පේරාදෙණි සරසවි පාතාලයේ මැරයන් ගැන මෙතෙක් හෙළි නොවූ කතාව | සිළුමිණ

පේරාදෙණි සරසවි පාතාලයේ මැරයන් ගැන මෙතෙක් හෙළි නොවූ කතාව

ප්‍රහාරයට ලක්වූ විදුර සේනාරත්න

ර්වාස්ව ලෝකනම් ශාස්ත්‍රම් අපේ රටේ විශ්වවිද්‍යාල අතර අදටත් ඉහළින්ම වැජඹෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තේමා පාඨය වන්නේ මෙයයි. “සර්ව ලෝකයම දැකීමේ ඇස ශාස්ත්‍රයයි“ තේරුම් ඇති මෙම තේමාව මුල්කරගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සැලකෙන්නේ මෙරට ඇති පැරණිතම සහ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය ලෙසිනි.

හරිත වන පියසකින් මෙන්ම කඳු වළල්ලකින් වටවුණු මනරම් භූමියක පිහිටි පේරාදෙණිය සරසවිය ලෝකයේ දැකුම්කලු පරිසරයක ඇති අතළොස්සක් වූ විශ්වවිද්‍යාල අතරින් එකකි. ඒ නිසාම පේරාදෙණිය සරසවි බිමට ඇත්තේ ලොකු ඉල්ලුමකි.

මෙම සරසවියට ඇතුළත් වී සර්ව ලෝකය දැකීමේ ශාස්ත්‍රීය ඇස ප්‍රගුණ කිරීමට අද මෙන් නොව, එදා පෙරුම් පිරුවෝ බොහෝය. අද පේරාදෙණිය සරසවිය හැමෝටම එපා වී ඇත්තේ ඒ ලස්සන පරිසරය විනාශ වී ඇති නිසා නොව, අදටත් ඒ පරිසරය එදා මෙන් ඇත්තේය. ගැටලුව වී ඇත්තේ ඒ සොඳුරු සරසවි බිම කිලිටි කරමින් එය හිට්ලර්ගේ වදකඳවුරකට එහා ගිය වදකාගාරයක් බවට පත්ව ඇති බැවිනි. මේ තත්ත්වය පේරාදෙණියට පමණක් සීමාවූවක් නොව, අඩු වැඩි වශයෙන් අපේ රටේ සෑම විශ්වවිද්‍යාලයක්ම දැන් වධකයන් අරක්ගෙන හමාරය. සෙසු විශ්වවිද්‍යාල හා සාපේක්ෂව සැසඳීමේදී දරුණුම තත්ත්වයක් අද වන විට ඇතැයි කියැවෙන්නේ පේරාදෙණියේය. පේරාදෙණිය සරසවියට තේරී පත්වන ඇතැම් දරුදැරියන්ව අද සිරසවි බිමට සිය දෙමාපියන් නොඑවන තැනට පත්ව ඇත්තේ එබැවිනි. 

මේ තත්ත්වය හේතුව බලය වෙනුවෙන් විශ්වවිද්‍යාලය පද්ධතියට දේශපාලනය රිංගාගත් දේ නිසාය. අද බොහෝ ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව එම දේශපාලන පක්ෂවල රූකඩ ලෙසිනි. විශ්වවිද්‍යාල පද්ධතිය අරාජික කරමින් අද වන විට ඒතැන් වදකඳවුරු බවට ඒ අය විසින් පත්කර හමාරය. එබැවින් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් රටට බිහිවනුයේ බුද්ධිමතුන් ද පාතාල මැරයන් ද යන්න පිළිබඳව සමාජ කතිකාවක් ගොඩනැඟිය යුතු හොඳම කාලය එළැඹී ඇත්තේ දැන්ය. ඒ 88-89 භීෂණ යුගයේ ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය වන බවක් දක්නට ලැබෙන බැවිනි. එහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ පේරාදෙණිය සරසවි භූමියෙනි. එය ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නට එල්ල වුණු සිසු මැරයන්ගේ අමානුෂික මිලේච්ඡ ප්‍රහාරයයි.

පේරාදෙණියේ 2012 සහ 2015 යන වසරවල උප කුලපතිලෙස සේවය කරනු ලැබුවේ භූගර්භ විද්‍යාව පිළිබඳ ෙජ්‍ය්ෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නය. අදත් ඔහු පේරාදෙණියේ සේවයේ නිරතව සිටින්නේ පීඨාධිපතිවරයෙක් ලෙසිනි. ඔහුට එල්ල වුණු මෙම මැර ප්‍රහාරය පක්ෂ පාට ෙභ්දයකින් තොරව හෙළා දකින්නේ පිළිකුලෙන් යුතුවය. ඒ විශ්වවිද්‍යාලයෙන් ප්‍රචණ්ඩත්වය දැන්වත් නතර කළ යුතු බවට වූ සමාජ මතයක්ද ගොඩනැඟෙමිනි.

