
පංචිකාවත්තෙ ගිහිල්ලා මම ගියර් කෑලි, මෝටර් කෑලි, පොඩි පොඩි ගැජට් එකතු කරන් පැල්මඩුල්ලට එනවා. වෙසක් කාලෙට මම ඒවා පාවිච්චි කරලා ගහන තොරණට, කැරකෙන කූඩුවට ගහන්න තරම් එකක් ඒ පැත්ත පළාතෙ හැදෙන්නෙ නෑ
මම ඇත්තටම පොත් කියවන්න ආස නෑ. ලියන්න ආස නෑ. මම හිතන්නෙ මගේ ඒ පැත්ත වැඩ කරන්නෙ නෑ.
මම විශ්වවිද්‍යාලෙට ආවෙ තනියම. මට මතකයි බෑග් එකත් එල්ල ගෙන මම තනියෙන් පාර හොයා ගෙන ආව හැටි
ඒ කාලෙ මට ඉංග්‍රීසි හොඳටම තිබුණා නම් කැම්පස් එකේ මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබුණා. හැබැයි මම ඒවා එකක්වත් ලොකුවට ගත්තෙ නෑ.
කට්ටිය රොබෝ කිව්වම බය වුණාට ඇත්තටම යකා එච්චර කළු නෑ. මිනිස්සු තාක්ෂණයට බයයි
ඔහු සිහින දැක්කේ ඇඟලුම් කර්මාන්තය වෙනස් කරන්නට ය. එයට නව තාක්ෂණය හඳුන්වා දෙන්න ය. එමඟින් පෙර පරම්පරාවට වඩා වෙනස් යමක් කරන්නට පාර කපා ගන්නට ය. ඒ සඳහා සිහින දැකුමෙන් ඔබ්බට යන ඔහු ශක්තිමත් සැලසුමක් හදන්නේ ආයෝජකයන් ද තමන්ගේ මතවාදය ගැන විශ්වාසය තැබිය හැකි මට්ටමේ ව්‍යාපෘති සැලසුමක් ඉදිරිපත් කරමිනි. ලීප්ස්ටිච් ටෙක්නොලොජීස් ඇරඹෙන්නේ ඒ ලෙසිනි. සාම්ප්‍රදායික කම්කරු ශ්‍රමය වෙනුවට වෙනදා කතා නොකරන මැෂින් තම නිෂ්පාදන ධාරිතාව ගැන කියන රොබෝ තාක්ෂණය ඇඟලුම් කර්මාන්තයට එන්නේ එලෙසිනි. මේ ඒ වෙනස්කම කරන්නට මූලිකත්වය ගත් ලීප්ස්ටිච් ටෙක්නොලොජීස් හි සභාපති ඉරේෂ සෝමරත්නගේ දිවිසැරියේ මතක සටහන් ය.
සම්පූර්ණ නම?
පී. බී. අයි. සෝමරත්න
උපන්දිනය
අප්‍රේල් 24 වැනිදා
කොහෙද ගම් පළාත
මම උපදින්නෙ කොළඹ. නමුත් මම හැදෙන්නෙ වැඩෙන්නෙ පාසල් යන්නෙ පැල්මඩුල්ලෙ.
අම්මා තාත්තාගේ නම් සහ වෘත්තීන්
තාත්තා සෝමරත්න, ව්‍යාපාරිකයෙක්. ඔහුට කොළඹ වාහන අමතර කොටස් විකුණුම් ආයතනයක් සහ ගැරේජ් එකක් තිබුණා. අම්මා ගෘහණියක්. ඇගේ නම චන්ද්‍රා
සහෝදර සහෝදරියන්
මට නංගිලා දෙන්නෙක් ඉන්නෙ. වැඩිමල් නංගී සහ මම නිවුන්නු. මගේ දෙවැනි නංගි අපිට වඩා අවුරුද්දයි බාල. මගේ පොඩි නංගි පෙන්වන ලද දක්ෂතා නිසා වසරක් වැඩි පන්තියට දැම්මා. එ් කියන්නේ අපි තුන්දෙනාම එකම පන්තියෙ ඉගෙන ගත්තෙ.
පාසල් යන්නේ
පැල්මඩුල්ල මහින්ද ප්‍රාථමික විද්‍යාලයට. එතැනින් ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට.
