
- අඩු ලකුණු සිසුන්ට ගුරුවරු නිවෙස්වල ප්‍රතිපෝෂණ වැඩසටහන්
- සිසුන් 394න් 394 දෙනාම උසස් පෙළට සමත්.
A 9 සාමාර්ථ - 180ක්
A 8 සාමාර්ථ - 70ක්
A 7 සාමාර්ථ - 26ක්
- ප්‍රවාහන දුෂ්කරතා පැවැති කාලයේ හයිබ්‍රිඩ් ක්‍රමයට
- එක වර භෞතික හා ඔන්ලයින් අධ්‍යාපනයක්
දැනුමෙන්, කුසලතාවෙන් හා අභිමානයෙන් පිරිපුන් විශාඛාවියන් රැසක් දේශයට බිහි කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් යන ගමනේදී කොළඹ විශාඛා විදුහල පසුගියදා තවත් කඩඉමක් ජය ගත්තේ 2021 සාමාන්‍ය පෙළ විභාගයෙනි. මෑත කාලයේ විශාඛාවේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අබිබවමින් මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබා ගත් සියලු දෙනාම උසස් පෙළට සමත් වීම විශාඛා විදුහල් ඉතිහාසයේ තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයකි.
පුරා සියවසකට අධික දිගු ගමන් මඟක් ගෙවන කොළඹ විශාඛාවන්ගේ අතීතය දිග හැරෙන්නේ මෙසේය. නැණවත්, ගුණවත් විනයෙන් පිරිපුන් බාලිකාවන් දැයට බිහි කිරීමේ අරමුණින් හා බර්ටි දියෙස් සිහි වීම පිණිස 1917 ජනවාරි මස 16 වැනි දින ගැහැනු ළමුන් 19 දෙනෙකුගෙන් හා එක් පිරිමි ළමයකුගෙන් ඇරඹි විශාඛා විද්‍යාලය එදා නම් වූයේ බෞද්ධ බාලිකා විද්‍යාලය නමිනි. එදා මේ විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිනිය වූයේ බී. ටී. බැනිං මහත්මියයි. වර්ෂ 1920දී එය අධ්‍යාපනය අතින් ඉහළ සමත්කම් පෙන්වන කැපී පෙනෙන විද්‍යාලයක් බවට පත්විය. 1923දී කොළඹ බාලිකා පාසලක ආරම්භ කරන ලද ප්‍රථම බාල දක්ෂිකා කණ්ඩායම ආරම්භ කළේ ද විශාඛා විද්‍යාලයේය. මෙම විද්‍යාලය අද පවත්නා ස්ථානයේ ස්ථාපිත කර විශාඛා විදුහල යන නම නම් තැබුවේ 1927දීය. බ්‍රිතාන්‍යයන් ලංකාවේ පළමු වරට බාලිකා පාසලකට විද්‍යා විෂයයන් හඳුන්වා දුන්නේ 1946දී විශාඛා විද්‍යාලයටය.
බී. ටී. බැනිං විදුහල්පතිතුමියගෙන් අනතුරුව ක්ලේරා මොට්වානි, සුසන් ජොර්ජ් පුලිමුඩ්, හේමා ජයසිංහ, මර්සි නාලිනී එදුස්සූරිය, ආර්. එම්. ඒ. ජයසේකර, ඉන්ද්‍රා සිරිවර්ධන, රූපා අමරසිංහ, සඳමාලි අවිරුප්පොළ මෙන්ම වත්මන් විදුහල්පතිනිය වන මනෝමි සෙනෙවිරත්න මේ ජයග්රාහි ගමන් මඟේ කැපී පෙනෙන බලකණුය. විශාඛා විදුහල ඉහළ ශ්‍රේණියේ පාසලක් බවට පත්වන්නේ 1957දීය. එදා සිටම මේ දක්වා කොළඹ විශාඛා විදුහල සෑම ජාතික විභාගයකදීම ඉහළ සාමාර්ථ පෙන්වූ පාසලක් විය. මේ වන විට වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා වැඩිම සිසුවියන් පිරිසක් බිහි කර ඇත්තේ විශාඛාවෙන්ය. අනිකුත් අංශයන්ගෙන් ද එවැනි සාමාර්ථ පෙන්වීමට විශාඛාවන්ට හැකි විය. ක්‍රීඩා අංශයන්ගෙන්, විෂය බාහිර කටයුතුවලින් පමණක් නොව ජාතික, ජාත්‍යන්තර තලයේ ජයග්රහනයන්ගෙන් ද කිරුළු පැලැන්දූ විශාඛාව මෙවර සාමාන්‍ය පෙළ සාමාර්ථයන්ගෙන්ද ඉහළම ජයග්‍රහණයක් වාර්තා කළේ 2021 සාමාන්‍ය පෙළට ඉදිරිපත් කළ සිසුන් 394න් 394 දෙනාම සමත් කරමින් උසස් පෙළ හැදෑරීම සඳහා ඒ සියල්ලෝම සුදුස්සෝ බවට පත් කරමිනි.
