දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුමනසිරි ලියනගේ
මේවන විට පහතට වැටී ඇති රටේ ජාතික ආර්ථිකය කෙසේ ඉහළට ගත යුතු ද යන ප්‍රස්තුත කාරණාව සංවාදයට ලක් කළ යුතුය. මේ වන විට රටේ ආර්ථික ප්‍රතිපත්තිය පහළ මට්ටමේ සංකෝචනයකට ලක් වී ඇත. ඒක ජනන ආදායම පහත වැටීමක් සිදු වී ඇත. ජාතික ආදායම 78% දක්වා පහත වැටී ඇත. මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණු ගණනාවක් වෙයි.
විදෙස් රාජ්‍යයන් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්ති දෙස බැලීමේදී 1929-1933 විශාල ආර්ථික අර්බුදය පැමිණි අවස්ථාවේදි රූස්වෙල් ජනාධිපතිවරයා අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ මුදල් ප්‍රමාණ වැඩි කර, ආණ්ඩුවේ වියදම් වැඩි කර, ඒ හරහා ආර්ථිය ඉහළ නැංවිමයි. ආණ්ඩුවේ වියදම් වැඩි කළේ සමාජයේ පහළ තීරුවට හිතකර පරිදියි. මෙය trickle up ප්‍රතිපත්තියයි. අපි trickle down ප්‍රතිපත්තීන් පිළිබඳ දැනුම්වත් වී ඇත. සමාජයේ ඉහළම තීරුවලට වැඩි වාසි සැපයුවහොත් ඒ ඉහළ තීරුවේ සංවර්ධනයත් සමඟ වාසි ගලා ඒමක් සිදු වෙයි.
නමුත් අර්බුද අවස්ථාවේදී අමෙරිකාවේ රූස්වෙල්ට් ජනාධිපතිවරයා trickle up ප්‍රතිපත්තිය අනුගමනය කළේය. එනම් සමාජයේ පහළ තීරුවට උපකාර කළ විට එහි ප්‍රතිඵලයක් ලෙස සමාජයේ ඉහළට වාසි ලැබීමයි. මේ ආකාරයට ආර්ථික අර්බුදයකදී, ගෝලීය උතුරේ රාජ්‍යයන් ක්‍රියාත්මක විය. 2007 වසරේ ඇති වූ ආර්ථික අර්බුද අවස්ථාවේදී මේ ක්‍රමවේදය අනුගමනය කරන ලදි. 2007 සිට මේ දක්වා අමරිකාව විසින් ඩොලර් ට්‍රිලියන 3ක් මුදල් නිකුත් කර ඇත. ඒ තරම් අතිවිශාල මුදල් ප්‍රමාණයක් නිකුත් කිරීමෙන්, ඇමරිකානු ආර්ථිකය කඩාවැටීම යම්තාක් දුරට හෝ නතර කර ගැනීමට හැකි විය. ගෝලීය උතුර අනුගමන කරන ලද ආර්ථීක ප්‍රතිපත්තිය මෙයයි. ගෝලීය උතුරේ ආර්ථික විද්‍යාඥයෝ මෙරටට පැමිණ ප්‍රකාශ කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරන බවයි. මධ්‍යම බැංකු පොලී අනුපාතය ඉහළ දැමිමේ ප්‍රතිපත්තිය මඟින් මෙය ඉතාමත් පැහැදිලිව දක්නට ලැබෙයි. යම් කිසි කෙනකු රුපියල් මිලියන 100ක් කර්මාන්තයක ආයෝජනය කළහොත් කර්මාන්තයක ඔහුට හෝ ඇයට ලැබෙන වාර්ෂික අදායම රුපියල් බිලියන දහයක් පමණ වෙයි.
නමුත් මේ මොහොතේ එම ආයෝජනය කරන පුද්ගලයා රුපියල් මිලියන 100 ක මුදල බැංකුවක තැන්පත් කළහොත් වසරකට රුපියල් මිලියන 25ක් පොලියක් හිමි වෙයි. එහිදී අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියෙන් සිදු වන්නේ සක්‍රිය ආයෝජන විසින් නිෂ්ක්‍රිය ආයෝජනයන්ට මුදල් ගලා යෑමයි. එයින් සිදු වන්නේ ආර්ථිකයේ සැබෑ නිෂ්පාදනය කඩාවැටීමකි. ඒ නිසා ජාතික නිෂ්පාදනය වැඩි කිරීමට හවුල් වන ආකාරයේ ප්‍රතිපත්ති ආණ්ඩුව විසින් ගනු ලබන්නේ නම් එවැනි නිෂ්පාදන ආයතන මේ අවස්ථාව වන විට පුද්ගලික අංශයට නඩත්තු කිරීමට නොහැකි නම්, ඒවා ආරම්භ කිරීමේදීවත් ආණ්ඩුව මැදිහත් වන්නේ නම් සැබෑ ජාතික ආර්ථීක ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට හැකියාව ලැබෙයි.
පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී හෙළි වූ කරුණක් නම් ලංකාවේ ඉහළම නිෂ්පාදකයන් ලංකාවට ගෙන ආ යුතු ඩොලර් බිලියන 55ක් මෙතෙක් නොගෙන ආ බවයි. ඇත්ත වශයෙන්ම ලංකාවේ මුළු ණය සීමාව පවතින්නේ මීට වඩා අඩු මට්ටමකිනි. මේ ණය අර්බුදය එක් පැත්තකින් අපිට ලැබීමට ඇති මුදල් මේ රටට නොගැනීමෙන් පිටරටවල නවතා තැබීමේ ප්‍රතිඵලය මෙයට එක් හේතුවකි. එය එකම හේතුව නොවූව ද මේ අර්බුදයට විශාල හේතුවක් වෙයි.
ජාතික ආර්ථිකයක් ගොඩනඟා ගැනීමේදි මූලික වශයෙන් කල්පනා කළ යුත්තේ රටට ලැබිය යුතු ආදායම රටට ගලාගෙන එන ආකාරයයි. අඩු තරමින් අය වැය ලේඛනයේ මෙවැනි වැදගත් කරුණු සඳහන් විය යුතුයි. ඩොලර් බිලියන පනස් පහ අපි ගෙන්වා ගන්නේ කෙසේද යන කරුණ මෙවර අයවැයේදී සඳහන් නොවෙයි. ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමේදී දකුණු කොරියාවේ පාක් යොන් ජනාධිපතිවරයා බැංකුකරුවන් සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියා කළේය. එලෙස ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමේදී මූලික සැලසුම් තිබිය යුතුයි.
මේ අර්බුදයට යම් විසඳුමක් ලෙස රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යන මාතෘකාව සම්බන්ධයෙන් ඇත්තේ ඉතාම සාවද්‍ය අදහස්ය. එනම් රාජ්‍ය ආයතන පුද්ගලික ආයතන සමඟ සසඳන විට අනිවාර්යයෙන්, අත්‍යන්තයෙන්ම, අකාර්යක්ෂමය යන වැරැදි මතය මත එය පදනම් වෙයි. ඉතිහාසය හා වෙනත් රටවල තොරතුරු සමඟ සංසන්දනාත්මකව බලන විට පැහැදිලිවම පෙනී යන කරුණක් නම්; රටේ කාර්මීකරණ ක්‍රියාවලියේදී රාජ්‍ය ආයතන ඉතාම සාර්ථක ලෙස මැදිහත් වූ සහ ක්‍රියාත්මක වූ ආකාරයයි. එයට හොඳම උදාහරණය ලෙස දකුණු කොරියාවේ යකඩ සහ වානේ කර්මාන්තය ඉදිරිපත් කළ හැකිය. ඇතැම් රටවල රාජ්‍ය ව්‍යවසාය දක්වන සමාගම් මඟින් වඩා සාර්ථක කර්මාන්ත පවත්වා ගෙන යයි. රාජ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ඉතාම සාවද්‍ය ප්‍රස්තුතයක් උඩ මේ අදහස ගොඩනැඟී ඇති බව එයින් පැහැදිලි වෙයි. ප්‍රතිව්‍යුහගත කරන්නේ මොනවා ද, කුමක් ප්‍රතිව්‍යුහගත කරන්නේ ද යන අදහස මෙන්ම ඒ සඳහා මිනුම් දඬු ද තිබිය යුතුයි. ආයතනයක් පාඩු ලබන්නේ එහි අකාර්යක්ෂමතාව නිසා නම් එවැනි ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම වැදගත්ය යන්න යම් කෙනකුට සාධාරණ තර්කයක් ලෙස ගොඩනැඟිය හැකියි.
ඒ තර්කය පදනම් කරගෙන නිතරම ප්‍රතිව්‍යුහගතකරණයට හසු කරන්නේ එම පාඩු ලබන ආයතනයන්ය. ඒ මූලධර්මය ගත් විට පාඩු ලබන ආයතන තෝරාගෙන ඒවා පාඩු ලැබීමට හේතු සාධක සොයා බලා ඒවා නැති කිරීමට හැකි අයුරින් ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුයි. අනෙක් ගැටලුව නම් ප්‍රතිව්‍යුහගත කිරීම ලංකාවේ වහරින් පුද්ගලිකකරණය යන අදහසට සම වේ. ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකායන ක්‍රමවේදය වන්නේ පුද්ගලයන් සතු කිරීම යන අදහස ය. මේ අවස්ථාවේ යෝජනා වෙමින් පවතින ආයතන රාශියක් වෙයි. එයින් යම් ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය වන පිඹුරුපත් සකස් කර තිබෙන බව පාර්ලිමේන්තු සංවාද තුළින් මතු වෙයි.