මෙහිදී සමස්ත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මතකයට නැඟෙන්නට ඇත්තේ 1989 මාර්තු 18 වෙනිදා කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර කොලෙජ් හවුස් හි පිහිටි සිය කාර්යාලයේදීත් එම වකවානුවේම සැප්තැම්බර් 11 වෙනිදා මොරටුව සරසවියේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවනවිතානත් ඝාතනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු සිය කාමරවල සිර කළ යුගයයි. මහාචාර්ය අතුල සේනාරත්නට එල්ල වුණු ප්‍රහාරය එදා ඒ අතීතය ගැන දන්නා කියන උදවියට දැනෙන්නට වූයේ ඒ භීෂණයේ අඳුරු සෙවණැලි නැවතත් විශ්වවිද්‍යාල තුළින් මතු වෙමින් ඇති බවකි. මෙම මිලේච්ඡ ප්‍රහාරයට එරෙහිව රටේ සෑම පාර්ශ්වයක්ම සිය හඬ අවදි කරන්නට ගත්තේ එබැවිනි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නට එල්ල වුණු මිලේච්ඡ සිසු මැර ප්‍රහාරයට ඔහුගේ පුතුගේ පාර්ශ්වයෙන් ද වගකිව යුතුව ඇතත්, මෙහිදී සිසුන්ගේ දෙසට පමණක් ඇගිල්ල දිගුවී ඇත්තේ ඔවුන් සිය ප්‍රචණ්ඩත්වය මුදා හැර ඇත්තේ මහාචාර්යවරයකු වෙත වීම නිසාය. ඒ නිසා මහාචාර්යවරයාගේ පුතාගේ පාර්ශ්වයට එල්ලවන චෝදනාව දැන් ඇත්තේ යටපත් ව ගොසිනි.

මෙහිදී තම තමන්ට වාසි කොටස පමණක් මාධ්‍ය හමු පවත්වමින් දෙපැත්තේම උදවිය එළියට දැමුවත් ඒ කිසිවකුත් මුළු කතාවම එළියට දමන්නේ නැත. සරසවි සිසුන්ගේ පාර්ශ්වයෙන් පවසන්නේ උපකුලපතිවරයාගේ පුතා බීමත්ව මෝටර් රථයක් පදවා සරසවි සිසුන්ගේ යතුරුපැදි දෙකක් අනතුරට ලක්කළ බවය. මහාචාර්ය අතුල සේනාරත්න පාර්ශ්වයෙන් කියැවෙන්නේ සිය පුතා එන මඟ හරස්කර නතර කර තිබුණු යතුරුපැදි දෙකක් ඉවත් කරලීමට යෑමේදී එක් යතුරුපැදියක් ඇලවීමක් මුල් කරගෙන මෙම මිලේච්ඡ ප්‍රහාරය එල්ල කර ඇති බවය. මෝටර් රථය යතුරුපැදිවල හප්පා අනතුරට ලක් කළ බව සරසවි සිසුන්ගේ පාර්ශ්වයෙන් කියැවුණත් එවන් අනතුරක් කළ කිසිදු සළකුණක් එම මෝටර් රථයේ තිබී සොයා ගැනීමට මහනුවර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ට නම් හැකියාවක් ලැබී නැත. අඩුම තරමින් සීරීම් පහරක්වත් එම මෝටර් රථයේ තිබී නැත. ඒ අනුව සරසවි සිසුන්ගේ පාර්ශවයෙන් එල්ලවන එම චෝදනාව මේ වන විටත් ඇත්තේ නිෂ්ක්‍රීය තත්ත්වයකට පත්වය.

මෙහි ඇත්ත නැත්ත ගවේෂණය කිරීමේදී පැහැදිලිවම අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ එදා 10 වෙනිදා මෙහි මුල් සිදුවීම රාත්‍රී 9.24ට පමණ විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය ආසන්නයේදී සිදුවී ඇති බවය.

ඒ වන විට සිසුන් කිහිප දෙනෙක් එළිමහන් රංග පීඨය අසළ රැස්වී සිටින්නේ සුපුරුදු දින චර්යාවේ අංගයක් ලෙසිනි. ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නගේ පුතා මධ්‍යම පළාතේ ලියාපදිංචි CAP 2719 අංකය දරන මෝටර් රථයෙන් මෙම ස්ථානය පසුකරමින් ගමන් කිරීමට පැමිණෙන්නේ ඔය අතරතුරදීය. සරච්චන්ද්‍ර රංග පීඨයේ රැඳී සිටි සිසුන්ගේ යතුරුපැදි කිහිපයක් නතර කර තිබෙන්නේ පාර අවහිර වන ලෙසිනි. ඒ ඔවුන්ට මාර්ගය අවහිර කරමින් කා සමගින්වත් ගැටුමක් ඇතිකර ගැනීමට තිබුණු අවශ්‍යතාවක් නිසා නොව, විශ්වවිද්‍යාල භූමිය තුළ වූ එම මාර්ගයේ ඒ මහ රෑ වාහන ගමන් නොකරන බව දැන සිටි බැවිනි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්යය අතුල සේනාරත්නගේ පුත් විදුර සේනාරත්න කොහේදෝ ගමනක් ගොසින් එදා එන්නේ මෙම මඟ ඔස්සේය. මාර්ගය අවහිර වන සේ නතර කර ඇති යතුරු පැදි දුටු ඔහු වාහනයේ නලා හඩ කිහිප විටක්ම නාද කරන්නේ යතුරුපැදි මාර්ගයෙන් ඉවත් කර ගන්නා ලෙසට සංඥා කරමිනි.