ශිෂ්‍යත්වය සමත්වෙලා ද යන්නෙ
නෑ. මම ශිෂ්‍යත්වෙ ෆේල්. නමුත් 6 වසරෙ ඉඳන් ගන්කන්ද මහා විද්‍යාලයට ගියේ.
පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙක් ද? කොහොමද පාසල් කාලෙ ගෙවුණෙ
පාසලේ ගුරුවරුන්ට ඉඳපු කරදරකාරීම ශිෂ්‍යයෙක් මම. ඒතරම් දඟයි. සති දෙකක පන්ති තහනමකට පවා ලක් වුණා. කවුරුත් හිතුවෙ නෑ මම උසස්පෙළ සමත් වෙයි කියලවත්
මොකද පන්ති තහනමකට ලක් වෙන්නෙ
ඒ කාලෙ ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලෙ හිටපු විදුහල්පති තුමා පාසලේ ටයි එක වෙනස් කළා. අපි ඉතින් ගමේ ඉස්කෝලයක්නෙ. රුපියල් 25කට තමයි ටයි එක ගත්තෙ. ඒ විදියට මේ ටයි එක ගන්න බෑ, රුපියල් 50කට මේ ටයි එක පාසලෙන්ම ගන්න ඕන කියලා නීතියක් දැම්මා. අපි කිව්වා විදුහල්පතිතුමාට ටයි එක වෙනස් කළාට කමක් නෑ, විසිපහට විකුණන්න කියලා. එතුමා බෑ කිව්වා. අපි මේ රෙද්ද ම ගිහින් ගත්තා. දවසක් ඇතුළත ටයි 200ක් මැහුවා. ඉස්කෝලෙ ඉස්සරහ අපි රුපියල් 25 ට අර රුපියල් 50ට විකුණන ටයි එකම විකුණුවා. විදුහල්පතිතුමාට හොඳටම කේන්ති ගියා. අපිට පන්ති තහනමක් කළා.
මොන විෂය ක්ෂේත්‍රයෙන් ද උසස්පෙළ කළේ.
මම ගණන් විෂයයන් කළේ. මට ඉතින් ගණන් විතරයි පුළුවන්. පළමු පාරම මොරටුව විශ්වවිද්‍යාලයට තේරුණා.
නංගිලා දෙන්නකුත් ඉද්දි වියහියදම් දරා ගන්න තාත්තාට අපහසුවක් වුණේ නැද්ද?
නැත්තෙ නෑ. එච්චර සුන්දර කාලයක් නොවෙයි ඒක. අගහිඟකම් ප්‍රශ්න එක්ක තමයි ජීවිතේට මුහුණ දුන්නෙ. මුලදි අපිට ඇත්තටම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. ඒත් තාත්තා ඔත්පල වුණාට පස්සෙ ප්‍රශ්න එන්න පටන් ගත්තා. අපි තුන්දෙනාම ඉගෙන ගන්නවා.
විශ්වවිද්‍යාලෙ ඉද්දි කොහොමද මේවා සමබර කරගත්තෙ. පවුලෙ වැඩිමලා විදියට ඔබට වගකීම වැඩියි?
මම විශ්වවිද්‍යාලෙට ආවෙ තනියම. මට මතකයි බෑග් එකත් එල්ල ගෙන මම තනියෙන් පාර හොයා ගෙන ආව හැටි.
කොහොමද වියදම් පියවා ගත්තෙ
මට මහපොළ හම්බ වුණා. ඇත්තටම අමාරු කාලයක්. නංගිත් එතකොට කැම්පස්. මම ළඟ තිබුණොත් මම නංගිටත් ගෙනිහින් දෙනවා. මට හිටියා හොඳ යාළුවො සෙට් එකක්. ඉතින් හැමෝම තියෙන ඒවා කාලා බීලා ඉන්නවා මිසක් අරයා ගෙනත් නෑ, මෙයා ගෙනත් නෑ වගේ ඒවා තිබුණෙ නෑ. ඒ හින්දා ටිකක් ඒවා මග හැරුණා. මොරටුවෙ කැම්පස් එකේ උප සංස්කෘතිය කොහොමත් හරි හොඳ එකක්. විශ්වවිද්‍යාලෙ දෙවැනි අවුරුද්දට යද්දිම වගේ තාත්තා නැති වුණා.
