නත්තලෙන් උපන් සැබෑ ක්‍රිස්තු චින්තනය | Page 2 | සිළුමිණ

නත්තලෙන් උපන් සැබෑ ක්‍රිස්තු චින්තනය

දාචාර විරෝධීව ක්‍රියා කරන්නාගේ බෙල්ලේ ඇඹරුම් ගලක් එල්ලා, මුහුදේ ගැඹුරුම තැන හෙළන්න"

“ඇඳුම් දෙකක් ඇති තැනැත්තා, එක් ඇඳුමක්වත් නැති අයකුට, එකක් දෙන්න”

“කොතැන වුවත් ඔබ, කවුරු වුවත් ඔබ, මගේ සහෝදරයා”

“එක පිරිමියකුට එක බිරියයි”

ඒ, නව යෝජනා ලොවට ලැබුණේ මිනිස් පියකු රහිතව, කන්‍යාවක ගැබ පිළිසිඳ, උපත ලද, ක්‍රිස්තු දාර්ශනිකයාගෙනි.

“භාග්‍යවන්තයකු වීමට නම්, යුක්තිය රැකීමට ඉදිරිපත් වෙන්න...මා මෙන් ක්‍රියා කර, ඔබ නින්දාවට පත් වුව හොත් ඔබ භාග්‍යවන්තය. යුක්තිය රැකීමට ක්‍රියා කරන්නෙක්, අයුතු චෝදනාවලට ලක් වුවහොත්, ඔහු භාග්‍යවන්තයෙකි...” යන සිතුවිලි පළමුවෙන්ම ලොවට දුන්නේ ඒ දාර්ශනිකයාය.

“වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුල්ලා දමන්න.මුළු සිරුරම ගින්නෙහි ලෑමට වඩා අවයවවලින් එකක් නැති වීම ඔබට යහපති. එදිරිකාරයාට එරෙහිව එකට එක නොකරන්න. හමුදා භටයෙක් සිය බඩු පොදිය එක කිලෝමීටරයක් ගෙන යෑමට ඔබට බල කළහොත් කිලෝ මීටර දෙකක් ගෙන ගොස් දෙන්න..”

“ඔබට ප්‍රේම නොකරන්නන්ට ප්‍රේම කරන්න”

“මිනිසුන්ට පෙනෙන්නට පුණ්‍ය ක්‍රියා නොකරන්න”

“දන්දීම ප්‍රසිද්ධියේ නොකරනු”

ඒ, නත්තලෙන් උපන් ක්‍රිස්තියානි චින්තන අල්පයකි. බයිබලයේ සුවිශේෂ හතර පුරා ඒ චින්තන එමටය. සමහර පැවසිලි දයාවන්තය. සමහරක් සැරපරුෂය.

ජේසුස් උපන්නේ පුරාණ පලස්තීන සමාජය අලුත් කරන්නටය. දූෂිත පලස්තීනය පිරිසුදු කරන්නටය. ඒ බව බයිබලයේ පරණ ගිවිසුමට පවසන්නේ එතුමාගේම මවය. “බාහුවෙන් විකුම් පා උඩඟු සිතැත්තන් විසුරුවා හරිමිනි. අහංකාර පලස්තීන පාලකයන් සිහසුන්වලින් ඇද දමමිනි. බඩගිනි වූවන් සතප්පමිනි. ධනවතුන්ගේ අත් හිස් කර, කොන් කර සිටි දුප්පතුන් ඉහළ නැංවීමෙනි.” ( ලූක් 1:46 - 53) එසේ ක්‍රියා කර පලස්තීන සමාජය සාධාරණ හා යුක්තිසහගත කිරීම, ක්‍රිස්තු ජීවිත අදිටන විය. ඒ සඳහා එතුමා පළ කළ මත හා කළ ක්‍රියා, “ආගමක්” සේ “අදහන්නන්” ලොව පුරා හැඳින්වෙන්නේ “ක්‍රිස්තියානි කාරයන්” ලෙසය. එහි නිකාය දහස් ගණනකි. ඉන් වැඩිම සාමාජික පිරිසක් සිටින්නේ “කතෝලික” නිකායේය. කතෝලික මහ ක්‍රිස්තියානි නිකායට ලෝකාධිපති පිය නම පාප්තුමාය. රෝමයේ රදගුරුය. රට රටවල උප අධිපති පියවරු සිටී. ඒ, රදගුරුවරු නමිනි. ඔවුන් යටතේ කතෝලික ගම්මාන භාර පූජකවරු සිටී.