ඊට කිසිවකුත් යහපත් ප්‍රතිචාරයක් නොවූ තැන මහාචාර්යවරයාගේ පුතා මෝටර් රථයෙන් බිමට බැස එම යතුරුපැදි අසලට ගමන් ගන්නේ යක්ෂාරූඩවය. මාර්ගය අවහිර වන ලෙස නතර කර තිබුණු සබරගමුව පළාතේ ලියාපදිංචි බී.ඊ.යූ. 7959 අංකය දරන යතුරුපැදියට ඔහු පා පහරක් එල්ල කරන්නේ ඒ නිසා විය හැකිය. එම පා පහරින් යතුරු පැදිය බිම පෙරළෙන්නේ ඒ ආසන්නයේම තතර කර තිබුණු දකුණු පලාත් ලියාපදිංචි බී.ඩී.එම්. 2909 අංකය දරන යතුරුපැදියත් බිම පෙරළාගෙනය.

සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ සිටි සිසුන් ඇවිස්සෙන්නේ ඒත් එක්කමය. සිසුන් එතැනට දිව එන විට මෝටර් රථයට නැඟුණු මහාචාර්යවරයාගේ පුත් විදුර සේනාරත්න විදුලි වේගයෙන් සිසුන්ව මඟහැර අතුරුමං ඔස්සේ පලා යන්නට වූයේ සිසුන්ට හසුවුවහොත් තමාව හප කරතැයි හොඳාකාරවම දැන සිටි බැවිනි.

සරසවි සිසුන් ද මෙහිදී ඔහුව නිකම්ම අතහැරීමට කිසිදු සූදානමක් නොවීය. සිය සඟයන්ට දුරකතන ඇමතුම් දෙමින් යතුරුපැදිවල නැඟී මෝටර් රථය පසුපස හඹා යන්නට වූයේ ඔහුට විශ්වවිද්‍යාල භූමියෙන් එළියට යාමට ඇති හැම මාර්ගයක්ම අහුරාලමිනි. ඒ සිය යතුරුපැදි බිම පෙරළා පලා යන්නේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නගේ පුතා බවට හාංකවිසියක්වත් නොදැනය.

විදුර සේනාරත්නව සිසුන්ගේ අතට හසුවන්නේ මහාචාර්ය අතුල සේනාරත්නට සරසවියෙන් ලැබී තිබුණු නිල නිවස අසලදීය. විදුර උත්සාහ දරන්නේ සිසුන්ගේ ඇස් වසා මෝටර් රථය වත්තට ඇතුළු කර ගේට්ටුව වසා සැඟවෙන්නටය. එහෙත් ඊට ඔහුට ඉඩක් නොවීය. සිසුන් ඔහුව වටකරගත්තේ ගේට්ටුව වසා පැන ගන්නට මත්තෙනි. සරසවි සිසුන්ගෙන් අමානුෂික ලෙස පහර කෑමට ඔහුට සිදු වන්නේ එහිදීය.

මේ වන විට ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සිටින්නේ මහාචාර්ය ආරියරත්න සමඟ නිවසේ පොඩි කතාබහක නිරත වෙමිනි. සිය පුතාට කිසියම් පිරිසක් විසින් වට කර පහර දෙන බව මහාචාර්ය අතුලට කියන්නේ සිය බිරියය. ඒත් එක්කම නිවසින් පිටතට දිවයන අතුල සේනාරත්න දකින්නේ කඩිගුලක් මෙන් ඇවිස්සී සිටි සරසවි සිසුන් තිහ හතළිහක පිරිසක් විදුරට වටකර පහර දෙන අයුරුය.

පියෙක් ලෙස අතුල සේනාරත්නට සිය පුතාට වටකර පොලු මුගුරුවලින් එල්ල කරන එම ප්‍රහාරය බලා සිටීමට කිසිසේත්ම හැකියාවක් නොවීය. පිය සෙනෙහස දෝරෙ ගලා යමින් ඔහු දිවගොස් සිය පුතාව බදා ගෙන කෑගසමින් සිසුන්ට කියන්නට වූයේ තමා හිටපු උපකුලපතිවරයා බවය. එහෙත් ඊට සිසුන් කිසිසේත්ම ඇහුම්කන් දුන්නේ නැත. මහාචාර්යවරයාව ඇද පැත්තකට තල්ලු කර නැවතත් විදුරට පහර දෙන්නට ගත්තේය. එතැනට පැන්න මහාචාර්යවරයාගේ බිරියට පමණක් නොව, නිවසේ මෙහෙකාරියන් දෙදෙනාට ද පහරදී බැණ තර්ජනය කරමින් ඔවුන්ව පැත්තකට තල්ලු කර තිබුණේ ලේ පිපාසිත මෘග හැසිරීමක් පෙන්නමිනි.

