ලොකු ලූනු ගොවීන්ගේ කඳුළු කතන්දරේ | සිළුමිණ

ලොකු ලූනු ගොවීන්ගේ කඳුළු කතන්දරේ

සැකසූ ලොකු ලූනු බල්බ සහ ලොකු ලූූනු බීජ වගා­වක්

දිගම්පතහ අපිට ලූනූ බල්බ විකුණන්න ක්‍රමයක් නැහැ 
- දඹුල්ල දිගම්පතහ, ‘සෞභාග්‍යා දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදන තරුණ ගොවි සමිතියේ’ සභාපති, ටී.ජී. සෙනෙවිරත්න බණ්ඩාර

ලොකු ලූනු ගොවීන් 99%ක් වගාවෙන් ඉවත් වෙලා 
- හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි, කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ, සංඛ්‍යාන නිලධාරී ජේ.සී.කේ.බී.ලයනල්

ගලේවෙල අපිට බීජ හදා ගන්නවත් ලූනු බල්බ නැහැ
ගලේවෙල, ‘ශක්ති ලොකු ලූනු සංගමයේ’ සභාපති අයි. ජී. සේනසිංහ බණ්ඩාර

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු (SCL) අනුපාතය අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුව නිර්දේශ කර ඇති හෙයින් වෙළෙඳ පොළේ ලොකු ලූනු මිල අඩුවනු ඇතැයි, නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පවසා තිබුණේ පසුගිය 24 වැනිදා ය.

ලොකු ලූනු යනු, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් වන හෙයින් මේ ප්‍රවෘත්තිය උත්සව සමයේ පාරිභෝගික සතුටට හේතු වනු ඇත. කෙසේ වෙතත්, රටේ ලොකු ලූනු අවශ්‍යතාව වසරකට මෙට්‍ර්ක් ටොන් 300,000 ක් පමණ වන අතර, ඉන් 86%ක්ම සපුරා ගන්නේ ආනයනය කිරීමෙනි.

ඒ අනුව, දේශීයව නිෂ්පාදනය කෙරෙන්නේ ලොකු ලූනු අවශ්‍යතාවෙන් 14%ක් පමණි. 

නොවැම්බර් මස තුන්වැනි සතිය වන විට ආනයනික ලොකු ලූනු කිලෝ ග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 290 - 390 අතරත්, දේශීය ලොකු ලූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 340 - රු.400 අතරත් විචලනය විය.

දේශීය ලොකු ලූනු අස්වනු වෙළෙඳ පොළට පැමිණීම අවසන් වී ඇති බැවින්, මෙම බදු (SCL) අනුපාත අඩු කිරීම දේශීය ලොකු ලූනු වගාවේ නියැළි ගොවීන් හට බලපෑමක් එල්ල නොකරන බව ගොවීන් ගේ අදහස යි.

ගලේවෙල 'ශක්ති ලොකු ලූනු සංගමයේ' සභාපති අයි. ජී. සේනසිංහ බණ්ඩාර ඒ පිළිබඳ පැවසුවේ මෙවැනි අදහසකි.

" ගලේවෙල දිසාපති කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 34ක ලොකු ලූනු ගොවීන් 475 ක් අප සංගමයේ සිටිනවා. ඒ අතරින් බීජ නිෂ්පාදනය කරන ගොවීන් 295 ක් ඉන්නවා. ගිය කන්නයේ ඒ ගොවීන්, ලොකු ලූනු මවු බල්බවල උෂ්ණත්වය අඩු කර මුල් අද්දවා, පුෂ්ප අංකුර හට ගැනීමේ ක්‍රියාවලිය වන වසන්තීකරණය සඳහා, ලොකු ලූනු මවු බල්බ කිලෝ 47,525ක් නුවරඑළියට යැව්වා. එයින් ලූනු බීජ කිලෝ 1,700 ක් ලබා ගත්තා. ඉස්සර නොමිලේ ගොවීන්ට දුන් පොහොර මිටිය රුපියල් 40,000 ගාණේ අරන් හෙක්ටයාර 137 ක ඒවා වගා කළා.

2022 අගෝස්තු 16,17 ඇද වැටුණු මහා ධාරානිපාත වැස්සෙන් ඒ ලොකු ලූනු වගාව 50% ක් විනාශ වුණා. සැප්තැම්බර් 2,3,4 ඇද වැටුණු ඊළඟ මහ වරුසාවෙන් ඉතිරි 50%ත් විනාශ වෙලා ගියා.

