
ලොව විවිධ රටවල නිවුන් දරුවන්ගේ දස්කම් විස්කම් ඉතිහාසයේ කොතෙකුත් සටහන් වී ඇත. එහෙත් ඒ කිසිවක් තේජානි සහ නදීෂා නිවුන් සොහොයුරියන්ගේ තරම් සුන්දර හා අසාමාන්‍ය කතා පුවතක් නොවනු ඒකාන්තය. උපන්දා සිට එකටම හැදී වැඩී එකම සරසවියේ උපාධිය ලබා අවසානයේ මව්බිමෙන් කිලෝමීටර් දහස් ගණනක් එපිට එකම දිනයේ ආචාර්ය උපාධි ලැබූ මේ නිවුන් සොහොයුරියන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ වසර 168ක ඉතිහාසය අලුතින් ලියා තැබුවාට වඩා වැඩි දෙයක් ඔවුන් දෙදෙනා සමඟ කළ කතාබහේදි ‘සිළුමිණ‘ සොයා ගත්තේය.
මෙල්බර්න් විශ්වවිද්‍යාලීය ඉතිහාසයේ ශ්‍රී ලාංකේය නාමය රන් අකුරින් ලියා තැබූ තේජානි ගුණරත්න සහ නදීෂා ගුණරත්න දිරිය සම්පන්න සොහොයුරියන් පාසල් අධ්‍යාපනයේ සිට සරසවි අධ්‍යාපනයත්, ඉන් එහාට ආචාර්ය උපාධියත් දක්වා පැමිණි දීර්ඝ ගමන් මඟ එකලු වූයේ අධ්‍යාපන කටයුතුවලින් පමණක් නොවීය. එය එහෙම පිටින්ම සාර්ථකත්වය කරා ගියේ බාහිර ක්‍රියාකාරකම්, පවුලේ කටයුතු, විවිධ උත්සව හා සාදවලට සහභාගිවීම්, විවිධ රටවල විනෝද සංචාර සහ පුදුමාකාර ‘ක්‍රිකට් පිස්සුව‘ අතුරිනි. සැබැවින්ම තේජානි සහ නදීෂා ක්‍රිකට් ක්‍රීඩාවට පුදුමාකාර ඇල්මක් දැක්වූවෝ වෙති. එය ඔවුන්ම කියන පරිදි ඔවුන්ගේ ජීවිතයේම කොටසක් බවට ද පත්ව තිබේ.
‘ක්‍රිකට්වලට අපි දෙන්නම මැරෙන්න යනවා. පුදුම ආසාවක් තියෙන්නේ.‘ නිවුන් සොහොයුරියෝ ‘සිළුමිණ‘ට එසේ කීහ.
දෙදෙනාගේ වයස් පරතරයේ වෙනස මිනිත්තු 9කි. වැඩිමලා තේජානිය. ඇගේ සැමියා ද හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ රුවන්ත ප්‍රනාන්දුපුල්ලේය. ඔහු මෙරට පාසල් ක්‍රිකට් පිටියේ හිටපු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු පමණක් නොව හිටපු විශිෂ්ටතම පාසල් ක්‍රිකට් නායකයෙකි. හෙතෙම වසර 2008දී සාන්ත ජොශප් - සාන්ත පීතර 74 වැනි ‘සාන්තුවරයන්ගේ සටන‘ මහා ක්‍රිකට් තරගයේදී වසර 35ක ජයග්‍රහණ ඉඩෝරය නිමා කරමින් සිය විදුහලට කුසලානය දිනා දුන් නායකයා විය. මේ ජයග්‍රහණයත්, එවර පාසල් ක්‍රිකට් තරගවාරයේදී ඔහු නායකත්වයෙන් සහ පිත්තෙන් දැක්වූ දස්කම් හේතුවෙන් 2008 වසරේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත්, වසරේ හොඳම පාසල් ක්‍රිකට් නායකයා ලෙසත් සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය.
‘අපි පොඩි කාලේ ඉඳලම ක්‍රිකට් පිස්සියෝ. 1996 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වදිද්දී අපි දෙන්නට අවුරුදු 6යි. ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ කාලේ අපි ටීවී එක ඉස්සරහා මේසයක් මත බුදු පිළිමෙ තියාගෙන, පහන් පත්තු කරගෙන තමයි තරග බැලුවේ. තාමත් එහෙමයි. තරග අත්හරින්නේ නෑ. පසුගියදා ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සෙල්ලම් කරපු හැම තරගයක්ම බලන්න ගියා. දුකයි පැරදුණාට. කවදහරි දවසක අර ඉස්සර කාලේ තිබුණු කණ්ඩායම වගේ කණ්ඩායම් ඉස්මතු වේවා කියලයි අපි දෙන්නම ප්‍රාර්ථනා කරන්නේ.‘ තේජානි එසේ කීවාය.