කොළඹ විශාඛාවේ සිසුන් 5000කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබති. ඒ අතර පළමු ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලබන්නවුන්, ශිෂ්‍යත්වධාරීන්, අතරමැදි ශ්‍රේණි සඳහා ඇතුළත් වූ සිසුහු වෙති. විශාඛාවේ ගුරුවරු 230කි. සාමාන්‍ය පෙළ පන්ති 8කි. කොවිඩ් අභියෝගය පාසල් ගමනට දැඩිව දැනුණු පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට විශාඛාවෙන් මුහුණ දුන් සිසු පිරිස 394 දෙනෙකි. ඒ සියල්ලටම අභියෝගය කරමින් මෑත කාලයේ විශාඛාව සාමාන්‍ය පෙළ ඉහළින්ම ජය ගත්තේ ද මේ වසරේදීය. ඒ අතර A 9 සාමාර්ථ 180 දෙනෙක් ද, A 8 සාමාර්ථ 70ක් හා A 7 සාමාර්ථ 26 දෙනෙක් ලබා ගත්හ.
පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් වෙනුවෙන් අපේක්ෂිත සාධන මට්ටමට ළඟා කරවීමට විදුහල්පතිතුමිය මෙන්ම සාමාන්‍ය පෙළ ගුරු මඬුල්ලට විශාල කැප කිරීම් රාශියක් කිරීමට සිදු විය. පාසල් පැවැත්වෙන දින ගණනින් සීමිත දින ප්‍රමාණයක් පාසලට පැමිණ අධ්‍යාපනය ලබන්නට ඔවුන්ට හැකි වුව ද, ඒ අභියෝගයට අභියෝග කරමින් දරුවන්ගේ බිඳ වැටුණු පාසල් කාලය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මෙන්ම ඒ වසරේ පෙර නොවූ විරූ ආකාරයෙන් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට හැකි වීම මේ සියල්ලන්ගේම කැපවීමක ප්රතිඵලයකි. විදුහල්පතිනිය ප්රමුඛ 65 දෙනකුගෙන් සමන්විත සාමාන්‍ය ගුරු මඬුල්ල මේ වෙනුවෙන් කළේ අසිමිත කැප කිරීමකි.