දැන් මේ පළාතේ කිසිම ලොකු ලූනු ගොවියකුට බීජයක් වත් හදා ගන්න ලූනු බල්බ නැහැ. අපි මේ පිළිබඳ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු අධ්‍යක්ෂ තුමියට කතා කළා. කෘෂි උපදේශක මහත්වරු විනාශ වෙච්ච සෑම වසමක ම ලූනු ගොවි බිම්වලට ගිහින් සොයා බලා රක්ෂණ වන්දි ලබා දෙන්න ලයිස්තු පවා හැදුවා. පසුගිය නොවැම්බර් 10 වැනිදා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු අධ්‍යක්ෂතුමිය ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මේ ගැන සියලු තොරතුරු අධ්‍යක්ෂතුමියට දැනුම් දුන්නා. නමුත් ඒ රැස්වීමට ආපු කෘෂි රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කළමනාකරු කියනවා, 'මේ වෙච්ච වගා හානියට වන්දි ගෙවන්න බැහැ, මේක ගංවතුරක් නම් විතරයි දෙන්න පුළුවන්. වැස්සෙන් හානි වුණාට දෙන්න බැහැ' කියලා. එහෙමලු එයාලගේ චක්‍රලේඛයේ තිබෙන්නේ. වැසි වැහැලා නෙවෙයි ද ගංවතුර ගලන්නේ? මහ වැසි කිහිපයකට යට වුණාම වගාවක් ඉතිරි වෙනව ද? මේ නිලධාරීන් තමන්ගේ වාසියට මිස ගොවීන්ගේ යහපතට කටයුතු කරන අය නෙවෙයි. දැන් දේශීය ලොකු ලූනු වගාකරුවා ළඟ ලූනු ගෙඩියක්වත් නැහැ. මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරිය, දඹුල්ල සහ ගලේවල කියන පළාත්වල තමයි, ලොකු ලූනු වගාව ඉතාමත් සාර්ථකව කර ගෙන ආවේ. ලොකු ලූනු ගොවියෙක් වෙච්ච මේ කතා කරන මමත් දැන් ගෙදරට ගේන්නේ ආනයනික ලොකු ලූනු. ඔය තියෙන තැනකින් හරි ලූනු ගොවීන්ට කිලෝ දහයක් පහළොවක් හරි බීජ ගෙනැත් දීලා වසන්තීකරණයට යවන්න කියලා අපි බලධාරීන් දැනුම්වත් කළා. දිස්ත්‍රික් ලේකම් තුමිය තේජානි තිලකරත්න පොරොන්දු වුණා, එහෙම හරි හොයල දෙන්නම් කියලා. නමුත් තවම ක්‍රියාත්මක වන පාටක් නැහැ. 1982 අපි ලූනු වගාව ආරම්භ කළේ ලංකාවට ලොකු ලූනු හඳුන්වා දුන් මුල් යුගයේ. ඒ වෙලාවේ පූසා රෙඩ්, පූනා රෙඩ් සහ බෝම්බේ රෙඩ් කියන වර්ග තුන, ඇට ග්‍රෑම් 50 ගාණේ ගොවීන් කිහිප දෙනකුට නොමිලයේ දුන්නේ. ඒක සාර්ථක කරගෙන තමයි, දිගින් දිගටම ලොකු ලූනු වගාව කරගෙන ආවේ.

මේ බදු අඩු කිරීම අපිට කිසිම බලපෑමක් නැහැ. මොකද, මේ වෙනකොට ගොවීන් ළඟ ලූනු බීජ තියා ලූනු ගෙඩියක් වත් නැහැ. කියන්න කනගාටුයි, දැන් ලොකු ලූනු වගාවෙන් 99%ක්ම ගොවීන් ඉවත් වෙලා ඉන්නේ.

සීගිරිය, දඹුල්ල, ඉනාමළුව සහ ගලේවෙල ලූනු ගොවීන් මේ පාර නැත්තටම නැති කළේ අගෝස්තුවේ ඇද හැළුණු මහ වර්ෂාව. ගංවතුරෙන් හරි වැහි වතුරෙන් හරි දැන් අපේ ලූනු වගාව පාළු වෙලා ඉවරයි. ණයට පොලියට අරන් අක්කර ගණන් ලොකු ලූනූ වවපු ගොවියා අන්ත අසරණයි.