මෙහිදී මහාචාර්ය ආරියරත්න ද එළියට දිවවිත් අතුල සේනාරත්න සමඟ එක්ව විදුරව ආරක්ෂාකාරීව නිවස තුළට නොගන්නට විදුර ඇතැම් විට අද ජීවතුන් අතර නැතිවන්නට තිබුණු ඉඩකඩ බොහෝය. ඒ තරමට ඒ මොහොතේ සිසුන් සිටියේ ප්‍රකෝපකාරීවය. ඔවුන්ගේ ඒ හැසිරීම මහාචාර්ය අතුල සේනාරත්න දුටුවේ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පිරිසකගේ හැසිරීමට සමාන ලෙසිනි. එසේ නොවන්නට පියවි සිහියෙන් සිටින්නකුට එතරම් මිලේච්ඡ හැසිරීමක් පෙන්නුම් කරන්නට කිසිසේත්ම නොහැකිය.

විදුරව ගෙට දමා ගැනීමෙන් පසු මහාචාර්ය අතුල සේනාරත්න දොරකඩට වී සිටියේ පළිහක් ලෙසිණි. ඒ දොරගුළු බිඳ සිසුන් නිවස තුළට ඇතුළුවීම වළකන්නටය. ඒ අතර නිවෙසේ පිටුපස පැත්තට ගිය සිසු පිරිසක් මුළුතැන්ගෙයි දොරගුළු බිඳ නිවස තුළට රිංගන්නේ විදුරව සොයාගෙනය. එහෙත් එසේ නිවසට කඩාවැදුණු කිසිවකුටත් විදුරගේ ඇඟට අතක් තබන්නට ඉඩක් නොවීය. ඒ හතර වටින්ම ගිය දුරකතන ඇමතුම් ඔස්සේ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරීන් ද විනය ආරක්ෂකයන් ද පේරාදෙණිය පොලිසියද එහි පැමිණෙන්නට වූ බැවිනි.

නමුත් ඒ යැයි කියාද සිසුන්ගේ ප්‍රචණ්ඩත්වයේ කිසිදු පාලනයක් නොවීය. තුන්හාරසියයක් සිසුන් ඒ වන විටත් සිය නේවාසිකාගාරවලින් එළියට පැන මෙතැනට රොක්වී සිටියේ විශ්වවිද්‍යාල පාලනාධිකාරියට මෙන්ම පොලිසියට ද ඔවුන්ව පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය කරමිනි.

සිසුන් එක හඬින් කියන්නට වූයේ තමන්ගේ යතුරු පැදි දෙක මහාචාර්යවරයාගේ පුතා විසින් සිය මෝටර් රථයේ හප්පා හානි කළ බැවින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් යතුරුපැදිවලට වූ හානිය ඔහුගෙන් අය කර දෙන ලෙසය. මෙහිදී සිසුන්ගේ හඬට කන්දෙනවා හැරෙන්නට වෙන විකල්පයක් කිසිවකුටත් නොවීය. ප්‍රචණ්ඩත්වයෙන් මුසපත්ව සිටි සිය ගණනක් වූ සිසුන් සමඟ ඒ වන විට ගැටෙන්නට තරම් හයියක් ද එතැනට ගොස් සිටි පොලිස් නිලධාරීන්ට ද නොවීය. ගැටුම පැවතියේ මහාචාර්යවරයාගේ පුතා සමඟ වූ බැවින් ඔහුව එතැනින් ඉවත්කර ආරක්ෂක ස්ථානයකට රැගෙන යෑම වඩාත්ම සුදුසු ක්‍රියාව බව පේරාදෙණිය පොලිිසියේ නිලධාරීන් මෙහිදී වටහා ගත්තේය. ඒ අනුව උපක්‍රමශීලි පියවරක් ලෙස විදුරගේ දෑතට මාංචු දමා පොලිස් ජීප් රථයට නංවා ගෙන ඔහුව විශ්වවිද්‍යාල භූමියෙන් පිටතට ගන්නේ ජීවිතයට කිසිදු හානියක් වන්නට ඉඩ නොතබමිනි.

ඒ වන විට දරුණු ලෙස පහර කෑමට ලක්ව සිටි විදුර සේනාරත්න පේරාදෙණිය රෝහලට ඇතුළත් කළද, ඔහු පැය කිහිපයකට වඩා රෝහල තුළ රැඳුණේ නැත. ඔහු පෞද්ගලික රෝහලකට ඇතුළත් වන්නේ වැඩිදුර ප්‍රතිකාර ගැනීමටය. ඒ අතර මහාචාර්ය අතුල සේනාරත්න ද මහනුවර රෝහලටත් පසුව පුද්ගලික රෝහලකටත් ඇතුළත් වන්නේ තමාට ද සිසුන් විසින් පහර දුන්නේ යැයි කියාය. පේරාදෙණිය සරසවියේ මෙම මැර ක්‍රියාව සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වන්නේ ද මේ සමඟිනි.

