් අප පටිගත කළෙමු. එමෙන්ම මාස 18ක් පුරා කළ මේ ගවේෂණයෙන් අපරාධකරුවන්ගෙන් මුදල් ලබාගෙන ටෙස්ට් තරග 2කදී ක්‍රීඩාංගණයේ තණතීරුව පළුදු කරමින් ඔවුන්ට තරගය පාලනය කිරීමටත්, ප්‍රතිඵලය වේලාසනින්ම අනුමාන කරමින් මිලියන ගණනින් මුදල් උපයාගැනිමටත් ඉඩ ප්‍රස්ථාව ලබාදුන් එක්තරා ක්‍රීඩාංගණ ප්‍රධාන නිලධාරියකු කටයුතු කළ ආකාරයත් අපි මෙසේ හෙළිදරවු කරමු.’
මේ ලියුම්කරු විසින්ම එම ලිපිය එවකට ‘දිනමිණ‘ සහෝදර පුවත්පතට වාර්තා කරනු ලැබූ අතර, ඊට පාදක වී තිබුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරග දෙකකි. ඉන් එක් තරගයක් 2017 වසරේ ජූලි මාසයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරය. අනික් තරගය 2016 අගෝස්තුවේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතරය. ලබන නොවැම්බරයේ ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගයේදිත් තණතීරුව පළුදු කිරීමට ඔවුන් සැලසුම් කළ ආකාරයත් අල් ජසීරා වාර්තාකරු රහසිගතව පටිගත කරගෙන තිබිණි.
ගාල්ල තණතීරුව පළුදු කිරීමට අල්ලස් ලබාදුන් බවත්, අනතුරුව ඔට්ටු තබා අතිවිශාල මුදල් කන්දරාවක් දිනාගත් බවත් වෙස්වළාගත් අල් ජසීරා වාර්තාකරුවන්ට කියනු ලැබුවේ ඉන්දියාවේ මුම්බායි නුවර සිටින රොබින් මොරිස් නමැති බුකීකරුවකු විසිනි. තණතීරුව අපට අවශ්‍ය පරිදි සකස් කළ හැකිදැයි ගාල්ලේ හෝටලයක පැවැති හමුවකදී මොරිස් විසින් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිලධාරියකුගෙන් විමසූ බවත්, ‘පන්දු යවන්නාට වාසිදායක විදිහට නැත්තම් පිතිකරුවාට වාසිදායක විදිහට මට තණතීරුව හදන්න පුළුවනි.’ යැයි එම නිලධාරියා ප්‍රකාශ කළ බවත් මොරිස් සඳහන් කරයි.
‘ඔබට තණතීරුව හදලා දෙන්න ඕනා දඟපන්දුවට වාසිදායක විදිහටද, වේගපන්දුවට වාසිදායක විදිහටද නැතිනම් පිතිහරඹයට වාසිදායක විදිහටද ඕන විදිහට වැඩේ කරන්න පුළුවනි.’ ගාල්ල ක්‍රීඩාංගණයේ නිලධාරියා වැඩිදුරටත් කියා තිබේ. එමෙන්ම ඔස්ට්‍රේලියාව සමඟ 2016 වසරේ පැවැති තරගයේදී තමා පන්දු යවන්නන්ට වාසිදායක ලෙස තණතීරුව සකස් කළ බව ඔහු බරපතළ ප්‍රකාශයක් ද කර තිබිණි.
‘ඒ දවස් පහේ තරගයේදී අපි ගල් රෝලක් පාවිච්චි නොකරයි තණතීරුව සකස් කළේ. ඒ විදිහටයි අපි දඟපන්දුවට උචිත තණතීරුවක් හැදුවේ. ඒ විදිහට තණතීරුවක ටෙස්ට් තරගය දවස් පහක් යන්නෙත් නෑ, ඩ්‍රෝ වෙන්නෙත් නැති බව සහතිකයි.’ ඒ ආකාරයෙන් තණතීරුව සකස් වෙද්දී පිතිකරුවන්ට මුහුණපෑමට සිදුවන ඉරණම බුකීකරුවා වේලාසනින්ම දැනගනී. එවිට තරගය ජයපරාජයෙන් තොරව නිමානොවන බවට ඔට්ටු තබා අතිවිශාල මුදලක් දිනාගැනීමට ඔහුට හැකිය.ඉන්දීය පිල සමඟ පැවැති තරගයේදී පිතිකරුවන්ට වාසිවන ආකාරයෙන් තණතීරුව සකස් කළ බව අල් ජසීරා රූපවාහිනියේ වෙස්වළාගත් වාර්තාකරුවන්ට ගාල්ල ක්‍රීඩාංගණයේ නිලධාරියා කීවේය.
‘අපි ගල් රෝලකින් තණතීරුව තැළුවා. ඊළඟට එය තවත් රළු කරන්න හොඳින් වතුර දැම්මා.’
