නත්තල හැඩ කරන නොනිදන පමුණුවේ රෙදි පිළි | සිළුමිණ

නත්තල හැඩ කරන නොනිදන පමුණුවේ රෙදි පිළි

- ශ්‍රීලංකාවේ නොනිදන සළුපිළි නගරය මහරගම පමුණුවයි
- පමුණුව නත්තල් සළුපිළි අසිරියෙන් බැබළේ
- නොනිදන නගරය වුණාට එක වැසිකිළියක්වත් නෑ; වතුර ටිකක් බොන්න ටැප් එකක් නෑ
- ලංකාවේ ගාමන්ට් ඕෆ් කට් චීනයට ප්‍රතිඅපනයනය කළා නම් පමුණුගම සුනේ සුන්ලු

වේලාව අලුයම දෙකයි. මුළු කොළඹම නිදි සුව විඳින අතර මහරගම නගරයේ හන්දියේ කඩිගුලක් ඇවිස්සුණාක් මෙන් විවිධ ප්‍රදේශවලින් පැමිණි රෙදිපිළි වෙළෙන්දෝ තම ඇඳුම් විකිණීමට පේමන්ටුවේ තට්ටු සකසති. සමහරු උඳුවප් සීතලෙන් බේරෙන්නට ජැකට් ඇඳලාය. සමහර පිරිමි වෙළෙන්දෝ ජටා බැඳගෙනය.

දැන් මා මේ පිවිස සිටින්නේ තිබහට බීමට වතුර බිඳක් නැති, බහිස්‍රාවීය කටයුත්තකට වැසිකිළියක් නැති, පාන් කෑල්ලක්, පැටිස් එකක්, වඩයක් තියා ප්ලේන්ටියක්වත් බීමට නැති පමුණුව රෙදිපිළි විකුණන වීදි වෙළෙන්දන්ගේ අඩවියට ය. උදේ 2.30ට පමණ පාන්දර ජාමේ පමුණුව රෙදිපිළි වෙළෙඳපොළේ හාත්පස බලා එහි ඇති විවිධාකාර ඇඳුම් දුටු විට මගේ මතකයට ආවේ ඇ. ලයනල් සිල්වා ය. ඇ. ලයනල් සිල්වා මතකයට ආවේ ඔහුගේ ජීවිත කතාව වූ ගොංකං බූරුකං පොතේ සඳහන්ව ඇති කරුණක් නිසාය. ලයනල් සිල්වා අධ්‍යාපනය ලබන කාලේ පාසල් සිංහල ගුරුවරයා වූයේ හෙළ හවුලේ නයුවෙකි. ඔහු සෑම ඉංග්‍රීසි වචනයකටම හෙළ වදනක් හඳුන්වා දී ඇත. ගුරුතුමා ලන්කට් එකට හුදු හෙළයෙන් වචනයක් හඳුන්වා ඇත්තේ 'පකුබහුව' ලෙසය. ලංකාවේ හාදයන් ආනයනික යට ඇඳුම් ඇඳීමට නම් දරාපු උදවියයි. පමුණුව පුරා ඇති රෙදිපිළි අතර පිරිමි යට ඇඳුම් ප්‍රධානය. ඩොලර් අර්බුදයට පෙර පිටකොටුවේ තොග වෙළෙඳපොළේ 'පකුබහුවක' මිල වූයේ රුපියල් 250කට අඩුවෙනි. ඩොලර් අර්බුදයත් සමඟ එය රුපියල් 900 දක්වා වැඩි වී තිබේ. පිටකොටුවේ 'පකුබහු'වල ගණන් ඇසූ මා පසුගියදාක පමුණුවට පැමිණ මිල ගණන් විමසුවෙමි. හොඳම කොලිටියේ 'පකුබහුවක' මිල වූයේ රුපියල් 300ට අඩුවෙනි.