‘අපි හැදුණේ වැඩුණේ මහරගම. පළමු ශ්‍රේණියේ ඉඳලා උසස් පෙළ දක්වා අපි ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් විදුහලේ.‘ නදීෂා කීවාය.
එවකට මහරගම ප්‍රදේශයේ හිටපු ජනප්‍රිය ඉංග්‍රීසි කථිකාචාර්යවරයකු වූ රියෙන්සි ගුණරත්න සහ ඔහුගේ බිරිය මහරගම විද්‍යාකර බාලිකාවේ සහ ජනාධිපති විදුහලේ හිටපු ගණිත ගුරුවරියක වූ මානෙල් ගුණරත්න පවුලේ බාල දියණියන් ලෙස උපන් තේජානිට සහ නදීෂාට වැඩිමල් සොහොයුරියන් දෙදෙනෙකි. වැඩිමලා චතුරිකාය. දෙවැන්නා ගිහානිය.
‘තාත්තායි අම්මයි දෙන්නම ගෙදර පන්ති කළ නිසා අපේ ගෙදර තිබුණේම අධ්‍යාපන පසුබිමක්. මහරගම පළාතේ ගොඩාක් අය ඉංග්‍රිසිවලට පන්ති ආවේ තාත්තා ළඟට. එයා එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක්. අධ්‍යාපන පසුබිමක් ගෙදර තිබුණත් බාහිර ක්‍රියාකාරකම්වලට අපේ අම්මා නිතරම අපි දෙන්නව පෙලඹුවා. අපි පොඩි කාලේ ඉඳලම බැඩ්මින්ටන් ක්‍රීඩාවත්, වුෂූ ක්‍රීඩාවත් කළා. සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගවලදී ජයග්‍රහණ පවා අත්කර ගත්තා. ඒ හැරුණම අපි දෙන්නම උඩරට නර්තනය හැදෑරුවා. පාසලේ සංගීත කණ්ඩායමටත් එකතු වුණා. ශිෂ්‍ය නායිකාවන් විදිහට කටයුතු කළා. බාලදක්ෂිකාවන් විදිහට විදෙස් රටවල පවා සංචාරය කරලා තියෙනවා. නර්තන තරගවලටත් අපි විදෙස් සංචාරවලට එක්වුණා. ඉන්දියාවේ නවදිල්ලි නුවර නර්තනායතනයක වැඩිදුර නර්තනය හදාරලා කලඑළි මංගල්‍යයකුත් කළා. නර්තනය කරන කාලයේ අපි ගැටබෙරයත් වාදනය කළා. අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ මේ බාහිර ක්‍රියාකාරකම් මැද්දේ.‘තේජානී සඳහන් කළාය.
උසස්පෙළ සමත්වීමෙන් පසු නිවුන් සොහොයුරියන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව සහ තාක්ෂණවේදය විශේෂ උපාධිය හැදෑරූ අතර, ඉන් උසස් ප්‍රතිඵල අත්කර ගත්හ.
‘නදීෂා හොඳම සිසුවිය වුණා. එයා රන් පදක්කම් දෙකක් දිනා ගත්තා. හොඳම සිසුවියට අමතරව හොඳම පර්යේෂණයට. දෙන්නාගේ ශ්‍රේණිගත අගයත් ඉහළම මට්ටමේ තිබුණේ. නදීෂාගේ ශ්‍රේණිගත අගය 4.0ක් වෙද්දී මගේ ශ්‍රේණිගත අගය 3.94ක් වුණා. ඒ නිසා අනිවාර්යයෙන්ම පීඑච්ඩී කරන්න කියලා අම්මා කිව්වා. මෙල්බර්න් විශ්වවිද්‍යාලයට යන්න අපිට ලොකු හීනයක් තිබුණා. ඔස්ට්‍රේලියාව වගේ නිදහස් රටක ජීවත් වෙන්න අපිට ලොකු ආසාවකුත් තිබුණා. අනික මෙල්බර්න් විශ්වවිද්‍යලය කියන්නේ ඉහළම මට්ටමේ විශ්වවිද්‍යාලයක් නේ. අන්තිමට අපි දෙන්නට පූර්ණ ශිෂ්‍යත්වයකුත් එක්කම මෙල්බර්න් යන්න අවස්ථාව ලැබුණා.‘තේජානි කියා සිටියේය.