අම්මා කොහොමද මේ දේවල් කළමනාකරණය කරගත්තෙ
අම්මා මේ දේවල් සේරම ලස්සනට සමබර කළා. පස්සෙ මගේ ලොකු නංගි රස්සාවකට ගියා. එයා පවුලෙ වියදම් බලා ගත්තා. අපි දෙන්නට ඉගෙන ගන්න ලැබුණෙ එයා නිසා. ඇය දැන් විවාහ වෙලා ගමේ ඉන්නෙ.
පැල්මඩුල්ලෙ ඉඳන් ආව ඔබට විශ්වවිද්‍යාලෙදි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න එක අසීරු වුණාද?
ඇත්තටම ඒක අසීරු වුණා. ඒ කාලෙ මට ඉංග්‍රීසි හොඳටම තිබුණා නම් කැම්පස් එකේ මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබුණා. හැබැයි මම ඒවා එකක්වත් ලොකුවට ගත්තෙ නෑ. යාළුවො හරියට උදව් කළා. විශේෂයෙන් ගමේ ඉඳන් ආව අයට වඩා කොළඹ යාළුවො උදව් කළා.
මොකද්ද පළමු රැකියාව
මම මාස හයක් විතර ඩයනා ග්‍රෝ කියන ආයතනයේ වැඩ කළා. ඊට පස්සෙ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් එකට ආවා. ඒකෙ ලක්දනවි කියන එකේ මෙහෙයුම් ඉංජිනේරුවරයෙක් විදියටයි පත්වීම ලැබුණෙ.
න්‍යායික දැනුම සහිත වුණාට ප්‍රායෝගික දැනුම නැතිව එකපාර අමාරු වුණේ නැද්ද?
ඇත්තට ම ඒක මට ප්‍රායෝගිකත්වය ගැන ඉගෙන ගන්න ලැබුණු විශ්වවිද්‍යාලයක් වගේ. මහ විශාල ඇන්ජින් අපි ගලවල හදනවා. ප්‍රධානීන් කවුරුත් මුකුත් කිව්වෙ නෑ. සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ යූ. ඩී. ජයවර්ධන මහත්මයා සිහිපත් කරන්න ම ඕන. මම යද්දි නිකම් දැනුම තියෙන කෙනෙක් විතරයි. මාව ඉංජිනේරු වෘත්තියේ වෘත්තීයමය පළපුරුදු කෙනෙක් කළේ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය.
ඒ අතරේ ඔබ ජර්මනියට යනවා
මම දවසක් රෑ වැඩ කරමින් ඉද්දි නිකම් අයදුම් කළා ජර්මනියෙ විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියකට. මාව ඒකට තේරුණා. දවස් හතෙන් මම මේ පාඨමාලාව කරන්න අවුරුදු දෙකකට ජර්මනියටත් ගියා. මම එහේ ගිහින් හැදෑරුවේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව පශ්චාත් උපාධියක්. මම ඇරෙන්න ඒ වෙද්දි ලංකාවෙ එක්කෙනයි ඒක කරලා තිබුණෙ.
ලංකාවට ඇවිත් ප්‍රායෝගිකව වැඩ කරන්න අවස්ථාව ලැබුණද?
ලංකාවේ ඒ ක්ෂේත්‍රය එච්චර දියුණු වෙලා තිබුණෙ නෑ, ඒ වෙනකොට. මම ඇවිත් MAS ආයතනයට සම්බන්ධ වුණා. තුල්හිරිය ශාඛාවෙ සම්පූර්ණ ඉංජිනියරින් පැත්ත බලන්න කෙනෙක් අවශ්‍ය වෙලා තිබුණෙ. මම බලශක්ති ඉංජිනේරු කළමනාකරු විදියට (Manager Engineer-Energy) තුල්හිරියට ගියා. අපි එතැනට ගියේ වවුලො එළව ගෙන. ගිහින් මාස 8ක් ඇතුළත බොයිලර් සැලසුම් කරලා Sub-stations හදලා වැඩ පටන් ගත්තා. අපට කළමනාකාරීත්වයෙන් මාර නිදහසක් ලැබුණා වැඩ කරන් යන්න. ඒකෙ මම අවුරුදු දෙකක් වැඩ කළා.
බ්‍රැන්ඩික්ස් යන්නෙ ආරාධනාවකට ද?