මහරගම පමුණුවේ ප්‍රධාන මාර්ගය හා කොට්ටාව දෙසට යන විට හමුවන හතරමන් හන්දියේ වමටත් දකුණටත් ඕනෑ තරම් රෙදිපිළි අලෙවිසැල් ඇත. ඒත් මේ අප කියන්නට යන්නේ උදේ 2ට පමණ තම ව්‍යාපාර කටයුතු ආරම්භ කොට පිටකොටුවේ කැලෑ මාකට් එක මෙන් උදේ 7 - 8 වන විට තමන් අලෙවියට ගෙනා රෙදිපිළි උනාගෙන නැවත නිවෙස් වෙත යන දුෂ්කර දිවියක් ගත කරන වෙළෙන්දන් ගැනය.

කොරෝනාවට පෙර චීන ව්‍යාපාරිකයන් පිරිසක් යෝජනා කර තිබුණේ ලංකාවේ ගාමන්ට්වල රෙදි කපා ඉතුරු වන රෙදි කැබලි නොහොත් ඕෆ්කට් චීනයට කන්ටේනර් පිටින් අපනයනය කරන්නටය. එදා එය ක්‍රියාත්මක වූවා නම් පමුණුවේ ඉරණම මීට වඩා වෙනස් විය හැකිව තිබුණි. ඊට හේතුව පමුණුවේ ඇති බොහෝ ඇඳුම්වලට යොදා ගන්නේ මේ ඕෆ්කට් රෙදි වීමය. ඕෆ්කට් කියුවාට එහි ප්‍රමිතියේ කිසිදු අඩුවක් ඇතැයි වරදවා තේරුම් ගත නොහේ.

පමුණුවේ රෙදිපිළි අලෙවි තට්ටු එකින් එක වෙත යද්දි අපේ ප්‍රශ්නයක් වූයේ පමුණුවේ මේ රෙදිපිළි අලෙවියේ ආරම්භකයා කවුරුන් ද බවයි. බොහෝ දෙනකු පැවසුවේ එකම නමකි. ඇය කාන්තාවකි. බොහෝ දෙනා කිව්වේ ඇය දැන් වියපත්ව ගෙදරට වී සිටින බවත්ය. එහෙත් මුහුණු පොතේ පමුණුවේ රෙදිපිළි ආරම්භය ගැන ඇත්තේ මෙවැනි සටහනකි.

නෝර්ටන්බ්‍රිජ් ජල විදුලි බලාගාරයේ විධායක නිලධාරියකු වූ කේ.එස්. ජයරත්න වාමාංශික දේශපාලනයේ නියැළීම නිසා 46 වැඩවර්ජනයේදී රස්සාව අහිමි වන්නේය. රස්සාව නැතිව දරු පවුල සමඟ අනාථ වන ජයරත්න 1950දී කොළඹට එන්නේ කුමක් හෝ කර ජීවිතය ගෙන යෑමටය. අලුත් ව්‍යාපාරයක් ගැන ජයරත්නගේ හිත මුලින්ම ගියේ කොහුවල බර්නාඩ් ගාමන්ට් එකෙන් ඉවතලන ඕෆ්කට් රෙදි කෑලිවලටය. ගරාජ්වල මජන් පිහදාන්න එම රෙදිකෑලි ගැට ගසා වෙළෙඳපොළට දැම්මොත් හොඳ මාකට් එකක් තිබිය හැකි බව ජයරත්න අනුමාන කළේය. කොහුවල බර්නාඩ් එකෙන් ඉවතලන රෙදි කෑලි ගෝනිවලට පුරෝගන්නා ජයරත්න ඒවා රැගෙන ආවේ පමුණුවටය. එක ගෝනියක් එකල රුපියල් පහකි. පොඩි පොඩි රෙදි කෑලි අතර යාර ගණන් දිග රෙදි කෑලි ද විය.