ඒ අනුව එම තරගයේ පළමු ඉනිමේදී දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා වීමේ ඉඩකඩ නිර්මාණය වූ බවත්, බුකී කරුවන්ගේ අනාවැකිවලට වඩා පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ යන බවට ඔට්ටු තබා සෑහෙන මුදලක් උපයාගැනීමට අපරාධකරුට අවස්ථාව උදා වූ බවත් කියැවිණි. එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 600ක් රැස් කළේය.
මීළඟට ඔබට අවශ්‍ය පරිදි ගාලු තණතීරුව සකස් වන්නේ කුමන තරගයේදිදැයි ගාල්ලේ පැවැති හමුවේදී අල් ජසීරා වාර්තාකරු මොරිස්ගෙන් විමසා තිබිණි.
‘ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයටයි’
එය පැවැත්වීමට නියමිතව තිබුණේ එම වසරේදීම නොවැම්බර් මාසයේදීය. එම තරගයත් දින 4කින් නිමාවට පත් කළ හැකිදැයි වාර්තාකරු ගාල්ල ක්‍රීඩාංගණයේ නිලධාරියාගෙන් විමසා තිබිණි.
‘මැච් එක දවස් දෙකහමාරකින් ඉවරවෙන විදිහට මට හදන්න පුළුවනි’ එම නිලධාරියා එසේ පිළිතුරු දී ඇත්තේ හඬ නඟා හිනැහෙමිනි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය ද මේ හා සමාන වූ අතර, ඉන් කියැවුණේ මේ වසරේ මැද භාගයේ පාකිස්තානය සමඟ ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයකදී සිව්වැනි ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන පිල වැඩි ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් තරගය ජයග්‍රහණය කිරීම ප්‍රශ්නාර්ථයක් මතු කරන සිදුවීමක් බවය. සාමාන්‍යයෙන් අවසන් ඉනිම ක්‍රීඩා කරන කණ්ඩායමට එවැනි වාසිදායක තත්ත්වයක් තණතීරුවෙන් නොලැබෙන බවට අත්දැකීම් ඇති ගාලු තණතීරුවේ පාකිස්තාන පිලේ එම ජයග්‍රහණය ආන්දෝලනයට තුඩු දුන් එකකි.
කියුරේටර්ගේ රාජකාරිය හැම අතින්ම අවදානම් සහගත එකක් බව මෙවැනි සිදුවීම්වලින් පැහැදිලිය. කෙතරම් කැපවීමෙන් කටයුතු කරමින් තම කණ්ඩායමට වාසිදායක ලෙස තණතීරුව සකස් කළ ද, තරගයේ තීරණය වෙනස් වන අවස්ථාවන් ද එමටය. අනිත් අතට හරිහැටි ඇගැයීමක් නොලැබෙන මේ වෘත්තීය තුළින් කිසිදු ගෞරවනීය තත්ත්වයක් කියුරේටර්ස්ලාට නොලැබීම ද කනගාටුදායක කරුණකි. වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය වාර්ෂික සම්මාන උලෙළේදී කියුරේටර්ස්ලා සහ කාර්ය මණ්ඩලය ඇගැයීමට ලක් කරමින් මුදල් ත්‍යාග ද පිරිනැමීමට කටයුතු කළද, එය සිදුවූයේ එක් වතාවකදීම පමණි. එහෙත් 2000 වසරේ දෙසැම්බරයේ දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර පැවැති දකුණු අප්‍රිකා - නවසීලන්ත තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු දින 4ම අයහපත් කාලගුණය හේතුවෙන් වරින් වර තරගය අවලංගු කිරීමෙන් පසු පස්වැනි දිනය දක්වා තරගය ඇදගෙන යෑමට තරම් ප්‍රමාණවත් අයුරින් තණතීරුව සකස් කිරීමට සමත් වූ බැවින් තරගයේ වීරයා සම්මානය අදාළ කියුරේටර් ඇතුළු කාර්ය මණ්ඩලයට පිරිනැමීම පැසසුමට කරුණකි. එය ක්‍රිකට් තරගයක කියුරේටර් කෙනකු තරගයේ වීරයා සම්මානය දිනූ පළමු හා එකම අවස්ථාව ලෙස ඉතිහාස ගත විය. ඔහු ක්‍රිස් ස්කොට්ය.
සැබැවින්ම තරගයක අවසන් තීරණය ගැන අනාවැකි පළ කරන්නන් අතරින් කියුරේටර්ස්ලා සිටින්නේ බුකීකරුවන්ට වඩා ඉහළිනි. මේ දෙපාර්ශ්වය අතර යම්කිසි ආකාරයේ සම්බන්ධතාවක් ගොඩ නැඟෙන්නේ නම් එය අන්තිම භයානක තත්ත්වයකි. එසේ වුවහොත් ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට එය හොඳටෝම ප්‍රමාණවත් වනු ඇත. ලෝක ක්‍රිකට් පිටියේ එවැනි බරපතළ තත්ත්වයක් මෙතෙක් පෙනෙන්නට නැති වුවත්, මෑත කාලයේ සිදුවූ යම් යම් සිදුවීම් හේතුවෙන් ඉදිරියේදී එසේ නොවනු ඇතැයි ද සිතිය නොහැකිය.