‘ඇත්තටම පීඑච්ඩී එකක් කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. අවුරුදු ගාණක ලොකු කැපකිරීමක්. මොකද එහෙම කරලා දෙන්නටම එකට ඉවර කරන්න පුළුවන් වෙයි කියන එක කියන්න බෑ. මොකද මගේ එක්ස්පරිමන්ට් එකක් හරියන්න පුළුවන්. නදීෂාගේ කල් යන්න පුළුවන්. ඒත් අපි කොහොමහරි ඉලක්කයට ගියා. නදීෂාට මොනාහරි දෙයක් හිරවුණොත් මම උදව් කරනවා. මට හිරවුණොත් නදීෂා උදව් කරනවා. ඒ වගේ සහයෝගයෙන් එකට වැඩ කටයුතු කරපු එකත් උදව්වක් වුණා එකට ඉවර කරගන්න. නැතිනම් ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ අධිෂ්ඨානයෙන් කළේ. හැමදේම එකට කරපු නිසා. අපිට පුළුවන් කියන පොසිටිව් තින්කිංවල හිටියේ. අත්හරින්නේ නැතිව. තමන්ගේ කැමැත්තක් තියෙනවා නම් දෙයක් ලබාගන්න උපරිම උත්සාහය හා අධිෂ්ථානය තියෙනවා නම් ඕනෑම හීනයක් හැබෑ කරගන්න පුළුවනි. ‘ තේජානි වැඩිදුරටත් පැවැසුවාය.
‘සමහර දවස්වල කැම්පස් එකේ රෑ එක දෙක වෙනකල් වැඩ කරපු දවස් ඇතිතරම් තිබුණා. අම්මා, අනිත් අක්කලා නෑදෑයෝ යාළුවෝ මෙහේ හිටියා. ගොඩාක් දවස්වලට පාටි තිබුණා. අපි ඒවාටත් ගියා ඉගෙනීම අතරතුර. අපිට ඕන වුණේ නෑ අවුරුදු තුනහමාර අධ්‍යාපානය විතරක් යට කරන්න. ඉගෙනීම මත්තේ අපේ අනිත් වැඩ කටයුතු අතපසු කරන්න ඕන වුණේ නෑ . අපි හැමදේම සමබරව කරගෙන ගියා. ඒක ඇත්තටම ලොකු දෙයක්. වුණා. පීඑච්ඩී එක කරනකොට අපි ගොඩාක් සමුළුවලට ගියා. අමෙරිකාවේ, ජර්මනියේ වගේ රටවල. ඒ අතරම අපි අතිරේක නිවාඩු අරන් යුරෝපයේ රටවල්වලත් සංචාරය කළා. අපි මෙච්චර දේවල් කරගත්තෙ ඉගෙනීමේ කටයුතු වගේම බාහිර කටයුතු, පවුලේ කටයුතු ඒ හැම දෙයක්ම සමබරව කරගෙන. අපි ඉගෙනීම පස්සෙම ගියා නම් මෙච්චර සාර්ථක වෙන්නේ නෑ. හැමදේම සමබරව කරපු එක තමයි අපේ ජයග්‍රහණය.‘ නදීෂා එසේ කීවාය.
‘අපේ සිතුම් පැතුම් එකයි. අපි පොඩි කාලේ ඉඳලම ඇන්දේ එක විදිහට. කනබොන දේවල් පවා එකයි. එකම ප්‍රමාණයටයි කන්නේ බොන්නේ. ඒවාත් එකම ප්‍රමාණයට. දෙන්නම දකුණත්. කිසිම වෙනසක් නෑ. ආහාර විනෝදාංශ ඔක්කොම එකයි. බත් කන කොට එකම ප්‍රමාණයට බෙදනවා. එක්කෙනෙක්ට පොඩ්ඩක් වැඩි නම් අඩු කරලා අනිත් එක්කෙනාට සමබරව බෙදා ගන්නවා. තේ එකක් බිව්වත් බෙදලා බලනවා. වැඩි නම් අඩු කරනවා. අපේ අම්මා කියනවා පොඩි කාලේ අපි දෙන්න එකම විදිහේ ඇඳුම්ලු අඳින්නේ. එක්කෙනෙක්ගේ ඇඳුමේ වතුර පොඩ්ඩක් හැලිලා මාරු කළොත් අනිත් එක්කෙනාත් දුවගෙන ගිහින් ඇඳුම මාරු කරගෙන එනවලු. ඇත්තටම අපි දෙන්නා අතරේ ලොකු බැඳීමක් තියෙන්නේ. පවුලේ අනිත් අය අතරත් ලොකු බැඳීමක් තියෙනවා. ඒකට අම්මා තාත්තාට ස්තූතිවෙන්න ඕනා.‘ ඒ තේජානිගේ හඬය.