ඒ වන විට ලංකාවේ මජන් පිස දැමීමට භාවිත කොට ඇත්තේ ඉන්දියාවෙන් ආනයනය කළ කපු නූල්වලින් හැදූ රෙදි කැබලි විශේෂයකි. ජයරත්නගේ නව සොයා ගැනීම සොයා ලංකාවේ කාර්මික නිෂ්පාදන හා යන්ත්‍රෝපකරණ ව්‍යාපාරයේ නියුතු කොම්පැනිකාරයන් ආවේ ඉන්දියන් නිෂ්පාදනයට වඩා ඔහුගේ 'රෙදි ඕෆ්කට්' ඉතා අඩු මිලක් වූ නිසයි. මේ අනුව පෙනී යන්නේ පමුණුවේ රෙදිපිළි ව්‍යාපාරයේ ආරම්භකයා ලෙස ජයරත්න නාමය සඳහන් ඉතිහාසයක් ඇති බවය.

ජයරත්න ගෙනෙන රෙදි කෑලි අතර ඇති ලොකු රෙදි කෑලිවලින් ඇඳුම් මැසීමට ජයරත්නගේ බිරිය පියවර ගෙන ඇත. මේ අන්දමට ව්‍යාප්තව හතර පස්දෙනා වැඩ කරන තැනට ජයරත්න ව්‍යාපාරය සාර්ථක වී ඇති අතර, පමුණුව සොයාගෙන එන පිරිසක් කෙමෙන් නිර්මාණය වන්නේ පසුකාලීනවය. පසුව ජයරත්න ළඟ සිටි පිරිස් ඔහු අතහැර වෙනම එකී ව්‍යාපාරයම ආරම්භකොට ඇත. ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත වූ කඩ ගණන වැඩි වීමත් සමඟ පමුණුව රෙදිකඩ පුරවරයක් බවට පත්තේ නිරායාසයෙනි. මේ ඕෆ්කට් රෙදි පාණ්කඩ කෑලි අලෙවියට ප්‍රසිද්ධ වූ නිසාම එදා පමුණුව හඳුන්වා ඇත්තේ 'පාණ්කඩ පමුණුව" කියාය. රත්නපුරේ මැණික්වලට ප්‍රසිද්ධ වුණා වගේම, අම්බලන්ගොඩ රූකඩවලට ප්‍රසිද්ධ වුණා වගේ අන්තිමට මහරගම පමුණුව රෙදිපිළි නිසා ප්‍රසිද්ධ වෙමින් 'මහරගම'ට අලුත් ආලෝකයක් එක් කොට ඇත.

පමුණුව රෙදිපිළි අලෙවිය නිසා මහරගමට ආලෝකයක් එක් කළත් මේ වීදි වෙළෙන්ඳන් තම ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නේ අන්ධකාරයේය.

පාරේ දෙපස ඇති නගර සභාවේ වීදි ආලෝක කුලුනුවලින් එන එළිය ද කණාමැදිරි එළියකි. බොහෝ දෙනා ගනුදෙනු කරන්නේ ටෝච් ගසමින් හෝ චාජ් කරන ලයිට් එකක ආධාරයෙනි.

පමුණුවේ මුලින්ම අප සමඟ කතාබහට එක්වූයේ ඩී.එස්.ජේ. විජයසිංහ ය.

"නත්තල නිසා උදේ සෙනඟ වැඩියි. මේ මගේ ගම. මම අවුරුදු 45ක් බිස්නස් කරනවා. අපේ අම්මා මට කලින් කළේ. දැන් අම්මට අවුරුදු 81යි. ගිය අවුරුද්දේ රුපියල් 15ට තිබ්බ ඉස්කෝලේ යන අයගේ යට කලිසම දැන් රුපියල් 25යි. ටිකක් ලොකු යට කලිසම ගිය අවුරුද්දේ රුපියල් 50යි. දැන් රුපියල් 100යි. මේකට ලංකාවේ හැමතැනක වෙළෙන්දෝ එනවා. යන්න ටොයිලට් එකක් නෑ."