මහාචාර්ය අතුල සේනාරත්න මේ ගැන පවසන්නේ තමාගේ 43ක සරසවි ඇදුරු සේවා කාලය තුළ කිසිදු අවස්ථාවකදී මෙවන් තත්ත්වයකට මුහුණ දී නැති බවය. ජීවිතයේ කිසිදු දිනක සරසවි සිසුවකුගෙන් බැණුමක් අසා නැති තමා පරුෂ වචනවලින් පමණක් නොව, ගුටිබැටවලින්ද සිසුන්ගෙන් සංග්‍රහ ලැබූ බව ඔහු පවසන්නේ ජීවිතයේ කිසිදු දිනක නොවූ ආකාරයේ අසරණ තත්ත්වයකට තමා පත්වූ බව කියමිනි.

“මම හෘදයාබාධයට බෙහෙත් ගන්නවා. බිරිය කෑගහල ඒ ගැන කිව්වා. ඒ වෙලාවේ බිරියටත් පරුෂ වචනවලින් ඒ අය බැන්න. බිරියගේ කොණ්ඩෙන් ඇදලා තල්ලු කළා. ඔය වෙලාවේ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ දෙන්නෙක් හිටියා. ප්‍රධාන විනය පාලක හිටියා. ඔහුගේ හඬටවත් ඒ අය ඇහුම්කන් දුන්නේ නැහැ. මේ ළමයි මේතරම් දරුණු වෙන්න එතැන හේතුවක් තිබුණේ නැහැ. ඒ අය මෙසේ හැසිරෙන්න ඇත්තේ මොනව හරි මත්ද්‍රව්‍යක් භාවිත කරල හිටපු නිසා වෙන්න ඇති කියල මම හිතනවා“ යැයිද කියා මහාචාර්ය අතුල සේනරත්න ඒ ගැන පවසන්නේ දැඩි වේදනාවක් හිතේ තබාගෙනය.

“ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකුට පහර දෙනව කියන්නේ ඇත්තටම අසුබ ලකුණක්. මේ තුළින් ඉදිරියේදී විශ්වවිද්‍යාලය පිරිහෙනවා. මම විශ්‍රාම යන මාසේ මේ දේ සිදුවීම ගැන මට කනගාටුයි. ඇඟට වැදුණු පහරවල්වලට වඩා හිතට දැණුනු වේදනාව වඩාත් දැනෙනවා. මෙහෙම දෙයක් මට මෙච්චර කාලයකට වෙලා නැහැ. මේකට හේතුව ශිෂ්‍යන්ගේ පිරිහීමයි. අන්තවාදී වාමාංශික දේශපාලනය එක්ක ළමයි ගැටගැහිලයි ඉන්නේ. කරන්නෙම විනාශකාරී වැඩ. අපේ මහාචාරයවරුන්ගේ අනාගතයත් භයානක තත්ත්වයකයි තියෙන්නේ. මේ අය ශිෂ්‍යයෝ නෙමෙයි. අපරාධකරුවන්. මුළු විශ්වවිද්‍යාලයම පාලනය කරන්නේ මේ අපරාධකරුවන්. ඒ නිසා මම ඉල්ලා සිටිනවා විශ්වවිද්‍යාලය තුළ නීතිය ක්‍රියාත්මක කරල විශ්වවිද්‍යාලය මේ අයගෙන් අපට ගලවල දෙන්න කියල“ මහාචාර්ය අතුල සේනාරත්න මේ ඉල්ලීම බලධාරීන්ගෙන් කරනුයේ ආචාර්යවරුන්ගේ පමණක් නොව, සිසුන්ගේ ජීවිත ද රැක ගැනීම උදෙසා මේ වේලාවේ කරන්නට ඇති හොඳම දේ එය බව වටහාගෙනය.

මේ තත්ත්වය තවදුරටත් විශ්වවිද්‍යාල තුළ පැවතියහොත් රටේ නීතිය වල්වැදී විශ්වවිද්‍යාලය තුළ මතුවන්නේ කැලෑ නීතිය බව දැන් හැමදෙනෙකුටම අවබෝධවී අවසන්ය. මෙම සිදුවීමත් සමඟ විවිධ දේශපාලන මතිමතාන්තර දරමින් සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පටන් සිවිල් සංවිධාන මෙන්ම රටේම දැන් ඉල්ලීම වී ඇත්තේ මුදා නොගත් කලාප බවට පත්ව ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය, සිසුන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට හැකි ස්ථානයක් බවට පත්කර දෙන ලෙසය. ඒ වෙනුවෙන් මේ වන විට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ද අත්වැල් බැඳගෙන තිබීම විශේෂිතය. ඒ ඔවුන් ද මෙහි ඇති භයානකත්වය හොඳින් වටහාගෙන සිටින නිසා විය හැකිය.

