
- ගෙදර කඩලා බිඳලා විනාශ කරලා ගිනි තියන්න සූදානම් වෙලා තිබුණත් මාදම්පෙ පොලිස් ස්ථානාධිපතිතුමා ඒ විනාශය වළක්වා ගත්තා. නමුත් ගේ සම්පූර්ණයෙන්ම විනාශයි
- පවතින දේශපාලනය ගැන මගේ හිතේ ලොකු කලකිරීමක් තියෙනවා
- පාර්ලිමේන්තුවේ 225දෙනාම හොරු කියලා ඇතැම් අය ජනතාව තුළ ඇති කළ වෛරය නිසා මගේ නිවෙසටත් හානි කරන්න ඇති
ඉකුත් මැයි 9 වැනිදා මෙරට දේශපාලන සංස්කෘතියේ ඉතිහාස පොතට එක්වූ අලුත් පරිච්ඡේදයකි. ඒ සිදුවීම් දාමය හේතුවෙන් විවිධාකාරයෙන් රටට සිදුවූ හානිය පිළිබඳ නිසි තක්සේරුවක් කිරීමට තවමත් නොහැකිය.
ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මහජන නියෝජිතයන් හැත්තෑවකට අධික පිරිසකගේ නිවෙස්, වාහන, කාර්යාල ඇතුළු පෞද්ගලික දේපළ පමණක් නොව පොදු දේපළ ද විශාල වශයෙන් විනාශයට පත් කළ ඒ අඳුරු සඳුදාව පිළිබඳ අදටත් කම්පා වන්නෝ බොහෝය. බොහෝ දෙනකු ඒ පිළිබඳ සිහි කරන්නේ එය "සිදු නොවිය යුතුව තිබූ සිදුවීමක්" ලෙසිනි. මැයි 9 වැනිදා 'කළු සඳුදා' පිළිබඳ මතක ආවර්ජනයට මෙවර අප එක්කර ගත්තේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඇමැති පියංකර ජයරත්නය.
"එදා ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් මාදම්පේ පිහිටි මගේ නිවෙසත් සම්පූර්ණයෙන් කඩලා විනාශ කළා. ඒ වෙද්දි මම පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ඉවත් වෙලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහටයි හිටියේ. පහුගිය අප්‍රේල් මාසයේ සිට මම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් වුණා. එවැනි පසුබිමක් තුළ අරගලයට මුවා වෙලා කිසියම් පිරිසක් විසින් කළ මංකොල්ලකෑමක් විදිහටයි මම මේ සිදුවීම දකින්නේ. ඒ දිනවල පැවති දේශපාලන වාතාවරණය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාම හොරු කියලා මතයක් ඇතැම් පිරිස් විසින් ජනතාව තුළ ඇති කරලා තිබුණා. ඒ නිසාම ජනතාව තුළ ඒ 225 දෙනා පිළිබඳ විශාල වෛරයක් ඇතිවී තිබුණා. මම හිතන්නේ මමත් ඒ 225 දෙනාගෙන් කෙනකු වීම නිසා මගේ නිවෙසටත් හානි කරන්න ඇති කියලයි. ජනතාව 225 දෙනා කෙරෙහි තිබෙන වෛරය, ආවේගය මා පිටිනුත් මුදා හැරියා. "
ප්‍රචණ්ඩකාරීන් විසින් එසේ විනාශයට පත් කරන ලද හිටපු ඇමැතිවරයාට අයත් නිවෙස පිහිටා ඇත්තේ හලාවත ආසනයට අයත් මාදම්පේ නගරයේය.