"ඇයි තරුණ සභාව ඉස්සරහ ටොයිලට් එක."

"ඒක නගර සභාවෙන් කැඩුවා. එන කස්ටමර් කෙනෙක්ට වතුර ටිකක් බොන්න ටැප් එකක්වත් නෑ. හිඟන්නෝ නානවා කියලා ටැප් එකත් කැපුවා."

"මේ බිස්නස් එකට වැටුණේ කොහොමද?"

"1977ට කලින් හයිඩ්‍රාමනී ගාමන්ට් එකේ ඉතුරු වන රෙදි කෑලි වැල්ලවත්ත දහම් මාවතේ කැලේ ප්‍රදේශ ගොඩකරන්න ගිහින් දානවා ලොරිවලින්. කට්ටිය පොර කාලා හොඳ හොඳ රෙදි කෑලි අහුලා ගන්නවා. ඒවා ගෙනිහින් කලිසම් මහනවා. ස්කර්ට් එකක් රුපියල් 10යි. නයිටියක් රුපියල් 15යි. ඒ කාලේ දවසකට රුපියල් 5,000ක් විතර හොයාගන්න පුළුවන්කමක් තිබ්බා. ඒත් දැන් රෙදිත් ගණන්."

අප මනතුංග සමඟ කතා කරන විට ඊට යාබදව තම රෙදිපිළි තට්ටුව දමාගෙන සිටි කාන්තාව පුල පුලා බලා සිටියේ තම වාරය එනතුරු වගේය.

"මගේ නම නාලිනි පෙරේරා. අවුරුදු 30ක් පමුණුවේ බිස්නස් කරනවා. මම විකුණන්නේ හවුස් කෝට්, ගවුම්, සාය වගේ දේවල්. දැන් බලන් ඉන්නකොට මිල වැඩි වෙනවා. අපි මේ පේමන්ට් එකේ දාන රෙදිපිළි උදේ වෙනකොට අස් කරනවා. ඉතුරුවා වාහනයක දාගෙන ගෙදර ගෙනියන්න ඕන. ඒකට රුපියල් 500- 1000 යනවා. බඩු ටික දාන්න කඩයක් ගත්තා. මාසෙට රුපියල් 30,000යි. කඩේ අයිතිකාරයගේ කොන්දේසිය පිට අයට ටොයිලට් එක පාවිච්චි කරන්න දෙන්න බෑ කියන එක. මෙහෙ බඩු ගන්න යාපනෙන්, කුරුණෑගලින්, මන්නාරමෙන් ඉඳන් එනවා. ප්‍රධාන ප්‍රශ්නය බොන්න වතුර ටිකක්, හදිසියකට ටොයිලට් එකක් නෑ."

නාලිනිගෙන් පසු කතාබහට එක් වුණේ 30 වසරක් පමුණුවේ බිස්නස් කරන කේ.වී. රානි සාගරිකා ය. ඇය අවිවාහකය.

"කොරෝනා කාලේ මේ බිස්නස් එක නන්නත්තාර වුණා. අපි මහන්න රෙදි ගන්නේ කිලෝ ගාණට. අපිට මේ පාරේ බිස්නස් එකක් කරන්න ලයිට් එකක්වත් නෑ. නගර සභාවෙන් රුපියල් 20ක ටිකට් එකක් කඩනවා. මේකේ සමිති සමාගම් 3ක් තියෙනවා. ඒත් එකකින්වත් වැඩක් කරගන්න බෑ."