2020- 2021 වසරේ පැවැති කොවිඩ් හා රටේ අර්බුද තත්ත්වය හේතුවෙන් පාසල් නොපැමිණි රටේ සමස්ත සාමාන්‍ය පෙළට මුහුණ දෙන දරුවන් අධ්‍යයන කටයුතු සිදු කළේ මාර්ගගත අධ්‍යාපනය හරහා පමණි. විශාඛාවේ දරුවන්ද මාර්ගගත අධ්‍යාපනය හරහා ඉගැන්වීම් කළද ඒ සියල්ල විධිමත් කාල රාමුවක් තුළ කාලසටහනකට අනුරූප වන ලෙස කිරීමට ගුරු මඬුල්ල කටයුතු කළහ. දවසේ පාසල් කාලය ආවරණය වන ලෙස පන්ති කාමරයෙන් සිදු කළ විෂය ආවරණය මාර්ගගත අධ්‍යාපනයෙන් සිදු කළේ එක් දිනක් තුළ විෂයයන් තුනක් සම්පූර්ණ කරමිනි. මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු පමණක් නොව මාර්ගගත ක්‍රමයටම විෂය ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙන්ම වාර විභාග හා ඇගැයීම් ද පැවැත්වීම මේ ගමන් මෙඟ් වැදගත් කටයුත්තකි. වාර විභාග මෙන්ම ආවරණ පරීක්ෂණ නියමිත කාලයට මාර්ගගත ක්‍රමයටම පවත්වමින් පිළිතුරු පත්‍ර යළි ඒ හරහා පාසල තුළට ගෙන්වා ගනිමින් පාසලේ වියදමින් සියලු දරුවන්ගේ පිළිතුරු පත්‍ර මුද්‍රිත කොළයකට ලබා ගෙන පෙර පුරුදු සේම දරුවන්ගේ පිළිතුරු පත්‍ර අධීක්ෂණයට ගුරුවරු කටයුතු කළහ. එපමණක් නොව අධ්‍යාපන කටයුතු අතරමඟදී විෂය සමගාමී අමතර දේශන, සම්මන්ත්රණ මෙන්ම පාසල් අධ්‍යාපනයෙන් බැහැරව නිවෙස් තුළට වී සිටින දරුවන්ට මනෝ විද්‍යාත්මක සම්මන්ත්රණ ද මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට විශාඛාවේ ගුරුවරු කටයුතු කළහ.
මේ සියලු කටයුතුවලට විදුහල්පතිතුමිය වන මනෝමි සෙනෙවිරත්න, නියෝජ්‍ය විදුහල්පතිනි (අධ්‍යාපන සංවර්ධන) දුලානි ප්‍රියදර්ශනී, නියෝජ්‍ය විදුහල්පතිනි (විෂය සමගාමි) ජීවනා ආරියරත්න ඇතුළු කළමනාකරණ මණ්ඩලයේ අධීක්ෂණය ඇතිව සිදු විය. විශාඛාවේ 10 හා 11 අංශ ප්‍රධානී නිෂිකා ජයවර්ධන, ශ්‍රේණි ප්‍රධානි මනෝජා ප්‍රනාන්දු, ජානකි මදවනආරච්චි ඇතුළු ගුරුවරුන්, ආදි සිසුන්, මෙන්ම මවුපියන් දැක්වූයේ ඒ වෙනුවෙන් ලබා දුන්නේ සුළු පටු කැපවීමක් නොවේ. පසුගිය කාලයේ රට යළිත් විවෘත කිරීමෙන් අනතුරුව සාමාන්‍ය පෙළ සිසුන්ට සියලු පාඩම් සම්පූර්ණ කිරීමට පාසල් තිබුණේ මාස තුනක් වූ කාලයක් පමණි. මේ මාස තුනක කාලය දරුවන්ගේ ගිලිහී ගිය අධ්‍යාපන කොටස් සම්පූර්ණ කිරීමට මෙන්ම දරුවන් විභාගයට සූදානම් කිරීමට විශාඛා ගුරුවරු කටයුතු කළහ. ඒ සියලු කටයුතු සිදු කළේ විෂය බාහිර දේටද සිසුන් පොලඹවමිනි. විශාඛාවේ විවිධ ක්‍රීඩා 25ක් මෙන්ම විවිධ සංගම් 35ක් පැවැත්වෙයි. සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වූ බොහෝ සිසුහු විෂය මෙන්ම විෂය පරිබාහිර දේට ද එක සේ දස්කම් දැක්වූවෝ වෙති.