" සෑහෙන කාලයක ඉඳලා මම පදිංචි වෙලා ඉන්නේ ආනමඩුව ගෙදර. මගේ කාර්යාලය පවත්වාගෙන ගියේ මාදම්පේ ගෙදර. එදත් මම ආනමඩුවේ ගෙදර හිටියේ. එහේ කිසිම ප්‍රශ්නයක් කලබලයක් ඇතිවුණේ නැහැ. මාදම්පේ ගෙදර මගේ සීයට අයිති ගෙයක්. ඒක මට ලැබුණේ පරම්පරාවේ උරුමයෙන්. සීයා, මගේ තාත්තා, මම විදිහට පරම්පරා තුනක් ඒ ගෙදර ජීවත් වෙලා තියෙනවා. දැන් මම ඒ ගේ මගේ දුවට දීලා තියෙන්නෙ. පරම්පරා තුනක් ජීවත් වුණු ඒ ගෙදර අපේ පවුලට අයිති මතක සැමරුම් රාශියක් තිබුණා. මගේ සීයා පාවිච්චි කරපු දේවල්, ඔහුගේ මවුපියන් පාවිච්චි කරපු බොහෝ දේවල් අතර ආයේ කවමදාවත් සල්ලිවලටවත් ගන්න බැරි වටිනාකම කොතෙක්ද කියලා තක්සේරු කරන්න බැරි දේවල් ඒ ගෙදර තිබුණා. එදා මැයි 9 වැනිදා මගේ ගෙදරට පහර දුන්න පිරිස විනාශ කළේ අපේ පරම්පරා තුනකට අයිති දේවල්. ඊටත් වැඩිය මට දුක එදා ගෙදරට පහර දෙන්න ආව පිරිස අතර සිටි ඇතැම් අය අපෙන්ම හැදුණු අයයි. මගේ පියාගේ කාලේ ඉඩම් දීලා ජීවත් කරවපු අය. දොරවල් කඩාගෙන ගේ ඇතුළට ගිහින් බඩුමුට්ටු කඩලා බිඳලා ලොකු විනාශයක් කරලා තිබුණා. ගොඩක් දේවල් හොරකම් කරලත් තිබුණා. ගේ සම්පූර්ණයෙන්ම කඩලා බිඳලා විනාශ කරලා. "
හිටපු ඇමැති පියංකර ජයරත්න කීවේ ප්‍රචණ්ඩකාරීන් සිදු කළ විනාශය සිහි කරමිනි. මැයි 9 වැනිදා රාත්‍රිය පුරාවට රටේ තැන් තැන්වල පිහිටි මහජන නියෝජිතයන්ගේ නිවෙස් ගිනි තබා විනාශ කරමින් සතුටු වන්නට තරම් ප්‍රචණ්ඩකාරීන්ගේ මානසිකත්වය පිරිහුණ ද වාසනාවකට මෙන් හිටපු ඇමති පියංකර ජයරත්නගේ නිවෙසට ඒ සාහසිකත්වය හිමි නොවීය.
"ගෙදර කඩලා බිඳලා විනාශ කරලා ගිනි තියන්න ඔවුන් සූදානම් වෙලා තිබුණත් මාදම්පෙ පොලිස් ස්ථානාධිපතිතුමා ඒ විනාශය වළක්වා ගත්තා. නමුත් ගේ සම්පූර්ණයෙන්ම විනාශයි. මට තියෙන වේදනාව ඒ ගෙදර මාදම්පේ හැමෝම දන්න තැනක්. මගේ තාත්ත හිටපු කාලේ ඉඳල මිනිස්සු දාහස් ගාණක් ඇවිත් ගිය තැනක්. අපි හැමදාම ජනතාව එක්කයි හිටියේ. මගේ ගෙදරට කරපු විනාශය ගැන පාක්ෂිකයන් බොහෝදෙනෙක් කනගාටු වුණා. ඒ වගේම ඔවුන් මාව දිරිමත් කළා.
ගෙදරට පහර දෙන්න ආව පිරිස අතරේ වැඩිපුර හිටියේ සමගි ජන බලවේගයට සම්බන්ධ අය බවයි දැනගන්න ලැබුණේ. ඊට අමතරව බීමත් පිරිසකුත් හිටියා. මේ සිදුවීම ගැන දැනගත්තාම හලාවත සජබ සංවිධායකට මම කතා කරලා කිව්වා ඔයාලගේ කණ්ඩායමේ අය තමයි මේක කරන්නේ, මේ ගැන බලන්න කියලා. මේ වෙද්දි ඒ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙක් උසාවියට ඉදිරිපත් කරලා තියෙනවා. මම තවම ගේ හැදුවෙත් නැහැ. නීතියෙන් සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
මේ ගෙදර අපි මහජන මුදල් හෝ රජයේ මුදල් කොල්ලකාලා හදපු ගෙයක් නෙවෙයි. අපි පාරම්පරිකව ව්‍යාපාර කරපු අය. එයින් උපයාගත් මුදලුත් දේශපාලනය වෙනුවෙන් සහ දිස්ත්‍රික්කයේ දියුණුව වෙනුවෙනුයි වැය කළේ. දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනයේ නිරත වෙන පුද්ගලයෙක් විදිහට මම මෙවැනි අත්දැකීමකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙයයි" හිටපු ඇමැති පියංකර ජයරත්නගේ පියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයකු ද වන කෘතහස්ත දේශපාලනඥයකු එස්. ඩී. ජයරත්න ය. උසස් අධ්‍යාපනයෙන් පසුව පළමුව පවුලේ ව්‍යාපාර කටයුතුවලටත් පසුව පියාගේ ඇවෑමෙන් දේශපාලනයටත් අවතීර්ණ වන පියංකර ජයරත්න කෙමෙන් දේශපාලන ජීවිතයේ ස්ථාවරත්වයට පත් විය.