අනික් කාරණාව තමයි බීජ නැති එක. මාතලේ දිස්ත්‍රික් ලේකම්තුමිය තමයි, ගොවීන් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව සමඟ සෘජු සබඳතා තිබෙන්නේ. ගොවීන් ගේ ගැටලු රජයට ඉදිරිපත් කරන්නේ. රටට වගකිව යුතු තනතුරක් දරන ඇයගේ ක්‍රියාත්මක වීම මතයි, මේ ලූනු ගොවීන් ගේ ගැටලුවලට විසඳුම් සහ දේශීය ලොකු ලූනු වගාවේ අනාගතය රැඳී පවතින්නේ..."

මෙරට ගොවීන් සහ කෘෂි කර්මාන්තයේ උන්නතිය උදෙසා කෘෂි ක්ෂේත්‍රයේ සංවර්ධන ප්‍රතිපත්ති සකස් කිරීමට රාජ්‍ය තන්ත්‍රයට අවශ්‍ය තොරතුරු සහ දත්ත සැපයීම සිදුකරන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි, කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ, සංඛ්‍යාන නිලධාරී ජේ.සී. කේ. බී. ලයනල් ලොකු ලූනු ඉතිහාසය සහ එහි වර්තමානය පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි. "1980 දශකයේ මුල් භාගයේ තමයි ශ්‍රී ලංකාවට ලොකු ලූනු හඳුන්වා දුන්නේ. එතෙක් යාපනය, පුත්තලම, වව්නියාව, නිලාවේලි, ත්‍රිකුණාමලය වැනි පළාත්වල සාර්ථකව වගා කළ රතු ලූනුවලට පුරුදු වී සිටි ශ්‍රී ලාංකිකයන්ට, විවෘත ආර්ථිකයෙන් තවත් එක් ප්‍රතිඵලයක් තමයි බොම්බයි ලූනු හෙවත් ලොකු ලූනු. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සීගිරිය ගොවිජන බල ප්‍රදේශයේ පලුටාව ගමෙන් තමයි මුලින්ම ලොකු ලූනු වගාව අත්හදා බැලුවේ. අක්කර කාලක ලොකු ලූනු සිටුවා එම වගාව ගොවීන් අතර ජනප්‍රිය කිරීමට කැප වී කටයුතු කළේ, ඩිංගිරි බණ්ඩා කියන කෘෂිකර්ම උපදේශකවරයා. මුලින්ම ගොවීන් දෙතුන් දෙනකුට නොමිලයේ බීජ ලබා දී ඒ අත්හදා බැලීම ඉතාම සාර්ථක වුණා. මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට මුලින් හඳුන්වා දුන්නත් පසුව සීගිරිය, දේවහුව ඇතුළු රට පුරා විවිධ පළාත්වල ලොකු ලූනු වගාව සාර්ථකව ව්‍යාප්ත වුණා. මෑත කාලය වන විට නාඋල, කෝන්ගහවෙල, අනුරාධපුරය මහවැලි එච් සහ එච්-1 කලාපවලත් සාර්ථකව වගා කෙරෙනවා. ඉස්සර මේ තරම් පොහොර භාවිතයක් තිබුණේ නැහැ. අක්කරේටම කිලෝ 50 බෑග් හයක් විතර තමයි ගොවීන් භාවිත කළේ.

2010- 2013 කාලය තමයි ලොකු ලූනු වගාවේ ස්වර්ණමය යුගය. මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් 6,000ක් පමණ සිටිනවා. ලංකාවේ ම ගොවීන් 8,000 විතර තමයි ලොකු ලූනු වගාවේ නියැළි සිටින්නේ. 2016න් පස්සේ ලොකු ලුනු වගාව පල්ලම් බහිනවා. අද වන විට එහි තිබෙන්නේ ඍණ අගයක්.