මේ නිවුන් සොහොයුරියන්ගේ පියා මෙලොව හැර ගොසින් වසර 11කි. ඔහු 2011 වසරේදී මෙලොවින් සමුගන්නා විට තේජානි සහ නදීෂා 21 හැවිරිදි වියෙහි පසුවූහ.
‘අපිට තාත්තාව ගොඩාක් මතක් වෙනවා. අද හිටියා නම් අපේ ජයග්‍රහණ බලන්න ඒක ලොකු හයියක්. තාත්තට හොඳ දැක්මක් තිබුණා. අපි දෙන්නා කවදාහරි දවසක ඉහළට යනවා කියලා තාත්තා කිව්වා. ඒත් ඒක බලන්න තාත්ති ජීවත් වෙලා ඉන්න එකක් නෑ කියලත් අපිට කිව්වා. මොකද එයා රෝගීව හිටියේ අවුරුදු 2-3ක්. අම්මා අපිත් එක්ක නිතරම ඉන්නවා. අපිට තාත්තා නැතිවෙච්ච දවසේ ඉදලා අම්මා තමයි. එතකොට අපි කවුරුවත් බැඳලත් නෑ. අම්මි අපිට ලොකු හයියක් වුණා.‘ තේජානි කියන්නීය.
‘පොඩි කාලේ අපි දෙන්න එකම වගේ නිසා ටීචර්ස්ලාට පැටලෙනවා. එක දවසක් විවේක කාලයෙන් පස්සේ ටීචර් පන්තියට ළමයි අරන් යද්දී වැරදිලා අපිව පන්තියට අරන් ගිහින් තියෙනවා. අපි එතකොට පළවෙනි ශ්‍රේණියේ. අපේ අක්කලා අපි දෙන්නව වෙන වෙනම අඳුරනවනේ. එයාලා අපිව බලන්න පන්තියට එනකොට අපි දෙන්නා වැරදි පන්ති දෙකේලු ඉඳලා තියෙන්නේ. එගොල්ලෝ තමයි මාරු කරලා තියෙන්නේ.‘නදීෂා පැරැණි මතකය අවදි කළාය.
‘අපි ආගමට දහමටත් ගොඩාක් බරයි. උදේම නැඟිටලා පහන් පත්තු කරලා පිරිත් දානවා. අපේ පාසල බෞද්ධ පාසලක්නේ. ඒ නිසා හොඳ ආගමික පසුබිමක් තිබුණා. අපි ලංකාවෙන් ගියත් දිගටම ඒක අනුගමනය කළා. කැම්පස් එකේ වුණත් හැම විභාගයට කලින් අපි දෙන්නා අනිවාරයයෙන්ම පන්සල් යනවාමයි. කවදාවත් වරද්දලා නෑ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධිය කරන කාලේ දිගටම පන්සල් ගියා. අදටත් එහෙමයි. ජීවිතේ මොකක් හරි විශේෂ අවස්ථාවකදී ඒවා වරද්දන්නේ නෑ. ගෙයක් ගත්තොත් හාමුදුරුවෝ වඩම්මලා දානයක් දෙනවා. වාහනයක් ගත්තොත් පන්සල් අරන් යනවා.‘ නදීෂා කීවාය.
තේජානි දැන් ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාවේත් පුරවැසිභාවය ලබා සිටී. නදීෂාගේ දැන් පදිංචිය අමෙරිකාවේය. දෙදෙනාම විවාහ වූයේ 2019දී ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුවය. එම වසරේදීම දෙසැම්බරයේ නදීෂා විවාහ වූ අතර, ඊට දින දෙකකට පසු තේජානි යුග දිවියට පිවිසියාය. නදීෂාගේ සැමියා නියෝමාල් මුතුමාල ය. ඔහු අමෙරිකාවේ වෛද්‍යවරයකු ලෙස සේවය කරයි. තේජානි විවාහ වූයේ හිටපු ශාන්ත ජෝෂප්
ක්‍රිකට් පාසල් ක්‍රිකට් නායක රුවන්ත ප්‍රනාන්දුපුල්ලේ සමඟය.
ඔහු ඇය සමඟ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටී.
‘ඇත්තටම අපේ පීඑච්ඩී උපාධිය අවසන් වුණේ 2019 වසරේදියි. ඒත් කොවිඩ් ව්‍යාප්තිය නිසා 2020 -2021 මෙහේ උත්සව එහෙම තහනම් කරලයි තිබුණේ. ඒ නිසා උපාධි ප්‍රදානය සිදු කළේ නෑ.