මේ යටතේ ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කර ඇති ලැයිස්තුවට ශ්‍රීලංකා ටෙලිකොම් හා රක්ෂණ සංස්ථාව ඇතුළත් කර ඇත. කාර්යක්ෂමතාව 100% යැයි සඳහන් නොකළත් ඒවා අදත් යම්කිසි ලාභයක් ලබන ආයතන වෙයි. ආණ්ඩුව සඳහන් කරන පරිදි මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික අරමුණ වන්නේ එම ආයතන කාර්යක්ෂම ආයතන බවට පත් කිරීම නොව ලංකාවේ විදෙස් විනිමය සංචිත කිසියම් ප්‍රමාණයකට ඉහළ දමා ගැනීම බව අපට තේරුම් ගත හැකි වෙයි.
එසේ නම් මේ ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරනු ලබන්නේ මූලික වශයෙන් ලංකාවේ විදෙස් විනිමය සම්පත් ඩොලර් මඟින් ආයෝජනය කළ හැකි ආයතනවලටයි. මීට සමාන ක්‍රියාමාර්ගයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සිය ධූර කාලයේ ගනු ලැබුවාය. එනම් රටේ ගෙවුම් ශේෂයේ, අය-වැය හිඟයක් ඇතිවන අවස්ථාවල, රටේ දේපොළ මඟින් රාජ්‍ය ආයතනවලින් ලැබෙන මුදලින් එම ණය පියවා ගැනීමයි.
මේ අවස්ථාවේදී වැවිලි සමාගම් රක්ෂණ සංස්ථාව විකිණීම කරනු ලැබිණි. මෙය ප්‍රතිව්‍යුහගත කිරීමකට වඩා මූලික වශයෙන් විදෙස් විනිමය සංචිත වැඩි කිරීම සඳහා කරන ක්‍රියාවක් විය හැකිය යන තර්කය මතු වෙයි. ඒ නිසා එහි ඇගැවීම් ගණනාවක් වෙයි. ලංකාවේ ආර්ථිකය හැසිරවීමේදී විශාල වශයෙන් විදේශිය ආධිපත්‍ය මේ රටේ ආර්ථිකය කෙරෙහි වූ බලපෑම ඉතාම පැහැදිලි දක්නට ලැබෙයි. එයට හොඳම උදාහරණය නම් 2023 අය-වැය ලේඛනය සහ එයට ආසන්නව ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්තිය ගෙන බැලූ විට අපිට දක්නට ලැබෙන කරුණක් නම් එමඟින් කිරීමට අපේක්ෂා කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදයට පත් වූ කිසියම් ප්‍රමාණයක පුනරුත්ථානයකට ඉහළ දැමීමට නොවෙයි, ඒ ප්‍රතිපත්ති මඟින් කෙරෙන්නේ ඉතාම පැහැදිලි ලෙස තවත් සංකෝචනය කිරීමයි.
ඒ ආර්ථිකය සංකෝචනය කිරීමේ දිශාවට යන ප්‍රතිපත්තියක මේ ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වෙයි. ඒ නිසා මූලික වශයෙන් ආර්ථික කාර්යක්ෂමතාව නැංවීමකට වඩා විදෙස් විනිමය සංචිත ගොඩනඟා ගැනීමටත්, අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ විදේශ ප්‍රාග්ධන හිමියන්ට අවැසි පරිදි ලංකාවේ ආර්ථිකය තවත් පහළ මට්ටමකට සංකෝචනයකට ගෙන යෑමේ ක්‍රියාමාර්ග හේතුවක් විය හැකියි.
රටේ දූෂණය රාජ්‍ය හො පෞද්ගලික ලෙස ගත නොහැකියි. මෙය දේශපාලනයේ ද වෙයි. මෙය මුළු මහත් පොදු ක්‍රියාවකි. අමරිකාවේ හිටපු ජනාධිපති රූස්වෙල්වරක් සඳහන් කරන කරුණක් නම් නියමිත ලිපිනයේ වැඩ කාලය තුළ ඔහුට හෝ ඇයට ජීවත්වීමට වැටුපක් නොගෙවන ව්‍යවසායන්වලින් ඵලක් නැති බවයි. නමුත් අපේ සමාජයේ පැය 12ක් පමණ වැඩ කළ ද කිසිම කෙනකුට තමන්ට ජීවත් වීමට සරිලන වැටුපක් පැය අටේ කාලයේදී නොලැබෙයි. ඒ නිසා මිනිසුන්ට දොස් නැඟීමෙන් ඵලක් නැත. ජීවත් වීමට හැකි වැටුපක් ගෙවිය යුතු බව රූස්වෙල්ට් අර්බුද අවස්ථාවක සඳහන් කරන්නේ ඒ හෙයිනි. රටේ ජාතික ආර්ථිකය ගොඩනැඟීම සඳහා විශේෂයෙන්ම ජාතික නිෂ්පාදන ඉහළ දැමීම ඉලක්ක කරගත් සහ රටට විදේශීය මුදල් නිසි පරිදි ලැබෙන සැලසුම් සහගත ආර්ථිකයක් කරා යෑමෙන් මේ ආර්ථික අර්බුදයෙන් යම් ප්‍රමාණයකට ගොඩ ඒමට හැකි වෙයි.