පමුණුවේ වීදි වෙළෙඳාමේ නියුතු අය සමඟ කත‍ෙබහේ යෙදෙන විට පෙනී ගියේ පමුණුවේ බිස්නස් කොතරම් ජයටම කෙරුණාදැයි කිවහොත් රෙදි ඕෆ්කට් වෙනුවට රෙදි පීස් පිටින් මිලදී ගෙන ඇඳුම් නිමවන තරමට බිස්නස් එක නැඟ ගොස් තිබී ඇති බවය. කොටින්ම ගාමන්ට් එකේම පිරිස නතර කරගෙන මැහුම් කුලිය දී ඇඳුම් මැසීම පසුව අත්හැර ඇත්තේ නිෂ්පාදන වියදම වැඩි වීම නිසාය. දැන් සිදු වන්නේ ඇඳුම් පිටට දී කෑලි ගාණට මුදල් ගෙවීමය. ඒ නිසා දැන් වතුර බිල්, ලයිට් බිල්, කෑම වියදම්, ඕටී මුකුත් නැත. ඇතැම් අවස්ථාවල වැඩ කරන පිරිසට මහන මැෂින් ගෙවන ක්‍රමයට අරන් දෙන්නේ මුදල යොදවන පුද්ගලයා විසිනි.

පමුණුවේ ඇත්තේ ඇඳුම් පමණක් නොවේ. රෙදි බෑග් ද එහි අලෙවියට ඇත. අපට හමුවූ රෙදි බෑග් වෙළෙන්දාට තට්ටුවක් පේමන්ට් එකේ තිබුණේ නැත. ඔහු බෑග් වික්කේ ඇඟේ දාගෙනය. ඔහු නමින් ප්‍රේමචන්ද්‍ර ය. ගම් පළාත කෝට්ටේ මාදිවෙල ය.

"මම අවුරුදු 30ක් පමුණුවේ බෑග් විකුණනවා. කලින් 100ට තිබ්බ බෑග් එක දැන් 150 - 200 යි. උදේට එනවා දවල් 10ට යනවා. මම ළමයි තුන්දෙනෙක් ඉස්කෝලේ යවලා ඉගැන්නුවේ මේ රස්සාවෙන්."

මේ බොහෝ වෙළෙන්දන් පවසන්නේ තමන්ගෙන් රුපියල් 100ට ගන්නා ඇඳුම පිට පළාත්වල රුපියල් 300ට අලෙවි කරන බවය. කලකට ඉහත රෙදි රැගෙන පමුණුවේ කුඩා ගාමන්ට්වලට පුද්ගලයන් එන්නේ දුරබැහැර ප්‍රදේශවලිනි. ඔවුන් ආපසු ගියේ තමන් ඇඳුම් ටික මහගෙන රාත්‍රී ජාමයේය. අපට පැහැදිලිව පෙනී ගිය කරුණක් නම් මහරගම නගර සභාව හෝ මහරගම පොලිසිය මෙම පමුණුවේ වීදි වෙළෙඳාමේ නියුතු වූවන් ගැන නිසි සංගණනයක් කොට නොමැති බවය. එකම පවුලේ අම්මා, තාත්තා, දුව, පුතා, බෑනා වෙළෙඳාමේ නියුතු නවතම වෙළෙඳ ප්‍රවණතාවක් ද පමුණුවේදී දැකගත හැකිය.

අප මේ පමුණුව වෙළෙඳපොළේ ඇවිදින විට තැරැව්කරුවන් කිහිප දෙනකු සමඟ ගණන් හිලව් කතා කරනු දැකගත හැකි විය. ටික වේලාවකින් එතැනට ආවේ විදේශිකයන් කිහිප දෙනෙකි. අපට පසුව දැනගත හැකිවූයේ ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින වැනි රටවලට මෙම රෙදිපිළි අපනයනය කරන බවය.

නත්තලට අලුතින්ම රෙදිපිළි සාප්පු විවෘත කරන පිරිස් ද සිටී. ඔවුන් බොහෝ දෙනා තොග මිලට රෙදිපිළි ගන්නට එන්නේ පමුණුවටය. අලුතින් රෙදිපිළි සාප්පුවක් විවෘත කිරීමට රෙදි තොගයක් ගැනීමට මධුෂාන් සඳරු පැමිණ සිටියේ රත්නපුරයේ සිටය.