සැප්තැම්බර් 15 න් පසු මාස් කන්නයේ වැසි පටන් ගන්නවා. ඒ වැස්සට ලොකු ලූනු තියාගන්න බැහැ. නරක් වෙනවා. ඉන්දියාවේ නම් ගලවන්නේ නැතිව මාස තුනක් පමණ පොළවේම වේළෙන්නට හැර තමයි, ලොකු ලූනු ගලවන්නේ. නමුත් දැන් පවතින කාලගුණික දේශගුණික වෙනස්වීම් නිසා අපේ ගොවීන්ට එහෙම කරන්න බැහැ. මහ වැසි වැටිලා, ඉක්මණින් ලූනු නරක් වෙනවා. ඒ නිසයි ගොවීන් අමුවෙන් ගලවලා වෙළෙඳ පොළට එවන්නේ.

ඒ දවස්වල ලොකු ලූනු බීජ කිලෝවක් හදා ගන්න ගියේ, රුපියල් හාර පන්දහක් විතරයි. දැන් රුපියල් 35,000ක් යනවා. 50,000ක් දක්වා ගිය අවස්ථාත් තිබෙනවා.

2015න් පස්සේ තමයි ලූනු වගාව පාඩු ලබන්නේ. ඉස්සර පලුටාව ගමේ ලොකු ලූනු වවා, ප්‍රයිවට් බස් ගත්තු ගොවියොත් හිටියා. අද ලොකු ලූනු කිලෝවක් හදන්න ගොවියාට ම රුපියල් 90ක් නිෂ්පාදන වියදම යනවා. 2015- 2020 අතර කාලයේ නිෂ්පාදන වියදම ගියේ රුපියල් 35-38යි. 2020 දී රුපියල් 43යි. 2021 දී රුපියල් 53යි.

අද ලොකු ලූනු ගොවීන් හුඟ දෙනෙක් ලූනු වගාවෙන් ඉවත් වෙලා. දඹුල්ලේ ලොකු ලූනු වගා කළ බොහෝ අය, අද අඹ වගාවලට ගිහින්. නැත්නම් කිලෝ පේර වවනවා.

ඉන්දියාවේ නම්, ලොකු ලූනු ගොවීන්ට විදුලිය සහ ඉන්ධන සහනාධාර ලබා දෙනවා. එහෙම වුණාම ඔවුන්ට ලොකු ලූනු කිලෝවක් නිෂ්පාදනය කරන්නට යන්නේ රුපියල් 25 කටත් අඩු මුදලක්. ඩොලරයේ ප්‍රශ්නය නෙවෙයි නම්, රුපියල් 50-60ක් වැනි මුදලකට ලොකු ලූනු කිලෝව ඉන්දියාවෙන් ගේන්න පුළුවන්. එහෙම බලද්දී අපේ රටේ ගොවීන්ට සහනයක් නැහැ. ඔවුන්ට අවශ්‍ය යෙදවුම් සහන පදනමක් යටතේ ලබා ගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. එහෙම නැත්නම් නැවත වගාවට ඔවුන් පෙලඹේ ද කියන එක හිතන්න අමාරුයි.

මේ පාර බදු පැනවූවේ සැප්තැම්බර් 19 වැනිදා. එහෙම වුණාම ඉදිරි මාස එකහමාරකට තරම් අවශ්‍ය ලොකු ලූනු ආනයනික වෙළෙඳුන් ගෙනැත් ඉවරයි. ඒ තොගය වෙළෙඳ පොළේ තිබියදී, අපේ දේශීය ලොකු ලූනු අස්වනු නෙළන විට අනිවාර්යයෙන් දේශීය ලොකු ලූනු මිල පහත වැටෙනවා. ඒ නිසා, ජූලි හෝ අගෝස්තු මුල් සතිය වන විට ම ආනයනික ලොකු ලූනු සඳහා බදු පැනවීම කළ යුතුයි.

ගොවියා සහ වෙළෙඳ පොළ පිළිබඳ පර්යේෂණ කරන ආයතනයක් ලෙස, ජීවන වියදම් කමිටුවට සහ ආහාර සුරක්ෂිතතා කමිටුවට නිරන්තරයෙන් අදාළ දත්ත සහ තොරතුරු සපයන්නේ අපි. මේ දත්ත සහ තොරතුරු පදනම් කරගෙන නිවැරැදි තීරණ ගැනීමයි වැදගත් දේ. මේ සැරේ ඔය අදාළ තොරතුරු අගෝස්තු වන විට අප ලබා දුන්නා. නමුත් ඒ විදියටම ක්‍රියාත්මක වුණේ නැහැ. ඒකෙන් වුණේ පුද්ගලික අංශය ඉතාමත් අසාධාරණ විදියට ලොකු ලූනුවලින් මුදල් හම්බ කළා. ඒකෙන් වෙළෙන්දාට හැර ගොවියාට වත් පාරිභෝගිකයාට වත් යහපතක් සිදු වුණේ නැහැ..."