ඔව්. මට පැවැරුණේ තිරසාර සංවර්ධන පැත්ත වර්ධනය කරන්න. මම තිරසාර සංවර්ධන කණ්ඩායම් ප්‍රධානි (Group Head of Sustainability) විදියටයි වැඩ බාර ගත්තේ. ඇඟලුම් ක්ෂේත්‍රය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ බ්‍රැන්ඩික්ස් එකෙන්. ගොඩක් අලුත් දේවල් මම හඳුන්වා දුන්නා. මම අවුරුදු 13ක් බ්‍රැන්ඩික්ස් හිටියා. එතැනින් අයින් වෙද්දි මම එතැන ඉංජිනේරු කණ්ඩායම් ප්‍රධානී ( Group Engineering Head)ලෙසයි කටයුතු කළේ.
බ්‍රැන්ඩික්ස් එකෙන් ඉවත් වෙලා ඔබ ඔබේම ව්‍යාපාරයකට අත ගහනවා
ඇඟලුම් ක්ෂේත්‍රය හරි සාම්ප්‍රදායිකයි. මට එතැනින් වෙනස් වෙන්න ඕන වුණා. ගොඩක් ශක්තිමත් ආයතන වෙනස් තීන්දු එකපාර ගන්න බයයි. අවදානම ගන්න අලුත් කොම්පැනි බය නෑ. මට අවශ්‍ය වුණා මගේම ව්‍යාපාරයක් කරන්න. ඒකට විශාල ප්‍රාග්ධනයක් ඕන. මට එහෙම තනියම විශාල ප්‍රාග්ධනයක් දරන්න බෑනෙ. හැබැයි මම දන්නවා, මේ ක්ෂේත්‍රය වෙනස් කරන්න ඕන කියලා.
ඔබ අයින් වෙන්නෙ කොවිඩ් 19 එද්දිම. අලුත් වැඩකට අතගහන්න බය හිතුණෙ නැද්ද?
ඔව්, ලොකු අවදානමක් තමයි. ඒත් මම හිතුවා මේක තමයි හොඳ ම වෙලාව කියලා. ඊට පස්සෙ මම මගේ යාළුවො කිහිපදෙනකුට කතා කළා. මට ඇඟලුම් ක්ෂේත්‍රය වෙනස් කරන්න ඕන කියලත් මම කිව්වා. හොඳම තරුණ ඉංජිනේරුවරු කිහිපදෙනෙක් මාත් එක්ක එකතු වුණා. මේ ක්ෂේත්‍රය වෙනස් වෙන්න ඕන කොහොමද කියලා අපි සැලසුමක් හැදුවා. එහෙම තමයි ලීප්ස්ටිච් පටන් ගන්නෙ.
කොහොමද ක්ෂේත්‍රය වෙනස් කරන්නෙ
අපි ඇඟලුම් ක්ෂේත්‍රයට ලෝකයේ දියුණු රටවල් භාවිත කරන Industry 4.0 කියන ක්‍රමවේදය හඳුන්වා දුන්නා. එතනදි අපි පාවිච්චි කරන්නෙ IOT. අපේ ආයතනය මුළුමනින්ම දුවන්නෙ දත්ත එක්ක. එහෙම වෙන්න නම් හැම මැෂින් එකක්ම කතා කරන්න ඕන. ඒ කතා කරන්න ඕන අවයවය තමයි IOT කියන්නෙ. ඒ කියන්නෙ Internet Of Think කියන එක. ඒ ඩිවයිස් එක අපි දියුණු කළා. ඒක අපේ පේටන්ට් එකක් විදියට යන්නෙ. අපි අපේ හැම මැෂින් එකකට ම ඒක හයි කරනවා. එතකොට දැන් ඔය ගොළු මැෂින් ඔක්කොම කතා කරනවා. ඒ අය ම තමන්ගෙ ඵලදායිතාව අපට දැනුම් දෙනවා.
ඒ කියන්නෙ තවදුරටත් මානව සම්පත අවශ්‍ය නෑ වගේ එකක්ද? එහෙමත් නැතිනම් මානව සම්පතට ආදේශකයක් ද?