මේ නිසාම මහාචාර්ය අතුල සේනාරත්නගේ නිවෙසට පැන පහර දුන් හඳුනා ගැනීමේ මෙහෙයුමට සක්‍රීය දායකත්වය ලබාදෙන්නේ විශ්වවිද්‍යාල පරිපාලනය විසිනි. ඒ ආරක්ෂක කැමරා දත්ත මෙන්ම ඇසින් දුටු සාක්ෂි ද පදනම් කරගෙනය. ඊට ශිෂ්‍ය සංගම්වල ද සහය විශ්ව විද්‍යාල පරිපාලනයට ලැබී තිබුණු බව ද කියැවිණි.

ඒ ඔස්සේ මෙම ප්‍රහාරයට ඝෘජුවම සම්බන්ධ යැයි හඳුනා ගත් සිසුන් ගණන දොළොස් දෙනෙකි. ඒ අය සම්බන්ධයෙන් විශ්විවිද්‍යාල පරිපාලනය විසින් දැඩි තීන්දුවක් ගත්තේය. ඒ එම සිසුන් දොළොස් දෙනාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමටය. ඒ බව නිල වශයෙන් දැනුම් දීමක් කරනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ විනය පාලක මහාචාර්ය තිලක් බණ්ඩාරය. මෙම තීරණයට විශ්වවිද්‍යාල පරිපාලනය විසින් එළැඹෙන්නේද විමර්ශනයකට යටත්වය. එසේ නොමැතිව එම සිසුන්ගේ ශිෂ්‍යභාවය සදාකාලික අහෝසි කිරීමක් මෙහිදී සිදු වූයේ නැත.

ඒ වන විට පේරාදෙණිය පොලීසියේ නිලධාරීන් සිටියේ විශ්වවිද්‍යාල පරිපාලනයෙන් යම් සංඥාවක් තමන්ට ලැබෙන තුරුය. එම සංඥාව පොලිසියට ලැබෙන්නේ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමෙනි. ඒ තුළින් කියා පෑවේ මෙම මිලේච්ඡ ප්‍රහාරයට එම සිසුන් 12 දෙනා සම්බන්ධ බවය. පහරදීමට සම්බන්ධ සිසුන් හඳුනා ගැනීමට ඇති ආරක්ෂක කැමරා දර්ශන මෙන්ම ඇසින් දුටු සාක්ෂි රැසක්ම ඒ වන විටත් තිබුණේ විශ්වවිද්‍යාල පරිපාලනය සතුවය. සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය එම දත්ත පදනම් කරගෙන අහෝසි කරන විට හිටපු උප කුලපතිවරයාට පහර දුන්නේ කවුරුන්දැයි පොලිසියට හඳුනා ගැනීමට එය මහත් රුකුලක් විය.

ඒ ඔස්සේ යමින් පොලීසිය තමන්ව කුදලාගෙනවිත් සිරමැදිරියට දමන තුරු එම සිසුන් බලා සිටියේ නැත. සිය ශිෂ්‍යභාවය අහෝසි වීමත් සමඟ ඊළගට තමන්ට සිදුවන්නේ කුමක්දැයි පැහැදිලිවම වටහාගනිමින් පොලීසිය තමන්ව හඹාගෙන එන්නට මත්තෙන් පේරාදෙණිය පොලිසියේ එළිපත්තට ගොස් ඔවුන් භාරවන්නේ නීති උපදෙස්ද ඇතිවය.

මේ 12 දෙනාගෙන් මුලින්ම පොලීසිය හමුවට යන්නේ සිසුන් 06 දෙනෙකි. ඒ 13 වෙනිදා උදෑසන කාලයේය. නිට්ටඹුව කල්එළියේ දුමින්දේගෙදර පදිංචිව සිටින දිනේෂ් මධුෂාන්, ඇඹිලිපිටිය පදලංගල සිරිසඟබෝ විදුහල පිටුපස පදිංචිව සිටින මනෝජ් තිවංක, ගිරිතලේ පුරාණගම යොවුන් මාවතේ පදිංචිව සිටින චරිත් දිල්ෂාන්, ගල්වැටිය ගලගම්වත්තේ පදිංචිව සිටින ගිහාන් සමීර උදයංග, හේනේගමුව මාකෙළියාවේ නවගම්මානයේ පදිංචිව සිටින තිළිණ සඳරුවන් සහ මාතලේ හේනේපොල පදිංචිවසිටින රුසිරු බුද්ධික ජයසුන්දර යන සිසුහු ඒ අය අතර සිටියහ.

මෙදින දහවල් තවත් සිසුන් සිවු දෙනෙක් පොලීසියට බාර වෙන්නේ මුලින් භාර වුණු සිසුන්ට පොලිසියෙන් හිංසාවක් සිදුනොවුණු බව තහවුරු කර ගැනීමෙන් අනතුරුවය.

පිටිගල, අමුගොඩ, අළුත්ගෙදර වත්තේ පදිංචිව සිටින ප්‍රමෝද් නිපුනජිත්, යක්කලමුල්ල, ගහකොලදෙණිය, ශ්‍රී ගුණවර්ධනාරාම පාරේ පදිංචිව සිටි සම්පත් සඳරුවන්, ඇඹිලිපිටිය, පදලංගල, තෝරගල පදිංචිව සිටින ක්‍රිෂාන් ශ්‍රීලාල් සහ රිදීගම, ඇඹලව පදිංචිව සිටින අචල කීර්ති වාසලසිංහ එසේ දහවල් කාලයේදී පේරාදෙණිය පොලිස් ස්ථානයට බාර වූවෝ අතර සිටියෝය.