කලක්, රෝම රදගුරු හිමිගේ (පාප් තුමා) ඒකමතික නිර්දේශානුකූලව ඉදිරියට ගිය, ලෝක කතෝලික ආගමික නෞකාව, ගතවූ දෙදහස් වසර පුරා වාචිකමය හැලහැප්පිලි ගණනාවකට මුහුණ දී සිටී. ඒ පරණ ලෞකික ප්‍රතිපත්ති හා නව ධාර්මික මඟපෙන්වන්නන් මැදය.

1962 - 65 අතර රෝමයේ පැවැත් වූ, දෙවැනි වතිකාන ලෝක රදගුරු සමුළුව, ඒ පිළිබඳ මේ සියවසේ හොඳම උදාහරණයයි.

කාලසටහනකට අනුව පල්ලිවලට රැස්ව, වත් පිළිවෙත් සිදුකරමින්, අහසට අත පා බොහෝ දේ පැතූ, මෙරට කතෝලික නිකායිකයන් අතරට, ඒ වතිකාන යෝජනා ආවේ නැත. ඒවායින් පැවසුණේ ආගම, ජනතාව අතර ක්‍රියාත්මක කළ යුත්තක් බවය. කතෝලිකයන්, ‘භක්තිය‘ නොව, රටේ ‘යුක්තිය හා සත්‍ය‘ රකින්නට ක්‍රියා කළ යුතු බවය. පෙර කී බයිබලීය ක්‍රිස්තු චින්තන අනුව, ක්‍රිස්තියානි ආගම යනු, තමන් ජීවත් වන රටේ, යුක්ති සහගතව ජීවත් වීම බව ඒ වතිකාන සමුළුව ලේඛන ගතකර තිබේ.

මර්සලින් ජයකොඩි පියනම, ආගම යනු මිනිසුන්ට දක්වන ආදරය යැයි පැවසුවේ, ඒ හැබෑ ක්‍රිස්තු චින්තනයට අනුවය. ඔස්කා අබේරත්න හා අර්නස්ට් පෝරුතොට බඳු පූජකවරු, බෙදා හදා ගැනීමේ ක්‍රිස්තු චින්තන සිය දිවි සමය අග දක්වාම ශ්‍රී ලංකා කතෝලික සභා සාමාජිකයනට පෙන්වා දුන්නේ ඒ

හැබෑ ක්‍රිස්තු ප්‍රතිපදා ශ්‍රී ලාංකික කිතුනුවනට කාවද්දන්නටය.

ශ්‍රී ලංකාවේ කිතුනුවන් යම් පිරිසක්, දැන් ‘දුකින් පෙළෙන සත් දුකින් මුදා ගැනීමේ‘ ඒ ක්‍රිස්තු චින්තනයට අනුව ජීවත් වීම අරඹා සිටිති.

ඔවුහු මානව අයිතිවාසිකම් ව්‍යාපාරවල සිට, නිවාස හා ඉඩම් අහිමි අය දක්වා ද, රැකියා නැත්තන් හා කඩොලාන රැක ගැනීමේ සංවිධාන දක්වා ද විසිර සිටිති. උතුරේ අතුරුදන් වූවන්ගේ මවුපියන් අතර ද ඔවුහු ක්‍රියාකාරීව සිටිති.

දුගීන් හා කොන් කළ අය ගැන ක්‍රියා කරද්දී කිතු හිමිට දේශපාලනයේ යෙදෙනවා යැයි චෝදනා කළ අය එදා පලස්තීනයේ සිටි බවට වාර්තා බයිබලයේ නැත. එහෙත් යුක්තිය හා සාධාරණය පතා සහ සත්‍යය හා මානව අයිතීන් රැකීම සඳහාත් ක්‍රියා කරන කතෝලික ගිහි, පැවිදි, පූජකවරුනට 2019 පාස්කු අපරාධයට පෙර, එබඳු චෝදනා නැඟූවෝ මෙරට වූහ.