"ක්‍රිස්මස් දවසේ තමයි රෙදි ෂොප් එක රත්නපුරේ පටන් ගන්න ඉන්නේ. කොම්පැනිවල බ්‍රෑන්ඩඩ් රෙදි විකුණලා ලාභයක් ගන්න අමාරුයි. රෙදි වගයක් අපිට ඕන විදිහට මහන්නත් ඕඩර් කළා. මොකද රත්නපුරේ පැත්තේ කෙල්ලො අඳින ඇඳුම් ඩිසයින් අපි දන්නවා. ඒවා කොළඹ කඩවල නෑ."

අප මේ පමුණුවේ සැරිසරන විට හමුවූ එක් කාන්තාවක් මෙහි වෙළඳාමට පැමිණ සිටියේ මැලේසියාවේ රැකියාවක් කිරීමෙන් පසුවය. ඇය එල්.එස්. ප්‍රේමරත්න ය.

"මම අවුරුදු 5ක් මැලේසියාවේ හිටියා. ඒකෙන් ගේ දොර හදාගත්තා. ලංකාවට ආවම අසනීප වුණා. ආතරයිටිස් හැදුණා."

"ආතරයිටිස් නම් ඉතින් හිටගෙන බිස්නස් කරන්න හොඳද?"

"කොන්දටත් බෙල්ට් එකක් දාලා තියෙන්නේ. ලොකුම ප්‍රශ්නය තමයි ඉතුරු වෙන බඩු ටික තියන්න තැනක් නැති එක. ත්‍රිවිල් එකට විතරක් 1,100ක් යනවා. මට ලෙඩෙක් වෙලත් බොන්න වතුර ටිකක්, ටොයිලට් එකක් නෑ. සමහර ගෑනු අය ඇවිල්ල බඩ අල්ලගෙන ටොයිලට් එකක් හොයනවා."

මේ ගනුදෙනුකරුවන් අතරින් ලොකු බඩු පාර්සල් තිබූ කාන්තාවකට අපි කිට්ටු කෙළෙමු. ඇය ගාල්ල වලහන්දූවෙන් පැමිණි ඒ.කේ. රානි ය.

"මං කොහොමත් ලක්ෂ 2ක විතර බඩු ගන්නවා. ගාල්ල හයිවේ ස්ටෑන්ඩ් එකට ත්‍රීවිල් එකක ගෙනියල බස් එක ඩිකියට ඇඳුම් ටික දානවා. රුපියල් 500 ගාස්තුවට. මෙතැන මෙලෝ පහසුකමක් නැති නිසා බොරලැස්ගමුවේ අක්කලාගේ ගෙදර කලින් දවසේ නවතිනවා."

මේ පමුණුව රෙදිපිළි අලුයම අලෙවිය දෙස බලන විට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ ඔවුනට කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් ලැබී නැති බවයි. අලුයම වැසිකිළි පහසුකම් නැති නිසා වෙළෙඳාමේ නියුතු අයටත් වඩා දුර බැහැර සිට එන පාරිභෝගිකයන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටය. මේවාට රාජ්‍ය අංශයට බැණ වැදීමේ පලක් නැත. පෞද්ගලික අංශයේ අලුතින් හිතන ව්‍යාපාරිකයකු මේ පමුණුව රෙදිපිළි වෙළෙඳපොළේ ඇවිද්දා නම් මුලින්ම ආයෝජනය කරනු ඇත්තේ සල්ලි අය කරන 'මොබයිල් ටොයිලට්' එකකටය.

අවසානයේ අපට පෙනී ගියේ රජයේ කිසිදු සහනාධාරයක් ඉල්ලන්නේ නැති මේ වෙළෙඳාමේ නිරත දිරිය මිනිසුන්ට ඇති එකම සම්පත අඩු මිලට රෙදිපිළි මිලදී ගත් පාරිභෝගිකයන්ගේ සිතේ පහළ වූ සතුට පමණක් බවය.

ඡායාරූප - රංජිත් අසංක

Comments