දඹුල්ල දිගම්පතහ 'සෞභාග්‍යා දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදන තරුණ ගොවි සමිතියේ' සභාපති, ටී.ජී. සෙනෙවිරත්න බණ්ඩාර මේ පිළිබඳ පැවසුවේ මෙවැනි අදහසකි.

"අපේ ගොවි සමිතියේ, ලොකු ලූනු බීජ සහ බල්බ නිෂ්පාදනය කරන සහ වවන ලියාපදිංචි ගොවීන් 75 ක් විතර ඉන්නවා. ලංකාවේ ලොකුම දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මානය තමයි මේ දිගම්පතහ ගම්මානය. මුළු කලාපයේම ඉන්නේ බීජ නිෂ්පාදන ගොවීන්. රජයෙන් සියලුම පහසුකම් දීපු ගම්මානයක් මේ.

ලංකාවේ වාර්ෂික ලොකු ලූනු බීජ අවශ්‍යතාව කිලෝ 35,000යි. මේ තියෙන පහසුකම් එක්ක අපේ බීජ ගොවීන් හැමෝම හැදුවත් මේ අවශ්‍යතාව ඉක්මවා යන ප්‍රමාණයක් හදන්න පුළුවන්. නමුත් ඒ කිලෝ 35,000 ම පිටරටින් ගේන එකයි කරන්නේ. හරි සැලසුමක් තියේ නම් මේ රටේ හදන්න පුළුවන්. සියලු තාක්ෂණික දැනුම, මෙවලම්, ශීතාගාර පහසුකම්, වවන්න ඉඩකඩම් ආදි හැමදේම තියෙද්දී පිටරටින් ලූනු ගේන එක අපරාධයක්. මේ ගොවි ගම්මානයේ රජයෙන් දුන් ශීතාගාර 50 ක් තිබෙනවා. ඒවායේ ලොකු ලූනු බල්බ කිලෝ 3,000ක් තැන්පත් කළ හැකියි. නමුත් අද ඒ ගබඩා දහයක්වත් පිරී නැහැ. බොහෝමයක් හිස්. අපි ලූනු බල්බ හදලා වැඩක් නැහැ, ගොවීන් ලූනු වගාව අත් හැරලා නිසා. ඉතින් ලූනු බල්බ හැදුවත් අපිට විකුණා ගන්න බැහැ. අනෙක් පැත්තෙන් බීජවලට කරගන්න දෙයක් නෑ. මොන අපරාධයක්ද.?

මේ ශීතාගාරවල ලූනු බල්බ මාස හතක් තැන්පත් කර තැබිය හැකියි. මේ එක ශීතාගාරයක වටිනාකම රුපියල් ලක්ෂ 40ක් පමණ වනවා. මේවායේ ප්‍රයෝජනයක් නොගෙන තියන්න වෙලා තියෙන්නේ ලූනු ගොවීන් වගාවෙන් ඉවත් වෙලා නිසයි.

මම අවුරුදු 18ක්ම බීජ නිෂ්පාදනයේ යෙදී ඉන්න ගොවියෙක්. දැන් මටත් වෙලා තිබෙන්නේ ලොකු ලූනු වගාව අත් හරින්න. ගලේවෙල අයගේ වගාව සම්පූර්ණයෙන් ම විනාශ වුණේ වර්ෂාව නිසා. නමුත් යම් ප්‍රමාණයක් බේරාගත්තා. ඒ නිසා අපිට බීජ ටිකක් තිබෙනවා. ඒ බීජ ටිකෙන් තමයි දැනට මේ ගබඩා 10 පිරෙන්න අපි ලූනු බල්බ හදාගෙන තිබෙන්නේ. ඒවා විකුණා ගන්න අවස්ථාවක් නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ රජය මැදිහත් වී මේ සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතුයි. ගලේවෙල ගොවීන්ට බීජ නැහැ. අපිට බීජ ටික විකුණා ගන්න බැහැ. මේවා සම්බන්ධීකරණය කරන එක නෙවෙයි ද, කෘෂි නිලධාරීන් ගේ වගකීම..."

Comments