මෙම සිසුන් 10දෙනාගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කර හඳුනා ගැනීමේ පෙරට්ටුවක් දක්වා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත වන විට එදින සවස සෙසු සිසුන් දෙදෙනාද පොලිස් ස්ථානයට පැමිණ බාරවී තිබුණේ බිය වන්නට කිසිදු කාරණාවක් නොමැති බව තවදුරටත් තහවුරු වීමෙන් අනතුරුවය.

එවර පොලිස් ස්ථානය වෙත පැමිණ බාරවන්නේ බෙලිහුල්ඔය, පඹහින්නේ, සමනලවැව පාරේ පදිංචිව සිටින සසංක විකුම් විතාරණ සහ රඹුක්කන, කොටවැල්ල, වැලිගමුවේ පදිංචිව සිටින ළහිරු මධුසංක වික්‍රමසිංහ යන සිසුන් දෙදෙනාය. මේ දෙදෙනාවද පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන්නේ හඳුනා ගැනීමේ පෙරට්ටුවක් දක්වාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු මෙම සරසවි සිසුන්ට පොලීසිය විසින් ගොනුකර ඇති චෝදනා සුළුපටු නැත. ඒ නීති විරෝධි රැස්වීමක සාමාජිකයන්ව සිටිමින් ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී බැණ තර්ජනය කර උපකුලපති අතුල සේනාරත්නටත් ඔහුගේ පුත් විදුර සේනාරත්නටත් පහරදී තුවාල කිරීම, රජයේ දේපොළ වලට පහරදීම, රජයේ දේපොළවලට හානි කිරීම ආදී චෝදනා ගොන්නකි.

රජයේ දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව මෙම සිසුන්ට එල්ල වන්නේ පේරාදෙණිය නියෝජ්‍ය ලේඛකාධිකාරී මාරසිංහගේ සංජීවනී දිල්රුක්ෂිකා මාරසිංහ විසින් පොලිසියට ලබාදී ඇති ප්‍රකාශයක් මුල්කරගෙනය. ඒ මෙම සිසුන්ගේ ප්‍රහාරයට ලක් වුණු හිටපු උපකුලපතිවරයා පදිංචිව සිටින නිල නිවස පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් රජයේ දේපොළක් බවට ප්‍රකාශයක් දෙමින් ඊට සිදුව ඇති හානිය රුපියල් එක් ලක්ෂ දොළොස්දහස් හයසිය හැත්තෑවයි ශත තිස් අටක් ලෙසින් තක්සේරු ඇති බව කියා ඇති බැවිනි. එහිදී ඇය විසින් එම තක්සේරු වාර්තාව ද පොලිසියට ඉදිරිපත් කර ඇත්තේ විශ්වවිද්‍යාල පාර්ශ්වයෙන් සිසුන්ට කිසිඳු ගැලවිල්ලකට ඉඩක් නොතබමිනි.

මෙසේ ඇප නොලැබෙන චෝදනා ගොන්නක්ම ගොනු කරමින් සිසුන් 12 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන විට පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කරනුයේ සියල්ලටම මුල මහාචාර්ය අතුල සේනාරත්නගේ පුතා බවය. මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර චෝදනා කරන්නට වූයේ මහාචාර්යවරයාගේ පුතා බීමත්ව මෝටර් රථය පදවමින් සරසවි සිසුන්ගේ යතුරුපැදි හප්පා ගර්ජනාවක් ද කළ බවය. ගැටුමට මුල එය බව පැහැදිලි කරන ඔවුන් චෝදනා කරන්නේ මාංචු දමා ඔහුව රැගෙන ගියත් නීතිය ඔහුට එරෙහිව ක්‍රියාත්මක වී නොමැති බවය.

ඊට ප්‍රතිචාර දක්වන මහාචාර්ය අතුල සේනරත්න පවසන්නේ සිය පුතාව මාංචු දමා රැගෙන ගිය ජිප් රථයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මෙන්ම විදානගේ නැමැති ශිෂ්‍ය සංගම් නියෝජිතයා ද සිට ඇති බවය. පොලිසියේ නිලධාරීන් එම සිසුන් දෙදෙනාව ඔවුගේ නවාතැන් පොළ වෙත රැගෙන ගොස් ඇති බවත් එහිදී ඔවුන් පොලිස් නිලධාරීන්ට ස්තූතියි යනුවෙන් පවසා ඇති බවටත් මහාචාර්යවරයා පොලිසියට දැන් ලොකු චෝදනාවක් ද කරන්නේය.