අඩු ලකුණු ලබාගත් සිසුන් වෙනුවෙන් පාසල පැවැත්වූ ප්‍රති පෝෂණ වැඩ සටහන් ද මේ අපේක්ෂිත ඉලක්කය කරා ගමන් කිරීමට පසුබිම සැපයීය. පාසල් උදය වරුවේදී පමණක් නොව අඩු ලකුණු ලබාගත් සියලු දරුවන් තම නිවෙස්වලට ගෙන්වා ගනිමින්, ගුරුවරු තම කාලය ස්වේච්ඡාවෙන් කැප කරමින් ඒ සිසුන්ගේ අඩුපාඩු සම්පූර්ණ කර අපේක්ෂිත ඉලක්කය කරා ළඟා කරවීය. පාසල විසින් සාමාන්‍ය පෙළ සිසුන් උදෙසා කළ මේ කැප කිරීමට මවුපියන්, ආදි සිසුන්, පාසල් සංවර්ධන සමිති දැක්වූයේ සුවිශාල දායකත්වයකි. මාර්ගගත අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කිරිමට සාමාන්‍ය පෙළ පන්ති සඳහා මවුපියන් විසින් පරිගණක ලබා දී ඇත. පන්ති කාමරයට ලබා දුන් එම පරිගණක හරහා පසුගිය ප්‍රවාහන දුෂ්කරතා පැවැති කාලයේ හයිබ්‍රිඩ් ක්‍රමයට අධ්‍යාපන කටයුතු, එනම් පන්ති කාමරයට පැමිණිය හැකි සිසුන්ට පන්ති කාමරයේ ලබා දෙන අධ්‍යාපනයම ඒ අවස්ථාවේදී නොපැමිණෙන සිසුන්ට නිවසේ සිට ලබා ගැනීමේ අවස්ථාව ලබා දීම පාසල විසින් කළ වටිනා මෙහෙයකි. මේ හරහා කිසිදු දරුවකු පන්ති කාමරයෙන් මඟ හැරුණේ නැත. ඒ සියල්ල සිදු කිරීමට ගුරුවරු උපදෙස් දුන්නේ කැමරාව විවෘත කර දරුවා හා ගුරුවරයා අතර සජීවී සම්බන්ධතාව ඇති කිරීමෙනි. ගුරු පුරපුපාඩු ඇති විට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ගුරුවරු ලබා දෙන තෙක් නොසිට ඒ සඳහා ආදි සිසුන් විසින් වියදම් දරමින් දරුවන්ට අවශ්‍ය ගුරුවරු ලබා දෙන්නට කටයුතු කළේය. එපමණක් නොව ආදි සිසුන් විසින්ම ආර්ථික අපහසුතාවලින් පීඩිත දරුවන්ට සරණක් වන්නට නේවාසික ගාස්තු ඇතුළු අවශ්‍ය අඩුපාඩු සම්පූර්ණ කිරීමට කැප විය. ගුරුවරුන් සඳහා වෘත්තීය අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නේද විශාඛාවේ ආදි සිසුන්ය.
මේ ගමන් මෙඟ්දී විශාඛා විදුහලට පැමිණි අභියෝග සුළු පටු නොවේ. විශාඛාවේ පන්ති කාමරවල අධ්‍යාපනය ලබන්නේ විවිධ බුද්ධි හැකියා ඇති දරුවෝය. පසුගාමී, උපතින්ම ආබාධිත හා සෙමින් මනස ගොඩනඟා ගන්නා දරුවෝද ඒ අතරය. පසුගිය කාලයේ සාමාන්‍ය පෙළ විභාගයෙන් 100% ක දක්ෂතා දැක්වීමට විශාඛාවට අභියෝග වූයේ එයයි. විශාඛාවේ මෙවැනි දරුවන්ට වෙනමම පන්ති කාමර නැත. ඒ සියලු දෙනා අධ්‍යාපනය ලබන්නේ සාමාන්‍ය දරුවන්ගේ පන්ති කාමරයේ සිටය. ඒ හේතුවෙන් ඒ සිසුන්වද අන් සිසුන්ගේ ඉලක්කය කරා ළඟා කරවීමට ගුරුවරුන්ට විශාල කැප කිරීමක් සිදු වන්නේය. නමුත් විශාඛාවේ ගුරුවරු ඒ කැප කිරීම කළහ. සියලු සිසුන් එකම තලයකට ගෙන එමින් උසස් පෙළට ඇතුළු කරන්නට ඔවුන්ට හැකි විය. ඒ සිසුන්ගේ මෙන්ම විශාඛාවේ විදුහල්පතිනිය, කළමනාකරණ මණ්ඩලය, ගුරු භවතුන්ගේ, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ, ආදී සිසුන්ගේ හා දෙමවුපියන්ගේද ජයග්‍රහණයයි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න