ඒ කියන්නෙ මානව සම්පතේ තියෙන රැකියා පැතිකඩ (Job Profile) වෙනස් කරන එක. දැන් මහන මැෂින් එකත් එක්ක ගනුදෙනුවෙන් අපේ පරණ පරම්පරාව අපිට නිෂ්පාදනයක් දීලා තියෙනවා. ඒ නිෂ්පාදන ඔස්සේ අලුත් පරම්පරාව දැනුම්වත් කරලත් තියෙනවා. දැන් ඊළඟ පරම්පරාවත් ඒකම කරන්න ඕනෑ ද? නෑනෙ. එයාලා ඊළඟ අදියරට යන්න ඕන. එහෙම යන්න නම් ක්ෂේත්‍රයත් ඊළඟ අදියරට යන්න ඕන. මේ වෙලා තියෙන්නෙ ඒකයි.
රොබෝ තාක්ෂණය මිනිස් ශ්‍රමයට වඩා ඵලදායි ද?
ගොඩක් අය හිතන්නෙ අපි රොබෝලා ගෙනාවම ගොඩක් අයගෙ රැකියා නැති වෙනවා කියලා. හැබැයි අපි ඒක හිතන්න ඕන මෙහෙම. ඊළඟ පරම්පරාවත් මේ රැකියාවම කරනවා නම් එතැන දියුණුවක් නෑ. දියුණු වෙන්න නම් ඊළඟ පරම්පරාව කරන්න ඕන ඊළඟ රැකියාව. ඒ කියන්නෙ ක්‍රමලේඛනය( Programming). ලෝකෙ හැමදාම එකම රැකියාව තියෙන්න බැහැ. ඒක දියුණු වෙන්න ඕන. එහෙම නොවෙන නිසා තමයි අපේ රටවල් දියුණු නොවෙන්නෙ. රොබෝ මේක කරද්දි මිනිසුන්ට වෙන රැකියා අවස්ථා නිර්මාණය වෙනවා. ඒ රැකියාවට යොමු වෙන්න ඕන.
මේක විශාල අභියෝගයක්නෙ. මොනවද ඇතිවුණු ගැටලු
ප්‍රධානම දේ තමයි වෙනස් විදියට හිතන්න පුරුදු වුණු එක. මම අපේ කර්මාන්ත ශාලාවෙ වැඩ කරන්න ගත්තෙ ගොඩක් පුහුණු වුණු අය නොවෙයි. තරුණ අය. ෆැක්ටරි මැනේජර්ට තාම අවුරුදු 31යි. එයා කළමනාකරණය කරන්නෙ වෙනම කුසලතා පරාසයක්. එතකොට අපිට වැඩියෙන් එයාට ගෙවන්න පුළුවන්.
අපි ගෙනාවා අපිටම කියලා දියුණු කළ මෘදුකාංගයක්. ඒක හඳුන්වන්නෙ ලිලී කියලා. ඒක සම්පූර්ණ කෝඩ් බේස් එකක්. අපි මේකෙදි ගොඩක් ලොකු දෙයක් කළේ නෑ. තාක්ෂණය එක තැනකට ගත්තා විතරයි. හැබැයි ඒකෙන් අපට ලොකු වාසි ගොඩක් ආවා. සාම්ප්‍රදායික කම්කරු ගෙවීම් සියයට තිහක් හතළිහක් අනෙක් සාමාන්‍ය කර්මාන්ත ශාලාවකට සාපේක්ෂ ව අඩු වුණා. ඒ වගේම අපි අලුත් ක්ෂේත්‍රයක් හඳුන්වා දුන්නා. ඒ Roberts programming, IOT Development Engineers වගේ දියුණු රැකියා පැතිකඩ කිහිපයක් අපි හඳුන්වා දෙනවා. එයාලට පොඩි ගණන් ගෙවන්න බෑ. හැබැයි රටක් දියුණු වෙන්න ඕන එහෙම.
කවුද ඔබේ මේ ව්‍යාපෘතියට ආයෝජනය කරන්නෙ.
අපි කතා කළා ආයතන දෙකකට. එකක් පොඩ්ඩක් කාලය ඉල්ලුවා. කොවිඩ් කාලෙ කවුද එකපාර ආයෝජනය කරන්නෙ. ඊළඟට අපි LOLC එකට ගියා. ඉෂාර නානායක්කාර අපට එ් කියන්නෙ ලීප්ස්ටිච් ටෙක්නොලොජීස් එකට ඩොලර් මිලියන 20ක් ආයෝජනය කළා. අපි තාක්ෂණයයි මානව සම්පතයි එකතු කරන එකයි කරන්නෙ. ඉෂාර නානායක්කාර, කපිල ජයවර්ධන දෙන්නා තමයි සම්පූර්ණයෙන් මේ වැඩේට සහයෝගය දුන්නෙ. කොච්චර දැනුම තිබුණත් මේ වැඩේ පටන් ගන්න බෑ ආයෝජකයෝ නැත්නම්.