පොලිසියේ අභ්‍යන්තර තොරතුරු මඟින් දැන ගන්නට ඇති ආකාරයට අනුව එදා මහාචාර්යවරයාගේ පුතාව ජිප් රථයේ නංවා ගෙන රැගෙන ගොස් ඇත්තේ පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාය. අද පොලිසියට මෙවැනි චෝදනා එල්ල වන්නේ පොලිසිය පැත්තෙන් සිදුවී ඇති මඟ හැරීම් කිහිපයක් හේතුවෙනි. අඩුම තරමින් පොලිසිය අතුල සේනාරත්නගේ පුතා අධිකරණ වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කර ඔහු මත්පැන් පානය කර සිටීදැයි කියා පරීක්ෂාවක් කර ඇති බවක් හෝ අනාවරණය වන්නේ නැත. පොලිසියේ ඉහළ නිලධාරීන් ද එය තහවුරු කරන්නේ නැත. පොලිසිය බලා සිටින්නේ පැය කිහිපයක් ඔහු රෝහලේ ගත කළ කාලය තුළ හෝ රෝහල් වෛද්‍යවරයා විසින් යෙදූ සටහන්වල මත්පැන් ගැන යමක් සටහන්කර තිබේදැයි දැන ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ මෙතෙක් එම වෛද්‍යවාර්තා පොලිසිය අතට පත්ව නොමැති බැවිනි.

සිසුන් දැඩිව එල්ල කරන චෝදනාවක් වන්නේ ද අතුල සේනාරත්න මහාචාර්යවරයාගේ පුතා බීමත්ව සිටි බවය. ඒ ගැන සිසුන් පොලිසියට මහාචාර්යවරයාගේ නිවෙස ඉදිරිපිටදී පවසා තිබුණේ එක හඬිනි. එසේම මහාචාර්යවරයාගේ පැත්තෙන් සිසුන්ට එල්ල වන බරපතළ ම චෝදනාවක් වන්නේ තමන්ටත් පුතාටත් පහර දුන් සිසුන් මත්ද්‍රව්‍ය භාවිතා කර තිබේදැයි කියා සැකයක් පවතින බවය. මේ චෝදනාව නිසාම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට කාර්ය සාධක බළකායක් පිහිටුවීම කෙරෙහි ද මේ වන විටත් රජයේ අවධානයක් යොමුවී අවසන්ය. එවන් තත්ත්වයක් හමුවේදී පවා පොලිසියට බාර වූ සිසුන් 12 දෙනාගෙන් කිසිදු සිසුවකු අධිකරණ වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කර මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් කිරීමට තරම්වත් සිහියක් පේරාදෙණිය පොලිසියේ උදවියට තිබී ඇති බවක් පෙනෙන්නට නැත.

මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර හා විදානගේ යන සිසුන් දෙදෙනාව මහාචාර්ය අතුල සේනාරත්නගේ පුතාත් සමඟ රැගෙන ගොස් ඔවුන්ගේ නවාතැන් පොළ වෙත ඇරලවීම ගැන හරි පිළිතුරක් තවමත් පේරාදෙණිය පොලිසිය පාර්ශ්වයෙන් නිකුත් වී නැත. ඒ ගැන ඉහළ පොලිස් නිලධාරීන් කළ විමසුම්වලදී පේරාදෙණිය පොලිිස් ස්ථානාධිපතිවරයා නම් පවසා ඇත්තේ එය අමූලික බොරුවක් බවකි. පොලිස් ස්ථානාධිපතිවරයා ඒ ගැන නඟන තර්කය බවට පත්ව ඇත්තේ තමන් විසින් මහාචාර්යවරයාගේ පුතාව මාංචු දමා රැගෙන යන විටත් 300ක් පමණ සිසුන් පිරිසක් මහාචාර්යවරයාගේ නිවෙස ඉදිරිපිට රැස්ව සිටි බවය. සිසු සංගම් නායකයෙක් එසේ පිරිසක් රැඳී සිටියදී නවාතැන් පොළ වෙත පොලිස් ජිප් රථයක නැඟී ගමන් කරන්නේදැයි තර්කය මේ වන විට සිය ඉහළ නිලධාරීන් හමුවේ ඉදිරිපත් කර හමාරය. ඒ අතර මහාචාර්ය අතුල සේනාරත්න පොලීසියට තවත් චෝදනාවක් කරනු ලබන්නේ මෙම පහර දීමේ සිදුවීමට සම්බන්ධ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සිසුවා තවමත් නිදැල්ලේ සිටීම ගැන තමාට ලොකු ගැටලුවක් ඇති බවය. මේ නිසාම ඔහු බලධාරීන්ගෙන් මේ වන විටත් ඉල්ලීමක් කර ඇත්තේ මෙම විමර්ශනය පේරාදෙණිය පොලිසියෙන් ඉවත් කර වෙනත් පොලිිස් කණ්ඩායමක් වෙත ලබා දෙන ලෙසය. ඒ ඔහුට පේරාදෙණිය පොලිසියේ නිද්‍රාශීලී විමර්ශන තත්ත්වය හමුවේ ඉදිරි විමර්ශන නිසි පරිදි සිදු වනු ඇති බවට වූ අවිශ්වාසය නිසා විය හැකිය.

ඡායාරූප - රුවන් මීගම්මන

Comments