මේ වසරේ මාර්තුවේ මට ආරාධනා ලැබුණා උපාධි ප්‍රදානයට. මම ගියේ නෑ. ඊළඟට ආපහු අගෝස්තුවල එන්න කිව්වා. ඒ ගියෙත් නෑ. මොකද මට නදීෂා නැතිව සෙරමිනි එකට යන්න ආසාවක් තිබුණේ නෑ. අන්තිමට මේ මාසේ 17 වැනිදා උපාධි ප්‍රදානයට අපේ මුළු පවුලම සහභාගි වුණා. ඒ වගේ සතුටුදායක මොහොතක් ජීවිතයේ ළඟකදී නම් මතකයක් නෑ. අක්කලා හැමෝම ආවා එයාලගේ දරුවොත් එක්කම. අනිත් එක තමයි උපාධි ප්‍රදානෝත්සවයට පස්සේ දවස තමයි ජාත්‍යන්තර නිවුන් දිනය යෙදිලා තිබුණේ‘ තේජානි කීවාය.
ඔවුන්ගේ වැඩිමල්ම සොහොයුරිය චතුරිකා පදිංචිව සිටින්නේ එංගලන්තයේය. ඇය සිය සැමියා ජානක අබේගුණවර්ධන සහ පුතු සයන් සමඟ ඊට සහභාගි වෙද්දී, ඔස්ට්‍රේලියාවේම පදිංචිව සිටින ඔවුන්ගේ තවත් වැඩිමල් සොහොයුරියක වූ ගිහානි සිය සැමියා වූ කයිල් කොන්ඩර්ඩ් සහ ජෙනේලියා හා ජියෙන් දරුවන් සමඟ එම අවස්ථාවට එක්වූහ.
තේජානි මේ වන විට ඔස්ට්‍රේලියා රජයේ CSIRO ජාතික විද්‍යා ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස සේවය කරන අතර, නදීෂා ලොස්ඇන්ජලිස් නුවර ඇම්වේ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස රැකියාවේ නිරතව සිටින්නීය.
දරුවෝ අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවටත් හපන්නු
- නිවුන් සොහොයුරියන්ගේ මව කියයි
තේජානි සහ නදීෂා නිවුන් සොහොයුරියන් කුඩා වියේ සිටම අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන් ද කැපී පෙනෙන දස්කම් පෑ බව ඔවුන්ගේ මව මානෙල් ගුණරත්නය ‘සිළුමිණ‘ට කීවාය. නුවර මහමායා බාලිකාවේ අධ්‍යාපනය ලැබූ මානෙල් ගුණරත්න සිය සැමියා සමඟ මහරගමට සේන්දු වූයේ ඔහුට එහි රැකියාවේ නිරත වීමට සිදුවීම හේතුවෙනි. ගණිත ගුරුවරියක වූ මානෙල් මහරගම විද්‍යාකර බාලිකාවේ සහ ජනාධිපති පිරිමි විදුහලේ සේවය කළාය.
‘එයාලා පොඩි කාලේ ඉඳලම පන්තියේ පළමු ස්ථාන 3 අතරේ හිටියේ. තුන්වැනි ස්ථානයෙන් කවදාවත්ම පල්ලෙහාට ගිහින් තිබ්බේ නෑ. ඒ වගේම තමයි බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ අත්කර ගෙන තියෙනවා. ඉස්කෝලේ යන කාලෙත් විවිධ ශිෂ්‍යත්ව ලැබිලා තිබුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙන්නම ඒ සමාර්ථ 10ම ගත්තා.‘
මට හරිම සතුටුයි මේ දෙන්නගේ ජීවිතයේ සාර්ථකත්වය ගැන. වැඩිමල් අක්කලා දෙන්නත් සාර්ථක ජීවිත ගත කරන නිසා මෙයාලා දෙන්නත් ඒ වගේම ඉහළට යෑම හිතට ලොකු සතුටක්. මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ පීඑච්ඩී උපාධිය හදාරන්න අවස්ථාවක් ලැබුණේ මහාචාර්ය Frank Dunshea ගේ සහයෝගය නිසයි.‘ මානෙල් ගුණරත්න එසේ කීවාය.
‘අනිත් එක තමයි මේ දෙන්නටම පුදුම ක්‍රිකට් පිස්සුවක් තියෙන්නේ. මට මතකයි පොඩි කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කරන තරග පිටරට තියෙද්දී මෙයාලා එලාම් එක තියලා නැඟිටලා ඒ මැච් බලනවා.
තේජානි විවාහ වුණෙත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්කනේ.‘ මානෙල් ගුණරත්න සඳහන් කළාය.