මොනවද මේ වෙනස කරද්දි ලැබුණු අත්දැකීම්
කට්ටිය රොබෝ කිව්වම බය වුණාට ඇත්තටම යකා එච්චර කළු නෑ. මිනිස්සු තාක්ෂණයට බයයි. මේ ඔක්කොම මොරටුව විශ්වවිද්‍යාලෙන් පාස් අවුට් වුණු තරුණ ඉංජිනේරුවො. මට කෙනෙක් දක්ෂ නම් එච්චරයි අවශ්‍ය. මම
ඒක ඉගෙන ගන්නෙ ජර්මනියෙන්. කවුරු කොහොම කිව්වත්, මිනිස්සු සුදු හමට, අරකට මේකට විශේෂයක් දක්වනවා කියලා දක්ෂ නම් ඔය ඔක්කොම යටයි.
පශ්චාත් උපාධියෙන් පස්සෙ හිතුවෙ නැද්ද ආචාර්ය උපාධිය කරන්න
මට එහෙම අධ්‍යාපනික පසුබිම ශක්තිමත් කරගන්න ඕන කියලා ලොකුවට හිතුණෙ නෑ. මට ඕන ක්ෂේත්‍රයේ වැඩ කරන්න. මැෂින් එක්ක අත්හදාබැලීම් කරන්න
මේකට තාත්තාගේ පසුබිමත් බලපාන්න ඇති
ඔව්. ඒක ඇත්ත. මම එන්ජින් එකක් ගලවලා, හයි කරලා, ස්ටාට් කළේ පහේ පන්තියෙදි. පාසල් නිවාඩුවට මම යනවා, තාත්තාගේ පංචිකාවත්තෙ ගරාජ් එකට. ඒ ගිහිල්ලා මම ගියර් කෑලි, මෝටර් කෑලි, පොඩි පොඩි ගැජට් එකතු කරන් පැල්මඩුල්ලට එනවා. වෙසක් කාලෙට මම ඒවා පාවිච්චි කරලා ගහන තොරණට, කැරකෙන කූඩුවට ගහන්න තරම් එකක් ඒ පැත්ත පළාතෙ හැදෙන්නෙ නෑ.
කවුද ජීවන සහකාරිය. ඒවගේම දරුවන්
ඇය මට හමු වුණේ MAS ඉඳිද්දි. ඇය රිෂාන්ති පද්මිකා කහගල්ල. අපි විවාහ වුණේ 2006 දි. ඇය ගණකාධිකාරිවරියක්. අපට පුතෙක් ඉන්නවා. ඔහු ඉනුක් ඉන්දීව්. රිෂාන්ති තමයි මගේ මේ දියුණුවේ රහස. ඇය මට ගොඩක් උදව් කළා.
පොත් කියවන්න, චිත්‍රපට බලන්න කැමැතිද?
මම ඇත්තටම පොත් කියවන්න ආස නෑ. ලියන්න ආස නෑ. මම හිතන්නෙ මගේ ඒ පැත්ත වැඩ කරන්නෙ නෑ. චිත්‍රපට බලන්න නම් ආසයි. මම ගාව සින්දු එකතුවක් තියෙනවා. ඒවයෙ ඔරිජිනල් බොහොමයක් ආසියාතික, යුරෝපීය කියලා බේදයක් නෑ. මම හරි ආසයි සංගීතයට.
සංචාරය කරන්න කැමැති කොහේද?
මම යන්න කැමතිම නුවරඑළියට. මගේ මොලේ වැඩ කරන හොඳම කාලගුණය තියෙන්නෙ නුවරඑළියෙ.
හැරිලා බලද්දි මොකද හිතෙන්නෙ?
මම අතිශයින් තෘප්තිමත් මිනිසෙක්. මේ ආව ගමන ගැන මට පුදුම සතුටක් තියෙන්නෙ.
ඡායාරූප- නිශ්ශංක විජේරත්න