" මම දේශපාලන ජීවිතයේ අත්පොත කියෙව්වෙ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආශිර්වාදයෙන්. දේශපාලන ඉතිහාසයේදී මා පළමු වරට දුටු ජනතාවාදී නායකයා මගේ පියා එස්.ඩී. ආර්. ජයරත්න. 1989දී මම පියාගේ පෞද්ගලික ලේකම් විදිහට කටයුතු කළා. 2000දී පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කළ අවස්ථාවේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා අවුරුදු 22ක් කැබිනට් ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම් දැරුවා. තුන්වරක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය දැරුවා. වත්මන් දේශපාලනය යන ක්‍රමයට විරුද්ධ නිසා මම පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ඉවත් වෙලා ස්වාධීනව කටයුතු කරනවා. මම පොදු ජන පෙරමුණ පක්ෂයේ 17 වැනි සාමාජිකයා. නමුත් මේ වෙද්දි පක්ෂයේ කිසිම දේකට සම්බන්ධ නැහැ."
ඔහුගේ වදන් තුළ ඇත්තේ කලකිරීමකට සමාන බවකි. මේ පිළිබඳ අපි ඔහු විමසිමු.
" දේශපාලනය ගැන ලොකු කලකිරීමක් තියෙනවා. අපේ පක්ෂය තුළ සුදුස්සට සුදුසු තැන ලැබුණේ නැති එක ගැන. ඒ වගේම මගේ ගෙදරට පහර දෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඒකට හේතුව අපි දේශපාලනය කළේ යමක් කඩාවඩා ගන්න නෙවෙයි. පාරම්පරිකව සහ ව්‍යාපාරවලින් උපයාගත් දේපළ වැය කරලයි අපි දේශපාලනය කළේ. ජනතාව චෝදනා කරනවා වගේ දේශපාලනය නිසා දියුණු වුණු අයත් ඉන්නවා. නමුත් ඔවුන් සහ අපි අතර ලොකු වෙනසක් තියෙනවා. අපේ ප්‍රතිපත්ති සහ මතය වෙනස් වුණත් ජනතාව ඒ හොරු අතර මාවත් හොරෙක් ලෙස සැලකීම ගැන මම කනගාටු වෙනවා.
ඒ වගේම දේශපාලන ජීවිතය තුළ මට ලොකු අසාධාරණයක් වුණා. එය සිදු වුණේ ජනතාවගෙන් නොවෙයි පක්ෂයේ ඉහළ නායකයාගෙන් බව පැහැදිලිවම කිව යුතුයි. ඒ ගැන ලොකු කලකිරීමක් තියෙනවා. මම නිතරම කල්පනා කරනවා අපේම අය මට එහෙම කළේ ඇයි කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන මගේ හිතේ එදා ඉඳලම විශාල ගෞරවයක් තිබුණා. ඒ ගෞරවය අදටත් එහෙමයි. මොනතරම් අභියෝග, බාධක ආවත් දිස්ත්‍රික්කයේ ජනතාව හැම අවස්ථාවකදීම මට විශාල ශක්තියක්, ධෛර්යයක් ලබා දුන්නා. ඔවුන් වෙනුවෙන් මම ඉදිරියේදිත් දේශපාලනයේ නියැළෙනවා."
රටේ පවතින දේශපාලන අර්බුද සහ මහජන මතය පිළිබඳ ද මෙහිදී හිටපු ඇමැති පියංකර ජයරත්න අදහස් දැක්වීය. "ජනතාව දේශපාලනඥයන් 225ම හොරු කියලා චෝදනා කරනවා. නමුත් හැම දෙනාම හොරු නෙවෙයි. විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන දේශපාලනඥයන් අතර ඉතාම ගෞරවනීය විදිහට සහ අවංකව දේශපාලනය කරන අය රාශියක් ඉන්නවා. නමුත් හොරු එක්ක ඉන්නකොට ඒ අයත් හොරු විදිහට පේනවා. ඒ වගේම හොරකම් කරන්නේ දේශපාලඥයෝ විතරක් නෙවෙයි. රාජ්‍ය නිලධාරීන් අතරත් හොරු ඉන්නවා. හොරු අනිත් අයට හොරු කියමින් ඇඟිල්ල දික්කරනවා. මේ සත්‍යය ජනතාව මැනවින් අවබෝධ කර ගත යුතුයි. මගේ අදහස නම් මේ තත්ත්වය වෙනස් වීමට නම් රට අලුත් දේශපාලන මාවතකට පිවිසිය යුතුයි. පරණ දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ට වඩා අලුත් මතය සහ පුද්ගලයා කේන්ද්‍ර කරගත් අපේක්ෂකයන්ට ජනතාව තමන්ගේ ඡන්දය පාවිච්චි කරයි කියලා මට හිතෙනවා. ජනතාව එතැනට යනවා නම් හොඳයි"