2019 පාස්කු අපරාධය, මෙරට කතෝලික සභාවේ මහලු හා හණමිටි සාමාජිකයන්ගේ ඇස් අරවා තිබේ. තමන් ද මෙරට මහ සමාජයේ සාමාජිකයන් නිසා රට ප්‍රගතියට, හැබෑවටම යුක්තියට යොමු කරවීම හැබෑ ක්‍රිස්තු චින්තන මුසු කර තමන් ද දායක විය යුතු බව දැන් ඔවුනට වැටහෙමින් තිබෙන බවක් පෙනේ. විශාල පිරිසක් නැත. එහෙත් පිරිස විශාල වෙමින් සිටී. කාදිනල් හිමි, ඉහළින්ම ඒ මඟපෙන්වීම කරමින් සිටින බව හැඟේ. ඉකුත් දෙසැ.10 වැනිදා කුරණ සාන්ත ආනා විද්‍යාලයේ ගොඩනැඟිල්ලක් විවෘත කරමින් කාදිනල් හිමියෝ තියුණු කතාවක් කළහ.

“රට ගුණධර්ම සතු දේශපාලකයන්ට බාර දිය යුතුව තිබේ...රටේ අධ්‍යාපනය, ආගමික කළ යුතුය. ගුණධර්ම නොදත්, නූගත්, මිනිස්සු අපේ රටේ දේශපාලනයට පිවිස සිටී”

කිතු හිමි පලස්තීනයේදී තම සහෝදර ජුදා ජනතාව යොමු කළේ ද ඒ කටයුත්තටය. ජනයාට රිදවන දේශපාලකයන් හා ආගමික පූජකයන් නායකත්වයෙන් පලවා හැරීමටය.

කාදිනල් බලපෑම කොතෙක්දයත්, අද කතෝලික දේශපාලන පක්ෂයක් ගැන ද මෙරට කතෝලික ගිහි පිරිසක් සාකච්ඡා අරඹා ඇත. දෙවැනි වතිකාන මන්ත්‍රණ සභාව ඒ ගැන ලොව පුරා රදගුරුනට නියෝගයක් කර තිබේ. කතෝලික දේශපාලන පක්ෂ පිහිටුවන ලෙස නොවේ. ‘යහපත් දේශපාලකයන් තනන අධ්‍යාපන ආයතන විශේෂයක්‘ සිය රටවල අරඹන ලෙසය. (දෙවැනි වතිකාන සමුළු නිර්දේශ 16 - පිටු අංක- ගොඩගේ කිතුනු පොත් ව්‍යාපෘතියේ ප්‍රකාශනයකි) ඒ මතවලට සපුරාම එකඟ නූතන කතෝලික දේවධර්ම විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, හැබෑ ක්‍රිස්තු චින්තනවලට අනුව කතෝලික සභාව තුළ වෙසෙන ධනවතුන් දුප්පතුන්ට සේවය කළ යුතු බවය. (අද කතෝලික සභා සාමාජික දුප්පතුන්ට සිදුව ඇත්තේ එහි සාමාජික ධනවතුනට සේවය කරන්නටය.)

විශාල දෙව් මැඳුරු තුළට වී, අන්‍යයන්ට ඇසෙන සේ මහ හඬින් යාච්ඥා කරමින්, දෙවියන් මුණ ගැසිය නො හැකි බව සැබෑ ක්‍රිස්තු චින්තනයයි. අසල්වැසියන් හා සමීපව ඇසුරු කරන්නන්ට දෙවියන් නිශ්චිතවම මුණගැසෙන බව ක්‍රිස්තු චින්තනයයි.

“දෙවියන් වෙසෙන්නේ, මිනිසුන් අසාධාරණයෙන් මුදවා ගැනීමේ වෑයම් දරන තැන්වල” බව ක්‍රිස්තු චින්තනයයි.

ලොව පුරා වෙසෙන කතෝලිකයන් සිය රටවල ජනතාව දුගී භාවයෙන් ගලවා ගන්නට, සේවය නොලබා සේවය කළ යුතු බව හැබෑ ක්‍රිස්තු චින්තනයයි.

රටක සියල්ලන්ට සම අයිතීන් හිමි, සමාජ බිහි කිරීමට වෙහෙසීම කතෝලික ප්‍රයත්නය විය යුතු බව හැබෑ ක්‍රිස්තු චින්තනයයි.

නත්තල් දා උපන්නේ, ලෝකය එබඳු ගුණධර්මවලින් පිරවිය යුතු බව හඬ නඟා පෙන්වා දුන් දාර්ශනිකයාය. එතුමා ඉල්ලා ඇත්තේ තම මත හා ක්‍රියා, ආගමක් කර ගන්නා ලෙස නොවේ. ජීවිත යහපත් කර ගැනීම සඳහා අනුගමනය කරන ‘මාර්ගයක්‘ කර ගන්නා ලෙසය.

Comments